"ඔයා හෙට
එනවද?"
"මේ විදිහට
හම්බවෙන එකෙන් ප්‍රයෝජනයක් තියනවද?"
"දන්නේ නෑ.මට
දැනගන්න වුවමනාවකුත් නෑ....කියන්න....හෙට එනවද?"
"ඔවු....පුරුදු
තැන ,පුරුදු වෙලාවට මම වාහනේ තියාගන ඉන්නවා.ඔයා එන්න"
ෆෝන් එක මේසේ උඩට දාලා සිගරට් පැකට් එකෙන් සිගරට් එකක් පත්තුකරගත්ත මම පුටුවේ හොඳට හරිබරි ගැහුනේ අපේ කතාව විශ්ලේෂනය කරන්නනම් නෙමෙයි.ඒත් ඒ කතාවේ සිද්දවුන ගොඩක් රූපරාමු ආයෙමත් මගේ ඉස්සරහ මැවුනේ ;මේ කතාවේ සදාකාලික වැරදිකාරයා මමම වග ආපහු මටම පසක් කරමින්.
පාසල් අවදියේ ඉදන් තිබුන සෙල්ලක්කාර ජීවිතය උසස්පෙළින් පස්සේ උනත් වෙනස්වුනේනම් නෑ.ගහගැනිලි, මරාගැනිලි වගේම විනෝද චාරිකා, විනෝද හමු, මල ගෙවල්, බන ගෙවල් අඩුවක් වුනේ නෑ.ඒ ජීවිතේට අඩුවක් තිබුනානම් තිබුනේ කෙල්ලෙක්, පෙම්වතියක් නැතිවීම විතරයි.ඒ ඒකට උත්සහ නොකල නිසානම් නෙවෙයි.යාලුවෙන්න අහපු එක කෙල්ලෙක්වත් මට කැමති නොවුන නිසයි.ඒ විදිහට ජීවිතේ ගෙවෙනකොට තමයි අහම්බෙන් ඔයාව මුනගැහුනේ.ඒ පෙම්වතුන් විදිහටනම් නෙමෙයි.යාලුවෝ විදිහට.මට ජීවිතේගැන කිසිම බරක් පතලක් නොතිබුනත් ඔයා ඒ වෙනකොට ඔයාගේ ජීවිතේ ලස්සනට පාටකරන්න පටන් අරගන තිබුනා.මම ඔයාගේ සෙල්ලක්කාර ,දඩබ්බර, අවංක යාලුවා වුනා.පෙම්වතුන් යුගලක් වීමට සමාජය විසින් නොගැලපීමක් විදිහට පිළිගන්න බාධකයක් අපි අතර තිබුනා.ඔයත් එක්ක කතාකරපු පළවෙනි දවසේ ඉඳන් මම ඒක දැනගන හිටියට ඔයා දැනන් හිටියේ නෑ ඒ ගැන.මෙහෙම කාලය ගෙවෙද්දී මට ඔයාව මගේ පෙම්වතිය කරගන්න ඕනේවුනා.කොච්චර සෙල්ලක්කාරයෙක් වුනත් ආදරය ගැන මගේ හිතේ තිබුනේ අමුතුම හැඟීමක්.ආදරය විවාහයෙන්ම කෙලවරවෙන්න ඕනේ කියන හැඟීම මේ කෝඩුකාර හිතේ පැලපදියම්වෙලා තිබුනා ,බරපතල විදිහට.වටේ පිටේ ඉන්න කවුරු මොනවා කිවුවත්; ඔයා මට, මම ඔයාට ආදරෙයිනම් අනිත් එවුන් මකබෑවිලා ගියාදෙන් කියලයි හිතන් හිටියේ.ඔයාට බොරුකරන්න මට කොහෙත්ම ඕනේ කමක් තිබුනේ නෑ.හැමදෙයක්ම ඔයාට කියලා ඔයා කැමතිනම් විතරක් ඔයත් එක්ක යාළුවෙන්නයි මට උවමනාවුනේ.හැබැයි ඒ හිතේ ඇතිවෙලා තිබුන හැඟීම ආදරයමද නැත්තන් යාලුවෝ හැමෝටම කෙල්ලෝ ඉන්නැද්දී මට විතරක් කෙල්ලෙක් නැතිවීම ගැන තිබුන හීනමානය නැතිකරගන කරපු දෙයක්ද කියලා මම තාම දන්නේ නෑ.මම කවදාවත් ඒ ගැන හිතුවෙත් නෑ; මම වැරදිකාරයාවෙයි කියන බයට.
"දිල්....මට ඔයාව හම්බවෙන්න ඕනේ...පොඩි ප්‍රශ්නයක් තියනවා කතාකරගන්න...."
"ෆෝන් එකෙන්
කියන්න අමාරු දෙයක්ද...?"
"ඔවු...හම්බවෙලාම
කතාකරන්න ඕනේ දෙයක්...."
"ඔයා ඔහොම
කියද්දී කොහොමද නෑවිත් ඉන්නේ බන්ටි ....ප්‍රශ්නයක්නේ....මේ ඉරිදට?"
"මැඩම්....ඔයා
දන්නවනේ, ඔයා වගේ බිසී මිනිහෙක් නෙමෙයිනේ මම.....ඔයා කියන ඕනේ දවසක මම
රෙඩි..."
"ඒකම තමයි
මටත් පුදුම....පොඩිකාලේ වැටිලා ඔළුව වැදිලා වගේ හැසිරෙන මේ පිස්සට ඔච්චරටම තියන ප්‍රශ්නේ
මොකද්ද....?කෙල්ලෙක් ගැනද...?"
"හම්ම්...."
"මාරයිනේ...කවුද
ඒ කෙල්ල....?"
"ඔයා..."
මම එහෙම කිවුවේ නෑ.
"ඉරිදට
එන්නකෝ...මම එදාට කියන්නම්.....හැබැයි මේ ප්‍රශ්නේ විසදගන්නනම් ඔයාගේ උදවු
ඕනෙමයි...."
"මගේ තනි
නොතනියට කොහේ යන්න කතාකලත් මුකුත් නොකියා එන ඔයාට උදවුනොකර බෑනේ ඉතින්...."
