"මල්ලී...මොකද කරන්නේ අද හවසට...වැඩක්ද?"
"එහෙමට වැඩක් නෑ ගැමුණු අයියේ.... කවුරුහරි කතාකලොත් study room එකට යනවා....ඇයි...?"
"මාව පොඩ්ඩක් හම්බවෙන්න පුළුවන්ද 6ට විතර....? "
"අවුලක් නෑ...පුළුවන්.... "
"මම එන්නම් එහෙනම් 6ට උඹේ අකමඩේශන් එකට.... කොහේවත් නොයා ඉදපන්...."
...........................................................................................................................................
"උඹ මාලබේ කොහේද බං..? තව බයිට් මොනවාහරි ගේමුද....?"
"ඕනේ නෑ ගැමුණු ඇයියේ...මේ ඇති.... "
"මේ කොල්ලෝ හරි පවුබං.පැය 12ක් වැඩකරලා මහපාරටත් තව පැය 2ක් විතර දියකරලා ඇවිත් නිදියනවා....ආපහු නැගිටලා පහුවදාටත් ඒකම කරනවා.... උන්ට ටිකක්හරි සැනසීමක් තියෙන්නේ මේ තාප්පෙ අයිනටවෙලා බොනඑක විතරයි...ඒත් ඉතින් හැමදාම කරනකොට එකත් එපාවෙනවා.... "
නවාතැන්පොල වටකොට ඇති දැවැන්ත තාප්පයට පිටදීගන රන්වන්පැහැ දියරයට තමන්ගේ සිතේ මතුවන සියළු හැඟීම් දියකරහරින විවිද ජාතීන්ට අයත්වන 1000ක පමන පිරිසදෙස බලමින් ඔහු පවසන්නට විය.
"මම හෝටලේක වැඩකලත් ඔයා ඇඩ්වයිසර් කෙනෙක්වුනත් අපි දෙන්නගේ ජීවිතත් ඔයවගේමයි නේද...."
"ජොබ් එක මොකක් වුනත් අපි හැමෝම එකම බෝට්ටුවේ..... මේ ජීවිතේ හරි දුකක් බං...මට ඕනේ ඒ දුක අමතකවෙන්නම බොන්න.... ඒත් ඒක කවදාවත්ම කරන්න බැරි වැඩක් කියලා මම තේරුම් අරන් ඉන්නේ..... දුකක්වෙලා තියෙන්නේ ජීවිතේද.... අතීතෙද...... අතීතය නිසාම දුකක්වුන ජීවිතේ, දුකක් නොවෙන්න තව කිසිම දෙයක් ඉතුරුනොවුන ජීවිතේ ,සතුටගැන තව කොහෙන් හොයන්නද බං....."
"මොකද උඹ හිනාවෙන්නේ..... ?"
"නෑ....මම පරාදයි...ඒකයි හිනාගියේ.... "
"පරාදවුනහම හිනාවියන්....ඒක තමයි හරිම විදිහ.... දාගනින්කෝ තව...කට දිහාම බලා ඉන්නේ නැතුව.....උඹ ටිකක් වෙනස් එකෙක් කියලා මට තේරුනේ උඹ මේ කොල්ලෝ ටික අල්ලගන උන්ව xam එකෙන් ගොඩදම්මන්න පටන්ගත්තු දවසේ ඉදන්මයි....මේකේ ඉන්නවා ගොඩක් ඉගනගත්තු ලංකාවේ උන්. ඒත් ඒ එකෙක්වත් ඔයවිදිහට අළුත් කොල්ලන්ට උදවුකලේ නෑ.ඒක උන්ගේ වැරද්දකුත් නෙමෙයි....පැයගානක් මැරිලා මැරිලා එන එවුන් එන්නේ ඇදට වැටෙන්නේ කොයිවෙලාවෙද බලාගන. මේකේ ඇඩ්වයිසර් කෙනෙක්වෙලා ඉදගන මට බෑ උන්ට උදවුකරන්න.පුළුවන්වුනත් මම හිතන්නේ නෑ මම ඒක කරයි කියලා.... ඒත් පැය 12ම හිටගන ඉන්න උඹ එතන්ට ඇවිත් උන්ට උගන්නනවා.අන්න ඒ නිසාමයි මම උඹගැන ඇලර්ට් එකේ ඉදගන අද උඹ එක්ක සෙට්වුනේ...."
