Saturday, October 9, 2021

නන්නං

 


ගේ ඉස්සරහා හරි කලබලයක්. පොඩි පොඩි කුරුල්ලන්, ලේනුන් එන කුරුලු ලෑල්ලට නීල කොබෙයියෙක් ඇවිත්. ඒකා හත් අවුරුද්දක් සාගින්දරේ හිටියා වගේ කුරුලු ලෑල්ලේ තිබ්බ පාන් ටික ගිලිනවා. පීඩිත පන්තියේ අනිත් එවුන් ඒකට දැඩි උද්ඝෝශනයක. බලවන්තයට උන්ගේ උද්ඝෝශනය ගානක්වත් ගියාද....? නෑ සහෝදරවරුනි... ඒකා පාන් ටික ඔක්කොම ගිලලා බිමට බැහැලා නන්නං ගහේ බිම වැටිලා තිබ්බ ගෙඩි වලටත් දෙතුන් පාරක් හොටෙන් ඇන්නා. රස හිතට අල්ලන්නේ නැතුව ඇති, ආපහු ඉගිල්ලිලා ගියා.


නන්නං හෝ නමිනං ලෙස ප්‍රාදේශීය වශයෙන් ව්‍යවහාරවෙන ගහේ කඳ පුරාම ගෙඩි පිරිලා. ගොඩක් ගෙඩි බිම වැටිලා. ගසේ මැද හරියේ තියන ගෙඩි පොඩියි.ඒත් පොළවට ආසන්න කඳේ මුල හරියේ ගෙඩි ලොකුයි. කෝටු කෑල්ලකින් මුල හරිය හෑරුවනම් අල්ලක් තරම්වෙන ගෙඩිත් හොයාගන්න පුලුවන්. ආ... ඒක හොයාගත්තේ චුට්ටක්කයි මමයි පොඩි කාලෙදි.චුට්ටක්කා.... චූටි මාමගේ දුව. අපේ නෑදෑ සනුහරේ ළමුන් අතරින් මගේ වයසට කිට්ටුමකෙනා. මටවඩා අවුරුද්දක් වැඩිමල්. අම්මගේ බාලම මල්ලිට සහ ලකීට දාව ඉපදුන ,අදටත් මගේ හොදම යෙහෙළිය. ලකී.... ලක්ශ්මි නමින් ඉපදුනාට චූටිමාමා කතාකලේ ලකී කියලා.ඒ ආභාශයෙන් පොඩිකාලේ ඉඳලම කකී,පකී.... ආදි නම්වලින් කතාකරලා තියනවා ඇරෙන්න කවදාවත්ම ඇයට අනිත් අය කියනවා වගේ ලකී නැන්දා කියලා කතාකරලා නෑ. අදටත් ඇය මට ලකී. 1987දී චූටිමාමා මැදපෙරදිග යනව, ලකීව සහ එයාගේ එකම දුවව අපේ නිවසේ නවත්තලා. එතකොට මට අවුරුදු තුනයි.චුට්ටක්කට හතරයි.තාත්තගේ අසනීපය, ඒ නිසාම එයාගේ ව්‍යාපාර කටයුතු බලාකියාගැනීමට අම්මට සිදුවීම වගේ දේවල්නිසා ඒ කාලේ අපේ ගෙදර තත්වය ටිකක් ව්‍යාකූලවෙන්න ඇති.ඒ පරිසරය ඇතුලේ මම වැඩිපුරම කාලය ගතකලේ චුට්ටක්කා සහ ලකී එක්ක. වත්තේ ලිඳට සමීපව තිබ්බේ නන්නං ගහ සහ ජම්බු ගසක්. චුට්ටක්කයි මමයි නන්නං කඩන්නේ අපිට නෙමෙයි. පාරෙන් එහාපැත්තේ සිල්ලරකඩයක් දාගන හිටියේ ලොකුමාමා.අම්මගේ අයියා. එයාගේ බිරිඳවුන ටෙක්ලා නැන්දා අසාමාන්‍යලෙස ඇඹුල් ආහාරවලට කැමති කෙනෙක්.අපේ නන්නං බිස්නස් එකේ අවසාන පාරිභෝගිකයා ටෙක්ලනැන්දා. නන්නං හාරන එකත් එහෙම ලේසි වැඩක් නෙමෙයි. ගහමුල සෑහෙන කඩි. ඒ කාලෙදි මම පොඩ්ඩ ඇත්තන් බෙරිකරගන්න එකෙක්. නන්නං හාරද්දි කඩියෙක් එහෙම කෑවොත් චුට්ටක්කා මාව ටිකකට අස්වස්සලා ගෙදට්ට හොරෙන් කුස්සිය ඇතුලෙන් රතුලූණු ගෙඩියක් උස්සගන එනවා. ඒක ගේද්දි මගේ ඉවසීම ඉවරවෙලා බෙරිහන් දෙන්න ඔන්න මෙන්න. චුට්ටක්කා ඉක්මනට මගේ ලඟට ඇවිත් කඩියා කාපු තැන ලූනු ගෙඩිය අතුල්ලනවා. වේදනාව සමනයවුනා හෝ නැතා, බෙහෙතක් ගෑවනේ කියන මානසිකත්වයෙන් සැනසෙන මම, ආපහු එයා එක්ක නන්නං හාරනවා. එහෙම හාරගත්තු නන්නං ගෙඩි සාක්කුවේ හරි චුට්ටක්කගේ ගවුම බොක්ක ගහලා හදාගන්න ඉඩකඩේ හරි දාගන අපි දුවන්නේ ලොකුමාමලගේ කඩේට. ඒ දවස්වල පාරේ වාහන අඩුනිසා මාවත් අතින් අල්ලගන පාර පනින්න චුට්ටක්කට අවසර තිබ්බා. ඒ නැතත් අපි පාර පයින්න ඉන්නවා කියලා දැක්කොත් ලොකුමාමා ඒ පැත්තෙන් පාර අයිනට ඇවිත් පාර දෙපැත්ත බලලා "ආ...දැන් පයින්න..." කියලා අණ දෙනවා.අපිට තියෙන්නේ ඒ අණට කීකරුවෙන්න විතරයි. ඒ ගිහින් නන්නං ගෙඩි ටික ලොකුමාමට විකුණනවා. විකුණනවා කිවුවට ඒ කීයකටද මන්දා.... අපි කොච්චර අඩුවෙන් හෝ වැඩියෙන් ගෙනිච්චත් අපේ ගාස්තුව බීමපැකට් හතරක්. මම හිතන්නේ ඒ කාලේ බීමපැකට් එකක් ශත50යි. ඒ අද ඔය රු.10ට තියන බීමපැකට් සයිස් ඒවමයි. අනික ඒ කාලේ අද වගේ නෙමෙයි. ළමයින්ට හිතුන හිතුන විදිහට ෆ්‍රිජ් එකේ දාලා තිබ්බ සීතල කෑමජාති කන්න බෑ. එහෙම වැඩිපුර කෑවමහම උන්ට හෙම්බිරිස්සාව, කැස්ස, උණ, ගලපටලේ වගේ මාරාන්තික ලෙඩ හැදෙනවා. නැත්තං එහෙම හැදෙයි කියලා අම්මලා බයවෙනවා. අම්මලගේ බයවීම කොච්චරද කියනවනම් ඒ නිසා එක්කෝ ළමයා ගුටිකනවා.නැත්තං බැණුම් අහනවා. ඒ නිසා අපි දෙන්නා කඩේ තියන හාල්,සීනි ගෝනි අතර ඇවිදිනගමන් පළවෙනි බීමපැකට් දෙක බොනවා. ඒ ඇවිදින අතරේ "ඔහේ ගියාට කමක් නෑ.... හාල් ජාති එහෙම කලවම්කරනවා නෙමෙයි....." කියලා ලොකුමාමා හීනි තර්ජන එහෙමත් දානවා.ඒ බීමපැකට් දෙක බීලා අනිත් බීමපැකට් දෙකත් අරගන අපි ආපහු ගෙදර එනවා. ගොඩක්වෙලාවට ලොකුමාමා අපිව පාර පන්නනවා.


