Sunday, April 19, 2020

අහසනම් දුරයි... සඳ නේන වග සැබැයි...


හිතවතිය....
මේ තමයි ඒ නිවන
ආදරය වැඩිපුරම ගුලිගැසුන නවාතැන

තුරුල්වී විඳගත්ත....
හිනා කන්දක පලමු පස්පිඩ
නොදැනීම නෙත තෙමුව....
කඳුලු උල්පත මැවුව කෙම්බිම

හැමතැනම....
ආදරය විතරක්ම විසිරිච්ච අපේ තැන

මායාව හිතදරා.... 
ඡායාව නෙත අස්සේ හංගලා
වෑයමෙන්..   
ලෝකෙටම හිනහිලා ඇතිවෙලා

සැනසුමම විතරක්ම
මට දුන්න එකම තැන

පෙරවදන් පසුවදන් අයිතිනැති කතාවක
මියෙන්නට අවැසිමුත්....
පුරුද්දට හුස්මගත් ආත්මය එපාවෙන
නිමේශය....

සැරිසරන්නෙමි සුවඳ සොය සොය
නුඹ තැබූ පා ලකුණු ඉවකර


මියගිහින් බොහෝකල් 
ජීවිතය....
අවසාන සිනාපොද
සොයන්නම් මම දිනක 
මෙතනදිම....
මට මාව අහිමිකල
දම්පාට ඇස්තුලම
සැනසීම....


කටුස්සා....

Monday, April 6, 2020

සඳක් හොරෙන් මම අරන් ආවවග ඔවුන් දකීවිද රාත්‍රීයේ....


ඇය සීතලම සීතල හිමකැටියකි. හැඟීම් සමුදායක් එක්තැන් වී සෑදුන සුපිරිසිදු හිම කැටයකි. ආදරය යන සංකල්පය මේ විශ්වයමත පහලවූවේ කෙදිනකද, එහි මුල් බීජානුවේ රැඳීතිබුන උත්තරීතරත්වය එලසින්ම සඟවා තබාගන උණුසුම් පපුවක් මත්තේ දියවයාමට බලාසිටිනාවූ හිමකැටකයකි. පපුව මත්තේ දියවයන මොහොතේත්, අනන්තවූ කාලයක් පුරාවට තම තුරුල්ලෙහිම සුරැකිව තබාගත් ආදරය බිඳෙන් බිඳ උණුසුම් පපුව අභ්‍යන්තරයේ පණ ගැහෙන හදවතට කාන්දු කරවීමට බලාසිටිනා , ඒ ආදරයෙන් පණගැහුනාවූ හදවතෙහි රිද්මයට සවන් යොමුකරවමින්ම මියයාමට බලාසිටින්නාවූ හිම කැටයකි. කෙටියෙන්ම පැවසුවහොත් හිම කැටකයක ඇති උසුලාගත නොහැකි සීතල පරදා ශිශිර නිද්‍රාවේ පසුවන මනුශ්‍ය ආත්මයකට උණුසුම ලබාදී නිදිගැටපියා හැරලීමට සමත් උණුසුමක් ලබාදීමට සමත් හිමකැටයකි.

ඇයි ඔයා හෙවනැල්ලටත් ගැස්සෙන්නේ...?

මම මටම ගැස්සෙන කාලෙකුත් තිබ්බා. ඒත් දැන් ඒක ටිකක් අඩුවෙලා.... මොකද හිනාවෙන්නේ....මම දැන් හිනායන දෙයක්ද කිවුවේ...?

හිනාගියා ඉතින්.... හෙවනැල්ලටත් ගැස්සෙනවා කියන්නේ බය අඩුවෙලා කියලද ඔයා හිතන්නේ....?

මම බය නෑ... කවුද කියන්නේ මම බයයි කියලා....? බය මිනිස්සු හෙවනැල්ලත් එක්ක ජීවත්වෙන්නේ නෑ....

තමන්ට බයනොවී හෙවනැල්ලට බයවෙනවා කියන්නේ බය නැති කමටද....?

තමන්ටත් බයවෙවී හිටපු කෙනෙක් දැන් තමන්ට බයනෑ කියන එකම ඒ මනුස්සයගේ දියුණුවක් නෙමෙයිද?

