Saturday, January 10, 2015

අම්මා.....

                                                 

"අම්මෝ.....හරි අමාරුයි අදනම්....කහට ටිකක් බොමුකෝ සිරියෝ..."යි කියා ගනිමින්ම කුස්සියට පැමිණි හේරත්  ගෙලෙහි වූ තුවායෙන් මුහුනේ දහඩිය පිස දමමින් කොට බන්කුවේ වාඩිවුනා.
කඩමින් සිටි කන්කුන් මිටිය හනිකට ඇතුල්පතට දැමු සිරියාවතී ,චීත්තය හරිගස්සමින් නැගී සිටියා."ඇයි අද ගුනේ අයියා ආවේ නැද්ද?".ඇය ඇසුවේ කේතලය ලිප තබන ගමන්මයි.
"නෑනේ බන්....මම හිතන්නේ මැනිකාක්කට බෙහෙත් ගන්න ගාලු යන්න ඇති.ඒ නිසා පොල් ලෙළි වල ගොඩදාන්න උනේ තනියම අද..."
"එදා බලන්න ගියාට පස්සේ ඒ මනුස්සයව බලන්න යන්න වුනෙත් නෑ....හෙටවත් යන්න ඕනේ ඒ පැත්තේ...කොහේද ඉතින් මේ බාරගත්තු පැදුරු ටික බාර දෙන්න බැරුව ගියානේ තාම....ඊයේ එළපු පැදුර තාම එහෙම්මමයි."
හේරත් ඇගේ මූන  දිහා බලා හිටියේ ඒ ඇයි කියලා අහන්නා වගේ.
"ඔහේට කිවුවට මට පොළොස් ගෙඩියක් හොයල දුන්නේ නෑනේ ලොකු පුතාට යවන්න.ඉතින් අද මම ගියා සෝමා අක්කලගේ ගෙදර.මහ ගහෙන් ගෙඩියක් ඉල්ලන් එන්න.ඒ ගිහින් ඇවිත් ඒක පිළිවෙලක් කරල ජයන්ත පුතාලගෙ ගෙදර ගියා ඒ ටික දෙන්න.ඒ ළමයත් හෙට යනවනේ."
"ඉතින් ඕකට උඹම මැරෙන්න ඕනෙයි...?පොඩ්ඩා කොහේ ගිහින්ද?"
"ඒ ගැන මොනවට කතා කරන්නද?උදේ පාන්දර ගෙදරින් යන එකා ආපහු එන්නේ ඉර ඇරුනටත් පස්සේ....ඌට කියල වැඩක් ගන්නවට වඩා හොඳයි කට බිම උලා ගන්නවා...මම කියන්නමයි හිටියේ...පොඩ්ඩගේ චරියාව ගැන ටිකක් හොයල බලන්න.විභාගේ අහවර වෙලා තාම මාසයයි.ප්‍රතිපල එනකම්ම ඔහොම රස්තියාදු උනොත් ඒකගෙන් ගන්න දෙයක් නැතුව යයි.අනිත් එවුන් පිළිවෙලක්වීගන එන වෙලාවේ මේකා වල් වැදුනොත් මොන දෙයියන්ට කියන්නද?"
ඇය දුන්න කහට කෝප්පය තොලගාන ගමන් හේරත් ඇයට ඇහුම්කන් දීගන උන්නා.
"ඕකට වුනේ ඔහේගේ ලීලේ වැඩිකම තමා....මේ යන කාලෙත් එච්චර හොඳ නෑ.මම අහගන ලියන මහත්තයා එක්ක කලු මහත්තයා කියවනවා චේගුරා කාරයෝ ආපහු දගලනවා කියල.මූ ඕවට ගෑවිලා නම නරක් කරගත්තොත් අර ලොකු එකාටනේ හොඳ නැත්තේ...."
"ඒකා එච්චර දරුණු හිතක් තියෙන එකෙක් නෙමෙයි ඕවට සම්බන්ද වෙන්න තරම්.පොතේම ඇළිල උන්න එකානේ.ටිකක් සැර කලාමත් කඳුලු එනවා.තියෙන්නේ ඌට ටිකක් අවවාද කරන්න විතරයි."
තේක තොලගාන ගමන් ඔළුව වනපු හේරත්ගේ දෙතොලේ සිහින් සිනාවක් තැවරිලාතිබුනේ පොඩ්ඩාගේ පොඩි කාලේ මතක් වෙලා වගේ.
"ලොක්කවත් ලබන සතියේ ඉදන් කොළඹට මාරු කරලා කියන්නේ..."
"කවුද ඔහෙට කිවුවේ...?" දෙතොලට ලන්කරපු කෝප්පේ නැවත ඈත් කරමින් හේරත් ඇහුවා.
"ජයන්ත පුතා කිවුවේ....ඒ ළමයවත් මාරු කරල කියන්නේ ලොක්කවත් එක්කම...."
"ඔය කොටියෝ ඉන්න පැත්තෙන් කොළබට එන එකනම් කොච්චර ලොකු දෙයක්ද?"
"ඒකනම් ඇත්ත.ජයන්ත පුතාගේ අම්මත් කිවුවේ ඒකම තමා."
"දෙවනිගෙන් ලියුමක් නැද්ද අදත්?"
"නෑ.මට පියුන් මහත්තයවත් හම්බුනා මගදී.පහුගිය ලියුම ඇවිත් මාසයක් පහුවුනේ නෑනේ තව..."
"ඒකත් ඇත්ත.කොහොමත් ඌ ගෙදරට හිත එකෙක් නෙමෙයිනෙ වැඩිපුර"
හේරත්ගේ ඒ කතාවට මුකුත් නොකියපු සිරියලතා කන්කුන්මිටිය ඇහිඳින්නට වුනා.
"මම යනවා ඇඟට වතුර ටිකක් දාගන එන්න"යැයි කියපු හේරත් බන්කුවෙන් නැගිටලා ළිඳ පැත්තට ගියා.
===============================================
