ආදරණීය චූටි,
ඔක්කොමල්ලා සනීපෙන් ඇතැයි හිතනවා.මමත් වැඩිය කරදරයක් නැතුව රස්සාව කරගන යනවා.මේ සතියේ අම්මව ක්ලීනික් එකට එක්කගන ගියාද? දොස්තරලා බලල මොනවද කිවුවේ? අර ගියපාර දුන්න බෙහෙතෙන් හතිය අඩුවෙන්නේ නෑ කියලා කිවුවද? මේ පාර පඩි එවුවහම අම්මව හම්බන්තොට එක්කගන ගිහින් වීරසිංහ මහත්තයට පෙන්නන්න.රසිකට සල්ලිදුන්නහම ඒකා වැඩට යන ගමන් චැනල් කරන වැඩේ කරයි.ඔයා ඒ වෙනුවෙන් හම්බන්තොට යන්න ඕනේ නෑ තනියම.අර එවපු සල්ලිවලින් නෙස්ටමෝල්ට් එකකුයි, මාමයිට් එකකුයි ගත්තද.අම්මනම් ඕවා එපා කියයි.ඒ වුනාට බලෙන් හරි හදලා දෙන්න.එයාගේ ඇග දැන් හරි දුර්වලයි චූටි.ගියපාර ගමේ ආව වෙලාවේ දැක්කහම මට ඇඬෙන්නත් ආවා. තාත්තා නැතිවිච්ච දවසේ ඉදන් හේන්වල, කුඹුරුවල කරවෙලාම තමයි එයාට ඔය කරුම ලෙඩේ හැදුනේ. එහෙම කරල හරි එයා අපි තුන්දෙනාට කන්න දුන්නනේ දවසට වේලක් හරි.ඒ නිසා චූටියෝ අම්මව බලාගන්න හොදට.අපි එයාට කොච්චර සැලකුවත් තාත්තා නැතිවුන දවසේ ඉදලා එයා කරපුවැයි ණය ගෙවාගන්න බැරිවෙයි අපිට කවදාවත්ම.වැඩිය තනිපන්ගලමේ එහේ මෙහේ ඇවිදින්න දෙන්න එපා. මට හරි බයයි එයා වැටිලා එක්තැන් වෙයි කියලා.අම්මව බලාගනින් ඇහැක්වගේ නංගියේ.
මල්ලිගේ විස්තර කොහොමද? මේ පාර විභාගේ ලකුණු හොදයිද? මොනවා නැතිවුනත් ඒකගේ ඉගනීමට ඕනේ කරන අඩුපාඩු ටික අරගන දීපන්. නැත්තන් එක එක අඩුපාඩු දැනෙනකොට පොඩි එකාගේ ඉගනීමට තියන උනන්දුව අඩුවෙයි.ඒකා හොදට ඉගනගන්න එක අපේ හිතට කොච්චර සහනයක්ද. පොඩ්ඩට කියන්න මම මේ පාර එනකොට සපත්තු දෙකක් ගේන්නම් කියලා.ඌත් දැන් අවුරුදු දෙකකින් සපත්තු කුට්ටමක් ගත්තේ නෑනේ.ඔය දෙන්නගේ එළවළු කොටුවේ වැඩ එහෙම කොහොමද? පෑවිල්ල නිසා එච්චර සරුනම් නැතුව ඇති නේද? අනේ චූටියේ, ඔය වැඩේ අතැරලා දාන්න.අම්මගේ වැඩයි, ගෙදර වැඩයි එක්ක උඹ කොහොමද නංගියේ ඔය වැඩත් කරන්නේ.පොඩ්ඩටත් ඉස්කෝලේ පාඩම් වැඩක් බලාගන්න කියන්න.ඕවට නැහුනා කියලා ඇති වැඩක් තියනවද? දන්නකාලේ ඉදන් ගමේ ඉන්න හැමෝම කරන්නේ ගොවිතැන.ඒත් දියුණුවිච්ච එකෙක් ඉන්නවද. හැමදාම දියුණුවුනේ ගුනේරිස් මුදලාළි විතරයි ,ගමේ එවුන්ගේ රීරි මාංසේ උරාබීලා.දෙයියනේ කියලා උඹලා තුන්දෙනාට කන්න දෙන්න දැන් මට පුළුවන්.ඔය ගෙදරට ඕනේ කරන දෙයක් මිස ලොකුවට වගාකරන්න යන්න එපා චූටියේ.