නන්නං ගහත් එක්ක පැටලිලා වැඩපොලේ වහලේ වහගන හිටිය පැශන් ෆෘට් වැල නන්නං ගහෙන් ඈත්කරන්නම බෑ.පැශන් ෆෘට් වැල කියද්දිම ඉස්සල්ලම මතක්වෙන්නේ මිථිල අයියව.අපේ පවුල්වල පොඩි එවුනුයි අහල පහල සෙට් එකෙයි ගැන්සියට ඉඳලා හිටලා නිවාඩු කාලවලදි කොට්ටාවේ කරුණා නැන්දලගේ ගෙදර සෙට් එකත් එකතුවෙනවා.නිල්මිණි අක්කා, විශාඛා අක්කා, සුජී අක්කා, මිථිල අයියා වගේ අය. ඒ හැමෝම අපේ ගැන්සියේ කට්ටියට වඩා වැඩිමල්.ඒත් අපේ අයියලා අක්කලා එක්ක ශේප් එකේ සෙල්ලම් කරනවා. ඔය අතරින් මිථිල අයියා තමයි පිරිමි ළමයින්ගෙන් වැඩිමල්ම. මමයි චුට්ටක්කයි තමා පොඩිම. පිල් බෙදෙද්දි, අර උච්චි උච්චි තෝල් දමද්දි, කට්ටිය වටවෙලා ගඟ ළඟ සිටිනා අසරණ මේරී... වගේ ඒවා කරද්දි අපි දෙන්නව ගණන් ගන්නේ බෝංචි කියලා.ඒ කියන්නේ මෙලෝ වැඩක් නෑ කියලා.ඒත් අපිව සෙල්ලමට නොගත්තොත් අපි අඬනනිසා අපිවත් සෙල්ලමට ගන්නවා. හැංගිමුත්තන් කරද්දි අපිව දැක්කත් දැක්කේ නෑ වගේ යද්දි, ටින් කඩද්දි දෙපැත්තෙම එවුන් එකතුවෙලා ඉස්සල්ලම අපිට නොරිදෙන්න බෝලෙන් ගහලා පැත්තකට කරද්දි අපේ හිතටත් මොනවදෝ තේරුණත් අපිත් එතන ලැගගනම ඉන්නවා.


මිථිල අයියා සහ ෆැශන් ෆෘට් වැල ඔලුවට එන්නේ හැංගිමුත්තන් කරද්දි එයා හැංගෙන්නෙම ඒ ෆැශන් ෆෘට් වැලේ හින්දා. අපි කාටවත් නගින්න බැරි නන්නං ගහට නැඟලා ෆැශන් ෆෘට් වැල අස්සේ හැංගෙන මිථිල අයියව කාටවත් හොයාගන්න බෑ. හැමදාම අන්තිමට හොයාගන්නේ මිථිල අයියව. හොයාගන්නවට වඩා ඔක්කොමල්ලව හොයාගත්තට පස්සේ ඇවිත් බාරවෙනවා කිවුවොත් හරි.ඒ ඇවිල්ලා "රජීව අරහෙන් එද්දි මම හිමීන් සැරේ බිත්තියට මුවාවෙලා  බඩගාගන ගිහින් තාප්පෙට නැග්ගා..... චාමි ගහ මුලට ඇවිත් ගහේ මාව හොයද්දි මම හිටියේ බිම.පස්සේ එයා යනවත් එක්කම හොරෙන් ගහට නැග්ගා...." වගේ රම්බෝ ස්ටෝරි කියද්දි බෝංචි කරල්ටික ඒවා අහගන හිටියේ කට ඇරගන.පැශන් ගහ එක්ක තියන පරනම මතකේ මැයි දිනයක්. අවුරුද්ද අමතකවුනාට මොන්ටිසෝරි ගිය කාලයක් නෙමෙයි කියලා හොදටම මතකයි. මේ කියන දවසෙදි තාත්තත් ජීවතුන් අතර හිටිය නිසා, ඒ බොහෝවිට 88 හෝ 87 අවුරුද්දේ මැයි දිනයක් වෙන්න ඇති. ප්‍රාදේශීය සභා පැමිනෙන්න කලින් කඩුවෙල ග්‍රාමෝද්‍ය බල මණ්ඩලේ කියලා හඳුන්නවපු එකක සභාපති තාත්තා නිසා ගෙදර දේශපාලන පසුබිමක් තිබ්බා ඒ කාලේ. තාත්තා මියගියාට පස්සේ ගම් උදාවට ,දේශපාලන රැස්වීම්වලට ගහපු බැනර්, ඒ කාලේ ඔය දේශපාලන උත්සව වලට ගෙනියපු ලොරි සරසන්න යොදාගත්තු එක එක ලට්ට ලොට්ට, ග්‍රාමෝද්‍ය බල මන්ඩලේ, කාන්තා මොකක්ද සංගමේක ලෙටර් හෙඩ් වගේ ඒවා එක්ක තමයි චුට්ටක්කයි මමයි පොඩිකාලේ සෙල්ලම්කලේ.ඒත් ඔය මැයි දිනය වෙද්දි තාත්තා ජීවතුන් අතර. ඒත් එක්තැන්වෙලා. මට හොඳට මතකයි නාවලා රතුපාට ජර්සියක්, සුදුපාට සරමක් අන්දවලා ගේට්ටුකණුව ළඟ තියපු පුටුවක තාත්තව වාඩිකරලා තියනවා පෙලපාලිය බලන්න.මම හිතන්නේ ඒ කොළඹ තිබ්බ ලොකු මැයිදින රැළියට යන අතුරුගිරියේ හෝ මාලබේ කට්ටිය. ඒ පෙලපාලියට අපේ ගේ ගාවදි පැශන් ෆෘට් බීම දුන්නා.ඒ බීම හැදුවේ ඔය කියන පැශන් ෆෘට් වැලේ ගෙඩිවලින්.ඒ අය ගිහින් පැයකින් විතර පස්සේ තවත් පෙලපාලියක් ආවා. ඒ අය, අපේ ගෙදරට පෙනෙන නොපෙනෙන මානයේ තිබ්බ අරංගල විදුලිබල මණ්ඩලේ ඉදිරිපිට නවත්තලා තිබ්බ මංඩලේට අයත් ලොරියක් පෙරලුවා. ඒ පෙරලලා ටිකක් සද්දෙට ආව ඒ පෙලපාලියටත් අපේ ගෙදර අය පැශන් ෆෘට් දුන්නා. අර ඉස්සල්ලා එකෙන් ඉතුරුවෙලා තිබුණ් ඒවා වෙන්න ඇති.ඔක්කොටම ඇතිවුනාද දන්නේ නෑ, ඒත් ඒ අයත් ඒවා බීලා තාත්තටත් කතාකරලා ඒ අයගේ ගමන ආපහු ගියා.පක්ශ වෙනස්වුනත් ගමේ මිනිස්සු. ඒ අද මට හිතෙන හැටි.