දැනට අවුරුදු 30කට පමන පෙර හේරත් නුවර අස්ගිරිය ප්‍රදේශයට ගියේ රාජ්‍ය වැඩ සන්ස්ථාවේ කම්කරුවකු ලෙසයි.එහිදී හමුවූ සිරියලතාගේත් හේරත්ගේත් පෙම්කතාව නිමවූවේ ඇගේ නිවසට විරුද්ධව හේරත් විසින් සිරියාව ඇල්පිටියේ වූ තම නිවසට කැන්දාගන ඒම තුලින්.වෙහෙස වී වැඩකරන්නෙකු වූ හේරත් සැබවින්ම සිරියාට නියම ස්වාමිපුරුශයකු වූවා පමනක් නොව:තමාගෙන් ඇයට දාව ඉපදුනු දරුවන් 4 දෙනාට දයාබර පියෙකුත් වුනා.පිරිමි ළමුන් 4දෙනෙකුගේ දහසකුත් වැඩ හිස මත පැවරුනත් ගෙදර බර සියල්ල හේරත්ගේ කරමත නොපැටවීමට තරම් සිරියා පරිස්සම් වුනා.කුඩාකල සිට ඉගනගත් පන් කර්මාන්තය පොල් අතු වලට ආදේශ කරගත් සිරියා එමගින් හේරත්ගේ බර හෑල්ලු කිරීමට තමාගේ උපරිම උත්සහය යෙදුවා.දෙන්නා දෙමහල්ලන්ගේ කැපවීම නිසා වැඩි අගහිගයක් නොමැතිව දරුවන්ගේ වැඩ කටයුතු සිදුකරගැනීමට ඔවුන්ට හැකි වුනා.ලොකු පුතා වුන සම්පත්  යුද හමුදාවටත් පොඩිපුතා වන සිසිර මැදපෙරදිගටත් රැකියා සදහා යොමුවුනා.තරමක් දඩබ්බරයකු වූ තෙවනියා වන රුවන් ලොරිරථ රියදුරෙකුව එහිදී හමු වූ තරුණියක් සමග විවාහව රත්නපුර ප්‍රදේශයේ ජීවත්වෙනවා.පවුලේ බඩපිස්සා වු තාරක උසස්පෙළ නිම වී ප්‍රථිපල එනතෙක් නිවසට වී කල් ගෙවුවා.
===============================================
"කොහේද ළමයෝ මේ කාපු ගමන් යන්න හදන්නේ...?අනික මේ අවු කූටකේ..."බිත්තියට හේත්තු කර තිබූ බයිසිකලය ගැනීමට හදද්දී ;අඹගහ යට පැදුරක් වියමින් සිටි සිරියලතා ඇහුවේ බිත්තියට හේත්තු කර තිබූ බයිසිකලය ගැනීමට ආ තාරකගෙන්ය.
"ගුරු නිවාසෙ දිහාට අම්මේ.හේමන්ත සර්ව හම්බ වෙන්න"
"ඒ මොකටද මේ අවේලාවේ?"
"පොත් වගයක් ඉල්ල ගන්න.සර් එන්න කිවුවා"
"අනේ මන්දා...දැන් උඹ ඉස්කෝලේ ගිහින් ඉවර එකේ ඔය පැතිවල බඩ  ගානවට මම එච්චර කැමති නෑ....අනික ඔය සර් ගැන පැතිරෙන කතා එච්චර සුභ නෑ දැන් දැන්...."
"ඒ මොනාද?"
"සර් ඔය කොල්ලො කෙල්ලෝ අල්ලගන දේසපාලනේ ගැන කතාකරනවා කියන්නේ....විස්ස විද්‍යාල වල අයත් එනවා කියන්නේ..."
"දේශපාලනේ කියන්නේ වැරදි දෙයක් නෙමෙයිනේ අම්මේ.එහෙනම් අම්මල ඡන්දේ දෙන එකත් වැරද්දක්නේ."
"එච්චර දේවල් මට තේරෙන්නේ නෑ පුතේ.ඒත් උඹේ දෙවනි අයියා බඩේ හිටපු කාලෙත් මේ රටේ කොල්ලෝ කෙල්ලෝ බල්ලෝ බළල්ලු වගේ මැරුනා චෙගුරා කාරයෝද මොක්කුද වගයක් නිසා.අපි උඹල තරම් ඉගන ගත්තු එවුන් නෙමෙයි.ඒත් අපි උඹලගෙ අත පය නොකඩා හැදුවා.ආපහු එහෙම කාලයක් ඇවිත් භිතේ බඩේ ගින්දර උහුලන්න බෑ අපිට"
 "අම්මා මේ මොනවා කියවනවද මන්දා....අපි කොටි වගේ කැරළි ගහන්න යන්නේ නෑ.බය නැතුව ඉන්න"
තාරක එහෙම කිවුවේ බයිසිකලේට නගින ගමන්.
"කැරළි ගහනව කියල නෙමෙයි මම කියන්නේ.මේ රට කවදාවත් හරි වැරද්ද බලන රටක් නෙමේ මගෙ පුතේ.ඒ කාලේ වුනත් පාරවල් දිගේ මැරුන හැම එකෙක්ම වැරදි කරපු ඈයෝ නෙමෙයි.ඒ නිසා ඕවගෙන් ඈත්වෙලා ඉදපන්.අපි උඹලව ඇහේ මූනේ තියාගන හැදුවේ හමුදා පොලීසි ගානේ රස්තියාදු වෙන්න නෙමෙයි".
ගමේ අනිත් ගෑනුන්ට වඩා අම්මා උගත් ගෑනියෙක් කියලා දැනන් උන්නට අම්මගේ කටින් මේ වගේ දෙයක් පිට වෙයි කියල තාරක කවදාවත් හිතුවේ නෑ.ඒ නිසාම පුදුමයෙන් වගේ අම්මා දිහා බලා හිටපු තාරක පැඩලයට කකුල තිබ්බා.
"මම යනවා"
තාරක යන දිහා බලා හිටපු සිරියාවතී සුසුමක් හෙලා නැවත වියමින් සිටි පැදුරට නැමුනා.
===============================================

