Monday, January 5, 2015

තීරණය...



"චූටි මැණිකේ....හිමින් ...හිමින්...දැන් ඔහොම දුවල වැටුනොත් එහෙම සුදු නෝනාගෙන් මට තමා බැනුම් අහන්න වෙන්නේ.කියන දේ අහන්නකෝ චූටි මැණිකේ....බලන්න මේ සුදු මැණිකේ ඉන්න ලස්සන.ඒ විදිහට ඉන්නකෝ..."
"නන්ගී...මම කියනවා අම්මට ඔයා කියන දේ අහන්නේ නෑ කියලා....මතකනේ අම්මා කියපුවා එන කොට...."
අම්මට කියනවා කියපු ගමන්, සමාධිගේ කීකරු නැති දෙපා ඉද්ද ගැහුවා වගේ නතර වුනා.ඒ අම්මාට ආදරේ කලාට,කේන්ති ගිය වෙලාවට ඇගේ මුවින් පිටවෙන වචන වලට ආදරේ නොකල නිසා.
"සිරියම්මේ....අනේ කෝන් කඩල දෙන්නකෝ...ගොඩ කාලෙකින් කෑවේ නෑනේ...."
ගමේ ළමුන් කීපදෙනෙක් වටවී උන් කෝන් ගහ දැක සමධී ඇවිටිලිකරන්න වුනා.
"මම කොහොමද චූටි මැණිකේ ඕවා කඩන්නේ...මට ගස් යන්න පුළුවනෑ....අනික ඕවා කෑවා කියල ලොකු නෝනා දැනගත්තොත් මට විසුමක් වෙන එකක් නෑ,ගිනියම් කෑම කන්න දුන්නා කියලා..."
"අනේ....ආච්චිට කවුරුත් කියන්නේ නෑ....අක්කා කියන්නෙත් නෑ...ඔයාට බැරිනම් අපි අර ගහ ලඟ ඉන්න ළමයින්ගෙන් ඉල්ල ගමුකෝ....ඉන්න මම ඉල්ලන් එන්නම්...."
මෙහෙම කියපු සමාධී ගහ යටට දිවුවේ සිරියා හිතන්නත් කලින්.එතන ගෑනු ළමයි තුන් දෙනෙකුයි පිරිමි ළමයි දෙන්නෙකුයි හිටියා.ගහ උඩ තව පිරිමි ළමයෙක්.ඒ ඔක්කොම සමධි දිහා ලොකු කරගත්තු ඇස් වලින් බලා හිටියා.
"මේ...අපිටත් දෙනවද කෝන් ගෙඩි ටිකක්..."
සිද්දවුන අනපේක්ශිත ඉල්ලීමෙන් අනිත් අය ගල් ගැහිලා ඉන්නකොට එතන හිටපු කුඩාම සාමාජිකයා හඬ අවදිකලා.
"අපි කඩපුවා මොකටද ඔයාට දෙන්නේ....?මේවා අපි කඩපුවනේ"
සමධිගේ හිනා මූණ බෙරිවුනා.
"දඩස්..."ගසට පිටුපා සිටි සමාධි පසු පසින් සද්දයක්.ගහ උඩ හිටිය පිරිමි ළමයා බිමට පැනලා,සමාධි දිහා බලන් ඉන්නවා.
"උක්කුන්....ඕවා ඔක්කොම අපිට වැඩියිනේ.....ඔය ගෙඩි ටිකක් හූරලා චූටි මැණිකෙට දෙන්න."එහෙම කියන ගමන් ඔහු තමන් ලඟ වැටිල තිබුන අතුවලින් ගෙඩි හූරන්න පටන් ගත්තා.
"ඉතින් මේවා කැඩුවේ අපිනේ....එයාලටත් ඕනෙනම් කඩාගන්න කියන්න"
චූටි කැරළිකරුවා සටන අතෑරියේ නෑ.
"මේ ඔක්කොම අපිට වැඩියිනේ.වැඩිපුර තියන ඒවා බෙදාගන්න කියල අම්මා කියලා තියනවා නේද?අනික චූටි මැණිකේ කොහොමද ගස් නගින්නේ?"
ඛාන්ඩේ නායකයා වගේ උන්න පිරිමි ළමයා ඔළුව නොවුස්සා කෝන් හූරන ගමන්ම උක්කුන්ට කිවුවා.උක්කුන්ගේ කටහඬ ආපහු ඇහෙනවා වෙනුවට ඇහුනේ කෝන් හූරන හඬ.
සමාධිට මේ පිරිමි ළමයගේ මූන දැකලා හුරු ගතියක් තිබුනා.හරි...මේ පාර ඉස්කෝලේ රැස්වීමේදී "යුතුකම් සහ වගකීම්" ගැන කතාවක් කලේ මේ අයියා තමයි.අරුණ ආලෝක...එහෙම තමා ප්‍රින්සිපල් සර් නම කිවුවේ.සමාධිට ඒ නම මතක තිබුනේ ඒ කතාවේ තිබුන අමතක නොවෙන වාක්‍යක් නිසා."යුතුකම් බර වැඩියි....වගකීම් සැහැල්ලු වැඩියි...."
"ආ...අල්ලන්න අත චූටි මැණිකේ..."සමාධි ලඟට ආපු ආලෝක තම අත්දෙකට හිරවෙලා තිබුන කෝන් ගෙඩිටික ඇයට දික්කලා.සමාධිගේ අත් දෙකත් එකට එකතුවුනේ නිරායාසෙන්.
"නන්ගී....මොනවද ඔයා ඔය කරන්නේ.....?ලැජ්ජ නැද්ද ඔයාට එක එකාගෙන් ඉල්ලගන කන්න.....ඉන්නවකෝ...මම සේරම කියන්නම් ආච්චි අම්මට....."
කරන්ට් එක වැදුනා වගේ සමාධිගේ අත් දෙක පස්සට වුනා.රකුසු කරගත්තු මූනෙන් බලන් හිටපු උත්තරාගේ ඇස් වලින් ගිනි පිටවුනා.ඇය සමාධිගේ අතින් අල්ලගන ඇදගන යනකොට සිරියාත් හති දාගන එතනට ආවා.
