Wednesday, February 17, 2016
To You "GIMA...."
"ගුඩ් මොර්නින් මෝඩ පැටියා...."
"ගුඩ් මෝර්නින් ඌරු පැටියා....."
ගෙදර ඉන්න හැම දවසකම අපි දෙන්නෙගේ දවස පටන්ගන්නේ මේ විදිහට.උඹේ ආච්චිගෙනුයි සීයගෙනුයි අපි දෙන්නා හැමදාම බැනුම් අහනවා; සත්තුන්ගේ නම් කියාගන්නවාට.ඒත් දෙන්නම කවදාවත් ඒක නවත්තන්නෙත් නෑ.දෙන්නගෙන් එක්කෙනෙක් ඇහැරෙනකොට අනිකා තවමත් ඇහැරිලා නැත්තන් දොරට ගහලා හරි ඒකව ඇහැරවලා ඒ විදිහට සුභපතා නොගත්තොත් දෙන්නගෙම හිතට ඒක හරි නෑ.දන්නවද...මේ ජීවිතේ මට හම්බවුන ලොකුම තෑග්ග ,ලොකුම වස්තුව තමයි උඹ.
2001 ජුනි මාසයේ අග; මම උසස් පෙලට ඇතුලත්වුන අළුත උඹේ අම්මව, නැත්තන් මගේ එකම අක්කව රෝහලට ඇතුලත් කලේ උඹව ගෙදරට අරගන එන්න.ජූලි 1වෙනිදා රෑ උඹේ තාත්තා ගෙදරට කෝල් කරලා උඹව ඉපදිච්ච පනිවිඩය කියලා තිබ්බ.පහුවදා මාව ගෙදර තියලා උඹව බලන්න ඉස්පිරිතාලේ ගිය ආච්චියි සීයයි ගෙදරට ආවේ හරි සන්තෝශෙන්. උඹව බලන්න ගෙදර අනිත් මිනිස්සු නිතරම ඉපිරිතාලෙට යන නිසා ගෙදර නවත්තලා යන්නේ මාව.ගෙදරට වෙලා ඉඳලා පුරුද්දක් තිබුනේම නැති මම ඇඟිලි ගැන ගැන හිටියේ උඹ ගෙදර එනකම්.ඒ උඹව බලන්නනම් නෙමෙයි.මට ගෙදරින් පැනගන්න.ඒ නිසාමද මන්දා උඹේ උපත මට මහාලොකු දෙයක් වුනෙත් නෑ. උඹේ ආච්චිගේ පැත්තේ සහෝදර සහෝදරියන් එක්ක ලොකූ සමගියක් තිබුන අපේ පවුලේ; තුන්වෙනි පරම්පරාවේ පලවෙනියාවුනේ උඹ.ඒ නිසාම උඹට නමක් හොයන වැඩේටත් කට්ටියගේ තිබුනේ සෑහෙන උනන්දුවක්.උඹේ අනිත් නැන්දලා,මාමලා ඔක්කොම අපේ ගෙදරට එකතුවෙලා සෑහෙන්න දිග නම් ලිස්ට් එකක් හැදුවා.හැබැයි ඒ එකෙක්වත් මගෙන් උදවුවක් ගන්න නිකමටවත් හිතුවේ නෑ.එහෙම වුනේ ඒ හැමෝම උඹේ මාමා ගැන හොඳට දැනගන හිටපු නිසයි.ඒ වෙලාවේ මගේ ඔළුවට ආවේ "මාගන්ධී චිංචිමානවිකා " කියන නම විතරමයි.ඒක කියලා මම උඹේ අනිත් නැන්දලා මාමලගෙන් බැණුම් අහපු තරමක් උන්ගේ සීරියස් වැඩේ ජෝක් එකට ගත්තා කියලා.එහෙම කියලා මම කොහොමද මගේ අක්කගේ ළමයාට පිට කවුරුත් හදපු නම් තියන්නේ.උඹේ මාමා එදා රෑ කල්පනා කරලා කරලා යන්තන් එක නමක් හදාගත්තා.රෑ 1ට විතර උඹේ ආච්චිලගේ කාමරේට ගිහින් ආච්චිවත් ඇහැරවලා,
"අම්මේ....ඔය එක එක නම් නෙමෙයි...මම නමක් හැදුවා....ඒ නමම තියන්න ඕනේ..." කියලා කියද්දී නින්දෙන් ඇහැරුන උඹේ සීයා මගේ දිහා බලන් හිටියේ මාව කන්න වගේ.
"උඹට පිස්සුද මේ මහ රෑ ඇහැරගන දඟලන්නේ....?මොකද්ද නම....?"
"ගිම්සරණී මනෝරමා"
"මොකද්ද ඒ නමේ තේරුම...?"
"ගිම්හානයේ සැරිසරන්නාවූ මනෝරම්‍ය ස්ත්‍රීය"
"මොකක්....?"
"මොකක් නෙමෙයි...ඕක දැම්මේ නැත්තන් ඔන්න මම ඔය පොඩි එකාව අල්ලන්නෙවත් නෑ...."
ඔන්න ඔය විදිහටයි උඹට නම වැටුනේ.මටත් ඉතින් හරි සතුටුයි.ඒ උඹට නමක් දැම්ම හින්දනම් නෙමෙයි.අනිත් එවුන්ව පරාද කරපු නිසා.
පහුවෙනිදත් මාව ගෙදර තියලා අනිත් අය ගියා උඹව බලන්න ඉස්පිරිතාලෙට.ගිය කට්ටිය ආපහු ගෙදර එන සද්දේ ඇහුනත් ටෙලිවිශනය දිහාම බලනවා ඇරෙන්න ඒ එන අය දිහා බලන්න උවමනාවක් තිබුනේ නෑ මට.උඹේ ආච්චි මගේ ඉස්සරහට ආවා.එයා සුරුට්ටුවක් වගේ උණ්ඩිකරපු මොකද්ද එකක් දෝතින්ම තුරුල්කරන්.එයා එක පාරටම ඒ උණ්ඩිකරපු සුරුට්ටුව මගේ අතට දුන්නා.හැක්...උඹේ මූණ විතරක් ඉතුරුවෙන්න අනිත් ඔක්කොම ඔතලා.අම්මේ උඹේ මූනේ කැත....අදටත් මට ඉපදිච්චගමන් පොඩි එවුන් කිසි ලස්සනක් නෑ.ඇස් දෙකත් පියාගන හීනෙන් වගේ තොල් දෙකින් මොනවද උර උරා....මෙලෝ රහක් නෑ....ඒ මදිවට බැරියෑ....උපන්තෙක්ට පොඩි එකෙක් වඩා නොගත්ත, හුරතල් නොකරපු මගේ ඔඩොක්කුවේ දැන් උඹ....උඹව අල්ලන්නත් බයයි, පොඩිවෙයි කියලා.මම පිනෝකියෝ වගේ හිටියා හෙල්ලෙන්නෙවත් නැතුව.උඹේ ආච්චි උඹව ඔතලා තිබුන ශීට් එක අයින් කලා.අන්න එතකොටනම් උඹේ මනුස්ස පෙනුම ආවා ටිකක්.නැපියකුත් ඇඳගන මිකී මවුස් වගේ උඹ හිටියා.