 "අනේ මන්දා මේ රටට මොනව වෙන්න යනවද කියල....අද පීරිස් මහත්තයව පොලෝසියෙන් කුදලගන ගියා කියන්නේ....."
රාජකාරී නිමවී කහට කෝප්පය තොලගාන ගමන් හේරත් කිවුවේ පොල් ගාමින් සිටි සිරියාට.
"ඇයි හත් දෙයියනේ...ඒ මොකටද?"
"වර්ජනෙන් අස් කරපු එකට විරුද්දව මොනවද කොළ වගයක් බෙදුවැයි කියන්නේ....."
"ඒක යස්ස වැඩක් නොවැ.....කිසි චාරයක් නැතුව රස්සාවෙන් අයින් කරපු මිනිස්සු ඒ වෙනුවෙන් විරුද්ද නොවී වෙන අහවල් කෙන්ගෙඩියක් කරන්නද?"
"ඔවා ඔහොම කිවුවට ඒ මිනිස්සුන්ට පුළුවන්ද ආණ්ඩුවත් එක්ක හැප්පෙන්න...කලුගල් වල ඔළුව ගහ ගන්න යනවා...."
"ඔහොමවත් නොකර ඒ මිනිස්සු වෙන මොනව කරන්නද....ඒ මිනිස්සුත් දරු පවුල් කාරයෝ නොවැ....."
"එහෙමයි කියල ආන්ඩුවේ මහත්වරුන්ට විරුද්ධ වෙන්නද සිරියෝ......තියන රස්සාව ආරස්සා කරගන්න ඒ මිනිස්සු දැනගන්න එපැය...."
"ගමට කොච්චර වැඩ කරපු මනුස්සයෙක්ද ඒ......දැන් පොළේ කරවල විකුණනවා.....පොළේදී දැක්කහම මට දුකේ බැරුව ගියා.කන්තෝරුවල හෙවනේ වැඩකරල මේ කාශ්ඨකේ කොහොම දුක් විදින්නද......මම මේ පාර  කරෝල ගත්තෙත් පීරිස් මහත්තැන්ගෙන්..."
"ඒවනම් එහෙම තමයි....දැනට කී දෙනෙක් ආවද ඔය රස්සා නැතිවුන ඈයෝ, වත්තේ රස්සා හොයාගන...."
"ඉතින් වැඩට ගත්තද?"
"පිස්සුද සිරියෝ....කළු මහත්තයට පෙන්නන්න බෑ ඒ අයව.ආණ්ඩු පෙරලන්න ගිය කාලකණ්ණි කියල එක්කෙනෙක්වත් ගත්තේ නෑ...."
ලොකු සුසුමක් හෙළපු සිරියා නැවත පොල් ගාන්න පටන් ගත්තා.
"කෝ පොඩ්ඩා....?"
"ඔහේ කාමරේ පොතක් බල බල හිටියේ.....ලබන බදාදා අම්බලන්ගොඩ යන්න ඇහුවේ....අර හේමන්ත සර්ලගේ අහ පිරිතක්ය කියන්නේ.....මම එපා කිවුවය කියල ඔය බෙරිවෙලා ඉන්නේ කාමරේ....."
"කාත් එක්කද යනවය කියන්නේ....?"
"ඔය තව කාණ්ඩෙකුත් යනවළු...."
"ඔය සර් ගැන කලුමහත්තයත් එච්චර මනාපෙකින් නෙමෙයි ඉන්නේ.....මම අහගන කියනවා එයා මේ කොල්ලෝ වට කරන් අමුතු නැටුමක් නටන්න හදනවා කියලා....ඒ වුනාට ඔය වයසෙදි ගෙට කරන් ඉන්නත් බෑ නොවැ....අපි කොච්චර කෙළි කලාද ඔය වයවසෙදි ඒ කාලේ....?"
එහෙම කියපු හේරත්ගේ මුවේ සිහින් සිනාවක් ඇඳුනේ ඒකාලේ මතක්වෙලා වගේ.
"ඒකනම් එහෙම තමා.....ඒත් අනේ මන්දා....ඔහේම කතා කරලා බැළුවනම්...."
"බලමු....මම වතුර එකක් දාගන එන්නම් ඇඟට....."
===============================================