"මොනවද චූටි මැණිකේ මේ කරන මුරන්ඩු කම්.....ලොකු මැණිකේ දැනගත්තොත් විසුමක් නොවෙන්නේ මටනේ....එන්න යන්න වලවුවට...දැන් ඇති මේ සන්චාරේ...."
නිදහස්ව තිබුන සමාධිගේ අනිත් අතින් අල්ල ගත්තු සිරියා,ආපහු වලවුවට එන්න පිටත් වුනා.අක්කටත්,සිරියාම්මටත් මැදිවුන ඇය හැඟීම් නැති එකෙක් වගේ ඔවුන්ට කීකරු වුනා.බිම බලාගන ලැජ්ජාවෙන් යන සමාධි ,ඔළුව උස්සලා පිටිපස්ස බැළුවා.අනිත් අයගේ පුදුමයට පත් විසල් දෙනෙත් අතරේ සමාධිගේ ඇස් නතර වුනේ දුකින් වගේ බලා උන්න අරුණගේ දෙනෙත් ලඟ.
"ඉන්නකෝ...මම ආච්චි අම්මට කියල ඉල්ලල දෙන්න තමුසෙට....අදුරන්නේ නැති එවුන් එක්ක කදේට යනවා...."
"අනේ සුදු මැණිකේ....ඔය කතාව ලොකු මැණිකෙටනම් කියන්න එපා.....චූටි මැණිකේ බඩහැළයන්ගේ ළමයි එක්ක භජනෙට ගියා කියල දැනගත්තොත් මටයි වලවුව දාලා යන්න වෙන්නේ...."
දෙපැත්තේ ඉදන් කියන මේ කතා කන් දෙපැත්තෙන් ඇවිත් ඔළුව මැද්දේදී එකට හැප්පෙනවා වගේ සමාධිට දැනුනේ.හැඟීම් දැනීම් නැති කෙසල් කොටයක් වගේ ඇය  ඒ දෙන්නා පස්සේ ඇදීගන ගියා.
=================================================
 "මේ.....මේ...."ආලෝක හිමින් ඒත් බොහොම පැහැදිලිව කතාකලා.ඒත් විවේක වෙලාවෙවත් එළියට නොගිහින් නවකතාව බල බල හිටපු සමාධිට ඒක ඇහුනේ නෑ.
"චූටි මැණිකේ...."ඉස්කෝලෙදි තමන් අහන්න අකමැතිම වචනේ සමාධිගේ කණ වැකුනත් ඔළුව උස්සලවත් ඒ දිහා බැළුවේ නැත්තේ සමාධි පාසලේදී ඒ නමට එච්චර අකමැති නිසයි.
"චුටි මැණිකේ....චූටි මැණිකේ..."මේක හරියන්නේ නෑ.කවුද මේ...ගිනි පිටවෙන දෑසින් බලපු සමාධිගේ නෙත ගැටුනේ ආලෝකගේ මූණ.ගින්දර පිටවුන ඇස්දෙක නිල්කැටේට වතුර පිරුන දෙණියේ පතහ වගේ වුනේ සමාධි දැනුවත්වනම් නෙමෙයි.
"චූටි මැණිකේ කියන්නේ කවුද?මෙහෙ ඇති චූටිමැණිකෙක් නෑ."මවා ගත්තු සැරකමකින් සමාධි කිවුවා.ඒ සැර කමට බියපත් වුන ආලෝකගේ මූණ දැක්කහම හිනා යන්න ආවත් ඇය බොහොම අමාරුවෙන් ඒ හිනාව නවත්ත ගත්තා.
"මගේ නම සමාධි....ආලෝක අයියා දන්නවා ඇතිනේ....මට ඒ නමින් කතා කරන්න.නැත්තන් කතා නොකරනිකන් ඉන්න"
ආලෝක මුකුත් නොකියා බලා හිටියා."ඇයි කතා කලේ...?"
මුකුත් නොකියපු ආලෝක සාක්කුවෙන් ගත්තු සිලි මල්ලක් දික්කලා.
ඉදිරියට දික් වෙන්න හදපු අත බොහොම අමාරුවෙන් නවත්ත ගත්තු සමාධි ,"මොනවද?":
"ඔයාට ගෙනාවේ"
සිලිමල්ල දිග ඇරෙන හඬ...."කෝන්..."පුදුමයට පත් ඇය....
"ඔයා ආස වුනාට අක්කා එදා ඔයාට කන්න දුන්නේ නෑනේ....ඒකයි ගෙනාවේ..."
"අනේ...බොහොම ස්තූතියි අරුණ අයියේ...ගොඩක් පින් ඔයාට"
ඒ අහින්සක මූණ දැක්කහම මෙච්චර වෙලා සැර වුනේ අපරදේ කියල සමාධිට හිතුනා.
"මම යනවා නන්ගී"යනතම් හිනාවකින් මුව සරසගත්තු ආලෝක ආපහු හැරුනා.
"මේ...."ආලෝක ආපහු සමාධි දිහා හැරුනා.
"මම චූටි මැණිකේ නෙමෙයි...මම සමාධි...තේරුනානේ..?"
සිනා පිරුන දෙතොල්  සමගින් යන්තම් ඔළුව වනපු ඔහු ආපසු හැරුනා.
=================================================
"චූටි...හෙට මම අක්කව බලන්න යනවා.ඔයාව ගන්න තාත්තා එයි"
"අම්මේ...හෙට විභාගේ අන්තිම දවසනේ...අප්පච්චිට ටිකක් පරක්කු වෙලා එන්න කියන්න හොඳේ...."
"ඒමොකටද?"
"යාළුවෝ හම්බ වෙලා කයියක් දාගන,බදාගන අඬලා,සින්දුවක් එහෙම කියල එන්න ඕනෙනේ...හොඳ අම්මනේ..."

