Monday, December 26, 2016

දඟ මෙනවිය ඔබ මා වල්මත්කල අරුමැසියයි මෙලොවේ....👧

 

මගේ අතින් ලියවෙනා 
හැම පුංචි කවියකම
සිත ඇඳෙන සිහිනයන් 
මැවෙන හැම කතාවෙම
ආදරය වෑහෙනා 
ගොතන හැම වචනෙකම

සරසන්න ජීවිතය 
යොදන හැම කොම්බුවෙම
මම නොදුටු ලස්සනක් 
හැමදාම සොයාගන
හිතුවේ නැති කතාවක් 
හිත්මත්තේ මවාගන
බැන බැනත් හැමදාම 
ලස්සනයි කියන නුඹ.....

කැණ කැණම​ වදදිදී 
නොකිවුවිට තරහ වී
මේ කතා ලියන්නේ 
කාටදැයි අහනකොට
කිසිදිනක පන්හිඳක් 
නොඅල්ලමි සිතුවාට
නුඹ ඇවිත් නටනවිට 
මගේ මන පුරාවට
වෙන කුමක් කරන්නද 
තව තවත් ලියනු මිස.....

Monday, December 19, 2016

පාරමිතාවෙන් යලි උපදින... බැස යන්නද ජීවන පිය ගැට පෙළ...


සමන් මල් පැතු දිවිය අබියස පිපුණ කඩුපුල සුවඳ නැතිමුත් පෙතිමතත් ලේ තිබුනා මල වට රොන් සොයන සමනලුන් සිටියත් මලේ කටු මත පටලැවුනු තටු දරා නෙක නෙක පාට මැවුනත් පැන් වඩන්නට පිරිකරක් නැති හිතක් එක්කලා කෙලෙස ඉන්නෙම් ඇඹරිලාගිය ඉඳුසරක් මත නුඹ තැනුව පා ලකුණු ඉවකර ගතු කියනවා සුළඟ තාමත් පිපෙන්නට පෙර නෙලා ගත්තට නිබ්බුතා පද කියපු සියොතුන් ගොළුකරපු උන සන්නිපාතෙට කෝඳුරුවෝ සැම තෙල් සොයනවලු සඳේ ගිරවිගේ ගුණම කිය කිය කීතුකරගන හිතේ බිත්තිත් මුල් ඇදුන පෙම පිරුව වරදට රැයේ පෙරදුටු හීන ඔක්කොම වීසිකෙරුවලු දොරේ මුල්ලට සොහොන්කොත් බැඳි හිතක් මත්තේ සුරඟනක් විත් ලැගුම්ගත්තට හැඟීමක් මිස ඉඩතිබුනේ නෑ සුරකුමරියන් තියාගන්නට

කටුස්සා....

Sunday, December 11, 2016

මම එවන්නම් ..........



නෙතු අගින් සිනාසී අඬන නෙතු දරාගන නිල් රෝස සිහිනයක් හිත් මත්තේ පුරෝගන නියඟලා මල් සුවඳ රැඳි සුසුම් හොවාගන එපා දුක්වනු සොඳුර සිහිනයන් මවාගන නුඹේ නෙරියත් අඬනවා ඇති වෙරළු ගෙඩියක පහස ඉල්ලා නුඹේ ලයෙනුත් එරෙනවා ඇති ක්ෂීර ගංගා මුට්ටි පුරවා අනවතත් විල සීත දියකඳ ගලනවා ඇති කොට්ට මිරිකා ධවල ඇත්‍ රජු සොයනවා ඇති නුඹේ ගැබ සුදු නෙළුම රන්දා බාර හාර පුද පඬුරු යාතිකා නුඹේ බරටත් වැඩි ඇති තනිව හිඳ ඔබ හෙලන සුසුමින් පඬුපුලත් සෙලවෙන්නැති සප්ත පත්තිනි දේව බලයට නුඹේ සිත නොපෙනෙන්නැති නුඹේ නැඹ පිරිමදින්නට ඹඹු පයට අමතක වෙන්නැති නුඹට මට නොව දහස්ගුණයක් ගැටළුවකි වෙන අයට දැන් "නැද්ද වෙනසක්"අසන පදයෙන් තැලිලා ඇති සිත සියවරක් රෝහලේ කොරිඩෝව මත අපි ඉඳලා ඇති පැය බරගණන් නුඹ අඬනවා බලන් ඉඳලා මම අඬලා ඇති වරුගණන් අයාලේ ගිය සිතක් සුරැකිව තුරුල්ලට ගෙන ලයහොවා කරන පෙළහර බිම හොවන්නද කිරි සිහින නොපෙනෙන නිසා සසර කෙළවර එකට ඉන්නට පැතූ පැතුමන් හිතවසා ගෙවමු දෙන්නම සසරේ තැනකදි කරපු පවු සමසේ දරා
කටුස්සා....