"ඉස්ස ඉස්සල්ලාම වෙන කෙනෙකුගේ කියලා අතට දුන්නේ ඔයාගේ අතට..."
උඹේ ආච්චි එහෙම කියද්දී උඹ මට විරුද්දව අද වෙනකන් කරන පජාත වැඩ වල ආරම්භය සනිටුහන්කලා.උඹව වැටෙයි කියලා හෙල්ලෙන්නෙවත් නැතුව රොබෝ වගේ හිටපු මගේ ඔඩොක්කුවේම උඹ චූ කලා.මහා ලොකු ගොඩක් නෙමෙයි.පොඩ්ඩක්.ඒත් ඒ මදැයි මට.
"අනේ මේ ගන්න....මගේ ඇඟේ චූ කරලා...."කියලා අනිත් අය හිනා වෙවී බලා ඉද්දි උඹේ ආච්චිටම උඹව බාරදීලා මම දිවුවේ බාත් රූම් එකට, ඇඟ හෝදගන්න.
ඔහොම ටික කලයක් යද්දි උඹ දන ගාන්න, අල්ලගන ඇවිදින්න, එහෙන් මෙහෙන් වචන එක දෙකක් කියවන්න පටන් ගත්තා.අන්න එතකොටනම් උඹට ටිකක් ජොලි ගතියක් ආවා.ජංගි කොටේ ගහගන පස්ස කඩපු කඩියා වගේ ගේ පුරාම දනගාද්දී, මොට්ටු මොට්ටු කරද්දී, බඩට බර්ර්ර් ගානකොට හිනාවෙද්දී, මගේ පපුව උඩ නිදාගනිද්දී ටික ටික මගේ හිතේ උඹගැන තිබුන ආදරය වැඩිවෙන්න පටන්ගත්තා.උඹ බහතේරුවේ "අම්මා" කියන වචනේ උනාට උඹ පොඩිකාලේ වැඩියෙන්ම කියපු වචනේ "මාමා " කියල තමයි ගෙදර හැමෝම අදටත් කියන්නේ.අපි දෙන්නට නොතේරෙන්න අපි දෙන්නා ගොඩක් ලංවුනා.වැඩිය කතාබහ නොකරන මගේ ලඟදී ,සද්ද නොකර මට තුරුල්වෙලා ඉන්න උඹත් පුරුදුවුනා.උඹ පොඩිකාලේ ඉදන් ඇඬුවේ හරි අඩුවෙන්.සමහර දවස් වලට එහෙම අඬද්දී මම උඹව වඩාගන ගේ ඉස්සරහ තිබුන ඇඹරැල්ල ගහ ලඟට හරි ජැම්සන් ගහ ලඟට හරි එක්කගන ගිහින් ගහත් එක්ක කතාකර කර උඹව නලවනවා.වැඩිකල් නොයා වත්තේ තිබුන හැම ගහකටම උඹ කිවුවේ "ගහ මාමා" කියලයි.අදටත් වත්තේ තියන ගස් අතගගා තනියෙන් කතාකරන උඹ දිහා බලනකොට මට දැනෙන්නේ ලොකු සතුටක්.ඔහොම කාලය ගෙවෙද්දී උඹ මොට්ටසෝරි යන්න ,එතනින් ඉස්කෝලෙට යන්න එහෙම පටන්ගත්තා.දැඩි තරගය නිසාම උඹව රජයේ පාසලකට දාන්නනම් අපිට බැරිවුනා.උඹ හොඳට ඉගනගත්තා.ඒ නිසාම ඉස්කෝලේ ටිකක් ප්‍රසිද්ද චරිතයක් බවටත් පත්වුනා.ගුරුවරුත් උඹට ආදරේ කරන්න පටන්ගත්තා.උඹට ඕනේවුනේ උඹට වැඩියෙන් ආදරේ කරන ගුරුවරියන්ව මේ ගෙදරට එක්කන් ඇවිත් නතරකරගන්න.උඹේ මාමත් ඒකට හරි ආසාවෙන් හීටියත් උඹේ අවාසනාවකටද මගේ අවාසනාවකටද මන්දා වැඩේ හරිගියේ නෑ.උඹේ පංතියේ හිටපු "ඔටිසම්" රෝගයෙන් පෙලෙන උඹේ යාලු පිරිමි ළමයෙක් දවසක් පංතිය මැද්දෙම චූ කරලා.උඹේ අනිත් යාලුවන්ගේ අම්මලා ඒ ළමයාව පංතියෙන් අයින් කරවලන්න සෑහෙන උත්සහයක.ඔය සිද්දිය වෙන කාලයේ එක දවසක උඹ මගේ ලඟට වෙලා මට විස්තරය කියවනවා.
"අනේ පවු මාමේ ඒ ළමයා....මේ ඇන්ටිලටත් පිස්සූ....පොඩි ළමයෙක් පංතියේ චූ කලහම මොකද?ඔය පාරේ යනකොට ඕනේ තරම් මිනිස්සු හිටගන චූ කරන්නේ....ඒ ළමයව පංතියෙන් අයින් කලොත් මමනම් යන්නේ නෑ ආපහු ඔය ඉස්කෝලෙට....."
ඒ තමයි මට ඉස්සල්ලම උඹව දැනුන දවස.එතකොට උඹ 2 වසරේ.උඹ කිවුවත් වගේ ඒ ඇන්ටිලා දින්නා.වෙලාවට උඹේ අම්මා ඒ පවුකාර වැඩේට සම්බන්දවුනේ නෑ.එදා ඉඳන් උඹ ඉස්කෝලේ යන්න අදිමදි කලා.ඉගනීමට තිබුන උනන්දුව අඩුවුනා.වාර අවසාන විභාහග ලකුණු හොඳටම අඩුවුනා.උඹව ඒ පාසලෙන් ඉවත්කරලා වෙනත් පාසලකට දාන්න උඹගේ අම්මලට සිද්දවුනා.උඹේ ජීවිතේ උඹ කරපු පළවෙනි විප්ලවය උඹ දින්නා.මම ආසාවෙන් උඹදිහා බලාගන හිටියා.