ජීවිතය කියන්නේ හුස්මගන්න එක විතරක්නම්.... ඔවු... ඒක දියුණුවක්.

හුස්ම ගන්නවා ඇරෙන්න වෙන මොනවද අපි මේ ජීවිතේ පුරාවට කරලා තියෙන්නේ...?

ආදරේ කරලා තියනවා....

ඒත් ආදරේ කියන්නේ ජීවත්වෙන්න අත්‍යවශ්‍ය සාධකයක් නෙමෙයිනේ. හුස්ම අත්‍යවශ්‍ය දෙයක්.

ආදරේ නැතුව ජීවත්වෙන්න පුලුවන්ද...?

...............................

ඇයි උත්තර නොදෙන්නේ....?

කල්පනාකලා...... ඔවු.... දැන් පුලුවන්.... ආදරේ නැතුව ජීවත්වෙන්න දැන් මට පුලුවන්.

ජීවිතේ සිද්දවුන සිද්දනොවියයුතු සමහරදේවල් නිසා මුලු ජීවිතකාලයම ආදරය විඳවන්න ඕනෙද?

එහෙමත් නෑ. ඒත් ඒ දේවල් මේ ජීවිතයට බලෙන් දන්නවන්න බෑ. ඒ දේවල් දැනෙන්න ඕන ඉබේමයි. ඒ දේවල් දැනෙන්න ඕන හදවතටමයි. අන්න එදාට මගේ හිතේ ආදරය විඳවන එකක් නෑ.... මොනවද අහන්න ගිහින් ගිලගත්තේ....?

මුකුත් නෑ....

අහනවා මෝඩයෝ.... මෙතන අපි දෙන්නගේ සේෆ් සෝන් එකනේ. අපි දෙන්නට හංඟන්න , රකින්න දෙයක් මෙතන නෑනේ....

මුකුත් නෑ ඉතින්....

ඔයාට බොරු කියන්න බෑ.... මම කියන්නද අහන්න ගියේ මොකද්ද කියලා....

ආ... දැන් හිත් කියවන්නත් දන්නවද....?

හැම හිතක්ම නෙමෙයි..... ඔයාව හිතට දැනෙනවා. ඇත්තටම දැනෙනවා. ඒත් අපි දෙන්නම දන්නවා ඔයාව අයිති මට නෙමෙයි කියලා. 

ආදරයට අයිතියක් ඕනෙමද...?

අයිතිකරගන ආදරයකරන, අයිතිකරගන්න හිතාගන ආදරයකරන සීමාව අපි දෙන්නම පහුකරගන ඇවිල්ලා කියලා අපි දෙන්නම දන්නවා පැට්ටෝ...

මම මේ ලෝකේ වැඩියෙන්ම ආදරේකරන ගෑනි කවමදාවත් කටින් නොකීවට මටත් ඒ විදිහටම ආදරේ කරනවා කියලා දැනෙද්දි දැනෙන හැඟීම උඹට මවාගන්න පුලුවන්ද....?  මොකද හිනාවෙන්නේ අමන බැල්ලි....?

ඔයාට අමතකවෙනවා....

මොනවද...?

දවසක් ඔයාම කිවුවා මාව පෙන්නලා, ඔය ඔතන ඉන්නේ මගේ ජීවිතේ ඉතුරු කෑල්ල කියලා....

ඒක මම හැමදාටම කියයි.... 

ඉතින් ඒක එහෙමනම් අරවගේ ප්‍රශ්නයක් අහන්න ඕනද මගෙන්....

ජීවිතේ නැලවෙන්න, සැනහෙන්න ආසමතැන අත පොවනමානේ තියාගන හූල්ලද්දි අහන්න ඕන මොනවද නැත්තේ මොනවද කියන එක අමතකවෙනවා බට්ටි...

ඔයා මේ ජීවිතයට මහාගොඩාරියක් ලෝභවෙනගමන් මාවත් ලෝභකරවනවා

ජීවිතේට දැනෙන දේවල් ඇයි අපි බැරියර් දාගන නවත්තගන ඉන්නේ....?