 "අනේ උඹලගේ විකාර....ඔය මුකුත් නෑ අක්කත් එක්ක උඹවත් නුවර නැවත්තුවනම්"
"අම්මට පුළුවන්ද චූටි නැතුව මේ ගෙදර ඉන්න...?බෑනේ...මගේ සුදු අම්මනේ..."
"ඇති ඇති ඔය නාකි හුරතල්...දැන් යමු බත් කන්න....අප්පච්චි බලාගන ඇති".

==================================================
"දැන් අපි ආපහු හම්බ වෙන්නේ කොහොමද නන්ගී...?"තැනින් තැන විසිර සිටින විභාගය නිමවූ සිසුන්ට නොපෙනෙන්න නැටුම් කාමරයත් පන්ති කාමරයත් අතර වූ හිඩසෙහි තුරුල්ව සිටි සමාධිගෙන් අරුණ ඇහුවේ ඇගේ කෙහෙරොදක් ඇඟිලි අතර පටලව ගනිමින්.
"අනේ මන්දා අයියේ...A/L වලට මාව මාතලේ නවත්තයි,නැන්දලගේ අහ.එතකොට ඔයා එන්න මාව බලන්න".
"මට තාම එච්චර දේවල්කරන්න බැරිවෙයි නන්ගියේ...මගේ මේ කැම්පස් ගමනත් ගෙදරට බරක් වෙලා තියෙන්නේ.තාත්තටත් දැන් ඉස්සර වගේ මහන්සි වෙන්න බෑ".
"ඔයා ඔච්චර හිතන්න එපාඅයියේ...අපි ඉනෝකාගේ අතේ ලියුම් මාරුකරගමු.ඔයා ඔයාගේ ඉගනීම් වැඩ කරගන්න.අමතක කරන්න එපා,ඔයාගේ ඉගනීමෙන් තමා අපිට එකතු වෙන්න පුළුවන්.වෙන විදිහක් නෑ අපිට".
"මම මොන උපාදිය ගත්තත් වලවුවට කඳ උස්සන් ආපු ගුණාගේ මුනුපුරාට ,වලවුවේ චූටි මැණිකෙව දෙයි කියල ඔයා හිතනවද?"
"අපි එන විදිහක් බලමු අයියේ....මොනවා උනත් මම ඔයා එක්ක එනවා.ඒකට පාර හදාගන්න, හොඳට ඉගන ගන".
කෝපි මල් මතක්කරන සමාධිගේ ඇස් දිහා බලා හිටපු ආලෝක,වසර 3ක ආදරයේ පළමු හාදුව ඇගේ නළල මත තැබුවා.
"කාළකන්නි බැල්ලි....තෝ අපිව කෑවා..."ආච්චිගේ කටහඬින් බිරන්තට්ටු වුන සමාධි විදුලියක් වගේ ආලෝකගෙන් ඈත්වුනා.
"චටාස්...." අප්පච්චිගේ අත සමාධිගේ කම්මුල සිප ගත්තා.
"අනේ...සමාධිට ගහන්න එපා...අනේ අන්කල්...."
"අන්කල්...කවදද යකෝ මම තොගේ අන්කල් වුනේ....පාහරයා...." මහා සද්ද නගමින් පහර පිට පහර ආලෝක මතට පතිත වුනා.
"අනේ අප්පච්චී...."සමාධී කෑ ගසමින් ඔහුගේ අඟේ එල්ලුනා."මෙහෙ වරෙන් යන්න...තවත් ලැජ්ජ කරන්නේ නැතුව අපිට.ඇගේ අතින් අල්ලාගත් ලොකු හාමු ඇයව පාසල් වත්තේ නවත්තා තිබූ මෝටර් රථය වෙත ඇදගන ගියා.
පාසලේ ඉතුරුවෙලා හිටපු අනිත් සිසුන් වගේම පිට පාසල් ගුරුවරුනුත් බිය පත් දෑසින් මේ නාටකය දෙස බලා සිටියා ඇරෙන්න එයට සම්බන්ද නොවූවේ ආලෝකට පහර දෙන විට ලොකු හාමුගේ මුවින් පිටවූ රදළ පුරාජේරුව නිසා වෙන්න ඇති.

