Wednesday, October 28, 2020

මට සවි නොමැත ඔබ මා ගිය පසු එන්න....

 


සොඳුරිය....

අවැසිය කියන්නට ලංවී

තුරුලුකරගන....

උරහිසට දැනෙනා නුඹ හිසේ උණුසුම

විඳිමින්ම....

නුඹ තවත් අසානැති

නොකී කතා දහසක්

හිත තුලම ගොලුවගිය


තරු පිරුණ අහස ගැන

විල පිපුන ඕලු මල

පිච්චමල් කැකුළියට

සෙමින් කෙඳිරූ රහස....


ගලන දිය පහර යට

මතුවෙනා පෙණ බුබුල

මැද නටපු දණ්ඩියකු

සිනාසුන හැටි මත්ව....


අතු පතර විහිද ගිය

නා ගසක දලු අතර

නුඹේ මුව මැවුන හැටි

හති වැටුන නෙත් කොනක....


කඳුයාය අතර සුව

වැසුන සෙවනැලි පිසින

හමාගිය නල රැළක

මට දැණුන නුඹ සුවඳ....


කෝපි මල් සිනා මැද

ගතු කියන සඳ එළිය

විටින් විට අසන හැටි

නුඹ දුන්න ආදරය....


සොඳුරිය....

අවැසිය කියන්නට ලංවී

සැනසිල්ලේ....


ආත්මය නිදහස් බව....


වල් වැදුන සොහොන මත

මතක බිඳු නොමැති බව....


සැහැල්ලුව විඳිමින්ම

නුඹව මම සොයන බව

එනතුරා දිනක නුඹ

මගබලා හිඳින වග....


එබෙන්ට නුඹ නෙතට

කියන්නට වරුවක්ම

මෙතෙක් කල් හිත පිරුන

කතා ඇති පොදිගැහුන....


හදිසියක් නැත සොඳුර

හිමින් පැමිනෙන්න නුඹ

එනතුරා දිනක හෙට

හැකිය මට ඉවසන්න....



කටුස්සා....










4 comments: