Wednesday, July 29, 2015

මංජුල ලක්මාල් කන්දේවිදාන සහෝදරයාට....



දුරක් ආ මුත් පතා නුඹ සිත හමුනොවුන බව කෙම්බිමක්
මටවඩා නුඹ දනියි ඒ බව කියන්නේ නෑ වෙන යමක්
රන්මලක් ලෙස දකින මුත් අද කටු අතර නිදි කුමරියක්
අතීතය දුර වැඩියි අප හට ඉතිරිවුනෙ ඇයි මතකයක්

දුටුවදා සිට ලංව ඉන්නට ගෙතුවමුත් එක කවි පෙළක්
පද එකින් එක ගෙන ගයන්නට තිබුනෙ නෑ එහි අරුමයක්
අපේ මතකය ගිනි ගොඩක්වුන තැනදි ඔබ ගැයු පද පෙළක්
අකීකරු සිත සමග සිරකර සැඟවුවා මම සිහිනයක්

කාත් කවුරුත් නොමැති මා හට නුඹේ බැල්මද රසවිතක්
බැල්මකින් හෝ නොකල වරදට ණයයි දිවිමග හැම පැයක්
නොබිඳ සිල්පද සුරැකි අප පෙම මගේ දිවියට මහමෙරක්
නමක් සොයනව තවම තනියම කිමිද මතකයේ හැම ඉමක්

කටුස්සා....



කවියට එච්චර ඇළුම් නොකරන මගේ හිතට කවියක් කිවුවහම එක පාරටම මතක්වෙන කවි දෙකක් තිබුනා.මොන හේතුවකටද මන්දා ඒ කවි දෙකට මගේ හිත ගොඩක් ඇළුම් කරන්නවා.ඒකෙන් එකක්වුනේ මුහුණු පොත හරහා දුටුව "රුවන් බන්දුජීව" මාහතාගේ මේ කවියයි.



අනික රවීන් සහෝදරයා ලියන  "මොන්ටිසෝරිය" බ්ලොග් අඩවියේ දුටුව ...දුකක් නැහැ ඉතින් මට පල්ලමේ මම හිටිය... කියන කවිපංතිය.

ඊයේ පෙරෙදා දවසක ඒ කවි දෙකට තව කවියක් එකතුවුනා.ඒ අපි හැමෝම දන්න මංජුල ලක්මාල් කන්දේවිදානෙ සහෝදරයාගේ (ඔවු ඔවු...අපේ අටමගේ තමා ) "අටම්පහුර" බ්ලොග් අඩවියේ පලවුන "හදවතක් නැති ලොවට නොහැගෙන නමක් නැති ලෙන්ගතුකමක්"කියන කවියයි.අටම් ස්ටයිල් එකට අනූව කිසිම මටසිළුටුකමක් නැතුව ලියවුන ඒ කවියට හිත ගොඩක් ඇදිලාගියා.ඒකගෙන් අහන්නත් හදලා ආපහු මොන මගුලකටද කියලා හිතුන නිසා අනවසරයෙන්ම ඒ කවියට උත්තර බැන්දා.අටමගෙ කවියට අලඟු තියන්න බැරිවුනත් ටිකක් හරි හොඳයි කියලා හිතුන නිසා ඒක මෙතන්ට දානවා.අටමෝ....සමාවියන්,උඹේ කවියට අනර්ථයක් උනානම්.

Sunday, July 26, 2015

ඔබට මා මටද ඔබ හමුවුනෝතින් සිනාසෙමු අතීතෙට යම් දිනක අප දෙදෙන...සෙනෙහසින්



පාළු අහසට එබුන සවසක
දුටිමි තරුවක් බෝ දුරින්
සරා පුරසඳ වළා අතරෙක
දකින්නට නෑ තව වරම්
තනිව පැතුමක් සිහින ලෝකෙක
කොපුල් සැලිලා සීතලෙන්
පුරුදු කඳුලක සිසිල දැනුනා
වෙන්ව ගියදා හද විලෙන්

එක්ව වෙන්වුන සුසුම් නිම්නෙක
හඬන මසිතට බෝ දුකින්
වෙනස්වී ඇත ලොවේ දස අත
පැතුම් නෑ අද පෙර තරම්
ඔබේ සුවඳට අදුරෙ ඉකිලන
මා බලන්නට එක සිතින්
ඇවිත් නෑවිත් හාත්පස සිට
දොඩන්නේ නෑ තව ඉතින්

විහඟ හඬ නෑ හරිත තුරුයට
රැහැයි පළඟැටි හඬ තරම්
ලංව තනිවුන සවන් අද්දර
ඉපිද මැරි මැරි පැතු පැතුම්
නොඑන ඔබ ගැන බලන් උන්නට
දුන්න දඬුවම් මදි තරම්
උරුම දුකමද මගේ ලෝකෙට
තිබුන සතුටත් හොරු අරන්


නොඑන බව අමතකයි හැම දින
ඔබ දකින්නට එක සිතින්
පාවි ඉගිලී එන්න මැදියම
ඉඩක් දෙනවද ඔබ ලගින්
තුරුළුවී පෙම් හැඟුම් මවනට
එදා වාගෙම සීතලෙන්
දුකයි පාළුයි අනේ හැමතැන
ඔයා නැතිවම මගෙ ලඟින්

කටුස්සා....




කටුස්සා බ්ලොගක් ලියනවග කටුස්සාගේ සැබෑ ලෝකයේ සමීපතමයන් කිසිවෙක් දන්නේ නෑ.ඒ නිසාම කාටවත් කියන්න තරම් විශේෂත්වයකුත් නැති මේ බ්ලොග් කෙරුවාවේ මේ තුලින්ම හමුවූ මිත්‍රයන් මිසක සැබෑලොව මිත්‍රයන් කිසිවකුගෙන් හොඳක් හෝ නරකක් කිසිදිනක අසාත් නෑ.පාසල්සමය කියන්නේ කටුස්සාගේ අපල කාලයක්.10 වසර අග භාගයේ සිට මනමාල විසේ හැදුන කටුස්සා මුළු පාසල් කාලය පුරාම ගැහැනු ළමුන් 9 දෙනෙකුගෙන් පමණ ආදර සම්බන්දතාවකට මුලපුරමුදැයි ඇහුවත් පාසල් කාලය පුරා ඇතිකරගන තිබූ මැර කීර්තිනාමය නිසාම ඒ එක පිංවතියෙක්වත් කටුස්සාගේ පෙම්වතිය වීමට කැමත්තක් දැක්වූවේ නෑ.ඔය 9 දෙනාගෙන් කෙනෙක්වුනේ කටුස්සා ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ පාසලේ යුවතියක්.එම පාසලෙන් ඉවත්වූ පසුව ටියුශන් පන්තියකදී යලිත් හමුවුන ඇයත් සමග සමීප සම්බන්ධතාවකට මුලපිරුනේ කටුස්සාගේ පොත් කියවීමේ පිස්සුව නිසාමයි.මම වගේම පොත් පිස්සියෙක්වුන ඇයත් සමග මුලදී පොත් හුවමාරු කරගත්තේ මිත්‍රත්වයට වූවත් පසුකාලීනව එසේකලේ පැණි පෙරීමේ යටිඅරමුණ සිතේ දරාගනමයි.එම පාසලේ ක්‍රීඩා උළෙල පවත්වන දිනක කටුස්සාගේ තවත් මිත්‍රයන් දෙදෙනෙකු සමග එහි ගියේ ඇයව දකින්න තිබුන උවමනාවටමයි.ආදී ශිෂ්‍යකු වීම නිසාම එයට වැඩි බාධාවක් උනේත් නෑ.එහෙත් එහිදී දුටුවේ සිත මන්මත්කරවන දසුනක්.ශිෂ්‍යත්වය සමත්ව 6 වසරේදී වෙනත් පාසලකට යනතෙක්ම කටුස්සාට පාසලේ සිටි හොඳම මිතුරා ඇය පසුපසින් ගොස් ආදරය අයදින අන්දමයි.අන්න ඉතින් එතනදී කටුස්සාගේ පිංවත් සිතුවිළි අවදිවෙලා "තෝ ඌත් එක්කම පල'යැයි සිතින් සිතා නැවතත් ඇයදෙස නොබලන්නේම'යි සිතාගත්තා.ඉතින් ඒ ආදරයත් එහෙම හුළඟේ ගහගන ගියත් ඇයව ටියුශන් පන්තියේදී හමුවීම නතරවුනේ නෑ.මිත්‍රත්වයත් පෙර පරීදීම තිබුනා.පොතුත් හුවමාරු කරගත්තා.ඇයගේත් මාගේ හිටපු හොඳම මිත්‍රයාගේත් ආදර සම්බන්ධය ගොඩාක් ශක්තිමත්ව ගලාගන ගියා.දෙදෙනාම මගේ මුහුණු පොතෙත් හිටියා.

දැනට අවුරුදු දෙකකට පමණ පෙර දිනකදී ඇයත් සමග මූහුණු පොත ඔස්සේ කතාබස් කරමින් සිටිනවිට දැනගන්න ලැබුනේ ඔවුන් දෙදෙනාගේ සම්බන්ධය බිඳීගොස් ඇතිබවත් හේතුවවූවේ ඔහුගේ හඳහනේ අඟහරු නොසිටිය යුතු 7කොටුවේ සිටීමත් නිසා බවයි.කටුස්සාගේ ආදර කතාවත් ඒ වෙනකොට බිඳීගොස් අවසන්.එහෙත් නැවතත් ඇයගැන කිසිම හැඟීමක් ඇතිවෙන්න ඉඩක් තිබුනේ නැත්තේ කටුස්සාගේත් අඟහරුවා ඔය කියන ස්ථානයේම සිටීම නිසයි.හඳහන් හෝ එවැනි කිසිම දෙයක්ගැන කිසිඳු තැකීමක්නැති පවුලක ඉපදුනත් අවුරුදු 6ක් තිස්සේ ගලාගන ගිය ඇගේ ආදරයත් කෙලවරවුනේ ඇය හා ඇගේ පවුල ඒවා පිලිගන්නා නිසායැයි තේරුම්ගත් කටුස්සා නිහඬව සිටීමට තීරණය කලා.දැනට මාස 7-8කට පෙර ඇයත් සමග කතාකරන විට ඇයට නව පෙම්වතෙක් හමුවී ඇතිබවත් නුදුරේදීම ඔහු හා විවාහවන බවත් ඇය මා සමගින් පැවසුවා.එදින මා මේ සියළු විස්තර ඇයත් සමගින් පැවසුවා.


"ඒ කාලේ ඔයාගේ හිතේ මංගැන අදහසක් තිබුනා කියලා මම දැනගන හිටියා.එහෙම මගෙන් ඇහුවනම් මම කැමති වෙන්නත් තිබුනා.ඒත් ඒක කවදාවත් මට කිවුවේ නෑනේ.ඔය අතරේ තමයි .....මගෙන් ඇහුවේ.එදා ඔයා අපේ ඉස්කෝලෙට ආපු දවසේ තමයි මම එයාට කැමත්ත දුන්නේ......
ඔයා ආපහු මගෙන් එහෙම ඇහුවේ නැති එකත් හොඳයි.එහෙම ඇහුවනම් තවත් ප්‍රශ්න ගොඩක් විතරයි දෙන්නටම......."

ඇය පසුගිය මැයි මාසයේදී විවාහවුනා.විවාහයට ආරාධනා කර තිබුනත් යාමටනම් නොහැකිවුනා.අර කලින් ලියලා තිබුන "නුඹලගේ සෙනේහේ හුණු නැති බුලත්විට වගේ" පෝස්ට් එකට අදාලවුන කවි මට එවුවෙත් ඇයමයි.


දිනක් අපි කතා කරමින් සිටියදී
"දැන් පොත් කියවන්නේ නැද්ද...?"
"කියවනවා...ඒත් ඉස්සර තරම් නෑ.වෙලාවක් නැතිනිසා...ඒත් දැන් බ්ලොග් කියවන්නනම් ඇබ්බැහිවෙලා...."
"බ්ලොග්....?ඒ මොනවද බ්ලොග් කියන්නේ....?"
ඉතින් එදා ඔය කතාව කෙලවරවුනේ තවත් එක අහිංසක මනුස්සයෙක්ව මේ බ්ලොග් කියවීමට ඇබ්බැහි කරවලා මාතලන්ගේ සිංඩියේ ලින්ක් එකත් යවලා.ඒත් මම බ්ලොග් ලියනවා කියලනම් කිවුවේ නෑ.
තවත් දිනකදී...


"අර කටුසු හදවත ලියන්නේ ඔයා නේද...?"
"මම...?බ්ලොග් ලියන්න...හීනෙන් තමයි..."
"ඉතින් මටනේ බොරු කියන්නේ...අර මම එවපු කවි දෙකත් දාලා එකක් ලියලා තිබුනා...."
අන්තිමේදී ඒක පිළිඅරගන කාටවත් මේගැන  නොකියා කටවහගන ඉන්න ඇයව පොරොන්දුකරගන්න මට පුළුවන්වුනා.මේ පසුගිය සතියේ බ්‍රහස්පතින්දා ඇය හා මා අතර හුවමාරුවූ පනිවුඩ කීපයක්.