උඹේ තාත්තා නිවාඩුවට ගෙදර ආවහම උඹෙයි මගෙයි හිතවත්කම නිසා ඒ මනුස්සයාට දුක හිතෙයි කියලා ,ඒ දවස් 2-3දී උඹෙන් ඈත්වෙලා ඉන්න මට සිද්දවුනා.දවසක් උඹ නිදාගන්න යද්දී උඹේ අම්මා;
"ඔයා වැඩියෙන් ආදරේ මාමටද?...තාත්තටද....?"
"එහෙම නෑ ඉතින්....මම දෙන්නටම ආදරෙයි...."
"හරි මෙහෙම හිතන්නකෝ....මාමයි තාත්තයි වතුරේ ගිලෙනවා.ඔයත් එතන ඉන්නවා.ඔයා පොඩියිනේ.ඉතින් එක පාරට බේරගන්න පුළුවන් එක්කෙනයි.ඉතින් ඔයා ඉස්සල්ලම බේරගන්නේ කාවද...?"
උත්තර දී ගන්න බැරුව උඹ මහා හයියෙන් අඬලා තිබ්බා.
"හරි හරි....උත්තර දෙන්න එපා.මට හිතාගත්තැකි...."
පහුවදා උඹේ අම්මා ඒ කතාව කියද්දී මගේ ඇසුත් රතුවුනා.
දැනට මගේ ජීවිතේ හිටපු නිල පෙම්වතියෝ තුන්දෙනා එක්කම අපේ ගෙදර කෙනෙක් කියාලා ඉස්සල්ලම කතාකලේ උඹ.හැම තිස්සෙම මගේ අස්සෙම රිංගගන ඉන්නකොට උඹට හොරෙන් මල් කඩන්න මාමට බැරිවුනා.මම ෆෝන් එකෙන් මල් කඩද්දී වෙන වැඩක් කරනවා වගේ මගේ කාමරේ ඉඳන් ඒවා අහගන ඉන්න උඹට තිබ්බේ පුදුම දක්ශකමක්.ඒ අයත් එක්ක උඹත් කතාකලා.ඒ හැමෝටම උඹ කතාකලේ "ගෙම්බී" කියලා.ඒත් උඹ ඒ විස්තර කාටවත් කියන්න ගියේ නෑ.උඹ ඒවා ආච්චිට,උඹේ අම්මට කියන්න වුනේ මම ඒ අයට ඒ විස්තර කිවුවට පස්සේ.ඒ ඒ කාල වලදී මම ඒ තුන්දෙනාවම අපේ ගෙදරට එක්කන් ආවා.උඹ ඒ අයත් එක්ක කොච්චර කුළුපගව ආශ්‍රය කෙරුවත් වැරදිලාවත් මට ඒ අයගේ අතින්වත් අල්ලන්න දුන්නේ නෑ ගෙදරදී.මම අතින් අල්ලන කොට හිමින් සැරේ අපි දෙන්නා මැද්දට ඇවිත් දන්නේ නෑ වගේ මගේ අතින් අල්ලගන මගේ පෙම්වතියව අයින්කරන උඹව දැක්කහම අපිට හිනා ගියත් උඹටනම් ගානක් තිබුනේම නෑ.අපරාදේ කියන්න බෑ, ඒ එක ගෙම්බියෙක්වත් උඹත් එක්ක තරහාවුනෙත් නෑ.
මගේ හැම හොර වැඩක්ම ඉස්සල්ලම මාට්ටුවුනේ උඹට.ඉස්සල්ලම මගේ කාමරේ තියලා සිගරට් පැකට් එකක් අහුවුනෙත් උඹට.ඒත් උඹ කවදාවත් ඒවා ආච්චිට කියන්න ගියේ නෑ.මම නැතිවෙලාවලදී ගෙදර කවුරුහරි මට බැන්නොත් මම ආපුගමන් ඒවා මට කිවුවෙත් උඹයි.ඒ අයට විරුද්ධව කතාකරලා මාව බේරගන්නත් උඹ සෑහෙන්න මහන්සිවුනා.අන්තිමේදී ගෙදර අය මං ගැන උඹ ඉස්සරහා කතානොකරන තත්වයටම වැඩේ සිද්දවුනා.මාත් එක්ක ඉඳලමද මන්දා "ලයිෆ් ස්ටයිල්" එකේ මම ආසකරන ගොඩක් දේවල් වලට උඹත් ආසවුනා.උඹට මේ මලජරා කෑම පුරුදුකලා කියලා උඹේ අම්මා අදටත් මට බනින "මාරි බිස්කට් පුඩිම" තමයි ඒකෙන් ප්‍රධානම දේ.පුඩිමක් කිවුවට ඒක තමයි උඹෙයි මගෙයි උදෑසන ආහාරය උනේ.මාරි බිස්කට් පැකට් එකක් කඩලා පිගානට දාලා ඒක උඩින් කිරි වත්කරලා ටික වෙලාවක් වහලා තියලා හැන්දකින් කන්න මම පුරුදුවුනේ 7-8 වසරේ ඉදන්.ඒක දිහා බලාගන හිටපු උඹත් මාත් එක්ක ගේමට සෙට්වෙනකොට ළමයටත් ඌරු කෑම පුරුදුකරනවා කියලා මම බැනුම් අහපු තරමක්.චිත්‍රපටි, සංගීතය වගේ දේවල් වලදී පවා එක්කෝ උඹ මගේ තාලෙට හැදුනා.නැත්තන් මම උඹේ තාලෙට පුරුදුවුනා.මගේ පළවෙනි රැකියාව විදිහට හෝටල් ක්ශේස්ත්‍රය තොරා ගනිද්දී උඹ තමයි වැඩියෙන්ම සතුටුවුනේ.ගෙදර ඉන්න එකම දවසෙත් උඹට මොනවම හරි සුකුරුත්තන් කෑමක් හදලා දෙන්න මට සිද්දවුනා.
ඔහොම කාලය ගතවුනා.අපේ තෙවැනි පරම්පරාවේ පළවෙනියා විදිහට උඹ මල්වරවුනා.පවුලේ ඔක්කොමල්ලා සෑහෙන්න සතුටුවුනා.ඒ අතරින් උඹගැන දුක්වුන එකම එකා මම වෙන්න ඇති.කවදාවත් ලොකු ගෑණු ළමයෙක් විදිහට උඹගැන හිතන්න බැරිවුන මට ඒකෙන් පස්සේ උඹ මගෙන් ඈත්වෙයි කියලා තිබුනේ බයක්.මොන පිස්සුද....මහාලොකු මුර දාලා නොතිබුනත් ඒ දවස්වල උඹවත් කාමරේකට දාලා තිබුනා.ඒත් ඉඩක් ලැබුන ගමන් උඹ මගේ ගාව.අම්මේ...ඒ දවස්වල අපි උඹේ ආච්චිලගෙන් බැනුම් අහපු තරමක්.අදටත් උඹ මගේ ගාවට වෙලා තුරුල්වෙලා ඉද්දී උඹේ ආච්චි "චූටි පුතා....ඔය ළමයා දැන් පොඩි එකෙක් නෙමෙයි.ඔයවගේ හැසිරෙන්න එපා" කියලා කිවුවත් කාටද ඕව මතක.....පුටු සැටියේ හරි බිම හරි දිගාවීගන තුරුල්වෙලා T.V.බලනකොට දැනෙන හැඟීම ඒ අය දන්නවද?
