Saturday, October 7, 2023

හෙමින් ඇවිද යමු මලින් සැරසි බිම ප්‍රේම ගායනා නිමා නොවේ...

 



නිමාකලයුතු නොවන අයුරින්

නිමාකල පෙම් කතාවක තතු

හොරෙන් ලිවුවා වලාවක් මත

දකින්නට නුඹ බලද්දී තරු


නුඹම පමනක් දැන සිටිය මට

නුඹම පමනක් අහිමිවුන තැන

තවම පිපෙනා මිනී මල් ගෙන

සැරසුවා හද දම්පාට පෙති රැගෙන


දිනකි නුඹ මා හමුවියම යුතු

තැනකි දහසක් කතා සිරවුන

එවනි දවසක වදන් ගොලුකර

බලාඉමු අප නෙතින් අපිවම


-කටුස්සා-

Tuesday, June 14, 2022

Enough is enough....

 


මම ඉස්සල්ලම ඉස්කෝලේ ගියේ බත්තරමුල්ල කොස්වත්ත M.D.H. ජයවර්ධන විද්‍යාලයට.අම්මත් එක්ක බස් එකේ ඇවිත් කොස්වත්ත හංදියෙන් බැහැලා කලපලුවාව පැත්තට තියන ලොකු කන්ද නැගගන කොස්වත්ත පොලීසියත් පහුකරගන පයින්ම තමයි ඉස්කෝලෙට ආවේ ගියේ.කලාතුරකින් තාත්තා එක්ක වාහනේ.ඉස්කෝලේ ඇරිලා අම්මා එක්ක ගෙදර එද්දි පණුවා නලියන්න ගන්නේ "මංගල" ෆිල්ම් හෝල් එක ගාවදි.ඒක එහා පැත්තේ තිබ්බේ පත්තර කඩයක්.පුංචි, හපනා, බිංදු, සිඟිති සිත්තර වගේ පත්තරවල ඉඳලා වයසින් වැඩෙද්දි විජය, මිහිර, වගේ පත්තර වෙනකන් ගත්තේ ඒ පත්තරකඩෙන්. ඒවට අම්මට මහාලොකුවට පෙරෙත්තකරන්න ඕනකමක් වුණෙත් නෑ. 


අම්මට වදදීලා කරදරකරලා , එක්කගන නොගියොත් කට කජුලෙල්ල කරගන හිටියාම එක්කගන යන්න තියන ඉඩකඩ වැඩියි කියලා මම දැනගන හිටිය කඩේ තිබ්බේ ඒ පත්තරකඩේට එහාපැත්තේ. ඒ කඩේ නම අද අමතකවුනත් ඒක ස්නැක් බාර් එකක්. අම්මට කරදරකරලා ඒ කඩේට යන්න ප්‍රධානම හේතුවවුනේ ඒ කඩේ තිබ්බ පලතුරු බීම.ඉස්සරහා එල්ලලා තියන මිදි, කෙසල් වගේ පලතුරු පහුකරගන කැශියර් එකත් පහුකරගන ගියාම ඉඳගන ඉන්න පුටු පහ හයක් ඒ කඩේ ඇතුලේ තිබ්බා.දිවුල්, පලතුරු, ෆලූඩා, දොඩම් වගේ බීම ජාති ගොඩක් ඒකේ තිබ්බත් මම හැමදාම ගත්තේ බීම එක උඩින් අයිස්ක්‍රීම් දාලා දෙන බීම ජාතියක්.ඒ බීම එකට වඩා අයිස්ක්‍රීම් එකට පෙරේත නිසා. "ඔය අයිස්ක්‍රීම් බීම එකත් එක්ක කලවම්කරගන බොන්න..." කියලා අම්මා කිවුවත්, එයාට පේන්න උඩ පාවෙන අයිස්ක්‍රීම් ටික බීම එකේ ඔබලා උඩට ආවහම ටික ටික කන එක තමයි ජොලිම වැඩේවුනේ.දවසක් දොඩම් බීම එකක් අරගන ඒකට අයිස්ක්‍රීම් නොදාපු නිසා ඉස්කෝලෙන් අස්වෙනකම්ම ඔතනින් ආපහු දොඩම් බීම බිවුවෙත් නෑ.


ඒ කඩේ තිබ්බ අනිත් අමතකනොවන දේවල් 2න් එකක්වුනේ කඩේ ඉස්සරහම තියලා තිබ්බ ජැක්පොට් මැශින් දෙක. ලංකාවෙන් ජැක්පොට් තහනම්කරනකම්ම ඒ මැශින් දෙක කඩේ ඉස්සරහා තිබ්බා.අනිත් අමතකනොවෙනම දේ තමයි කලවම් බිස්කට්.ඔය උත්සවකාලෙට ගෙවල්වලට ගෙනියන බිස්කට් ගිෆ්ට් පැකට් ඇරුනාම ඒ කාලේ කඩවල්වල දැන්වගේ 100g බිස්කට් පැකට් තිබ්බේ නෑ.කඩේ ලොකු බෝතල්වල එක එක ජාතියේ බිස්කට් වර්ග අනූව දාලා තියනවා. මට මතකවිදිහට අම්මා ගන්නේ බිස්කට් කිලෝ එකාමාරක්ද කොහේද.කොහොම ගත්තත් ඒ බිස්කට් ගොඩේ වැඩිපුරම තිබ්බේ මාරි බිස්කටුයි තව මොකද්ද පොඩි පැතලි බිස්කට් එකකුයි.ඊළඟට වේෆර්ස්.ඒ දවස්වල ආසමකරපු ලිට්ල් ලයන් සමනල කුකී එකයි චොකලට් බිස්කට් එකයි අනික්වට සාපේක්ශව ගොඩක් අඩුයි.බර අනූව දාද්දි එහෙම වුනාට අපි ඒ කාලේ හිතුවෙම කඩේ මනුස්සයා රස බිස්කට් අඩුවෙන් දාලා රස අඩු ඒවා වැඩියෙන් දානවා කියලමයි.ඔය අරගන යන බිස්කට් ගෙදර දාලා තිබ්බේ කොලපාට ප්ලාස්ටික් භාජනේක.අම්මා හදලා දෙන කිරි එකයි අර බාජනෙන් ගන්න බිස්කට් ටිකකුයි අරගන බිස්කට් පොඟවගන කන ගමන් ඒ කාලේ හවස 5ට පටන්ගන්න කාටූන් එකක් බලනවා කියන්නෙත් වෙනම රසක් තියන ජොලි වැඩක්. අපි වයසින් වැඩෙද්දි, වෙළඳපොළට 100g පැකට් එද්දි ඔය ලූස් බිස්කට් විකිනිල්ල ඉබේම අහෝසිවුනා. ඇත්තටම කිවුවොත් දැනට අවුරුදු 20-25 ඉඳන් කඩවල්වල ඔය ලූස් බිස්කට් විකිනිල්ල දැක්කෙම නෑ.


මේ ඔක්කොම අද මතක්වුනේ හදිස්සියේ අද ගිය සිල්ලර කඩේක පොඩි කාමරවලට වෙන්කරපු වීදුරු ශෝකෙස් එකක ආපහු බිස්කට් වර්ග 4ක් දාලා තියනවා දැක්කාම.ලෙමන් පෆ්, චොකල්ට්, මාරි සහ ඒ කාලේ කවමදාවත් ලූස් විකුණනවා නොදැක්ක ක්‍රීම් ක්‍රැකරුත් ඒ පෙට්ටියේ තිබ්බා.හැබැයි ඒ අර ඒ කාලේ අම්මව බලෙන් ඇදගන ගිහින් ආසාවෙන් ගන්න බිස්කට් එකක් විදිහටනම් නෙමෙයි.100g ක බිස්කට් පැකට් එකක් ගන්න තරම් වත්කමක් නැති, රටේ භාණ්ඩ මිලත් එක්ක බිස්කට් එකකට ඒ තරම් වියදම්කරන්න හැකියාවක් නැතී මිනිස්සුන්ගේ සුසුමට විසඳුමක් විදිහට තමයි ඒ බිස්කට් ඒ විදිහට විකුණන්නේ.


චොකලට් බිස්කට් 1 -රු.16යි.

මාරි බිස්කට් 1 - රු.5යි.

ක්‍රීම් ක්‍රැකර් බිස්කට් 1 - රු.10යි.

ලෙමන් පෆ් බිස්කට් 1- රු.15යි.


වෙනදා වැඩ ඇරිලා ගෙදර යන ගමන් රු.50ට චොකලට් බිස්කට් පැකට් එකක් අරගන ගෙදර ඉන්න ළමයට දුන්න තාත්තා කෙනෙක් අද රු.130කට ඒ බිස්කට් පැකට් එක ගන්නේ නෑ.එයා ඒ වැඩිවුන රු80 දාන්නෙත් ගෙදරට ගෙනියන හාල් කිලෝ එකට.සමහරවිට ඒ හාල් කිලෝ එක අස්සෙන් පොඩි එකාගේ මූන මැවිලා අසරණවෙන තාත්තා කෙනෙක්ට තියන එකම විසඳුමත් රු.50ක් දීලා අරගන යන චොකලට් බිස්කට් 3 වෙන්න ඇති.ඒක දකිද්දි මට මතක්වුනෙත් හවස තේ බොද්දි ක්‍රීම් කැකර් 2-3ක් කන මගේ අම්මගේ මූන. අම්මට හවසට තේ බොද්දි කන්න වෙනදට ගෙදර ගෙනියන ක්‍රීම් ක්‍රැකර් පැකට් එක වෙනුවට රු.50ක් දීලා ක්‍රීම්ක්‍රැකර් 5ක් අරගන යන මාව.


කා-ල-ක-ණ්-නි ඒස පවුලකුයි ඒ පවුල  එක්ක එකතුවෙලා තාමත් ඒ පවුලේ දෙපරැන්දේ දිවෙන් ලොවන සට්ටැඹි රැලක් නිසායි  අපි මේ තරම් විඳවන්න ඕනෙද? මේක කියවන ඔබටයි මටයි තාමත් බිස්කට් 3ක් අරගන යන්න තරම් අහේනියක් නැතුව ඇති.ඒත් හෙට ඒ දේ ඔබට, මට නොවෙයි කියලා තියන සහතිකේ මොකද්ද? ඒ වෙද්දි ඇතිවෙන අහේනිය බිස්කට් 3න් නවතියි කියලා හිතන්න තරම් මේ රටට තියන වැඩපිළිවෙළ මොකද්ද? එහෙම කිසිම දෙයක් නෑ නේද? එහෙනම් අපිට කරන්න ඉතුරුවෙලා තියෙන්නේ එකම එක දෙයක් විතරයි.අපි පොඩිකාලේ ආසාවෙන් රසවින්ඳ ඒ අතීතෙට අපිව අරගන යන ස ට පිං දෙන එක විතරයි.


වාහනේ ෆුල් ටෑන්ක් කරගත්තාම, කොහොමහරි කරලා ගෑස් ටැංකියක් ගත්තාම අද හිතට ඇතිවෙන සහනය ; පෙට්‍රල් කොච්චර තිබ්බත් ගහන්න අතේ සල්ලි නැතිවෙද්දි, ගෑස් ටැංකියට වියදම්කරනවට වඩා පොඩි එකාගේ ටියුශන් ෆීස් ගෙවන එක වැදගත්වෙද්දි හිතට දැනෙන්නේ නෑ. ඒ ඔක්කොටම වඩා මේ ලෝකේ කිසිම දෙමවුපියෙක් තමන්ගේ ළමයගේ බඩගින්න ඉස්සරහා විනීතවෙයි කියලා බලාපොරොත්තුවෙන්නත් අපිට බෑ. සර්පයෙක් දශ්ටකරපු තමන්ගේ ළමයට ඕනකරන ඇන්ටි වෙනම් එක හොයාගන්න ෆාමසියක් ගානේ ඇවිදලා ඒ බෙහෙත නැතිනිසාම තමන්ගේම ලෙයින් ජාතකවුන දරුවගේ මිනියට කරගහන්න වුන තාත්තෙක්ගේ හිතින් ආපහු කවමදාවත් "සියලු සත්වයෝ නිදුක්වෙත්වා" කියන වචන තුන කියවෙයි කියලා හිතන්න අයිතියකුත් අපිට නෑ.