 "දැන් තමුන්ලට දැනීමක් ලැබෙන්න ඇතිනේ මේ අවිය ගැන.ඔය හැමෝම දැන් මේක ගලවල නැවත සවිකරන්න ඕන.පුළුවන් තරම් ඉක්මනට ,ඒකියන්නේ තප්පර 15න් විතර ඒ දේ කරන්න මහන්සි වෙන්න ඕනේ හැමෝම.මේක තමයි අපි විප්ලවේදී සතුරට විරුද්ධව භාවිතාකරන ප්‍රධාන අවිය වෙන්නේ. කියුබාවෙදි,වියට්නාමෙදි,බොලීවියාවෙදි සතුරා පරාද කරල මහජන ආණ්ඩුවක් හැදුවේ මේ අවියේ උදවුවෙන්.ඒ වගේම මේ රටේදීත් මේ අවියේ උදවුවෙන් අපි මහජන ආන්ඩුවක් හදනවා.දැන් ඔය කට්ටිය 2ට බෙදිලා එක කට්ටියක් මගේ ලඟට එන්න.අනිත් අය හේමන්ත සහෝදරයගේ ලඟට යන්න......බය වෙන්න එපා.හේමන්ත සහෝදරයා සිරිපාද කැළේදී මේ ගැන හොඳට අධ්‍යනය කරල තියෙන්නේ.....අපේ ඊළග කදවුර තියෙන්නේත් සිරිපාද වනාන්තරේ....ඒ ගැන විස්තර අපි අපේ සහෝදරවරු මාර්ගයෙන් දන්වන්නම්.....දැන් ඔය සහෝදරවරු පොළිම් වෙන්න මම කියපු විදිහට...."
"තාරක...."
"සර්....?"
"ඔයා ඕක ඉවර වෙලා කුරුඳු වත්තේ ගේට්ටුව පැත්තට යන්න මේ සහෝදරයත් එක්ක....එතන අපේ තව දෙන්නෙක් ඇති.ඒ දෙන්නව එවන්න මෙතන පුහුණුවට.හැබැයි හොඳ අවදානෙන් ඉන්න ඕනේ.හැම තැනම ප්‍රතිගාමී බලවේග.උන් හදන්නේ මේ විප්ලවේ පරක්කු කරන්න.ඒවට ඉදනොදී විමසිල්ලෙන් ඉන්න ඕනෙ."
"හොඳයි සර්...."
===============================================
"මහ කරුම කාලයක් තමයි...රස්සාවකට යන්න බෑ...කඩේකට යන්න බෑ...හදිස්සියකට දොට්ට පිළකටවත් එළි බහින්න බෑනේ...රෑට ලාම්පුවක්වත් පත්තු නොකර ඇටපල් කළුවරේ ඉන්නත් ඕනේ....ඒ මදිවට ගෙදරට ආවහම හිතේ තන්තෝසෙන් ඉන්නත් නෑ....දැන් කීයට විතරද ඕකා ගෙදරින් එළියට බැස්සේ?"
"ඔහේ ගියත් එක්කම වගේ තමයි....යන දිහාව ඇහුවහම කිවුවෙත් නෑ.පුප්පල යන්න ගියේ...දැන් ටික කාලෙක ඉදන් ඉන්නෙත් මාව නොරුස්සනව වගේ...."
"මුන්ව හදලා ලොකු මහත් කරෝලා උගන්නපු හින්ද වෙන්න ඇති මුන්ගේ ලොකුකම් අපිටම පෙන්නන්නේ.....දැන් අඩන්නේ නැතුව හිටියනම්...මේ ඇදිරිනීතිය අස්සේ එලියට බහින්නවත් බෑනේ....එළිවෙනකම් ඉමුකෝ....අම්මපා ඕකා හම්බුනොත් මට දනී මම කරන දේ ඕකට..."
"ඌව ගහල බැනල හදන්න බැරිවෙයි දැන් අපිට.....මට පේන විදිහට ඌ ගොඩක් දුර ගිහින් වගෙයි දැන්.....එකාතකට මේ යන විදිහට මුන් මෙහෙම කැරළි නොගැහුවොත් තමා පුදුම.....මට ඉවසන්න බැරි එක පැයක් බඩගින්නේ ඉන්න බැරි එකා....දැන් කොහොම කනවද බොනවද දන්නේ නෑ....."
"මේ හුජ්ජ කොල්ලෝ ටිකක් එකතු කරගන මුන්ට පුළුවන්ද ආණ්ඩු පෙරලන්න.....විකාර...."
"නරකද මේ ගැන ලොකු එකාට කිවුවොත්....?"
"අනේ මන්දා....උනුත් ආයුධ අතට අරන් ඉන්න එවුන් වෙච්චකොට .....එහෙන් කොටි,මෙහෙන් මුන්.ඒකා අයියා වුනත් කොහොම සලකයිද කියල අපි කොහොමද දන්නේ....අපි තව ටිකක් බලමුකෝ.....බැරි වෙලාවත් මුන් දෙන්නා ඔය ආයුද පත්තුකරගත්තොත් කාට කියන්නද....?"
"ඔහේ තාම කෑවෙත් නෑ නේද....?බත් බෙදන් එන්නද...."
"මොන කෑමක්ද සිරියෝ මේ පපුව ඇවිලෙන වෙලාවට....පුළුවන්නම් කහට ඩින්ගිත්තක් වක්කරන් වරෙන්කෝ......"
පහත් වී චීත්ත පොටෙන් නහය පිහිදගත් සිරියාවතී පුටුවෙන් නැගිට කුස්සියට ගියා.
===============================================
 "හෙට ඔහේ ගිහින් එන්න ලොකු එකාව බලන්න.හෙටනේ ඔපරේසන් එක කරනවා කිවුවේ....මම මෙහාට වෙලා ඉන්නම්....පොඩ්ඩ ගැන මොකක් හරි හෝඩුවාවක් ලැබුනොත් මෙතන කවුරු හරි ඉන්න එපැය....."
"කොහොම වුනත් මම විතරක් යන්න තමා හිතා හිටියේ.....ඔපරේසම ඉවර උනහම හෙටම සිහිය එයිද දන්නේ නෑනේ....එහෙම වුනොත් ලොකුඑකාට සිහිය එනනම් මම එහේ නවතිනවා කියල හිතාගන තමා මම යන්නේ....උඹත් එක්ක ගොහින් ඒ රාජකාරි කරන්න බෑ නොවැ....මටනම් බස් හෝල්ට් එකේ හරි ඇලවෙන්න බැරියෑ...."
"ලොකු පුතා බලන්න ගියහම පොඩ්ඩක් අර එදා හම්බුන ලොකු මහත්තයව හම්බෙලා බලනවද...?එදත් කිවුවනේ ඔය කෑම්ප් වල හිරකරන් ඉන්න ගොඩේ පොඩ්ඩ ඉන්නවද බලන්නම් කියලා....."
"ඒකත් හිතේ තියාගනම තමා හෙට උදේ රැයින්ම මම යන්නේ.....කොහොම උනත් ඕවා ගැන ලොකු බලාපොරොත්තු තියාගන්න බැරුවා....කී දාහක් කියල ඕවැයේ හිරකොරන් ඉන්නව කියලද....අපි දෙන්නා කොච්චර ගෑටුවද ඕවැයේ....අඩුමගානේ ඇතුලටවත් ගත්තද අපිව...බැනල එළවගත්තා මිසක්....."
"කොහොම හිටපු ළමේක්ද...?කොහේ හරි මිනියක් පාවෙනවා,ගිනි ගන්නවා කියන කොට මේ හිත් කොච්චර ඇවිළෙනවද?මේ විදිහට අපිට දුක් දෙන්න මුන් කොහොම හිත හදාගන්නවද මන්දා...."
"හිතේ සැනසීමෙන් රස්සාවක් කරන් කාලා ඇදල ඉන්න බෑ....ගමනක් බිමනක් යන්න නෑ....එකෙක් එහෙන් වෙඩි වැදිලා ඉස්පිරිතාලේ...අනිකා රට අල්ලන්න ගිහින් උන්නා මළාද නෑ...."
"එකාතකට මෙහෙම කාලයක් අපේ අම්මා මුත්තා කාලෙවත් අහල නෑ....එහෙන් බෝම්බ වලින් මිනිස්සු මැරෙනවා....මෙහෙන් ආණ්ඩුවෙන් අහින්සක කොල්ලෝ මරනවා....මේ ටිකට මිනී කීයක් නම් පිච්චුනාද මහපාරවල් දිගේ....මේ විදිහට රට කරන්න මොනවටද ආණ්ඩුවක්....."
"හ්ම්ම්....දැන් නිදාගමු.හෙට පාන්දරම යන්නත් ඕනෙනේ...."
එහෙම කිවුව හේරත් ඇදේ අනික් පසට හැරුනා.ලොකු හුස්මක් ගත්තු සිරියාවතී ඇස්දෙක වහගත්තා.

