Tuesday, June 14, 2022

Enough is enough....

 


මම ඉස්සල්ලම ඉස්කෝලේ ගියේ බත්තරමුල්ල කොස්වත්ත M.D.H. ජයවර්ධන විද්‍යාලයට.අම්මත් එක්ක බස් එකේ ඇවිත් කොස්වත්ත හංදියෙන් බැහැලා කලපලුවාව පැත්තට තියන ලොකු කන්ද නැගගන කොස්වත්ත පොලීසියත් පහුකරගන පයින්ම තමයි ඉස්කෝලෙට ආවේ ගියේ.කලාතුරකින් තාත්තා එක්ක වාහනේ.ඉස්කෝලේ ඇරිලා අම්මා එක්ක ගෙදර එද්දි පණුවා නලියන්න ගන්නේ "මංගල" ෆිල්ම් හෝල් එක ගාවදි.ඒක එහා පැත්තේ තිබ්බේ පත්තර කඩයක්.පුංචි, හපනා, බිංදු, සිඟිති සිත්තර වගේ පත්තරවල ඉඳලා වයසින් වැඩෙද්දි විජය, මිහිර, වගේ පත්තර වෙනකන් ගත්තේ ඒ පත්තරකඩෙන්. ඒවට අම්මට මහාලොකුවට පෙරෙත්තකරන්න ඕනකමක් වුණෙත් නෑ. 


අම්මට වදදීලා කරදරකරලා , එක්කගන නොගියොත් කට කජුලෙල්ල කරගන හිටියාම එක්කගන යන්න තියන ඉඩකඩ වැඩියි කියලා මම දැනගන හිටිය කඩේ තිබ්බේ ඒ පත්තරකඩේට එහාපැත්තේ. ඒ කඩේ නම අද අමතකවුනත් ඒක ස්නැක් බාර් එකක්. අම්මට කරදරකරලා ඒ කඩේට යන්න ප්‍රධානම හේතුවවුනේ ඒ කඩේ තිබ්බ පලතුරු බීම.ඉස්සරහා එල්ලලා තියන මිදි, කෙසල් වගේ පලතුරු පහුකරගන කැශියර් එකත් පහුකරගන ගියාම ඉඳගන ඉන්න පුටු පහ හයක් ඒ කඩේ ඇතුලේ තිබ්බා.දිවුල්, පලතුරු, ෆලූඩා, දොඩම් වගේ බීම ජාති ගොඩක් ඒකේ තිබ්බත් මම හැමදාම ගත්තේ බීම එක උඩින් අයිස්ක්‍රීම් දාලා දෙන බීම ජාතියක්.ඒ බීම එකට වඩා අයිස්ක්‍රීම් එකට පෙරේත නිසා. "ඔය අයිස්ක්‍රීම් බීම එකත් එක්ක කලවම්කරගන බොන්න..." කියලා අම්මා කිවුවත්, එයාට පේන්න උඩ පාවෙන අයිස්ක්‍රීම් ටික බීම එකේ ඔබලා උඩට ආවහම ටික ටික කන එක තමයි ජොලිම වැඩේවුනේ.දවසක් දොඩම් බීම එකක් අරගන ඒකට අයිස්ක්‍රීම් නොදාපු නිසා ඉස්කෝලෙන් අස්වෙනකම්ම ඔතනින් ආපහු දොඩම් බීම බිවුවෙත් නෑ.