"ඒක හිතන්න තරම් දෙයක් නෙමෙයි ගැමුණු අයියේ....මට මේ ජීවිතේ ගොඩක් තැන් වැරදුනා.එහෙම වෙනකොට මගේ වටේ හිටපු ගොඩදෙනෙක් මාව අතෑරියා.ඒ වගේම තව හොදමිනිස්සු ගොඩදෙනෙක් මට හම්බුනා.ඒ එක මනුස්සයෙක් කියන කතාවක් මතක්කරගන තමයි මම උදේට ඇදෙන් බහින්නේ.
"උඹට කරපු කිසිම දේකට මට කිසිම දෙයක් එපා ආපහු....මේ විදිහට උදවු ඕනේ කවුරුහරි දැක්කොත් උඹ ගිහින් ඒ මනුස්සයාට උදවුකරපන්...."
ඉතින් මෙහාට ඇවිත් මාසයක්වත් නැති මට ඒ වෙනුවෙන් කරන්න තියෙන්නේ දැනට මේ දේ විතරයි...ඒ නිසා මම ඒක කරනවා... එච්චරයි.. අපිට මේ ජීවිතේ ජීවත්වෙන්න ආසාවක් ඇතිකරන්නෙත් මිනිස්සුමයි....ඒ ජීවිතේ එපා කරවන්නෙත් මිනිස්සුමයි....
ගැමුණු අයියා බැඳලද.....?"
"නෑ බැං.... ඇයි....?
"මම කොයි විදිහටද උඹට උත්තර දෙන්න ඕනේ.....
කැමති විදිහකට....
බෝතලෙත් ඉවර එකේ ඕනේ විදිහකට කියන්න....
වෙන වැඩකුත් නෑනේ.....
අඩේ....තව එකක් ගේමු බං..... "
"මේ කතාව මේ විදිහට මම කිසිම එකෙකුට කියල නෑ මේ වෙනකම්.....
මම දන්නෙත් නෑ මම ඇයි අද මේක උඹට කියන්නේ කියලා.....
උඹට මේක බෝරිං වගේනම් කියපන්.මම කතාව නවත්තන්නම්......
මම ඉස්කෝලේ යනකාලේ ඉදලා මට කෙල්ලෙක් හිටියා.ඒ කාලෙදි ඉතින් කොල්ලෝ කෙල්ලෝ යාළුවුනාට මහලොකු බැදීමක් ඇතිනොවුනට පස්සේ පස්සේ අපි අතර ලොකු බැදීමක් ඇතිවුනා. අපේ අම්මලා හෙන ලොකුවට වංසේ කබල්ගාපු ඔරිජිනල් නුවර කට්ටිය. අම්මලත් මේ සම්බන්දෙට කැමතිවුනා. මට දැනුනෙත් ඒක මහාලොකු වාසනාවක් විදිහට.කෙල්ලගේ පවුල ටිකක් බරපතල පවුලක්.ළමයි 7දෙනෙක්.මේකි තමයි වැඩිමලා.මට වඩා අවුරුදු 5ක් බාලයි.මම A/L කරලා එයාර් ෆෝර්ස් එකට ගියා. ට්රෙනින් පීරියඩ් ඉවරවෙලා මම ජොබ් එකට යනකොට මේකිත් කැම්පස් සිලෙක්ට්වෙලා.
කරලා කියවනවා නෙමෙයි....ඒ හැම දේකටම, කැම්පස් යද්දී සිමා කරනකොට පවා ඒ හැම දේකටම වියදම්කලේ මම.මොකද මට අපේ පවුලේ නඩත්තුවට කියලා සල්ලි දෙන්න ඕනේකමක් තිබුනේ නෑ.ඉතින් මම හම්බකරපු හැම දෙයක්ම මම වියදම්කලේ ඒකිට....... මොකද උඹ ආපහු හිනාවෙන්නේ.....? "
"නෑ.....මට හිතාගන්න පුළුවන් මොකද වුනේ කියලා....."
"හම්ම්.....මට අදත් තේරුම්ගන්න බැරි එකම දේ තමයි මනුස්සයෙක් කොහොමද එච්චර වෙනස්වෙන්නේ කියන එක."