ඒ දේවල් උහුලගන යන්න පුලුවන් දුර හරි සීමිතනිසා අයියේ

උඹේ කටින් පිටවෙන එකම එක වචනෙකට පුලුවන් ඒ දුර අනන්තය දක්වාම දික්කරන්න. ඒ බව ඔයා හොදටෝම දන්නවා

අපි පොඩිකාලේ වැහි බිංදුවට තේරවිල්ලක් ඉගනගත්තා. අහසට දිග නූල.... ඒත් ලොකුවෙද්දි අපි තේරුම්ගන්නවා වැහි බිංදුව කියන්නේ අහසට බරවැඩිවෙලා අහසින් අතෑරපු දෙයක් කියලා. මේ ආදරෙත් එහෙමයි පැට්ටෝ.  මේ ආදරෙත් එක්ක ඔයාට මට එකට යන්න පුලුවන් දුර හරි සීමිතයි. ඇත්තම කිවුවොත් මේ ආදරය අපි දෙන්නව හොයාගන්නේ අන්න ඒ සීමිත දුරේ අපි දෙන්නා අතරමංවුනාට පස්සේ .ඉතින් අතරමංවුන ජීවිතයක් කොහොමද තවත් ඒ වගේම අතරමංවුන ජීවිතේකට පාර කියන්නේ?

ඔයා ප්‍රශ්නේ මගාරින්නේ මහ පාදඩ විදිහට

ඇයි එහෙම කියන්නේ....?

ඔයත් හොදටම දන්නවා, මමත් දන්නවා, මේ අතරමංවුන ජීවිත දෙකටම සැනසීම තියෙන්නේ කොතනද කියලා. වෙලාතියෙන්නේ ඔයා බයවෙලා ඉන්නේ. ඔයා බයවෙලා තියෙන්නේ ඔයාටමයි. හෙන නපුරු ලෝකේ පෙරලන්න තරම් හයියයි කියලා හැමෝටම පෙන්නගන ඉන්න ඔයා මෙතනදි ඔයාටම බයවෙලා. ඔයාම දන්නවා මෙතන්ට ඕන ඔයාගේ එකම එක වචනයක් විතරයි කියන එක. ඒ වචනෙට මේ ලෝකෙම පෙරලන්න පුලුවන් එකෙක් එහාපැත්තේ ඉන්නේ කියන එකත් ඔයාදන්නවා. ඔයා සැකකරන්නේ එහා පැත්තේ ඉන්න එකාව නෙමෙයි. ඔයාවමයි. ඒ සැකේ නිසාම ඉස්සරහට තියන්න ඉස්සෙන්න දඟලන කකුල ඔයා අත්දෙකෙන්ම පොලවට තදකරගන ඉන්නවා සෑහෙන ආයාසයකින්. එතන ඉන්නේ මම දැක්ක , තේරුම්ගත්තු බට්ටි නෙමෙයි. ආදරය කියන්නේ කැපකිරීමක්, දීමක් විතරමයි කියලා හිතට බලෙන් කොටලා පොවන්න හදන ලෝකේ ඉන්න නපුරුම ගෑණි

ඉතින් ඒක එහෙම නෙමෙයිද?

මොකද්ද?

ආදරය කියන්නේ බලෙන් අල්ලගන ඉන්නේ නැතුව යන්න දෙන එක නෙමෙයිද?

ආදරේ කියන්නේ ඒක වෙන්න ඇති. ඒත් ඒකේ තේරුම ඒ ආදරේට ගුලිවෙලා ඉන්න පෙරුම්පුරන එකාව පලයන් කියලා එලවන එක නෙමෙයි

එහෙම පෙරුම්පුරන එකා දැනගන්න ඕන නේද ඌව අයිති මෙතන්ට නෙමෙයි, ඒ ජීවිතේ වෙන කෙනෙකුට බාරදීලා ඉවරවුන එකක් කියලා

ඔවු.ඒ ජීවිතේ එහෙම බාරදීලා තිබුනා. ඒ ඔයාව හම්බවෙන්න කලින්. අහම්බයක්වුන මේ හමුවීම ඇතුලේ ජීවිතේ තියෙන්නේ මෙතනයි කියලා තේරුම්ගත්තටත් පස්සේ මම තවත් මට අයිතිනැති තැනක මුලුජීවිත කාලයටම ජීවත්වෙන්න හිතහදාගන්න ඕනද...?  මේ ලෝකේ එහෙම ජීවත්වෙන මිනිස්සු ඕනතරම් ඉන්නවා කියලා මම දන්නවා. ඒත් ඇයි මමත් එහෙම ජීවත්වෙලා මුලු ජීවිතකාලෙම විඳවන්න ඕන?  මේ ලෝකේ ඉන්න නපුරුම නපුරු අමන බැල්ලියෙක්ගේ මරිමෝඩ තීරනයක් නිසා ඒකියි මමයි දෙන්නම මුලු ජීවිතේම විඳවන්න ඕනද?