"ඇයි ඔයා බ්ලොග් ලියන්න කලින් කවි ලිවුවේ නෑ කියලා බොරු කියලා තිබුනේ?"
"කොහේදීද...?"
"අර කුරුටු ගෑ ගී පවුරේ දාලා තිබුන ඔයාගේ කවියේදී"
"ඉතින් ඇත්තනේ"
"නෑ.ඔයා ලියලා තියනවා.මගේ ලඟ තියනවා ඔයාගේ පොතක්.ඒකේ ලියලා තියනවා."
"මම...?වෙන්න බෑ.ඒකාලේ කවි කියන්නේ මොකද්ද කියලවත් මම දන්නේ නෑ"
"ඒක ඔයාගේ.ඒ කාලේ මට පොත් දෙනකොට ඒවගේ එක එක ඉංග්‍රීසි සිංදුකෑලි ලියල තමයි මට දෙන්නේ.ඒත් ....එක්ක යාළුවුනාට පස්සේ ඒවා ලිවුවේ නෑ.ඒත් මේකේ ලියල තියනවා.මම ඔයාගේ අකුරු අදුරනවනේ"
"මොකද්ද පොත?විලාසිනියකගේ ප්‍රේමයද?"
"නෑ...සුද්දිලාගේ කතාව.විහිළු නෙමෙයි.ඔයා ලියලා තියනවා.අමාවැස්ස කියල ජයකොඩි සෙනවිරත්නගේ පොතක්"
"තමුසේ මහ හරි හොරෙක්.මගේ පොතක් දැන් අවුරුදු 10ක් තිස්සේ හොරෙන් තියාගන.හරි කමක් නෑ.ඒ කවිය එවන්නකෝ මට බලන්න."
"ඒක මගේ ලඟ තිබුන නිසා තමයි මෙහෙමවත් තිබුනේ.නැත්තන් ඉතින් ඒකේ කෑලිවත් නෑ.අද එවන්න බෑ.මම හෙට එවන්නම්."

ඔය උඩින් තියෙන්නේ ඇය එවපු ඒ කවිය.මේක ලියලා තියෙන්නේ 2002.11.23.ඇය නිවැරදිනම් මේක තමයි කටුස්සා ජීවිතයේ ලියපු පළවෙනි කවිය.

Thursday, July 16, 2015

තාමරෛකුළම් මැද පිපුණු හෘදයාංගම නෙළුම් කැකුළු.. Inside out of 'Journey to Thalawakele' by Katussa

"ජීවිතේ කියන්නේ මොකද්ද සර්....?"
එදා මීරියබැද්ද නාය යාමේදී තම පවුලේ සාමාජිකයන් අහිමිවූ තරුණයෙක් මාධ්‍යවේදී කැමරාවක් ඉදිරිපිටදී ඇසූ ප්‍රශ්නයට මාගේ හිත ගොඩක් සංවේදී වුනා.එදා ඔහු එම ප්‍රශ්ණය අසනවිට තෙත්වුන දෙනෙතෙන් රූපවාහිනිය නැරඹූ අයුරු මට තාමත් මතකයි.ඒ ප්‍රශ්නයම මටත් අහන්න වෙයි කියලා එදා මට නිකමටවත් හිතුනේ නෑ.
"ජීවිතය කියන්නේ මොකද්ද බං...?"
නෙළුම් යාය විසින් තලවකැලේ බලා ගිය නෑගමන අවසානයේ හිතට නැගුන එම
ප්‍රශ්නය මම උඹලා ඉස්සරහා අතාරිනවා.හැබැයි ඒ උඹලාගෙන් උත්තර බලාපොරොත්තුවෙන්නම් නෙමෙයි.උඹලාගෙන් මනුස්සකම බලාපොරොත්තුවෙන්.
අවසාන මොහොත දක්වාම නොයනවායි කියා තීරණය කරතිබූ එම නෑගමනට සහභාගීවුවේ  කමියාගේ දැඩි පෙරෙත්තය නිසාමයි.ඒත් ඒ ගමන අවසානවූවේ එම ගමනට සහභාගීවීම හොඳද නරකද කියලා සිතාගන්න බැරි සිතුවිල්ලක මාගේ සිත අතරමංකරමින්.ගොඩගම හංදියෙන් බස් රථයට ගොඩවුනේ "තවත් එක් ට්‍රිප් එකක්" යනවා කියන සිතුවිල්ලෙන්.නොයෙක් විහිළු කතා,අල්ලාප සල්ලාපයෙන් දෙසවන් පිනවමින් ,මෙතෙක් හමුවී නොතිබූ අයවළුන් හදුනාගනිමින් ,හිමාශිට කෑම වෙලාව මතක් කර කර වදදෙමින් බස් රථයේ ඩ්‍රයිවර් අයියාගේ දක්ශකම නිසාම පයින් ඇවිදින්න තිබුන දුර ගොඩක් අඩුකරගන පලනි විසින් නවාතැන් සපයාතිබූ ස්ථානය අසලටම වාගේ බස් රථයෙන්ම යන්න අපිට පුළුවන්වුනා.එම නිවසට යනවිට කට්ටියම හිටියේ හොඳ බඩගින්නේ.පුටුවලට වාරුවෙලා නිවසේ තිබූ රූපවාහිණියට ඇස් අලෝගන ක්‍රිකට් තරඟය බැළුවේ පලනි ඇතුළු කණ්ඩායම කොයි වෙලාවි බත් පිගාන ගෙනත් දේවිදැයි නොයිවසිල්ලෙන්.ඒත් බත් පිගාන වෙනුවට පලනි ගෙනාවේ අසුබ ආරංචියක්.
"කෑම තව ටිකක් පරක්කුයි...එතකම් අපි අර ඉස්කෝලෙට ගිහින් එමුද...?"
හිටිය ඔක්කොගෙම වාගේ මූණූ රොටිය වගේ වුනා.(හැබැයි 
හිමාශිගේ මූණනම් වෙනස් වුනේ නැතුව ඇති.ඒකාට ආමාශයක් උප්පත්තියෙන්ම පිහිටා නැති බව කෑමවේල් 3ක් අවසාන වෙනකොට අපි තේරුම්ගත්තා.)
"කොච්චර දුරද...?"
"එහෙමට දුරක් නෑ...ළඟයි...විනාඩි 15ක් විතර යන්නේ..."
කන්නත් නැතුව මෙතනට වෙලා රබං ගන්න'යෑ....
"යමු...එහෙනම් ගිහින් එමු..."කවුරුහරි කෙඳිරිගෑවා.
පලනිගේ විනාඩි 15 රබර් විනාඩි 15ක් කියලා තේරුම්ගන්න කට්ටියට වැඩිවෙලාවක් ගියේ නෑ.නහයෙන්,කටින් පමණක් නොව සමහර එවුන් පසුපසින් පවා හුස්මගනිද්දී, ෆිල්ටර්කොට කටින් එළියට පනිද්දී යන්තම් විනාඩි 40න් විතර අදාල පාසලට අපි ගියා.එතකොට වෙලාව 1.30ට විතර ඇති.අනේ දෙවියනේ.....සෙරප්පු දාගත්තු, කැඩුණු සපත්තු දා ගත්තු,කහ ගැහුණු කමිස,ගවුම් වලින්,නැත්තන් කහපාට මකාගන්න ඕනෑවටත් වඩා නිල් යෙදූ කමිස,ගවුම් වලින් සැරසුන පොඩි එවුන් ටිකක් ලේන්නු අරගන ගිය දත් නැති කටවලින් හිනා වෙවී තමන්ගේ ටීචර් එක්ක අපි එනදිහා බලන් ඉන්නවා. බඩගින්න,පයින් ඇවිදපු මහන්සිය නිසා යන්තමින් වගේ හිත කොනක තිබුන නොරිස්සුමම මගේ ආත්මාභිමානය පුච්චලා දැම්මා, අළුවත් ඉතුරු නොකර.වැඩිම වුනොත් අපි එක පැයක් හෙන බඩගින්නේ ඉන්න ඇති.ඒත් ඒ පොඩි එවුන්....සමහර විට උදේ ඉදන් බඩගින්නේ උන්ට ගෙනත් දෙනවයි කියපු තෑගි හම්බවෙනකම් එතන වෙන්න ඇති.තෙත්විච්ච ඇස් අනිත් එවුන්ට නොපෙන්වා ඉන්න අසාර්ථක රංගනයක නිරතවුනේ මම විතරක්නම් නෙමෙයි.හැබැයි ඒ ඉස්සල්ලාම එළියට පැන්න කඳුළු අතරේ පොඩි එවුන් ගැන ඇතිවුන අනුකම්පාවට වඩා තමන් ගැනම ඇතිවුන ලැජ්ජාව දියවෙලා තිබුනා කියලා මම කිවුවොත් එතන හිටපු ගොඩක් එවුන් මාත් එක්ක එකඟවෙයි.