"ඒකේ වැරද්ද අපේ ගැමුණු අයියේ.... හැමදේම වෙනස්වෙන ලෝකෙක එක මනුස්සයෙක් විතරක් වෙනස්වෙන එකක් නෑ කියලා හිතාගන හිටපු එක තමයි අපේ වැරද්ද....."
"අපේ.....ඒ කියන්නේ උඹත්.....මම හිතුවේ උඹ බැඳලා කියලා..... ඒ කතා පස්සේ....දැන් උඹේ කතාව කියලා හිටපන්කෝ.ඒක තවම ඉවර නෑනේ.... ඉස්සල්ලා ඔය සිගරට් පැකට් එක දීපන්.... තෝ මගේ කර දිහා බලාගන සිගරට් බොනවා නෙමෙයි....කනවා...."
මාගෙන් උදුරාගත් පැකට්ටුවෙන් දුම්වැටියක් දල්වාගත් ඔහු නැවත හඬ අවදිකරන්නට විය.
"ඊට පස්සේ මම පිස්සෙක් වගේ උනා බං... ගියදා පටන් කොළඹ වැඩකරපු මම ඉල්ලලා මාරුවක්ගත්තා වවුනියාවට. අම්මව බලාගන්න අක්කලා හිටපුනිසා ඒ වගකීම් වලිනුත් මම නිදහස්වෙලා හිටියේ....ඔයකාලේ වවුනියා සයිඩ් එකේ යුද්දෙත් හොදට ඇවිලෙනවා.අපේ කෑම්ප් සයිඩ් එකට එච්චර අවුලක් නැතිවුනත් , නොතිබුනාමත් නෙමෙයි. හවස 6න් පස්සේ කවුරුත් කෑම්ප් එකෙන් එළියට බැස්සේ එහෙම නෑ.ජීවිතේට ආසාවක් නොතිබුන මට වෙලාව වැදගත්වුනේ නෑ.මට හිතුන වෙලාවට බයික් එක අරන් මම එළියට යනවා.මගේ කරුමෙට එහෙමවත් මගේ ජීවිතේ ඉවරයක් වුනේ නෑ.කොච්චර ඔළුව අප්සට්වුනත් වටපිට ගැන ඇලර්ට් එකේ තමයි යන්නේ.ඒ ඉතින් ට්රේනින් එකේ පුරුද්ද නිසා වෙන්න ඇති.අපේ කෑම්ප් එකේ ඉදන් ගෙවල් තුනකට විතර එහායින් තිබුනා තට්ටු දෙකේ ගෙයක්.ඔය ගෙදර උඩ තට්ටුවේ ඉදන් මම යන එන වෙලාවට හැමදාම කෙල්ලෙක් මගේදිහා බලන් ඉන්නවා කියලා මට තේරුනා....උඹ දන්නවා ඇතිනේ DT එකේ සද්දේ....මම කෑම්ප් එකෙන් එළියට එනකොට ඒකේ සද්දේ ඇහෙනවා කිලෝමීටරයක් විතර. වටෙන් පිටෙන් හොයලා බලද්දී ඒ ගෙදර හිටියේ අම්මයි, දුවයි.තාත්තා එංගලන්තේ ඉංජිනියර් කෙනෙක්.
පොතේ හැටියට ඔය බලන්නේ ඒ ගෙදර කෙල්ලම වෙන්න ඕනේ නිසා දවසක් මම ඔතන බයික් එක නවත්තලා පිස්ටල් එකත් අරගන ගියා ගෙදරට.ඒ කාලේ එහෙමනේ....සර්චින් වොරන්ට් ඕනේවුනේ නෑ අපිට ගෙයක් සර්ච් කරන්න.ඒ අම්මා බයවෙලා හිටියේ. ඒත් ඒ කෙල්ල පොඩ්ඩක්වත් බයවෙලා හිටියේ නෑ.ඒකි හිටියේ මාත් එක්ක හිනාවෙවී.මගේ හිතටත් දැන් මොකද්ද වෙනවා කියලා මට දැනෙනවා.ඒත් හිතටත් බයයි.මොකද එහෙම කතාවක් මම බලාපොරොත්තු නොවුන නිසා.අනික ටෙරාලගේ ට්රැප් එකක්ද දන්නෙත් නෑනේ.... ඒ කාලේ කෑම්ප් එක වටේ තියන ගෙවල් දවසකට පාරක් චෙක් කරනවා. සමහර කාල වලදී දෙපාරක්.අපි ඒවට නොගියත් ඔය ගෙදරට යන්න තියන උවමනාව නිසා මමත් අපේ කොල්ලෝ එක්ක පෙට්රල් යනවා. ඒ කෙල්ල එක්ක කතාකරනවා. අම්මා එක්ක කතාකරනවා....ඔහොම ඔහොම මම ඒ පවුල එක්ක ගොඩක් සුහදවුනා.අන්තිමට ඉවසලා බැරිම තැන මම ඒ කෙල්ලට ආදරෙයි කියලා කිවුවා. ඒකිත් හරියට මම අහනකම් බලාහිටියා වගේ කැමැත්තත් දුන්නා. ඔන්න දැන් ඉතින් ගැමුණු ආපහු ලවිකරන්න පටන්ගත්තා....."