මට රසික ලියුමක් එවලා තිබුනා උඹලැයි දෙන්නගේ සම්බන්දේ ගැන. උඹත් ගොන් හරකියෙක්නේ. ගියපාර ආපු වෙලාවේ ඕක මට කිවුවනම් මම ඒ පාර රසිකලගේ ගෙදරත් එක්ක ඔයගැන කතාකරනවනේ. කමක් නෑ.අපි මේ පාර ආවහම කතාකරගන තීන්දුවක් ගමු.රසිකයා හොද කොල්ලා. ගෙදර මිනිස්සුන්ගෙත් වැරද්දක් නෑනේ.මට කියලා එවලා තිබුනා මේ කන්නෙන් පස්සේ මහ ට්‍රැක්ටරයක් ගන්නවා කියලා.ඌ කොහොමත් උත්සහවන්තයා. උඹට වැරද්දක් වෙන එකක් නෑ. උඹත් හිමිච්චි වගේ ඉදගන ඒකව දැලේ දාගත්තා නේද?.
මට මේ පාර අවුරුද්දට ගෙදර ඉන්න බැරිවෙයි චූටි.අවුරුදු දවස්වල නිවාඩු කැන්සල් කරලා.අනිවාර්යයෙන්ම පෝස්ට් එකේ ඉන්න වෙනවා. මම OIC මහත්තයට කිවුවා අවුරුද්දට කලින් ගෙදර ගිහින් එන්නම් කියලා.ඒ වැඩේ හරියයි.එහෙමවුනොත් මම අවුරුද්දට කලින් ගෙදර ඇවිත් යන්න එන්නම්.ඒ එනකොට ගේන්න මොනවහරි තියනවනම් මට ලියල එවන්න පොඩ්ඩගෙනුත් අහලා.මම අරගන එන්නම්.උඹට පුලුවන්නම් කැවුම් ටිකක්, කොකිස් ටිකක් හදල තියපන් මට අරගන යන්න.අවුරුදු දවස්වලට කොළඹ මල පාළුයි චූටියෝ.බලු බල්ලෙක් නෑ.අඩුමගානේ තේකක්වත් බොන්න කඩයක් නෑ.ඩියුටි වැටිලා ඉන්නකොටනම් ඔෆිස් එකෙන් කන්න ගෙනත්දෙනවා.ඩියුටි නැති වෙලාවට කාමරේට ගිහින් මොනවාහරි හදාගන්නවා.මම ගියසතියේ භූමිතෙල් ලිපකුයි අනිත් අඩුම කුඩුම ටිකකුයි ගත්තා. හැබැයි ඒ දවස්වලට මගේ බාහිර උපාධියේ පාඩම් වැඩ ටිකනම් කරදරයක් නැතුව කරගන යන්න පුළුවන්.ඔෆිසුත් වහලා නිසා පෝස්ට් එකට වෙලා නිකන් ඉන්න එකනේ තියෙන්නේ.