ඒ පෙලපාලිය මතක්වෙද්දි සිහියට එන අනිත් මූණු දෙක, නන්දා අක්කා සහ සිරිල් අයියා..... නන්දා අක්කා අපේ තාත්තගේ පාර්ශවේ නෑදෑයෙක්වෙන  දියණියක්. ඇයගේ මව, පියා ඇය කුඩාකලම මියයනවා. පස්සේ අපේ අම්මගෙයි තාත්තගෙයි කසාදෙන් පස්සේ ඇය හැදීවැඩෙන්නේ ඒ දෙන්නා ගාව. සිරිල් අයියා අපේ ගේ හදන්න ආව බාස්ලගෙන් කෙනෙක්. ඒ දෙන්නා යාලුවුනාට පස්සේ ඒ කටයුතු හොයලා බලලා ඒ දෙන්නගේ විවාහයට මැදිහත්වෙලා තියෙන්නේ තාත්තා. දෙණියාය ප්‍රදේශයේ පදිංචිකාරයෙක් වුන සිරිල් අයියගේ ගෙදර තිබ්බ මගුල්ගෙදරට මුලු ගමම ගිහින් තිබ්බා බස් දෙකක් අරගන. ඒ ගමනේ රස මුසු කතා අම්මව බලන්න ඉඳ හිට එන හිතවතුන් තාමත් විඩෙන් විඩේ මතක්කරනවා මගේ කනටත් වැටෙනවා. එදා පෙලපාලිය බලන්න මම ආවේ නන්දක්කලගේ ගෙදර ඉඳලා. නන්දක්කලගේ ගේ කිවුවට ඒක ඩොට්ලින් නැන්දලගේ ගෙදර කැල්ලක්. නන්දක්කලා ඒකේ කුලියට හිටියේ. අපේ ගේ ඉස්සරහා පාරේ ඒ ගේ තිබ්බේ. ඒ වෙද්දි නන්දක්කලට බබාලා හිටියේ නෑ. සමහර දවස්වලට ඒ අය මාව එක්කගන යනවා ඒගොල්ලන්ගේ ගෙදර. ඒ ගෙනිහින් නාවලා, කවලා, නිදිකරවලා එහෙම ඇහැරුනාම මාව ආපහු එක්කගන එනවා. කොහොමත් ඒ කාලේ මම වැඩිපුරම හැදුනේ අපේ නැන්දලා හෝ නන්දක්කා වගේ හිතවතුන්ගේ අතේ. ගෙදර එකතැන්වුන ලෙඩෙක්ව බලාගන්න ගමන් ව්‍යාපාර කටයුතුත් හොයලා බලන්න සිද්දවුන අම්මට ඒක ලොකු අස්වැසිල්ලක් වෙන්න ඇති. පොඩිකාලේ වැඩිය දඟනැති නිශ්ෂබ්ධ විලියම් කෙනෙක්වුන මගෙන් ඒ අයටත් ලොකු වදයක් වෙන්නේ නැතුව ඇති.සිරිල් අයියට තිබ්බේ පුශ් බයිසිකලයක්. ඔය බයිසිකලේ මැද්දේ කොට්ටයක් තියලා ඒක උඩ මාව ඉන්ඳවනවා.නන්දා අක්කා පිටිපස්සේ ලගේජ් එකේ.එහෙම තමා මගේ ප්‍රවාහන කටයුතු සිද්ධවුනේ.මට හොඳට මතකයි එදා සිරිල් අයියා බයිසිකලේ මැද බාර් එකට ඒ කාලේ බයිසිකල්වලට හයිකරපු එක එක මෝස්තර තිබ්බ ඉටි කවරයක් හයිකරලා.ඒකේ යටින් ලස්සනට නූල් එල්ලෙනවා.එදා දවල්ට කවලා මාව නිදිකෙරෙවුවේ නෑ. පෙලපාලිය බලන්න එන්න ඕන නිසා.ඒත් ඒ ඉටිකවරේ උඩින් කොට්ටේ තියන්න බෑ මාව ඉන්ඳවන්න.කොට්ටේ ලිස්සනවා කවරේ නිසා. අන්තිමට එදාම හයිකරපු කවරේ සිරිල් අයියා ගලවනවා.ඒ ගලවලා කොට්ටේ උඩින් මාව ඉන්ඳවලා නන්දක්කවත් එක්කරගන අපේ ගෙදර එනවා පෙලපාලිය බලන්න. එ මිනිස්සු බයිසිකලේට වඩා මට ආදරේකලා. ඊට අවුරුදු පහ හයකට පස්සේ, මම ඉස්කෝලේ තුන වසරෙදි සිරිල් අයියට වරායේ රැකියාවක් ලැබෙනවා. ඒ වෙද්දි එයා පුතෙක් සහ දුවෙක්ගේ තාත්තා කෙනෙක්. වැඩට යන පළවෙනි දවසෙම තලාහේන අටේකණුවෙදි බස් එක පෙරලිලා පාපුවරුවේ ගිය සිරිල් අයියා සහ තවත් කෙනෙක් මියයනවා, ඒ බස් එකටම යටවෙලා.