===============================================
 බාගෙට වියපු පැදුර දිහා බලා සුසුමක් හෙලපු සිරියාවතී උදැල්ල අතට ගත්තා.හිතේ තියන අලකලන්චි ගතිය පහව යනතෙක් නැවත් පැදුරු වියමන් කිරීමට නොහැකි බව ඇය දන්නවා.භාවනාවකට සමවැදිලා වගේ කරන පැදුරු වියමන දැනට මසක පමණ කාලයක් තිස්සේ සිට කිරීමට නොහැකිවුනේ මේ හිතේ තිබුන නොසන්සුන් බව නිසාමයි.බොහෝ කලකින් වල් නොඉදරූ පොලව මතට ඇය වේගයෙන් උදළු පහර එල්ලකරේ හිතේ තිබූ නොසන්සුන්කම පොළව මතට අතාරිනවා වගේ.
"සිරියා අක්කේ.....සිරියා අක්කේ....."
නතර නොවී එකදිගටම බොහෝ වේලා බිම් කෙටු සිරියාවතීගේ උදැල්ල නතර වුනේ කඩුල්ල දිහාවෙන් ඇහුන ඒ සද්දෙන්.ඔළුව උස්සලා කඩුල්ල දිහා බැළු සිරියාවතීට දැකගන්න ලැබුනේ කඩුල්ල පැන ඇය දිහාවට වේගයෙන් එන අසල්වැසි ගැහැනියක වන ප්‍රේමලතාවයි.
"අක්කේ...උඹට ආරන්චිද.....හන්දියේ තැපල් කන්තෝරුව ලඟ කොල්ලෝ හත් දෙනෙක් පිච්චෙනවළු....."
ඇගේ දෑස් දෙස බැළු සිරියාට,එතැන කොල්ලෝ 7ක් පිච්චෙනවාට වඩා දෙයක් ඇතිබව තේරුම් ගියා.කිසිත් නොකියා ප්‍රේමලතාගේ මූණ දෙස බලාසිටි ඇය එක්වනම උදැල්ල අතැර කඩුල්ල දෙසට ගියේ හන්දියට යාමටය.පාරට බසින විට දෙන්නා තුන්දෙනා බැගින් රන්චු ගැසී හන්දිය දෙසට යන නඩ  දිහා නොබලාම ඇය කෙලින් කරගත් හිසින් යුතුව හන්දියට ගියා.
ඇය එහි යනවිට 30ක පමණ පිරිසක් වටවී තැපල් කන්තෝරු මිදුල දෙස විස්සෝපයෙන් මෙන් බලා සිටියා.ඇය එතනට යනවිට වට වී සිටි පිරිස් මොනවදෝ මුමුණමින් ඇයට ඒමට ඉඩ හදා දුන්නා.ඔවුන් පවසන්නේ මොනවද යන්න පිළිබඳව ඇයට හැඟීමක් තිබුනේ නෑ.
තවමත් දුම් දම
ටයර් මැදිකොට තරුණයන් කිහිප දෙනෙකුගේ කලු වී ගිය සිරුරු දෙස ඇය බලා සිටියා.සම්පූර්නයෙන් අඟුරු නොවු සිරුරු අතර තිබූ එක් මුහුණක් අදුර ගැනීමට ඇයට මහ වෙලාවක් ගතවුනේ නෑ.කලු වී බාගෙට තැම්බී විරූප වුන මුනෙන් වුවත් ඇයට පෙනුනේ එදා තම තන පුඩුව බදාගන ඉවසිල්ලක් නැතුව කිරි උරපු පොඩ්ඩගේ මූනමයි.මහා හඬින් හඩන්නට ඇයට ඕන උනා.ඒ සිරුර බදාගන පිච්චෙන රබර් ගඳ පරයා නැගෙන පොඩ්ඩාගේ සුවඳ බලන්නට ඇයට ඕන වුනා.ඒත් ඇයම නොදන්න මොකද්දෝ කරුණක් නිසා ඇයට ඒ දෙස බලා සිටින්නට හැකියාවක් නැතිවුනා.
ඇය ආපසු හැරුනා.ඇහේ කඳුලක්වත් තිබුනේ නෑ.වටවී සිටියවුන් ඇය දිහා පුදුමයෙන් බලාසිටින බව ඇය දැක්කා.
"මට දැන් අවුරුදු 60ක් වෙනවා.දරුවෝ හතර දෙනෙක් වැදුවා.මට දුක මේ වගේ පුතෙක්ව ආපහු ලෝකෙට වදන්න බැරි එකයි"
ඔළුව උස්සගන සෙනග දිහා බලාගන එහෙම කියපු ඇය නැවත ඇගේ නිවසට යන මාවතේ ඇවිදන් යන්න වුනා ;තනියම.