-------------------------------------------------------------
නුගේගොඩ හංදිය....වාහන පෝළිමයි.කහ ඉරිත් නෑ.ඔයාගේ අත අල්ලගන මම පාර පැන්නා.ඒකේ අමුත්තක් ඔයාට තිබුනේ නෑ.ඔයාගේ තනියට, ඔයාගේ පාළුකපන්න ගිය හැම සැරේකම පාර පනින්න වුනොත් මම ඔයාගේ අතින් අල්ලගන්නවා.ඒත් එදා ඔයාගේ අතින් අල්ලගනකොට මගේ හිත ගොඩක් නොසන්සුන්වුනා.
"මොනවාහරි බොනවද? කනවද?"
"මොනවා හරි
බිබී ප්‍රශ්නේ කතාකරමුකෝ.ඒ වෙනකොට බඩගිනි වෙයිනේ.එතකොට මොනවාහරි කකා ඒ ගැන
කතාකරමු."
"මාත් මාර
මනුසයෙක්ට තමයි ප්‍රශ්න විසදන්න කතාකලේ....ඒකගැන කතාකරලා ඉවරවෙනකොට මට මේකේ පිගන්
හෝදන්න වෙයිද දන්නේ නෑ...ඉන්න....මම මොනවාහරි බොන්න අරගන එන්නම්...."
"ඒයි
පිස්සෝ....ආ කාර්ඩ් එක...මේකෙන් පේ කරන්න..."
"එපා...අද
ආවේ මගේ වැඩකට....අද වියදම් කරන්නේ මම...."
"කියනවකෝ ඉතින්....අර එදාවගේ කොහේහරි යන කුණ්ඩවාලයක් පටලවගත්තද ආපහු.....?කවද්ද අනේ ඔයාගේ ඔය රණ්ඩු ඉවරවෙන්නේ....?"
බීම බටෙන් තොල්දෙක අහකටගත්තු ඔයා මගෙන් ඇහුවා.
මම ඔයාගේ අත අල්ලගත්තා.එතකොටනම්
ඔයා ගැස්සුනා.
"දිල්....මම ඔයාට ආදරෙයි.හැබැයි මට ඔයාගෙන් දැන්ම උත්තරයක් එපා.මට දේවල් දෙකක් කියන්න තියනවා.ඒ දේවල් ඔයාට කිවුවට පස්සේ ඔයාගේ උත්තරේ මට කියන්න".
එහෙම කියපු මම මේ වෙනකොටත් කමිස සාක්කුවේ දාගන හිටපු මගේ අයිඩෙන්ටිටි කාර්ඩ් එක මේසේ දිගේ ඔයාට තල්ලුකලා.
"ඔය තමයි පළවෙනි එක....මම ඔයාටවඩා අවුරුදු 3ක් බාලයි....දෙවනි එක...මේක එච්චර වැදගත් නොවෙන්න පුළුවන්.ඒත් මේක ගැනත් හිතලා මට ඔයාගේ උත්තරේ දෙන්න.මොකද මට ඕනේ නෑ සම්බන්දයක් ඇතිකරගත්තට පස්සේ මගින් නවත්තන්න.මගේ කේන්දරේ අර අඟහරුද මොකාද හතේ ඉන්නේ.එහෙම අය බඳින්න ඕනේ එහෙම එකෙක්මලු.නැත්තන් අනිත් එකා මැරෙනවලු.ඕවා පිළිගන්න අය ඔයගොල්ලන්ගේ ගෙදර ඉන්නවනම් ඒ ගැනත් හිතලා ඔයාගේ උත්තරේ මට දෙන්න.අදම නැතිවුනත් කමක් නෑ.හිතන්න කල් ඕනෙනම් හිතලා බලලා මට කියන්න".
ඔයා ගල්වෙලා.මම තාමත් ඔයාගේ අත අල්ලගන.ඔයාගේ ඇස්වල කඳුළු.මට බය හිතුනා ඔයා බෑ කියයි කියලා.මම හිමිහිට ඔයාගේ අත බුරුල්කලා.මගේ අතින් ඔයාගේ අත මුදවගත්තු ඔයා මගේ අත අල්ලගන හයියෙන් මිරිකගත්තා.ඒ තමයි ඔය මට කැමත්ත දුන්න හැටි; එදා.
"හොඳට හිතල බලලද තීරණය කලේ....?හොඳටම විශ්වාසද මේ දේවල් කවමදාවත් ප්‍රශ්ණයක් වෙන එකක් නෑ කියලා ඉස්සරහට....?"
"ඒ ගැන
මුකුත් කියන්න එපා...."මගේ අත රිදෙන තරමට තදවුනා.
ඒ තමයි මම ඔයාට ආදරෙයි කියලා කියපු
එකම දවස.ඒ වගේමයි ඔයා ඒ වචනේ කවමදාවත් මට කියලත් නෑ.ඒත්
අපේ සම්බන්දය දිගටම ගලාගන ගියා.
-----------------------------------------------------------
මට මෙහෙම හිතෙන්නේ ඇයි?ඔයාගේ මොන අඩුපාඩුවක් නිසාද?භෞතික වශයෙන්නම් ඔයාගේ කිසිම අඩුපාඩුවක් නෑ.පිටපලාතකින් රස්සාවකට කොළඹ ආපු ඔයා ඒ වෙනකොට කොළඹින් ඔයාටම කියලා ගේකුත් හදාගන තමන්ටම කියලා වාහනේකුත් අරගන ;මිනිස්සු කියන විදිහට හොඳ සමාජ තත්වෙක හිටියා.ඔයත් එක්ක යාලුවෙනකොට ජීවිතේ පටන්ගන්න හිතලවත් තිබුනේ නැති මම ඔයා හින්දම අළුතින් ජීවිතේ පටන්ගත්තා.ඒත් ;ඒ දේ මගේ හිතට මදි පුංචි කමක් වුනාද? අම්මලා තාත්තලා නිසා මුදල් අඩුපාඩුවක් නොතිබුනත් ඉස්සර ඉදන්ම ආඩම්බරකාරයෙක්වුන මගේ හිතට ඒ දේවල් දරාගන්න බැරිවුනාද? නැත්තන් යාළුවෝ හැම එකෙක්ම තමන්ට වඩා වයසින් අඩු කෙල්ලෝ එක්ක යාලුවෙලා ඉන්නැද්දී ඔයාගේ වයස මට ලැජ්ජාවක් උනාද?කියලා මට හිතාගන්න බෑ.ඔයාට ආදරය කරන්න තීරණය කරපු දවසේ මගේ හිතේ තිබුන අදිශ්ඨානය කොහේ ගිහින්ද?මොන විදිහට තර්කකලත් කවදාවත් සාදාරනීකරණය කරන්න බැරි ඒ අධම තීරණය මම ගත්තා.