සිරිල් අයියා හිටිය ගෙදර අයිති ඩොට්ලින් නැන්දා..... අපේ තාත්තගේ හිටපු පෙම්වතියක්.අම්මට කලින් හිටියකෙනා. කොටින්ම කිවුවොත් තාත්තගේ අවසාන පෙම්වතිය.අපේ තාත්තා අම්මව විවාහකරගත්තු නිසා ඇය අපේ අම්මා සමග අමනාපයෙන් හිටියේ. මා දැණුවත්ව අම්මා ඇය සමග අමනාපයක් නොතිබුණත් ඇය දිගින් දිගටම අම්මව මගාරිනවා. අප නිවස ඉදිරිපිට වූ බස් නැවතුම්පොළ ඇයට ආසන්නම එක වුනත්  මම කිසිදවසක ඇයව එම නැවතුම්පොලේදි දැකලා නෑ. ඇය පාවිච්චිකලේ ඇයට තරමක් දුරවූ වෙනත් නැවතුමක්.ඒත් ඇයගේ දරුවන් වූ අර්ජුන අයියත් අනුරාධා අක්කත් අපිත් සමග බොහොමත් කුලුපගව හැසිරුණා. ඇයගේ සැමියා වූ රංජිත් මාමා පවා. ඇය අම්මාත් සමග අමනාපවූවත්, පාර තොටකදි මා මුනගැසුනවිට ඇය නොකලේ මාව ලෙවකන එක විතරයි. මගේ හිස.මුහුණ අතගගා, මාව තුරුලුකරගන ,සිපගන අනේ.... ආරියදාස වගේමයි.... කියද්දි කුඩාකල මහත් ලැජ්ජාශීලි ළමයෙක්වුන මා දැඩි අපහසුතායට ලක්වූවත්, නිවිහැනහිල්ලේ අද ඒ පිළිබඳව සිතද්දි මම ඇයගෙන් දකින්නේ ජීවිතයට හමුවූ ලෙංගතුම ප්‍රේමයේ පහස හැමදාම සිතින් විඳගත් සුන්දර ගැහැණියක්ම විතරයි. මම පාසලේ එකොලහ වසරදී පමන අර්ජුන අයියා හදිස්සි අනතුරකින් ජීවිතයෙන් සමුගත්තා. ඒ පිලිබඳ වූ දුරකථන ඇමතුම ශ්‍රවණය කල ඇය කෑගසාගන පටාචාරවක මෙන් දුවගන ආවේ අපේ නිවසට. "අනේ රත්නායක..... මගේ පුතා...." යැයි දිව අවුත් අම්මාව වැළඳගන අඬන්න පටන්ගත්තා. තාත්තාව විවාහකරගත්තාට පසු ඇය මාගේ මවත් සමග කතාකල පළවෙනි දවස එයවුනා. 


මෙවර ලංකාවට පැමිනිපසු ඩොට්ලින් නැන්දාව සහ අනුරාධා අක්කව ආපහු මුණගැසුණේ අනුරාධා අක්කාගේ විවාහ ඇරයුම පිලිගන්වන්න නිවසට පැමිනි අවස්ථාවෙදි. වයසට ගොස් දුර්වලවී සිටි ඇය මාව ලඟට ගෙන පෙරසේම මගේ මූන අතගා සිපගත්තේ ආරියදාස වගේමයි.... යන සුපුරුදු වාක්‍යද සමගින්. අනුරාධා අක්කාගේ විවාහයෙන් මාස කීපයකට පසුව ඇය මියගිය ආරංචිය ලැබුනත්, කොරෝනා තත්වය නිසා ඇයගේ මරනගෙදරට සහභාගිවීමට ඉඩක් ලැබුනේ නෑ.  "දැන් ඩොට්ලින් නැන්දයි අපේ තාත්තයි එහාට වෙලා ජොලියේ ඇති.ඔයා එහෙම ඉක්මනට එහේ ගිහිල්ලා ඒ දෙන්නගේ ආතල් කඩන්න එහෙම එපා" යැයි අම්මාට කිවුවේ විහිලුවට වුනත් , ඒක එහෙම වෙනවානම් , ප්‍රේමයක් පපුවේ රඳවාගන ජීවිතකාලයක් සුරැකි ඒ සුන්දර ගැහැනියට උරුමවිය යුතුම දේ උරමවූ බවට සිතා අම්මාත් සතුටුවෙන බව මම ඉඳුරාම දන්නවා.


"අයියේ.... ඔයා එද්දි මට නමිනං ගොඩක් ගේන්න හොඳේ.... මම ඒවට පට්ට ආසයි...."


"ඔවු... මට වෙන වැඩ නෑනේ උඹට නන්නං අඳිනවා ඇරෙන්න...."


මේ දෙබස අවුරුදු ගාණකට කලින් ඇසුනක්ද, මෑතකාලීනව ඇසුවක්ද යන්න නිනවුවක් නෑ. ඒත් ආදරය සහ ගැහැනිය යන මාතෘකාවේදි ඉගනගත් වැදගත්ම පාඩම නැවත නැවත සිහිගන්වන ඒ දෙබස, කාමරයේ සිට ජනේලයෙන් නන්නං ගස දෙස බලාගන සිටි මා කාමරෙයෙන් පිටතට ගෙන නන්නං ගස පාමුලට කැඳවීමටනම් සමත්වුනා.  "ඔබ ගැහැනියකට ආදරය කරනවානම් ඇයව රැජිනක් කිරීමට උත්සාහ නොකරන්න. ඇයට ඒ මොහොතේදි අවශ්‍ය නන්නං ගෙඩියක්නම්, දිවි පරදුවට තබා හෝ හාදුවක් සමගින් එය ඇයට ලබාදෙන්න. දිනකදී ඇයට පොරොන්දු වූ සත්මහල් ප්‍රාසාධය ඇයට ලබාදිය නොහැකිවූවත්, ඔබ අද දිනයේ ලබාදුන් නන්නං ගෙඩිය සිහිකර ඇය ඔබව වැලඳගන්නවා ඇත..... එච්චරම කෙළියක් නොවුනත් කර්පට්වෙන්න බී නිවසට පැමිනීමේදි බිරිඳව ශේප්කරගැනීමට ඒ නන්නං ගෙඩිය උපකාරීවනු ඇත". 


මොලේ ඇතුලේ කැරකෙන මෙවැනි විකාර රූපි අදහස් හා මදසිනාවක් සහිතව නන්නං ගෙඩියක් කඩාගත්තා විතරයි, ගෙතුළ සිට මා අමතන ගිමාගේ හඬය.


මාමේ... බීම බොනවද....?

මොන බීමද....?

පැශන් ෆෘට්.....


ආදරය,  ගැහැනිය,  අනාගතය හෝ වෙන මොනයම් හෝ මල ඉලවුවකට වඩා පැශන් ෆෘට් කෙරෙහි වූ පෙරේතකම අතිමහත්‍. කඩාගත් නන්නං ගෙඩියත් දකුනතේ රුවාගන මා ආපසු හැරුණේ ගේ ඇතුලට යාමටයි.


කටුස්සා....