"මොන හු$##ද බං ඔය කරන්නේ....මම විතරද මේක බොන්න ඕනේ....බීපන්කෝ සිගරට් කන්නේ නැතුව...."
"හරි හරි...මම බොන්නම්....කතාව කියනවකෝ.... අරක්කු වලට වඩා ඒක රහයි.... "
"ඒ අම්මනම් එහෙමට අකමැත්තක් පෙන්නුවේ නෑ ඒ සම්බන්දෙට. සමහරවිට අපේ යුනිෆොර්ම් එකට තිබ්බ බය නිසා වෙන්න ඇති. අපේ අම්මලගේ හැටි දන්න නිසා මම ගෙදරට කියන්න ගියෙත් නෑ. ඔහොම ඉන්නකොට කෑම්ප් එකෙනුත් එක එක ලෙඩ ආවා.ඒවාත් බැලන්ස් කරගන කතන්දරේ ඇදගනයන්න මට පුළුවන්වුනා. දවසක් xam එකකට බ්රිටීෂ් කවුන්සිල් එන්න ඕනේ වෙලා කෙල්ල මා එක්ක කොළඹ ආවා.ඒ එන අතරමග දඹුල්ලෙදි ආමි එකෙන් බස් එක නතරකලා. මම ඒකිට කියලා තිබ්බේ චෙක් කරද්දී මම අයියා කියලා කියන්න කියලා.මම ඉතුරුවා කරන්නම් කියලා. ඒත් ආමි එකෙන් ප්රශ්න අහද්දී කෙල්ල බයවුනා.ඒ නිසා දිගටම ප්රශ්න අහනකොට බොරුව මාට්ටුවුනා.දැන් දෙන්නව දෙපැත්තකට දාලා ප්රශ්න අහනවා. අන්තිමට මුන් කියපි උඹ පලයන්...අපි කෙල්ල ගැන ඉන්වෙස්ටිගේට් කරලා රිලීස් කරන්නම් කියලා.උන්ගේ වැඩ මම දන්නේ නැද්ද...මට ඒ වෙලාවේ උන්ගේ තුවක්කුවක් උදුරලා උන්ටම වෙඩිතියන්න තරම් හිතුනත් ආපහු කල්පනාකරලා මගේ මහ එකාට ගත්තා.ඒ කරලා හතර වටේටම කෝල් දිදී කෙල්ලව රිලීස් කරගත්තා."
"උදේ 6ට විතර ප්රශ්නකරපු අපි එතනින් රිලීස් වෙනකොට රෑ 3ත් පහුවෙලා. එදා තියන Exam එකට යන්න වෙලාවත් නෑ.ඒත් මම කෙල්ලවත් අරගන කොළඹ ඇවිත් BC එකට ආවා.ඒ Exam එක ආපහු තියෙන්නේ තව දවස් 4න්.ආපහු එදාට Examdate වෙනස්කරගන හොටෙල් රූම් එකක් අරගන නතරවුනා.ආපහු ගිහින් එන්න කාලයක් නැතිනිසා.දවස් 3ට නිවාඩු දාලා ආපු මමත් මේකි නිසාම නතරවුනා. කෙල්ලගේ අම්මටත් විස්තරේ කියලා අපේ අක්කගේ ගෙදර නතරකරනවා කියලා කිවුවා.මගේ ෆෝන් එක ඕෆ් කලා."