ඔයාට එහෙම වෙන්න එයා ඉඩදෙන්නේ නෑ. එයා ඔයාට සෑහෙන ආදරෙයි. ඔයාගේ හිතේ සතුට වෙනුවෙන් එයාට ඕනම දෙයක් කරන්න පුලුවන් කියලා එයා පෙන්නලා තියන ගෑනියෙක්. ඉතින් කොහොමද එයා එක්ක ඉද්දි ඔයා විඳවන්නේ.... කවදාවත්ම විඳවන්න වෙන්නේ නෑ ඔයාට

මම ඒ ආදරේට මුකුත් කියන්නේ නෑ. ඒ ආදරේ එහෙමයි.මම ඒක පිළිගන්නවා. ඒත් මේක ඊටවඩා විකාරයි. මම සෑහෙන තිබහකින් එද්දි මට හම්බවෙනවා සීතල වතුර තියන පොකුනක්. පොකුන අයිනෙම වතුර පුරෝපු ගුරුලේත්තුවකුයි කෝප්පෙකුයි. හෙම්බත්වෙලා ආව මම පොකුනට මූන ඔබාගන වතුර බීගන බීගන යනවා වෙනුවට ගුරුලේත්තුවෙන් කෝප්පෙකට වතුරදාගන සීරුවට බොනවා. ඇත්තටම ඒක විකාරයි.

ඒත් ඒක ලස්සනයි පැට්ටෝ....  පොකුනගාව දනගහගන ඇඳුම්වල මඩගාගන ,වතුර පෙරාගන බොනවට වඩා හිමින් සැරේ වතුරබොන එක පිළිවලය

ඒත් ඇයි.... මොකක් නිසාද මම එහෙම කරන්න ඕන....?

ඒකට තමයි ජීවිතේ පිලිවෙල කියලා කියන්නේ. ඔයා ශිශ්ඨසම්පන්න මනුස්සයෙක් කියලා අනිත් අය පිලිගන්නේ එහෙමකලොත්.... 

මගේ ජීවිතේ තියෙන්නේ ඔය කියන අපිලිවෙල ඇතුලෙමනම්..... මම මොන එහෙකටද මගේ ජීවිතේ අමතකකරලා මවාගත්තු එකෙක්ව එතන්ට බලෙන් ඔබ්බවගන්නේ. එතකොට ඒ ජීවිතේට අසාධාරනයක් කරන්නේ ඔයාද.... මමද.... අපි දෙන්නමද....

අයියා පැට්ටෝ.... අහන්නකෝ.... අපි මේ ජීවිතේ ගෙවාගන දුරයද්දි සමහරවෙලාවට අපිට තුන්මං හංදි, හතරමං හංදි විතරක් නෙමෙයි හම්බවෙන්නේ.... කිසිම තෝරාගැනීමක් නැතිව කිලෝමීටර් සියගානක් තනිකෙලින් ඉද්දගැහුවාවගේ යන්න සිද්දවෙන තැන් තියනවා. ඒක මටවඩා ඔයා දන්නවා පැට්ටෝ.... ඉතින් එහෙමතැන් මගාරින්න අපිට කිසිම අවස්තාවක් මේ ජීවිතය දීලානෑ. අපිට හංදියක් හම්බවෙනකම්ම ඒ සම්පූර්න දුර ගෙවාගන යන්න සිද්දවෙනවා නේද අයියේ....?ඒ කාලසීමාවේ අපිට ඔප්ශන් නෑ. අපි ඇවිදගනම ඒ සම්පූර්න දුර ගෙවන්න ඕනේ...

