Monday, April 27, 2015

උඹලගේ සෙනෙහේ හුණු නැති බුලත්විට වගේ






මගේ ජීවිතයේ හැම හිනාවකම පටන්ගැන්ම උනේ උඹ.ඒ ජීවිතේ හීන කියල දෙයක් දැක්කනම් ඒ හැම හීනෙකම උඹත් මාත් එක්ක හිටියා.කාත් කවුරුවත් නොහිටපු මට උඹේ ආදරේ මහමෙරක් වුනේ මටත් නොදැනීමයි.ඒ ලෝකේ හැමදාමත්ම රැජිණ උනෙත් ඔයාමයි.මම මාව අමතකකරලා උඹට කරපු ආදරේ මේ තරම් බාල්දු වෙනවා කියල දන්නවනම් ඔය ජීවිතේට කවදාවත්ම ලං නොවී ඉන්න තිබුනා මට.මේ හැම දුකක්ම මෙච්චර කිට්ටුවුන නිසානේ.මම දන්නවා ඉස්සරවගේ තුරුල්වෙලා ඇඟේ ගෑවි ගෑවි ඉන්න දැන් අපිට බෑ කියලා.ඒත් මගේ ජීවිතේටත් වඩා ආදරේ කරපු ඔයාගේ ඔය චූටි ඇගිලි මගේ ඇගිලිවලින් අල්ලගන්නවත් දැන් මට බැරිනම් මම තවත් මෙතනට වෙලා ඉන්න එකේ තේරුම මොකද්ද?කිසිම වැරැද්දක් වෙන්න දෙන්නේ නැතුව බලාගත්තු ඔයාගේ ජීවිතේට මම පිට කෙනෙක් වුනාට පස්සේ මම තවත් මෙතනට වෙලා ඉන්න එකේ තේරුමක් තියනවද?වටේ පිටේ කවුරු හිටියත් කොහේ හරි ඉදන් දුවගන ඇවිත් මගේ අතේ එල්ලිලා ගිරවෙක් වගේ තොරතෝංචියක් නැතිව කියවගන යන ඔයා අවුරුදු දෙකකට පස්සේ මේ විදිහට අහම්බෙන් හම්බුනහම අදුරන්නේ නැති කෙනෙක් වගේ ඉදගන පල නොකියා පලා බෙදන කොට මම තවත් මෙතනට වෙලා ඉන්න හිත හදාගන්නේ කොහොමද?මේ ජීවිතේ හීනයක්.සිද්දවුන,සිද්දවෙන හැම දෙයක්ම හීනයක්.ඒ ජීවිතේ හීනයක් නොවන්නේ හමුවීමත් වෙන්වීමත් විතරමයි සුදූ.ඒ හැබෑව මට පෙන්නලා ඒ හීනෙන් මාව ඇහැරෙවුවෙත් ඔයාමයි.කිසිම හීනයක් නොදැක්ක පොලවේ පයගහලා හිටපු මගේ ලෝකේ සම්පූර්ණයෙන්ම හීනයක් කරලා අද මේ විදිහට කකුලෙන් ඇදලා ආපහු හැබෑ ලෝකෙට විසිකරලා දාන්න තරම් ඔයාට තිබුන අයිතිය මොකද්ද?ඔයා මගේ ගාව නැති වුනත්,ඔය සුවඳ මගේ ගාව නැතිවුනත් මම ඒ හීනලෝකේ ජීවත්වුනේ හරි සතුටින්.ඒ අතීතෙට මම ගොඩක් ආදරේකලා.ඒ අතීතේ මාව ජීවත්කලා.මට හුස්මගන්න හේතුවක් තිබුනනම් ඒ අපේ අතීතේ ගැන මගේ හිතේ රැදිලා තිබුන මතකේ විතරමයි.ඒත් අදින් පස්සේ මම මට හුස්මගන්න අලුත් හේතුවක් හොයාගන්න ඕනේ බව උඹ මට තේරුම්කරලා දුන්නා.මම යනවා සුදූ.ආපහු ඔයාව ඇස්දෙකෙන් නොදකින්න,ඔය කටහඬ ආපහු නොඇසෙන්න තරම් දුරකට මම යනවා.කවදාවත්ම මගේ ලෝකෙට ආපහු එන්න එපා ඔයා,හීනෙන්වත්.