තමන් ගැනම ලැජ්ජාවෙන් ඇඹරි ඇඹරි හිටිය අපේ එවුන්ව උස්සලා පොලවේ ගහන්න එතන හිටපු පොඩි එවුන්ට තප්පර 10ක්වත් ගියේ නෑ.අපි මේ රටට එන සංචාරකයෝ එක්ක කතාකරනවා. රැකියාවේදී, අධ්‍යාපන කටයුතුවලදී හමුවන විදේශිකයෝ එක්ක අදහස් හුවමාරු කරගන්නවා.සමහර වේලාවල් වලදී අපේ කියලා බල්ලෙක්වත් නැති දේශ දේශාන්තරවල නතරවීගන විදේශිකයෝ එක්ක රැකියාවල යෙදෙනවා.ඒත් එතන හිටපු අපි එකෙක්ටවත් කොළඹ ඉදන් කිලෝ මීටර 200ක් විතර ඈතින් ඉන්න අපේම පොඩි එවුන් ටිකක් එක්ක අදහස් හුවමාරු කරගන්න බැරුව අසරණවුනහැටි.....මතක් වෙනකොටත් මැරෙන්න තරම් ලැජ්ජයි.තමන් දෙමළ වීම නිසාම දෙමළන්ට මේ රටේදී අමුතු අසාධාරණයක් ඇතිවුනේ නෑ කියන බක පඬීස්ලාට එම ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න ඉස්සල්ලා ඔවුන්ව මේවගේ පොඩි එවුන් ගොඩක් මැද්දේ තනිකලානම් ඔවුන්ගේ ප්‍රශ්නවලට උත්තර දෙන ඈයන්ට වචන ගොඩක් ඉතුරුකරගන්න තිබුනා.කොහොමින් කොහොම හරි ඒ පොඩි එවුන් මැද්දේ හරිම ආදරණීය විදිහට හෝරාවක් විතර ගෙවුනා.ඒ අයට ගෙනාපු තෑගි ටික ඒ පොඩි අත්වලට දෙනකොට උන්ගේ ඇස් දිහා තෙත් නොවුන දෑසින් නොබලපු අපේ එකෙක්වත් එතන නොහිටින්න ඇති.එතනදී ආදරය ,ලෙංගතුකම,සහෝදරකම එක්කම ලැජ්ජාවත් අඩුනැතුවම පොදිගහගත්තු අපි අනිත් පාසලටත් යන්න සූදානම් වුනේ ආපහු එනවා කියන පොරොන්දුව ඒ පොඩි එවුන්ට ලබාදෙමින්.යකෙක් කන්න තරම් බඩගින්නේ හිටපු එවුන්ගේ බඩ වගේම හිතත් ඒ පොඩි එවුන් උන්ගේ ආදරයෙනුත් අපේ ආත්මාභිමානයට සිදුකල පහරදීමෙන් ඇතිවුන ලැජ්ජාවෙනුත් පුරවලා තිබුන නිසා එකෙක්වත් කෑම ගැනනම් කතාකලේ නෑ ආපහු.අපේ කට්ටියගේ කඳු නැගීමේ දක්ශකම දැකලා බයවෙලා හිටපු පළනිලගේ ඇත්තෝ ඊළඟ පාසලවෙත යාමට අපිට වෑන් රථයක් සූදානම් කරලා තිබුනා.අර මලියා ,හිමාශි වගේ සද්ධන්ත එවුනුත් පටවගන ජපන් කාරයන්ටත් දුක හිතෙන විදිහට වෑන් එක කෙඳිරිගගා අදාල තැනට ආවා.ඒ පාසල සා.පෙළ දක්වා පන්ති තිබුන, ප්‍රදේශය හා සාපේක්ශව සැලකීමේදී පිළිවලකට තිබුන පාසලක්.නොයෙක් වසරවල් වල පොඩ්ඩෝ ගොඩක් අපි එනවා කියලා බලන් ඉඳලා බැරිමතැන ගෙවල්වලට ගිහින්.ඒත් වැඩිවෙලා යන්න කලින් අපි ආවා කියන ආරංචියට රෑන් රෑන් ආපහු එන්න ගත්තා පාසලට.එහි විදුහල්පතිතුමාට සිංහළ කතාකරන්න පුළුවන්.ඔහු හා කතාකරද්දී අපට වැටහුනු ආකාරයට ඔහු යමක් කරන්න ඕනේකම තියන අවංක පුද්ගලයෙක්.අපේ වචනයෙන් කියනවානම් පාසල දියුණු කිරීමේ ඇම්මෙන් පෙළෙන මුල් ගුරුතුමෙක්.අජිත් අයියේ ,නෙළුම් යාය සංවිධායක මහත්වරුනී,ඔහු කල කතාවේ එක් කොටසක් මම මෙතන සටහන් කරන්නම්; මතක තබා ගන්න.ඉදිරියේදී සටහන් කිරීමට බලාපොරොත්තුවන එක් කරුණක් නිසාවෙන්.
"ගොඩක් කට්ටිය මෙහාට එනවා.මොනවා හරි දෙයක් දීලා තව දේවල් අරගන එනවා කියලා පොරොන්දු දීලා පොටෝ ගහගන යනවා.ආපහු පැත්ත පලාතේ එන්නේ නෑ...."
 එතන ඉදපු පොඩි එවුන් එක්කත් ආදරයෙන්, ලෙංගතුකමෙන් හා ලැජ්ජාවෙන් හෝරා එකහාමාරක් විතර කාලය ගතකරපු අපි අපහු එන්න එළියට බැස්සා.විදුහල්පතිතුමා හිටපු හින්දද මන්දා පාසල ඇතුලේ මීයන් වගේ හිටපු ඔවුන් එළියට ඇවිත් අපිට දක්වපු හිතවත්කම.....අපිට එන්න නොදී අපිව වටකරගන දක්වපු සෙනෙහස....කවදහරි දවසක මැරෙන වෙලාවෙත් අපිට මතක්වේවී.


