Thursday, February 13, 2020

මුලු ලොව මට ඇත ඔබ ලඟ සිත සුව යහනෙ නිදී.....



නිම්නයක තනිවිච්ච සෙබලෙකුට මග කීව
දම්පාට ඇස් තියන නිල්පාට නපුරුච්චි
මායාව දැවටිච්ච උද්දච්ච හිනාගොඩ
අහුරුගෙන දෝතින්ම පිරිනැමුව යක්දෙස්සි
ගලන දිය පහර ලඟ පිපුන බෝවිටියා මල්
විලිවදින බැල්ම හිමි මනමාල ඇටිකිත්ති
ලංවෙන්න බැරිතරම් ලඟින් හිඳ හිත හදන
කිසිදිනක මගෙ නොවන පිච්චමල් දෙමලිච්චි


සුළඟක්ව හමායන හිතුනාම නතරවෙන
වෙනස්වෙන නොවෙනස්ම හිතක් ඇති අමනිච්චි
හිරුවගේ පෙන්නගන සඳු මෙන්ම සිසිලදෙන
හිටිගමන් හිරු මෙන්ම දුම් දාන මල මගුලි
තරු දහක් දිලි දිනක දම්පාට තරු දෙනෙත
හංගගන ලොකුකතා මට කියන කොල ගිරවි
හඬනවිට නිල් අහස නට නටා ඇවිදයන
වැහිබිංදු රස හොයන නිශ්ශබ්ද වල් ඊරි


මල්වරව විළිබරෙන් ඇඹරෙනා ආදරය
සංසුන්ව දෝතින්ම පිලිගත්තු සඳ කිඳුරි
සංසාර ගමන්මග පුරා මගෙ හිත හෙවුව 
කඳුත් පරයා නැගුන ආදරේ හිමිකාරි
මට මාව අහිමිකර ජීවිතය සොරාගන
යශෝධාවත කියා මා නිවන මධු කොමලි
ආදරය විඳිනු වස් ආදරය නොමැති තැන 
ආදරය පුරවලා ගුලිගැහෙන මගේ බට්ටි


කටුස්සා....

Monday, January 27, 2020

පෙම් පුදසුන මං තැබුවේ අසෙනිය මල් දෝතයි....




සුසුම්ලන්නට දුකක් ගන්නට 
වරම් නැති දුක තබා නුඹ ලග
බලාසිටියෙමි බොඳවෙනා නෙතු
මුවාකරමින් නුඹේ සෙවනට
දිනක තුරුලුව පවසනාතෙක්
ආදරෙයි මම නුඹත් හිමිහිට

නුඹ නෙතඟ රැඳි කඳුලු බිඳුවත්
මහමෙරක් මෙන් රැඳුන පපුවක
යලිත් පැමිනෙනතුරු වසන්තය
බලාඉන්නට හැකිද ඇසු දින
සත්තමයි හිතවතිය හදවත
මද සිනා සැලුවා......
බලා නුඹ දෙස බවුන්වැඩු සිත
මද සිනා සැලුවා......


ඔය මුවඟ රැඳි එක සිනහවට
වරු ගණන් තරු ගැන්න නෙතකට
මුවග මදහස සදාකල්හිම
රඳන්නට හැකිවෙදැයි ඇසුවිට
සත්තමයි හිතවතිය හදවත
මද සිනා සැලුවා......
නුඹ සිනහා උල්පත් මැවූ සිත
මද සිනා සැලුවා......


කටුස්සා....