==================================================
"ඔය තමුන් ළමයි හදපු හැටිතමා....ආදරේ කිය කිය නුවර යවන්නේ නැතුව ගමේ තියාගත්තා.ඔය ආදරේට ඒකි අපිට කරපු දේ තමයි.රටේ ලෝකේ වෙන මිනිස්සු නෑ වගේ පරම්පරා ගානක් අපිට කත් ඇදපු බඩහැළ පරම්පරාවෙන්ම මිනිහෙක් ඕනවුනා මේකිට."
"උන්ගේ අප්පට ලියුම් බෙදන රස්සාව හම්බවෙනකම්ම උන්ගේ පරම්පරාවම කලේ අපිට වළන් හදපු එක.එහෙම  උන් මේ වනිගසේකර වලවුවෙන් හිරගන්න එන්නේ...උඹලගේ අප්පච්චි හිටියනම් අද ඕකුන්ගේ ගේත් ගිනි තියලා...වල්බල්ලෝ..."
"හොදයි....මම බලාගන්නම්කො උන් ගැන.මේ රිචර්ඩ් වනිගසේකර ගැන උන් තාම දන්නේනෑ.විශ්ව විද්‍යාලේ ගියහම මුන් හිතන්නේ හරි කෙරුමෝ කියල"
"අනේ දැන් ඕක නතර කරන්න...ඕක ඔහොම්මම නිවෙන්න දෙන්න.උඩ බලාගන කෙළ ගහන්න එපා....එහෙම උනොත් අපේ දරුවන්ටමයි හොද නැත්තේ"
"මේ කට වහගන්නවා...ඔහේගේ ඔය දරුහැවිකරේ තමා ඕකිට විනාසෙට හිටියේ.ඒවා මම බලා ගන්නම්.දැනවත් ඔහේ, ඔහේගේ දෝනියැන්දා ගැන බලා ගන්නවා"

==================================================
"උක්කුන්...දැන් මොකෝ බන් අයියට...?"
"ටිකට් කපලා ගෙදර ගෙනාවා...තැළුම් අමාරුව තමා තියෙන්නේ..."
"උඹලගේ අයියටත් පිස්සුනේ බන්...මෙච්චර කෙල්ලෝ ඉන්න රටේ චූටි මැණිකෙගේ පස්සෙන්ම ගියේ..."
"ඇයි...චූටි මැණිකේ කියල අලි පුකෙන් ආපු කෙල්ලෙක්ද? පලයන් වීරේ යන්න...උඹල ඔය හිතන විදිහ නිසා තමා හාමුකාරයා අපේ ඔළුවට චූ කරන්න එන්නේ....උක්කුන්ගේ අයියට කැමති කෙල්ලත් එක්ක යාළු වෙන්න බැරිනම් මේක උන්ටම ගිය රටනේ...."
"ඒ උනාට හාමුවා මහ එපා කරපු එකාළු බන්.නිකා හිතපන්,ඒකා උක්කුන්ගේ තාත්තට හරි අම්මට හරි කරදර කලොත්...?"
"උඹ ඕවා ගනන් ගන්න එපා උක්කුන්....බලමුකෝ හාමුවා මොකාටද එන්නේ කියල..."
"ඔවු දයාසිරි අයියේ...බලමු....අපිට කොච්චි කරලක් හැපුනහම දැවිල්ල මැකෙන්න සීනි ටිකක් දෙන්න එකෙක් හිටියේ නෑ.ඒ නිසා කොච්චි සැර යන්න අපි කෑවේ මිරිස්.හාමු ආපහු අපේ ගෙදර එකෙක්ට හරි අත තිබ්බොත් එදාට හාමුවගේ අවසානේ තමා...."

