Friday, January 16, 2015
ප්‍රාර්ථනා
සොයා ආ මග දෙනෙත් දල්වා බැළු විට ආපසු හැරි
දුටිමි තරුවක් ලෙසින් පායා පසු පසින් හුන් ඉඳුසරී
ගෙවා ලන්නට බොහෝ දුර ඇත නොහැක එන්නට මට යළී
දුරින් හිඳ සිත් සනසගමු අපි දහස්වර ලොව මැරි මැරී
ලොවක් තිබුනත් නුඹට මට අද ලොවක් නැත හෙට අප සතූ
තැනිය යුතුවේ ලොවක් අපහට සිටින්නට දෙපයින් මතූ
තනන ඒ ලොව කිරුළ පළඳා රැජිණ ලෙස නුඹ සිටියුතු
යන්න අවසර දෙනුමැනේ අද තනන්නට ලොව අප පැතූ
වනස්පතියයි මගේ ලොව නුඹ සෙවන දුන් සඳ ලොබ සිතින්
නොහැක නුඹ වෙන්කරව ලන්නට බැඳී පවතින දිවි මගින්
සිහිනයෙන් මෙන් මතක්වී මට සොයන විට යහනේ ලඟින්
පායපන් නුඹ සඳක් වී රන් දැවෙන වැළි කතරට උඩින්
කටුස්සා.....
Saturday, January 10, 2015
අම්මා.....
"අම්මෝ.....හරි අමාරුයි අදනම්....කහට ටිකක් බොමුකෝ සිරියෝ..."යි කියා ගනිමින්ම කුස්සියට පැමිණි හේරත් ගෙලෙහි වූ තුවායෙන් මුහුනේ දහඩිය පිස දමමින් කොට බන්කුවේ වාඩිවුනා.
කඩමින් සිටි කන්කුන් මිටිය හනිකට ඇතුල්පතට දැමු සිරියාවතී ,චීත්තය හරිගස්සමින් නැගී සිටියා."ඇයි අද ගුනේ අයියා ආවේ නැද්ද?".ඇය ඇසුවේ කේතලය ලිප තබන ගමන්මයි.
"නෑනේ බන්....මම හිතන්නේ මැනිකාක්කට බෙහෙත් ගන්න ගාලු යන්න ඇති.ඒ නිසා පොල් ලෙළි වල ගොඩදාන්න උනේ තනියම අද..."
"එදා බලන්න ගියාට පස්සේ ඒ මනුස්සයව බලන්න යන්න වුනෙත් නෑ....හෙටවත් යන්න ඕනේ ඒ පැත්තේ...කොහේද ඉතින් මේ බාරගත්තු පැදුරු ටික බාර දෙන්න බැරුව ගියානේ තාම....ඊයේ එළපු පැදුර තාම එහෙම්මමයි."
හේරත් ඇගේ මූන දිහා බලා හිටියේ ඒ ඇයි කියලා අහන්නා වගේ.
"ඔහේට කිවුවට මට පොළොස් ගෙඩියක් හොයල දුන්නේ නෑනේ ලොකු පුතාට යවන්න.ඉතින් අද මම ගියා සෝමා අක්කලගේ ගෙදර.මහ ගහෙන් ගෙඩියක් ඉල්ලන් එන්න.ඒ ගිහින් ඇවිත් ඒක පිළිවෙලක් කරල ජයන්ත පුතාලගෙ ගෙදර ගියා ඒ ටික දෙන්න.ඒ ළමයත් හෙට යනවනේ."
"ඉතින් ඕකට උඹම මැරෙන්න ඕනෙයි...?පොඩ්ඩා කොහේ ගිහින්ද?"
"ඒ ගැන මොනවට කතා කරන්නද?උදේ පාන්දර ගෙදරින් යන එකා ආපහු එන්නේ ඉර ඇරුනටත් පස්සේ....ඌට කියල වැඩක් ගන්නවට වඩා හොඳයි කට බිම උලා ගන්නවා...මම කියන්නමයි හිටියේ...පොඩ්ඩගේ චරියාව ගැන ටිකක් හොයල බලන්න.විභාගේ අහවර වෙලා තාම මාසයයි.ප්‍රතිපල එනකම්ම ඔහොම රස්තියාදු උනොත් ඒකගෙන් ගන්න දෙයක් නැතුව යයි.අනිත් එවුන් පිළිවෙලක්වීගන එන වෙලාවේ මේකා වල් වැදුනොත් මොන දෙයියන්ට කියන්නද?"
ඇය දුන්න කහට කෝප්පය තොලගාන ගමන් හේරත් ඇයට ඇහුම්කන් දීගන උන්නා.
"ඕකට වුනේ ඔහේගේ ලීලේ වැඩිකම තමා....මේ යන කාලෙත් එච්චර හොඳ නෑ.මම අහගන ලියන මහත්තයා එක්ක කලු මහත්තයා කියවනවා චේගුරා කාරයෝ ආපහු දගලනවා කියල.මූ ඕවට ගෑවිලා නම නරක් කරගත්තොත් අර ලොකු එකාටනේ හොඳ නැත්තේ...."
"ඒකා එච්චර දරුණු හිතක් තියෙන එකෙක් නෙමෙයි ඕවට සම්බන්ද වෙන්න තරම්.පොතේම ඇළිල උන්න එකානේ.ටිකක් සැර කලාමත් කඳුලු එනවා.තියෙන්නේ ඌට ටිකක් අවවාද කරන්න විතරයි."
තේක තොලගාන ගමන් ඔළුව වනපු හේරත්ගේ දෙතොලේ සිහින් සිනාවක් තැවරිලාතිබුනේ පොඩ්ඩාගේ පොඩි කාලේ මතක් වෙලා වගේ.
"ලොක්කවත් ලබන සතියේ ඉදන් කොළඹට මාරු කරලා කියන්නේ..."
"කවුද ඔහෙට කිවුවේ...?" දෙතොලට ලන්කරපු කෝප්පේ නැවත ඈත් කරමින් හේරත් ඇහුවා.
"ජයන්ත පුතා කිවුවේ....ඒ ළමයවත් මාරු කරල කියන්නේ ලොක්කවත් එක්කම...."
"ඔය කොටියෝ ඉන්න පැත්තෙන් කොළබට එන එකනම් කොච්චර ලොකු දෙයක්ද?"
"ඒකනම් ඇත්ත.ජයන්ත පුතාගේ අම්මත් කිවුවේ ඒකම තමා."
"දෙවනිගෙන් ලියුමක් නැද්ද අදත්?"
"නෑ.මට පියුන් මහත්තයවත් හම්බුනා මගදී.පහුගිය ලියුම ඇවිත් මාසයක් පහුවුනේ නෑනේ තව..."
"ඒකත් ඇත්ත.කොහොමත් ඌ ගෙදරට හිත එකෙක් නෙමෙයිනෙ වැඩිපුර"
හේරත්ගේ ඒ කතාවට මුකුත් නොකියපු සිරියලතා කන්කුන්මිටිය ඇහිඳින්නට වුනා.
"මම යනවා ඇඟට වතුර ටිකක් දාගන එන්න"යැයි කියපු හේරත් බන්කුවෙන් නැගිටලා ළිඳ පැත්තට ගියා.
===============================================
දැනට අවුරුදු 30කට පමන පෙර හේරත් නුවර අස්ගිරිය ප්‍රදේශයට ගියේ රාජ්‍ය වැඩ සන්ස්ථාවේ කම්කරුවකු ලෙසයි.එහිදී හමුවූ සිරියලතාගේත් හේරත්ගේත් පෙම්කතාව නිමවූවේ ඇගේ නිවසට විරුද්ධව හේරත් විසින් සිරියාව ඇල්පිටියේ වූ තම නිවසට කැන්දාගන ඒම තුලින්.වෙහෙස වී වැඩකරන්නෙකු වූ හේරත් සැබවින්ම සිරියාට නියම ස්වාමිපුරුශයකු වූවා පමනක් නොව:තමාගෙන් ඇයට දාව ඉපදුනු දරුවන් 4 දෙනාට දයාබර පියෙකුත් වුනා.පිරිමි ළමුන් 4දෙනෙකුගේ දහසකුත් වැඩ හිස මත පැවරුනත් ගෙදර බර සියල්ල හේරත්ගේ කරමත නොපැටවීමට තරම් සිරියා පරිස්සම් වුනා.කුඩාකල සිට ඉගනගත් පන් කර්මාන්තය පොල් අතු වලට ආදේශ කරගත් සිරියා එමගින් හේරත්ගේ බර හෑල්ලු කිරීමට තමාගේ උපරිම උත්සහය යෙදුවා.දෙන්නා දෙමහල්ලන්ගේ කැපවීම නිසා වැඩි අගහිගයක් නොමැතිව දරුවන්ගේ වැඩ කටයුතු සිදුකරගැනීමට ඔවුන්ට හැකි වුනා.ලොකු පුතා වුන සම්පත් යුද හමුදාවටත් පොඩිපුතා වන සිසිර මැදපෙරදිගටත් රැකියා සදහා යොමුවුනා.තරමක් දඩබ්බරයකු වූ තෙවනියා වන රුවන් ලොරිරථ රියදුරෙකුව එහිදී හමු වූ තරුණියක් සමග විවාහව රත්නපුර ප්‍රදේශයේ ජීවත්වෙනවා.පවුලේ බඩපිස්සා වු තාරක උසස්පෙළ නිම වී ප්‍රථිපල එනතෙක් නිවසට වී කල් ගෙවුවා.