උඹ දන්නවද අද මම මේක ලියන්නේ ඇයි කියලා....?උඹ දැන් 8 වසරේ.8 වසර කියන්නේ උඹේ මාමනම් ඉස්කෝලේ හොඳට සෙල්ලම්කරලා, ගහගන,මරාගන මඩකරියා වගේ ගෙදර ආපු කාලයක්.ඒත් කෙල්ලෝ එහෙම නෑ.උන්ගේ හිතට යෞවනයේ චමත්කාරය දැනෙන්න පටන්ගන්න වයස.අපිත් එක්ක එක පංතිවල හිටපු සමහර කෙල්ලන්ට 8 වසරෙදි කොල්ලොත් හිටියා ඒ වෙනකොට.ඉස්සර මාත් එක්කම සෙල්ලම් කර කර කියව කියව හිටිය උඹත් දන් දැන් ටිකක් ඒවගෙන් ඈත්වෙලා මේක්-අප් කරන්න, කොන්ඩ මෝස්තර දාන්න, එක එක ඇඳුම් ඇදන් කණ්නාඩිය ඉස්සරහා කැරකෙන්න එහෙම පටන් අරන්.ඒවාට තහංචි දාලා උඹව හිරකරගන ඉන්න තරම් මෝඩයෝ කවුරුත් මේ ගෙදර නෑ.ඒත් ඒ දේවල් එහෙම වෙද්දී උඹ මගෙන් ඈත්වෙයි කියලා මගේ හිතට දැනෙන්නේ බයක්.කුරුළු පැටවු කූඩුවක හිරකරලා හදන්න බෑ කියලත් මම හොඳටම දන්නවා.ඒක එහෙම වුනත් උඹගැන හිතේ තියන ලෝභය ,තෘශ්නාව නිසාම හිත නොසන්සුන්වෙලා මේ දවස්වල.ඒ මොනවා උනත් මම උඹව කවමදාවත් හිර කරන්නේ නෑ.රාජකාරිය නිසාම ඉස්සරවගේ උඹේ ලගින්ම ඉන්න බැරිවුනත් මම පොරොන්දුවෙනවා මම උඹේ ජීවිතේට කවමදාවත් නරකක් වෙන්නනම් දෙන්නේ නෑ කියලා.ඒකෙන් කියන්නේ උඹව රත්තරන් කූඩුවක දාලා හදනවා කියන එකනම් නෙමෙයි.උඹට හම්බවෙලා තියන ලොකුම සම්පත තමයි උඹේ අම්මා.අද අම්මගේ උසටම ඉන්න උඹ එයත් එක්ක ඉන්නේ යාලුවෙක් වගෙයි.ඒ අම්මත් උඹගැන හොඳ ඇලර්ට් එකේ ඉන්නේ.ඒ එයාටත් ඉන්න එකම සම්පත උඹ හින්දා.උඹේ අම්මට විතරක් නෙමෙයි.ආච්චිට,සීයට ඉන්න ලොකුම සම්පතත් උඹ.උඹේ මාමාගේ ජීවිතෙත් උඹ.ඉතින් කොහොමද අපි උඹට නපුරක් වෙන්න දෙන්නේ...?ඉස්සර බාර්බි කාර්ටූන් බලපු එකා දැන් හින්දී, ඉංග්‍රීසි ලවුස්ටෝරි බලනකොට , වයලීනය අරගන ආදර ගීත වාදනය කරනකොට හිත නොසන්සුං වෙනවානම් තමයි.මම කවදාවත් අහලා නැති "සිද්ධාර්ත් මල්හෝත්‍රා" කෙනෙක් ගැන කියවනකොට බයකුත් හිතෙනවා.ඔක්කොටම වඩා එපාවෙන වැඩේ තමයි අර කිසිම පිරිමි කමක් නැති පොන්නයෝ වගේ ඉන්න කොරියන් නළුවන්ට පිස්සු වැටෙන එක.මේ ලඟදී ඒකෙක්ගේ මූණ පිටකවරෙකට දාපු පොතක් ගත්තා කියලා උඹේ අම්මගෙන් හොඳටම බැනුම් අහනවාත් මම අහගන.උඹේ අම්මා කියන විදිහට ෆේශල් කරන අයිබ්‍රෝ හදන "අයියලා" ටිකක් උඹේ ඉස්කෝලෙත් ඉන්නවළු.ඒක ඇහුවහමනම් මට සංසාරෙත් එක්ක එපාවුනා.උඹට පිරිමිකම ගැන ,ආදරේ ගැන පාඩම් කියල දෙන්න මට තාම බෑ; උඹ තාම මට පොඩි එකෙක් නිසා.ඉතින් මට කරන්න ඉතුරුවෙලා තියෙන්නේ උඹට මේ අහසේ පියාඹන්න දීලා උඹේ පරිස්සමට උඹත් එක්කම පියාඹන එක විතරයි.මේ අහසේ සුළි සුළං, කුණාටු, අකුණු හරියට.ඒවා උඹට පේන එකක් නෑ.වලාකුළු, තරු, හඳ , ඉර විතරක් උඹට පෙනේවි.කමක් නෑ.උඹ ඒවා දිහා බලාගන නිදහසේ ඉගිල්ලියන්.උඹේ මාමා අනිත් ඒවා බලාගන්නම් ;උඹට හීරිල්ලක්වත් වෙන්න නොදී.
ප:ලි:-
මම බ්ලොග් එකක් ලියනවා කියලා අපේ ගෙදරින් දන්නේ උඹ විතරයි.ඒකේ නම,යූසර් නේම්,පාස්වර්ඩ් පවා උඹ දන්නවා.මේක කියවලා තේරුම් ගන්න තරම් සිංහළ දැණුමක් උඹට තව නැති නිසා උඹ මේක කියවන්නේ නෑ.ඒත් උඹට දැණුම් තේරුම් ඇති කාලෙක කවදහරි මේක කියවනවා කියලා මම දන්නවා.එදාට මම ජීවතුන් අතර හිටියත් නැතිවුනත් උඹේ මාමා උඹට කොච්චර ආදරේ කලාද කියන දේ ගැන යන්තමින් හරි තේරුම් ගනින් මේක කියවලා.