"අයියේ..."
"හ්ම්ම්....."
"මොකද්ද අප්පා...ඉඳලා ඉඳලා හම්බවුන දවසෙත් කතා නොකර හ්ම්ම්ම් ගාන්නේ බස්සෙක් වගේ..."
"මම බස්සෙක් නිසානේ ගිරවියෙක් හොයාගත්තේ...."
"මොකටද දන්නේ නෑ...."
"කසාද බඳින්න"
"බැඳලා...?"
"බැඳලා නේද.....පොතේ හැටියටනම් මිනිස්සු බඳින්නේ තම වර්ගයා බෝ කරන්නළු"
"ඒත් අපි මිනිස්සු නෙමෙයිනේ....ඔයා බස්සෙක්.මම ගිරවෙක්"

"ඒකත් ඇත්ත තමා....මම ලස්සනම ලස්සන සුදුපාට තඩි බස්සෙක්.අර හැරී පෝටර්ගේ එකා වගේ.තෝ තැනින් තැන තටු ගැලවිච්ච අලුපාට ගිරවෙක්,මෙලෝ රහක්නැති.ඒ නිසා මේ කසාදේ ගැලපෙයිද මන්දා..."
"ආ....ඇත්තද...තෝ ලස්සන බස්සා...මම ලොම් හැලිච්ච අලු ගිරවා....එහෙම බෑ...මම අලු ගිරවෙක් නෙමෙයි...මම ලස්ස්ස්ස...න මැකෝ ගිරවෙක්.පාට පාට ගොඩාරියක් පිරිච්ච එකෙක්.ඔයා තමයි මෙලෝ රහක් නැති තඩි බස්සා"
"කමක් නෑ ඉතින්.එහෙම හිතා ගමුකෝ.ගිරවු කවද්ද කන්ණාඩියකින් හැඩ බැළුවේ..."
"අනේ පල නරියා යන්න"
"ඉතින් කොහොමද අපි දෙන්නා බැන්ඳට පස්සේ හූම්..හූම්..ගාන මැකෝ පැටියෙක් හම්බුනොත්...ශෝක් නේද?"
"ඒ වගේද හැම තිස්සෙම රේඩියෝ එකක් දැම්ම වගේ කියවන තඩි බස්සෙක් හම්බුනොත්?"
"හෙන ජොලි වැඩේ...ඌට පාට පාට තටු තිබුනොත් තවත් ජොලි..."
"අයියේ...."
"හ්ම්ම්..."
"මට ආදරෙයිද?"
"ගොඩක්"
"කවදාවත්ම මාව දාලා යන්නේ නැද්ද?"
"ඔයාව දාලා යන්න කියනකන් මම ඔයාව දාලා යන්නේ නෑ නංගෝ"
"ඇත්තමද?"
"ඇත්තමයි...ජීවිතේ තියනකම්"


              ඉස්සර අපි දෙන්න දිය පිට මලක්                 වගේ
              දැන් දී අපි දෙන්න දිවි දුටු මුවන්                  වගේ
               දිය නුපුරුදු ගොඩ නුපුරුදු සතුන්                 වගේ
               උඹලගෙ සෙනෙහෙ හුණු නැති බුලත්විට 
    වගේ