එහෙම තත්වයක් තියෙද්දි අපි මොකටද තවත් මේ ඉවසන්නේ.... ලතවෙන්නේ....??? අපි වෙනුවෙන් තවත් කවුරුහරි පාරට බහිනකම්ද.... අපි වෙනුවෙන් තව කවුරුහරි වෙඩි කනකන්ද....මේ එන්නේ මගේ, අපේ අන්තිම අවස්ථාව වෙන්න පුලුවන්.එදා සිද්ධාර්ථ කිවුවේ "මෙය මගේ අවසන් උපතයි. මෙයින් මතු උපතක් නැත"  කියලයි.ඒ වගේම තමයි, මේ එන්නේ ඔබට, මට ලැබෙන අන්තිම අවස්‍ථාව. අපි මේ අවස්ථාව අතෑරියොත්, ලිස්සලා යන්න ඉඩ ඇරියොත්, අසාර්ථකවුනොත්; බඩගින්නේ, ලෙඩවෙලා ගේ අස්සෙම මැරෙන අපේ මිනිය වළලන්නවත් මනුස්සයෙක් ඉදිරිපත්වෙන එකක් නෑ. ඉදිරිපත්වෙන්න තරම් මනුස්සයෙක් අපි අවට ඉතුරුවෙන එකකුත් නෑ.ඒ නිසා ලෑස්තිවෙලා ඉන්න මේ විසරගෙඩිය පුපුරවන්න.ඒක පිපුරුවට පස්සේ තුවාලයක් ඇතිවෙනවා.හැබැයි ඒ තුවාලෙට බෙහෙත්කරලා හොඳකරන්න පුලුවන්.ඒත් විසරගෙඩිය  තියෙද්දි කොච්චර බෙහෙත්කලත් ඇතිවෙන සහනයක් නෑ.ඒ නිසා ඉස්සල්ලම ඒ විසරගෙඩිය පුපුරවලා දාන්න ලෑස්තිවෙලා ඉන්න.තමන් වෙනුවෙන් ඒ දේ කරන්න පිට කවුරුවත් ඉදිරිපත්වෙන්නේ නෑ. අපි වෙනුවෙන් ඒ දේ කරන්න වෙන්නෙත් අපිටම තමයි.එදාටත් ගෙදරටවෙලා තමන්ගේ දරුපවුල එක්ක සිල් ගන්න එපා.එදාටවත් එලියට ඇවිත් "සුදුපාට ඇන්ඳාට තනි කකුලේ කොක් නයිදේ සිල් ගන්නේ නෑ" කියන දේ පෙන්නන්න, ඒ දේ පෙන්නන්න ඕන මිනිස්සුන්ට.

කටුස්සා....

Saturday, October 9, 2021

නන්නං

 


ගේ ඉස්සරහා හරි කලබලයක්. පොඩි පොඩි කුරුල්ලන්, ලේනුන් එන කුරුලු ලෑල්ලට නීල කොබෙයියෙක් ඇවිත්. ඒකා හත් අවුරුද්දක් සාගින්දරේ හිටියා වගේ කුරුලු ලෑල්ලේ තිබ්බ පාන් ටික ගිලිනවා. පීඩිත පන්තියේ අනිත් එවුන් ඒකට දැඩි උද්ඝෝශනයක. බලවන්තයට උන්ගේ උද්ඝෝශනය ගානක්වත් ගියාද....? නෑ සහෝදරවරුනි... ඒකා පාන් ටික ඔක්කොම ගිලලා බිමට බැහැලා නන්නං ගහේ බිම වැටිලා තිබ්බ ගෙඩි වලටත් දෙතුන් පාරක් හොටෙන් ඇන්නා. රස හිතට අල්ලන්නේ නැතුව ඇති, ආපහු ඉගිල්ලිලා ගියා.


නන්නං හෝ නමිනං ලෙස ප්‍රාදේශීය වශයෙන් ව්‍යවහාරවෙන ගහේ කඳ පුරාම ගෙඩි පිරිලා. ගොඩක් ගෙඩි බිම වැටිලා. ගසේ මැද හරියේ තියන ගෙඩි පොඩියි.ඒත් පොළවට ආසන්න කඳේ මුල හරියේ ගෙඩි ලොකුයි. කෝටු කෑල්ලකින් මුල හරිය හෑරුවනම් අල්ලක් තරම්වෙන ගෙඩිත් හොයාගන්න පුලුවන්. ආ... ඒක හොයාගත්තේ චුට්ටක්කයි මමයි පොඩි කාලෙදි.චුට්ටක්කා.... චූටි මාමගේ දුව. අපේ නෑදෑ සනුහරේ ළමුන් අතරින් මගේ වයසට කිට්ටුමකෙනා. මටවඩා අවුරුද්දක් වැඩිමල්. අම්මගේ බාලම මල්ලිට සහ ලකීට දාව ඉපදුන ,අදටත් මගේ හොදම යෙහෙළිය. ලකී.... ලක්ශ්මි නමින් ඉපදුනාට චූටිමාමා කතාකලේ ලකී කියලා.ඒ ආභාශයෙන් පොඩිකාලේ ඉඳලම කකී,පකී.... ආදි නම්වලින් කතාකරලා තියනවා ඇරෙන්න කවදාවත්ම ඇයට අනිත් අය කියනවා වගේ ලකී නැන්දා කියලා කතාකරලා නෑ. අදටත් ඇය මට ලකී. 1987දී චූටිමාමා මැදපෙරදිග යනව, ලකීව සහ එයාගේ එකම දුවව අපේ නිවසේ නවත්තලා. එතකොට මට අවුරුදු තුනයි.චුට්ටක්කට හතරයි.තාත්තගේ අසනීපය, ඒ නිසාම එයාගේ ව්‍යාපාර කටයුතු බලාකියාගැනීමට අම්මට සිදුවීම වගේ දේවල්නිසා ඒ කාලේ අපේ ගෙදර තත්වය ටිකක් ව්‍යාකූලවෙන්න ඇති.ඒ පරිසරය ඇතුලේ මම වැඩිපුරම කාලය ගතකලේ චුට්ටක්කා සහ ලකී එක්ක. වත්තේ ලිඳට සමීපව තිබ්බේ නන්නං ගහ සහ ජම්බු ගසක්. චුට්ටක්කයි මමයි නන්නං කඩන්නේ අපිට නෙමෙයි. පාරෙන් එහාපැත්තේ සිල්ලරකඩයක් දාගන හිටියේ ලොකුමාමා.අම්මගේ අයියා. එයාගේ බිරිඳවුන ටෙක්ලා නැන්දා අසාමාන්‍යලෙස ඇඹුල් ආහාරවලට කැමති කෙනෙක්.අපේ නන්නං බිස්නස් එකේ අවසාන පාරිභෝගිකයා ටෙක්ලනැන්දා. නන්නං හාරන එකත් එහෙම ලේසි වැඩක් නෙමෙයි. ගහමුල සෑහෙන කඩි. ඒ කාලෙදි මම පොඩ්ඩ ඇත්තන් බෙරිකරගන්න එකෙක්. නන්නං හාරද්දි කඩියෙක් එහෙම කෑවොත් චුට්ටක්කා මාව ටිකකට අස්වස්සලා ගෙදට්ට හොරෙන් කුස්සිය ඇතුලෙන් රතුලූණු ගෙඩියක් උස්සගන එනවා. ඒක ගේද්දි මගේ ඉවසීම ඉවරවෙලා බෙරිහන් දෙන්න ඔන්න මෙන්න. චුට්ටක්කා ඉක්මනට මගේ ලඟට ඇවිත් කඩියා කාපු තැන ලූනු ගෙඩිය අතුල්ලනවා. වේදනාව සමනයවුනා හෝ නැතා, බෙහෙතක් ගෑවනේ කියන මානසිකත්වයෙන් සැනසෙන මම, ආපහු එයා එක්ක නන්නං හාරනවා. එහෙම හාරගත්තු නන්නං ගෙඩි සාක්කුවේ හරි චුට්ටක්කගේ ගවුම බොක්ක ගහලා හදාගන්න ඉඩකඩේ හරි දාගන අපි දුවන්නේ ලොකුමාමලගේ කඩේට. ඒ දවස්වල පාරේ වාහන අඩුනිසා මාවත් අතින් අල්ලගන පාර පනින්න චුට්ටක්කට අවසර තිබ්බා. ඒ නැතත් අපි පාර පයින්න ඉන්නවා කියලා දැක්කොත් ලොකුමාමා ඒ පැත්තෙන් පාර අයිනට ඇවිත් පාර දෙපැත්ත බලලා "ආ...දැන් පයින්න..." කියලා අණ දෙනවා.අපිට තියෙන්නේ ඒ අණට කීකරුවෙන්න විතරයි. ඒ ගිහින් නන්නං ගෙඩි ටික ලොකුමාමට විකුණනවා. විකුණනවා කිවුවට ඒ කීයකටද මන්දා.... අපි කොච්චර අඩුවෙන් හෝ වැඩියෙන් ගෙනිච්චත් අපේ ගාස්තුව බීමපැකට් හතරක්. මම හිතන්නේ ඒ කාලේ බීමපැකට් එකක් ශත50යි. ඒ අද ඔය රු.10ට තියන බීමපැකට් සයිස් ඒවමයි. අනික ඒ කාලේ අද වගේ නෙමෙයි. ළමයින්ට හිතුන හිතුන විදිහට ෆ්‍රිජ් එකේ දාලා තිබ්බ සීතල කෑමජාති කන්න බෑ. එහෙම වැඩිපුර කෑවමහම උන්ට හෙම්බිරිස්සාව, කැස්ස, උණ, ගලපටලේ වගේ මාරාන්තික ලෙඩ හැදෙනවා. නැත්තං එහෙම හැදෙයි කියලා අම්මලා බයවෙනවා. අම්මලගේ බයවීම කොච්චරද කියනවනම් ඒ නිසා එක්කෝ ළමයා ගුටිකනවා.නැත්තං බැණුම් අහනවා. ඒ නිසා අපි දෙන්නා කඩේ තියන හාල්,සීනි ගෝනි අතර ඇවිදිනගමන් පළවෙනි බීමපැකට් දෙක බොනවා. ඒ ඇවිදින අතරේ "ඔහේ ගියාට කමක් නෑ.... හාල් ජාති එහෙම කලවම්කරනවා නෙමෙයි....." කියලා ලොකුමාමා හීනි තර්ජන එහෙමත් දානවා.ඒ බීමපැකට් දෙක බීලා අනිත් බීමපැකට් දෙකත් අරගන අපි ආපහු ගෙදර එනවා. ගොඩක්වෙලාවට ලොකුමාමා අපිව පාර පන්නනවා.


නන්නං ගහත් එක්ක පැටලිලා වැඩපොලේ වහලේ වහගන හිටිය පැශන් ෆෘට් වැල නන්නං ගහෙන් ඈත්කරන්නම බෑ.පැශන් ෆෘට් වැල කියද්දිම ඉස්සල්ලම මතක්වෙන්නේ මිථිල අයියව.අපේ පවුල්වල පොඩි එවුනුයි අහල පහල සෙට් එකෙයි ගැන්සියට ඉඳලා හිටලා නිවාඩු කාලවලදි කොට්ටාවේ කරුණා නැන්දලගේ ගෙදර සෙට් එකත් එකතුවෙනවා.නිල්මිණි අක්කා, විශාඛා අක්කා, සුජී අක්කා, මිථිල අයියා වගේ අය. ඒ හැමෝම අපේ ගැන්සියේ කට්ටියට වඩා වැඩිමල්.ඒත් අපේ අයියලා අක්කලා එක්ක ශේප් එකේ සෙල්ලම් කරනවා. ඔය අතරින් මිථිල අයියා තමයි පිරිමි ළමයින්ගෙන් වැඩිමල්ම. මමයි චුට්ටක්කයි තමා පොඩිම. පිල් බෙදෙද්දි, අර උච්චි උච්චි තෝල් දමද්දි, කට්ටිය වටවෙලා ගඟ ළඟ සිටිනා අසරණ මේරී... වගේ ඒවා කරද්දි අපි දෙන්නව ගණන් ගන්නේ බෝංචි කියලා.ඒ කියන්නේ මෙලෝ වැඩක් නෑ කියලා.ඒත් අපිව සෙල්ලමට නොගත්තොත් අපි අඬනනිසා අපිවත් සෙල්ලමට ගන්නවා. හැංගිමුත්තන් කරද්දි අපිව දැක්කත් දැක්කේ නෑ වගේ යද්දි, ටින් කඩද්දි දෙපැත්තෙම එවුන් එකතුවෙලා ඉස්සල්ලම අපිට නොරිදෙන්න බෝලෙන් ගහලා පැත්තකට කරද්දි අපේ හිතටත් මොනවදෝ තේරුණත් අපිත් එතන ලැගගනම ඉන්නවා.