"අපි මේ සම්බන්දේ නතර කරමු..."
"ඇයි...?"
ඔයාට දෙන්න උත්තරයක් මට තිබුනේ නෑ.මම සද්දනැතුව හිටියා.ඔයා කවදාවත් මගේ පස්සෙන් ඇවිත් ඒකට හේතු ඇහුවෙත් නෑ.කවදාවත් මට වදයක් වුනෙත් නෑ.අඩුම ගානේ "මට මෙහෙමකලේ ඇයි" කියලවත් මගෙන් ඇහුවේ නෑ.අවුරුදු එකහමාරක් විතර තිබුන සම්බන්ධය ඒ විදිහට කෙලවරවුනා.වැඩිකල් නොගිහින් මම තවත් ගෑණු ළමයෙක් එක්ක යාලුවුනා.මට වඩා අවුරුදු 4ක් බාල.ඒත් හිතේ තිබුන වරදකාරි හැඟීම එහෙම්මමයි.කාලයත් එක්ක ඒක වැඩිවුනා මිස අඩුවුනේ නෑ.
-------------------------------------------------------------
අවුරුදු 6ක් ගෙවුනා.මගේ ජීවිතේ සතුටින් ගෙවුනා.ඒත් අර වරදකාරී හැඟීම කවදාවත් අඩුවුනේ නෑ.ඔයාට මගේ අතින් සිද්දවුන දේ තවත් ගෑනු ළමයෙක්ට වෙයි කියන බයටම ඔයාගේ සැපදුක අහන්නවත් මම ඔයාට කතාකලේ නෑ.ඒ අවුරුදු 6 ඇතුලේ එකම එක පාරක් මම ඔයාව බලන්න ආවා.ඒ ඔයා වැඩ ඇරිලා යන එන වෙලාවක ඔයාගේ බස් රූට් එකේ බෝම්බයක් පිපිරුන දවසේ.එදා මම ඔයාගේ ගෙවල් ගාවට ඇවිත් වාහනේ නවත්තගන ගොඩක්වෙලා බලාගන හිටියා.ගෙදර ගේට්ටුව වහන්න ආපු ඔයාව දැක්කහම හිත ගොඩක් නිවුනා.ඔයා ගේ ඇතුලට ගියාට පස්සේ මම ආපහු ගෙදර ආවා.ඉවසලා ඉවසලා බැරිම තැන මම ඔයාට කෝල් කලා.මුලදී ටිකක් නොසන්සුන් ගතියක් තිබුනත් ඒ කටහඬේ තරහවක් ගෑවිලාවත් තිබුනේ නෑ.ඒ නිසාම මට මගේ ගැනම ලැජ්ජාවක්, පිළිකුලක් ඇතිවුනා.ඒ විදිහට කතා කරලා ඔයා මට දෙන්න පුළුවන් උපරිම දඬුවම දුන්නා.ඊට පස්සේ මාසෙකට සැරයක් දෙකක් අපි කතාකලා.පෙම්වතුන් විදිහටවත් යාළුවෝ විදිහටවත් නෙමෙයි.හිතවතුන් විදිහට.විනාඩි කීපයකට.
"තව මාස දෙකකින් මම බඳිනවා...."
දවසක් මට කතාකරපු ඔයා කිවුවා.මම මුකුත් කිවුවේ නෑ.අඩුමගානේ සුභ පැතුවෙවත් නෑ.ඒ වෙනකොට මටත් පෙම්වතියක් හිටියත් මට මහා පරාජිත හැඟීමක් දැනුනා.
"මට වෙඩීන් ෆොටෝ එක එවන්න...හැබැයි තනියෙන් ඉන්න එකක්..."
මම කිවුවේ එච්චරයි.කිවුව විදිහට ඔයා ඒක මට එවලා තිබුනා.ඔයා එකේ ලස්සනට....හරිම ලස්සනට හිටියා.ඒක බලලා හිතාගන්න බැරි හැඟීමකින්; සමහරවිට ඊරිසියාවෙන්, පිරිච්ච හිතත් අරගන මම රූෆ් ටොප් එකට ගිහින් හොඳටම බිවුවා තනියම.ඔහොම කාලයක් ගතවුනා.මගේ ජීවිතේත් ගොඩක් වෙනස්කම් සිද්දවුනා. ජීවිතේමයි කියලා හිතන් හිටපු අය ජීවිතෙන් ඈත්වුනා.ආදරය දිහා ගොඩාක් උපේක්ෂාවෙන් බලන්න පුරුදුවුනා.අර දඩබ්බර ජීවිතය සිල් ගත්තා.ඒ අතර තුර පුරුදු විදිහට ඔයත් කතාකලා මාසෙකට 2-3න් පාරක්.
"බන්ටි....දෙයක් කියන්න තියනවා....මම ප්‍රෙග්නට්...."
දවසක් ඔයා මට කිවුවා.ඔයා පිළිගත්තත් නොගත්තත් ඔයාගැන කවදාවත්ම ඇති නොවුන තරම් ආදරේකින් එදා මගේ හිත පිරිලගියා.
"කන්ග්‍රැජ්‍යුලේෂන් දිල්...."
ඒ වෙනකොට ඔයාට කියන්න මට ඉතුරුවෙලා තිබුනේ ඒ වචනේ විතරයි.
"බන්ටි, මට පුතෙක් හම්බුනා.ලස්සන පුතෙක්.අපි දෙන්නටම කරදරයක් නෑ.මේ දවස්වල ගෙදර කට්ටිය පිරිලා.පුළුවන් උන ගමන් මම ඔයාට කතාකරන්නම්."
කාලෙකට පස්සේ ඔයාගෙන් ආපු කෙටි පණිවිඩය.මට කිසිම අයිතියක් නැති දෙයක් වෙනුවෙන් මගේම කියලා හිතාගන මම සතුටුවුනා.මේ විදිහට පුතාට මාස 8ක් විතර වුනා.දවසක් කතාකරද්දී ;
"මට ඔයාව හම්බවෙන්න ඕනේ.3ට විතර එනවද අපේ ඔෆිස් එක ලඟට....?"