මතකද අපි ඉස්සර මුහුද දිහා බලාගන කියවපු දේවල්...?කියවපු කියල කිවුවට ඇත්තටම බැළුවහම වැඩිපුරම කියවල තියෙන්නේ මම.ඔයා කලේ මගේ දිහා බලාගන හිනාවුන එකයි, හ්ම්ම්...ගගා මාව තුරුල්කරන් හිටපු එකයි තමා.ඒ දවස්වල මට ඕනේ උනේ මුහුදේ ගෑවි නොගෑවී තියන හරියේ අහස වගේ අහසක් වෙන්න.දවල්ට මුහුදේ නිල්පාට අරගන නිලට නිලේ දිලිසෙන ගමන්ම හවසට අහසේ රතු පාට අරගන මුහුදත් රත්තරං පාටට බබළවන්න.ඒත් මට ඒක කරන්න බැරිවුනා අයියේ.කරන්න හදපු හැම දේකින්ම පරාදවුන මම කිසිම හීනයක් නොදකින කාන්තාරයක් වගේ වෙලා.දැන් මගේ ජීවිතෙත් හරියට වෙරළක් වගේ අයියේ.ඔයාව කොච්චර මතක නැතිකරල දාලා ඉන්න හැදුවත් ඒ ටික වෙලාවකට විතරයි.හරියට එක රැල්ලක් ඇවිත් ඊළඟ එක එන නිමේශෙට විතරයි.ඇත්ත...ඔයයි මමයි හිටපු විදිහට ඔයාව එහෙම අමතක කරලා ඉන්න පුළුවන්නම් මම මනුස්සයෙක් නෙමෙයි.තමන්ගේ නංගිව පරිස්සම් කරනවා වගේ ඔයා මාව පරිස්සම් කරපු හැටි,මට ආපු හැම ප්‍රශ්නෙකටම මාත් එක්ක හිටපු හැටි,උදවුවක් ඕනවුන හැම තැනදිම මගේ පිටිපස්සෙන් හිටපු හැටි කොහොමද අමතක කරන්නේ මම, අද වෙන කෙනෙකුට අයිතිවෙලා හිටියත්.අපි දෙන්නා දිහා දැනගන හිටපු අය මම මනුස්සයෙක් නෙමෙයි කියලා කියනවා මගේ කනට ඇහිලා තියනවා අයියේ.ඔයාව අතරමංකලා කියලා මට සාප කරනවා මට ඇහිල තියනවා.ඔයාට මතකද නිලූපව....අර "උඹට එපානම් ඕකව මට දීපන්" කියලා මට කිවුවේ...මගේ වෙඩින් සාරි එක ගන්න ගිය වෙලාවේ අහම්බෙන් මට හම්බවෙලා "උඹ මහ බැල්ලියෙක්" කියල එතනදිම මට බැන්න අයියේ.කැම්පස් එකේ හිටිය යාළුවෝ හදිස්සියෙන් හරි මට හම්බුනහම ගොඩදෙනා වචනයක් දෙකක් කතාකරලා මගෑරලා යන්න හදන්නේ ඔයාට මම කරපු දේ නිසා කියල මම දන්නවා.කැම්පස් එකේ කොල්ලෙක්ට බූට් එක දීපු එකම කෙල්ල මම නෙමෙයි තමයි.ඒත් ඔයා වගේ මනුස්සයෙක්ගේ ජීවිතේ කාලකන්ණි කරපු එකම කෙල්ල මම වෙන්න ඇති.දන්නවද....මම එක කාලයක් බලන් හිටියා ඔයා මට බනිනකං.මම ගැන බොරු ආරංචි පතුරවනකං.කොටින්ම මම "බඩුවක්" කියලා ඔයා තැන තැන කියනකං.ඒ ඔයා එහෙම කරද්දි අනිත් මිනිස්සු ටිකක් හරි මගේ දිහා අනුකම්පාවෙන් බලයි කියල හිතලා.ඒත් ඔයා එහෙම කලේ නෑ.ඔයා ඔයාගේ පාඩුවේ ඔයාගේ ජීවිතෙන් පළිගත්තා.හරියට මම ඔයාගේ ජීවිතේ හිටියේ නෑ වගේ.අද මම සාරධාගේ දානේ ගෙදරට ආවේ ඔයා සාරධාගේ අයියගේ යාළුවෙක් කියල දැනගන නෙමෙයි.ඒත් එතනදි ඔයාව දැක්කහම මට මං ගැනම හිරිකිත හිතුන අයියේ.මාව දැක්කට පස්සේ එකක් නිමෙන්න එකක් පත්තුකරගන සිගරට් බිබී පැත්තකට වෙලා ඉදගන මම යන දිහාම ඇස් යව යව කල්පනාකර කර ඉන්න ඔයා ඇත්තටම පිස්සෙක් වගේ.පිලිවෙල කියන දේ මගේ ජීවිතේට පුරුදුකරපු මිනිහම දවස් 3-4න් රැවුලවත් නොකපා ඉන්න හැටි දකින කොට මට හීල්ලුනා.ඇස් වලින් එන කඳුළු හැමෝටම පේන්න එළියට දාන්න මට බෑ අයියේ.ඒ මම දැන් වෙනකෙනෙකුට අයිතිවුන ගෑනියෙක් නිසා.විරාජ් මට ගොඩක් ආදරෙයි.මට කිසි අඩුපාඩුවක් වෙන්න දෙන්නේ නෑ.ඒත් උල්පතකින් මතුවෙච්ච වතුර ගොබේකට ඔළුව අල්ලන් හිටපු මට ශවර් එකෙන් වැටෙන ක්ලෝරීන් වතුරවල සීතලක් දැනෙන්නේ නෑ අයියේ.ඒත් ඒ පීල්ල පෙනි පෙනී ශවර් එකට ඔළුව අල්ලන් ඉන්න මට සිද්දවෙලා.ඔයා මගේ ලගට ඇවිත් "සුදූ"කියලා මගේ අත අල්ලගන කතාකරන්න හදපු වෙලාවේ ඔයාගේ අත ගසාදාලා මම යන්න ගියේ ඒ නිසයි.මම ඔයාට කරපු දේවල් වලට ඔයාගෙන් සමාව ඉල්ලන්න මට බෑ.මට ඒකට අයිතියකුත් නෑ.ඒත් පුළුවන්නම් ආපහු කවදාවත් මගේ ඇස් ඉස්සරහට නෑවිත් ඉන්න මගේ අයියේ.ඒ මගේ හිත හදාගන්නනම් නෙමෙයි.ඔයාට මගේ අතින් සිද්දවුන වැරද්ද තව කෙනෙක්ට මගේ අතින් නොවෙන්න තරමට මගේ හිත ගල්කරගන්න.