ඒ කඩේ තිබ්බ අනිත් අමතකනොවන දේවල් 2න් එකක්වුනේ කඩේ ඉස්සරහම තියලා තිබ්බ ජැක්පොට් මැශින් දෙක. ලංකාවෙන් ජැක්පොට් තහනම්කරනකම්ම ඒ මැශින් දෙක කඩේ ඉස්සරහා තිබ්බා.අනිත් අමතකනොවෙනම දේ තමයි කලවම් බිස්කට්.ඔය උත්සවකාලෙට ගෙවල්වලට ගෙනියන බිස්කට් ගිෆ්ට් පැකට් ඇරුනාම ඒ කාලේ කඩවල්වල දැන්වගේ 100g බිස්කට් පැකට් තිබ්බේ නෑ.කඩේ ලොකු බෝතල්වල එක එක ජාතියේ බිස්කට් වර්ග අනූව දාලා තියනවා. මට මතකවිදිහට අම්මා ගන්නේ බිස්කට් කිලෝ එකාමාරක්ද කොහේද.කොහොම ගත්තත් ඒ බිස්කට් ගොඩේ වැඩිපුරම තිබ්බේ මාරි බිස්කටුයි තව මොකද්ද පොඩි පැතලි බිස්කට් එකකුයි.ඊළඟට වේෆර්ස්.ඒ දවස්වල ආසමකරපු ලිට්ල් ලයන් සමනල කුකී එකයි චොකලට් බිස්කට් එකයි අනික්වට සාපේක්ශව ගොඩක් අඩුයි.බර අනූව දාද්දි එහෙම වුනාට අපි ඒ කාලේ හිතුවෙම කඩේ මනුස්සයා රස බිස්කට් අඩුවෙන් දාලා රස අඩු ඒවා වැඩියෙන් දානවා කියලමයි.ඔය අරගන යන බිස්කට් ගෙදර දාලා තිබ්බේ කොලපාට ප්ලාස්ටික් භාජනේක.අම්මා හදලා දෙන කිරි එකයි අර බාජනෙන් ගන්න බිස්කට් ටිකකුයි අරගන බිස්කට් පොඟවගන කන ගමන් ඒ කාලේ හවස 5ට පටන්ගන්න කාටූන් එකක් බලනවා කියන්නෙත් වෙනම රසක් තියන ජොලි වැඩක්. අපි වයසින් වැඩෙද්දි, වෙළඳපොළට 100g පැකට් එද්දි ඔය ලූස් බිස්කට් විකිනිල්ල ඉබේම අහෝසිවුනා. ඇත්තටම කිවුවොත් දැනට අවුරුදු 20-25 ඉඳන් කඩවල්වල ඔය ලූස් බිස්කට් විකිනිල්ල දැක්කෙම නෑ.


මේ ඔක්කොම අද මතක්වුනේ හදිස්සියේ අද ගිය සිල්ලර කඩේක පොඩි කාමරවලට වෙන්කරපු වීදුරු ශෝකෙස් එකක ආපහු බිස්කට් වර්ග 4ක් දාලා තියනවා දැක්කාම.ලෙමන් පෆ්, චොකල්ට්, මාරි සහ ඒ කාලේ කවමදාවත් ලූස් විකුණනවා නොදැක්ක ක්‍රීම් ක්‍රැකරුත් ඒ පෙට්ටියේ තිබ්බා.හැබැයි ඒ අර ඒ කාලේ අම්මව බලෙන් ඇදගන ගිහින් ආසාවෙන් ගන්න බිස්කට් එකක් විදිහටනම් නෙමෙයි.100g ක බිස්කට් පැකට් එකක් ගන්න තරම් වත්කමක් නැති, රටේ භාණ්ඩ මිලත් එක්ක බිස්කට් එකකට ඒ තරම් වියදම්කරන්න හැකියාවක් නැතී මිනිස්සුන්ගේ සුසුමට විසඳුමක් විදිහට තමයි ඒ බිස්කට් ඒ විදිහට විකුණන්නේ.


චොකලට් බිස්කට් 1 -රු.16යි.

මාරි බිස්කට් 1 - රු.5යි.

ක්‍රීම් ක්‍රැකර් බිස්කට් 1 - රු.10යි.

ලෙමන් පෆ් බිස්කට් 1- රු.15යි.