කටුස්සා....
Subscribe to:
Post Comments (Atom)
හරි ලස්සන සටහනක් කසුට්ටෝ .. මේක කියවද්දි මට මගේ අය්යවමයි මතක් උනේ.පොඩි කාලේ නම් අපි ගහමරා ගන්නවා රණ්ඩු කරගෙන දවස් ගණන් කතා නොකර ඉන්නවා ඒත් දැන් අය්ය ගෙදර නැතිවම හෙන පාලුයි.එන්නෙ කොයි වෙලේද කියල බලන් ඉන්නෙ ...හ්ම්ම් තව කෙනෙක් මතක් උනා. මගෙ කපිල මාම.පොඩි කාලේ මාමයි මායි ඔය කිව විදිහම තමා හොඳම යාළුවො.මට චිත්‍ර අඳින්න උදව් කලේ. හොඳට ඉගෙන ගනින් කියල හැමතිස්සෙම හොයල බලල උනන්දු කලේ.පොත් කියවන්න මාව ඇබ්බැහි කලේ මගෙ මාම. ගෙදර හැමෝම දන්නවා අනෙක් හැම මාමෙක්ටම වඩා මම එයාට ආදරෙයි කියල. ඉස්සරනම් අය්යටත් වඩා මාමට ආදරේ. මාම බැඳලා නැන්දට බබෙක් හම්බෙද්දි පුංචිලා විහිලු කළා දැන් නම් හංසිට ආදරේ වෙන්නේ නැහැ ආදරේ චූටි නංගිට කියල.කිව්වා වගේ දැන් නම් ඒ ආදරේ නංගිය උදුරගෙන.පොඩි දුකකුත් නැතිවම නෙවේ. ලොකු වෙද්දී ඉස්සර වගේ ඇඟේ දැවටී දැවටී නොහිටියට ඉස්සර තිබ්බ ආදරේ දැන් ටිකක් අඩු උනාට තාමත් චුටි කාලේ මතකයින්ට මම ආසයි. මාමාගෙන් මම ඉගෙන ගත්ත දේවල් ගොඩයි.. ලැබුන ආදරෙත් උපරිමයි ... කසුට්ට ත් වාසනාවන්තයි. ... මට මැවෙන්නෙම තඩි කසුට්ටෙක් ගාව ඉන්න පුංචිම පුංචි හා පැටියෙක්ව :) ;)
ReplyDeleteඊයේ මේක පබ්ලිශ් කරලා ඔබ තුමියගේ පෝස්ට් එක කියවලා ඒකට කමෙන්ට් කරනකොට ඔයා මේකට කමෙන්ට් කරලා.....
Deleteපොඩිකාලේ මටත් ඔයවගේ ආදරණීය අත්දැකීම් ගොඩයි.ඒත් ඒ මාමලගෙන් නෙමෙයි.නැන්දලගෙන්.ඒ කාලේ තාත්තා හිටියේ ගොඩක් අසනීප තත්වෙන්.ඉතින් අම්මා එයා මත්තෙමයි.ඉතින් මම හැදිලා තිබ්බේ නැන්දලාගේ අතේමයි.නැන්දලා කිවුවට ඒ අය අම්මගේ මල්ලීලා නිසා පවුලට පිටින් සම්බන්ද වුන කට්ටිය.පවුල් වලින් බාලම එකා වෙච්ච මට ඒ අයනම් තාමත් ඒ විදිහටම ආදරෙයි.අදටත් මගේ පොඩිකාලේ ෆොටෝ වල මම අම්මත් එක්ක ඉන්න එක ෆොටෝ එකක්වත් නෑ.ඔක්කොගෙම ඉන්නේ කවුරු හරි නැන්දා කෙනෙක් අතේ.
ඔයා ආපහු අපේ ඔළුවට ආදරෙන් පොල්ලෙන් ගහලා.කතාව ගැන මම මුකුත් කියන්නේ නෑ.අනිත් අය ඒ ගැන කියයි.අර ගියපාර කමෙන්ට් එකක කියලා තිබුනා වගේ කවුරුහරි ඔයාගේ කකුල කඩලා මාස 2-3ක් ඇඳට කරලා තියනවනම්.....ඒක අපේ වාසනාවක්.
ReplyDeleteඅනිත් එක.දැන් කසාදයක් කරගන පොඩි කෙලි පැටික්කියෙක් හදාගත්තනම් හරි.නැත්තම් ඔය හිතේ තියන ආදරේ අපරාදේ....
දෙන්නං වැඩේ පස්සගාත් දෙකටම
Deleteදෙන්නං වැඩේ පස්සගාත් දෙකටම x 2
Deleteඅයත් බොන්න වෙන්නවා
Deleteපාඨකයෝ නෙමෙයි...ත්‍රස්තවාදීයෝ...
Deleteඔය පේනවනේ මගේ කකුල කඩන්න කට්ටියගේ උනන්දුව.හිතන්නේ උන් විහිළුවට කියනවා කියලද?උන් ඔය කියන්නේ ඇත්තටමයි.
කසාදයක්නම් කරගන්න බැරියැ.ඒත් අර කෙලි පැටික්කියෙක් හදන වැඩේටනම් මගේ හිතගියා.හදන්නම ඕනෙත් නෑ.නිකන් මේ උත්සහයක් ගන්නවා වගේ දේකට....
ඔබ තුමාට/ තුමීට ගොඩක් ස්තූතියි මේ විදිහට අදහස් දැක්වීමට....
අටමා /මයියා-
Deleteවරෙන්.මම බලන් ඉන්නේ තොපි ගාත් දෙකට වැඩේ දෙනකම්....
මෙන්ඩා-
ගුටිකන එකා අමුවෙන් ඉන්නැද්දී උඹ බිවුවහම හරියනවද?
කඩමු කඩමු කටුස්සාගේ කකුලක්.. අපිට එලම එල නව කතාවක් කියවන්න ලැබෙයි.. ඔන්න අටමෝ උඹට වැඩේ බාරයි..
Deleteඅටං අයියේ මේ...?? ඔහෙට නං විහිළු
Deleteමේකනං පට්ටයි මචං ,
ReplyDeleteමම ඔය ලියන ඒවා ලියල ඉවරවෙලා දන්න කියන එවුන්ගේ මූණු ඒවට ආදේශකරනවා.සිරාවට මට මේකෙදි මතක්වුනේ උඹවයි, කමියවයි පොඩි කෙල්ලෝ තුන්දෙනාවයි.