"සුදූ"
"ඇයි"
"ඇයි මෙහෙම හැසිරෙන්නේ...?මොකද්ද මම ඔයාට කරපු වැරැද්ද...?"
"ඔයා කිසි වැරැද්දක් කරලා නෑ.වැරැද්ද මගේ.ඒත් මට එහෙම කරන්න සිද්දවෙනවා මගේ අම්මල නිසා.ප්ලීස් ආපහු මෙහෙම මට කරදර කරන්න එපා තැන තැන රැකල ඉදගන මාව හම්බවෙන්න හදල"
"අම්මල නිසා ඔයාගේ ජීවිතේ නාස්ති කරගන්න හදන්නේ ඇයි?"
"කොහොමද මගේ ජීවිතේ නාස්තිවෙන්නේ....?අපි අතරේ තිබුන සම්බන්දේ කැඩුනා කියලා මගේ ජීවිතේ නාස්ති වෙන්නේ කොහොමද?තේරුම් ගන්න...මගේ දෙමවුපියෝ මගේ ජීවිතේ නාස්තිවෙන කිසිම දෙයක් වෙන්න දෙන්නේ නෑ.ඒ අය මගේ ජීවිතේට හොදක් කරන්නයි හදන්නේ.ඒ අයට ඒක කරන්න දීලා එක එක බහුබූත වලින් මගේ ඔළුව පුරවන්නේ නැතුව මගෙන් ඈත්වෙලා ඉන්න.පිං සිද්ද වෙයි...."
"මට සමාවෙන්න...දෙමවුපියෝ නැතුව ජීවත්වුන මම කොහොමද ඔයාට වඩා ඒ අය ගැන දන්නේ....ඔයා යන්න...මම මෙතනම ඉන්නම්.කවදහරි මාව හොයා ගන්න ඕන දවසට මෙතනට එන්න.මම මෙතනම ඉන්නවා"