===============================================
"කොහේද ළමයෝ මේ කාපු ගමන් යන්න හදන්නේ...?අනික මේ අවු කූටකේ..."බිත්තියට හේත්තු කර තිබූ බයිසිකලය ගැනීමට හදද්දී ;අඹගහ යට පැදුරක් වියමින් සිටි සිරියලතා ඇහුවේ බිත්තියට හේත්තු කර තිබූ බයිසිකලය ගැනීමට ආ තාරකගෙන්ය.
"ගුරු නිවාසෙ දිහාට අම්මේ.හේමන්ත සර්ව හම්බ වෙන්න"
"ඒ මොකටද මේ අවේලාවේ?"
"පොත් වගයක් ඉල්ල ගන්න.සර් එන්න කිවුවා"
"අනේ මන්දා...දැන් උඹ ඉස්කෝලේ ගිහින් ඉවර එකේ ඔය පැතිවල බඩ ගානවට මම එච්චර කැමති නෑ....අනික ඔය සර් ගැන පැතිරෙන කතා එච්චර සුභ නෑ දැන් දැන්...."
"ඒ මොනාද?"
"සර් ඔය කොල්ලො කෙල්ලෝ අල්ලගන දේසපාලනේ ගැන කතාකරනවා කියන්නේ....විස්ස විද්‍යාල වල අයත් එනවා කියන්නේ..."
"දේශපාලනේ කියන්නේ වැරදි දෙයක් නෙමෙයිනේ අම්මේ.එහෙනම් අම්මල ඡන්දේ දෙන එකත් වැරද්දක්නේ."
"එච්චර දේවල් මට තේරෙන්නේ නෑ පුතේ.ඒත් උඹේ දෙවනි අයියා බඩේ හිටපු කාලෙත් මේ රටේ කොල්ලෝ කෙල්ලෝ බල්ලෝ බළල්ලු වගේ මැරුනා චෙගුරා කාරයෝද මොක්කුද වගයක් නිසා.අපි උඹල තරම් ඉගන ගත්තු එවුන් නෙමෙයි.ඒත් අපි උඹලගෙ අත පය නොකඩා හැදුවා.ආපහු එහෙම කාලයක් ඇවිත් භිතේ බඩේ ගින්දර උහුලන්න බෑ අපිට"
"අම්මා මේ මොනවා කියවනවද මන්දා....අපි කොටි වගේ කැරළි ගහන්න යන්නේ නෑ.බය නැතුව ඉන්න"
තාරක එහෙම කිවුවේ බයිසිකලේට නගින ගමන්.
"කැරළි ගහනව කියල නෙමෙයි මම කියන්නේ.මේ රට කවදාවත් හරි වැරද්ද බලන රටක් නෙමේ මගෙ පුතේ.ඒ කාලේ වුනත් පාරවල් දිගේ මැරුන හැම එකෙක්ම වැරදි කරපු ඈයෝ නෙමෙයි.ඒ නිසා ඕවගෙන් ඈත්වෙලා ඉදපන්.අපි උඹලව ඇහේ මූනේ තියාගන හැදුවේ හමුදා පොලීසි ගානේ රස්තියාදු වෙන්න නෙමෙයි".
ගමේ අනිත් ගෑනුන්ට වඩා අම්මා උගත් ගෑනියෙක් කියලා දැනන් උන්නට අම්මගේ කටින් මේ වගේ දෙයක් පිට වෙයි කියල තාරක කවදාවත් හිතුවේ නෑ.ඒ නිසාම පුදුමයෙන් වගේ අම්මා දිහා බලා හිටපු තාරක පැඩලයට කකුල තිබ්බා.
"මම යනවා"
තාරක යන දිහා බලා හිටපු සිරියාවතී සුසුමක් හෙලා නැවත වියමින් සිටි පැදුරට නැමුනා.
===============================================
"අනේ මන්දා මේ රටට මොනව වෙන්න යනවද කියල....අද පීරිස් මහත්තයව පොලෝසියෙන් කුදලගන ගියා කියන්නේ....."
රාජකාරී නිමවී කහට කෝප්පය තොලගාන ගමන් හේරත් කිවුවේ පොල් ගාමින් සිටි සිරියාට.
"ඇයි හත් දෙයියනේ...ඒ මොකටද?"
"වර්ජනෙන් අස් කරපු එකට විරුද්දව මොනවද කොළ වගයක් බෙදුවැයි කියන්නේ....."
"ඒක යස්ස වැඩක් නොවැ.....කිසි චාරයක් නැතුව රස්සාවෙන් අයින් කරපු මිනිස්සු ඒ වෙනුවෙන් විරුද්ද නොවී වෙන අහවල් කෙන්ගෙඩියක් කරන්නද?"
"ඔවා ඔහොම කිවුවට ඒ මිනිස්සුන්ට පුළුවන්ද ආණ්ඩුවත් එක්ක හැප්පෙන්න...කලුගල් වල ඔළුව ගහ ගන්න යනවා...."
"ඔහොමවත් නොකර ඒ මිනිස්සු වෙන මොනව කරන්නද....ඒ මිනිස්සුත් දරු පවුල් කාරයෝ නොවැ....."
"එහෙමයි කියල ආන්ඩුවේ මහත්වරුන්ට විරුද්ධ වෙන්නද සිරියෝ......තියන රස්සාව ආරස්සා කරගන්න ඒ මිනිස්සු දැනගන්න එපැය...."
"ගමට කොච්චර වැඩ කරපු මනුස්සයෙක්ද ඒ......දැන් පොළේ කරවල විකුණනවා.....පොළේදී දැක්කහම මට දුකේ බැරුව ගියා.කන්තෝරුවල හෙවනේ වැඩකරල මේ කාශ්ඨකේ කොහොම දුක් විදින්නද......මම මේ පාර කරෝල ගත්තෙත් පීරිස් මහත්තැන්ගෙන්..."
"ඒවනම් එහෙම තමයි....දැනට කී දෙනෙක් ආවද ඔය රස්සා නැතිවුන ඈයෝ, වත්තේ රස්සා හොයාගන...."
"ඉතින් වැඩට ගත්තද?"
"පිස්සුද සිරියෝ....කළු මහත්තයට පෙන්නන්න බෑ ඒ අයව.ආණ්ඩු පෙරලන්න ගිය කාලකණ්ණි කියල එක්කෙනෙක්වත් ගත්තේ නෑ...."
ලොකු සුසුමක් හෙළපු සිරියා නැවත පොල් ගාන්න පටන් ගත්තා.
"කෝ පොඩ්ඩා....?"
"ඔහේ කාමරේ පොතක් බල බල හිටියේ.....ලබන බදාදා අම්බලන්ගොඩ යන්න ඇහුවේ....අර හේමන්ත සර්ලගේ අහ පිරිතක්ය කියන්නේ.....මම එපා කිවුවය කියල ඔය බෙරිවෙලා ඉන්නේ කාමරේ....."
"කාත් එක්කද යනවය කියන්නේ....?"
"ඔය තව කාණ්ඩෙකුත් යනවළු...."
"ඔය සර් ගැන කලුමහත්තයත් එච්චර මනාපෙකින් නෙමෙයි ඉන්නේ.....මම අහගන කියනවා එයා මේ කොල්ලෝ වට කරන් අමුතු නැටුමක් නටන්න හදනවා කියලා....ඒ වුනාට ඔය වයසෙදි ගෙට කරන් ඉන්නත් බෑ නොවැ....අපි කොච්චර කෙළි කලාද ඔය වයවසෙදි ඒ කාලේ....?"
එහෙම කියපු හේරත්ගේ මුවේ සිහින් සිනාවක් ඇඳුනේ ඒකාලේ මතක්වෙලා වගේ.
"ඒකනම් එහෙම තමා.....ඒත් අනේ මන්දා....ඔහේම කතා කරලා බැළුවනම්...."
"බලමු....මම වතුර එකක් දාගන එන්නම් ඇඟට....."
===============================================
"දැන් තමුන්ලට දැනීමක් ලැබෙන්න ඇතිනේ මේ අවිය ගැන.ඔය හැමෝම දැන් මේක ගලවල නැවත සවිකරන්න ඕන.පුළුවන් තරම් ඉක්මනට ,ඒකියන්නේ තප්පර 15න් විතර ඒ දේ කරන්න මහන්සි වෙන්න ඕනේ හැමෝම.මේක තමයි අපි විප්ලවේදී සතුරට විරුද්ධව භාවිතාකරන ප්‍රධාන අවිය වෙන්නේ. කියුබාවෙදි,වියට්නාමෙදි,බොලීවියාවෙදි සතුරා පරාද කරල මහජන ආණ්ඩුවක් හැදුවේ මේ අවියේ උදවුවෙන්.ඒ වගේම මේ රටේදීත් මේ අවියේ උදවුවෙන් අපි මහජන ආන්ඩුවක් හදනවා.දැන් ඔය කට්ටිය 2ට බෙදිලා එක කට්ටියක් මගේ ලඟට එන්න.අනිත් අය හේමන්ත සහෝදරයගේ ලඟට යන්න......බය වෙන්න එපා.හේමන්ත සහෝදරයා සිරිපාද කැළේදී මේ ගැන හොඳට අධ්‍යනය කරල තියෙන්නේ.....අපේ ඊළග කදවුර තියෙන්නේත් සිරිපාද වනාන්තරේ....ඒ ගැන විස්තර අපි අපේ සහෝදරවරු මාර්ගයෙන් දන්වන්නම්.....දැන් ඔය සහෝදරවරු පොළිම් වෙන්න මම කියපු විදිහට...."
"තාරක...."
"සර්....?"