79 comments:

  1. ඕං එහෙනං මං නමෝවිත්තියෙන්ම බුරලම පටන් ගන්නම්.

    මතක් වෙනකොටත් ඇඞෙනව සෑර්. නමිනං දැකපු කාළයක් මතක නෑ😢 තරහා නැතුව, පෝස්ටුවෙ චේද ටිකකුත් කැඩුව නං පංකාදුයි වගේම කියවන්නත් ලේසියි. ආයෙ එන්නම්. 😊

    ස්තූතියි. මේ අපූරු ලිපියෙන් අපේ මතක මංපෙත් එලි කලාට.🙏👌

    ReplyDelete
    Replies
    1. ඉස්ස ඉස්සල්ලම උඹව දැක්කේ. ගොඩක් ස්තූතියි මචෝ මේ දක්වන සහයෝගයට

      Delete
    2. බොලා මෙහෙම ආයෙ ලියනව නං දෙන්නන්කො සප් එක, තුන් අණ්ඩෙන්.🤣

      Delete
    3. කටුසුට එහෙම කියල හරියනවද දන්නේ නැහැ. "ඡේද කඩපිය"වගේ එකක් නේද ...හේ හේ

      Delete
    4. ඕක වෙලා තියෙන්නේ ෆෝන් එකෙන් ටයිප් කරන නිසා. කම්පියුටර් ස්ක්‍රීන් එකට හුරුවෙලා මේකෙන් ඒ ඒ වෙනස්කම් හොයන්න දකින්න හුරු නෑ. ඒත් උඹ කිවුවට පස්සේ පොඩි පොඩි වෙනස්කම් වගයක්කලා. මහාලොකුවට සාර්ථක නෑ. ඔය අජිත් අයියා කියලා තියන විදිහට කියපන් දෙයක් කියනවනම්.එහෙම කිවුවාම ඒක දැනෙනවා වැඩියි😊😊😊

      Delete
  2. නමිනං ගස් දෙකක් නැත්තං තුනක් අහල පහල තිබ්බ. දැං නං එකක් වත් තියේද දන්නෑ. ඒත් ඉද හිටල කැලෑවල් පීරද්දි සෙට් වෙනව. කෝමත් වැඩ කරනවට වඩා ගඩා ගෙඩි නං හම්බෙනව 😃😃😃😃

    පැසන් වැලේ ගෙඩි දම් පාටද කහ පාටද.. 😏😏😏

    ReplyDelete
    Replies
    1. අහිංසක මිනිස්සු දාඩිය මහන්සියෙන් කීයක් හරි හම්බකරන් කන එකට වල කපන කුපාඩියෝ....

      වැලේ ගෙඩි කලුයි. වැලම කලුවෙද්දි ගෙඩි විතරක් වෙන පාටක් වෙන්න විදිහක් නෑනේ😏😏😏

      Delete
    2. අඩේ ඒ දම්පාට පැසන් වල නේද අර රසම සුදුපාට, ඇඹුල නැති මදේ තියෙන්නෙ. ඉස්සර අපේ අම්මගෙ කලවම් මැල්ලුමේ, අනිවාර්‍ය අංගයක් ලපටි පැසන් කොල.😊

      Delete
    3. යාාාහ්...
      බසූ ඕක කියනේව අහන්නෙපා.. ඕක පැසන් ජූස් බොන එකෙක් නෙවී. 😏😏😏😏

      Delete
    4. මයියා- අඩේ... උඹ ගෙඩියේ පාට ඇහුවේ සිරාවටමද😬😬😬 කියන්න එපැයි කලින්😂😂😂

      බස්සා- දම්පාට, කහපාට ඒවට වඩා රසනම් රතුපාට එක. මම සාමාන්‍යයෙන් කන්නේ පලතුරු ජාති 4යි. පැශන් ෆෘට් පෙරේතයෙක්. ඒ නිසා ඒ ගැන ටිකක් දන්නවා. ඔය කුලේම පැනිරස එකක් තියනවා නුවරඑලිය වගේ සීතල පලාත්වල. එක එක නම්වලින් හඳුන්වනවා. මමනම් දන්නේ චයිනා ෆෘට් කියන නම. පැශන් ෆෘට් 100ක් කන්න සීනි දාන්න ඕන වුනාට චටිනා ෆෘට් 100ක් කන්න මුකුත්ම ඕන නෑ😌😌😌😌

      Delete
    5. ආන්න ජංසං, මම හිතෙන්නෙ ඒක, තමා. පැනිම පැනි රහයි.😊

      Delete
  3. නමිනන් කන්න ආසයි. කෘමීන් හරියට ඉන්නව ගෙඩි අතර. මං පොඩිකාලෙ හිතුවෙ කූඹි බිත්තර කියල අර සුදු පාට සත්තු. පස්සෙ තමයි තේරුනේ https://www.mcgill.ca/oss/article/did-you-know/farmer-ants-and-their-aphid-herds ජාතියක් කියල

    ReplyDelete
    Replies
    1. හරි නේන්නම්, කූඹින්ගෙ ගව පට්ටිය දිගේලි කරන්න එතන. පස්සෙ කූඹි එනවා කිරි දොවා ගන්න. 😂

      ඔහොම ගහේ කඳ දිගේ ගෙඩි හැදෙන ගස් වර්ග ටිකයි නේද තියෙන්නෙ? බිලිං, කොස්..🤔

      Delete
    2. ප්‍රා -
      නන්නං ගෙඩිවල සත්තුන්ට ඉන්නත් ලේසියි නේද රැලි මතුපිට නිසා.කොහොමත් නන්නං කන්න කලින් පිහියකින් දෙකට කපන්නම ඕන. ඇතුලේ පනුවොත් ඉන්නවා සමහර වෙලාවට. මම කිවුවට දවසක නන්නං ගහ මුල පොඩ්ඩක් හාරලා බලන්නකෝ නන්නං වාරෙට. අනිත් එක ඒ කාලේ ඔයිට වඩා ඌරු කෑම සෑහෙන කෑවා. නන්නං ගහට එහා පැත්තේ ජම්බු ගහක්. කඩපු ජම්බුයි ගෙදරින් හොරකම්කරන සීනි ටිකකුයි පොල් කට්ටකට දාලා වැඩපොලෙන් අහුලගන්න යකඩ කෑල්ලකින් තලලා චුට්ටක්කයි මමයි කනවා. මලකඩයි අර පොල් කට්ටේ ජරාවයි ජම්බුයි ඔක්කොම බඩේ. දැන් ජරාව වගේ පෙනුනට ඒ කාලේ ඒවා හරි රසයි

      බස්සෝ-
      https://en.m.wikipedia.org/wiki/Fabaceae

      Delete
    3. ගොරක ගෙඩිය ඇතුලට ලුණු කැට දාල බීල නැද්ද?