==================================================
"සමාධි...." ඇය ඔළුව උස්සලා බැළුවා.
"උඹ ලන්කාවට ඇවිත් දැන් සති 3ක්.ගමේ යන්න අදහසක් නැද්ද...?"
"ගමේ ගිහින් මොනවා කරන්නද?දැන් එහේ මට කවුරුත් නෑ කියලා උඹ දන්නවනේ"
"ඒ වුනාට එහේ දේපළ වලට මොනවා හරිකරන්න ඕනේ නේද,ඒ වැඩ වලට උඹ එහේ යන්නම ඕනෙනේ...."
"මම හින්දා එච්චර විනාශයක් වුන තැනකට මම කොහොම හිත හදාගන යන්නද සේශා....?"
"ඒවා වෙලා දැන් ගොඩක් කල් සමාධි....දැන් මේවා ඔක්කොම කරගන්න ඕනෙ උඹ තනියෙන්....උඹට තනියම යන්න බැරිනම් මාත් එන්නම්,චන්දිම අයියත් එක්ක...."
"අනේ ලොකු උදවුවක් සේශා....මට මේ සතියත් ඉන්න දීපන්.ලබන සතියේ වගේ දාගමු යන්න...."

==================================================
ආලෝකගේ පියාට අප්පච්චි ගහන්න ගිය හැටි,ඒ දිහා බලා හිටපු උක්කුන් අප්පච්චිට ගහපු හැටි,ඒ වෙලාවේ ආච්චි අම්මා පපුවේ අමාරුවක් හැදිලා මැරුණ හැටි,මේ නිසා වියරු වැටුන අප්පච්චි සහ මැරයෝඋක්කුන්ට ගහල ආලෝකලගේ ගේ ගිනි තියපු හැටි,ඒ පහරදීම නිසා උක්කුන් මියගිය හැටි,ආලෝකලා ගම රට අතැරලා ගිය හැටි,අප්පච්චි අවුරුදු 12ට හිරේ ගිය හැටි,තමා අවුරුදු 2ක් තිස්සේ මානසික ප්‍රතිකාර ගත්තු හැටි,නැන්දා විසින් ඇයව කැනඩාවේ පිහිටි තමාගේ නිවසට රැගෙන ගිය හැටි,උත්තරා තමාගේ දේපළ විකුනා අම්මාද කැටුව කොළඹට ගිය හැටි,අප්පච්චී හිරේදී මියගිය හැටි සමාධිගේ මනසේ සිතුවම් පෙලක් සේ ඇඳෙන්න වුනා.
===============================================
"මේ පැත්ත ගොඩ වෙනස් වෙලා අයියේ....ඉස්සර මේක පොඩි කඩ මණ්ඩ්යක්.ඒත් දැන් ටවුමක් වෙලා.ඔය ඔතන බෝක්කුව තියන තැන තමා ඔය නොතාරිස් ඔෆිස් එක තිබුනේ.ඒත් දැන් එතන කඩ පේළියක්නෙ තියෙන්නේ....."
"අවුරුදු 12ක් කියන්නේ පොඩි කාලයක් නෙමෙයිනේ.....චන්දිම අයියේ.....ඔය කඩේකින් අහමුද? ටිකක් වයසක කෙනෙක් ඉන්න තැනකින්.ඒ අය මොනව හරි දන්නවා ඇතිනෙ....."
"මම ගිහින් අහන් එන්නම්....මොකද්ද ඒ ලෝයර්ගේ නම කිවුවේ නන්ගී....?"
"වීරසේකර කියල අයියේ...."
"සමාධි....අර බලපන්කෝ...." ඇය බලා හිටියේ තරමක් විශාල කඩයක් දිහා.
සමාධී අත්කම්මැදුර
"මොකද...මගේ නම තියන නිසාද?"සේශා ඔළුව වැනුවා
"මේ පැත්තේ සමාධිල හිටියේ මම විතරද?උඹත් නිකන් පොඩි එකෙක් වෙන්න හදනවා"
"ඒ වුනාට ඒ කඩේ මේ පැත්තට නොගැලපෙන ගතියක් තියනවා.බලපන්,ඒකේ තියෙන්නේ මහ රිච් ලුක් එකක්.වරෙන් ටිකක් ඔළුව දාලා එන්න"
"අනේ මේ නිකන් හිටපන් සේශා....දැන් චන්දිමයියත් එයි."
"එයාව මම ශේප්කරගන්නම්.උඹ වරෙන්කො යන්න.බලපන් අර ක්ලේ වාස් දිහා.මාර ක්‍රියේට්වු .වරෙන්කො යන්න"