"මම දන්නවා දැන් තෝ හිනාවෙන්නේ ඇයි කියලා.......ඇත්ත....ඒ තමයි මගේ ජීවිතේ ලස්සනම දවස්....හැබැයි ඒ දවස් ලස්සන වුනේ කෙල්ලෙක්ගේ ඇගක් නිසා නෙමෙයි. කෙල්ලෙක්ගේ ආදරය නිසා.ඔහොම ගිහින් දවස් 4න් පස්සේ අපි ආපහු ගියා. කෑම්ප් එකට ගියහමනේ සෙල්ලම.....මට පනිශ් කරලා ඉවරවුනේ නෑ.කෙල්ලගේ ගෙදරිනුත් ප්‍රශ්නකරලා තිබුනා.ඒ අස්සේ අපේ ගෙදරිනුත් ප්රශ්නකලා. ඔන්න ඉතින් අපේ අම්මලා රෙදි කරට ගත්තා, ඔය පර දෙමළියන්ට අපේ ළමයි දෙනවද අහලා. මාව රටවටේට ට්රාන්සර් කරවනවා.මහ කරුම කාලයක්.ඔය අතරවාරේ කෙල්ලගේ තාත්තත් ඇවිත් මේ කලබල නිසාම.එයා හදන්නේ ඒ අයව uk අරන් යන්න.මට හැමදෙයක්ම එපාවෙලා තිබුනේ බං.විශේෂයෙන් මම හින්දා ඒ කෙල්ලට ආපු ප්රශ්න නිසා. අන්තිමේදී මමම කිවුවා එයාට තාත්තා එක්ක යන්න කියලා. අමාරුවෙන් හරි මම ඒ තීරනය ගත්තා.ඒකි නිසා.හදිස්සියෙන් හරි ඒ කෙල්ලව සැකයි කියලා ඇතුලට ගත්තනම් මම ඒකිගේ මුළු ජීවිතේම විනාශකරපු එකා වෙනවා.අපි හම්බවුන අන්තිම දවසෙදී අපි දෙන්නම බදාගන ඇඬුවා...."
"කවමදාවත් අඬපු නැති මමත් එයත් එක්ක ඇඬුවා.එදා ඒ කෙල්ල කිවුවේ එකම එක දෙයයි.කොහොම හරි එහාට එන්න.මම එනකම් බලාගන ඉන්නවා කියන එක. හැමදාම අපි කතාකලා.එතකොටත් ඒකා කියන්නෙම එහාට එන්න කියලා විතරයි.හැබැයි ඒ පවුලෙන් මට කිසිම උදවුවක් ලැබුනේ නෑ ඒකට.ඒ වැඩිහිටියන්ටත් ඕනේ වෙන්න ඇති අපිව වෙන්කරන්න.ඒ කෙල්ලටත් කරන්න දෙයක් ඉතුරුවෙලා තිබුනේ නෑ.ඒකිත් එහාට ගිය අළුතමනේ."
"උඹ යන්න ට්රයි කලේම බැද්ද බං.....?"
" ඒ තිබ්බ ආදරේට මම කොහොමද එහෙම නොකර ඉන්නේ....මම 3පාරක් ගියා බං. ඒකෙන් එක පාරක් සිංගප්පූරුවෙන් මාට්ටුවෙලා ආපහු ආවා. අනිත් දෙපාරම මැලේසියාවෙදි අහුවුනා.ඔය වෙනකොට මම ජොබ් එකෙනුත් අයින්වෙලා.ඒ අස්සේ අපේ අම්මලා මට
මගුල් හොයනවා. ඔහොම ඉද්දී දවසක් බයික් එකේ යද්දී ඒක ඇක්සිඩන්ට් වුනා.මගේ මූන ගන්න දෙයක් නෑ.මේ පේනවද මූණ තාමත් ඇදයි....ආආ... දක්කද....දත් 9ක් කැඩිලා....මම මේවා හදන්නේ නෑ.ඒ ගෙදරින් ගේන මගුල්වලින් මට බේරෙන්න පුළුවන් නිසා....මේවගේ ඉන්නකොට මොන කෙල්ලද මට කැමතිවෙන්නේ....මම අම්මට ආදරෙයි. හැබැයි කේන්තියකුත් හිතේ තියනවා.ඒ නිසාමයි මම එහෙම කරන්නේ...."
" එතකොට කෙල්ල....?"
