Sunday, June 21, 2020

සඳ හෙමින් බැස යන්න....



ලිහී ගිලිහුණ කෙස් රොදක්
පපුව මත්තේ රැඳි දිනක්
දෑස් තුල මගෙ රුව සොයද්දී
නෙතට නෙත දුටු ඉසිඹුවක්

ආදරේ කියලා කියන්නෙම
උහුලගනු බැරි මතකයක්....

ඇඟිලි තුඩු මත උණුහුමක්
දැනෙන නිදි නැති දිගු රැයක්
ඉවරයක් නැති කතා ගොන්නක
මගහැරුන එක කොම්බුවක්

ආදරේ කියලා කියන්නෙම
දරාගනු බැරි හිස්කමක්....

අනන්තෙට යන සිනහවක්
හීන කන්දක අලු ගොඩක්
කුරුටු කොල මලු ගණන් පුරවන
සිනා කඳුලැලි උල්පතක්

ආදරේ කියලා කියන්නෙම
අපිට අපි හමුවුන තැනක්....


කටුස්සා....