ආපහු නවාතැන වෙත ඇවිත් හිතේ තිබුන ලැජ්ජාවටද මන්දා පලනිලාගේ නිවෙස්වල ඇත්තන්ටත් බය හිතෙන විදිහට දිවා ආහාරය ගන්න පුළුවන්වුනා අපි කට්ටියටම.ඔන්න ඉතින් ඒකත් ඉවරවෙලා වෙවුල වෙවුල නාගන කියාගන රාත්‍රී සංදර්ශනයත් හමාර කරමින් නින්දට වැටුන කට්ටිය පහුවදා උදෑසනින්ම පිටත්වුනා නෙළුම්යාය සංවිධානය කරලා පවත්වන කාන්තා ක්‍රිකට් තරඟාවලිය තිබුන පාසලට.කණ්ඩායම් 6ක් පමන සහභාගී වෙනවායි කියා තිබුනත් එතනට ගියහම එතන කණ්ඩායම් 12ක් විතර හිටියා.කාන්තා ක්‍රිකට් තරඟාවලියක් කිවුවහම අපේ එවුන් දහසක් බලාපොරොත්තු තියන් හිටියත් අනේ එතනට ගියහම කණ්ඩායම් 10ක විතරම හිටියේ අපේ එවුන්ට "අංකල්" යැයි අමතන තරමේ "තරුණියෝ"ය.යන්තම් අපේ එවුන්ගේ පිණකට කටපුරා "නංගි"යි කියා ඇමතිය හැකි තරුණියන් සිටි කණ්ඩායම් දෙකක් තිබුනි.ඉතින් අපේ එවුන් ඒ කණ්ඩායම් 2 දිහා බලාගන සිතූ සිතුම්, පැතූ පැතුම් එම නංගිලාටද වැටහුනු බැවින් කොහේ හිටියත් කෙල්ලෝ කෙල්ලොමයි කියන කතාව සනාතකරමින් එවුන්ද මල් මල් සිනා, රැවුම් ගෙරවුම් නොඅඩුව අපවෙත ලබාදුනි.ඒ අතරින් අපිට පේන්න බාර් ගහපු මුම්ටාස්, මුම්ටාස්ගේ නැගෙණිය, අර කහපාට තොප්පියක් දාගන හිටපු ටජ්මහල් කැප්ටන්,රෝස පාට පිලේ දිග නංගීව සොයාගන අපේ එවුන් නැවතත් තළවකැලේ නොගියොත් එයද පුදුමයකි.බිඳකුඳු විශ්වාසකල නොහැක්කේ අපි අතර සිටි පොඩිම එකා වූ මලියාය.ටජ්මහල් කැප්ටන්ට සිතින් පෙම් බැඳීම නිසා මානසිකව ඔද්දල්වූ ඌගේ මානසිකත්වය යළිඳු යතා තත්වයට පත්වූවේ නැවත නිවෙස්බලා එන ගමනේ රංවල ආසන්නයේ හෝටලයක වූ වැසිකිළියක පැය භාගයක් පමන ගතකිරීමෙන් අනතුරුවය.කොහොමින් කොහොම හරි තෑගිත් දීලා ,නංගිලත් එක්ක පොටෝත් අරගන හවස 5ට විතර දවල්ටත් කාලා අපි නැවතත් කොළඹට එන්න පිටත්වුනා.ඒ එන අතරමගදී මේ ට්‍රිප් එකේ පළවෙනි පාරට "අපි කමුයි "කියා හිමාශි පැවසීම අපි කාටත් අදහාගන්න බැරි දෙයක්වුනා.කට්ටිය බෑ බෑ කියද්දි හිමාශි හොටල් 3-4ක් ළඟ වාහනේ නතර කෙරෙවුවත් ඒ හෝටල්වල කෑම තිබුනේ නෑ.ඒකෙන් අපි එක දෙයක් තේරුම් ගත්තා.ඒ හිමාශිගේ උප්පත්ති කේන්දරේ ග්‍රහ පිහිටීම් අනූව ඒකාට බඩගිනි නොවෙනවා සේම ඒකා සමග සිටින සියල්ලටම බඩගින්නේ සිටීමට සිදුවන ග්‍රහ යෝගයක් පිහිටා තිබෙන බවයි.කොහොම හරි හිමාශි වචනේ පිටකරලා පැයකට විතර පස්සේ කෑමත් කාලා නිවෙස්වලට එන්න අපිට පුළුවන්වුනා.
තොරණේ විස්තර ඉවරයි.දැන් අපි මාතෘකාවට එමු.