"ඔයා ඕක ඉවර වෙලා කුරුඳු වත්තේ ගේට්ටුව පැත්තට යන්න මේ සහෝදරයත් එක්ක....එතන අපේ තව දෙන්නෙක් ඇති.ඒ දෙන්නව එවන්න මෙතන පුහුණුවට.හැබැයි හොඳ අවදානෙන් ඉන්න ඕනේ.හැම තැනම ප්‍රතිගාමී බලවේග.උන් හදන්නේ මේ විප්ලවේ පරක්කු කරන්න.ඒවට ඉදනොදී විමසිල්ලෙන් ඉන්න ඕනෙ."
"හොඳයි සර්...."
===============================================
"මහ කරුම කාලයක් තමයි...රස්සාවකට යන්න බෑ...කඩේකට යන්න බෑ...හදිස්සියකට දොට්ට පිළකටවත් එළි බහින්න බෑනේ...රෑට ලාම්පුවක්වත් පත්තු නොකර ඇටපල් කළුවරේ ඉන්නත් ඕනේ....ඒ මදිවට ගෙදරට ආවහම හිතේ තන්තෝසෙන් ඉන්නත් නෑ....දැන් කීයට විතරද ඕකා ගෙදරින් එළියට බැස්සේ?"
"ඔහේ ගියත් එක්කම වගේ තමයි....යන දිහාව ඇහුවහම කිවුවෙත් නෑ.පුප්පල යන්න ගියේ...දැන් ටික කාලෙක ඉදන් ඉන්නෙත් මාව නොරුස්සනව වගේ...."
"මුන්ව හදලා ලොකු මහත් කරෝලා උගන්නපු හින්ද වෙන්න ඇති මුන්ගේ ලොකුකම් අපිටම පෙන්නන්නේ.....දැන් අඩන්නේ නැතුව හිටියනම්...මේ ඇදිරිනීතිය අස්සේ එලියට බහින්නවත් බෑනේ....එළිවෙනකම් ඉමුකෝ....අම්මපා ඕකා හම්බුනොත් මට දනී මම කරන දේ ඕකට..."
"ඌව ගහල බැනල හදන්න බැරිවෙයි දැන් අපිට.....මට පේන විදිහට ඌ ගොඩක් දුර ගිහින් වගෙයි දැන්.....එකාතකට මේ යන විදිහට මුන් මෙහෙම කැරළි නොගැහුවොත් තමා පුදුම.....මට ඉවසන්න බැරි එක පැයක් බඩගින්නේ ඉන්න බැරි එකා....දැන් කොහොම කනවද බොනවද දන්නේ නෑ....."
"මේ හුජ්ජ කොල්ලෝ ටිකක් එකතු කරගන මුන්ට පුළුවන්ද ආණ්ඩු පෙරලන්න.....විකාර...."
"නරකද මේ ගැන ලොකු එකාට කිවුවොත්....?"
"අනේ මන්දා....උනුත් ආයුධ අතට අරන් ඉන්න එවුන් වෙච්චකොට .....එහෙන් කොටි,මෙහෙන් මුන්.ඒකා අයියා වුනත් කොහොම සලකයිද කියල අපි කොහොමද දන්නේ....අපි තව ටිකක් බලමුකෝ.....බැරි වෙලාවත් මුන් දෙන්නා ඔය ආයුද පත්තුකරගත්තොත් කාට කියන්නද....?"
"ඔහේ තාම කෑවෙත් නෑ නේද....?බත් බෙදන් එන්නද...."
"මොන කෑමක්ද සිරියෝ මේ පපුව ඇවිලෙන වෙලාවට....පුළුවන්නම් කහට ඩින්ගිත්තක් වක්කරන් වරෙන්කෝ......"
පහත් වී චීත්ත පොටෙන් නහය පිහිදගත් සිරියාවතී පුටුවෙන් නැගිට කුස්සියට ගියා.
===============================================
"හෙට ඔහේ ගිහින් එන්න ලොකු එකාව බලන්න.හෙටනේ ඔපරේසන් එක කරනවා කිවුවේ....මම මෙහාට වෙලා ඉන්නම්....පොඩ්ඩ ගැන මොකක් හරි හෝඩුවාවක් ලැබුනොත් මෙතන කවුරු හරි ඉන්න එපැය....."
"කොහොම වුනත් මම විතරක් යන්න තමා හිතා හිටියේ.....ඔපරේසම ඉවර උනහම හෙටම සිහිය එයිද දන්නේ නෑනේ....එහෙම වුනොත් ලොකුඑකාට සිහිය එනනම් මම එහේ නවතිනවා කියල හිතාගන තමා මම යන්නේ....උඹත් එක්ක ගොහින් ඒ රාජකාරි කරන්න බෑ නොවැ....මටනම් බස් හෝල්ට් එකේ හරි ඇලවෙන්න බැරියෑ...."
"ලොකු පුතා බලන්න ගියහම පොඩ්ඩක් අර එදා හම්බුන ලොකු මහත්තයව හම්බෙලා බලනවද...?එදත් කිවුවනේ ඔය කෑම්ප් වල හිරකරන් ඉන්න ගොඩේ පොඩ්ඩ ඉන්නවද බලන්නම් කියලා....."
"ඒකත් හිතේ තියාගනම තමා හෙට උදේ රැයින්ම මම යන්නේ.....කොහොම උනත් ඕවා ගැන ලොකු බලාපොරොත්තු තියාගන්න බැරුවා....කී දාහක් කියල ඕවැයේ හිරකොරන් ඉන්නව කියලද....අපි දෙන්නා කොච්චර ගෑටුවද ඕවැයේ....අඩුමගානේ ඇතුලටවත් ගත්තද අපිව...බැනල එළවගත්තා මිසක්....."
"කොහොම හිටපු ළමේක්ද...?කොහේ හරි මිනියක් පාවෙනවා,ගිනි ගන්නවා කියන කොට මේ හිත් කොච්චර ඇවිළෙනවද?මේ විදිහට අපිට දුක් දෙන්න මුන් කොහොම හිත හදාගන්නවද මන්දා...."
"හිතේ සැනසීමෙන් රස්සාවක් කරන් කාලා ඇදල ඉන්න බෑ....ගමනක් බිමනක් යන්න නෑ....එකෙක් එහෙන් වෙඩි වැදිලා ඉස්පිරිතාලේ...අනිකා රට අල්ලන්න ගිහින් උන්නා මළාද නෑ...."
"එකාතකට මෙහෙම කාලයක් අපේ අම්මා මුත්තා කාලෙවත් අහල නෑ....එහෙන් බෝම්බ වලින් මිනිස්සු මැරෙනවා....මෙහෙන් ආණ්ඩුවෙන් අහින්සක කොල්ලෝ මරනවා....මේ ටිකට මිනී කීයක් නම් පිච්චුනාද මහපාරවල් දිගේ....මේ විදිහට රට කරන්න මොනවටද ආණ්ඩුවක්....."
"හ්ම්ම්....දැන් නිදාගමු.හෙට පාන්දරම යන්නත් ඕනෙනේ...."
එහෙම කිවුව හේරත් ඇදේ අනික් පසට හැරුනා.ලොකු හුස්මක් ගත්තු සිරියාවතී ඇස්දෙක වහගත්තා.
===============================================
බාගෙට වියපු පැදුර දිහා බලා සුසුමක් හෙලපු සිරියාවතී උදැල්ල අතට ගත්තා.හිතේ තියන අලකලන්චි ගතිය පහව යනතෙක් නැවත් පැදුරු වියමන් කිරීමට නොහැකි බව ඇය දන්නවා.භාවනාවකට සමවැදිලා වගේ කරන පැදුරු වියමන දැනට මසක පමණ කාලයක් තිස්සේ සිට කිරීමට නොහැකිවුනේ මේ හිතේ තිබුන නොසන්සුන් බව නිසාමයි.බොහෝ කලකින් වල් නොඉදරූ පොලව මතට ඇය වේගයෙන් උදළු පහර එල්ලකරේ හිතේ තිබූ නොසන්සුන්කම පොළව මතට අතාරිනවා වගේ.
"සිරියා අක්කේ.....සිරියා අක්කේ....."
නතර නොවී එකදිගටම බොහෝ වේලා බිම් කෙටු සිරියාවතීගේ උදැල්ල නතර වුනේ කඩුල්ල දිහාවෙන් ඇහුන ඒ සද්දෙන්.ඔළුව උස්සලා කඩුල්ල දිහා බැළු සිරියාවතීට දැකගන්න ලැබුනේ කඩුල්ල පැන ඇය දිහාවට වේගයෙන් එන අසල්වැසි ගැහැනියක වන ප්‍රේමලතාවයි.
"අක්කේ...උඹට ආරන්චිද.....හන්දියේ තැපල් කන්තෝරුව ලඟ කොල්ලෝ හත් දෙනෙක් පිච්චෙනවළු....."
ඇගේ දෑස් දෙස බැළු සිරියාට,එතැන කොල්ලෝ 7ක් පිච්චෙනවාට වඩා දෙයක් ඇතිබව තේරුම් ගියා.කිසිත් නොකියා ප්‍රේමලතාගේ මූණ දෙස බලාසිටි ඇය එක්වනම උදැල්ල අතැර කඩුල්ල දෙසට ගියේ හන්දියට යාමටය.පාරට බසින විට දෙන්නා තුන්දෙනා බැගින් රන්චු ගැසී හන්දිය දෙසට යන නඩ දිහා නොබලාම ඇය කෙලින් කරගත් හිසින් යුතුව හන්දියට ගියා.
ඇය එහි යනවිට 30ක පමණ පිරිසක් වටවී තැපල් කන්තෝරු මිදුල දෙස විස්සෝපයෙන් මෙන් බලා සිටියා.ඇය එතනට යනවිට වට වී සිටි පිරිස් මොනවදෝ මුමුණමින් ඇයට ඒමට ඉඩ හදා දුන්නා.ඔවුන් පවසන්නේ මොනවද යන්න පිළිබඳව ඇයට හැඟීමක් තිබුනේ නෑ.