"ඇයි....හදිස්සියක්ද....?"
"ඉසරනම් ඔයාට
ඔහොම කිවුවහම ඔය විදිහට ඇහුවේ නෑ.අඩුමගානේ යාළුවෙක් විදිහට හිටපු කාලෙවත්."
"ඉස්සර හිටපු
මමවත් ඔයාවත් නෙමෙයිනේ දැන් ඉන්නේ....හරි...කමක් නෑ.අර පානදුර - නුවර බස්
නවත්තන තැන මම ඉන්නවා 3 වෙනකොට.ඔයා එතන්ට ඇවිත් වාහනේට
නගින්න.නැත්තන් ඔයාගේ ඔෆිස් එකේ කවුරුහරි ඕක දැක්කොත් ඒක ඔයාටමයි හොඳ
නැත්තේ...."
"කොහාටද යන්නේ....?ඉස්සර වගේ මිනිස්සු ඉන්න තැන් වලට අපිට යන්න බෑනේ දැන්..."
"කොහෙවත්
යන්න ඕනේ නෑ....මෙහෙම යන ගමන් කතාකරමු..."
කිසිම කතාබහක් ඇතිවුනේ නෑ ගොඩක් දුර යනකම්.අන්තිමේදී ඒ මූසලකම ඉවසගන්න බැරුවම මම වාහනේ අතුරු පාරක නැවත්තුවා.
"දිල්....ඇයි මේ...?මොකක් හරි ප්‍රශ්නයක්ද...?"
ඔයාගේ අත අල්ලගත්තු මම ඇහුවා.මුකුත්ම නොකියපු ඔයා මගේ උරහිසට හේත්තුවෙලා අඬන්න පටන්ගත්තා.ඔයාව තුරුල්කරගන ඔළුව අතගානවා ඇරෙන්න මට වෙන කරන්න දෙයක් තිබුනේ නෑ ඒ වෙලාවේ.
"ඇති තරම් අඬලා ඉවරවෙලා මට කියන්න මොකද්ද ප්‍රශ්නේ කියලා....?"
"ඇයි බන්ටි
මට මෙහෙමකලේ....?"
අවුරුදු ගානක් තිස්සේ කවදවත්ම ඔයා අහපුනැති ප්‍රශ්නේ එදා ඔයා මගේ ඉස්සරහ අතෑරියා.
"ඔය ප්‍රශ්නෙට මම දැන් මොන උත්තරේ දුන්නත් මම දැන් පරකු වැඩියි දිල්...."
"ඔයා හිතන්න
එපා බන්ටි මම මහා නරක ගෑනියෙක් කියලා....දරුවෙකුත් ඉන්න මම ඔයාගේ ඇඟේ එල්ලෙන්න
හදනවා කියලත් හිතන්න එපා.ඔයාට නිකමටවත් එහෙම හිතෙනවනම් ආපහු කවදාවත් මට කතාකරන්නත්
එපා.මාව හම්බවෙන්නත් එපා.ඒත් මමත් මනුස්සයෙක් බන්ටි.මටත් හිතක් තියනවා.මම මේ ලෝකේ
පිරිමියෙක්ට කියලා ආදරේ කලේ ඔයාට විතරයි.ඒක එදත් එහෙමයි.අදත් එහෙමයි."
"එතකොට....."
"මේ කසාදේ
සිද්දවුනේ ගෙදර බලපෑමට.අක්කා ගෙදර ඉඳිද්දී නංගිලව බන්දන්න බැරිකමට.එහෙම නැතුව
ආදරේකට නෙමෙයි...."
"එච්චර ආදරේ
කලානම් ඇයි දිල් ඒ දවස්වල මම යද්දි යන්තමින්වත් මාව නවත්තගන්න හැදුවේ නැත්තේ....?ඇයි....?"
"මම ඔයාට
ආදරේ කලා....එහෙම නැතුව ඔයාගෙන් වාසි ගන්න ඔයාව ලගින් තියාගන්න හැදුවේ නෑ. ඔයාට
යන්න ඕනේ කියද්දී බලෙන් ඔයාව තියාගන්න තරම් ආත්මාර්තයක් ඒ ආදරේ ඇතුලේ තිබුනේ නෑ
කවමදාවත්."
ඔයා මාව පණපිටින් වැළළුවා.මගේ ජීවිතේ ඒ තරම් අසරණවිච්ච වෙලාවක් කවදාවත්ම තිබුනේ නැතුව ඇති.
"මට සමාවෙන්න දිල්...."ජීවිතේ පළවෙනි වතාවට ආදරයක් වෙනුවෙන් මම කෙනෙක්ගෙන් සමාව ගත්තා.ඔයාගේ ආදරය ඉස්සරහ ඔයා මාව බල්ලෙක් කලා.
"මම මොනවා කරන්නද කියලා මට තේරෙන්නේ නෑ දිල්....."
"ඔයා මොනවත්
කරන්න ඕනේ නෑ.මේක අපි දෙන්නගෙම නොලැබීම.ඔයාට,ඔයාගේ ගෙදරට
ළමයෙක් ඉන්න ගෑනියෙක් ගෙනියන්න බෑ කියලා මම දන්නවා.මටත් බෑ මේ දේවල් නවත්තලා
ඔයත් එක්ක එන්න කොහොමටවත්.....ඒත් මට එකම එක දෙයක් දෙන්න බන්ටි....."
මම මුකුත් නොකියම ඔයාගේ ඇස්දෙක දිහා බලාගන හිටියා.
"ඉඳලා හිටලවත් මාව මේ විදිහට බලල යන්න එන්න බන්ටි.....මම දන්නවා මේක හරිම අසාධාරන ඉල්ලීමක් කියලා....ඒත් මගේ පපුවටත් දරාගන්න පුළුවන් සීමාවක් තියනවා.මගේ හස්බන්ඩ් වෙනුවෙන්, මගේ දරුවා වෙනුවෙන් මම මගේ ජීවිතේ කැපකරනවා.ඒකගැන සැකයක් නෑ.ඒත් මටත් ආදරයක් ඕනේ.මමත් හුස්ම වැටෙන ගෑණියෙක්.මේක ඔයාටත් කරදරයක් වෙයි.ඔයාටත් හිතෙයි මේ මොන මල වදයක්ද...මේ ගෑනි නිසා මට කෙල්ලෙක් එක්ක යාළුවෙන්නත් බෑනේ කියලා.ඔයාට එහෙම කෙනෙක් හම්බුන දවසට ඔයා ඒක මට කියලා මගෙන් ඈත්වෙන්න.මම කවමදාවත් ඔයාව හිරකරන්නේ නෑ.ඒත් එහෙම කෙනෙක් හම්බවෙනකම් ඉඳලා හිටලවත් මේ විදිහට මාව හම්බවෙන්න එන්න."