මිථිල අයියා සහ ෆැශන් ෆෘට් වැල ඔලුවට එන්නේ හැංගිමුත්තන් කරද්දි එයා හැංගෙන්නෙම ඒ ෆැශන් ෆෘට් වැලේ හින්දා. අපි කාටවත් නගින්න බැරි නන්නං ගහට නැඟලා ෆැශන් ෆෘට් වැල අස්සේ හැංගෙන මිථිල අයියව කාටවත් හොයාගන්න බෑ. හැමදාම අන්තිමට හොයාගන්නේ මිථිල අයියව. හොයාගන්නවට වඩා ඔක්කොමල්ලව හොයාගත්තට පස්සේ ඇවිත් බාරවෙනවා කිවුවොත් හරි.ඒ ඇවිල්ලා "රජීව අරහෙන් එද්දි මම හිමීන් සැරේ බිත්තියට මුවාවෙලා  බඩගාගන ගිහින් තාප්පෙට නැග්ගා..... චාමි ගහ මුලට ඇවිත් ගහේ මාව හොයද්දි මම හිටියේ බිම.පස්සේ එයා යනවත් එක්කම හොරෙන් ගහට නැග්ගා...." වගේ රම්බෝ ස්ටෝරි කියද්දි බෝංචි කරල්ටික ඒවා අහගන හිටියේ කට ඇරගන.පැශන් ගහ එක්ක තියන පරනම මතකේ මැයි දිනයක්. අවුරුද්ද අමතකවුනාට මොන්ටිසෝරි ගිය කාලයක් නෙමෙයි කියලා හොදටම මතකයි. මේ කියන දවසෙදි තාත්තත් ජීවතුන් අතර හිටිය නිසා, ඒ බොහෝවිට 88 හෝ 87 අවුරුද්දේ මැයි දිනයක් වෙන්න ඇති. ප්‍රාදේශීය සභා පැමිනෙන්න කලින් කඩුවෙල ග්‍රාමෝද්‍ය බල මණ්ඩලේ කියලා හඳුන්නවපු එකක සභාපති තාත්තා නිසා ගෙදර දේශපාලන පසුබිමක් තිබ්බා ඒ කාලේ. තාත්තා මියගියාට පස්සේ ගම් උදාවට ,දේශපාලන රැස්වීම්වලට ගහපු බැනර්, ඒ කාලේ ඔය දේශපාලන උත්සව වලට ගෙනියපු ලොරි සරසන්න යොදාගත්තු එක එක ලට්ට ලොට්ට, ග්‍රාමෝද්‍ය බල මන්ඩලේ, කාන්තා මොකක්ද සංගමේක ලෙටර් හෙඩ් වගේ ඒවා එක්ක තමයි චුට්ටක්කයි මමයි පොඩිකාලේ සෙල්ලම්කලේ.ඒත් ඔය මැයි දිනය වෙද්දි තාත්තා ජීවතුන් අතර. ඒත් එක්තැන්වෙලා. මට හොඳට මතකයි නාවලා රතුපාට ජර්සියක්, සුදුපාට සරමක් අන්දවලා ගේට්ටුකණුව ළඟ තියපු පුටුවක තාත්තව වාඩිකරලා තියනවා පෙලපාලිය බලන්න.මම හිතන්නේ ඒ කොළඹ තිබ්බ ලොකු මැයිදින රැළියට යන අතුරුගිරියේ හෝ මාලබේ කට්ටිය. ඒ පෙලපාලියට අපේ ගේ ගාවදි පැශන් ෆෘට් බීම දුන්නා.ඒ බීම හැදුවේ ඔය කියන පැශන් ෆෘට් වැලේ ගෙඩිවලින්.ඒ අය ගිහින් පැයකින් විතර පස්සේ තවත් පෙලපාලියක් ආවා. ඒ අය, අපේ ගෙදරට පෙනෙන නොපෙනෙන මානයේ තිබ්බ අරංගල විදුලිබල මණ්ඩලේ ඉදිරිපිට නවත්තලා තිබ්බ මංඩලේට අයත් ලොරියක් පෙරලුවා. ඒ පෙරලලා ටිකක් සද්දෙට ආව ඒ පෙලපාලියටත් අපේ ගෙදර අය පැශන් ෆෘට් දුන්නා. අර ඉස්සල්ලා එකෙන් ඉතුරුවෙලා තිබුණ් ඒවා වෙන්න ඇති.ඔක්කොටම ඇතිවුනාද දන්නේ නෑ, ඒත් ඒ අයත් ඒවා බීලා තාත්තටත් කතාකරලා ඒ අයගේ ගමන ආපහු ගියා.පක්ශ වෙනස්වුනත් ගමේ මිනිස්සු. ඒ අද මට හිතෙන හැටි.


ඒ පෙලපාලිය මතක්වෙද්දි සිහියට එන අනිත් මූණු දෙක, නන්දා අක්කා සහ සිරිල් අයියා..... නන්දා අක්කා අපේ තාත්තගේ පාර්ශවේ නෑදෑයෙක්වෙන  දියණියක්. ඇයගේ මව, පියා ඇය කුඩාකලම මියයනවා. පස්සේ අපේ අම්මගෙයි තාත්තගෙයි කසාදෙන් පස්සේ ඇය හැදීවැඩෙන්නේ ඒ දෙන්නා ගාව. සිරිල් අයියා අපේ ගේ හදන්න ආව බාස්ලගෙන් කෙනෙක්. ඒ දෙන්නා යාලුවුනාට පස්සේ ඒ කටයුතු හොයලා බලලා ඒ දෙන්නගේ විවාහයට මැදිහත්වෙලා තියෙන්නේ තාත්තා. දෙණියාය ප්‍රදේශයේ පදිංචිකාරයෙක් වුන සිරිල් අයියගේ ගෙදර තිබ්බ මගුල්ගෙදරට මුලු ගමම ගිහින් තිබ්බා බස් දෙකක් අරගන. ඒ ගමනේ රස මුසු කතා අම්මව බලන්න ඉඳ හිට එන හිතවතුන් තාමත් විඩෙන් විඩේ මතක්කරනවා මගේ කනටත් වැටෙනවා. එදා පෙලපාලිය බලන්න මම ආවේ නන්දක්කලගේ ගෙදර ඉඳලා. නන්දක්කලගේ ගේ කිවුවට ඒක ඩොට්ලින් නැන්දලගේ ගෙදර කැල්ලක්. නන්දක්කලා ඒකේ කුලියට හිටියේ. අපේ ගේ ඉස්සරහා පාරේ ඒ ගේ තිබ්බේ. ඒ වෙද්දි නන්දක්කලට බබාලා හිටියේ නෑ. සමහර දවස්වලට ඒ අය මාව එක්කගන යනවා ඒගොල්ලන්ගේ ගෙදර. ඒ ගෙනිහින් නාවලා, කවලා, නිදිකරවලා එහෙම ඇහැරුනාම මාව ආපහු එක්කගන එනවා. කොහොමත් ඒ කාලේ මම වැඩිපුරම හැදුනේ අපේ නැන්දලා හෝ නන්දක්කා වගේ හිතවතුන්ගේ අතේ. ගෙදර එකතැන්වුන ලෙඩෙක්ව බලාගන්න ගමන් ව්‍යාපාර කටයුතුත් හොයලා බලන්න සිද්දවුන අම්මට ඒක ලොකු අස්වැසිල්ලක් වෙන්න ඇති. පොඩිකාලේ වැඩිය දඟනැති නිශ්ෂබ්ධ විලියම් කෙනෙක්වුන මගෙන් ඒ අයටත් ලොකු වදයක් වෙන්නේ නැතුව ඇති.සිරිල් අයියට තිබ්බේ පුශ් බයිසිකලයක්. ඔය බයිසිකලේ මැද්දේ කොට්ටයක් තියලා ඒක උඩ මාව ඉන්ඳවනවා.නන්දා අක්කා පිටිපස්සේ ලගේජ් එකේ.එහෙම තමා මගේ ප්‍රවාහන කටයුතු සිද්ධවුනේ.මට හොඳට මතකයි එදා සිරිල් අයියා බයිසිකලේ මැද බාර් එකට ඒ කාලේ බයිසිකල්වලට හයිකරපු එක එක මෝස්තර තිබ්බ ඉටි කවරයක් හයිකරලා.ඒකේ යටින් ලස්සනට නූල් එල්ලෙනවා.එදා දවල්ට කවලා මාව නිදිකෙරෙවුවේ නෑ. පෙලපාලිය බලන්න එන්න ඕන නිසා.ඒත් ඒ ඉටිකවරේ උඩින් කොට්ටේ තියන්න බෑ මාව ඉන්ඳවන්න.කොට්ටේ ලිස්සනවා කවරේ නිසා. අන්තිමට එදාම හයිකරපු කවරේ සිරිල් අයියා ගලවනවා.ඒ ගලවලා කොට්ටේ උඩින් මාව ඉන්ඳවලා නන්දක්කවත් එක්කරගන අපේ ගෙදර එනවා පෙලපාලිය බලන්න. එ මිනිස්සු බයිසිකලේට වඩා මට ආදරේකලා. ඊට අවුරුදු පහ හයකට පස්සේ, මම ඉස්කෝලේ තුන වසරෙදි සිරිල් අයියට වරායේ රැකියාවක් ලැබෙනවා. ඒ වෙද්දි එයා පුතෙක් සහ දුවෙක්ගේ තාත්තා කෙනෙක්. වැඩට යන පළවෙනි දවසෙම තලාහේන අටේකණුවෙදි බස් එක පෙරලිලා පාපුවරුවේ ගිය සිරිල් අයියා සහ තවත් කෙනෙක් මියයනවා, ඒ බස් එකටම යටවෙලා.


සිරිල් අයියා හිටිය ගෙදර අයිති ඩොට්ලින් නැන්දා..... අපේ තාත්තගේ හිටපු පෙම්වතියක්.අම්මට කලින් හිටියකෙනා. කොටින්ම කිවුවොත් තාත්තගේ අවසාන පෙම්වතිය.අපේ තාත්තා අම්මව විවාහකරගත්තු නිසා ඇය අපේ අම්මා සමග අමනාපයෙන් හිටියේ. මා දැණුවත්ව අම්මා ඇය සමග අමනාපයක් නොතිබුණත් ඇය දිගින් දිගටම අම්මව මගාරිනවා. අප නිවස ඉදිරිපිට වූ බස් නැවතුම්පොළ ඇයට ආසන්නම එක වුනත්  මම කිසිදවසක ඇයව එම නැවතුම්පොලේදි දැකලා නෑ. ඇය පාවිච්චිකලේ ඇයට තරමක් දුරවූ වෙනත් නැවතුමක්.ඒත් ඇයගේ දරුවන් වූ අර්ජුන අයියත් අනුරාධා අක්කත් අපිත් සමග බොහොමත් කුලුපගව හැසිරුණා. ඇයගේ සැමියා වූ රංජිත් මාමා පවා. ඇය අම්මාත් සමග අමනාපවූවත්, පාර තොටකදි මා මුනගැසුනවිට ඇය නොකලේ මාව ලෙවකන එක විතරයි. මගේ හිස.මුහුණ අතගගා, මාව තුරුලුකරගන ,සිපගන අනේ.... ආරියදාස වගේමයි.... කියද්දි කුඩාකල මහත් ලැජ්ජාශීලි ළමයෙක්වුන මා දැඩි අපහසුතායට ලක්වූවත්, නිවිහැනහිල්ලේ අද ඒ පිළිබඳව සිතද්දි මම ඇයගෙන් දකින්නේ ජීවිතයට හමුවූ ලෙංගතුම ප්‍රේමයේ පහස හැමදාම සිතින් විඳගත් සුන්දර ගැහැණියක්ම විතරයි. මම පාසලේ එකොලහ වසරදී පමන අර්ජුන අයියා හදිස්සි අනතුරකින් ජීවිතයෙන් සමුගත්තා. ඒ පිලිබඳ වූ දුරකථන ඇමතුම ශ්‍රවණය කල ඇය කෑගසාගන පටාචාරවක මෙන් දුවගන ආවේ අපේ නිවසට. "අනේ රත්නායක..... මගේ පුතා...." යැයි දිව අවුත් අම්මාව වැළඳගන අඬන්න පටන්ගත්තා. තාත්තාව විවාහකරගත්තාට පසු ඇය මාගේ මවත් සමග කතාකල පළවෙනි දවස එයවුනා. 