මේ මාසේ ඉඳලා මගේ පඩිය වැඩිවෙනවා රුපියල් 3000න්.ඒකත් ලොකු දෙයක්නේ.කොල්ලොනම් කියනවා උඹ ලොක්කගේ පක්කලිකම් කරන නිසා තමයි එහෙම පඩි වැඩිවුනේ කියලා.ඒ වුනාට මම ඒ කතා ගණන්ගන්නේ නෑ.ඔය ඔෆිස් එකට ගිය වෙලාවක ලොක්කගේ වාහනේ හෝදනවා වගේ වැඩ කරන්නේ හිතවත්කමටවත්, ගොට්ට අල්ලන්නවත් නෙමෙයි කියලා උන්ට තේරෙන්නේ නෑ.ලොක්කගේ වාහනේ හේදුවහම හම්බවෙන 150න් මට දවස ශේප් කරගන්න පුළුවන්කම තියෙද්දි මොන බම්බුවටද මම ඒක නොකර ඉන්නේ. සිකුරිටි වැඩේ කරන්න ආවනම් සිකුරිටි වැඩේ කරපන් කියලා මගේ මූණටම කියපු එවුනුත් ඉන්නවා. මූණටම නොකියා හින්ට් පාස් කරන එවුනුත් ඉන්නවා.මම ඒ එකෙක්වත් මායිම්නොකර මගේ වැඩේ කරගන යනවා චූටියෝ. උඹට මතක ඇතිනේ, ගමේදිත් අපිත් එක්ක මූනිච්චාවට හිනාවුනාට බඩගින්නට බත්කටක් දුන්නේ කීයෙන් කී දෙනාද?.ගමෙයි කොළඹයි කියලා වෙනසක් නෑ චූටියෝ.අපි හම්බකලොත් අපි කනවා.මම මේ හදන්නේ කොහොමහරි කට්ට කාගන උපාධිය කරගන්න.මේ රස්සාව නිසා නිදහසේ රෑට පාඩම් වැඩටික කරගන්න පුළුවන්.OIC මහත්තයත් මට ටිකක් උදවුකරනවා.ඒ නිසාම ගොඩක් දවස්වලට නයිට් ශිෆ්ටෙකම දාලා දෙනවා මට. ඒ නැතුව මීට වඩා පඩියක් ගන්න පුළුවන් අත්වැඩ දෙන්න ගියානම්.ඒත් දවසම මහන්සිවෙලා ඇවිත් කොහොමද පොතක පතක වැඩක් කරගන්නේ.අපි කොහොමහරි ගොඩයමු චූටියෝ. කාටවත් පේන්න නෙමෙයි.අපි ඔක්කොම ගොඩක් දුක්වින්ද නිසා.මහන්සිවෙලා පොඩ්ඩටත් උගන්නගන්න ඕනේ.උඹටයි පොඩ්ඩටයි හරිගියාට පස්සේ මට මොනවාඋනත් කමක් නෑ.දැනටත් මේ වැඩකරන තැන්වල ඉන්න මිස්ලා සර්ලා මූණට හිනාවුනාට නැතිතැන මට කතාකරන්නේ සික්කා කියලා කියන එක මම නොදන්නවා නෙමෙයි. ඒත් දැන් මට ඒවට දුකක් හිතෙන්නේ නෑ චූටියෝ.මම දැන් හිතාගන ඉන්නේ මොන දුකක් විඳලාහරි කමක් නෑ මම නැගිටිනවා කියන එක විතරයි.මම විතරක් නෙමෙයි.අපි ඔක්කොම.
මම නවතින්නම් චූටි.ඔක්කොමල්ලවම මතක්කලා කියන්න.අම්මව, පොඩ්ඩව බලාගනින්.උඹ තමයි දැන් ගෙදර ඉන්න දෙවනි අම්මා. උඹ නිසා තමයි මම හිතේ සැනසීමෙන් මෙහෙ වැඩටික කරගන්නේ.ගෙදර ඔක්කොටමත් උඹටත් රත්නත්තරේ පිහිටයි.
ලොකු අයියා.
ප.ලි -
අවුරුද්දට ඇදුම් අරන් එද්දී රසිකටත් කමිසයක් ගේන්නම්.ඒකගේ කමිස සයිස් එක අහලා එවපන් ලියුමක් එවනකොට.
කටුස්සා....