තවමත් දුම් දමන ටයර් මැදිකොට තරුණයන් කිහිප දෙනෙකුගේ කලු වී ගිය සිරුරු දෙස ඇය බලා සිටියා.සම්පූර්නයෙන් අඟුරු නොවු සිරුරු අතර තිබූ එක් මුහුණක් අදුර ගැනීමට ඇයට මහ වෙලාවක් ගතවුනේ නෑ.කලු වී බාගෙට තැම්බී විරූප වුන මුනෙන් වුවත් ඇයට පෙනුනේ එදා තම තන පුඩුව බදාගන ඉවසිල්ලක් නැතුව කිරි උරපු පොඩ්ඩගේ මූනමයි.මහා හඬින් හඩන්නට ඇයට ඕන උනා.ඒ සිරුර බදාගන පිච්චෙන රබර් ගඳ පරයා නැගෙන පොඩ්ඩාගේ සුවඳ බලන්නට ඇයට ඕන වුනා.ඒත් ඇයම නොදන්න මොකද්දෝ කරුණක් නිසා ඇයට ඒ දෙස බලා සිටින්නට හැකියාවක් නැතිවුනා.
ඇය ආපසු හැරුනා.ඇහේ කඳුලක්වත් තිබුනේ නෑ.වටවී සිටියවුන් ඇය දිහා පුදුමයෙන් බලාසිටින බව ඇය දැක්කා.
"මට දැන් අවුරුදු 60ක් වෙනවා.දරුවෝ හතර දෙනෙක් වැදුවා.මට දුක මේ වගේ පුතෙක්ව ආපහු ලෝකෙට වදන්න බැරි එකයි"
ඔළුව උස්සගන සෙනග දිහා බලාගන එහෙම කියපු ඇය නැවත ඇගේ නිවසට යන මාවතේ ඇවිදන් යන්න වුනා ;තනියම.
නිමි......
සබැඳියාව.....
සුනිල් මාධව ප්‍රේමතිලක.....මම ඔහු පළමුවෙන් හදුනාගත්තේ සාමාන්‍ය පෙළ කරනා අවදියේ කියවූ ඩොනල්ඩ් වුඩ්ස්ගේ cry freedom නම් පොතේ පරිවර්තනයක් වූ "හඬනු මැන නිදහස" නම් කෘතිය හරහාය.අදද මා කියවූ හොදම පොතක් ලෙස හඩනු මැන නිදහස සිතට නැගේ.මාද්‍ය කරුවකු ලෙස සුනිල් මාධවයන්ගේ පසුකාලීන භාවිතාව පිළිබඳව යම් ගැටළු ඇතිවූවත් ඔහුගේ දිවියේ අසීරු අවස්තාවන්හීදී පොළ් ගෙඩියකුඳු හෝ ඔහුට ලබා දී නොමැති මා හට එයගැන කතාකිරීමට තරම් සදාචාරාත්මක අයිතියක් නැතිබවට මා පිළිගනිමි.ඒ කෙසේ වූවත් එදා සිට ඔහුගේ ලේඛන හරහා හදුනාගන සිටි දයාබර "සුනිල් අයියාව" දැන් සිටින සුනිල් මාධවයන් අභිබවා මාගේ මනසේ මවාගැනීමට මම මහත් සේ උත්සහ දරමි.මේ කතාව ලිවීමට පසුබිම් වූ කතාවද ඔහුගේ පොතකින් උපුටාගත් අදහසකින් සොරාගත්තාක් වෙයි.
සත්‍යවාදියකුගේ දිනපොත-සුනිල් මාධව ප්‍රේමතිලක.
පිටු අන්ක-108
//සැබැ අම්මා කෙනෙකු ගැන මිත්‍රයකු කී කතාවක් දිනපොතේ සටහන් කළයුතුමයි කියා මට හිතෙනවා.දකුණු පළාතේ එක් තැනක තරුණ මළ සිරුරු හතක් දැවෙමින් තිබෙන බව ගම්වැසියන්ට ආරන්චි වුණා.ඔවුන් එහි ගොස් බලන විට දන්නා හදුනන තරුණයන් දෙතුන් දෙනෙකුගේම සිරුරු තිබෙනු දුටුවා.මේ දුක් මුසු පුවත එක් අම්මා කෙනෙකුට දැන ගන්නට ලැබුනා.හැඳ සිටි චීත්තය පිටින්ම ඇය ලහි ලහියේ එහි ගියේ අතුරුදහන් වූ ඇගේ පුතා එතනවත් ඇද්දැයි දැනගැනීමටයි.ගම්මුන් දෙපැත්තට වී ඇයට ගිනි ගොඩ ලගට යාමට ඉඩ දුන්නා.තම ආදරනීය පුතා හදුනාගත් ඇය මොහොතක් ඔහු දෙස බලා සිටියා.ආපහු හැරුන ඇය අවට සිටි ගම්මුන්ගේ මුහුණු දෙස උවමනාවෙන් බැලුවා.
"මට දැන් අවුරුදු 60ක් වෙනවා.දරුවෝ හත් දෙනෙක් වැදුවා.මට දුක මේ වගේ පුතෙක්ව ආපහු ලෝකෙට බිහි කරන්න බැරි එක ගැනයි"
ඇගේ කතාවෙන් ගම්මුන් කෙලින් වුනා.අම්මලා නිසා පන්නරය ලබන දරුවොත් ඉන්නවා.දරුවෝ නිසා පන්නරය ලබන අම්මලත් ඉන්නවා.පාවෙල්ගේ අම්මට වඩා එඩිතර ගුනදාසලාගේ,සෝමදාසලාගේ අම්මමල ගැන ගෝර්කිට වඩා හොඳට ලියන ලේඛකයන් පිරිසක් අනාගතයේදී බිහිවෙයි කියලා මට හිතෙනවා//
මේ වෑයම ගෝර්කිට වඩා හොදවීමට නොව දැනුන සන්වේදනාව අකුරුකිරීමට ගත් උත්සහයක් පමනක්ම බව මතක් කරමී......
කටුස්සා......
Wednesday, January 7, 2015
කාන්තාරය
කාන්තාරෙක ඇවිද යමි අද
වැසි බිඳක්වත් නොවැටෙනා....
දනක් මුල්ලේ එරෙන මගෙ පා
ගලන ලේ බිඳු පිස දමා....
සුළගෙ විසිරෙන වියළි තණපත්
එකින් එක ගෙන උරයෙ ලා....
සොයන්නෙමි මම බිඳුනු මතකය
විසිර ගිය කතරෙහි පුරා....
හරිත පැහැවිය දිනක මේ බිම
හාත් පස තුරු නිල ගැසී....
දසත කූජණ මියුරු හඩ හා
සුළන් සර හද පිරිමැදී....
සැලෙන නා දළු මිමිණු කවි පද
සවන් අද්දර රැවුදිදී....
කොහේ ගියෙදෝ සරණ සිතුවිලි
දෙනෙත් මත ඇඳ කඳුලැළී....
එක්ව යන්නට වරම් නැතිවුන
නුඹේ ලෝකය මත රැඳී....
තිබුන මගෙ ලොව නුඹ නමින් පෑ
ආදරය තව ඉකිබිඳී....
සදාතන වූ පෙමක නටඹුන්
අතර වැතිරී වකුටු වී....
සොයමි නුඹෙ පා සුවඳ ඉවකර
ඇඳුනු මේ බිම නොම මැකී....
කටුස්සා....
Monday, January 5, 2015
තීරණය...
"චූටි මැණිකේ....හිමින් ...හිමින්...දැන් ඔහොම දුවල වැටුනොත් එහෙම සුදු නෝනාගෙන් මට තමා බැනුම් අහන්න වෙන්නේ.කියන දේ අහන්නකෝ චූටි මැණිකේ....බලන්න මේ සුදු මැණිකේ ඉන්න ලස්සන.ඒ විදිහට ඉන්නකෝ..."
"නන්ගී...මම කියනවා අම්මට ඔයා කියන දේ අහන්නේ නෑ කියලා....මතකනේ අම්මා කියපුවා එන කොට...."
අම්මට කියනවා කියපු ගමන්, සමාධිගේ කීකරු නැති දෙපා ඉද්ද ගැහුවා වගේ නතර වුනා.ඒ අම්මාට ආදරේ කලාට,කේන්ති ගිය වෙලාවට ඇගේ මුවින් පිටවෙන වචන වලට ආදරේ නොකල නිසා.
"සිරියම්මේ....අනේ කෝන් කඩල දෙන්නකෝ...ගොඩ කාලෙකින් කෑවේ නෑනේ...."
ගමේ ළමුන් කීපදෙනෙක් වටවී උන් කෝන් ගහ දැක සමධී ඇවිටිලිකරන්න වුනා.
"මම කොහොමද චූටි මැණිකේ ඕවා කඩන්නේ...මට ගස් යන්න පුළුවනෑ....අනික ඕවා කෑවා කියල ලොකු නෝනා දැනගත්තොත් මට විසුමක් වෙන එකක් නෑ,ගිනියම් කෑම කන්න දුන්නා කියලා..."
"අනේ....ආච්චිට කවුරුත් කියන්නේ නෑ....අක්කා කියන්නෙත් නෑ...ඔයාට බැරිනම් අපි අර ගහ ලඟ ඉන්න ළමයින්ගෙන් ඉල්ල ගමුකෝ....ඉන්න මම ඉල්ලන් එන්නම්...."