මනුස්සයෙක් කිලෝමීටර් සියගානක් නෙමෙයි, දහස්ගානක් තනියම කාන්තාරයක් මැද්දෙන් වැටිලාතිබුන පාරක ඇවිදගන එනවා. ඒ මුලු දුරේදිම ඒ මනුස්සයට ඔප්ශන් තිබ්බේ නෑ.  පුදුම ආයාසයකින් ඒ මනුස්සයා හංදියකට ඇවිල්ලා. එක පැත්තකට හැරුනොත් ක්ශේම භූමියක්. අනිත් පැත්තට හැරුනොත් තවත් ඒ වගේම කිලෝමීටර් දහස්ගානක ඉද්දගැහුවාවගේ පාරක්. ඒත් ඒ මනුස්සයට ක්ශේමභූමිය තෝරගන්න දෙන්නේ නෑ. ඒකට ඉඩනොදෙන්නේ වෙන කවුරුවත් නෙමෙයි. ඒ මනුස්සයගේ සතුටම බලාපොරොත්තුවන කෙනෙක්. ඒ මනුස්සයට හිනාවෙන්න කියලාදෙන කෙනෙක්. ඒ මනුස්සයගේ ජීවිතේ අමතකවෙලා තිබුන හැම සතුටකටම ඒ මනුස්සයව අතින් අල්ලගන එක්කගන යනකෙනෙක්. ඒක හරිම අසාධාරනයි බට්ටි....

ඒක අසාධාරන නෑ අයියේ.... සමහර තැන්වලදි ,සමහර කාලවලදි ක්ශේමභූමියට වඩා කාන්තාරේ හොදවෙනවා....

 හිතට විරුද්ධව ඔහොම කතාකරන්න එපා බට්ටි.... ඔයා මෙහෙම හැසිරෙන්නේ ඒ නිසා නෙමෙයි කියලා ඔයා දන්නවා. ඔතන තියෙන්නේ ඔයා ඔයාට බයවීම. අර ඉස්සල්ලා කිවුවාවගේ ඔයා බයයි මාව ලංකරගත්තාම ඒකෙන් මට නරකක්වෙයි කියලා. ඒ වගේම ඔයාට හැමදාම වෙන්න ඕන පරමාදර්ශී ප්‍රේමවන්තියගේ චරිතේ ඔයාගෙන් ඈත්වෙයි කියලා... මට මීටවඩා මේක ඔයාට තේරුම්කරන්න බෑ බට්ටියෝ... කවමදාවත් ඔයාට කිසිම බලපෑමක් නොකරන මට මෙතනදි ඔයාට බලපෑම් කරන්නත් බෑ... ඒත් ඔයාගේ තීරනය මේකමනම් අපි දෙන්නා හිත හදාගමු ඒයි.. .

මොනාටද අපි හිතහදාගන්නේ....?

දෙතනකට වෙලා හූල්ලන්න.....

එයා ඔයාට හූල්ලන්න ඉඩ දෙන්නේ නෑ කවමදාවත්.....මොකද හිනාවෙන්නේ....?

මුකුත් නෑ.ඔයාට අමතකවෙලා.... ඔයා හූල්ලපු එකම තැනකවත් මම හිනාවෙලා නෑ කියන එක....

අයියේ.....

මෙතනින් මෙහෙම ඉඳගන්නකෝ බට්ටියෝ... අහන්නකෝ... ජීවිතේ කියන්නේ මොකද්ද කියන එක මට ඔයාට ඇඟිල්ලෙන් ඇන ඇන කියල දෙන්න ඕන නෑ. ඔයා ඒක හොදටම දන්න , හොදටම අත්විඳින, අත්විඳලා තියන කෙනෙක්. එහෙම කෙනෙක්ට ජීවිතේ කියන්නේ මේකයි කියලා අමුතුවෙන් කියලාදෙන්න ඕනකමක් නෑනේ දරුවෝ...

ඒත් එකම එක දෙයක් ඔලුවේ තියාගන්න පුතේ.... මිනිස්සු තමන්ගේ ජීවිතේ කැපකිරීම් කරනවා. කරන්න ඕන. ජීවත්වෙනවා කියන්නේ ගස් ගල්වගේ ඔහේ ජීවත්වෙන එක නෙමෙයි. ඒත් ජීවිතේ සම්බන්ධ දෙයක්ගැන තීරණගනිද්දි  ඔයිටවඩා චුට්ටක් හිතන්න බට්ටි. මේ කතාවේ හැම අකුරකම, හැම හුස්මකම තියෙන්නේ අපි දෙන්නගේ ජීවිතේ

කොහෙන්ද ආවේ......