වෙනදා වැඩ ඇරිලා ගෙදර යන ගමන් රු.50ට චොකලට් බිස්කට් පැකට් එකක් අරගන ගෙදර ඉන්න ළමයට දුන්න තාත්තා කෙනෙක් අද රු.130කට ඒ බිස්කට් පැකට් එක ගන්නේ නෑ.එයා ඒ වැඩිවුන රු80 දාන්නෙත් ගෙදරට ගෙනියන හාල් කිලෝ එකට.සමහරවිට ඒ හාල් කිලෝ එක අස්සෙන් පොඩි එකාගේ මූන මැවිලා අසරණවෙන තාත්තා කෙනෙක්ට තියන එකම විසඳුමත් රු.50ක් දීලා අරගන යන චොකලට් බිස්කට් 3 වෙන්න ඇති.ඒක දකිද්දි මට මතක්වුනෙත් හවස තේ බොද්දි ක්‍රීම් කැකර් 2-3ක් කන මගේ අම්මගේ මූන. අම්මට හවසට තේ බොද්දි කන්න වෙනදට ගෙදර ගෙනියන ක්‍රීම් ක්‍රැකර් පැකට් එක වෙනුවට රු.50ක් දීලා ක්‍රීම්ක්‍රැකර් 5ක් අරගන යන මාව.


කා-ල-ක-ණ්-නි ඒස පවුලකුයි ඒ පවුල  එක්ක එකතුවෙලා තාමත් ඒ පවුලේ දෙපරැන්දේ දිවෙන් ලොවන සට්ටැඹි රැලක් නිසායි  අපි මේ තරම් විඳවන්න ඕනෙද? මේක කියවන ඔබටයි මටයි තාමත් බිස්කට් 3ක් අරගන යන්න තරම් අහේනියක් නැතුව ඇති.ඒත් හෙට ඒ දේ ඔබට, මට නොවෙයි කියලා තියන සහතිකේ මොකද්ද? ඒ වෙද්දි ඇතිවෙන අහේනිය බිස්කට් 3න් නවතියි කියලා හිතන්න තරම් මේ රටට තියන වැඩපිළිවෙළ මොකද්ද? එහෙම කිසිම දෙයක් නෑ නේද? එහෙනම් අපිට කරන්න ඉතුරුවෙලා තියෙන්නේ එකම එක දෙයක් විතරයි.අපි පොඩිකාලේ ආසාවෙන් රසවින්ඳ ඒ අතීතෙට අපිව අරගන යන ස ට පිං දෙන එක විතරයි.


වාහනේ ෆුල් ටෑන්ක් කරගත්තාම, කොහොමහරි කරලා ගෑස් ටැංකියක් ගත්තාම අද හිතට ඇතිවෙන සහනය ; පෙට්‍රල් කොච්චර තිබ්බත් ගහන්න අතේ සල්ලි නැතිවෙද්දි, ගෑස් ටැංකියට වියදම්කරනවට වඩා පොඩි එකාගේ ටියුශන් ෆීස් ගෙවන එක වැදගත්වෙද්දි හිතට දැනෙන්නේ නෑ. ඒ ඔක්කොටම වඩා මේ ලෝකේ කිසිම දෙමවුපියෙක් තමන්ගේ ළමයගේ බඩගින්න ඉස්සරහා විනීතවෙයි කියලා බලාපොරොත්තුවෙන්නත් අපිට බෑ. සර්පයෙක් දශ්ටකරපු තමන්ගේ ළමයට ඕනකරන ඇන්ටි වෙනම් එක හොයාගන්න ෆාමසියක් ගානේ ඇවිදලා ඒ බෙහෙත නැතිනිසාම තමන්ගේම ලෙයින් ජාතකවුන දරුවගේ මිනියට කරගහන්න වුන තාත්තෙක්ගේ හිතින් ආපහු කවමදාවත් "සියලු සත්වයෝ නිදුක්වෙත්වා" කියන වචන තුන කියවෙයි කියලා හිතන්න අයිතියකුත් අපිට නෑ.