"ඇක්සිඩන්ට් එකෙන් පස්සේ මම එයාට කතාකලේ නෑ බං.මම මගේ මොබයිල් නම්බර්ස් හිටන් වෙනස්කරගත්තා..... ඒකිගේ නම්බර් සේරම ඩිලීට් කලා. FB,skype පාස්වර්ඩ් පවා වෙන එකෙක්ට කියලා වෙනස් කෙරෙවුවා,
කවදා හරි මට ආපහු හිතුනොත් ඒකිට කතාකරන්න ,එහෙමවත් අවස්තාවක් මට නොලබෙන්න.ඒකි අද කොහේහරි හොදින් ඇති.... "
"අයියේ....දෙයක් අහන්නම්.... ඇත්තම කියනවද....?"
"අහපන්....."
"උඹ ඔච්චර ආදරේ කරපු කෙල්ලගේ ෆෝන් නම්බර් එක උඹට මතක නෑ කියන්නේ ඇත්තටමද....?"
ඒ වේදනාකාරී මුහුනේ මතු වූ සමච්චල්සහගත සිනහව දෙස බලමින්ම මම තවත් දුම්වැටියක් දල්වා ගත්තෙමි.
කටුස්සා....
ප.ලි.
ජීවිතයේ පළමුවරට රැකියාවක් සදහා විදෙස්ගත වූ මා හට ,මේ සුළුකාලය තුල හමුවූ සොඳුරුතමයා ඔහු විය. හෝටල් ක්ශේස්ත්රයේ රැකියාවක් සදහා විදෙස්ගත වූ නමුදු තව මාස කිහිපයක් ඇතුලත වෙනත් ක්ශේස්ත්රයක රැකියාවක් සදහා ඇතුලත්වීමට බලාපොරොත්තුවෙන් සිටින මා හට ,ඒ සදහා උදවුකරමින් උපදෙස් ලබාදෙමින් මගපෙන්වන්නේද ඔහුමය. මේ කතාබහ ඇතිවූවේ ඔහුත් සමග සිදුකල පළමු කතාබහේදීය.මේ සටහන තුල වෙනස්වූවේ ඒ කතාබහෙන් ප්රසිද්ධ මාධ්යක් තුල භාවිතාකල නොහැකි වචන සහ කිසිදු ආකාරයකින් මා හට මතක තබාගත නොහැකි "මිල්ටෙරි"යෙදුම් පමනි. ඔහු අදත් පවසන පරිදි මාව interview කිරීමට පැමින interview වීමට සිදුවූවේ ඔහුටය.සමහරවිට මේ කතාවේ ගතයුත්තක් නොතිබිය හැක.මිලියන ගනනක් වූ මිනිසුන් අතරින් තවත් එක් මනුස්සයකුගේ කතාවක් පමනක්ම වියහැක. එහෙත් ඒ කතාව මා කම්පනය කරවීය.ඒ ඔහුගේ බාහිර චරිතය හා සැසදීමේදී මෙවැනි කතන්දරයක් ඔහුතුල සිරවී ඇතයි සිතීමට පවා අපහසු බැවිනි. කොතනක හෝ මේ කතාව අකුරුවූවේ එමනිසාමය.
ෆෝන් එකෙන්අකුරු කෙටීම මහත් සේ පිළිකුල්කල මා මේ කතාව කොටන්නේ තැළුන සුලගිල්ලක් නිසා ලැබුන ලෙඩ නිවාඩු නිසාවෙනි.මෙසේ කොටන අකුරු හැඩ වැඩ කර ඉදිරිපත්කිරීමට මෙවර ඉදිරිපත්වූවේ හිතාදර "ඇනෝපිලිසයා"ය. ඌ නැත්තන් මේක පබ්ලිශ් කිරීමට අවස්තාවක් නැත්තේ තවමත් පඩි නොලැබුන නිසා ලැට්-ටොප් එකක් මිලට ගැනීමට නොහැකිවූ නිසාවෙනි. ෆෝන් කට්ටෙන් එච්චර ලොකු සීන් දැමිය නොහැක.අවසන් පෝස්ටු දෙකම පබ්ලිශ්කලේ දෙමල නයන්න සහ හංචි කුචුම් නගාට පින්සිද්ද වන්නටය.ඉතින් මුන් තුන්දෙනාට පින්සිද්ද වේවායි පැවසීමටද මෙය අවස්තාවක් කරගනිමි.