                ඉස්සර අපි දෙන්න දෙන්නම                තමුන්නේ
                දැන් දි අපි දෙන්න දෙන්නම                අනුන්නේ
                නොදැන නෙමෙයි පිළ පිට පැදුරක්         දුන්නේ
                 යතුර දෙන්න මේ ගේදොර                අනුන්නේ




********************************************************************





ඉස්සර අපි දෙන්න දිය පිට මලක්                 වගේ
දැන් දී අපි දෙන්න දිවි දුටු මුවන්                  වගේ
දිය නුපුරුදු ගොඩ නුපුරුදු සතුන්                 වගේ
උඹලගෙ සෙනෙහෙ හුණු නැති බුලත්විට     වගේ

ඉස්සර අපි දෙන්න දෙන්නම                තමුන්නේ
දැන් දි අපි දෙන්න දෙන්නම                අනුන්නේ
නොදැන නෙමෙයි පිළ පිට පැදුරක්         දුන්නේ
යතුර දෙන්න මේ ගේදොර                අනුන්නේ




ප.ලි
මේ කවි දෙක මගේ මිතුරියක් ගොඩ කාලෙකට කලින් මට ඊයකින් විද්ද ජන කවි දෙකක්.අහම්බයකින් තමන්ගෙ පැරණි පෙම්වතියගේ නිවසේ රාත්‍රිය ගත කිරීමට තරුණයෙකුට ලැබන අවස්තාවේදී තරුණියගේ ස්වාමියත් ගෙදර නොසිටි නිසා ඇය තමන්ව නිවස තුලට වද්දාගනීවි යැයි ඔහු මහත් බලාපොරොත්තුවෙන් සිටිනවා.එහෙත් ඇය තම පැරණි පෙම්වතාට නිවසේ පිලේ පැදුරක් එලා සකසා දී නිවස තුලට වී දොර වසා ගන්නවා.ඒ වේලාවේදී පැදුරේ නිදාසිටින තරුණයා මෙහි පළමු කවියත් නිවස තුලට වී සිටින තරුණිය මෙහි දෙවැන්නත් කියනවා.මාගේ මිතුරිය පැවසූ ආකාරයට ඇයටත් මෙම කවි හමුවී ඇත්තේ "උඹලගේ සෙනෙහේ හුණු නැති බුලත්විට වගේ" කියන නවකතාවකින්.කතෘ නාමය මතක නැති මෙම පොතනම් මට තාමත් කියවන්න ලැබිලා නෑ.හදිස්සියෙන්ම මෙම කවි මතක්වුනේ අපේ හැලපයියා ලියපු

බිඳුණු පෙම සහ තවත් කතා

කියන පෝස්ට් එක කියවපු නිසයි.ඒකට කමෙන්ට් කරන්නට මේ කවි ලියන්න ඕනේකම තිබුනත් පසුගිය දින කීපයේම නිවසේ නොසිටි නිසා එය සිදුකිරීමට නොහැකි වුනා.නැවත නිවසට පැමිනි දිනයේම මේ කවි ඇතුලත් කරලා මේක කෙටුවේ හැලපයියගේ පෝස්ට් එක කියෙවුවට පස්සේ මේ කවි ගොඩක් රහට දැනුන නිසයි.හැලපයියා ලියන හැම පෝස්ට් එකකටම කමෙන්ට් නොකලට ඒ හැම එකක්ම කියවන ඔහුගේ රසිකයෙක් මම.ඒ නිසාම මේ පෝස්ට් එක හැලපයියාගේ "හැලපයා" බ්ලොග් එකට උපහාරයක් වේවා කියල හිතාගන ඔහුට පිළිගන්වනවා.

ප.ප.ලි
ඉවානයා දුන්න "කවි කෙලින් කරන" එක අදත් වැඩකලේ නෑලු ඔන්න....

Tuesday, April 21, 2015

ඉතිහාසයේ පළමු පාර්ලිමේන්තු නිදි වැදීම.....