මේක ලිවුවේ ගමන් විස්තර, ආගිය තොරතුරු ඔබ ඉදිරියේ දිග හැරීමටනම් නෙමෙයි.ජීවිතයේ වැඩියෙන්ම දුක හිතුන,වැඩියෙන්ම ලැජ්ජා හිතුන, වැඩියෙන්ම සතුටු හිතුන ගමනක ඇතුලත සැඟවුන කතාවක යථාර්තය තුලින් ඔබට,මට අපේම වූ පොඩි එවුන් වෙනුවෙන්,අපේම වූ මිනිසුන් වෙනුවෙන් කලහැක්කේ කුමක්දැ'යි යන්න පිළිබඳව යම්කිසි හැඟීමක් සිත් තුල ජනිත කිරීමටය.මේ විදිහට දුක්විදිමින් ඉගනුම ලබන්නේ අප ගිය මේ වතුකරයේ පොඩි එවුන් පමණක්ම නෙමෙයි.මේ විදිහේ දරුවන් මේ රටේ සෑම තැනකම පාහේ විසිරී ජීවත් වෙනවා. අපි කොටහේනට, පංචිකාවත්තට, අතුරුගිරියට, හොරණට, අකුරැස්සට, මාතරට, රඹෑවට, ගම්පහට,කුරුණෑගලට ආදී වශයෙන් කොහේ ගියත් ප්‍රධාන'යැයි කියන පාසල් සමූහයෙන් වෙන්වුන පාසල්වල මෙවනි දරුවන් දුලභ නෑ.එවන් පසුබිමක අපි එදා තළවකැලේදී දුටුවේ දහස් ගනනක්වූ වරප්‍රසා
 නොලත් අපේම දරුවන්ගෙන් ටික දෙනෙක් විතරයි.අපිට බෑ ඒ හැම දෙනාගෙම ජීවිත සුවපත් කරන්න.අපිට බෑ ඔවුන්ගේ හැම අඩුපාඩුවක්ම සපුරලන්න.ඒත් අපිට පුළුවන් අඳුරට සාප නොකර එක පහණක් හරි දල්වන්න.හරියට නෙළුම්යාය සංවිධායකයන් කලාවගේ.එදා ඒ ඉස්කෝලෙට ගිහින් සිය ගනනක් ළමුන් ඉන්න තැනකට සපත්තු ජෝඩු කීපයක් දෙද්දී මගේ හිත දොස් කිවුවා.මටත් ගොඩක් දුක හිතුනා.ඒත් දැන් ඒ ගැන හිතද්දී එහෙම හරි දෙයක් දෙන්න පුළුවන්වුන එකගැන විශාල සතුටක් හිතට දැනෙනවා.අජිත් අයියේ; (අජිත් අයියාව මේකට ඇදලා ගන්නේ බහුතරයක් හදුනන නෙළුම්යාය සංවිධායක ඔහු බැවිනි ) එදා ඔය ගමන ගැන තවත් ටිකක් හරි දැනුවත් කලානම් අපිට තව ටිකක් හරි වැඩිපුර දේවල් ඒ පොඩි එවුන්ට දෙන්න තිබුනා.එදා ගමනට ආපු වගේම නොආපු බහුතරයක් දෙනා ඔවැනි ත්‍යාග ලබාදීමක් ගැන දැනුවත්වෙලා හිටියේ නෑ.එහෙම වුනානම් ඒ එකෙක්වත් ඔය පිංකමට සහභාගීවීම කර අරින්නැති බව මම හොඳාකාරවම දන්නවා.අඩුමගානේ පෑන් පැන්සල් ටිකක්වත් උන් දෙනවා.මේ උත්සහා කරන්නේ ඔබලාගේ කාර්යය හෑල්ලු කිරීමටනම් නෙමෙයි.එදා සිදුවුන අඩුපාඩුවක් පෙන්නලා දෙන්න හදන උත්සහයක් විතරයි.සමහර විට මෙවැනි තත්වයක් ඔබලාද බලාපොරොත්තු නොවුනා වියහැකිය.ඒත් මේ ගමන ඔබලා මෙතනින් නවත්වනවා'යැයි මම නොසිතන නිසාම ඔබලාට මෙන්ම අප සැමටත් ඒ සිදුවූ අඩුපාඩුව මගහරවා ගැනීමට අවස්ථාව ඇතිබවද මම විශ්වාස කරමි.තවද ඔබගෙන් ඉල්ලාසිටින අනිකුත් ප්‍රධානතම ඉල්ලීමනම් එදා එම පාසල්වලට අවශ්‍ය භාන්ඩ බෙදාදීමේ සද්කාර්යය තවත් පාසල් කරා ව්‍යාප්ත කීරීමට මත්තෙන් මෙම පාසල් දෙකේ සුවපත් කිරීමට නොහැකිවුන පොඩි සිත් සුවපත්කර සිටිමු'යි යන්නයි.ඉහතදී අප දෙවනියට ගිය පාසලේ මුල් ගුරුතුමාගේ කතාව උදෘත කලේත් එම හේතුව නිසාමය.ඒ සඳහා මීට වඩා පුළුල් වැඩ පිළිවලක් යොදාගමු.සහයෝගය දෙන්න කැමති අපගේ සහෝදර බ්ලොග් කරුවන්ගෙන් ඒ සඳහා උපකාර ලබාගමු.අජිත් අයියලාට තව උපකාර සපයාගැනීමට මාර්ග ඇත්නම් ඒවාද යොදාගනිමු.අර විදුහල්පතිතුමා පැවසූ ආකාරයට බොරුකාරයන් නොවී ඒ කටයුතු සිදුකරලා ඊළඟ අදියරට කකුළ උස්සමු.

ඊළඟ අදහස ගැන කියන්න කලින් මේක කියවලම එන්න.
"සිරාගේ කාමරේ - ලොකු දුව බැඳලා "

කියන්න අදහස් කරපු දේ පැහැදිලි ඇතැයි සිතනවා.සමහර විට තරමට වඩා වැඩි අදහසක් වෙන්න පුළුවන්.නැතිනම් අපිට කිසිසේත්ම අදාල නැති කටයුත්තක් කියලා හිතෙන්න පුළුවන්.ඒත් අඩුමගානේ ඔය කටයුත්තේ සම්බන්ධීකාරක කටයුත්තවත් නෙළුම් යාය හරහා කරන්න පුළුවන්නම් මෙවැනි මල් වට්ටියකට අත ගහන්න කැමති ,මල් වට්ටි නැතිනිසා උඩබලන් ඉන්න වෙලා තියන ගොඩ දෙනෙකුට ලොකු උපකාරයක් වෙයි.කවුරුහරි අඩුමගානේ එක දරුවෙකුට මාසෙකට රු.1000ක් දුන්නත් ඒ දරුවන්ට ඒක මහමෙරක් වේවි. ඒ පොඩි එවුන්ට පොතක්-පෑණක් ගන්න, විවේකකාලේදී කන්න බනිස් ගෙඩියක් අරගන්න ඒ මුදල ගොඩක් වටිවී.