ඇත්තටම ඒ කඩේ ඇතුල සුරන්ගනා ලෝකයක් වගේ කියල සමාධිටත් හිතුනා.හරියට වැනීසියේ වීදුරු බඩු හදන තැනකට ගියා වගේ.මැටි වලින්,පාශාන වලින් හදපු නිර්මාණ,ලී කැටයම්,බතික් නිර්මාණ වගේ ගොඩක් දේවල් සමාධිගේ හිත පිරෙවුවා.ඔවුන් යන කොටත් විදේශිකයන් කීපපොළක් කඩේ ඇතුලේ සක්මන් කරනවා ඔවුන් දැක්කා.සමාධිත් මල් වත්තක අතරමන්වුන සමනළයෙක් වගේ කඩේ ඇතුලේ රවුම් ගහන්න වුනා.ගමරාළයි ගම මහගෙයි ඔළුව වනන කුඩා රූකඩ අනුරුවක් අතට ගත්ත සමාධි,ඒකේ ගනන් අහන්න විදේශිකයකුට භාන්ඩ පෙන්වන කඩේ සේවකයෙක් ලඟට ගියා.
"එක්ස් කියුස් මී....මට මේකේ....."වාක්‍ය සම්පූර්ණ කරගන්න කලින් ඔහු සමාධි දෙස හැරුනා.
"සමාධි....නන්ගී....."
"දෙයියනේ...ආලෝක....."
මුළු ලෝකයම කැරකෙනවා වගේ සමාධිට දැනුනේ.
"ඔයා කොහේද නන්ගියේ මෙච්චර දවසක් හිටියේ.....මම ඔයාව කොච්චර හෙවුවද?"
"අනේ අයියේ....ඔයාට කොහොමද දැන්?ඔයා මේකේද වැඩ කරන්නේ...?"
"එන්න...අපි යමු ඔෆිස් එකට.අර ඔයාගේ යාළුවෝ දෙන්නටත් එන්න කියන්න..."
"ඉඳගන්න....."
"සේශා...මේ තමා ආලෝක.....ඔයාට කොහොමද අයියේ දැන්...?"
"මේ කඩේ මගේ....මම ඔයාව කොච්චර හෙවුවද නන්ගි.....මට හොයා ගන්න බැරිවුනා....පස්සේ දැනට අවුරුදු 3ට විතර කලින් තමා මම මේ කඩේ මෙතන දැම්මේ....මගේ හිතේ පොඩි බලාපොරොත්තුවක් තිබුනා ඔයා කවද හරි මේ ගමට එයි කියලා..."
"මම ආපහු මෙහාට එන්න හිතුවෙවත් නෑ අයියේ....දැන් මම ලන්කාවේ නෑ.දැන් ආවෙත් මේ දේපල නිරාකරනය කරලා ආපහු යන්න...ඒත් අර ලෝයර් වීරසේකර හම්බවෙන්න බැරිවුනා.අපි මේ එයාව හොයන ගමන්"
"මම දන්නවා දැන් එයා ඉන්න තැන.දැන්නම් එයා වැඩ කරන්නේ නෑ.අපි ගිහින් බලමු.මමත් එන්නම් පාර පෙන්නන්න....ඉස්සල්ල අපි මොනව හරි බීලා ඉමු....ඉන්න පොඩ්ඩක්...."
එහෙම කියපු ආලෝක කාමරෙන් එළියට ගියා.
"මොනවද බන් මේ උනේ...."
අදහන්න බැරුව හිටපු සේශා සමාධිගෙන් ඇහුවා.ඒත් උත්තරයක් වෙනුවට සමාධිගේ ඇස් වල තිබුනෙත් විශ්මය එකතුවුන අසරන කමක්.
"ආ...මේක බොන්න...ඔයගොල්ලොත් ගන්න නන්ගි....."
"සමා...මායි,චන්දියි පොඩ්ඩක් ශොප් එකේ ඇවිදල එන්නම්.ඔයගොල්ලො කතා කරන්න"සමාධි මුකුත් කියන්නත් කලින් ඔවුන් කාමරෙන් පිටවුනා.

"ඔයාගේ ජීවිතේ කොහොමද දැන් නන්ගී....ඔයා බැන්දද?"
ඒ අහපු විදිහට සමාධිට හිනායන්න ආවත් ආයාසයෙන් ඒක නවත්ත ගත්තා.
"තාම නෑ අයියේ....ඔයා....?"
ආලෝක අසරණ විදිහට හිනාවුනා විතරයි.
"ඒ සිද්දවුන දේවල් වලින් පස්සේ අම්මයි ,තාත්තයි එච්චර කල් ජීවත්වුනේ නෑ නන්ගි.පස්සේ මම කැම්පස් අවුට් වෙලා NGO එකක වැඩකලා.පස්සේ තමා මේ පැත්තේ රස්සා නැති කෙල්ලො කොල්ලන්ට මොනව හරි කරන්න ඕනෙ කියල මේක පටන් ගත්තේ.මෙතන තියන බඩු වලින් ගොඩක් ඒ අය හදන ඒවා..."
"ඒත් ඇයි මේකට අර නම දැම්මේ....?"
දෙන්න තරම් උත්තරයක් ආලෝකට තිබුනේනෑ.දැන ගන්න තරම් උත්තරයක් සමාධිට තිබුනෙත් නෑ.
"එන්න අපි යමු....මම පෙන්නන්නම් වීරසේකර මහත්තයගේ ගෙදර...." නිශ්ෂබ්දතාවය බිඳින්න වගේ එහෙම කියමින්ආලෝක නැගිට්ටා.