වයිමටත් බැරිවුනේ
අපියි එය සිදුකලේ
මන්ත්‍රිකම රැකගන්න
අම්මටත් හැමිනෙන්න
සරම උස්සන් ඉන්න
ඕන ගුබ්බෑයමක
රිංගන්න හුරු අපිට
මේක මහ කජ්ජක්ද
ඕන නෑ දැන් අපිට
"ලුබ්‍රිකන්ට්" බෝතලය....





කටුස්සා....

Friday, April 10, 2015

නිමාවූ ගිම්හානය....




සංසාර ආරණ්‍ය පාමුල
බලා ඉද්දී නෙතුඅයා
වියලි ගිය මා සිතුම් අහසට
වැටුන වැහිබිඳු දිලිසෙනා
නුඹේ සිනහව රැඳුන සියපත
සුවඳ සොයනට සිඳු අරා
ඇදෙන සියොතුන් ගයන ගීතය
සවන් අද්දර රැවුදෙනා


තාරුකාසේ දිලෙන දෙනෙතෙන්
එළියවන හද මුමුණනා
මහ පිරිතවන් සහන් කවිපද
කෙලෙස මා හද හදුණනා
නිම්නයක පිපි මල් සුවද සේ
මගේ හදවත සනසනා
නුඹේ සෙනෙහෙට මං කියනු වස්
සුළඟ මා ලඟ දැවටෙනා


නිසල සවසක ඈත ක්ෂිතිජය
ඇඳුන හිරු කිරණක් ලෙසේ
බොහෝ දුර ඇති නිසල සයුරට
ආදරෙයි මම පණ වගේ
ඒ සයුර මත ඔහේ පාවෙන
රුවල් බිඳි නෞකාව සේ
ඔබෙ දිවිය මත සගවමී මම
ඔබම දුන් හසරැලි මගේ


සිතින් අත්හල පැතුම දෝතින්
ගෙනත් දී නුඹ සෙනෙහසින්
අවදිකර මන මුදා සිතුවිලි
බැදදමා පවුරක් ලෙසින්
දුවන මිගවන් මගේ මනසට
විසල් තුරු වදුලක් වෙමින්
මවන පෙලහර විඳිනු රිසිවී
මගේ මනසද අවදියෙන්


කඳුළු අරණට යනෙන මාවත
අවුරනා ඔබේ ආදරෙන්
විකල්වී ඇත මගේ ආලය
මවා නුඹ වට සිහිනයන්
සරා සඳ සේ බැසනොයා මට
සිසිල දෙන මවුවත් ගුණෙන්
සැනසෙනා ලය මතම රැදියන්
නුරා දෙනෙතට නෙතු යොමන්


කටුස්සා....

Monday, April 6, 2015

ප්‍රතිඋපකාරය....




අප්පච්චිගෙ අසනීපෙට පොඩි මල්ලිගෙ ඉස්කෝලෙට
නිදිමරනා දෙනෙත පියෙන මගේ සැවුල් නවාතැනට
ගෙවා නිමාවෙන විට පඩිපත ඉතිරිවුනේ කොච්චරක්ද
ඒ හැම සතයම වැයකලේ උඹටයි මම ආදරේට

අම්ම නමට ලියුම් යවා ෆෝන් කාර්ඩ් දමා නුඹට
එළිවෙනකන් අකුරු කෙටුවේ උඹ මට වටිනා හින්දම
දමා සීට්ටුව ගෙලලන පවුම් භාගේ මාල හීන
වීසි කෙරුවෙ එලියට මම පළඳවන්න ඔටුනු නුඹට

නොකා බඩට ගත් කමිසය අරගන  නුඹහට දුන්නම
මුවමත ඇඳෙනා සිනහව වටිනව මට රටක් සේම
තිසරපටේ ගැසුව කට්ට ඇනුණත් ඉදහිට පිට මත
එයට වඩා රිදුනා මට එකම කමිසෙ අදිනා විට