සුරංගනාවියක්ව බලාගන්න.... ජීවිතේ වගේ

මෝඩ කෙල්ලෙක්ට ඒකි සුරංගනාවක් කියල විශ්වාස කරවන්න.ඒකි ව සතුටින් පුරවන්න

තමන් සුරංගනාවියෙක් කියලා දන්නේ නැති එකියෙක්ට ඒක කියලා දීලා ඒකිව පරිස්සම්කරගන්න.හැමෝටම සතුටදෙන සුරංගනාවියන්ට අමතකවෙනවා තමන්ගේ සතුට හොයාගන්න. ඉතින් ඒ අය උදේ ඉඳලම කරන්නේ අනිත් මිනිස්සුන්ට සතුට කියන්නේ මොකද්ද කියලා තේරුම්කරලා දෙන එක. පෙන්නන එක.ඔහොම එකදිගට වැඩකරද්දි ඒ අයට මහන්සි හැදෙනවා. අන්න ඒ මහන්සිය නිමලා සුරංගනාවියන්ගේ හිත් සතුටින් පුරවන්න දෙවිගොල්ලෝ වැඩකට නැති රස්තියාදුකාරයන්ට බාරදෙනවා, එකෙක්ට එක සුරංගනාවිගානේ....

ඔයා එයා එක්ක යන දවස වෙනකම් මෙතන හරි පරිස්සම් අයියේ

මම ඔයාට කිසිම දෙයක් කියන්නේ නෑ. තව කියන්න දෙයක් මට ඉතුරුවෙලා නෑ. ඔයාගේ කැමත්තට හැමදෙයක්ම සිද්දවෙයි

මම නැති දවසක අද මේ මොහොත මතක්වෙයිද....?

උඹ නිසාම වෙන කා එක්ක හිටියත්, උඹ නිසාම ජීවිතකාලෙම ජීවත්වෙන්නේ උඹ එක්ක. ඉතින් තප්පරේකටවත් අමතකවෙන එකක් නැතිවෙයි.

අදට යන්න වෙලාව හරි අයියේ...අපි යමු. යන්න ඉස්සල්ලා බඩ්ඩක් කියන්නද...

කියන්න....

ඔයාව නැතිවෙයි කියලා මහා ලෝභකමක් හිතට ආවා, වෙන කවමදාකවත් ආපු නැති තරමේ එකක්. ඒත් නැවතිල්ලේ හිතද්දි ඔයාව කවමදාවත් මට නැතිවෙන්නේ නෑ අයියේ. ඔයා ඉන්නේ අයියේ මගේ හිතේ. මේ ලෝකේ තියන රස...ම බ්ලුබෙරි අයිස්ක්‍රීම් එකවගේ. එතනින් ඔයාව අයින්කරන්න ඔයාටවත් බෑ. ඉතින් කොහොමද ඔයාව මට නැතිවෙන්නේ.... ඔයා හැමදාම මෙතන ඉන්නවා.

අවලම් බැල්ලි.... මම ජීවිතේ ප්‍රාතිහාර්‍ය විශ්වාසකරන්නේ නෑ. ඒත් මෙතනදි.... ඔවු... මම ඒක විශ්වාසකරනවා. කොයිවෙලාවක හරි ඔය හිත වෙනස්වෙයි කියලා මම බලාගන ඉන්නවා.අන්තිම තප්පරේ වෙනකම් මගේ හිතේ බලාපොරොත්තුව නැතිකරගන්නේ නෑ මම මේ කතාවෙදි. හරියට පැන්ඩෝරගේ මහ එකා වගේ....

අපි යමු මෝඩයෝ.... අදට මේ ඇති.... ඉතුරුටික වෙන දවසක...

හරි... වෙනදවසක... අපිට තව කල්තියනවා ගොඩක්. ඒ නිසා නිදහසේ කතාකරමු. 

නරියා.... පරිස්සමෙන් අයියේ...

ඔයත්...පරිස්සමෙන්....


කටුස්සා....