"දිල්....මම
රට ගියොත් එනවද මාත් එක්ක යන්න පුතාවත් අරන්....?"
"බෑ
බන්ටි...ඒ දේ කවදාවත් වෙන්නේ නෑ....පුතාට අයිතියක් තියෙන්න ඕනේ එයාගේ තාත්තත් එක්ක
ඉන්න....ඒ අයිතිය එයාගෙන් උදුරගන්න මට බෑ...අනික තවකෙනෙක්ගේ දරුවෙක්ට තාත්තා වෙලා
ඔයාගේ ජීවිතේ නාස්තිකරගන්න දෙන්න මට බෑ....ඒ දේ කවදාවත් මගේ අතින් වෙන්නේ
නෑ...."
"මේ කාගෙවත්
දරුවෙක් නෙමෙයි දිල්.ඔයාගේ දරුවා....ප්ලීස්...හිතන්න මේ ගැන තව....ඒ පොඩි එකාට
කවදාවත් මගේ අතින් වෙනස්කමක් වෙන්නේ නෑ...."
"පිස්සෝ....ඒක
ගැන මගේ හිතේ සැකයක් නෑ...ඔයා කවුද කියලා මම දන්නවා.ඒ නිසයි අද මේ විදිහට ඔයාව
හම්බවෙන්න ආවේ.ඔය අතින් වැරද්දක් වුනොත් මට ඔයාට සමාවදෙන්න පුළුවන්.ඒත් මගේ අතින්
වැරද්දක් වුනොත් මටම සමාව දීගන්න මට බෑ.ඒක නිසා ඒ දේ වෙන්නේ නෑ කවදාවත්.....අපි
යමු බන්ටි....ඔෆිස් ඇරෙන වෙලාවත් ලඟයිනේ.....තව දෙයක්....ඔය සීරියස් මූඩ් එක හොඳයි
ඔයාට.ඒත් පුළුවන්නම් මාව හම්බවෙන්න එන දවසට අර ඉස්සර හිටපු පිස්සව අරගන
එන්න...."
එහෙම කියපු ඔයා මගේ ඔළුව පහත්කරලා
මගේ නළල ඉම්බා.
දැන් දවස් 5-6ක්ම මේ දේ සිද්දවුනත් ඒ දේ නවත්තගන්න අපිට ඕනේකමක් වෙලා නෑ.බලාගන ඉන්න අයට මේක වැරදි ඇති.අපි දෙන්නත් දන්නවා මේක වැරදියි කියලා.මොලේ කොච්චර කිවුවත් මේක නවත්තපන් කියලා අපි දෙන්නම නතුවෙන්නේ හදවත කියනදේට.මේ ආදරය ඇතුලේ කවමදවත් අපි සිල්පද බිඳගන නෑ.ඒත් අපිට මේක නවත්තන්නත් ඕනේ.නවත්තගන්නත් බෑ.ඔයාගේ ජීවිතේට මෙහෙම ඉරණමක් අත්කලේ මමයි කියන වරදකාරී හැඟීමෙන් මම පෙළෙනවා.මගේ ජීවිතේ නාස්තිකරනවා කියන වරදකාරී හැඟීමෙන් ඔයා විඳවනවා.දෙන්නට දෙන්නා කවමදාවත් අයිතිවෙන්නේ නෑ කියන හැඟීමෙන් දෙන්නම මැරි මැරි උපදිනවා.ඉස්සරහට වෙන දෙයක් වෙච්චදෙන් කියලා ජීවිතේ ගෙවනවා ඇරෙන්න කිසිම බලාපොරොත්තුවක් නැති ආදරයක් වෙනුවෙන් දෙන්නම මහමෙරක් තරමට පෙරුම්පුරනවා.
සඳ දිය දෙවුණ සේ සිනහව පිපුණාම
නුඹ කොයි තරම් සුවඳ ද මගෙ හිත ගාව
දෑ කුල සිරිත් සිටි සඳ මග අවුරාන
හමුවී වැළපෙමුද මෙලෙසින් හැමදාම
නෑඹුල් පැතුම අහසට නැග රහසේම
දිලිසෙන්නේද පුරපස වී සඳපාන
ඒ හඳ ඇයිද දියවත වී ගොළු රෑක
දියවී ගිහින් රැඳුනේ තරු ඇස ගාව
ළය මත පිපුණු උණුසුම් සුසුමක සුවඳ
සෝදා හළ හැකිද ගැරහුම් රළ ගාව
කඩයිම ළඟ ඉඳන්වත් නුඹ හැමදාම
මට අත වනාපන් නලියන නල සේම
ගායනය- අසංග ප්‍රියමන්ත / මාලනී බුලත්සිංහල.
ස්වර- සමන්ත පෙරේරා.
පද-නිලාර් එන්. කාසීම්.
ගී එකතුව- ඉරබටු තරුවේ.
-නිමි-
කටුස්සා....
කසුට්ටෝ හරිම ලස්සන ලියවිල්ලක් ... හරි ආසාවෙන් කියෙව්වෙ. කවි නැතිව දිගටම කතා ලියන්න බැරිද ? :)
ReplyDeleteඅම්මෝ බෑ.එක හුස්මටම ලියන්න ඕනේ නිසා සෙනසුරාදා මේක ලියලා ඉවරවෙනකොට වෙලාව රෑ 2ත් පහුවෙලා.අන්තිම හරියට එනකොට ඇස්දෙක කටේ.ඔය ටයිප් කරන එක තරම් එපා කරපු දෙයක් තවත් නෑ මටනම්.ඊට වඩා ලේසියි ඔෆිස් එකේ ඉන්නැද්දී කොලකෑලි වල හරි ෆෝන් එකේ නෝට් බුක් එකේ හරි මොනවහරි කවි කෑල්ලක් කුරුටු ගාන එක.