ලබා උපාධිය නුඹ හෙට කැන්දන් යන හීනය උඩ
උකස් කෙරුවෙ මගේ උපාධිය මැශිමට කම්මල යට
තනිවුන විට නුඹත් සමග පුස් ගඳ පිරි කාමරේක
පළල්වුනේ මගේ දෙපා නුඹ මත බැඳි විශ්වාසෙට

රස්සාවට ගිය දිනයෙදි ඇඳුන සිනා සිහිවෙන කොට
අනේ උඹට හොදක් වියන් දෙවියෝ යැද්දා මගෙ සිත
මම කොටනා මැසේජ් වලට උඹේ උත්තර අඩුවෙන කොට
සනසගත්තේ මගෙ සිත මම ඔබ වැඩයැයි සිතා සැරට


දිනක නුඹම ගුණ වැයු රුව මදිවන විට නුඹේ ඇසට
මගේ සරල පුරුදු නුඹට අසංවරයි සිතුන විටක
මූණට ගසනා අයුරින් නුඹ මට එය පවසන විට
දන්නවාද වැටුන කඳුළු නෙත් බොඳවී මැශිම මතට

ලයින් ලීඩර් අනුලක්කගේ බැණුම සැරනිසා සවනට
අමරදේව මාස්ටර්ගෙ ගීත සැරයි මගෙ ඔළුවට
මොනවද මේ අහන සිංදු ඕවත් සිංදුද ඇහුවට
මගෙ හද කොඳුරන ගීතය ඇහුනෙ නැද්ද නුඹේ සවනට

අපි වෙන්වෙමු හරියන්නෑ අපේ ඇසුර මේ විදිහට
නොකිය කිවුවේ නුඹ මා හට මා මදි බව උඹේ තත්වෙට
මේ තත්වෙන් ඉදන් මෙමා ජීවිතයක් ගොඩනැගුමට
කරපු යුද්දේ අවසානයේ දිනුවේ කවුද කියන් මෙමට





කටුස්සා....

Wednesday, April 1, 2015

සගවා ගනු මැන....



තුන් තිස් පැය ගිනිගෙන දැවෙනා
නොසිදෙන උල්පත් දිය ගලනා
ඔය නෙතු නිවනට අංජන වෙනුවට
අයිලයිනර් අයිෂැඩෝ සාත්තුව
පින්සලකින් නෙතු මත ඇදෙනා
සමකරනට නෙතු රත් සියපතකට
නොසිතෙයි මා සිත මුග්ධය නැගෙනිය

දඩබලු රෑණට හසුවී ඉදිමුණ
නුඹේ දෙතොල් රත් පැහැයට හරවන
ලිප්ස්ටික් කූරෙන් ඇදෙනා සායම
මත නුඹ අඳිනා දිවියෙහි සිත්තම
සැලෙනා නා දළු හා සම කරනා
කතාවේ තේරුම සොයනා මගෙ සිත
අවිචාරයි අද සමාවියන් මට

නොදැමුන දෙ අතට සිරවී පොඩිවන
නුඹෙ පියවුරුවල දැනෙනා රිදුමද
ලැමට යටින් ඇති ලයෙහී රිදුමද
සමවන්නේ තිසරුන් හට පිහිනන
නොදෙනෙයි සිතුමට වනචර මා සිත


නිරුවත් මස්පර්වත බර උසුලන
දිනකට සියවර තැල්මට ලක්වන
දරු බර දැරුමට හැඩවුන උකුලද
නිරාවරණ වුන මලවිකරලියද
මල් රොන් පිරි රියසක බඳු දෙයකට
උපමා කෙරුමට ඉඩ නොදෙනා සිත
සමාවියන් මට පාපිශ්ඨයි එය


නොමැතිව හැඟුමන් පෙන්වා ඇ
ති බව
ඈත බලාගන නිදියන විට යට
ගන්නා මුදලින් රකිනා දරු කැල
දකිනා මගෙ සිත මව යන පදයට
උපමා සොයනව විනිවිද නුඹෙ රුව
සමාවියන් මට නිරුත්තරයි සිත






කටුස්සා...

විශේෂ ස්තූතිය- "ලස්සන" සිංහළ වචන මට කියල දුන්න "කමියා"ට.