මෙහෙම කියපු සමාධී ගහ යටට දිවුවේ සිරියා හිතන්නත් කලින්.එතන ගෑනු ළමයි තුන් දෙනෙකුයි පිරිමි ළමයි දෙන්නෙකුයි හිටියා.ගහ උඩ තව පිරිමි ළමයෙක්.ඒ ඔක්කොම සමධි දිහා ලොකු කරගත්තු ඇස් වලින් බලා හිටියා.
"මේ...අපිටත් දෙනවද කෝන් ගෙඩි ටිකක්..."
සිද්දවුන අනපේක්ශිත ඉල්ලීමෙන් අනිත් අය ගල් ගැහිලා ඉන්නකොට එතන හිටපු කුඩාම සාමාජිකයා හඬ අවදිකලා.
"අපි කඩපුවා මොකටද ඔයාට දෙන්නේ....?මේවා අපි කඩපුවනේ"
සමධිගේ හිනා මූණ බෙරිවුනා.
"දඩස්..."ගසට පිටුපා සිටි සමාධි පසු පසින් සද්දයක්.ගහ උඩ හිටිය පිරිමි ළමයා බිමට පැනලා,සමාධි දිහා බලන් ඉන්නවා.
"උක්කුන්....ඕවා ඔක්කොම අපිට වැඩියිනේ.....ඔය ගෙඩි ටිකක් හූරලා චූටි මැණිකෙට දෙන්න."එහෙම කියන ගමන් ඔහු තමන් ලඟ වැටිල තිබුන අතුවලින් ගෙඩි හූරන්න පටන් ගත්තා.
"ඉතින් මේවා කැඩුවේ අපිනේ....එයාලටත් ඕනෙනම් කඩාගන්න කියන්න"
චූටි කැරළිකරුවා සටන අතෑරියේ නෑ.
"මේ ඔක්කොම අපිට වැඩියිනේ.වැඩිපුර තියන ඒවා බෙදාගන්න කියල අම්මා කියලා තියනවා නේද?අනික චූටි මැණිකේ කොහොමද ගස් නගින්නේ?"
ඛාන්ඩේ නායකයා වගේ උන්න පිරිමි ළමයා ඔළුව නොවුස්සා කෝන් හූරන ගමන්ම උක්කුන්ට කිවුවා.උක්කුන්ගේ කටහඬ ආපහු ඇහෙනවා වෙනුවට ඇහුනේ කෝන් හූරන හඬ.
සමාධිට මේ පිරිමි ළමයගේ මූන දැකලා හුරු ගතියක් තිබුනා.හරි...මේ පාර ඉස්කෝලේ රැස්වීමේදී "යුතුකම් සහ වගකීම්" ගැන කතාවක් කලේ මේ අයියා තමයි.අරුණ ආලෝක...එහෙම තමා ප්‍රින්සිපල් සර් නම කිවුවේ.සමාධිට ඒ නම මතක තිබුනේ ඒ කතාවේ තිබුන අමතක නොවෙන වාක්‍යක් නිසා."යුතුකම් බර වැඩියි....වගකීම් සැහැල්ලු වැඩියි...."
"ආ...අල්ලන්න අත චූටි මැණිකේ..."සමාධි ලඟට ආපු ආලෝක තම අත්දෙකට හිරවෙලා තිබුන කෝන් ගෙඩිටික ඇයට දික්කලා.සමාධිගේ අත් දෙකත් එකට එකතුවුනේ නිරායාසෙන්.
"නන්ගී....මොනවද ඔයා ඔය කරන්නේ.....?ලැජ්ජ නැද්ද ඔයාට එක එකාගෙන් ඉල්ලගන කන්න.....ඉන්නවකෝ...මම සේරම කියන්නම් ආච්චි අම්මට....."
කරන්ට් එක වැදුනා වගේ සමාධිගේ අත් දෙක පස්සට වුනා.රකුසු කරගත්තු මූනෙන් බලන් හිටපු උත්තරාගේ ඇස් වලින් ගිනි පිටවුනා.ඇය සමාධිගේ අතින් අල්ලගන ඇදගන යනකොට සිරියාත් හති දාගන එතනට ආවා.
"මොනවද චූටි මැණිකේ මේ කරන මුරන්ඩු කම්.....ලොකු මැණිකේ දැනගත්තොත් විසුමක් නොවෙන්නේ මටනේ....එන්න යන්න වලවුවට...දැන් ඇති මේ සන්චාරේ...."
නිදහස්ව තිබුන සමාධිගේ අනිත් අතින් අල්ල ගත්තු සිරියා,ආපහු වලවුවට එන්න පිටත් වුනා.අක්කටත්,සිරියාම්මටත් මැදිවුන ඇය හැඟීම් නැති එකෙක් වගේ ඔවුන්ට කීකරු වුනා.බිම බලාගන ලැජ්ජාවෙන් යන සමාධි ,ඔළුව උස්සලා පිටිපස්ස බැළුවා.අනිත් අයගේ පුදුමයට පත් විසල් දෙනෙත් අතරේ සමාධිගේ ඇස් නතර වුනේ දුකින් වගේ බලා උන්න අරුණගේ දෙනෙත් ලඟ.
"ඉන්නකෝ...මම ආච්චි අම්මට කියල ඉල්ලල දෙන්න තමුසෙට....අදුරන්නේ නැති එවුන් එක්ක කදේට යනවා...."
"අනේ සුදු මැණිකේ....ඔය කතාව ලොකු මැණිකෙටනම් කියන්න එපා.....චූටි මැණිකේ බඩහැළයන්ගේ ළමයි එක්ක භජනෙට ගියා කියල දැනගත්තොත් මටයි වලවුව දාලා යන්න වෙන්නේ...."
දෙපැත්තේ ඉදන් කියන මේ කතා කන් දෙපැත්තෙන් ඇවිත් ඔළුව මැද්දේදී එකට හැප්පෙනවා වගේ සමාධිට දැනුනේ.හැඟීම් දැනීම් නැති කෙසල් කොටයක් වගේ ඇය ඒ දෙන්නා පස්සේ ඇදීගන ගියා.
=================================================
"මේ.....මේ...."ආලෝක හිමින් ඒත් බොහොම පැහැදිලිව කතාකලා.ඒත් විවේක වෙලාවෙවත් එළියට නොගිහින් නවකතාව බල බල හිටපු සමාධිට ඒක ඇහුනේ නෑ.
"චූටි මැණිකේ...."ඉස්කෝලෙදි තමන් අහන්න අකමැතිම වචනේ සමාධිගේ කණ වැකුනත් ඔළුව උස්සලවත් ඒ දිහා බැළුවේ නැත්තේ සමාධි පාසලේදී ඒ නමට එච්චර අකමැති නිසයි.
"චුටි මැණිකේ....චූටි මැණිකේ..."මේක හරියන්නේ නෑ.කවුද මේ...ගිනි පිටවෙන දෑසින් බලපු සමාධිගේ නෙත ගැටුනේ ආලෝකගේ මූණ.ගින්දර පිටවුන ඇස්දෙක නිල්කැටේට වතුර පිරුන දෙණියේ පතහ වගේ වුනේ සමාධි දැනුවත්වනම් නෙමෙයි.
"චූටි මැණිකේ කියන්නේ කවුද?මෙහෙ ඇති චූටිමැණිකෙක් නෑ."මවා ගත්තු සැරකමකින් සමාධි කිවුවා.ඒ සැර කමට බියපත් වුන ආලෝකගේ මූණ දැක්කහම හිනා යන්න ආවත් ඇය බොහොම අමාරුවෙන් ඒ හිනාව නවත්ත ගත්තා.
"මගේ නම සමාධි....ආලෝක අයියා දන්නවා ඇතිනේ....මට ඒ නමින් කතා කරන්න.නැත්තන් කතා නොකරනිකන් ඉන්න"
ආලෝක මුකුත් නොකියා බලා හිටියා."ඇයි කතා කලේ...?"
මුකුත් නොකියපු ආලෝක සාක්කුවෙන් ගත්තු සිලි මල්ලක් දික්කලා.
ඉදිරියට දික් වෙන්න හදපු අත බොහොම අමාරුවෙන් නවත්ත ගත්තු සමාධි ,"මොනවද?":
"ඔයාට ගෙනාවේ"
සිලිමල්ල දිග ඇරෙන හඬ...."කෝන්..."පුදුමයට පත් ඇය....
"ඔයා ආස වුනාට අක්කා එදා ඔයාට කන්න දුන්නේ නෑනේ....ඒකයි ගෙනාවේ..."
"අනේ...බොහොම ස්තූතියි අරුණ අයියේ...ගොඩක් පින් ඔයාට"
ඒ අහින්සක මූණ දැක්කහම මෙච්චර වෙලා සැර වුනේ අපරදේ කියල සමාධිට හිතුනා.
"මම යනවා නන්ගී"යනතම් හිනාවකින් මුව සරසගත්තු ආලෝක ආපහු හැරුනා.
"මේ...."ආලෝක ආපහු සමාධි දිහා හැරුනා.
"මම චූටි මැණිකේ නෙමෙයි...මම සමාධි...තේරුනානේ..?"
සිනා පිරුන දෙතොල් සමගින් යන්තම් ඔළුව වනපු ඔහු ආපසු හැරුනා.
=================================================
"චූටි...හෙට මම අක්කව බලන්න යනවා.ඔයාව ගන්න තාත්තා එයි"
"අම්මේ...හෙට විභාගේ අන්තිම දවසනේ...අප්පච්චිට ටිකක් පරක්කු වෙලා එන්න කියන්න හොඳේ...."
"ඒමොකටද?"
"යාළුවෝ හම්බ වෙලා කයියක් දාගන,බදාගන අඬලා,සින්දුවක් එහෙම කියල එන්න ඕනෙනේ...හොඳ අම්මනේ..."