මෙවර ලංකාවට පැමිනිපසු ඩොට්ලින් නැන්දාව සහ අනුරාධා අක්කව ආපහු මුණගැසුණේ අනුරාධා අක්කාගේ විවාහ ඇරයුම පිලිගන්වන්න නිවසට පැමිනි අවස්ථාවෙදි. වයසට ගොස් දුර්වලවී සිටි ඇය මාව ලඟට ගෙන පෙරසේම මගේ මූන අතගා සිපගත්තේ ආරියදාස වගේමයි.... යන සුපුරුදු වාක්‍යද සමගින්. අනුරාධා අක්කාගේ විවාහයෙන් මාස කීපයකට පසුව ඇය මියගිය ආරංචිය ලැබුනත්, කොරෝනා තත්වය නිසා ඇයගේ මරනගෙදරට සහභාගිවීමට ඉඩක් ලැබුනේ නෑ.  "දැන් ඩොට්ලින් නැන්දයි අපේ තාත්තයි එහාට වෙලා ජොලියේ ඇති.ඔයා එහෙම ඉක්මනට එහේ ගිහිල්ලා ඒ දෙන්නගේ ආතල් කඩන්න එහෙම එපා" යැයි අම්මාට කිවුවේ විහිලුවට වුනත් , ඒක එහෙම වෙනවානම් , ප්‍රේමයක් පපුවේ රඳවාගන ජීවිතකාලයක් සුරැකි ඒ සුන්දර ගැහැනියට උරුමවිය යුතුම දේ උරමවූ බවට සිතා අම්මාත් සතුටුවෙන බව මම ඉඳුරාම දන්නවා.


"අයියේ.... ඔයා එද්දි මට නමිනං ගොඩක් ගේන්න හොඳේ.... මම ඒවට පට්ට ආසයි...."


"ඔවු... මට වෙන වැඩ නෑනේ උඹට නන්නං අඳිනවා ඇරෙන්න...."


මේ දෙබස අවුරුදු ගාණකට කලින් ඇසුනක්ද, මෑතකාලීනව ඇසුවක්ද යන්න නිනවුවක් නෑ. ඒත් ආදරය සහ ගැහැනිය යන මාතෘකාවේදි ඉගනගත් වැදගත්ම පාඩම නැවත නැවත සිහිගන්වන ඒ දෙබස, කාමරයේ සිට ජනේලයෙන් නන්නං ගස දෙස බලාගන සිටි මා කාමරෙයෙන් පිටතට ගෙන නන්නං ගස පාමුලට කැඳවීමටනම් සමත්වුනා.  "ඔබ ගැහැනියකට ආදරය කරනවානම් ඇයව රැජිනක් කිරීමට උත්සාහ නොකරන්න. ඇයට ඒ මොහොතේදි අවශ්‍ය නන්නං ගෙඩියක්නම්, දිවි පරදුවට තබා හෝ හාදුවක් සමගින් එය ඇයට ලබාදෙන්න. දිනකදී ඇයට පොරොන්දු වූ සත්මහල් ප්‍රාසාධය ඇයට ලබාදිය නොහැකිවූවත්, ඔබ අද දිනයේ ලබාදුන් නන්නං ගෙඩිය සිහිකර ඇය ඔබව වැලඳගන්නවා ඇත..... එච්චරම කෙළියක් නොවුනත් කර්පට්වෙන්න බී නිවසට පැමිනීමේදි බිරිඳව ශේප්කරගැනීමට ඒ නන්නං ගෙඩිය උපකාරීවනු ඇත". 


මොලේ ඇතුලේ කැරකෙන මෙවැනි විකාර රූපි අදහස් හා මදසිනාවක් සහිතව නන්නං ගෙඩියක් කඩාගත්තා විතරයි, ගෙතුළ සිට මා අමතන ගිමාගේ හඬය.


මාමේ... බීම බොනවද....?

මොන බීමද....?

පැශන් ෆෘට්.....


ආදරය,  ගැහැනිය,  අනාගතය හෝ වෙන මොනයම් හෝ මල ඉලවුවකට වඩා පැශන් ෆෘට් කෙරෙහි වූ පෙරේතකම අතිමහත්‍. කඩාගත් නන්නං ගෙඩියත් දකුනතේ රුවාගන මා ආපසු හැරුණේ ගේ ඇතුලට යාමටයි.


කටුස්සා....


Monday, August 2, 2021

සදාකාලික ප්‍රේමයක්නම් කවද හරි අත් හැරෙනවා....

 


යන්න දෙන්නට පුලුවනැ'යි මම කවමදාවත් හිතුවෙවත් නැති
යන්න දුන්නත් යාවියැ'යි යයි හිත් අගිස්සක තිබුනෙවත් නැති
යන්න දුන් පසු හෙලන හුස්මත් මේ තරම් බර වෙතැ'යි සිතු'නැති
නුඹව නැතිකරගන්න බැරි තැන නුඹට යන්නට දුන්නා වෙන්නැති

හිතක ගැඹුරට මුල් ඇදී ගිය ආලයක්නම් නුඹම පමනකි
මට වඩා මගේ සිත කියවගත් නුඹට පදරුත් යලි අවැසි නැති

යනෙන මගතොට නුඹව නොපතමි වචන තවමත් ගොලු නිසා
මාව නොදකින මම දකින රූ සොයමි හිත ඇවිලෙන නිසා
අහම්බයකට ඉඩක් හිමි නැති දිවිය තවමත් බර නිසා
මුවඟ සිනහව ඇඳෙන මතකය වැළඳගමි එය නුඹෙ නිසා

තවම පාළුව දරනු බැරිතැන තනිව පොළවේ හිඳගමී
දකුණු උරයට දැනෙන නුඹෙ හිස මුදුව හිමිහිට සිපගමී

ප්‍රේමයට විතරක්ම ඉඩතිබුන රිදිල්ලක හීරිච්ච ලේ බිංදු පිසදමා
තරු පිරුණ අහසකට පමණක්ම උරුමවුන සැනසිල්ල බිංදුවක් තොල තබා
පමා වී පිපි පවට අහිමිවුන අයිතියක ඔප්පුවට කණ අත්සන ගසා
ඇවිදයමු දෙපැත්තට අපි තාම අපේ බව දන්න හිත් අපි ලඟම ඇති නිසා

අහස් තරු මත නුඹ සොයන්නෙමි කිළිටි මගෙ දිවි එහි හොවන්නෙමි
නුඹත් තරු මත සැනසෙනා දින මාව දකිතැ'යි බලාඉන්නෙමි


කටුස්සා... 

Saturday, February 13, 2021

ප්‍රියේ නුඹම උපනුපන් ජාති හමුවේවා....

 










ඳට හිමි නැති සඳේ සිසිලස විඳින කඩුපුල් මලක පෙති ගෙන

රැඳුන තුති පද එකින් එක ගෙන මාල අමුණා පෑව රංගන

මල නොදන්නා සඳුත්  නො'ඇසූ මන්ද්‍ර සප්තක තාල තුණුවිල

සරසවා සනහලා පුදදුන් නිබ්බුතා පද මිටයි නුඹ මට


දුරයි නුඹ මට දුරත් නෑ නුඹ හෙලන හුස්මත් ලයේ රැඳුනා

නෙතු වසා සිටි හැම නිමේශෙම අමන සිනහව නෙතේ ඇඳුනා

කිසිම දවසක මට නොපෙන්වූ කඳුලු බර උර පාත්කෙරුනා

මලක මල්පෙති නොවේ ඇට මස් ලේ නහර දෙවුදුවක් මැවුනා


හිස තබාගමි නුඹ උකුල මත දෙතොල් බණ්ඩියේ සිරකරන්

ඉනවටේ අත මවන හීගඬු අතර පිපි තරු රූ මවන්

මුවග වෙවුලන දෙතොල් ගොලුකර ලයේ රිද්මය සමකරන්

දල්වගනු මැන නුඹේ නෙත් නුඹ නෙතින් මට මම පෙනෙනකන්


කටුස්සා.... 


Sunday, January 17, 2021

සත්තයි නුඹ ඇවිදින් සෙවනැල්ලක් සේ....

 











සුසුම් නැති සිනා ඇති ලස්සනම මතකයක

හෙවනැල්ල මත වැතිර නුඹ මැවුන ඉසිඹුවක

පපුව මත නුඹ හිසේ උණුසුම'ම සෙවු දිනක

සමහරක් රැය ගෙවුනා ගෙවුන හැටි දන්නැතුව


අවදිවෙමි නුඹ සොයමි පියාගමි නෙතු නැවත

සිහිකරමි වැළඳගමි හිස සිඹිමි හැමවරක

ලංනොවී ළඟ ඉන්න ඉගැන්වූ පාඩමක

තිත් කොමා යලි ගනිමි වැරදි තැන ලකුණුකල


වළාවකි'යැයි සිතූ නුඹ සෙනෙහේ වැළඳගන

මුරණ්ඩුම ඇස් ඇතුලේ ජීවිතය සරසගන

සිනහ පිරි උවනතේ මිහිර යලි මවාගන

ගිලෙමි මම උඹ තුලම අහිමි මා හොයාගන


ආදරෙත් මහමෙරක් කියා දැනෙනා දිනක

සත්තමයි.... නතරවෙමි හිස තියන් උකුළ මත


කටුස්සා....

Friday, January 8, 2021

අපි හැමෝම තකතීරුවෝ....

 






ඈත ඉතිහාසය-


ට්‍රීං....ට්‍රීං.....


හලෝ....කවුද මේ මහ රෑ....


මචං මේ මම....


කවුද #ත්තෝ මම කියන්නේ.... නමක් නැද්ද උඹට... 


මම මචෝ... ඩොනා...ඩොනා....


මොන ඩොනාද.... බුද්ධිකා මෑණියන්ගේ කොට්ටෝරුවද?


නෑ...නෑ බං.... ඩොනල්ඩ්... උඹේ රටේ ජනා මචෝ....


අම්මට.... ඩොනල්ඩ් ස.... මොකෝ මේ මහ රෑ හදිස්සියෙන්.... පණිවිඩයක් තිබ්බනම් මම ගන්නවනේ ස.... හිහ්...හිහ්...හිහ්...


අනේ පලෑන් යකෝ යන්න.... උඹ අර චිං චොං එක්ක මල් කඩ කඩ මාව අමතකමකලා.... මම බලාගන හිටියේ පහුගිය දවස්වල උඹට දවස මාරුවුනත් චිං චොං සුබපත පතා උඹට ට්විට් කරනහැටි....


ඒවා ඉතින් මේ කොරෝනා කාලේ ජාමේ රැකගන්න කරන ඒවනේ ඩොනල්ඩ් ස.... යන එන මං නැතුව ඉද්දි මට කන්න බොන්න දුන්නතැන මම අමතකකරනවද ලේසියෙන්.... ස්විට් ලෑන්ඩ් ඔෆ් ලිබර්ටිනේ ස.... හිහ්... හිහ්...හිහ්...


