Monday, January 27, 2020

පෙම් පුදසුන මං තැබුවේ අසෙනිය මල් දෝතයි....




සුසුම්ලන්නට දුකක් ගන්නට 
වරම් නැති දුක තබා නුඹ ලග
බලාසිටියෙමි බොඳවෙනා නෙතු
මුවාකරමින් නුඹේ සෙවනට
දිනක තුරුලුව පවසනාතෙක්
ආදරෙයි මම නුඹත් හිමිහිට

නුඹ නෙතඟ රැඳි කඳුලු බිඳුවත්
මහමෙරක් මෙන් රැඳුන පපුවක
යලිත් පැමිනෙනතුරු වසන්තය
බලාඉන්නට හැකිද ඇසු දින
සත්තමයි හිතවතිය හදවත
මද සිනා සැලුවා......
බලා නුඹ දෙස බවුන්වැඩු සිත
මද සිනා සැලුවා......


ඔය මුවඟ රැඳි එක සිනහවට
වරු ගණන් තරු ගැන්න නෙතකට
මුවග මදහස සදාකල්හිම
රඳන්නට හැකිවෙදැයි ඇසුවිට
සත්තමයි හිතවතිය හදවත
මද සිනා සැලුවා......
නුඹ සිනහා උල්පත් මැවූ සිත
මද සිනා සැලුවා......


කටුස්සා....

Monday, June 18, 2018

දේවදාර තුරු පාමුල තාම මම හිඳිමි තනිවම....




සඳක සෙවනැලි වසා පැතිරුන
සඳ මඩල යට ගතු කියපු තරු
      ඉරට මතකද කියා ඇසුවිට
      සමච්චලයෙන් සිනාසුන නෙතු
රිදුම්දුන් යටි පතුල් විනිවිද
ඇණුන සීතල රෝසමල් කටු
      බලාසිටියේ ඇත්තමයි මම
      මල් නෙමෙයි ලේ වැකුනු ලා දලු


සිනාසෙන්නට අමතකවගිය පුරන්කෙත වල් වැදුන නියරක
කුලුදුලේ පිපි පිදුරු හත්තක කුඩය මතුපිට මෘදුව හිමිහිට
සිනා කඳුලැල් එක මිටට ගෙන ආදරය හා සමව මුහුකර
පටුන පමනක් ලියා සැඟවුන කිවිඳියයි නුඹ කවිය ගොලුකල


අහස රත්පැහැ වෙන වෙලාවක
ලිහිණි තටු මත කවි ලියාගන
      තඹරු මුකුලිත වෙද්දි එකපිට
      සිහින කඩුපුල් සිත් මවාගන
නොයෙන්නෙමි'යැයි හිත රවටගත්
නියඟයෙන් සිත සා නිවාගන
      දෙපා තියමින් ඇවිදයමු අපි
      ඉරිතැලුන පෙම මුවාකරගන
     

කටුස්සා....

Sunday, May 6, 2018

ප්‍රේමයේ අස්වැන්න....


ආදරෙත් කැමති ඇති
මියදෙන්න....
තරු පිරුන අහස යට
වළාකුලු තොටිල්ලක

සුරඟනන් අඬනහැටි - සඳත් වත වසන හැටි
දකින්නට....
ලිහිනියොත් ගොලුකරන් - මල් පෙතිත් පරකරන්
නිදන්නට....
මැරිලා කම්මැලිවුනොත් - අඬන එක වැඩිවුනොත්
නැගිටලා එකවරම මම මලේ විහිලුවට
කියන්නට....
වැඩියෙන්ම අඬපු අය - වැඩියෙන්ම ආදරෙයි
සිතන්නට....

ඒ සැනින් ආලයට වරදීවි හැම දේම

පෙනෙන්නට නොහැඬුවට - සිහිවිකල් නොවුනාට
කුණාටුවේ බර රඳපු - සුසුම් රැල් පපු දරපු
හදවතක.... 
විසල් තෙත නොදැනෙන්න - ජීවිතය වරදින්න
ඒ ඇතිය ආදරේට....
තනිකමට හුරුවන්න

කටුස්සා....



Tuesday, February 13, 2018

මහපොළවට නොව මිනිස්කමට...


ලේ...

ගලපුදෙන් හැමතැනම
ඔය මදිය පිපාසෙට
ඔලුගාන ගැන ගැනම
හුරේ දැමු මිනිසුන්ට

ජාතියක් ජන්මයක්
අවැසිනැති අහස යට

ලේ පිලී ඉවකරන් - වැඩට යන යක්කුන්ට
මොල කෑලී කර තියන් - තෙල බෙදන අමනුන්ට
පස් ගොඩට පෙම් බඳින - බිලි යදින හිවලුන්ට
ඕජසින් කුස පිරෙන - හොරිකඩම බල්ලන්ට

කුස පිරෙන තලු මැරෙන
හෝරාව එළඹ ඇත

මදිය තව ගැලුව ලෙය
හලාපන් පොළවටම
කොඩිය මැද සිංහයට
විළිරුදා එන්නේ නැත

ඇසට ඇස දතට දත
ඔරවමින් තවම ඇත


කටුස්සා....









Thursday, November 2, 2017

මගේ නින්ද ආයේ බිඳී



සඳ තරුත් සමගින් ඉඟිමැරූ
සිත පෙම්කරන මධු වසන්තේ
නුඹ සුළඟමය.... නුඹ සුළඟමය....
හමාවිත් දිවියම කැළඹවූ
සුවඳ දස අත විසිරවූ
නුඹ සුළඟමය....

නිදි නොමැති නෙතු අවදිව තැබූ
යන නොඑන මග නුඹවම පැතූ
නුඹ සුළඟමය.... නුඹ සුළඟමය....
නිසල සිතුවිළි සසලවූ
සිසිල ගත සිත පැතිරවූ
නුඹ සුළඟමය....

මුදු සිනිදු පෙති මත පිණි ඉසූ
රොන් සොයන බිඟු වල්මත් කෙරූ
නුඹ සුළඟමය.... නුඹ සුළඟමය....
නිවුන සිත ගින්නෙන් දැවූ
දැවි දැවී නුඹවම පැතූ
නුඹ සුළඟමය....


කටුස්සා....