"අනේ උඹලගේ විකාර....ඔය මුකුත් නෑ අක්කත් එක්ක උඹවත් නුවර නැවත්තුවනම්"
"අම්මට පුළුවන්ද චූටි නැතුව මේ ගෙදර ඉන්න...?බෑනේ...මගේ සුදු අම්මනේ..."
"ඇති ඇති ඔය නාකි හුරතල්...දැන් යමු බත් කන්න....අප්පච්චි බලාගන ඇති".
==================================================
"දැන් අපි ආපහු හම්බ වෙන්නේ කොහොමද නන්ගී...?"තැනින් තැන විසිර සිටින විභාගය නිමවූ සිසුන්ට නොපෙනෙන්න නැටුම් කාමරයත් පන්ති කාමරයත් අතර වූ හිඩසෙහි තුරුල්ව සිටි සමාධිගෙන් අරුණ ඇහුවේ ඇගේ කෙහෙරොදක් ඇඟිලි අතර පටලව ගනිමින්.
"අනේ මන්දා අයියේ...A/L වලට මාව මාතලේ නවත්තයි,නැන්දලගේ අහ.එතකොට ඔයා එන්න මාව බලන්න".
"මට තාම එච්චර දේවල්කරන්න බැරිවෙයි නන්ගියේ...මගේ මේ කැම්පස් ගමනත් ගෙදරට බරක් වෙලා තියෙන්නේ.තාත්තටත් දැන් ඉස්සර වගේ මහන්සි වෙන්න බෑ".
"ඔයා ඔච්චර හිතන්න එපාඅයියේ...අපි ඉනෝකාගේ අතේ ලියුම් මාරුකරගමු.ඔයා ඔයාගේ ඉගනීම් වැඩ කරගන්න.අමතක කරන්න එපා,ඔයාගේ ඉගනීමෙන් තමා අපිට එකතු වෙන්න පුළුවන්.වෙන විදිහක් නෑ අපිට".
"මම මොන උපාදිය ගත්තත් වලවුවට කඳ උස්සන් ආපු ගුණාගේ මුනුපුරාට ,වලවුවේ චූටි මැණිකෙව දෙයි කියල ඔයා හිතනවද?"
"අපි එන විදිහක් බලමු අයියේ....මොනවා උනත් මම ඔයා එක්ක එනවා.ඒකට පාර හදාගන්න, හොඳට ඉගන ගන".
කෝපි මල් මතක්කරන සමාධිගේ ඇස් දිහා බලා හිටපු ආලෝක,වසර 3ක ආදරයේ පළමු හාදුව ඇගේ නළල මත තැබුවා.
"කාළකන්නි බැල්ලි....තෝ අපිව කෑවා..."ආච්චිගේ කටහඬින් බිරන්තට්ටු වුන සමාධි විදුලියක් වගේ ආලෝකගෙන් ඈත්වුනා.
"චටාස්...." අප්පච්චිගේ අත සමාධිගේ කම්මුල සිප ගත්තා.
"අනේ...සමාධිට ගහන්න එපා...අනේ අන්කල්...."
"අන්කල්...කවදද යකෝ මම තොගේ අන්කල් වුනේ....පාහරයා...." මහා සද්ද නගමින් පහර පිට පහර ආලෝක මතට පතිත වුනා.
"අනේ අප්පච්චී...."සමාධී කෑ ගසමින් ඔහුගේ අඟේ එල්ලුනා."මෙහෙ වරෙන් යන්න...තවත් ලැජ්ජ කරන්නේ නැතුව අපිට.ඇගේ අතින් අල්ලාගත් ලොකු හාමු ඇයව පාසල් වත්තේ නවත්තා තිබූ මෝටර් රථය වෙත ඇදගන ගියා.
පාසලේ ඉතුරුවෙලා හිටපු අනිත් සිසුන් වගේම පිට පාසල් ගුරුවරුනුත් බිය පත් දෑසින් මේ නාටකය දෙස බලා සිටියා ඇරෙන්න එයට සම්බන්ද නොවූවේ ආලෝකට පහර දෙන විට ලොකු හාමුගේ මුවින් පිටවූ රදළ පුරාජේරුව නිසා වෙන්න ඇති.
==================================================
"ඔය තමුන් ළමයි හදපු හැටිතමා....ආදරේ කිය කිය නුවර යවන්නේ නැතුව ගමේ තියාගත්තා.ඔය ආදරේට ඒකි අපිට කරපු දේ තමයි.රටේ ලෝකේ වෙන මිනිස්සු නෑ වගේ පරම්පරා ගානක් අපිට කත් ඇදපු බඩහැළ පරම්පරාවෙන්ම මිනිහෙක් ඕනවුනා මේකිට."
"උන්ගේ අප්පට ලියුම් බෙදන රස්සාව හම්බවෙනකම්ම උන්ගේ පරම්පරාවම කලේ අපිට වළන් හදපු එක.එහෙම උන් මේ වනිගසේකර වලවුවෙන් හිරගන්න එන්නේ...උඹලගේ අප්පච්චි හිටියනම් අද ඕකුන්ගේ ගේත් ගිනි තියලා...වල්බල්ලෝ..."
"හොදයි....මම බලාගන්නම්කො උන් ගැන.මේ රිචර්ඩ් වනිගසේකර ගැන උන් තාම දන්නේනෑ.විශ්ව විද්‍යාලේ ගියහම මුන් හිතන්නේ හරි කෙරුමෝ කියල"
"අනේ දැන් ඕක නතර කරන්න...ඕක ඔහොම්මම නිවෙන්න දෙන්න.උඩ බලාගන කෙළ ගහන්න එපා....එහෙම උනොත් අපේ දරුවන්ටමයි හොද නැත්තේ"
"මේ කට වහගන්නවා...ඔහේගේ ඔය දරුහැවිකරේ තමා ඕකිට විනාසෙට හිටියේ.ඒවා මම බලා ගන්නම්.දැනවත් ඔහේ, ඔහේගේ දෝනියැන්දා ගැන බලා ගන්නවා"
==================================================
"උක්කුන්...දැන් මොකෝ බන් අයියට...?"
"ටිකට් කපලා ගෙදර ගෙනාවා...තැළුම් අමාරුව තමා තියෙන්නේ..."
"උඹලගේ අයියටත් පිස්සුනේ බන්...මෙච්චර කෙල්ලෝ ඉන්න රටේ චූටි මැණිකෙගේ පස්සෙන්ම ගියේ..."
"ඇයි...චූටි මැණිකේ කියල අලි පුකෙන් ආපු කෙල්ලෙක්ද? පලයන් වීරේ යන්න...උඹල ඔය හිතන විදිහ නිසා තමා හාමුකාරයා අපේ ඔළුවට චූ කරන්න එන්නේ....උක්කුන්ගේ අයියට කැමති කෙල්ලත් එක්ක යාළු වෙන්න බැරිනම් මේක උන්ටම ගිය රටනේ...."
"ඒ උනාට හාමුවා මහ එපා කරපු එකාළු බන්.නිකා හිතපන්,ඒකා උක්කුන්ගේ තාත්තට හරි අම්මට හරි කරදර කලොත්...?"
"උඹ ඕවා ගනන් ගන්න එපා උක්කුන්....බලමුකෝ හාමුවා මොකාටද එන්නේ කියල..."
"ඔවු දයාසිරි අයියේ...බලමු....අපිට කොච්චි කරලක් හැපුනහම දැවිල්ල මැකෙන්න සීනි ටිකක් දෙන්න එකෙක් හිටියේ නෑ.ඒ නිසා කොච්චි සැර යන්න අපි කෑවේ මිරිස්.හාමු ආපහු අපේ ගෙදර එකෙක්ට හරි අත තිබ්බොත් එදාට හාමුවගේ අවසානේ තමා...."
==================================================
"සමාධි...." ඇය ඔළුව උස්සලා බැළුවා.
"උඹ ලන්කාවට ඇවිත් දැන් සති 3ක්.ගමේ යන්න අදහසක් නැද්ද...?"
"ගමේ ගිහින් මොනවා කරන්නද?දැන් එහේ මට කවුරුත් නෑ කියලා උඹ දන්නවනේ"
"ඒ වුනාට එහේ දේපළ වලට මොනවා හරිකරන්න ඕනේ නේද,ඒ වැඩ වලට උඹ එහේ යන්නම ඕනෙනේ...."
"මම හින්දා එච්චර විනාශයක් වුන තැනකට මම කොහොම හිත හදාගන යන්නද සේශා....?"
"ඒවා වෙලා දැන් ගොඩක් කල් සමාධි....දැන් මේවා ඔක්කොම කරගන්න ඕනෙ උඹ තනියෙන්....උඹට තනියම යන්න බැරිනම් මාත් එන්නම්,චන්දිම අයියත් එක්ක...."
"අනේ ලොකු උදවුවක් සේශා....මට මේ සතියත් ඉන්න දීපන්.ලබන සතියේ වගේ දාගමු යන්න...."
==================================================
ආලෝකගේ පියාට අප්පච්චි ගහන්න ගිය හැටි,ඒ දිහා බලා හිටපු උක්කුන් අප්පච්චිට ගහපු හැටි,ඒ වෙලාවේ ආච්චි අම්මා පපුවේ අමාරුවක් හැදිලා මැරුණ හැටි,මේ නිසා වියරු වැටුන අප්පච්චි සහ මැරයෝඋක්කුන්ට ගහල ආලෝකලගේ ගේ ගිනි තියපු හැටි,ඒ පහරදීම නිසා උක්කුන් මියගිය හැටි,ආලෝකලා ගම රට අතැරලා ගිය හැටි,අප්පච්චි අවුරුදු 12ට හිරේ ගිය හැටි,තමා අවුරුදු 2ක් තිස්සේ මානසික ප්‍රතිකාර ගත්තු හැටි,නැන්දා විසින් ඇයව කැනඩාවේ පිහිටි තමාගේ නිවසට රැගෙන ගිය හැටි,උත්තරා තමාගේ දේපළ විකුනා අම්මාද කැටුව කොළඹට ගිය හැටි,අප්පච්චී හිරේදී මියගිය හැටි සමාධිගේ මනසේ සිතුවම් පෙලක් සේ ඇඳෙන්න වුනා.