මම දන්නේ නැද්ද ඒවා.... ඒකනේ උඹ පුතාව චීනේ නොයවා අපේ රටේම තියන්නේ....


ඒකනේ ස...හිහ්...හිහ්..හිහ්.... ඉතින් ස... මොකෝ මේ මහ රෑ හදිස්සියෙන් කෝල්කලේ....


මේ පාර මට කෙළවෙන ලයින් එකක් තියෙන්නේ මචෝ....


ඒ කිවුවේ ස.... ස ආපහු මාට්ටුවුනාද.... මෙලනියා මැඩම් ආපහු ලෙඩේ අදිනවද.... 


ඒ ගෑනි කවද්ද බං ලෙඩ ඇද්දේ නැත්තේ.... පුරුදුවෙන්න කරන දෙයක්ද ඒක.... අනික මම අර එලියන්තයගේ ගුලි බොන්න ගත්තට පස්සේ මෙලනියා පූස් පැටියා වගේ බං.... 


ඒහෙනම් ස....


මේ පාර අපේ බයි හැත්ත අනිත් පැත්ත ගහලාවගේ බං.... ඡන්දේ කොට උඩ....


අම්මට සිරි.... ඡන්දේ කිට්ටුවෙද්දි ඔය හංදිවල තියන සුරුවම් දෙක තුනකට ගලක් දෙකක් ගහලා ගොඩදාගන්න බැරිවෙයිඩ ස....


නෙදකින්.... යකෝ මේක ඇමරිකාව....


එහෙනම් ස සිරියාවට මිසයිල දෙක තුනක් පතබාවමු.... නැත්තන් වොශිංටන් හන්දියෙන් බෝම්බයක් හොයාගමු....


හරියන්නේ නෑ බං.... ඒවාවලින් ගොඩදාගන්න බැරිවෙයි මේ පාර.... ගහපු පදේකුත් නෑ... බෙරේ පලුවකුත් නෑ වගේ සීන් එකක්නේ බං මටවුනේ. අනික මේ රෙද්දේ කොරෝනා ඇවිත් කෑවනේ මාව....


ඕවා මහ ජරා රටවල් ස.... එකට කෑවත් ඕකේ උන්ගේ බොක්ක වෙනස්.අපිත් ඔය ස ලගේ රටේ සිටිසන් ගත්තට පැට්‍රල් ශෙඩ් එකක හරි රස්සාවක් කරනගන ඉන්නවා ඇරෙන්න ඡන්දේ ඉල්ලන්න යන්නේ නැත්තේ ඒකනේ..... පැනගන ගියාට මේවා තමයි රටවල් ස.... රත්තරං මිනිස්සු. පිං කරන්න ඕන මෙහෙම රටක ඉපදෙන්න. හිහ්...හිහ්...හිහ්....


ඒ මතක්වෙලා තමයි බං මම උඹට කෝල් එක ගත්තේ....


ඒ කිවුවේ ස....


මම මෙහෙන් පරාදවුනොත් උඹට බැරිවෙයිද මට ඔහෙන් ඡන්දේ ඉල්ලන්න චාන්ස් එකක් අරගන දෙන්න....  මේවත් නිකන් වහ කෑවා වගේ වැඩ මචෝ.... බලේ නැතිවුනොත් මෙලනියත් පයින්ගහයි යකෝ මට.


අයියෝ ස.... කලින් කියන්න එපැයි.... සිම්පල් වැඩක්නේ.... ඔය සල්ලි ටිකක් එහෙමෙහේ කලාම ඕවා නතින් මෙහේ. ස බයනොවී ඉන්න. මම ස ට ඒක කරලා දෙන්නම්. හිහ්.... හිහ්.... හිහ්....


සිරාවට.... උඹලැයි මහජනයගෙන් අවුලක් වෙනඑකක් නැද්ද මචෝ මම ඔහෙන් ඡන්දේ ඉල්ලුවොත්...


ස ත් මගුලක් කතාකරනවා. අම්මගේ රෙද්ද තියන්න උන්ගෙම සල්ලිවලින් කෞතුකාගාර හදපු මාවත් උන් ජනාධිපතිකලේ පෝලිමේ ඇවිත්. සමහරඑවුන් පිටරටවල්වල ඉඳලා අතින් සල්ලි වියදම්කරගන ආවේ මට ඡන්දේ දෙන්න. හිහ්...හිහ්....හිහ්....


අම්මපා කියහං..... උන්නම් මිනිස්සු වෙන්න බෑ.... එහෙම මිනිස්සු ගැන මට අදහගන්නවත් බෑ මචෝ....


ඕවට මෙහේ කියන්නේ මිනිස්සුන්ගේ ජන විඥානයට ආමන්ත්‍රණය කරනවා කියලා. ස ලා කොහේද ඕවා දන්නේ.... ස සතපහකට බයවෙන්න එපා. මම ස ට වැඩේ කරලා දෙන්නම්කෝ.... හිහ්... හිහ්... හිහ්...


මට අඩුම ප්‍රයිම් මිනිස්ටර් ලයින් එකවත් ගහගන්න පුලුවන්වෙයිද මචෝ.... යන වියදම් මම බලාගන්නම්....


ඔන්න ඕකනේ ස කෙලත් ඉල්ලනවා කියන්නේ.... ස ඇමරිකාවේ නෙමෙයි, මොන මගුලේ ජනාවුනත් මෙහේ ආවට පස්සේ ඇමතිකමෙන් උඩනම් යන්න හදන්න එපා. මෙහේ අගමැතිකම් , ජනාධිපතිකම් යන්නේ එක පරම්පරාවකට විතරයි. ඒ නිසා ස ඇමතිකමක් අරගන පාඩුවේ ආතල් එකේ ඉන්න.මම ස ට හොද මිනිස්ට්‍රියක් දෙන්නම් සැපේ ඉන්න.....


ඒකත් එහෙමද.... මගේ වෙලාව. මොනාකරන්නද.... පරාදවුනාට පස්සේ මෙහේටවෙලා ඉන්නවට වඩා හොඳයි ඇමතිකමක් අරගන ඔහේ සැපේ ඉන්න එක.


අන්න ස ටත් තේරුණා.... ස දැන් නිදාගන්නකෝ ඕවා හිතන්නේ නැතුව. මම බලාගන්නම් ඉතුරුටික. හිහ්... හිහ්... හිහ්....


අනේ තැන්ක්ස් මචෝ.... මේ දවස් ටිකේම හරියට නින්දක් නෑ. අදනම් දෙයියනේ කියලා ජිඟිරි බිරිස් එකක් දාලම නිදියන්න පුලුවන්. රොම්බ තෑන්ක්ස් දොරේ උඹට.... ගුඩ් නයිට් කිවුවා එහෙනම්....


ගුඩ් නයිට් ස....හිහ්... හිහ්...හිහ්...


මෑත ඉතිහාසය-


හලෝ....


හලෝ මචෝ.... උඹ වැඩේ කිවුවා වගේම කලා නේද.... උඹනම් මතු බුදුවෙන්න ඕන පොරක් මචෝ....


මම එදා ස ට කිවුවනේ මම වැඩේ කරලාදෙන්නම් කියලා. ස නේ බොරුවට බයවුනේ.... හිහ්...හිහ්...හිහ්...


ඒ වුනාට අන්තිම වෙලාවේ අර උපවාසකරලා ලෙමන් පෆ් කාපුඑකා දුන්න වොයිස් කට් ටිකට්නම් මම බයවෙලා හිටියේ උඹට තුනෙන් දෙක හදාගන්න බැරිවෙයි කියලා.....


ස ත් මගුලක්නේ කතාකරන්නේ.... ස දන්නේ නෑ තාම මගේ හැටි.මගේ එකෙක් දම්මලා  උගේ හක්කට එකයි දුන්නේ.... ඌ එලියට ඇවිත් කියනවා මගේ ඉල්ලීමට සංවේදිවුනාලු..... හිහ්...හිහ්...හිහ්...


අම්මටසිරි.... උඹ අර උඹලගේ බතික් පොර ලවුවා අංගම්පොර ශොට් එකක්ද දුන්නේ....


මොන අංගම්පොරද ස ඌට ගහන්න.... මේ ටෙලි දෙක තුනක් රඟපාලා ඡන්දේ ඉල්ලලා ෆුල් හන්ටර් වෙලා හිටිය නලු බට්ටෙක් ලවුවා ගැස්සුවේ.... ඌට විතරයි ගැහුවේ.... අනිත් එවුන් දෙන්නත් සංවේදිවුනා.... හිහ්...හිහ්...හිහ්...


මටනම් හිතාගන්නවත් බෑ මචෝ.... ඒකනෙමෙයි.... මට මගේ සෙකට්‍රියා කිවුවා ලංකාවෙන් ඡන්දේ ඉල්ලනවනම් කුරුණෑගලුන් හරි ගම්පහෙන් හරි ඉල්ලන්න කියලා. ඇයි ඒ....


ආ... ඒ දෙකේ තමා අපේ හොදම බුවාලා ඉන්නේ. ඕන මී හරකෙක් ඔය සීට්දෙකෙන් ඉල්ලුවොත් ඌ දිනනවා. ඒ තරම් හරක්ට ආසයි එහේ මිනිස්සු. ඒත් ස බයවෙන්න එපා. මට තාම මතකයි ස ඡන්දේ දින්නම මෙහේ එවුන් බුකියේ දාපු පෝස්ට්. ජාතික චින්තනය ජයග්‍රාහනය කල ට්‍රම්ප්පච්චි..... අම්මගේ රෙද්ද.... ඒ නිසා ස බය නැතුව එන්න. මෙහේ කොහෙන් ඉල්ලුවත් ස දිනනවා. හිහ්...හිහ්...හිහ්...


අම්මපා කියහන්.... උඹලැයි එවුන් එහෙමත් කිවුවද.... මට මෙහේ එකෙක්වත් ඔහොම කියලා නෑනේ බං....


ඒකනේ ස මම එදත් කිවුවේ. ඔහේ කොහෙද හරක්.... දැන් කොහොමද ස ඡන්ද වැඩ එහෙම....


අනේ මන්දා මචෝ.... මටනම් හිතෙන්නෙම කෙලවෙයි කියලා....


ම්ම්ම්.... ස අනික්පැත්තේ හිටියනම් පල්ලි දෙක තුනක බෝම්බ පිපෙරෙවුවනම් ස ගොඩ. ඒත් දැන් බෑ. දැන් පිපිරෙවුවොත් ස හිරේ.මහ කාලකන්ණි රටකනේ ස ඉන්නේ. ස ට තිබ්බා ඡන්දෙට කලින් අනුරාධපුරේ එන්න 


ඒ මොකටද.... අර උඹලගේ රුවන්වැලිසෑයේ ප්‍රාර්ථනා ගලට යන්නද...


අම්මගේ රෙද්ද.... අපේ බුද්ධිකා මෑණියෝ හම්බවෙන්න.දැන් කමක් නෑ. මම ස ට මෑණියන්ගෙන් ඉල්ලගන රතු නූලක් එවන්නම්කෝ ඡන්දෙට කලින්


අනේ පිංසිද්දවෙයි මචෝ.... එහෙනම් මම පොඩ්ඩක් කෑම්පේන් එකේ වැඩ බලලා එන්නම්


හරි...හරි ස. මමත් යනවා විජේරාම හංදියට රෝල්ස් එකක් කාලා ප්ලේන්ටියක් බොන්න.බායි....


ඊයේ රෑ-


හෙලෝ.... ඩොනාද ඔය කතාකරන්නේ....


ඔවු මචෝ... ඩොනා තමයි. අනේ මාව බේරගනින් මචෝ. මට දැන් උඹේ පිහිට විතරයි....


අප්පට රබන් ගහනවද යකෝ තෝ.... බලපන්...අපේ එවුනුත් ජනේලේ එල්ලුනා. මරලා හරි ගන්න තිබ්බේ කියලා කිවුවා. පාර්ලිමේන්තුවේ නිදාගත්තා. හැබැයි තෝ වගේ පජාතවුනේ නෑ.නෙදකින් නාකියා.... නැට්ටේ ඉඳලා ගොම....