      Delete
    4. ආයි අහලා? අපේ වත්ත පහල තඩි ගොරොක් ගහේ යකෙකුත් හිටියා.🤣

      පංකාදු කෑමක්. ලුනු, මිරිස් කුඩු දාලා කන්නෙ කුරුඳු කෝටුවෙන්.😊

      Delete
    5. බසූ ගඟෙන් එහා. ඒක ෂුවර් 😂😂😂

      Delete
    6. තාත්තා විතරයි, අම්මා මෙගොඩ😂

      Delete
    7. ප්‍රා- මම තාම ගොරක ගෙඩියක් ගජේ තියනවා දැකලා නෑ. දවසක් අටමා දාලා තිබ්බා ඉදුන ගොරකා වගයක් කවර් ෆොටෝ එකට පාට පාටින්. එදා තමයි දැනගත්තේ ගොරකා ඉදුනාම එහෙමයි කියලත්

      Delete
    8. මහේෂ්, මම නම් එහෙම ගොරක කාල තියෙන්නෙ ඇරැව්වල , මහරගම.

      Delete
    9. බස්සා : අට්ටික්කා

      Delete
    10. සුදීක,
      ගූගල් කරල තමයි, බලාගත්තෙ. අහල තිබුනට, කලින් දැකලා නෑ. ඩොංගා නං කෑව ගිංතොටදි. දැන් එහෙත් හිඟ ඇති, ගස් කැපිලා ගෙවල් හැදිලා.

      ෂා, ලොකු නමිනං කන්න ගහ මුල හාරන්න ඕනෙ බව දැණන් හිටියෙ නෑ නෙව?😒

      Delete
  4. නන්නං නැත්නම් නමිනං හරහා කටුස්සා ජීවිතය හරහා ගිය දුර අසාවෙන් කියෙව්වා.නිතර ලියන්න.

    ReplyDelete
    Replies
    1. මේක ලියලා ටිකක් කල් අනුරුද්ධ අයියේ. පබ්ලිශ් කලේ නෑ. තට්ටය කට්ට කාගන කරන වැඩේ දැකලා ඒකට ගෞරවයක් විදිහටයි මේක දැම්මෙත්

      Delete
  5. යකෝ! (එහෙම කිව්වේ ආදරේට!)මම දැං පන්නි පිටියෙ ඉඳන් ආවේ පේන්ටරයාගේ ගෙදර ගිහිං ඌට හොඳවයිං දෙකක් කියන්න හිතාන! ඌ මගේ වහනේ පින්තාරු කරණ්න පටන් අරං දවස් දෙකයි ඒ දවස් දෙක ඇතුලේ තව දවස් දෙකක් නිවාඩු! අදත් ඇවිත් නෑ! දැං උගේ ගෙදර යන්න සෙට් වෙලා නිකං ඉන්න ගමන් මගෙ බ්ලොගේට හොම්බ දැම්මාම මෙන්න ටොමියා දීලා තිබුනා ඔත්තුවක්! ආවා කියහංකො ඒක දිගේ! අම්මට හුඩු එක දිගට කියෙව්වේ! ඔව් බං එක දිගට! මෙතන සතුට දනවන කාරණා තුනක්!
    1.උඹ නැවත ලියන්නට සෙටමෝල් වීම.
    2.අපේ ට්‍රයි එක යාන්තං හරි ගොඩ යාම.
    3.උඹගේ ආකර්ශණීය ලිවීම! අම්මපා ඒක හරි රහයි බං. ආයේ රෑවෙලා තවපාරක් කියවන්න ඕන . මම පේන්ටරයාට හොඳවයිං දෙකක් කියලා එන්නට පුළුවං උනොත් ඉංතීරුවෙනම තව කමෙන් ඒකක් ලියනවා ටොමියා පල්ලා!

    ReplyDelete
    Replies
    1. තට්ට මහත්තයො, ඔහෙටයි, ගමරාළ මහත්තයටයි, අනුරුද්ධ මහත්තයාටයි ස්තූතියි.

      බැහ්,බැහ්....බහූ ( ෆෝ වීල් නැත්නම් බල්ලෙක් නොවේ. ඒත් දැන් යන්නෙ ත්‍රී වීල්)😂👌🙏

      Delete
    2. ඇත්තම කියනවනම් මේක මෙතන දැම්මේ උඹ නිසා. මම දැක්කා පහුගිය දවස්ටිකේ උඹ කන කට්ට බ්ලොග් ලියවන්න කට්ටියට. මේ හදිස්සියේ ඒකට කරන ගෞරවයක් විදිහට තමයි මේක දැම්මෙත්. මේක ලියලා මාස තුන හතරක් වෙනවා. මගේ ගැන විස්තර වැඩි නිසා මොකේවත් පබ්ලිශ් කරන එක ගිල්ටි වගේ දැනුණා. ඒත් උඹේ වැඩේට උදවුවෙන විදිහේ දෙයක් අලුතින් කරන්න වෙලාවකුත් නෑ මේ දවස්වල. ඒක නිසා ඕන මගුලක් කියලා මේක පබ්ලිශ් කලා.

      දෙවනි කාරණය, උඹ නිවාඩු පාඩුවේ පන්නිපිටියේ යනවනම් අර බුලත් හපයවත් දාගන ඇවිත් පේන්ටරයගේ කනත් පලාගන අතුරුගිරිය හයිවේ එන්ට්‍රන්ස් එකට එනගමන් මෙහෙත් වර.බුලත් හපයා දන්නවා ගේ. එතකොට අපිට බ්ලොග් ප්‍රවර්ධනය ගැන ගැඹුරින් සාකච්ඡා කරන්න පුලුවන්😌😌😌

      Delete
    3. මචං ටොමී.... තට්ටයත් කියලා ,පල්ලෙහා නිදිත් කියලා උඹේ මගපෙන්වීම ලබ්භක්. බ්ලොග් එකට ගිහින් බැලුවා, ඒකේ ලිපි වැඩිකමට මට හොයාගන්නත් බෑ. උඹ සින්ඩියක් කරනවද? මොකද්ද මේ මුන් කියන මගපෙන්වීම🤔🤔🤔🤔

      Delete
    4. අනේ මේ ඔය බකුසුමොටා කරන මගපෙන්වීම? ආං ඕකා හැමෝගෙන බ්ලොග් වල බොගේ ලින්ක් එක අලෝ, අලෝ ගියා. ඇහුවම කිව්වෙ, ප්‍රාජේ තමා කිය දුන්නෙ කියලයි.🤣

      Delete
    5. යන්න එපා ඕකගෙ බ්ලොග් පඩංගුවට. මේ මාත් දානව බොග.බොගේ නම බලුනකුට.😊

      Delete
    6. මගේ හොඳ වෙලාවටද උගේ හොඳ වෙලාවටද මංදා පේන්ටරයා ගෙදර හිටියේ නැත!
      උඹ කිව්ව දේට මම මොනවද කියන්නෝන කියලා හිත හිතා ඉන්නේ! අපිට දැන් ඕන පෝස්ට් වැස්සකුයි කමෙන්ට් කුණාටුවකුයි! බොහොමත්ම ස්තූතියි අපේ (මගේ කියලා ලිව්වොත් අනිත් එවුං මාව කයි) දුක දැක්කාට! ලියමු. දන්න කියන අනිත් එවුං වත් පොඩ්ඩක් ඇදලා ගන්න බලපං!
      අනිවා ඉදිරියේ අපි හමුවේවි!