                       නිමි......

 සබැඳියාව.....

සුනිල් මාධව ප්‍රේමතිලක.....මම ඔහු පළමුවෙන් හදුනාගත්තේ සාමාන්‍ය පෙළ කරනා අවදියේ කියවූ ඩොනල්ඩ් වුඩ්ස්ගේ cry freedom නම් පොතේ පරිවර්තනයක් වූ "හඬනු මැන නිදහස" නම් කෘතිය හරහාය.අදද මා කියවූ හොදම පොතක් ලෙස හඩනු මැන නිදහස සිතට නැගේ.මාද්‍ය කරුවකු ලෙස සුනිල් මාධවයන්ගේ පසුකාලීන භාවිතාව පිළිබඳව යම් ගැටළු ඇතිවූවත් ඔහුගේ දිවියේ අසීරු අවස්තාවන්හීදී පොළ් ගෙඩියකුඳු හෝ ඔහුට ලබා දී නොමැති මා හට එයගැන කතාකිරීමට තරම් සදාචාරාත්මක අයිතියක් නැතිබවට මා පිළිගනිමි.ඒ කෙසේ වූවත් එදා සිට ඔහුගේ ලේඛන හරහා හදුනාගන සිටි දයාබර "සුනිල් අයියාව" දැන් සිටින සුනිල් මාධවයන් අභිබවා මාගේ මනසේ මවාගැනීමට මම මහත් සේ උත්සහ දරමි.මේ කතාව ලිවීමට පසුබිම් වූ කතාවද ඔහුගේ පොතකින් උපුටාගත් අදහසකින් සොරාගත්තාක් වෙයි.

සත්‍යවාදියකුගේ දිනපොත-සුනිල් මාධව ප්‍රේමතිලක.
පිටු අන්ක-108


//සැබැ අම්මා කෙනෙකු ගැන  මිත්‍රයකු කී කතාවක් දිනපොතේ සටහන් කළයුතුමයි කියා මට හිතෙනවා.දකුණු පළාතේ එක් තැනක තරුණ මළ සිරුරු හතක් දැවෙමින් තිබෙන බව ගම්වැසියන්ට ආරන්චි වුණා.ඔවුන් එහි ගොස් බලන විට දන්නා හදුනන තරුණයන් දෙතු
න් දෙනෙකුගේම සිරුරු තිබෙනු දුටුවා.මේ දුක් මුසු පුවත එක් අම්මා කෙනෙකුට දැන ගන්නට ලැබුනා.හැඳ සිටි චීත්තය පිටින්ම ඇය ලහි ලහියේ එහි ගියේ අතුරුදහන් වූ ඇගේ පුතා එතනවත් ඇද්දැයි දැනගැනීමටයි.ගම්මුන් දෙපැත්තට වී ඇයට ගිනි ගොඩ ලගට යාමට ඉඩ දුන්නා.තම ආදරනීය පුතා හදුනාගත් ඇය මොහොතක් ඔහු දෙස බලා සිටියා.ආපහු හැරුන ඇය අවට සිටි ගම්මුන්ගේ මුහුණු දෙස උවමනාවෙන් බැලුවා.