මුලු රටම මට බනිනවා.... උඹත් කතාකරන විදිහ වෙනස්වෙලා. වෙනදාවගේ නෙමෙයි.... මනුස්සයෙක් අසරණවෙලා ඉද්දි ඔහොම කතාකරන්න එපා මචෝ....


අනේ මේ... තෝ දැන් පරාදයි නාකියා. දැන් මමයි උඹේ ස. උඹ මගේ ඇමති. පුලුවන් ඉක්මනට උඹේ බිස්නස් ටිකත් අරගන මෙහේවරෙන්


ඒත් එයාපෝට් වහලනේ....


ආ...ඒක මම බලාගන්නම්. උඹ ඔහෙන් යුක්‍රේන්වලට පලයන්. එහේ තියනවා අපේ ඒජන්සියක්. උන් උඹව ලංකාවට අරගන එයි. ඒ ඇවිල්ලා ටිකදවසක් ඉඳලා උඹ කුරුණෑගල සම්පකාර ඡන්දෙට ඉල්ලපන්. ඉතුරුටික මම බලාගන්නම්. තේරුනාද?


හරි ස....



කටුස්සා....


Sunday, December 27, 2020

හිනා අමතකව ගිය මට හීනයක්ද තාමත් ඔබ....

 

තරු වැරූ අහසක්‍ ය
අමාවක අඳුරක් ය
කලක මෙහි තිබු සඳත් නෙක තරු
අහස හා අමනාපයක් ය

සඳ මඩල ශේෂයන් 
මවන නෙතු මිරිගුවකි
දකුණු කුරුසියේ හොවා
ඇන ගැසූ හදවතකි
තරඟයට නිමි නිමී
සුවසෙවූ තරු නොමැති
අහස මැද මොනවාට
මවනවද අකුණු එළි

වැහි බිංදු වැටෙද්දිත්
පොළව දෙස බලාගන
ලෙංගතුම සැමරුමක 
මතකයන් දරාගන
ලඟ නොයිඳ ලඟ රැඳුන
හුස්ම පොද දරාගන
වරෙන් අපි පියාඹමු
තරු රටා හොයාගන

ඉස්සරත් මහ ගොඩක් තරු රටා තිබුනාට
මම බැලුවේ උඹෙ නෙතයි මගෙ පාර අවුලුවන


කටුස්සා....

Wednesday, October 28, 2020

මට සවි නොමැත ඔබ මා ගිය පසු එන්න....

 


සොඳුරිය....

අවැසිය කියන්නට ලංවී

තුරුලුකරගන....

උරහිසට දැනෙනා නුඹ හිසේ උණුසුම

විඳිමින්ම....

නුඹ තවත් අසානැති

නොකී කතා දහසක්

හිත තුලම ගොලුවගිය


තරු පිරුණ අහස ගැන

විල පිපුන ඕලු මල

පිච්චමල් කැකුළියට

සෙමින් කෙඳිරූ රහස....


ගලන දිය පහර යට

මතුවෙනා පෙණ බුබුල

මැද නටපු දණ්ඩියකු

සිනාසුන හැටි මත්ව....


අතු පතර විහිද ගිය

නා ගසක දලු අතර

නුඹේ මුව මැවුන හැටි

හති වැටුන නෙත් කොනක....


කඳුයාය අතර සුව

වැසුන සෙවනැලි පිසින

හමාගිය නල රැළක

මට දැණුන නුඹ සුවඳ....


කෝපි මල් සිනා මැද

ගතු කියන සඳ එළිය

විටින් විට අසන හැටි

නුඹ දුන්න ආදරය....


සොඳුරිය....

අවැසිය කියන්නට ලංවී

සැනසිල්ලේ....


ආත්මය නිදහස් බව....


වල් වැදුන සොහොන මත

මතක බිඳු නොමැති බව....


සැහැල්ලුව විඳිමින්ම

නුඹව මම සොයන බව

එනතුරා දිනක නුඹ

මගබලා හිඳින වග....


එබෙන්ට නුඹ නෙතට

කියන්නට වරුවක්ම

මෙතෙක් කල් හිත පිරුන

කතා ඇති පොදිගැහුන....


හදිසියක් නැත සොඳුර

හිමින් පැමිනෙන්න නුඹ

එනතුරා දිනක හෙට

හැකිය මට ඉවසන්න....



කටුස්සා....










Wednesday, September 23, 2020

ඔබෙන් නෙත් ලැබූවේ හේමන්තකාලේ....

 



ආදරය කිසිදිනක

මියයන්නේ නැත සොඳුර....


මියයන්න ප්‍රේමයක් 

තිබුනේ නැති සිත් ඇතුලේ

වැලපෙන්න අතීතයේ

ඉසිඹුවක් නැති කතරේ

නුඹද මා.... මමද නුඹ....

හුස්මගත් ජීවිතයේ

තිබුනේ නුඹේ ප්‍රේමයයි

සිනාමල් වැටි අතරේ....


නුඹෙන් ලද.... මගෙන් ලද....

සැනසීම සිහිකරන්

හිත්මත්තේ පොදි ගැහුන

ආදරය ගුලිකරන්

ඇවිදයමු සීරුවට

නැවත මුනගැසෙනකන්


අයිතිනම් දිනක එය අපේ මේ කතාවට

උරහිසත් මගබලයි නුඹ හිසේ උණුසුමට


කඳු නිම්න තැනිතලා

ගලාගිය නදීතෙර

පැවසුවේ ප්‍රේමයද

විමසනා නෙත් අතැ'ර

ශේශ කඳු මුදුනතක

පිපි කරඹ රේණුවක

රැඳුනු පෙම සිපගනිමු

නුඹ නැවත එනදිනක


ආදරය කිසිදිනක

මියයන්නේ නැත සොඳුර....


මතකයක දිවිගෙවන ජීවිතය උරුමනම්

හුස්මගමු මතකයේ සුවඳපොද ඉවකරන්


ආදරය කිසිදිනක

මියයන්නේ නැත සොඳුර....

සැනසීම විතරක්ම

තිබුන තැන එයමකොට....



කටුස්සා....




Sunday, August 9, 2020

හෙලන වැහිකැට ගණිනු හැකිනම් ආදරෙයි එපමනකි මං....

 


රැයත් හරියට නුඹ වගේමයි....

සුවහසක් දිදුලණා තරුකැට

ගලන දොල දිය නගන සර හඬ

විඳින්නට හැකි සිත් පුරා

බැඳෙන්නට හැකි දිවිතුරා

රැයත් හරියට නුඹ වගේමයි....


සඳත් හරියට නුඹ වගේමයි....

දුරින් හිඳ ලොව එකලු කරවන

විටින් විට මට පෙනී නොපෙනෙන

නොදකිනා දින හඬවනා

තනිවෙනා සිත සනසනා

සඳත් හරියට නුඹ වගේමයි....


සිතත් හරියට නුඹ වගේමයි....

එක තැනක නොනවතින සිතුවිළි

හැරනොයා තනි මකන සෙවනැළි

මතක පොත පිටු පුරවනා

සරන හැම තැන හිනහෙනා

සිතත් හරියට නුඹ වෙගේමයි....



කටුස්සා....

Wednesday, July 8, 2020

සඳ ඉතින් මම ගිහින් එන්නද නොකියාම කිසිවක්..



පාවෙන්න හීනයක.... 
මේ නුඹේ යාමයයි
විඳගන්න...සැනසෙන්න...
හෝරාව පැමිණ ඇත

දයාබරය....
නොසොයන්න.... නොබලන්න....
මතක යනු පෙන බුබුලුමැ'යි
ජීවිතය ඇත්තේම
තවත් ගවුවක දුරින්මැ'යි

"නිස්කාරන තුවාල ඇත්තේ කාටද...
රතු ඇස් ඇත්තේ කාටද....
මුද්‍රික පානය ලඟ පමාවන්නන්ටය"

දයාබරය... 
හිත අරන් දියකරමු
පා ලකුනු මැකෙන්නට
උරුවිසිත් බලාගන...  
පිරෙනතෙක් ඔය හිතත්
ආයෙමත්
සිහිගන්න.... යලි යලිත්....
"ජීවිතය තිබ්බේම මතක ඇතුලේ වුනත්
මතක යනු පෙන බුබුලුමැ'යි
ජීවිතයට අයිති නැති...."

උරුවිසිය....
පුරවන්න ඔය බඳුන
පියවි සිහි අවැසි නැත
සැනසෙන්න.... විඳගන්න....
ජීවිතය
මතක යනු දුහුවිලිය
සිහින් පොද වැස්සටත්
පොලවටම දියවයන....

දයාබරය....
පාවෙන්න හීනයක
මේ නුඹේ යාමයයි
විඳගන්න...සැනසෙන්න....
ඉතිරිකර
නුඹ මුවග සිනාබිඳ....

කටුස්සා....

Sunday, June 21, 2020

සඳ හෙමින් බැස යන්න....



ලිහී ගිලිහුණ කෙස් රොදක්
පපුව මත්තේ රැඳි දිනක්
දෑස් තුල මගෙ රුව සොයද්දී
නෙතට නෙත දුටු ඉසිඹුවක්

ආදරේ කියලා කියන්නෙම
උහුලගනු බැරි මතකයක්....

ඇඟිලි තුඩු මත උණුහුමක්
දැනෙන නිදි නැති දිගු රැයක්
ඉවරයක් නැති කතා ගොන්නක
මගහැරුන එක කොම්බුවක්

ආදරේ කියලා කියන්නෙම
දරාගනු බැරි හිස්කමක්....

අනන්තෙට යන සිනහවක්
හීන කන්දක අලු ගොඩක්
කුරුටු කොල මලු ගණන් පුරවන
සිනා කඳුලැලි උල්පතක්

ආදරේ කියලා කියන්නෙම
අපිට අපි හමුවුන තැනක්....


කටුස්සා....

Sunday, April 19, 2020

අහසනම් දුරයි... සඳ නේන වග සැබැයි...


හිතවතිය....
මේ තමයි ඒ නිවන
ආදරය වැඩිපුරම ගුලිගැසුන නවාතැන

තුරුල්වී විඳගත්ත....
හිනා කන්දක පලමු පස්පිඩ
නොදැනීම නෙත තෙමුව....
කඳුලු උල්පත මැවුව කෙම්බිම

හැමතැනම....
ආදරය විතරක්ම විසිරිච්ච අපේ තැන

මායාව හිතදරා.... 
ඡායාව නෙත අස්සේ හංගලා
වෑයමෙන්..   
ලෝකෙටම හිනහිලා ඇතිවෙලා

සැනසුමම විතරක්ම
මට දුන්න එකම තැන

පෙරවදන් පසුවදන් අයිතිනැති කතාවක
මියෙන්නට අවැසිමුත්....
පුරුද්දට හුස්මගත් ආත්මය එපාවෙන
නිමේශය....

සැරිසරන්නෙමි සුවඳ සොය සොය
නුඹ තැබූ පා ලකුණු ඉවකර


මියගිහින් බොහෝකල් 
ජීවිතය....
අවසාන සිනාපොද
සොයන්නම් මම දිනක 
මෙතනදිම....
මට මාව අහිමිකල
දම්පාට ඇස්තුලම
සැනසීම....


කටුස්සා....

Monday, April 6, 2020

සඳක් හොරෙන් මම අරන් ආවවග ඔවුන් දකීවිද රාත්‍රීයේ....