එහෙම තත්වයක් තියෙද්දි අපි මොකටද තවත් මේ ඉවසන්නේ.... ලතවෙන්නේ....??? අපි වෙනුවෙන් තවත් කවුරුහරි පාරට බහිනකම්ද.... අපි වෙනුවෙන් තව කවුරුහරි වෙඩි කනකන්ද....මේ එන්නේ මගේ, අපේ අන්තිම අවස්ථාව වෙන්න පුලුවන්.එදා සිද්ධාර්ථ කිවුවේ "මෙය මගේ අවසන් උපතයි. මෙයින් මතු උපතක් නැත"  කියලයි.ඒ වගේම තමයි, මේ එන්නේ ඔබට, මට ලැබෙන අන්තිම අවස්‍ථාව. අපි මේ අවස්ථාව අතෑරියොත්, ලිස්සලා යන්න ඉඩ ඇරියොත්, අසාර්ථකවුනොත්; බඩගින්නේ, ලෙඩවෙලා ගේ අස්සෙම මැරෙන අපේ මිනිය වළලන්නවත් මනුස්සයෙක් ඉදිරිපත්වෙන එකක් නෑ. ඉදිරිපත්වෙන්න තරම් මනුස්සයෙක් අපි අවට ඉතුරුවෙන එකකුත් නෑ.ඒ නිසා ලෑස්තිවෙලා ඉන්න මේ විසරගෙඩිය පුපුරවන්න.ඒක පිපුරුවට පස්සේ තුවාලයක් ඇතිවෙනවා.හැබැයි ඒ තුවාලෙට බෙහෙත්කරලා හොඳකරන්න පුලුවන්.ඒත් විසරගෙඩිය  තියෙද්දි කොච්චර බෙහෙත්කලත් ඇතිවෙන සහනයක් නෑ.ඒ නිසා ඉස්සල්ලම ඒ විසරගෙඩිය පුපුරවලා දාන්න ලෑස්තිවෙලා ඉන්න.තමන් වෙනුවෙන් ඒ දේ කරන්න පිට කවුරුවත් ඉදිරිපත්වෙන්නේ නෑ. අපි වෙනුවෙන් ඒ දේ කරන්න වෙන්නෙත් අපිටම තමයි.එදාටත් ගෙදරටවෙලා තමන්ගේ දරුපවුල එක්ක සිල් ගන්න එපා.එදාටවත් එලියට ඇවිත් "සුදුපාට ඇන්ඳාට තනි කකුලේ කොක් නයිදේ සිල් ගන්නේ නෑ" කියන දේ පෙන්නන්න, ඒ දේ පෙන්නන්න ඕන මිනිස්සුන්ට.

කටුස්සා....

7 comments:

  1. සව්කාබඔරකලයි

    ReplyDelete
  2. මට හිතෙන්නේ බසිලා තමයි රනිල්ව අරගෙන වැඩේ ශේප් කර ගත්තේ, නන්දෙට මරට එච්චර මොලයක් නෑ, මුන් ඔක්කොම එකයි, ගෝල්ෆේස් අරගලය ජයගත්තොත් ඇරෙන්ඩ අපිට අනාගතයක් නෑ ......

    ReplyDelete
  3. macho........(mage tawama sinhala naha)
    adanna puluwannam adanawa.....
    jivith wenna widina duka danne ................

    ReplyDelete
  4. කොමෙන්ට් එක්ක ෆේස්බුක් එකේ දැම්ම. ඉවසන්න කියන්නේ මැරෙන්න යන්න එපා. මට පෙන විධිහට පාටලී , අනුර , කුමාර් ගුණරත්නම් සභාගයක් තමා ඊළඟට එන්න ඕනේ

    ReplyDelete
  5. මම එනවා.. යමන් මරාගෙන මැරෙන්න.. මොනෞත්තක්ද මේ ජීවිත

    ReplyDelete