Tuesday, November 29, 2016

👹මහඹබාට මූණු දෙකයි 👹



ජයවතී... කොහේද උඹ
ඒ වෙලාවේ පාරක් ගැහුවට... හිතේ කේන්තියට
දැන් ඇඬුවා ඇති නේද
වරෙන් එළියට නාඩ

අවුරුදු දහයකට මෙපිට උඹ එන්නට කලින් මෙහෙට
යක්කු නටපු පිට්ටනියක් වගේ තිබුන මගේ නිවස
එළියවුනේ උඹ ආ පසු කොතෙකුත් මම කියා ඇද්ද
සමහර කාලවල් තිබුනා දුක් කරදර බොහොම ආපු
පාන්බාගේ බෙදාගෙනත් කෑවා අපි සීනි එක්ක
උඹ හිටියා මාත් එක්ක හෙවනැල්ලක් වගේ ලඟම
කවදාවත් කිසිම බයක් දැනුනේ නෑ මගේ හිතට


පුංචි එවුන් දෙන්නා එක්ක යමර යුද්දේ කරනා විට
උදවුවකටවත් එන්නට නොහැකිවුනත් වැඩත් එක්ක
කවදාවත් මැසිවිල්ලක් නැගුනේ නෑ උඹෙ මුවගට
සිමෙන්ති ගල් එකට තියා අලුත් කෑලී අමුණන විට
මාත් එක්ක අත්වැඩදී බරවැඩකලේ ලහි ලහියට
සිමෙන්ති ඇණුනේ උඹ හෙළු දහඩිය හා හරි හරියට
බිත්තියෙනුත් දැනෙන්නේ මට ඒක නිසයි උඹේ සුවඳ


කවිඳු ට්‍රාන්ස්පෝර්ට් ලොරියේ පඩිය වැඩිනිසා ගියාට
දවස් ගණන් මයියංගනේ වැලි මංකඩ නිදි වැරුවට
හිතට මොකද්දෝ දැණුනා අම්මපා ජයතියේ මට
උඹ ගැන සැකයක් හෙම නොව ලොරිය කැඩුන නිසා මගම
ආවේ මම ගෙදරට හෙට උදේ නැවත යමි සිතාන
උඹේ කෙඳිරියත් එක්කලා ඇහෙනා විට හතිලන හඬ
වාවන්නේ නැතුවගියා ජයවතියේ මට දිවියම

ලයිෆ්බෝයි වලට වඩා මුදලාලිගේ සෙන්ට් සුවඳ
නහයට නුඹේ දැනෙන්න ඇති ගැහැනියක් නිසා කදිමට
උගේ රත්තරං මාලය උඹේ පපුවේ ගෑවෙන විට
කිතිකැවුනද උඹේ හිතත් හීගඬු නංවා ඕසෙට
මගේ තරම් ගොරෝසු නැති සිනිදු ඇඟිලි නලියනකොට
ජම්බුගෙඩිය වගේ රතට උගේ මස්ගොබ දිලිසෙනවිට
රැවටුනාද ජයවතියේ උඹත් උගේ වදන් වලට

දුප්පත්කම ඇමට යොදා ගෑණු බාන බඩ තඩියව
අම්මපල්ලා එකපාරින් බාවන්නට හිතුනත් මට 
පොඩිඑවුන්ගේ මූණ මතක්වුන හින්දා නැවතුනා මම
ඒ වෙලාවේ තුන හතරක් ගැහුවත් මම ආවේගෙට
ඒ හැම පාරම වැදුනේ මටමයි නුඹ දන්නවාද
මගෙ අතපය හයියයි තව උඹලට කන්නට දෙන්නට
මාත් එක්ක කහට උගුර දෙකට බෙදන් බීපු උඹව
අරගන ආයෙමත් වරෙන් ජයවතියේ මගේ ලඟට


අහපන් දැන් ජයවතියේ නාඬා වරෙන් උඹ එලියට
පොඩි එවුනුත් බයවෙනවා තවත් ඔහොම අඬනා විට
අද පන්සලේ මහ පෙරහැර උඹහට අමතකවුනාට
ගියපාරත් අපි ගියහැටි මතකද රෑ හඳපානෙම
ඇගපත හෝදාගන විත් පොඩි එවුනුත් එක්කරගන
රෙද්දේ ඇළුන තුත්තිරි ඇට ඔක්කොම ගලවා විසිකර
මූණු දෙකේ මහඹබාව බලන්න යමු අපි හනිකට


කටුස්සා...

Sunday, November 20, 2016

සැලෙන්නේ සිත අවදිවේයැ'යි බියටයි......

මේ දුකම කොයිතරම් මිහිරක්ද හිතවතිය... වෑයමෙන් පපුතුරේ සඟවගත් ආදරය විළිබරව වේදනා විඳිද්දී සිහිනයෙන් සිහිනයට මගේ නෙතු පියන් මත නුඹ ඇවිත් තරු රටා මවද්දී බිම වැටුන මල් පෙත්ත මතවුවත් කවි සිංදු සිය ගණන් ලියන්නට හිතෙද්දී වේදනා නොවිඳින්න නුඹ දිනක ඔය හිතත් රැගෙන යන බව මමත් දනිද්දී දැනගනත් හැමදේම නොදන්නා සේ නුඹත් මා එක්ක වල් පල්ම කියද්දී නොදැනේවියැ'යි සිතා සඟවගන වෑයමෙන් නුඹ එක්ක වල්පල්ම ගොතද්දී ඉපිදගත නොහැකි පෙම ආත්මය ඉරාගන හදවතේ ගැඹුරටම ඇදෙද්දී වේදනා නොපෙන්වා හිනාවීගන ලොවට හිතාගනු බැරි චරිත මවද්දී ඇත්තටම දැනෙන දුක කොයි තරම් සුමිහිරිද ඔබ නිසා හිතවතිය....

-කටුස්සා-