===============================================
"දැන් මොකද්ද උඹේ තීරනේ....?"
"මට මුකුත් හිතාගන්න බෑ සේශා...මේ මම හීනෙන්වත් බලාපොරොත්තු නොවිච්ච දෙයක්"
"උඹලා දැන් පොඩි එවුන් නෙමෙයි.....උඹල දෙන්නටම දැන් උඹලගේ කියල කිසි කෙනෙක් නෑ...ඒ නිසා ආපහු එකතු වෙන්න කිසි බාදාවකුත් නෑ...ඉතින් මොනවද තව හිතන්නේ...?"
"මට අලෝක එක්ක එකතු වෙන්න හිත හදාගන්න බෑ සේශා.මට බයයි එහෙම වුනොත් අප්පච්චි,ආච්චි අම්මා,ආලෝකගේ මල්ලි අපේ ජීවිත අතරට එයි කියල.එහෙම උනොත් මට කවදාවත් නිවනක් නැතිවෙයි....ඊට වඩා මම මේ ගෙවන ජීවිතේ මට හොඳයි සේශා.....මම ආපහු කැනඩා යනවා.අනිත් ඉඩම් විකුනනවා.මහගේ ආලෝකලට දෙනවා,ගමේ කෙල්ලන්ට කොල්ලන්ට ට්‍රේනින් සෙන්ටර් එකක් හදන්න කියලා..."
"එතකොට ඒකද උඹේ අවසාන තීරනේ...."
"ඔවු සේශා....අපේ ආදරේට මෙච්චර කාලෙකට කිළිටක් එකතුවුනේ නෑ....තව ඉස්සරහට එකතු වෙන්න ඕනෙත් නෑ....අපි මැරි කරලා අපේ අතීතේ නිසා දුක් විදින්න ඔනෙත් නෑ....ඒ නිසා මේක තමා හරි තීරනේ...."
මුකුත් නොකියපු සේශා නැගිටලා ජනේලෙ ගාවට ගිහින් මිදුල දිහා බලන් හිටියා.....


ඒ විදිහට නැතුව මේ විදිහටත් පුළුවන්.....


"ඉළන්දාරි පේඬිගේ අරුණ ආලෝක වන මම මෙහි සිටින බණ්ඩාරනායක වණිගසේකර මුදියන්සේලාගේ සමාධි තිසරන්ගී යන අයව මාගේ නීත්‍යානුකූල භාර්යාව වශයෙන්..........
චන්දිම දිහා බලපු සේශා ආදරනීය හිනාවකින් ඔහුට සන්ග්‍රහ කලා.


මේ විදිහට වුනත් ඉවර වෙන්න බැරි කමක් නෑ.

"ආලෝක අයියේ...."
"සමාධි....කොහේ යන ගමන්ද මේ...?"
"මෙහෙමයි ආවේ අයියේ...."
ප්‍රශ්නාර්ත ලකුනකින් මුව සරස ගත්තු ආලෝක සමාධි දිහා බලාගන හිටියා.
"මම ලබන 23 ආපහු යනවා අයියේ.....ඊට කලින් මගේ වෙඩින් එක මෙහෙදි ගන්න හිතුවා....මේ මාසේ 17.මේ කාර්ඩ් එක දෙන්න ආවේ.පුළුවන්නම් මට සමාව දීලා වෙඩින් එකට ඇවිත් යන්න එන්න....."
ආරාධනා පත මේසය මත තැබූ සමාධි ආලෝකගේ අසරණ මූණ මගහරිමින්,තමන්ගේ දිදුළන දෑස් ඔහුට නොපෙන්වාම ආපසු යන්නට හැරුනා..........


                    -නිමි-



කටුස්සා.....

23 comments:

  1. ලොකු කතාවක් . හොඳට තියෙනවා

    ReplyDelete
    Replies
    1. පළමු ගොඩවැදුමට වැල්කම් කිවුවා.තව දිගයි.අමාරුවෙන් කොට කලේ..

      Delete
  2. ඕවා දැන් ටික ටික වියැකී යන සම්ප්‍රදායන්.
    අන්තිමට දඩිං බිඩිං ඩෝං ගාලා වගේ.

    ReplyDelete
    Replies
    1. අන්තිමටික දඩින් බිඩින් දොඩන් තමා.කවුරු හරි පින්වතෙක් කියවන කොට ටයිප් වෙන සොෆ්ට්වෙයාර් එකක් හොයා ගත්තොත්,අම්මපා ඌට වැඳ වැඳ මම මහා පතරන්ග ජාතකේ ආපහු ලියනවා......

      Delete
  3. ලස්සනයි මචෝ.. අපේ සමාජෙ ගැන මහා කලකිරීමක් ඉතිරිකරපු කතාවක්. මේ වියැකිලා යන යුගයට එහෙමම වියැකිලා යන්න ඉඩ නොදෙන උන් තාමත් අතලොස්සක් මේ රටේ ඇති.