      Delete
    7. දුප් පර බලුනකුටා. මං යෑ, තෝ නෙව හතරවටේ දහදුරාවෙ යන ගමන්, ලින්ක් එක ඇලෙව්වෙ?����

      මචං කටුසු, හරියට රෝල-කෝස්ටර් රයිඩ් එකක් ගියා වගේ දැණුන, බොලං. දුක, සතුට, ආදරයේ මිහිර, බූට් ආතල් එක සමඟ නන්නං රස ලෙසටම දැණුනා. ආයි ලියහං, ඈ?����������

      Delete
    8. හුට්ටප්පර ජ්ම්පජබර, දාපු ඉමෝජි ඔක්කොටම කෙලවුනා බොලං.:(

      Delete
    9. තවම මේ ඉමොජි දාගන්න බහ. අර බුරා ගේ පෝස්ට් එක කෝ?

      Delete
    10. cut and paste 😈😊😋😆😅

      Delete
  6. ආමි මමත් ටොමියා කිව් පාර දිගේ
    ළමා අවදියට ආයෙම ගියා වගේ
    ලියන කියන විදිහත් හොඳටෝම අගේ
    අගේ නොකර ලියමුද ලිපි නිතර වගේ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඇගයීමට නිදී අයියේ. මේ දවස්වල ජීවන සටන දරුණුයි. වෙලාවක් හම්බුනගමන් ලියමු පුලුවන්විදිහට

      Delete
  7. නියම ලියමනක් නෙව. මට "මොකටද මුත්තේ" සින්දුවත් මතක් උනා ඔය අල්ල පනල්ලේ.

    ReplyDelete
    Replies
    1. පළවෙනි ගොඩවැදුමට වගේම අගේ කිරීමට බොහොමත් ස්තූතියි මචෝ

      Delete
    2. නමිනං ලිපියෙන් නමියව හඳුනා ගැනීම. නරකමත් නෑ...

      Delete
  8. ඒ සුන්දර ළමා කාලයට නමිනං ගෙඩියක් අරංගිය හැටි. දැන් ඉන්න පොඩි උන් මේ ආතල් දන්නේ නෑ. උන්ට ඕනේ කොම්පියුටර් විතරයි. අයෙත් ලියමු මචං කොමෙන්ට් නැතත් අපි කියවනවා. (ඔෆිස් කොම්පියුටරෙන් කොමෙන්ට් කරන්නට බැරිය.)

    ReplyDelete
    Replies
    1. ඕක ඇත්තටම නන්නං නිසා ඔලුවට ආව කතාවක් ඕකේ තියන විදිහටම. ලියලත් ටිකක් කල්. ඒත් පබ්ලිශ් කලේ නෑ. හිතවත්ම එකෙක්ට විතරක් කියවන්න දුන්නා. කතාකරන භාශාවෙන් ලියන්න පටන්ගන තිබ්බට අගට යද්දි නොදැනුවත්වම ලියන භාශාවට පෙරලිලා තිබ්බා. ඒවා හදලතමයි මෙතන පබ්ලිශ් කලේ

      Delete
  9. නමිනං කියෙව්වා මේන් බස්සා වගේ ලිස්සන්න යන්නේ, මට කටුසුගේ කැමතිම ඒ කලේ විරහ ගී වග ලියන කාව්‍ය නිර්මාණ , පපුව කඩන් යන ඒවා .

    ReplyDelete
    Replies
    1. දැන් මම
      "පෙම් කවක් ලියනවා මම ආයේ
      මල් ගහක් ගහක් ගානේ" 😂😂😂😂

      Delete
    2. අන්න , දැක්ක දැක්ක. විරහ ගී යන්නේ නැත්තේ ඒකයි කියල.

      Delete
  10. ඊයේ පෙරේදා බුකියේ පින්තුරයක් දැක්කා , කටුස් ඇත්තටම කටුස් වෙලානේ, මට කණ්නාඩි අලුතෙන් ගන්න වෙයිද ෆොටෝ ෂොප් ද , නැත්නම් ඇත්තටම ...

    ReplyDelete
    Replies
    1. ඇත්ත...ඇත්ත... ඒත් මේ ලොක්ඩවුන් එකේ ආයේ මහත්වෙලා. ආපහු වැඩකරද්දි ආයේ කෙට්ටුවෙන්න ඕන

      Delete
    2. හැන්ඩි පිට ඉන්නවා ඉතින්. අපටත් ආඩම්බරයි. හැබැයි ඉස්සර හිටිය විධිහට ලිඳ වල් හාරන්න බර වැඩ කරන්න හිටියේ කටුස් නේ , මතකද

      Delete
  11. Itha rasawath post ekak.Asawen kiyewwa.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි සහෝදරයා....

      Delete
  12. උඹ ලියනව දැක්කම ඇඟට ලේ ටිකක් ඉනුව කටුස්...

    ReplyDelete
    Replies
    1. වැරදිලා දැම්ම කොමෙන්ට් එකක්ද? ලේ බීවද ඉනුවද

      Delete
  13. අර නැන්දගෙ මාර ප්‍රේමයක් නෙ බං තිබිල තියෙන්නෙ... ඒක හරියට ම හිත නිවිල යන විදිහෙ දෙයක්.

    ReplyDelete
    Replies
    1. අපේ ඩැඩා ඒ කාලේ ටිකක් ගමේ ගෑණු ළමයි අතර ජනප්‍රිය කෙනෙක්. ඩොට්ලින් නැන්දගේ ලවුස්ටෝරි එක තාත්තගේ ඩයරිවල සම්පූර්ණයෙන්ම සඳහන්වෙලා තියෙන්නේ.එයා දන්නේ නැතුව ඇති අම්මයි මමයි ඒවා කියවලා තියෙන්නේ කියලා😌😌😌

      Delete
  14. අපි කකින් හිටපු ගෙදරත් නමිනං ගහක් තිබුනා.ඉන්නකං කිසිම අගයක් තිබුනෙ නෑ අපිට වැඩිය නමිනං කෑවේ වදුරෝ.මේක කියෙව්වම ආයෙත් නමිනං කන්න ආස හිතුනා.

    ReplyDelete
    Replies
    1. නමිනං කෑමට ආසාවක් ඇතිවීම පිළිබඳව දෙවරක් සිතීමට සිදුවේ!