"මට දැන් අවුරුදු 60ක් වෙනවා.දරුවෝ හත් දෙනෙක් වැදුවා.මට දුක මේ වගේ පුතෙක්ව ආපහු ලෝකෙට බිහි කරන්න බැරි එක ගැනයි"

ඇගේ කතාවෙන් ගම්මුන් කෙලින් වුනා.අම්මලා නිසා පන්නරය ලබන දරුවොත් ඉන්නවා.දරුවෝ නිසා පන්නරය ලබන අම්මලත් ඉන්නවා.පාවෙල්ගේ අම්මට වඩා එඩිතර ගුනදාසලාගේ,සෝමදාසලාගේ අම්මමල ගැන ගෝර්කිට වඩා හොඳට ලියන ලේඛකයන් පිරිසක් අනාගතයේදී බිහිවෙයි කියලා මට හිතෙනවා//

මේ වෑයම ගෝර්කිට වඩා හොදවීමට නොව දැනුන සන්වේදනාව අකුරුකිරීමට ගත් උත්සහයක් පමනක්ම බව මතක් කරමී......

කටුස්සා......

23 comments:

  1. සුනිල් මාධව ප්‍රේමතිලකගේ සත්‍යවාදියෙකුගේ දිනපොත මමත් ආසාවෙන් කියෙව්වා. සුනිල් මාධව සමග එකට හිරු පත්තරේ වැඩකරපු ය තමයි ඩලස් අලහප්පෙරුම සහ විමලසිරි ගම්ලත් (විමල් පචවංශ) අද මාධව කොහිද ඔවුන් කොහිද ? කාලය මැවූ වෙනසක අරුමේ

    ReplyDelete
    Replies
    1. ඕවා ගැන තමා මාත් මේ ලියන්නේ ඉවාන් මල්ලි. 1987 ඕවට ට් විරුද්ධ වුන වෙලාවේ මාව හංවඩු ගැසුවේ (මගේම යාළුවෙක් )සුලු ධනේෂ්වර පිස්සෙක් කියල. ඒ සමහර අය පස්සේ හොඳ තැන් වලට ගියා.

      Delete
    2. ඔය පොතේම අන්තිම හරියේ ඩලස් ඡන්දේ ඉල්ලන්න යන එකට සුභපතලා සුනිල් අයියා ලියපු සටහනක් තියනවා.හිරු කට්ටිය විතරක් නෙමෙයි,ජ.වි.පෙ පවා ඔහුව පාවිච්චි කරලා අත් හැරියා කියලයි මට හිතෙන්නේ.මතකද ඩලස් ඔක්කොම පොදිබැදගන රට යන පින්තූරේ දාලා මිලින්ද මොරගොඩ කරපු ඉලෙක්ශන් කෑම්ප් එක?විමලෙ ගැනනම් කතාකරන වචනත් අපරාදේ.මොනව උනත් බලයට,ධනයට තමන්ගේ කොන්ද බිඳගන්න එක අද කාලේ මහලොකු දෙයක් නෙමෙයි.හැබැයි මෙතනදි සුනිල් අයියත් වැරදියි.ඒ තමයි තමන්ගේ වටිනාකම ගැන ඔහුට තක්සේරුවක් නැතිකම සහ තමන්ව මාර්කට් කරන්න දන්නේ නැතිකම.මේ ලෝකේ අපි ඔක්කොමල්ලා විකිනෙනවා.තමන් දැනගන්න ඕනේ ගෞරවනීය විදිහට විකිනෙන්න.අජිත් අයියා කියල තියන පස්ස කාලෙක හොඳ තැන්වලට ගිය අය වගේනෙමෙයි,හෘදසාක්ශිය නිදස් අය විදිහට.

      Delete
    3. http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/15317-2015-01-13-22-12-28

      Delete
  2. අගෙයි කටුසු, නවකතාවක් ලියමු!

    ReplyDelete
    Replies
    1. ඒකට තව ගොඩ දුර යන්න වෙයි මලිත්තෝ.....

      Delete
  3. බිකෝලා...පාවෙල්ලා එකම අරමුණට සටන් කරපු අය...
    ඒත් වෙනස අපි දන්නේ ඒ ගැන අපිට කියන විදියටයි...
    සුපිරි කතාව...
    අඩෝ ගහපන් උඹත් පොතක්!!

    ReplyDelete
    Replies
    1. ඒ අය නෙමෙයි,ගාන්ධිල ගැන පවා එහෙමයි.පොතෙන් ගහගන්න තමා වෙන්නේ.....

      Delete
  4. අඩේ කතාවනම් සිරාවටම නියමයි බං..

    ReplyDelete
    Replies
    1. කියවලා දිරිගන්නනවට බොහොමත් ස්තූතියි වර්ණ....

      Delete
  5. Replies
    1. මම උඹට ඔළුව නමනවා,ඇත්තටම.ඒ වෙන මුකුත් නිසා නොව අපි දෙන්නා දේශපාලන මතවාද දෙකක හිටියට,ඒගැන වාද කලාට දේශපාලන නොවන ලිපි වලදී එයට දේශපාලනය නොගාවා එය රසවිදීමට උඹට තියන හැකියාව පිළිබඳව.

      Delete
  6. හොඳ කෙටි කතාවක් කටුසු. අපි කෙට් කතා පොතකුත් ගහමු නේද? මම දැන් බ්ලොග් addcit.

    ReplyDelete
    Replies
    1. ඔය ඇබ්බැහිවීමනම් මටත් දරුණුයි වගේ දැන්නම්......රූපෙට කිවුවා වගේ මම පොත් ගහන්න ගියොත් පොතෙන් මට දමලගහන එවුන් තමා වැඩිපුර හිටින්නේ....