Deleteහ්ම්..............මාමේ, මාමගේ ආදරෙත් තාත්තගේ ආදරේ වගේ තමයි. අම්මා නැති දවසට මාමගේ ඇඟිල්ල අගට කිරි උනනවා කියලා කියමනක් තියනවා අහලා තියනවද? මාමේ උඹ දන්නවද තාත්ත කෙනෙක් වෙන්න කලින් මම අක්කලා තුන් දෙනෙකුගේ ළමයින්ව හැදුවා වැඩුවා ඉස්කෝලේ අරන් ගියා. මම උන්ට කිරි දුන්නේ නැතුවා එඉතරයි. අද උන් ළමයි දෙතුන් දෙනා ඉන්න අම්මල තාත්තලා. අද මට සතුටුයි. උඹටත් ඒ සතුට අනාගතේදී තවත් වැඩි වේවා!
ReplyDeleteහැබැයි;
ජීවිත් ගංගාවකී - දෛවෙ එහි දිය පාරකී
ඒ ගඟේහී පාවෙනා - පිදුරු කැබලිය ලෝ දනා
ආදරේ කියන මාතෘකාවෙදි දැන් මට ලොකු බලාපොරොත්තු නෑ.ඒත් අර විචා මාමා "හැබැයි" කියලා කියන දේ මේකාට ආදේශකරන එක මට හිතාගන්නත් බෑ.මොකද මේකා තමයි මගේ කොන්දේසි විරහිත ආදරය හැමදාටම.
Deleteඒත් ඒ කතාව ඇත්තයි කියලත් මම දන්නවා.බලමු....
මොනා කියන්නද මංද..
ReplyDeleteඅයිය කෙනෙක් වුණත් තාම මාම කෙනෙක් නොවුණ කොට ඒ හැගීම නං තේරුං ගන්ට අමාරුයි.
මට මාම බාප්ප කියන උං ඕන තරං හිටියත් ඒ එකෙක්වත් ඒ තරං ළගිං තියා ගන්න අවස්ථාවක් හම්බෙලා නැති හංද කවදාවත් කටුස්සට තරං තදට දැනිල නෑ..
ඊටත් උඹ කෝමත් සංවේදී පොරක් හිංද හැමදේම තදටම දැනෙනවත් ඇති.
සටහන ගැන නං කිසි දෙයක් කියන්න යන්නෑ මොකද කලිං කීවත් වගේ ඇත්තටම කියාගන්ට දෙයක් හිතාගන්ට බැරි හිංද..
ඒත් ගෙදර අයගෙ ආදරේ තියෙනකං ඒ ආදරේ දැනෙන කං පොඩි උං කවදාවත් වැරැදි පැත්තට හැරෙන්නෙ නෑ
ඒක මං හොදටම දැකල තියෙන දෙයක්...
උඹට මගේ සංවේදීකම ගැන හොඳට අහගන්න තිබුනා අපේ පවුලේ එකෙක් හම්බුනානම් ඒ දවස්වල.මොකද්දෝ පිනකට ස්විච් එක ඕෆ් විච්ච නසරානියෙක් මම ,අපේ පවුලේ එවුන්ටනම්.
Deleteගල් අරක්කු ටිකක් බිලා වෙඩින් කේක් කැල්ලක් කන්න ලගදී බැරිද
ReplyDeleteහොයලා දියන් කෙල්ලෙක්.අම්මපා බඳිනවා ලබන මාසෙම.
Deleteඋඹ මාර කසුට්ටෙක් බං........... ඇත්තට ම ඇඩෙන තරම් හැගීමක් දැනුණා බං... මේ විදිහ අත්දැකීමක් ජීවිතයට නෑ.... ඒත් උඹ ඒක අපිට දැනෙව්වා..... උඹ ජීවිතේ අකුරු කරන්නේ මාර විදිහට ඒ දැනීම් හැගීම් වලට සමීප වෙලා... උඹේ භාෂාව හරි පොහොසත්.... ඒ වගේ ම ඒක සංවේදියි............. පට්ට මචං
ReplyDeleteඅම්මෝ....මම දැන් මුරුංගා ගහේ කරටියේ....කොහොමත් මම බර වැඩි එකේ කඩාගන වැටුනොත් උඹලටම තමයි ආපහු උස්සන්නත් වෙන්නේ....
Deleteනියමයි තල්මසෝ .. සොරි කටුස්සෝ
ReplyDeleteහැක්...මම වගේ අහිංසක මනුස්සයෙක්ට ඔයවගේ නම් කියනවට උඹට පවු සිද්දවෙයි යකෝ...
Deleteකටුසු, මේක කියවනකොට මටත් 2004 කාලේ මතක් වෙනවා. ඒ කියන්නේ අපේ ලොකු අක්කගෙ ලොකු ලමයා ඉපදුන දවස්. මටත් ඒ කාලේ මේ හැඟීම ම දැනුන වගේ මතකයි. අව්රුදු 2, 3 වෙනකොට දුවට මාම නැතුව බෑ. මාම ට දුව නැතුව බෑ. යන යන හැමතැනම පස්සෙන් එනවා, කියවනවා, ඇඟට පැනලා හුරතල් වෙනවා. ආසාවේ බෑ. තවමත් එහෙමයි. ඊට පස්සේ 2011 ඉපදුනු පොඩි පුතත් එහෙමයි. ගෙදර අය හිතං ඉඳල තියෙන්නේ මාමයි බෑනයි ඒ තරම් හොඳ යාලුවෝ නොවේවි කියලා. ඒත් එහෙම උනේ නෑ. එකකක් මදිවට දැන් දෙකක්. තවත් අක්කලා, අයියලගෙ ලමයි හිටියට මේ ලමයි දෙන්නා තරම් මට ලං උනේ නෑ. මට මතකයි මම අක්කලගේ ගෙදර ඉඳන් කොලඹ නවතින්න එනකොට මේ පුතා මාව තවත් දවසක් කොහොමහරි තියාගත්තා. තවමත් දවසකට දෙකකට ගිහහින් එන්න ගියත් එන්න දෙන්නෙම නෑ. මැදපු රෙදි උඩ නැගලා පොඩි කරනවා. හැංගිලා අඬනවා. මටත් දාල එන්න දුකයි. ඒත් මොනව කරන්නද.
ReplyDeleteආදරේ දැනෙන, මතක්වෙන පෝස්ටුවක්.
උන්ගේ ආදරේ මේ තරම් දැනෙන්නේ ඒ ආදරේ ඇතුලේ කිසිම යටි අරමුණක් නැතිනිසා වෙන්න ඇති බං.ඒ ආදරේ ඇතුලේ තියෙන්නේ ආදරේ විතරමයි බං.
Deleteමටනම් හරියට හිතට වැදුනු කතාවක් කසුට්ටෝ...