දැන් අජිත් අයියේ මේ ගමන යද්දී මම වගේම ගමනට සහභාගී වූ බහුතරයක් බ්ලොග්කරුවන් දැණුවත්ව සිටි කාරණා 2ට එමු.ක්‍රිකට් තරඟය හා තාමරී කුළම් වෙබ් අඩවිය විවෘත කිරීම.ක්‍රිකට් තරඟාවලිය ගැනනම් කතා කරන්න දෙයක්නෑ.කවදාවත් ඔවුන්ට නොලැබුන අවස්ථාව ලබාගන්න ඔවුන් බොහොමත් උනන්දුවෙන් ක්‍රීඩාකලා.ඒ අවස්තාව ඒ දූවරුන්ට මහමෙරක් තරම්වුනා.ඔවුන් ඒ අවස්ථාව හොඳින් රස විඳිමින් මහත් සේ ප්‍රීතියෙන් ගෙවා දැම්මා.එවැනි අවස්ථාවක් ඔවුන් වෙත ලබා දුන්නාට නෙළුම් යායට බොහොමත් ස්තූතියි.ඒත් තාමරී කුළම් විවෘත කිරීමනම් සම්පූර්ණයෙන් අසාර්ථකයි.මේස රෙද්දකින් වහලා තිබුන බැනර් එකක් විවෘත කරමින් වෙබ් සයිට් එකක් ඕපන් කරනවා මම දැක්කමයි.දැන් කරන්න තියෙන්නේ තාමරී කුළම් නැවත විවෘතකිරීම නොව එම වෙබ් අඩවිය දෙමළ කියවන ජනතාව අතර ප්‍රසිද්ධ කිරීමට ප්‍රවර්ධන කටයුතු සිද්දකිරීමයි.කන්න බොන්න දීලා මුන්ව තලවකැලේ එක්කගන ගියා මදැයි කියලා හිතෙනවනම් සමාවෙන්න අජිත් අයියේ.කරන හම දේකටම හොඳයි හොඳයි කියල මුරුංගා අත්තේ තියන්න අජිත් අයියා පාර්ලිමේන්තු අපේක්ශකයෙක් නෙමෙයිනේ.මේ ලෝකේ ඉපදුණු ගමන් ඇවිදපු ළමයි හිටියේ උපාසක අම්මලා රවට්ටපු කතාවල විතරයි.හැම පොඩි එකෙක්ම ඇවිදින්න ඉස්සල්ලා බඩගාලා,දණගාලා ,වැටිලා තමයි ඇවිදින්න පටන්ගන්නේ.බලෙන් ඇවිද්දන්න ගියොත් පොඩීකාගේ කකුල බකල් වෙනවා.එතකොට මුළු ගමනම බකල්.අජිත් අයියලා ඒක හොඳට දන්නවා කියලා මම හොඳට දන්නවා.ඒ නිසා මේ යන ගමනෙදිත් වැටුනට, තුවාල උනට වැඩිය හිතන්නේ නෑ කියලත් මම දන්නවා.එහෙම උනා කියලා මේ ගමන නවත්තන්නේ නෑ කියලත් මම දන්නවා.ඒ ගමන යනකොට ;ඒ ගමනට ආශිර්වාද කරන ,තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් ඒ ගමනට සහයවෙන්න බලාගන ඉන්න කට්ටියකුත් ඉන්නවා කියන එක අමතක නොකර ඔළුවේ තියාගන්න.

හරි...නෙළුම්යායේ ඇත්තෝ ඉවරයි.දැන් අපේ එවුන්.මම දන්නවා.මේ බ්ලොග්කාරයෝ අතර ජීවිතේ ගොඩක් දුක්වින්ද එවුන් ඉන්නවා.ඒ වගේම කිසිම දුකක් කරදරයක් නැතුව ළමා කාලය ගතකරපු එවුන් වගේම රත්‍රං හැන්ද කටේ ගහගන ආපු එවුනුත් ඉන්නවා.ඒ කවුරු වුනත් අපි ඔක්කොම මනුස්සයෝ.මෙතන ඉන්න බහුතරයක් දෙනා තමන්ගේ දෙමාපියන්ට මෙන්ම නිදහස් අධ්‍යාපනයට පිංසිද්ධ වෙන්න යමක් කමක් ඉගනගන ඒ පිහිටෙන් කීයක් හරි හම්බකරගන්න ඇත්තෝ.මිනිස්සු විදිහට ඉපදුණු අපි අපිට ලැබුන අවස්තාව තවත් කාටහරි උදාකරලා දෙනවනම් ,ඒ දේ නිසා ඒ මනුස්සයා සතුටින් ජීවත්වෙනවනම් මේ ලබාගත්තු මනුස්ස ආත්මය ඇතුලේ අපිට සතුටුවෙන්න තවත් දෙයක් තියනවද?මේ පොඩි එවුනුත් ඒවගේ අපේ උදවු ලැබෙන්නම ඕනේ පිරිසක්.ඔවුන් මහාලොකු දේවල් අපෙන් ඉල්ලන්නේ නෑ.ඔවුන්ට ඕනේ අඩුපාඩුවක් නැතුව ඉගනගන්න අවශ්‍ය වටපිටාවක් විතරයි.මතක තියාගන්න.ඔවුන්ගේ අම්මලා තාත්තලා බහුතරයක් දිනකට රුපියල් 625/=ට දාඩිය වගුරවන කම්කරුවන් වග.ඒ වගේම බහුතරයක් අධික මත්පැන් පානයට ඇබ්බැහිවූවන් වග.එහෙම පරිසරයක ජීවත්වෙන මේ පොඩි එවුන්ටත් ඒ වගේ අනාගතයක් උරුම නොවන්නට තියන එකම ගැලවීමේ මාර්ගය අධ්‍යාපනය විතරමයි.ඒ නිසා පුළුවන් ආකාරයට මේ සද්කාර්යට අපිත් සම්මාදන්වෙමු.ගෙදර වැඩට කෙල්ලෙක්, වත්තේ වැඩට මිනිහෙක්, ළමයා බලාගන්න ගෑනියෙක්, කඩේ වැඩට කොල්ලෙක් හොයාගන වතුකරයට යනවා වෙනුවට තමන්ගේම දරුවෙක් බලන්න යනවා කියන හැඟීමෙන් එහාට යමු.තමන්ගේ දරුවා  කියන හැඟීමෙන් ඔවුන්ගේ අධ්‍යාපනයට සහයවෙමු.එතකොට අපි උඹලා මැරුන දවසට දෙවියොත් අපිත් එක්ක හිනාවේවි, හදවතින්ම.


කටුස්සා....

Tuesday, July 14, 2015

දා බිඳු සිහින....



සරා වන උයන් නෙක ඵල
මවා සුභ සිහින හිස මත
නෙරළු තුරු අගිස් මත්තේ
දරු පවුල තබා
නොබලනා විටදි දෙවියොත්
පාන්කඩ වළල්ලට වැඳ
ජීවිතයම බාර දුන්නේ
දරු පවුල නිසා

නොනැවතී ගලන දා බිඳු
ගෑවිලා පපුවේ සීරුම්
රිදුම් දෙන ගතින් නැග එන
වෙහෙස නොමබලා
එකක් නැග එකක් බැස යලි
නොනැවතී කරන සක්මන
කෙළවරක් කරනු කෙළසින්
දිවියේ බර නිසා

ඇඟිලි තුඩු මතින් එකිනෙක
ගැනිය හැකි තරමේ ඉලඇට
යටින් පණ ගැහෙන හදවත
හඬන හඩ දරා
කම්පිතව සැලෙන මදනළ
හමන විට නෙරළු තුරුමත
යදින්නේ සියළු දෙවියන්
දරුවෝ සිහිවෙලා


වැගිරෙනා විටදි දිය බිඳු
ඉරටු මතුවෙච්ච වහලෙන්
දෙනෙත් යොමුකරන් අහසට
සෝ සුසුම් හෙලා
දුමක් නොනගිනා කුස්සිය
වෙතට යොමුනොවන නුඹ නෙතු
ගැටෙන විටදි දරු නෙතු මත
කඳුළු බරවෙනා

උපන් බරට'යැයි සිතමින්
රවටනා විටදි හ
වත
ගලා වැටෙන කඳුළැල් මත
සිහින දියවෙලා
පෑවුවොත් හෙටත් හිරුදෙවි
නෙරළු තුරු අගින් ඉහලින්
සක්මනේ යෙදෙන්නට කඳ මත
දෙපා එසවෙනා

වරද කොතන කා අත වග
සොයන්නට නොදෙන කුසගිනි
දවන විටක දරු කුස මත
සිහින නොපෙනෙනා
ගස් ගඳයි කියන සුවඳට
සිතින් පෙම් බඳින නුඹ මට
දරු දුකට වැඩම මිහිපිට
දෙවියෙක්ම වුනා


කටුස්සා....