===============================================
"මේ පැත්ත ගොඩ වෙනස් වෙලා අයියේ....ඉස්සර මේක පොඩි කඩ මණ්ඩ්යක්.ඒත් දැන් ටවුමක් වෙලා.ඔය ඔතන බෝක්කුව තියන තැන තමා ඔය නොතාරිස් ඔෆිස් එක තිබුනේ.ඒත් දැන් එතන කඩ පේළියක්නෙ තියෙන්නේ....."
"අවුරුදු 12ක් කියන්නේ පොඩි කාලයක් නෙමෙයිනේ.....චන්දිම අයියේ.....ඔය කඩේකින් අහමුද? ටිකක් වයසක කෙනෙක් ඉන්න තැනකින්.ඒ අය මොනව හරි දන්නවා ඇතිනෙ....."
"මම ගිහින් අහන් එන්නම්....මොකද්ද ඒ ලෝයර්ගේ නම කිවුවේ නන්ගී....?"
"වීරසේකර කියල අයියේ...."
"සමාධි....අර බලපන්කෝ...." ඇය බලා හිටියේ තරමක් විශාල කඩයක් දිහා.
සමාධී අත්කම්මැදුර
"මොකද...මගේ නම තියන නිසාද?"සේශා ඔළුව වැනුවා
"මේ පැත්තේ සමාධිල හිටියේ මම විතරද?උඹත් නිකන් පොඩි එකෙක් වෙන්න හදනවා"
"ඒ වුනාට ඒ කඩේ මේ පැත්තට නොගැලපෙන ගතියක් තියනවා.බලපන්,ඒකේ තියෙන්නේ මහ රිච් ලුක් එකක්.වරෙන් ටිකක් ඔළුව දාලා එන්න"
"අනේ මේ නිකන් හිටපන් සේශා....දැන් චන්දිමයියත් එයි."
"එයාව මම ශේප්කරගන්නම්.උඹ වරෙන්කො යන්න.බලපන් අර ක්ලේ වාස් දිහා.මාර ක්‍රියේට්වු .වරෙන්කො යන්න"
ඇත්තටම ඒ කඩේ ඇතුල සුරන්ගනා ලෝකයක් වගේ කියල සමාධිටත් හිතුනා.හරියට වැනීසියේ වීදුරු බඩු හදන තැනකට ගියා වගේ.මැටි වලින්,පාශාන වලින් හදපු නිර්මාණ,ලී කැටයම්,බතික් නිර්මාණ වගේ ගොඩක් දේවල් සමාධිගේ හිත පිරෙවුවා.ඔවුන් යන කොටත් විදේශිකයන් කීපපොළක් කඩේ ඇතුලේ සක්මන් කරනවා ඔවුන් දැක්කා.සමාධිත් මල් වත්තක අතරමන්වුන සමනළයෙක් වගේ කඩේ ඇතුලේ රවුම් ගහන්න වුනා.ගමරාළයි ගම මහගෙයි ඔළුව වනන කුඩා රූකඩ අනුරුවක් අතට ගත්ත සමාධි,ඒකේ ගනන් අහන්න විදේශිකයකුට භාන්ඩ පෙන්වන කඩේ සේවකයෙක් ලඟට ගියා.
"එක්ස් කියුස් මී....මට මේකේ....."වාක්‍ය සම්පූර්ණ කරගන්න කලින් ඔහු සමාධි දෙස හැරුනා.
"සමාධි....නන්ගී....."
"දෙයියනේ...ආලෝක....."
මුළු ලෝකයම කැරකෙනවා වගේ සමාධිට දැනුනේ.
"ඔයා කොහේද නන්ගියේ මෙච්චර දවසක් හිටියේ.....මම ඔයාව කොච්චර හෙවුවද?"
"අනේ අයියේ....ඔයාට කොහොමද දැන්?ඔයා මේකේද වැඩ කරන්නේ...?"
"එන්න...අපි යමු ඔෆිස් එකට.අර ඔයාගේ යාළුවෝ දෙන්නටත් එන්න කියන්න..."
"ඉඳගන්න....."
"සේශා...මේ තමා ආලෝක.....ඔයාට කොහොමද අයියේ දැන්...?"
"මේ කඩේ මගේ....මම ඔයාව කොච්චර හෙවුවද නන්ගි.....මට හොයා ගන්න බැරිවුනා....පස්සේ දැනට අවුරුදු 3ට විතර කලින් තමා මම මේ කඩේ මෙතන දැම්මේ....මගේ හිතේ පොඩි බලාපොරොත්තුවක් තිබුනා ඔයා කවද හරි මේ ගමට එයි කියලා..."
"මම ආපහු මෙහාට එන්න හිතුවෙවත් නෑ අයියේ....දැන් මම ලන්කාවේ නෑ.දැන් ආවෙත් මේ දේපල නිරාකරනය කරලා ආපහු යන්න...ඒත් අර ලෝයර් වීරසේකර හම්බවෙන්න බැරිවුනා.අපි මේ එයාව හොයන ගමන්"
"මම දන්නවා දැන් එයා ඉන්න තැන.දැන්නම් එයා වැඩ කරන්නේ නෑ.අපි ගිහින් බලමු.මමත් එන්නම් පාර පෙන්නන්න....ඉස්සල්ල අපි මොනව හරි බීලා ඉමු....ඉන්න පොඩ්ඩක්...."
එහෙම කියපු ආලෝක කාමරෙන් එළියට ගියා.
"මොනවද බන් මේ උනේ...."
අදහන්න බැරුව හිටපු සේශා සමාධිගෙන් ඇහුවා.ඒත් උත්තරයක් වෙනුවට සමාධිගේ ඇස් වල තිබුනෙත් විශ්මය එකතුවුන අසරන කමක්.
"ආ...මේක බොන්න...ඔයගොල්ලොත් ගන්න නන්ගි....."
"සමා...මායි,චන්දියි පොඩ්ඩක් ශොප් එකේ ඇවිදල එන්නම්.ඔයගොල්ලො කතා කරන්න"සමාධි මුකුත් කියන්නත් කලින් ඔවුන් කාමරෙන් පිටවුනා.
"ඔයාගේ ජීවිතේ කොහොමද දැන් නන්ගී....ඔයා බැන්දද?"
ඒ අහපු විදිහට සමාධිට හිනායන්න ආවත් ආයාසයෙන් ඒක නවත්ත ගත්තා.
"තාම නෑ අයියේ....ඔයා....?"
ආලෝක අසරණ විදිහට හිනාවුනා විතරයි.
"ඒ සිද්දවුන දේවල් වලින් පස්සේ අම්මයි ,තාත්තයි එච්චර කල් ජීවත්වුනේ නෑ නන්ගි.පස්සේ මම කැම්පස් අවුට් වෙලා NGO එකක වැඩකලා.පස්සේ තමා මේ පැත්තේ රස්සා නැති කෙල්ලො කොල්ලන්ට මොනව හරි කරන්න ඕනෙ කියල මේක පටන් ගත්තේ.මෙතන තියන බඩු වලින් ගොඩක් ඒ අය හදන ඒවා..."
"ඒත් ඇයි මේකට අර නම දැම්මේ....?"
දෙන්න තරම් උත්තරයක් ආලෝකට තිබුනේනෑ.දැන ගන්න තරම් උත්තරයක් සමාධිට තිබුනෙත් නෑ.
"එන්න අපි යමු....මම පෙන්නන්නම් වීරසේකර මහත්තයගේ ගෙදර...." නිශ්ෂබ්දතාවය බිඳින්න වගේ එහෙම කියමින්ආලෝක නැගිට්ටා.
===============================================
"දැන් මොකද්ද උඹේ තීරනේ....?"
"මට මුකුත් හිතාගන්න බෑ සේශා...මේ මම හීනෙන්වත් බලාපොරොත්තු නොවිච්ච දෙයක්"
"උඹලා දැන් පොඩි එවුන් නෙමෙයි.....උඹල දෙන්නටම දැන් උඹලගේ කියල කිසි කෙනෙක් නෑ...ඒ නිසා ආපහු එකතු වෙන්න කිසි බාදාවකුත් නෑ...ඉතින් මොනවද තව හිතන්නේ...?"
"මට අලෝක එක්ක එකතු වෙන්න හිත හදාගන්න බෑ සේශා.මට බයයි එහෙම වුනොත් අප්පච්චි,ආච්චි අම්මා,ආලෝකගේ මල්ලි අපේ ජීවිත අතරට එයි කියල.එහෙම උනොත් මට කවදාවත් නිවනක් නැතිවෙයි....ඊට වඩා මම මේ ගෙවන ජීවිතේ මට හොඳයි සේශා.....මම ආපහු කැනඩා යනවා.අනිත් ඉඩම් විකුනනවා.මහගේ ආලෝකලට දෙනවා,ගමේ කෙල්ලන්ට කොල්ලන්ට ට්‍රේනින් සෙන්ටර් එකක් හදන්න කියලා..."
"එතකොට ඒකද උඹේ අවසාන තීරනේ...."