    ReplyDelete
    Replies
    1. වැඩිකල් නොයා ඒ අයත් බිතු සිතුවම් වෙයි මනෝශ්.....

      Delete
  4. අර දෙකට දෙමන්දමේ නැතිව කතාව ඉවරයක් කලා නං තමා හොද...
    මොනව කරන්නද බොලාගෙ කැමැත්තනෙව

    අපූරුයි කටුස්සො...
    දෙවනි අවසානෙ යතාර්ත වාදී
    පළවෙනි එක ෆැන්ටසිය ඒ වගේම හැපි එන්ඩින් එක...

    ReplyDelete
    Replies
    1. එහෙම ලියන්න ගියානම් තාම ටයිප්කරනවා.දිග වැඩි වීගන එද්දී හිතලම කොට කලා.ඒකයි එන්ඩින් 3ක් දාගන්න උනේ.

      Delete
  5. එල කියන්නෙ එල ද බ්‍රා..
    ක්‍රම තුනකට ඉවර කරපු එක අලුත් අත් දැකිමක්.

    ReplyDelete
    Replies
    1. එළනම් එළ.....බ්‍රානම් බ්‍රා....

      Delete
  6. කියවන්න එන්නම්. තැන බුක් කරන්න ආවේ

    ReplyDelete
    Replies
    1. කලින් වෙන්කරවා ගැනීම්-
      අමතන්න-023419435435

      Delete
    2. මුල් විදිහට ඉවර වුනාම තමයි කතාවේ ගතිය තියෙන්නේ , කතාව එක තැනකදී හයිස්පීඩ් ඇදපු එකත් හොඳ ක්‍රමයක්. ඔය තරම්ම රදල උණ තියෙන මිනිස්සු දැන් නම් නැතුව ඇති. හැබැයි වන්සේ කබල් ගැන උන් නම් තාම ඉන්නවා ඕන තරම්

      Delete
  7. කතාව හොදයි. ආලෝක සමාධි ගියේ කොහේද කියන එක නොදැන හිටි එක ටිකක් පිළිගන්න අමාරුයි.. ඒත් අවුලක් නෑ.. කසුට්ටා කතාව හොදයි..

    අන්තිමට බත්තලංගුංඩුව මතක් උනේ මොකද?? හැක්

    ReplyDelete
    Replies
    1. ටයිප් කරලා එපාවෙලා තමා බත්තලන්ගුඩුව මතක් කර ගත්තේ.ඒක කොහොමත් අමතක වෙන්නේ නෑ.දැනට 30 පාරකට වඩා කියවලා ඇති

      Delete
  8. උඹනම් කටුස්සෙක්ම තමයි.. එහෙම නැතුව මෙහෙම වෙන්නයි.. අරම වෙන්නයි.. හැක් හැක්.. මං නම් කැමති ඉතින් මුල් තීරණේට තමයි.. මේ ඉස්ටයිල් එකට ලියන ඒවා කියවන්න මං කැමතියි.. අතරමග සිදුවීම් එකට එක බැඳල තියා ගන්න පල් හෑලි ලියන්න ඕනි නෑනේ.. රායිට්..ඔන්න එහෙනම්.. තීරණය ඔබ අතේ.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට මේ ට්යිප් එකට ඇබ්බැහි වෙලාද මන්දා....ටිකක් වෙනස් කරගන්න ඕනේ....තීරණය ඔබේ අතේ....මාතා කියන විදිහට, මෙත් මල්පිබිදේවා....

      Delete
  9. Sunethrage prema puraanaya potha mathak una.

    ReplyDelete
    Replies
    1. තිත්ත සීනී....මරු නම....
      සුනෙත්‍රගේ පොත කියවල නෑ මචෝ.ඒත් ඔය බඩහැළයෝ කියන වචනේ අහුල ගත්තේ නදී වාසලමුදලිගේ "මැටි" පොතෙන්.

      Delete
  10. කතාවේ පළවෙනි අවසානයට තමයි මමත් හැබැයි වැඩියෙන්ම කැමති...

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. මේකෙ ඉන්න ගොඩ එවුන් කැමති ට්‍රැජඩි වලටනේ.....ටිකක් හිනාවෙලා හිටපල්ලකෝ.....
      මෙච්චර කාලයක් ඔබේ රසිකයෙක් වෙලා හිටපු මට,ඔබ අද මගේ රසිකයෙක් වීම ගැන තියෙන්නේ අහින්සක සතුටක් මට.....

      Delete
  11. දවස් ගානකට පස්සේ මේ පැත්තෙ ආවේ. මේ කතාවනම් පට්ටෙටම ලියල තියෙනවා. කටුස්සට හොඳ හැකියාවක් තියෙනවා කියවන කෙනාගේ මනස කිසිම වෙලාවක පිටට යන්න නොදී කතාව ඇතුලෙම රඳවගන්න. එහෙම හැම කෙනාටම කතා ලියන්න බෑ. ජය වේවා!!!

    ReplyDelete