Deleteඔය කවුරුහරි පිංවතෙක් කියවන කොට ටයිප් වෙන සොෆ්ට්වෙයාර් එකක් හදපු දවසට මම ලියනවා ලංකාවේ දිගම නවකතාව.:D
අදමයි මම මේ පැත්තට ආවේ.. රූ පෙ තමා උබේ බ්ලොගේට මග පෙන්නුවේ.. මේ කතාව කියෙව්වම අදහසක් නොතියා යන්න බැරි වුනා.. මේක සිරා කතාවක් නම් මට කියන්න තියෙන්නෙ මෙච්චරයි.. පිටත ලෝකයාට අනුව මේ දේ වැරදියි.. ඒත් ආදරේ අන්ධයි කියලා කතාවක් තියනවනෙ.. ජීවිතේ අපේ හිතේ ඇඳෙන කෙනෙක් ඉන්නවා.. මොනම දෙයක් වුනත් කිසිම දවසක ඒ කෙනා අමතක කරන්න අමාරුයි.. ඒක මං අත්දැකීමෙන් කියන්නෙ.. මම ආදරේ කරලා තියනවා, හැබැයි තාම ඔහොම ආදරයක් ලැබෙන්න නම් වාසනාවක් ලැබිලා නෑ.. මේක ප්‍රබන්ධයක් වුනත් සත්‍යයක් වුනත්...
ReplyDeleteඒ කොහොම වුනත් උබේ ලිවීමේ හැකියාව මං අගය කරනවා.. මටත් කෙනෙක්ව මතක් වුනා කියවන් යද්දී..
ටයිම් එකක් තිබුනොත් මේ පැත්තේ ගොඩවැදිලා යන්න එන්න..
http://katuakula.blogspot.com/
ජය වේවා!
උබව follow පාරක් දාන්න බැලුවේ.. එත් මන් හිතන්නේ මොකක් හරි අවුලක් තියනවා ගැජට් එකේ.. පොඩ්ඩක් ඒකත් බලහං
Deleteරූපේ....ඌට වැඩ වැඩිවෙලා මේකෙන් ඈත්වෙනකම් හැමදාම මාත් එක්ක හිටිය මගේ පරණම කමෙන්ටර්.
Deleteආදරය කියන දේ මහ එපාකරපු දෙයක්.සීනිත් එක්ක කනේරු ඇට කනවා වගේ වැඩක්.කොහොම කලත් මේ විදිහට අදහස් දැක්වීමට හා දිරිගැන්වීමට උඹට ගොඩක් ස්තූතියි.
ඔය ගැජට් එකේ උඩ තියන පොඩි කොටු දෙක ක්ලික් කරලා බලපන්.එතකොට වැඩේ ගොඩදාගන්න පුළුවන් වෙයි.ගිය ලිපියෙදිත් "ලබ්බා" ඕක අහලා තිබුනා.කවුරුහරි දන්න එකෙක් ඉන්නවනම් කියපියෝ මේක හදාගන්න විදිහ මට.
කොටු දෙකෙන් තමා ගොඩ ගියේ.. පිලියම තමා තාම දැකල හම්බෙලා නැති සැට් එකක් එක්ක පමණ ඉක්මවා අනුමත වීම.බය වෙන්නෙපා බොලාට අපි උදව් කොරන්නම්. හෙහ් හෙහ්
Deleteවැඩිවෙලා ඉන්නකොට වමනේ දාන්නද?
Deleteආදර කතාවක් +++
ReplyDeleteඔබ රහසේ කියා දුන්න අදරයද මේ....:D
Deleteකටුසු හරිම ලස්සන කතාවක්. කතාවක් කිව්වට මේක සමහර දෙනාගේ අද්දැකීම වෙන්න පුලුවන්. සමාජය මොන විදිහට දැක්කත් මට අනුව එහි වරදක් නෑ. ඒ ඒ අවස්තාවට අනුව අපිට ජීවිතේ වෙනස් කරගන්න වෙනවා. ඒ වෙලාවට දැනෙන හැඟීම්වලට අනුව අපි වැඩ කරනවා. නමුත් පසුව ඒවායේ වරද, බරපතලකම දැනෙනකොට අපි ප්‍රමාද වැඩියි.
ReplyDeleteමෝඩ තීරන කියලා පස්සේ කාලෙක හිතෙන නුවනක්කාර තීරන මමනම් ඕන තරම් අරගන තියනවා.තාමත් එහෙමයි.
Deleteසැබෑ පෙම්වතුන් කිසිදා එක් නොවේ කියලා ලූශන් බුලත්සිංහල මහත්තයා කුරුටුගාලා තියෙන්නේ නිකන්ම නෙමෙයි කටුස්සො. වෙන මොනවා කියන්නද ඉතින් මේකට.
ReplyDeleteඕකේ සම්පූර්ණ කතාව; "සැබෑ පෙම්වතුන් කිසිදා එක් නොවෙති.එක් වන්නවුන් කිසිදා සැබෑ පෙම්වතුන් නොවෙති".
Deleteඔය කතාව අපේ එකෙක් උගේ වයිෆ්ට කියලා ගිනිවිජ්ජුම්බරයක් වුනා.
Better I'd not make any comment here. . :)
ReplyDeletei cant understand that comment...:)
Deleteබෙටර් අයිඩ් නීදර් මේක කමෙන්ට් නෝර් රිප්ලයි හියර් ... :D :D
Deleteදැන් මට කියපන් මේ කමෙන්ට් එක තේරුම්ගන්න මම යන්න ඕනේ ඉන්ග්‍රීසි පන්තියකටද? සිංහළ පන්තියකටද? ඇපෙක්ස් එකටද?
Deleteතුනටම ..
Deleteමේක මන් ඊයෙත් කියවල කොමෙන්ට් කරන්න හොයනකොට අන්තරස්දාන වෙලා තිබුන :(
ReplyDeleteපට්ට කතාවක්...සුපිරි කටුස්සියේ...අපිට පෙන සමාජේ ඇතුලේ ඕවගේ නොපෙනෙන අදර කතා හුගක් තියනවා.කලනයිය එදා කිව්ව මට //කටුස්සා ගේ නංගි ලියුවා වගේ//කතාව අද තමා හරියටම තේරුනේ...:D
ජයවේව!!!