ඇය සීතලම සීතල හිමකැටියකි. හැඟීම් සමුදායක් එක්තැන් වී සෑදුන සුපිරිසිදු හිම කැටයකි. ආදරය යන සංකල්පය මේ විශ්වයමත පහලවූවේ කෙදිනකද, එහි මුල් බීජානුවේ රැඳීතිබුන උත්තරීතරත්වය එලසින්ම සඟවා තබාගන උණුසුම් පපුවක් මත්තේ දියවයාමට බලාසිටිනාවූ හිමකැටකයකි. පපුව මත්තේ දියවයන මොහොතේත්, අනන්තවූ කාලයක් පුරාවට තම තුරුල්ලෙහිම සුරැකිව තබාගත් ආදරය බිඳෙන් බිඳ උණුසුම් පපුව අභ්‍යන්තරයේ පණ ගැහෙන හදවතට කාන්දු කරවීමට බලාසිටිනා , ඒ ආදරයෙන් පණගැහුනාවූ හදවතෙහි රිද්මයට සවන් යොමුකරවමින්ම මියයාමට බලාසිටින්නාවූ හිම කැටයකි. කෙටියෙන්ම පැවසුවහොත් හිම කැටකයක ඇති උසුලාගත නොහැකි සීතල පරදා ශිශිර නිද්‍රාවේ පසුවන මනුශ්‍ය ආත්මයකට උණුසුම ලබාදී නිදිගැටපියා හැරලීමට සමත් උණුසුමක් ලබාදීමට සමත් හිමකැටයකි.

ඇයි ඔයා හෙවනැල්ලටත් ගැස්සෙන්නේ...?

මම මටම ගැස්සෙන කාලෙකුත් තිබ්බා. ඒත් දැන් ඒක ටිකක් අඩුවෙලා.... මොකද හිනාවෙන්නේ....මම දැන් හිනායන දෙයක්ද කිවුවේ...?

හිනාගියා ඉතින්.... හෙවනැල්ලටත් ගැස්සෙනවා කියන්නේ බය අඩුවෙලා කියලද ඔයා හිතන්නේ....?

මම බය නෑ... කවුද කියන්නේ මම බයයි කියලා....? බය මිනිස්සු හෙවනැල්ලත් එක්ක ජීවත්වෙන්නේ නෑ....

තමන්ට බයනොවී හෙවනැල්ලට බයවෙනවා කියන්නේ බය නැති කමටද....?

තමන්ටත් බයවෙවී හිටපු කෙනෙක් දැන් තමන්ට බයනෑ කියන එකම ඒ මනුස්සයගේ දියුණුවක් නෙමෙයිද?

ජීවිතය කියන්නේ හුස්මගන්න එක විතරක්නම්.... ඔවු... ඒක දියුණුවක්.

හුස්ම ගන්නවා ඇරෙන්න වෙන මොනවද අපි මේ ජීවිතේ පුරාවට කරලා තියෙන්නේ...?

ආදරේ කරලා තියනවා....

ඒත් ආදරේ කියන්නේ ජීවත්වෙන්න අත්‍යවශ්‍ය සාධකයක් නෙමෙයිනේ. හුස්ම අත්‍යවශ්‍ය දෙයක්.

ආදරේ නැතුව ජීවත්වෙන්න පුලුවන්ද...?

...............................

ඇයි උත්තර නොදෙන්නේ....?

කල්පනාකලා...... ඔවු.... දැන් පුලුවන්.... ආදරේ නැතුව ජීවත්වෙන්න දැන් මට පුලුවන්.

ජීවිතේ සිද්දවුන සිද්දනොවියයුතු සමහරදේවල් නිසා මුලු ජීවිතකාලයම ආදරය විඳවන්න ඕනෙද?

එහෙමත් නෑ. ඒත් ඒ දේවල් මේ ජීවිතයට බලෙන් දන්නවන්න බෑ. ඒ දේවල් දැනෙන්න ඕන ඉබේමයි. ඒ දේවල් දැනෙන්න ඕන හදවතටමයි. අන්න එදාට මගේ හිතේ ආදරය විඳවන එකක් නෑ.... මොනවද අහන්න ගිහින් ගිලගත්තේ....?

මුකුත් නෑ....

අහනවා මෝඩයෝ.... මෙතන අපි දෙන්නගේ සේෆ් සෝන් එකනේ. අපි දෙන්නට හංඟන්න , රකින්න දෙයක් මෙතන නෑනේ....

මුකුත් නෑ ඉතින්....

ඔයාට බොරු කියන්න බෑ.... මම කියන්නද අහන්න ගියේ මොකද්ද කියලා....

ආ... දැන් හිත් කියවන්නත් දන්නවද....?

හැම හිතක්ම නෙමෙයි..... ඔයාව හිතට දැනෙනවා. ඇත්තටම දැනෙනවා. ඒත් අපි දෙන්නම දන්නවා ඔයාව අයිති මට නෙමෙයි කියලා. 

ආදරයට අයිතියක් ඕනෙමද...?

අයිතිකරගන ආදරයකරන, අයිතිකරගන්න හිතාගන ආදරයකරන සීමාව අපි දෙන්නම පහුකරගන ඇවිල්ලා කියලා අපි දෙන්නම දන්නවා පැට්ටෝ...

මම මේ ලෝකේ වැඩියෙන්ම ආදරේකරන ගෑනි කවමදාවත් කටින් නොකීවට මටත් ඒ විදිහටම ආදරේ කරනවා කියලා දැනෙද්දි දැනෙන හැඟීම උඹට මවාගන්න පුලුවන්ද....?  මොකද හිනාවෙන්නේ අමන බැල්ලි....?

ඔයාට අමතකවෙනවා....

මොනවද...?

දවසක් ඔයාම කිවුවා මාව පෙන්නලා, ඔය ඔතන ඉන්නේ මගේ ජීවිතේ ඉතුරු කෑල්ල කියලා....

ඒක මම හැමදාටම කියයි.... 

ඉතින් ඒක එහෙමනම් අරවගේ ප්‍රශ්නයක් අහන්න ඕනද මගෙන්....

ජීවිතේ නැලවෙන්න, සැනහෙන්න ආසමතැන අත පොවනමානේ තියාගන හූල්ලද්දි අහන්න ඕන මොනවද නැත්තේ මොනවද කියන එක අමතකවෙනවා බට්ටි...

ඔයා මේ ජීවිතයට මහාගොඩාරියක් ලෝභවෙනගමන් මාවත් ලෝභකරවනවා

ජීවිතේට දැනෙන දේවල් ඇයි අපි බැරියර් දාගන නවත්තගන ඉන්නේ....?

ඒ දේවල් උහුලගන යන්න පුලුවන් දුර හරි සීමිතනිසා අයියේ

උඹේ කටින් පිටවෙන එකම එක වචනෙකට පුලුවන් ඒ දුර අනන්තය දක්වාම දික්කරන්න. ඒ බව ඔයා හොදටෝම දන්නවා

අපි පොඩිකාලේ වැහි බිංදුවට තේරවිල්ලක් ඉගනගත්තා. අහසට දිග නූල.... ඒත් ලොකුවෙද්දි අපි තේරුම්ගන්නවා වැහි බිංදුව කියන්නේ අහසට බරවැඩිවෙලා අහසින් අතෑරපු දෙයක් කියලා. මේ ආදරෙත් එහෙමයි පැට්ටෝ.  මේ ආදරෙත් එක්ක ඔයාට මට එකට යන්න පුලුවන් දුර හරි සීමිතයි. ඇත්තම කිවුවොත් මේ ආදරය අපි දෙන්නව හොයාගන්නේ අන්න ඒ සීමිත දුරේ අපි දෙන්නා අතරමංවුනාට පස්සේ .ඉතින් අතරමංවුන ජීවිතයක් කොහොමද තවත් ඒ වගේම අතරමංවුන ජීවිතේකට පාර කියන්නේ?

ඔයා ප්‍රශ්නේ මගාරින්නේ මහ පාදඩ විදිහට

ඇයි එහෙම කියන්නේ....?

ඔයත් හොදටම දන්නවා, මමත් දන්නවා, මේ අතරමංවුන ජීවිත දෙකටම සැනසීම තියෙන්නේ කොතනද කියලා. වෙලාතියෙන්නේ ඔයා බයවෙලා ඉන්නේ. ඔයා බයවෙලා තියෙන්නේ ඔයාටමයි. හෙන නපුරු ලෝකේ පෙරලන්න තරම් හයියයි කියලා හැමෝටම පෙන්නගන ඉන්න ඔයා මෙතනදි ඔයාටම බයවෙලා. ඔයාම දන්නවා මෙතන්ට ඕන ඔයාගේ එකම එක වචනයක් විතරයි කියන එක. ඒ වචනෙට මේ ලෝකෙම පෙරලන්න පුලුවන් එකෙක් එහාපැත්තේ ඉන්නේ කියන එකත් ඔයාදන්නවා. ඔයා සැකකරන්නේ එහා පැත්තේ ඉන්න එකාව නෙමෙයි. ඔයාවමයි. ඒ සැකේ නිසාම ඉස්සරහට තියන්න ඉස්සෙන්න දඟලන කකුල ඔයා අත්දෙකෙන්ම පොලවට තදකරගන ඉන්නවා සෑහෙන ආයාසයකින්. එතන ඉන්නේ මම දැක්ක , තේරුම්ගත්තු බට්ටි නෙමෙයි. ආදරය කියන්නේ කැපකිරීමක්, දීමක් විතරමයි කියලා හිතට බලෙන් කොටලා පොවන්න හදන ලෝකේ ඉන්න නපුරුම ගෑණි

ඉතින් ඒක එහෙම නෙමෙයිද?

මොකද්ද?

ආදරය කියන්නේ බලෙන් අල්ලගන ඉන්නේ නැතුව යන්න දෙන එක නෙමෙයිද?

ආදරේ කියන්නේ ඒක වෙන්න ඇති. ඒත් ඒකේ තේරුම ඒ ආදරේට ගුලිවෙලා ඉන්න පෙරුම්පුරන එකාව පලයන් කියලා එලවන එක නෙමෙයි

එහෙම පෙරුම්පුරන එකා දැනගන්න ඕන නේද ඌව අයිති මෙතන්ට නෙමෙයි, ඒ ජීවිතේ වෙන කෙනෙකුට බාරදීලා ඉවරවුන එකක් කියලා

ඔවු.ඒ ජීවිතේ එහෙම බාරදීලා තිබුනා. ඒ ඔයාව හම්බවෙන්න කලින්. අහම්බයක්වුන මේ හමුවීම ඇතුලේ ජීවිතේ තියෙන්නේ මෙතනයි කියලා තේරුම්ගත්තටත් පස්සේ මම තවත් මට අයිතිනැති තැනක මුලුජීවිත කාලයටම ජීවත්වෙන්න හිතහදාගන්න ඕනද...?  මේ ලෝකේ එහෙම ජීවත්වෙන මිනිස්සු ඕනතරම් ඉන්නවා කියලා මම දන්නවා. ඒත් ඇයි මමත් එහෙම ජීවත්වෙලා මුලු ජීවිතකාලෙම විඳවන්න ඕන?  මේ ලෝකේ ඉන්න නපුරුම නපුරු අමන බැල්ලියෙක්ගේ මරිමෝඩ තීරනයක් නිසා ඒකියි මමයි දෙන්නම මුලු ජීවිතේම විඳවන්න ඕනද?

ඔයාට එහෙම වෙන්න එයා ඉඩදෙන්නේ නෑ. එයා ඔයාට සෑහෙන ආදරෙයි. ඔයාගේ හිතේ සතුට වෙනුවෙන් එයාට ඕනම දෙයක් කරන්න පුලුවන් කියලා එයා පෙන්නලා තියන ගෑනියෙක්. ඉතින් කොහොමද එයා එක්ක ඉද්දි ඔයා විඳවන්නේ.... කවදාවත්ම විඳවන්න වෙන්නේ නෑ ඔයාට

මම ඒ ආදරේට මුකුත් කියන්නේ නෑ. ඒ ආදරේ එහෙමයි.මම ඒක පිළිගන්නවා. ඒත් මේක ඊටවඩා විකාරයි. මම සෑහෙන තිබහකින් එද්දි මට හම්බවෙනවා සීතල වතුර තියන පොකුනක්. පොකුන අයිනෙම වතුර පුරෝපු ගුරුලේත්තුවකුයි කෝප්පෙකුයි. හෙම්බත්වෙලා ආව මම පොකුනට මූන ඔබාගන වතුර බීගන බීගන යනවා වෙනුවට ගුරුලේත්තුවෙන් කෝප්පෙකට වතුරදාගන සීරුවට බොනවා. ඇත්තටම ඒක විකාරයි.