ReplyDeleteමාත් 11 වසරේ ඉන්නකොට අපේ නංගිව එක දිගට අවුරුදු හතරක් බලා ගත්තා. ඒ කාලේ අපේ අම්මයි තාත්තයි වැඩට යන දවස්වල.. අපේ මල්ලි අම්මගෙන් රුපියල් 50ක් ඉල්ලුවා. නංගිව බලාගන්න. ඒත් මං නංගිව සල්ලි ගන්නේ නැතුව බලාගත්තා.ඒත් අපේ නංගි මට වඩා අපේ මල්ලිට ආදරෙයි. මල්ලි නිවාඩුවට එනකොට මොනවා හරි ගේනවනේ.. මම නම් ඔය මොකුත් ගේන්නේ නෑ. ඒක වෙන්නැති.....
කසුට්ටගේ කතාව කියවලා හැගිම්බර වෙලා හිටියේ එත් මෙක කියෙවුවාම (තිත්දෙකයි කැපිටල් ඩී)
Deleteවැඩිය සංවේදී අය නිසා ඉන්න නිසා තමයි මේක ලිව්වේ... මොකා වැඩිය සංවේදි වෙලා මෙතන් ඊට වැඩිය ගිනි විජ්ජුබරයක්නේ වෙන්නේ.. උබට හිනාවෙන්න තමයි මේක දැම්මේ(තිතක්)
Deleteඋඹේ මල්ලී චන්දෙ ඉල්ලන්න සුදුසුකම් තියන පොරක්....
Deleteඔය නංගි බකෙක් මටත් හිටියනම් කියලා මම කොච්චර දුක්වෙලා ඇද්ද පොඩිකාලේ....වෙන මොකටවත් නෙමෙයි.මගේ වැඩ කරවගන්න.
මගේ නමට ලගින් යන නමක් නේ කටුස්සිය හොයාගෙන තියෙන්නේ....
ReplyDeleteපට්ට කටුස්සියේ...කියන්න වචන නෑ...
ගෑනු ලමෙක්ගේ ජිවිතේ තාත්ත,අයිය,මල්ලි,මාම කියන්නේ කවදාවත් ආදරේ අඩු වෙන්නේ නැති පිරිමි චරිත...මට මේක කියවනකොට මතක් උනෙම මගේ මල්ලිව...ඇත්තටම මල්ලි කෙනෙක් නෙමෙයි අයිය කෙනෙක් මට ඌ...අපි දෙන්න මාරාගන්නවා...තරහ වෙනවා හරිම පොඩි වෙලාවකට...උදේට ගෙදර ඉන්නවනං මන් කැපිච්ච පණුව වගේ දගල දගල ලෑස්ති වෙද්දී තාම බත් කවන්නේ මල්ලි...මාමා එක්ක එකට ඉන්න ලැබුනේ හරි අඩුවෙන්..මන් ඉපදෙනකොටත් මාමාට බැදලා කෙලි පොඩ්ඩකුත් ඉන්නවා...
උඹ වාසනාවන්තයි එහෙම මල්ලියෙක් ලබන්න.ඒකට අපේ අක්කා...එයාගෙන් ඇහුවොත් පොතක් පිරෙන්න ලියල දෙයි මගේ වැරදි ගැන.අපි දෙන්නා කොච්චර ආදරේ උනත් කවදාවත් ඒක පෙන්නගන නෑ.වැඩිපුරම මම.ඒත් මගේ කකුල කැඩිලා අවුරුද්දකටත් වඩා කිහිලිකරු වලින් යද්දී එයා තමයි මගේ හැම දෙයක්ම කරලා දුන්නේ.ඉස්කෝලේ යන කාලේ දවසක් අපි රාජගිරිය හංදියේ ගහගන්නවා දැකලා ගෙදරගිහින් හොඳටම අඬලත් තිබ්බා.
Deleteගෙම්බි දන්නේ නෑ ඔය නම හොයාගන්න මම විඳපු දුකක් මහ රෑ තිස්සේ ඇහැරගන....
තනි ඇහැට ඇඩෙනවා කසුට්ටෝ කවදාහරි කෙල්ල මෙක දැක්කොත් (තිතක්)
ReplyDeleteදැකොත් නෙවේ කවදහරිම දකීවී.
Deleteජීවිතේ ගැන ලොකු බලාපොරොත්තු තියාගන්න එපා බං.ආදරේ කියන දේ වෙනස්වෙන්න යන්නේ හරි පොඩි වෙලාවයි අපි කොච්චර අකමැතිඋනත්.
Deleteහපොයි.. ඇඩෙනවා
ReplyDeleteඅපේ අක්කගේ පොඩි උන්ටත්, මාමි කිව්වොත් උන්ගේ අප්පච්චිවත් ඕනේ නැහැ! අම්මප එහෙමත් එකක්!!
ඔය නැන්දලා,පුංචි අම්මලා ඉන්නවා නේද...මෙලෝ රහක් නෑ.බටකොල ආච්චි පරාදයි.
Deleteඅනේ මේ!! මගෙන් අහගන්න එපා හරිද!! උන් දෙන්නා මම එනකල් ඉන්නේ ඔය ගොඩේ වැඩ කරන්න. සරුංගල් අරින්න, සෙල්ලම් ගෙවල් හදන්න, කොස්කොල තොප්පි සෙල්ලම් කරන්න.... උන්ගේ අම්මා පට්ට බයයි හැමදේටම! ඉතින් මම ආවම රජ මගුල් වගේ.
Deleteමට මැවිලා පේනවා බං කොස්කොල ඔටුන්නක් දාගත්ත උඹව උන්ගේ සෙල්ලම් ගෙදර හරකට අරගන බෙල්ලට ලනුවක් දාගන දක්කන් යන හැටි පොඩි එවුන් ටික.
Deleteඅපේ මාමයි මමයි තවම පුල් ෆිට් එකේ ඉන්නේ, ඕ යේස්. සුබපැතුම් දුවටයි මාමටයි දෙන්නටම.
ReplyDeleteවිස්කෝතුයි බ/න් උඹට.ඔය පල්ලෙහ තියන එකට මේල්ලුවක් එවපන්.කියන්න දෙයක් තියනවා උඹට.
Deletedimuthusomnas8@gmail.com
හැමදාම වගේ කොටන්න කොමෙන්ටුවක් හිත ගන්න බැරුව මම ඔහේ දෙතුන් සැරේට ඇවිත් ආයෙ ආයෙ කියවල දැන්වත් දාන්න කොමෙන්ට් එකක් ඔලුවට එයි දැන් එයි කිය කිය තටම තටම ඉන්නෙ කටුසු මහත්තයගෙ posts වලට තමයි..(හේතුව බොසාවත් නොදනී)..කටුසු ලියපු කවි නොවෙන post එකක් තියෙන හැම වාරෙම කියවල ඉවරවෙලා අන්තිමේදී ටිකක් මම ආතබූත වෙලා screen එක දිහා ඔහේ බලන් ඉන්නවා...එහෙම ආතබූත වෙලා ටිකක් ඉන්දවෙන විදිහට ඒවා ලියල තිබුන කිව්වොත් මං හරි ඇති(වත්මන් තත්වයත් මෙයම බව කරුණාවෙන් සලකන්න)මම කලින් කිව්ව වගේ ඒ ලියල තියෙන වචන අස්සෙ අතරමං වෙන්න ආසයි.....ඒ තරමටම ලස්සනයි කටුසු මහත්තයා...එච්චරයි...මීට වැඩිය ඒක පැහැදිලි කොරන්ට මටවත් තේරෙන්නෙ නෑ බොල කටුස්සෝ...හැක්..ජය වේ!