ටියුබ් ලයිට් :p
Deleteඊයේ මේක හැඩවැඩ කරනකොට ෆ්‍රොන්ට් එක එක සයිස් වුනා.පස්සේ අටමා තමයි වැඩේ ගොඩදාලා දුන්නේ.ඒ වෙලාවේ තමයි පබ්ලිශ් වෙන්න ඇත්තේ.
Delete"ගැහැනියනම් දලඹුවෙකි ගෑවුන තැන කසන" කියලා ඔය ඉස්සරකාලේ පන්ඩිතයෝ කියලාතියෙන්නේ කට කහනවට නෙමෙයි ගෑණු ළමයෝ.ආදරෙත් ඒ වගේම තමයි.
//සුපිරි කටුස්සියේ//
Deleteකවුද බං සුපිරි කටුස්සි කියන්නෙ ..????
කටුස්සයියේ....ඒ නැගෙනියට පොඩි ප්‍රින්ටින් මිස්ටේක් එකක්.තොට ඊරිසියාව.කවුරුත් උඹට අයියේ කියලා කියන්නේ නෑනේ....
Deleteකතාව සුපිරියි.ලස්සනයි.ඒත් ටිකක් දිග වැඩිද මන්දා...?කොටස් දෙකකට ලියවෙන්න ඕනේ කතාවක් මටනම්.
ReplyDeleteකොහොමවුනත් මගේ හිත ගොඩක් ඇදිලාගියේ කතාව අන්තිමට දාපු සිංදුවටයි මාතෘකාවට දාපු සිංදුවටයි.මාතෘකාවට දාපු සිංදුවේ 3 එක හොයනවා ගොඩක් කල් ඉදන්.ගායකයාගේ නම දන්නේ නැති නිසා හොයාගන්න බෑ.
ඔය 3 කියලා තියෙන්නේ mp3 වෙන්න ඇති:D
Delete"දහසින් බැඳි පෙම් සිතුවිළි" ඕක කියන්නේ මීනා ප්‍රසාදිනි එක්ක පේශල කියලා ගායකයෙක්.ඉරාජ් කරපු එකක්.මේ දවස්වල මගේ ප්ලේ ලිස්ට් එකට නිතරම ඇඩ්වෙන එකක්.මේ ලින්ක් එකට ගිහින් බලන්න.
http://www.ananmanan.lk/free-sinhala-mp3/song/858/denuwan-dahasin-sadi-pem-sithiwili-peshala-ft-meena-produced-by-iraj-sinhala-mp3.html
ඔය අනිත් එකත් මට එක දිගට 4-5 සැරයක් වුනත් අහන්න පුළුවන් සිංදුවක්.ඒත් ඕක, පැහැසර අරුනක, මල් වැහි සේ වැහි වගේ ගීත ඇහෙන පාරක් ගානේ මට ඕක කියන ගායකයව උස්සලා පොලවේ ගහන්න පුළුවන්.මේ වගේ ලස්සන සිංදු කියපු ඒකා දැන් පත්තර කියවනවා වගේ තමයි සිංදු කියන්නේ.
දිග වැඩි එකටනම් සමාවියන්.මේක දෙකට කැඩුවොත් කතාවේ රිදම් එක කැඩෙයි කියන බයටමයි එක හුස්මට ලියලා පබ්ලිශ් කලේ.
සමහර දේවල් අකමැති උනත් කරන්න වෙනව. මේ වගේ සම්බන්ධතා පිටතින් බලන කෙනෙකුට වැරදි ලෙස පෙනුනත් අභ්‍යන්තර තත්වෙ කාටවත් තේරුම් කරල කියන්න බැරි තරම් සංකීර්ණයි සහ අසරණයි.
ReplyDeleteප.ලි කාර් වල දා ගත්ත වගේ නෙවෙයි, බැහැල ගියාම වෙට් ටිෂූ , කොන්ඩ කටු, කෙස් ගස් , ඉතුරු වෙච්චි සුවද අයින් කරල වාහනේ ගෙදර අරන් පලයන්.
දැන් ඔක්කොටම කලින් කියපිය මේක මගේ අත්දැකීමක් වෙන්නේ කොහොමද කියලා...?බූට් සීන් කතාවක් ලිවුවොත් එක මටම ආපහු කැරකිලා එන එක මට දැන් එපාවෙලා....බලපිය මගේ බ්ලොග් එකේ දකුනු පැත්තේ තිබ්බ ෆොටෝ එකත් වෙනස්කලා.උඹලට ඒවා පේන්නේ නෑ.
Deleteමටනම් කාරෙක ඇතුලේ ඕවා තිබුනට අවුලක් වෙන එකක් නෑ.අපේ ගෙදර කට්ටිය බලගන ඉන්නේ ඕවා කවද්ද ආපහු මගේ වාහනේ ඇතුලේ තියෙන්නේ කියලා.මම බයේ ඉන්නේ ගෙදර එවුන් ප්ලෑන් කරලා ඕවා බලෙන් මේක ඇතුලට දායි කියලා.
//බූට් සීන් කතාවක් ලිවුවොත් එක මටම ආපහු කැරකිලා එන එක මට දැන් එපාවෙලා....//
Deleteඅනෙ මගෙ කට ඉතිං .....
ඉඳුරන් සංසුන් කරගන්න දරුව.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteකටුස්සෝ.....
ReplyDeleteකියන්න මොනවද මං.. හැමදාම ඔයාගේ කතා කියෙව්වාට කවදාවත් comment එකක් දානනේ නෑ..ඔයා ලියන්නේ මගේ ජීවිතේ..පුදුමයි මට.
ආදරය කියනනේ ලබා ගැනීම නෙමේ කියලා ගොඩක් අය කියනවා..මමත් මගේ හිත හදාගනනේ ඒ කියමන මතක් කරලා..ඒත් ඔයා කිව්වා හරි මමත් මනුස්සයෙක්..හැමදාම කොහොමද මේ හිත හදන්නේ.දවසක් එයි ආයේ හදන්න බැරි තැනටම කඩාවැටෙන..අන්න ඒ දවසට මම බයයි..
ජීවිතයට කොච්චර අය ආවත් ගියත් හිත හිරිවැටෙන්නේ එක ආත්මයක් ළග විතරයි.ඒ හිරිවැටීම අපිව ජීවත් කරවනවා.මමත් අද ජීවත්වෙන්නේ ජීවත්වෙනවා කියලා දැනෙන්නේ අන්න ඒ ආදරය ආයෙත් මං ළගට ඇවිත් ඉන්න නිසා.ඒ දිහා වරදින් බලන්න එපා.ඒක තමා ආදරය.