Tuesday, July 7, 2015

සොයන නුඹ...





ලඟ නොයිඳ පිටව ගිය බව නොදැන
සොයන නුඹ.... දුර ඈත
ක්ෂිතිජයක
මැවෙනවිට හද මඩල....
යන දිනයේ කියන්නට නොහැකිවුන
කතාවක.... පදපේළි අතර මැද
නැවත හිනහේවි අද....

අදත් නුඹ එනතෙක්ම හැරතිබූ
දොර දෙසම... අයා නිරුවත් දෙනෙත
බලා සිටි හැම පැයම.... කල්පයක් උනේ ඇයි
සිතනවා මම තවම
ගිය නොගිය මග දෙපස රැදෙන
පෙම්වතුන් ලඟ.... නවතිනා දෙනෙත් අග
මැවෙනවා අප දෙදෙන
සංසාර ආදරය ඉකිබිඳින මුළු රැයම
අමතකව යහන මත සොයනවා
නුඹ කොහිද....

කොහොම කෙළසද වුනේ වරද
කා අතද වග.... සොයන්නට ඉඩ නොදෙන
ගතු කියන ආදරය.... මානයෙන් තෙමුන සිත
මත රැදී විලිබරව.... පතන්නේ
නුඹේ සුවඳ මගේ මත නොමගැටුන....
නුඹ කොහොද සුව ඇතිද දහස් පැන
නගන සිත
ගොළු වන්නේ ඇයිද අද
රොන් සොයන බඹරු ලඟ....
අනේ මට හැකිවුනොත් වෙසඟනක්
වෙන්න හෙට.... මට හැකිය
සැනසෙන්න මකා සිහිවටන ලොව
නොමකෙන්න නුඹ ඇන්ඳ
මගේ හදවත පතුල....


කටුස්සා....

ගිය අවුරුද්දේ දෙසැම්බර් 27 පෝස්ට් කරපු බලා සිටිමි මග.... කවියේ දෙවනි කොටස කියලා හිතුවට කමක්නෑළු ඕං....

Thursday, July 2, 2015

ග්‍රේරෝ...



 පොලිස් සුනඛ ග්‍රේරෝ පිට පිටම පස්වෙනි සොරකමත් අල්ලයි -පුවතක්.

ග්‍රේරෝ...ග්‍රේරෝ...ගර්....ගර්...
කොහෙද යකෝ හිටියේ උඹ
මෙච්චර හොරකම් උන රට.......?
ලොකු එකාගේ ගුරු හොරුන්ට ටියුශන් කාසිය ගෙවන්න
පොඩි දෝනිගේ අසනීපෙට දොස්තර දොළ ඇන්න යන්න
බඩ තඩි කලු මුදළාලිගේ ගෙදරට පැන්නට හොරාට
ගොරව ගොරව මගේ ලඟට ඇවිත් මාව කොටු කලාට
මොනවද හම්බුනේ බොට අද.......?
මස් කට්ටක්වත් දුන්නද වැඩිපුර උන් උඹේ බතට.....?

අපේ එවුන් බුරුතු පිටින් ගහගන ගිය සුනාමියට
ආධාරෙට ඒරොප්පෙන් දුන්න සල්ලි උගේ ඡන්දෙට
වියදම්කල හැටි දැක දැක හිටියද උඹ උඩ බලාන.....?
පොඩි පුතාගේ තංතෝසෙට ලංකාවේ පළවෙනියට
උඩ යවාපු රොකට් එකට අපේ සල්ලි පුච්චනකොට
හැමිණුනාද උඹ එතකොට පොලිස්පතිගේ බැල්ලි එක්ක.....?

දස්කොන් ප්‍රමිලා නාටක මද්දුමයා රඟන විටක
අඟුරු ගොඩක් වෙන දවසේ දස්කොන් තම රිය ඇතුලෙම
මොකද කලේ උඹ එතකොට බිරුවද හාවට හඳ මත....?
අපේ උන්ගේ අසනීපෙට සල්ලි දුන්න අරමුදලට
කෙළිනා විට තරුණ හෙටක් ලොකු පුතාගේ අණ දීමට
වල්ල තියන් සිමෙන්තියට නිදාගත්තේ ඇයි බං උඹ....?

අපේ කොල්ලෝ මැරෙනා විට ලේකම්'යැයි මහ ලොකුවට
ගෙනා අහස් යන්තරයෙන් කෝටි ගණන් උස්සන විට
ඉව තිබුනේ නැතිද උඹට ඒ හොරකම් අල්ලන්නට....?
සීගිරියට නොගිය එකා ඩිස්නිලන්තේ නටනා විට
උගෙ ගෑණිට උප්පැන්නෙත් චේතිය රජු සපයන විට
ඉව දැනුනේ මගෙ විතරද හොර සුවඳක් නැද්ද උන්ට....?

මහ දවාලේ මරනා විට පත්තරකාරයෝ මහමග
වතුර ඉල්ල අඬන උන්ට නෙලනාවිට මියයන්නම
උඹේ පොලිස් රැස්පොට් එක තිබුනෙ කොහෙද කියපන් මට....
මහනායක ඉල්ලීමට පෙන්නා පුක මුළු රටටම
රේස් පදින විටදි එවුන් මාළිගාව වටකරගන
කෙඳිරි ගගා හිටිය නේද කූඩුව ඇතුලෙම හිමිහිට....?

ග්‍රේරෝ....ග්‍රේරෝ...ගර්....ගර්...
කොහෙද යකෝ ඉන්නේ උඹ
මෙච්චර හොරකම් වෙන රට....?
දමා මොත්තේ අපි හැමටම දිනා ඡන්දේ පත්වුන විට
කෝටි ගණන් කෑවලු උන් මහ බැංකුව මුල්කරගන
උඹ හට අද කටුදෙන උන් ලෙවකනවිට උන් දෙපතුල
ඉවකරන්නේ කොහොමද උඹ හැම සුවඳම එක්වුනවිට....?
උඹත් අපි වගේමයි බං....
පැනල ගිහින් ඔතනින් හෙට දඩාවතේ පලයන් උඹ
හිත සංතෝශෙන්.....


කටුස්සා...
ඡායාරූපේ ඉස්සුවේ-මෙතනින්.