      Delete
  7. හොඳ නිර්මාණයක්. නමුත් නවකතාවකින් තමා හොඳ. මොකද...
    Thank you for that fine forensic analysis, Mr. Katusu. Of course, the experience of it was... somewhat different. (A Quote from movie TITANIC)

    ReplyDelete
    Replies
    1. එක තැනක විනාඩි 20ක් ඉදගන ඉන්න බැරි මම නවකතා ලියන්නනම් ඉතින් කකුල කැඩිලා රෝදපුටුවකට ගාල් වෙන්නම වෙනවා.මේක ලිවුවෙත් නිදිමරාගන ඡන්දේ ඇහුවට පින් සිද්ද වෙන්න.
      Cal Hockley: You're a good liar.
      Jack: Almost as good as you

      Delete
  8. අඩේ මේකද ඒ චන්දෙ දවසේ බීල ලියපු කතාව හැක් හැක්.. දවස් 5කින් ආවේ මමනම් ඔක්කොම ස-මරලා.. හැක් හැක්..

    එළපු පැදුර නෙවෙයි බොල පුරපු පැදුර කියපං.. පැදුරු එළන්නේ නිදාගන්න.. ඊට කලින් පැදුරක් පුරල වියා ගන්න ඕනි ලස්සනට..
    කතාවක් උනහම සත්‍ය සිද්දියක් ඒ විදියටම ලියන්න ඕනි කියල එකක් නැති උනත් මේ වගේ කතා වලදි පාඨකයා අනිච්ඡානුකවම තමන්ට සමීප අත්දැකීම් කතාවකට බද්ධ කරගන්නවා. එතකොට යම් නොගැලපීමක් තිබ්බොත් ඒක කතාවේ රසයට බාධාවක්.. දැන් මේ සිරියා නැන්දා කියන්නේ 71 ගැන 88/89 වකවානුවේදී කියල කවුරුහරි මං කිව්වා වගේ අනිච්ඡානුකව සමපාත කර ගත්තොත් මෙතන කාල පරාස නොගැලපීමක් එනවා.. දෙවෙනි අයියා 71 දී බඩේ හිටියනම් හතරවෙනි මල්ලි 88/89 දි උසස් පෙළ ඉවර කරල ඉන්න බෑ නේද? දින කාල වකවානු සිද්ධි සිද්ධාන්ත කතාවකට බද්ධ කර ගත්තෙ නැති උනත් ඒවායේ අවස්ථා සම්භන්ධයට හානි වෙන්න දෙන්න එපා. එහෙම උනොත් කොච්චර ලස්සනට ලියල තිබ්බත් අර ගහපු පොතෙන් ආපහු ගහන ලිස්ට් එකේ පළවෙනියා මම..
    ඉස්කෝලෙදි ටීචර් ලා බනින්නේ හදා ගන්න පුළුවන් හා හදාගන්න ඕනි උන්ට විතරයි.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. පැදුරේ කේස් එකනම් මමත් අහලා තියෙන්නේ "පුරනවා" කියලා තමයි.ඒත් මේ පැත්තේ පැදුරු වියන අම්මා කෙනෙක් ඒකට කියන්නේ "එළනවා"කියලා.ඒකයි මම ඒ වචනෙම මේකටත් පාවිච්චි කලේ.
      අවුරුදු ගානේ වැඩේනම් මගේ වැරද්දක් තමා.ඒත් මේක ලියන වෙලාවේ මම ගනන් හැදුවා බන්.ඒ වෙලාවේ හරියට ආවා.ඒත් උඹ පෙන්නුවහම ආපහු හදනකොට වැඩේ අවුල්.(අරක්කු සහ ගණිතය අතර තියෙන්නේ අවුල් සහගත බැඳීමක්ද කොහේද......)
      වැරදි පෙන්නල දෙන එකේ කිසි අවුලක් නෑ.මම ඒකට කැමතියි.මම ලියන දේ ;කියවන අයට අවුලක් නොවෙන්න ලියන්න තමා මටත් ඕනේ.ඒකට මේ වැරදි පෙන්නල දෙන එක මට ගොඩ වටිනවා.ඒවැඩේ උඹගෙන් මම දිගටම බලාපොරොත්තු වෙනවා.
      ජය වේවා......

      Delete
  9. ඒ පොතක් ගැහුවනම් මාරුවට තියෙයි බ්ලොග් පොතටම වඩා ඔබ්බට ගිහිල්ල නියමයි :)

    ReplyDelete
    Replies
    1. දැන්ම පොත් ගහන්න බෑ.දැක්කනේ උඩ තියන කමෙන්ටුව.උඹලත් හරි කැමති ඇති පොත බලන එවුන් පොතෙන්ම මට කෙළල යනහැටි බලන්න.....
      ඇවිත් කියවල අදහස් දැක්වීමට බොහොමත් ස්තූතියි සහෝ......D

      Delete
  10. කතාව නම් මාරයි. කල්‍යාණ මිත්‍ර ගෙ අදහස මටත් ඇතිවුනා හැබැයි. ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. මම ඒ වැරද්ද දැක්කෙත් කමියා කිවුවට පස්සේ.ඊළග ඒවායේ මේ අඩුපාඩු හදාගන්නම්.ගොඩකාලෙකින් පෝස්ට් එකක් දැක්කේ නෑ.ලියපන් ගිහින්.

      Delete
    2. ලියනව ලියනව. ඒ උනාට කටුස්සො මට බොලාට වගේ අයිඩියා එක පාරට එන්නෙ නෑ. ඒකයි තියෙන අවුල :D. මටත් මාර ආසාවක් තියෙනව හොඳ කතා ටිකක් ලියන්න. බලමුකෝ නේ මොකක් හරි කරන්න ;)

      Delete