      Delete
    2. නැත නැත එව්වානම් මේ වගේ කාලෙක මේ වගේ රටක ආයේ මේ කපේදී සිද්ධ නොවේවි

      Delete
    3. සොසඳ - අපේ ගෙදරත් ගහ යට කුණුවෙලා යනවා ඉතින්. ඔය කවුරුහරි පිටින් ආව කෙනෙක් කඩාගත්තොත් තමයි

      /මේ වගේ රටක ආයේ මේ කපේදී සිද්ධ නොවේවි//

      අර ඒ පරම්පරාවම තරඟෙට හදනවා, මෙ වගේ රටක් පාලනේ කරද්දිත්. රටක් පාලනය වගේ බරපතල වැඩ නැතුවත් ඔයගොල්ලෝ පැනික්වෙලා. මලවිකාර...😏😏😏

      Delete
  15. මම නම් නමිනම්, කබරංක, ඩොන්ග, ගොරකා, ඇඹිල්ල හැමදේම කාල තියෙනවා. අපි දකුණෙ හරිය?

    ReplyDelete
    Replies
    1. දකුණත් එක්ක මට පුදුම ඇරියස් එකක් තියෙන්නේ😂😂😂 ඩොන්ගා කෑවේ දැනට මාස දෙකතුනකට කලින්, මෙහේ පාරවල් අයිනේ විකුණන්න තිබ්බා. දැනට කන්න ඕනෙම, කාලා නැති දකුනේ කෑම තමයි මට්ටි බෙල්ලෝ

      Delete
    2. හුකා බොල, විජේබාහු සිංහලෙන් ලියනවා. 🙏👌😊🤗

      වැල්කම් ටු ද ක්ලබ්,මේට්. මට මතක්වුනේ ප්‍රාජේව. එයත් ඔහොමයි මුල් දිනවල. අපිත් හීනියට ඇදලා ඇරියා මඩ බාල්දි ගණන්, බට් නෙවර් ක්‍රොස් ද ලයින්.

      පස්සෙ උන්දෑ සිංහල වැඩි දියුණුකරගත්තා. දැන් අපිටම සිංහලෙන් ගහනවා.😂🤣

      Delete
    3. මචන් මේක කාලය සහ කම්මැලිකම අතර ප්‍රස්නයක්, nothing else.

      Delete
    4. @ කටුසූ, මට්ටි බෙල්ලෝ ගැන අසා නැත, වෙනත් නම්?

      Delete
  16. I am trying to write in Sinhala in order to support blog renaissance

    ReplyDelete
    Replies
    1. Its not that hard. At first it gets a little confusing. But over time, that is likely to change.

      Thank you so much for your support and commitment

      Delete
    2. විජේ,
      ඔය හේතුව නිසාම මමත් පෝස්ට් එකක් ලිව්වා. ඉඳලා වාෂ්ප වෙච්ච ප්‍රවීන බ්ලොග් රචකයන්ගෙ, පොස්ට් කීපෙකට ලින්ක් වගයක් තියනවා. කැමති නං එන්න.

      Delete
    3. hey Tom, කෝ ලින්ක් ?

      Delete
    4. https://balunakuta.blogspot.com/2021/10/blog-post_11.html

      Delete
    5. ප්‍රොෆයිල් එකේ නම උඩ ක්ලික් කරලා, බැලුවාම "My blogs" යටතේ, කෙනෙක් ලියන බ්ලොග් බැලුවෑකි. සමහරු බ්ලොග් එකකට වඩා ලියනවා.

      කමෙන්ට් කරන කොට, එන ඩයලොග් බොක්ස් එකේ වම් පැත්තෙ පහලම තියෙන "Notify me" කොටුව චෙක් කලොත්, ඒ කමෙන්ට් එකට යමෙක් රිප්ලයි කලොත්, ඔබට ඊ-මේල් එකක් එනවා.

      නොදන්න කෙනෙකුට ප්‍රයෝජනවත් වේවි කියල හිතලයි දාන්නෙ.අවුලක් නෑ නේද?🙏😊

      Delete
  17. අපි කියන්නෙ නමිනං කියල. අපේ මහගෙදරත් ගහක් තිබුණ. නමිනං පොකුරු ගහේ මුල ඉඳන්ම. හැබැයි ගෙඩි පේන්නෙ නැතුව කුඹි වහල.

    ReplyDelete
  18. ටොමියගේ ලින්ක් එකෙන් මුලින්ම ඇවිත් කියෙවුවා. කිසිම කවි රසයක් නෑනේ කියළා, නිකං හිටියා. පස්සේ තේරුණේ මේ පාර කවි නෙවෙයි ලියලා තියෙන්නේ කියළා. දැන් තමයි කියවලා අහවර වුණේ. නියමයි කටුස්සෝ. නමිනං හාරන්න ගිහිං අනාථ වුණේ නැද්ද? වටේ පිටේ ටොමියෝ කැත කරපුවා එහෙම අහු වෙලා ? නමිනං වගේ අපේ ඇඟේ හැදෙන කිරි ඉන්නොත්. පැෂන් ෆ්‍රුට් වැල කිවුවම මතක් වුණේ, අපේ පැත්තේ අංකල් කෙනෙක් හදපු පොඩි රෙස්ටුරන්ට් එකක්. ඒ ගැන පොස්ට් එකක් ලියන්නං.

    ReplyDelete
    Replies
    1. ආන්න හරි. ලියමු, ලියමු. සුදීකගෙ ගමේ පරණ කතා පට්ට රහයි:)

      Delete
  19. නමිනං, ගොරක, ඩොන්ක, ලොවි, ජම්බු ඔක්කම තියෙනවා අපේ වත්තේ.. පැෂන් ෆ්රුට් නම් තඩි වැලක් තිබිලා ලඟදි කපල විනාස කරලා දැම්ම. :)))

    ReplyDelete
  20. අඩේ...උබ ලියලා....නෙලුම්යායේ උබගේ මැඩල් එක තවම මම ලග

    ReplyDelete
  21. බ්ලොග් එකතු කරන්න කියවන්න මේ පැත්තේ එන්න https://sithuvili.net/

    ReplyDelete
  22. මේ වන විටත් ඔබගේ බ්ලොගය අප අපගේ සින්ඩියට ඇතුලත් කොට හමාරය. එය "අංක 8 කැටපත් පවුර" කොලමයේ දක්වා ඇත! අපට අවශ්‍ය වන්නේ බ්ලොග් ස්වර්ණමය යුගයක් යලිත් ඇතිකිරීමටය. ඒ සඳහා ඔබගේ සහයෝගයද අප නිරන්තරයෙන් බලා පොරොත්තු වෙමු. අප පිළිබඳව හැකි උපරිම ප්‍රචාරණයක් ලබා දෙන්න!

    ReplyDelete