ඒත් ඒක ලස්සනයි පැට්ටෝ....  පොකුනගාව දනගහගන ඇඳුම්වල මඩගාගන ,වතුර පෙරාගන බොනවට වඩා හිමින් සැරේ වතුරබොන එක පිළිවලය

ඒත් ඇයි.... මොකක් නිසාද මම එහෙම කරන්න ඕන....?

ඒකට තමයි ජීවිතේ පිලිවෙල කියලා කියන්නේ. ඔයා ශිශ්ඨසම්පන්න මනුස්සයෙක් කියලා අනිත් අය පිලිගන්නේ එහෙමකලොත්.... 

මගේ ජීවිතේ තියෙන්නේ ඔය කියන අපිලිවෙල ඇතුලෙමනම්..... මම මොන එහෙකටද මගේ ජීවිතේ අමතකකරලා මවාගත්තු එකෙක්ව එතන්ට බලෙන් ඔබ්බවගන්නේ. එතකොට ඒ ජීවිතේට අසාධාරනයක් කරන්නේ ඔයාද.... මමද.... අපි දෙන්නමද....

අයියා පැට්ටෝ.... අහන්නකෝ.... අපි මේ ජීවිතේ ගෙවාගන දුරයද්දි සමහරවෙලාවට අපිට තුන්මං හංදි, හතරමං හංදි විතරක් නෙමෙයි හම්බවෙන්නේ.... කිසිම තෝරාගැනීමක් නැතිව කිලෝමීටර් සියගානක් තනිකෙලින් ඉද්දගැහුවාවගේ යන්න සිද්දවෙන තැන් තියනවා. ඒක මටවඩා ඔයා දන්නවා පැට්ටෝ.... ඉතින් එහෙමතැන් මගාරින්න අපිට කිසිම අවස්තාවක් මේ ජීවිතය දීලානෑ. අපිට හංදියක් හම්බවෙනකම්ම ඒ සම්පූර්න දුර ගෙවාගන යන්න සිද්දවෙනවා නේද අයියේ....?ඒ කාලසීමාවේ අපිට ඔප්ශන් නෑ. අපි ඇවිදගනම ඒ සම්පූර්න දුර ගෙවන්න ඕනේ...

මනුස්සයෙක් කිලෝමීටර් සියගානක් නෙමෙයි, දහස්ගානක් තනියම කාන්තාරයක් මැද්දෙන් වැටිලාතිබුන පාරක ඇවිදගන එනවා. ඒ මුලු දුරේදිම ඒ මනුස්සයට ඔප්ශන් තිබ්බේ නෑ.  පුදුම ආයාසයකින් ඒ මනුස්සයා හංදියකට ඇවිල්ලා. එක පැත්තකට හැරුනොත් ක්ශේම භූමියක්. අනිත් පැත්තට හැරුනොත් තවත් ඒ වගේම කිලෝමීටර් දහස්ගානක ඉද්දගැහුවාවගේ පාරක්. ඒත් ඒ මනුස්සයට ක්ශේමභූමිය තෝරගන්න දෙන්නේ නෑ. ඒකට ඉඩනොදෙන්නේ වෙන කවුරුවත් නෙමෙයි. ඒ මනුස්සයගේ සතුටම බලාපොරොත්තුවන කෙනෙක්. ඒ මනුස්සයට හිනාවෙන්න කියලාදෙන කෙනෙක්. ඒ මනුස්සයගේ ජීවිතේ අමතකවෙලා තිබුන හැම සතුටකටම ඒ මනුස්සයව අතින් අල්ලගන එක්කගන යනකෙනෙක්. ඒක හරිම අසාධාරනයි බට්ටි....

ඒක අසාධාරන නෑ අයියේ.... සමහර තැන්වලදි ,සමහර කාලවලදි ක්ශේමභූමියට වඩා කාන්තාරේ හොදවෙනවා....

 හිතට විරුද්ධව ඔහොම කතාකරන්න එපා බට්ටි.... ඔයා මෙහෙම හැසිරෙන්නේ ඒ නිසා නෙමෙයි කියලා ඔයා දන්නවා. ඔතන තියෙන්නේ ඔයා ඔයාට බයවීම. අර ඉස්සල්ලා කිවුවාවගේ ඔයා බයයි මාව ලංකරගත්තාම ඒකෙන් මට නරකක්වෙයි කියලා. ඒ වගේම ඔයාට හැමදාම වෙන්න ඕන පරමාදර්ශී ප්‍රේමවන්තියගේ චරිතේ ඔයාගෙන් ඈත්වෙයි කියලා... මට මීටවඩා මේක ඔයාට තේරුම්කරන්න බෑ බට්ටියෝ... කවමදාවත් ඔයාට කිසිම බලපෑමක් නොකරන මට මෙතනදි ඔයාට බලපෑම් කරන්නත් බෑ... ඒත් ඔයාගේ තීරනය මේකමනම් අපි දෙන්නා හිත හදාගමු ඒයි.. .

මොනාටද අපි හිතහදාගන්නේ....?

දෙතනකට වෙලා හූල්ලන්න.....

එයා ඔයාට හූල්ලන්න ඉඩ දෙන්නේ නෑ කවමදාවත්.....මොකද හිනාවෙන්නේ....?

මුකුත් නෑ.ඔයාට අමතකවෙලා.... ඔයා හූල්ලපු එකම තැනකවත් මම හිනාවෙලා නෑ කියන එක....

අයියේ.....

මෙතනින් මෙහෙම ඉඳගන්නකෝ බට්ටියෝ... අහන්නකෝ... ජීවිතේ කියන්නේ මොකද්ද කියන එක මට ඔයාට ඇඟිල්ලෙන් ඇන ඇන කියල දෙන්න ඕන නෑ. ඔයා ඒක හොදටම දන්න , හොදටම අත්විඳින, අත්විඳලා තියන කෙනෙක්. එහෙම කෙනෙක්ට ජීවිතේ කියන්නේ මේකයි කියලා අමුතුවෙන් කියලාදෙන්න ඕනකමක් නෑනේ දරුවෝ...

ඒත් එකම එක දෙයක් ඔලුවේ තියාගන්න පුතේ.... මිනිස්සු තමන්ගේ ජීවිතේ කැපකිරීම් කරනවා. කරන්න ඕන. ජීවත්වෙනවා කියන්නේ ගස් ගල්වගේ ඔහේ ජීවත්වෙන එක නෙමෙයි. ඒත් ජීවිතේ සම්බන්ධ දෙයක්ගැන තීරණගනිද්දි  ඔයිටවඩා චුට්ටක් හිතන්න බට්ටි. මේ කතාවේ හැම අකුරකම, හැම හුස්මකම තියෙන්නේ අපි දෙන්නගේ ජීවිතේ

කොහෙන්ද ආවේ......

සුරංගනාවියක්ව බලාගන්න.... ජීවිතේ වගේ

මෝඩ කෙල්ලෙක්ට ඒකි සුරංගනාවක් කියල විශ්වාස කරවන්න.ඒකි ව සතුටින් පුරවන්න

තමන් සුරංගනාවියෙක් කියලා දන්නේ නැති එකියෙක්ට ඒක කියලා දීලා ඒකිව පරිස්සම්කරගන්න.හැමෝටම සතුටදෙන සුරංගනාවියන්ට අමතකවෙනවා තමන්ගේ සතුට හොයාගන්න. ඉතින් ඒ අය උදේ ඉඳලම කරන්නේ අනිත් මිනිස්සුන්ට සතුට කියන්නේ මොකද්ද කියලා තේරුම්කරලා දෙන එක. පෙන්නන එක.ඔහොම එකදිගට වැඩකරද්දි ඒ අයට මහන්සි හැදෙනවා. අන්න ඒ මහන්සිය නිමලා සුරංගනාවියන්ගේ හිත් සතුටින් පුරවන්න දෙවිගොල්ලෝ වැඩකට නැති රස්තියාදුකාරයන්ට බාරදෙනවා, එකෙක්ට එක සුරංගනාවිගානේ....

ඔයා එයා එක්ක යන දවස වෙනකම් මෙතන හරි පරිස්සම් අයියේ

මම ඔයාට කිසිම දෙයක් කියන්නේ නෑ. තව කියන්න දෙයක් මට ඉතුරුවෙලා නෑ. ඔයාගේ කැමත්තට හැමදෙයක්ම සිද්දවෙයි

මම නැති දවසක අද මේ මොහොත මතක්වෙයිද....?

උඹ නිසාම වෙන කා එක්ක හිටියත්, උඹ නිසාම ජීවිතකාලෙම ජීවත්වෙන්නේ උඹ එක්ක. ඉතින් තප්පරේකටවත් අමතකවෙන එකක් නැතිවෙයි.

අදට යන්න වෙලාව හරි අයියේ...අපි යමු. යන්න ඉස්සල්ලා බඩ්ඩක් කියන්නද...

කියන්න....

ඔයාව නැතිවෙයි කියලා මහා ලෝභකමක් හිතට ආවා, වෙන කවමදාකවත් ආපු නැති තරමේ එකක්. ඒත් නැවතිල්ලේ හිතද්දි ඔයාව කවමදාවත් මට නැතිවෙන්නේ නෑ අයියේ. ඔයා ඉන්නේ අයියේ මගේ හිතේ. මේ ලෝකේ තියන රස...ම බ්ලුබෙරි අයිස්ක්‍රීම් එකවගේ. එතනින් ඔයාව අයින්කරන්න ඔයාටවත් බෑ. ඉතින් කොහොමද ඔයාව මට නැතිවෙන්නේ.... ඔයා හැමදාම මෙතන ඉන්නවා.

අවලම් බැල්ලි.... මම ජීවිතේ ප්‍රාතිහාර්‍ය විශ්වාසකරන්නේ නෑ. ඒත් මෙතනදි.... ඔවු... මම ඒක විශ්වාසකරනවා. කොයිවෙලාවක හරි ඔය හිත වෙනස්වෙයි කියලා මම බලාගන ඉන්නවා.අන්තිම තප්පරේ වෙනකම් මගේ හිතේ බලාපොරොත්තුව නැතිකරගන්නේ නෑ මම මේ කතාවෙදි. හරියට පැන්ඩෝරගේ මහ එකා වගේ....

අපි යමු මෝඩයෝ.... අදට මේ ඇති.... ඉතුරුටික වෙන දවසක...

හරි... වෙනදවසක... අපිට තව කල්තියනවා ගොඩක්. ඒ නිසා නිදහසේ කතාකරමු. 

නරියා.... පරිස්සමෙන් අයියේ...

ඔයත්...පරිස්සමෙන්....


කටුස්සා....














Sunday, March 1, 2020

මගේ අරුම පෙම් අංගනා....



උඹ දැකපු හීනවල
හැමදාම උඹ හිටියේ 
තනියෙන්ම....
හුළඟ, තරු, හඳ
මුහුදු රළ හඬ
උන් නුඹේ තනි මැකුවා
නුඹ උන්ගේ තනි මැකුවා
නිහඬවම

මම දැකපු හීනවල
හිටියේම උඹ එක්ක
බලාගන....
තරු දිලෙන නුඹ දෙනෙත
සිසි සිනා පිරි උවන
මම උඹේ තනි මැකුවා
උඹ උන්ගේ තනි මැකුවා
නිහඬවම

හිතවතිය....

දෙවුර පටලන් සිනාසෙන්නට
සවන පුරවා අසා ඉන්නට
පෙරුම්පිරු හදවතක්...
දකුනු උරයට මදක් පසුපස
හුස්ම දැනෙනා නොදැනෙනා දුර
හැමදිනම තප්පරෙම
රැඳීහුන්වග නොදන්නා නුඹ

උඹ දකින හීනවල
තවම නුඹ ඉන්නේම
තනියෙන්ම....
මම දකින හීනවල
දැනුත් මම ඉන්නේම
උඹ එක්ක...
හිතුනොතින් දකින්නට
හීනයම මා එක්ක
ඉඩතියන් මගේ ලඟම


කටුස්සා....