"ඔවු සේශා....අපේ ආදරේට මෙච්චර කාලෙකට කිළිටක් එකතුවුනේ නෑ....තව ඉස්සරහට එකතු වෙන්න ඕනෙත් නෑ....අපි මැරි කරලා අපේ අතීතේ නිසා දුක් විදින්න ඔනෙත් නෑ....ඒ නිසා මේක තමා හරි තීරනේ...."
මුකුත් නොකියපු සේශා නැගිටලා ජනේලෙ ගාවට ගිහින් මිදුල දිහා බලන් හිටියා.....
ඒ විදිහට නැතුව මේ විදිහටත් පුළුවන්.....
"ඉළන්දාරි පේඬිගේ අරුණ ආලෝක වන මම මෙහි සිටින බණ්ඩාරනායක වණිගසේකර මුදියන්සේලාගේ සමාධි තිසරන්ගී යන අයව මාගේ නීත්‍යානුකූල භාර්යාව වශයෙන්..........
චන්දිම දිහා බලපු සේශා ආදරනීය හිනාවකින් ඔහුට සන්ග්‍රහ කලා.
මේ විදිහට වුනත් ඉවර වෙන්න බැරි කමක් නෑ.
"ආලෝක අයියේ...."
"සමාධි....කොහේ යන ගමන්ද මේ...?"
"මෙහෙමයි ආවේ අයියේ...."
ප්‍රශ්නාර්ත ලකුනකින් මුව සරස ගත්තු ආලෝක සමාධි දිහා බලාගන හිටියා.
"මම ලබන 23 ආපහු යනවා අයියේ.....ඊට කලින් මගේ වෙඩින් එක මෙහෙදි ගන්න හිතුවා....මේ මාසේ 17.මේ කාර්ඩ් එක දෙන්න ආවේ.පුළුවන්නම් මට සමාව දීලා වෙඩින් එකට ඇවිත් යන්න එන්න....."
ආරාධනා පත මේසය මත තැබූ සමාධි ආලෝකගේ අසරණ මූණ මගහරිමින්,තමන්ගේ දිදුළන දෑස් ඔහුට නොපෙන්වාම ආපසු යන්නට හැරුනා..........
-නිමි-
කටුස්සා.....
Thursday, January 1, 2015
තෘප්තිය.....
උදේ නැගිට්ට වෙලේ ඉදන් කල්පනා කලේ මොනවද මට ඕනේ කියලා.
"සිරාවට උඹටමොනවද ඕනේ...?"
"මුකුත් එපා"
"ඇත්තටම උඹට මුකුත් එපාද?"
"ඕනෙ"
"එහෙනම් එපා කියන්නේ...?"
"මට ඕන දේවල් ඔක්කොම ගන්න ගියොත් තියාගන්න ඉඩ මදි වෙයි"
"ඉතින්..."
"ඉතින් මම ආස නෑ බඩු ගොඩක් මැද්දේ ජීවත් වෙන්න.මට ඕනේ හොදට ඉඩකඩ තියන තැනක අතපය දිග ඇරල ජීවත් වෙන්න.කිසිම දෙයක් ඇඟේ ගෑවෙන්නේ නැතුව ජීවත් වෙන්න"
"එහෙනම් පොඩි පොඩි දේවල් ටිකක් ඉල්ලන්න,දෙවියන්ගෙන්....."
"හ්ම්ම්ම්.... ඒත් එපා...."
"ඇයි?"
"මම පොඩි පොඩි බඩු වලට ආස නෑ.මට ඕන හොඳට අතට අහුවෙන ඒවා.මම පොඩිකාලේ ඉදන්ම පොඩි බඩු වලට ආස නෑ..."
"එතකොට උඹ උඹේ පොඩි කාලෙට ආසත් නැද්ද?"
"නෑ...පොඩ්ඩක්වත් නෑ....ඒ කාලේ මට ඕන කරන දේවල් ඔක්කොම මම ඉල්ලලම ගන්න ඕනෙනේ....කිසිම දෙයක් මට ගන්න බෑනේ...."
"එතකොට දැන් උඹට ඕන කරන හැම දෙයක්ම දැන් උඹට ගන්න පුළුවන්ද?"
"බෑ"
"ඇයි?"
"හේතු දෙකක් නිසා
1.මට ඕන කරන හැම දෙයක්ම විකිණන්නේ නැති නිසා.
2.විකුණන හැම දෙයක්ම මට ඕනෙ නැති නිසා."
"ඒ කියන්නේ දැන් ගෙවන ජීවිතේ ගැන උඹ තෘප්තිමත් නැද්ද?"
"නෑ"
"ඉතින් උඹ උඹව තෘප්තිමත් කරගන්නේ කොහොමද?"
"මම හැම වෙලාවෙම මාව තෘප්තිමත් කරගන්න හදනවා.ඒක මාර ජොලි"
"ඒත් ඒක හීන ලෝකයක්නේ.ඒක හරියට ඇස් වහන් ස්වයන් වින්දනයේ යෙදෙනවා වගේ වැඩක්.ඇස් ඇරිය ගමන් ඔක්කොම ඉවරයී.ඒකේ මුකුත් නෑනේ"
"ඇයි නැත්තේ.ඇස් වහන් ඉන්නකන් මම තෘප්තිමත්නේ."
"ඒත් ඒක තාවකාලිකයිනෙ?"
"සදාකාලික තෘප්තිමත් භාවයක් මේ ලෝකේ නෑනේ"
"ඒත් එහෙම එකක් තිබ්බනම් උඹ පරාජිතයෙක්නේ"
"ඒත් නෑ...එහෙම එකක් වුනානම් වෙලඳපොළ සන්කල්පයක් කියන එක නෑනේ.එතකොට මට කිසිම දෙයක් සන්සන්ධනේ කරන්න ඕනේ නෑනේ"
"එතකොට අනිත් මිනිස්සුන්න්ට වගේ උඹට හීන නැද්ද?"
"තියනවා "
"මොනවද?"
"මට පැනලා යන්න ඕනේ,බඳින්න ඉන්න එකී එක්ක"
"ඒ මොකටද?"
"එතකොට හැමෝම කතා වෙනවනේ"
"ඒත් ඒකේ අමුත්තක් නැනේ.ඔය ඕන තරම් එවුන් පැනල යන්නේ"
"මට ඕනේ ගෙවල් වලින් කැමත්ත ලැබිල වෙඩිමට දිනත් දාගත්තට පස්සේ පැනල යන්න"
"ඒ මොන මගුලකටද?"
"ඒකටම තමයි.එතකොට හැම එකාටම ප්‍රශ්නේ ඇයි එහෙම ගියේ කියලනේ.මම ආසයි හැම එකාටම ප්‍රශ්ණයක් වෙන්න"
"මොකටද?"
"හීන වලට හේතුවක් තියෙන්න ඕනෙද?"
"තිබ්බනම් හොඳයි නේද?"
"තිබ්බේ නැති වුනත් ප්‍රශ්ණයක් නෑනේ"
"අඩුම ගානේ උඹ ලස්සන කෙල්ලෙක්ටවත් කැමති නැද්ද?"
"කැමතියි....හැබැයි ඇදකුත් එක්ක"
"ඒමොකටද?"
"ඒකිට නිදා ගන්න"
"ඇයි උඹේ ඇද?"
"ඒක මගේ.මම කැමති නෑ කවුරුත් ඒකේ නිදියනවට.කවුරු හරි මගේ ඇඟේ ගෑවෙන කොට මට නින්ද යන්නේ නෑ"
"ලස්සන කෙල්ලෙක් එක්ක නිදාගන්නේ කවුද?"
"ඒ වුනාට ඒකිත් එක්ක හැමතිස්සෙම ඇහැරගන ඉන්න බෑනේ"
"ඒත් ඇදවල් දෙකක නිදාගන්න මිනිහෙක් එක්ක යන ගෑනි කවුද?"
"ඒක මට අදාල නෑනේ.මම කිවුවේ මට ඕන ජාතිය ගැන.ඉන්නවද නැද්ද කියන එක මට අදාල නෑ"
"ඒත් ඉතින් එහෙම බැළුවොත් උඹ හැම තිස්සෙම අතෘප්තිමත් මිනිහෙක්නෙ?"
"මට ඕනෙ නැති දේ අරගන තෘප්තිමත් වෙනවට වඩා ඕන නැති දෙයක් ප්‍රතික්ශේපකරලා තෘප්තිමත් වෙන්න මට පුළුවන්"
"ඒ වුනාට අනුවර්ථනය ප්‍රතික්ශේප කරපු සත්තු වඳවෙලා ගියා"
"ඒත් උන් එහෙම වඳවුනේ කැමත්තෙන් වෙන්න බැරිද?....අකමැත්තෙන් වෙනස් වෙනවට වඩා කැමත්තෙන් වඳවෙලා යන්න උන් කැමති වෙන්නැති"
"එතකොට උඹ උඹේ ජීවිතේ ගැන තෘප්තිමත්ද?"
"හ්ම්ම්.....ගොඩක් දුරට"
"තේරුම...?"
"මට මේ පැන පැන යන ජීවිතේ එපා වෙලා.තැනකින් තැනකට,එකියෙක්ගෙන් තව එකියෙක්ට,රස්සාවෙන් රස්සාවට.....මට ඒක එපා වෙලා"
"එතකොට උඹට ඕනෙ මොකද්ද?"
මට ඕන පියාඹන්න..තැනකින් තැනකට,එකියෙක්ගෙන් තව එකියෙක්ට,රස්සාවෙන් රස්සාවට .......පනින්නේ නැතුව පියාඹන්න......................................................මම හොයාගත්තා මට ඕන දේ.....මට ඕනෙ පියාඹන්න.........
මට ඕන පියාඹන ගෙම්බෙක් වෙන්න................"
කටුස්සා.....
Subscribe to:
Posts (Atom)


.jpg)