හරි අපූරුය..තවත් ලියන්න..සුබ පැතුම්..
කුසුමියනි ප්රේමණීය
නුඹ පිපුණු උයනේ
හිමිකමක් කොහෙද මට
නොවේ මට උරුමේ..........
තව දුරනොයා නතර වෙමු
නොදැන යන ගමනේ
හිමි නොවේ නුඹට මා
අසම්මත සෙනෙහේ..........
සිතක් තිබුණත් නෙළා ගන්නට
උයන් දොර මට තහනම්
තවත් කුමටද රිදුම් ඇති මට
බිඳක් ඈතින් ඉන්නම්.......
නිමක් නැති මේ හීන ගොන්නට
නමක් නුඹ ළඟ ඇත්නම්
බිඳක් ඈතින් උනත් කම් නැහැ
නතරවී මම ඉන්නම්.........
- සංජීව වීරසිංහගේ - උපුටා ගැනීමකි
ජීවිතය කියන්නේ හරි අපූරු නවාතැනක්.ඒ නවාහැනේදී අපිට කැමති දේවල් වගේම අකමැති දේවළුත් කරන්න සිද්දවෙනවා.ඒ කරන්න සිද්දවෙන දේවල්වල ප්‍රතිඵලය බලපාන්නේ තමන්ගේ ජීවිතයට විතරක්නම් ;වැඩිය හිතන්නේ නැතුව ඒ දේ කරන්න.ඒත් ඒ කරන දෙයින් තවත් කෙනෙකුගේ ජීවිතෙත් වෙනස් වෙනවනම් නැවතිලා ආපහුපාරක් හිතන්න.හැම දේකටම පුළුවන් තරම් යන්න දෙන්න.තියාගන්න ඕනෙම දේ විතරක් ලගින් තියාගන්න පුළුවන් තරම් කැපවෙන්න.
Deleteඔබේ හෘදයාංගම අදහස් දැක්වීමට ගොඩක් ස්තූතියි....
අමාරුවෙන් හරි කොටලා මේ වගේ කතා ලියපන්කෝ...... මෙව්වා කියවනකොට පට්ට ගති.
ReplyDeleteසිරාවටම ලස්සනයි කසුට්ටෝ......
විස්කෝතුයි ගොඩක් උඹට....
Deleteඋඹ ලියන එව්වා කියෙව්වාම කමෙන්ට් එකක් ලියන්න ඔලුවක් ඉතුරු වෙන්නේ නැහැ බන්... උඹ දිගම දිග නවකතාවක් ලියල තියෙනවනම් මට එකේ ලින්ක් එක එවහන් කටුස්සෝ..මගේ ඊ මේල් එක polwattacom@gmail.com
ReplyDeleteඅනේ මම ලියන නවකතා.....කකුල කැඩිලා මාස ගානක් එක්තැන් වුනොත්නම් එහෙම එකක් ලියවෙයි.පොඩක් බලපන් මේකේ ලියපු පරණ පෝස්ට් වල දිගට ලියන්න ගිහින් බාගෙට අතෑරපු කතා කීයක්නම් තියනවද කියලා....
Deleteකමෙන්ටුවක් දැම්මේ නැහැ බං..... උඹ තරහා නෑනේ......
ReplyDeleteමට දැන් අවුරුදු 2-3ක ඉඳන් කේන්ති යන්නෙත් නෑ.තරහා යන්නෙත් නෑ බං.
Deleteකරන දෙයක් පරිස්සමෙන් කරපං බං, ඕවා නිකං දැලි පිහියෙන් කිරි කන්නැහේ වැඩ නේද?
ReplyDeleteහැක්....දැන් මට අඩු කසාදයක් කරගත්තු ගෑණු කෙනෙක් විතරයි....
Deleteසිරාවටම මක්ක කියන්නද කියල හිතා ගන්ට බැරුවයි ඉන්නෙ ආයුබොවන්ඩ....ඒ තරමටම ඒ අකුරු අස්සෙ අතරමං වෙලා නෙව.....වචනත් ටැපලෙනව ඒ හන්ද...කටුසු මහත්තයා....මෙච්චරයි...දිගටම අපිව මේ විදියට අතරමං කොරන්ට කවිම නොලියා...
ReplyDeleteමම දැක්කමයි අතරමංවෙන්න කැමති කෙල්ලෙක්ව....
Deleteඅනේ මන්දා මචං කියන්ට වදන් නෑ (තිතක්)
ReplyDeleteවැඩිය හිතන්න යන්න එපා බං (තිතක් )
Deleteඅතපය සීතල වෙලා ගියා කසුට්ටෝ මේ කතාව කියෝල.
ReplyDeleteබොමුද රස්නෙට කොකාකෝලා එකක්....?
Deleteසිගරට් එක නම් නැතුවම බෑ නේද උඹට..?
ReplyDeleteමගේ සිගරට් එකයි මේ කතාවේයි සම්බන්දය මොකද්ද බොල?
Deleteහිත හිරි වැටිලා ගියා, හරිම තාත්විකව ලියල තියනවා.
ReplyDeleteවිකෝතුයි ලලිතෝ.....
Deleteතෝව ඩයිනොසෝරයෙක්ම කාපිය... දැං ඉතිං ඒ සිංදුවත් අහන්න බෑ නෙ... තනි පෝස්ට් එකක් විදිහට දාපු එක හොඳයි බං. එකකට එකක් සම්බන්ධ නැති වාක්‍ය ගොඩක් ඔලුවට එනවා.. කොමෙන්ට් දාගන්න හිත එක්තැන් නෑ.. ඔන්න බොලා කොරපු දේ..
ReplyDeleteහෙහ් හෙහ්..
ජයවේවා..!!
දැන් ඉතින් ඔය සින්දුවට දිල්ගෙයි බන්ටිගෙයි මූණු දෙක දාගන අහපන්.බලපන් කොච්චර රොමෑන්තිකද කියලා....
Deleteආ... තව එකක්.. මේ පෝස්ට් එකට ගැලපෙනම නම තමයි 'කටුසු හදවත'
ReplyDeleteකාපිය මාව....
Delete