ReplyDeleteඅපි ඈතින් ඈතට පා නගලා...ඝන වනන්තරේ...
Deleteඅතරමංවෙමු වසන්ත මල් ගොමුවේ....
හැක්....
මාව ගෙම්බෙක් වගේ ඔච්චර පුම්බන්න එපා බං."මුටිය බිඳුනොත් ඔක්කොම ඉවරයි"
The Boss කියන දේ සහතික ඇත්ත.. කටුස්ස ලියන දේවල් කියෙව්වාම කමෙන්ට් එකක් වෙනුවෙන් මොකක් ලියන්නද කියන එක ගැන හිතාගන්න බැරුව ලතවෙන්න වෙනව..
Deleteවල්ල පට්ට කටුස්සෝ ..කියවගෙන යනකොට මොකක්දෝ හුරු කමක් දැනුනා ...නියමයි .ජයවේවා !!!
ReplyDeleteබහින්න ආසයි මේ නිල් දියඹට
නොයන්න පීනා නිල් දිය ගැඹුරට
පීනන්නට ආසයි ඈතින් ඈතට
දැති මෝරුන් හැංගී ඇත බලාගෙනයි දුව
බහින්න ආසයි....
නොයන්න පීනා....
මන්ද මාරුතය සිසිලට හමනා
මේ නිල් අම්බරයේ
නොදන්න දේ බෝමයි
දූ නොදන්න දේ බෝමයි
බහින්න ආසයි....
නොයන්න පීනා....
නිල්ල නිලට නිල් කැටේට දිලිසෙන
නිල් දියවර අතරේ
පීනන්නට ආසයි
බැස පීනන්නට ආසයි
ගී පද - පුජ්‍ය පාතේගම ඤාණිස්සර හිමි
ගී තනු - ප්‍රේමදාස අතුකෝරළ
ගායනය - සුනිල් එදිරිසිංහ සමඟ මල්ශ්‍යා ශෂිප්‍රභා අමරසිංහ
This comment has been removed by the author.
Deleteහැම තාත්ත කෙනෙක්ම ඔහොම තමයි බං.කොච්චර කරදඬු උස්මහත් වුනත් විශේශයෙන්ම තමන්ගේ දුවව ඒ අයට හැමදාම පොඩි එකෙක්.
Deleteනියමයි බං. මමත් මාමා කෙනෙක් උනාට ඉතින් ඒ පොඩ් එවුන් ඉන්නේ ලංකාවේ හන්දා මේ තරම්ම හැඟීමක් මට තාම දැනිලා නෑ. ඒකටත් එක්ක උඹ මේක නියමෙටම ලියලා තියෙනවා.
ReplyDeleteඕක වෙලා තියෙන්නේ ඒ අය ඉන්නේ අපිත් එක්කමනේ බං.ඉතින් ඕක ටිකක් හදට හිතට වැදුනා.අනික පොඩි එකීට කලින් මම ළමයෙක් හුරතල් කරපු එකෙක් නෙමෙයි.පොඩි එකී ඇවිත් ඒ ඔක්කොම වෙනස්කලා.
Deleteඋකුලේ හුරතල් වෙච්චි පුංචි එවුන් ලොකු වෙනකොට හිතට දැනෙන දුක අපමණයි කටුස්සෝ.. මොනවා කරන්නද.. අපි වයසට යනවා වගේම එයාලත් වයසට යනවා.. ඇයි බන් අපිට කියවන්න ලස්සන නවකතාවක් ලියන්න බැරි උඹට..
ReplyDeleteසිරාවට...උන් ලොකු වෙන්නේ නැතුව අර වචන අහුල අහුල කතාකරන කාලේම හිටියනම් මාර ගති....
Delete.........................................................................................................................................................................
ReplyDelete.......................................................................
Delete!@# %^$ %^&^%$.
පට්ටයි මචං, ඇස්දෙක රතු උනා...
ReplyDeleteඅපේ ලොකු අක්කගේ කොල්ලා ඉපදුනු දවසේ මම තමයි මුලින්ම බලන්න ගියේ සහ ඌව වඩා ගත්තේ...
ඌ පුංචි කාලේ අපි ඌව සෑහෙන ආදරෙන් බලා ගත්තේ, ඊට සෑහෙන කාලෙකට පස්සේ දුව හම්බ වෙච්ච උනාට පස්සේ මගේ ආදරේ තිබුනේ ඒකිට...
මම ගෙදර ආවම ගොඩ වෙලාවට පපුව උඩ නැගල නිදා ගන්න එක ඒකිත් කලා...
හැබැයි දැන් අපි ගොඩක් දුරයි, ඒකට හේතුව අපේ කොළු පොඩ්ඩා වෙන්න ඕනේ...
දැන් අපේ පොඩි එකා මට පුදුම ලව් එකක් තියෙන්නේ...
තාත්ත කෙනෙක් උනාට පස්සේ තමන්ගේ ළමයි අංක එකට එනවා කියලයි මට හිතෙන්නේ...
උන් නිතරම දකින්න උනේ නැතුවහම, වයසින් ලොකුවෙන කොට එහෙම වෙනවා බං.එහෙම වෙන්නත් ඕනේ.අපිත් එහෙම වෙන්න ඇති ඒ කාලේ.ඒත් වෙලා තියෙන්නේ මුන් ගැන හිතේ තියන ලෝභකම තාම අතෑරගන්න බැරි එකෙනේ....
Deleteහලේ..... ආදරණීයයි බං.. දෝණි අඬනවා මේක කියෙව්වාම.පුළුවං නම් දැම්මම කියවන්න කියහං .
ReplyDeleteජයවේවා..!!
අඩේ මේක මාරයි බන්!
ReplyDeleteමං කියෙව්ව අයියෙ මේක. ඇඬුව. ඔයාගෙ ලියවිලි වලින් මං ආසම එක මේක වෙයි. මටත් ඕනි මේම මාමෙක්...
ReplyDeleteදූට කියවන්න දෙන්න
එයා තවම.මේක කියෙවුවෙ නැද්ද කටුස්සො
ReplyDelete