Monday, May 4, 2015
විපිළිසර
දසතින්ම ගුමු නදය
නිදි නැතිය ජනපදය
අක්කාගේ පොඩි පුතුට
උනුහුමකි ඇගෙ තුරුල
මගෙ පසෙක බොල් හඩින්
කහින්නේ අම්මාය
අනික් පස දගලනා
කකුල් දස දොලසක්ය
රාත්‍රිය මෙයම විය
හැටේ වත්තේ අපට
නිදි නොමැති ඇගෙ සුසුම්
නිවන වෙන මගක් වෙද
වැඩකරන ට්‍රැක්ටරය
කුණු ගන්න ගිය දිනක
කුණු රැගෙන දිව ආපු
හාමුගේ සුරතලිය
එදා දුටු සා නෙතුය
බිඳ දැමුවේ මගෙ සිහිය
ඇත්තමයි මහතුනේ
හමුවුනේ ඉද හිටය
ඒද අප මැදින් උන්
තාප්පෙක දෙපසින්ය
හඳපානේ එන තෙක්ම
ගැටුනෙ නැත ඇගෙ සුරත
කැන්දගන එන තුරුම
දන්නෙ නැත අප නිවස
ගෙනා බෝතල් පහෙන්
නිමා විය මගුල්ගෙය
මධු සඳට නිගාදුන්
පළමු රැය උදා විය
නිදාහුන් ඇය දෙපස
අක්කගේ පොඩි උන්ය
බලා ඒ දෙස නොබල
පුරුදු තැන දිගා විය
ඒ ලෙසින් සතියක්ම
මහතුනේ නිමා විය
නොදුටු කෝමල වතක
සිහිනෙනුත් පෙනෙන සඳ
හැඟුම් සිර කරනු වස්
යදම් බැඳ ලනු හැකිද
අඩි පහක් දුර නැතිය
ඇය නිදන පැදුර මට
යොදුන් ගනනක දුරකි
පොඩි එවුන් අතර මැද
ඇවිලෙනා රාග සිත
නිවන වෙන මං නොවිය
රූම් දෙන තැනක් මිස
කොහිද මට පිළිසරණ
හොරෙන් වට පිට බලන
කපල් මැද එඩිතරව
පියමැන්නෙ මධු සඳට
ඇගේ අත අත් නොහැර
විලිබරව රතු වෙච්ච
ඇගේ වත සිඹින විට
මහ හඩින් තඩිබෑවේ
කලු මහත සාජන්ය
වරෙන් වේසියෙ යන්න
කියන විට ඇයට හඬ
වේසියක් නොවෙයි ඇය
පැවසුවා මගේ මුව
ඒ හාම මගෙ මුහුණ
මත ඔහුගේ රළු අත්ල
කොතෙක් පැවසුවත් අප
නැවතුනේ මෙතනින්ය
නොදෙනු මැන තව නිගා
සා දෙනෙත අසරණය
මෙවන් කටුසර බැනුම
ඇයට තව හුරු නැතිය
මේ නුහුරු සෙයිලමේ
ඇයට වෙන පිහිට නැත
ඇය දන්නේ මා පමණි
මෙතන මා අසරණය
වෘක නෙතු අතර මැද
දමා යා නොහැක ඇය
නොමැතිනම් එක පැයෙන්
ගෙනත් දෙමි සහතිකය
බොරු නොමැත පවසාපු
කතාවේ කිසිම තැන
මහතුනේ පිහිට වනු
නුඹල බුදු වෙයි දිනක
-කටුස්සා-
*****නිමිත්ත හොරකම් කලේ මනෝශ්ගේ කොළොම්පුරේ පෝස්ට් එකෙන්*****
Labels:
වැට නැති කවි
Subscribe to:
Post Comments (Atom)
බෝඩිමක් හොයාගෙන ටොරින්ටන් හැටේ වත්තට ගිය හැටි මතක් වුනා. කුකුල් කූඩුවල මිනිස්සු ඉන්නවා. කුරුඳුවත්තේ හැටේ වත්ත හරි අපූරු තැනක්. ඒ අපූරුව පේන්නේ එළියෙ ඉන්න අපිට. ඇතුලෙ ඉන්න මිනිස්සුන්ට ඊට වඩා නිදහසක් ඕනෙ ඇති. ඒත් කොළඹ මැද්දෙම නිසා දාල වෙන තැනකට යන්න හිතෙන්නෙත් නැතුව ඇති. කොහොම උනත් කවියෙ ලියවුනු තාලෙට මම පට්ට කැමතියි ....... !
ReplyDeleteඋඹට හැටේ වත්ත වගේම ඔබේසේකර පුර,බණ්ඩාරනායක පුර මට ගොඩක් හුරුතැන්වුනා කාලයක්.ඒ දවස්වලනම් මට ඒ ජීවිතවල අපූරු චමත්කාරයක් පෙනුනේ.තාමත් මම ඒ ජීවිතවලට කැමතියි.හැබැයි හැමදාම ජීවත් වෙන්නනම් නෙමෙයි.මොනවා උනත් ඒ මිනිස්සුන්න්ට ඔය ජීවිත වලින් ඈත් වෙන්න බැරිකමක් තියනවා.ගොඩක්ම ඒකට බලපාන්නේ ජීවන වෘත්තිය.ඇග වෙහෙසලා විතරක් හම්බකරන්න දන්න ඒ මිනිස්සු ගම් මැද්දට ගිහින් කොහොම ජීවත් වෙන්නද?
Deleteඅඩෝ පට්ට ම පට්ට බන්....
ReplyDeleteසුපිරි බන්....
මේ රූපෙ ලියල තියෙන්නෙ මං ලියන්න හිතාපු කොමන්ටුව
Deleteරූපේ,සාරිකා දෙන්නටම තැන්කු කිවුවා.
Deleteගද්‍යෙයන් = ඉවාන්
ReplyDeleteපද්‍යයෙන් = කටුසු
දැන් මම මුරුන්ගා අත්තේ කොයි හරියෙද?
Deleteටොප් බං නිර්මාණය. අපි රස්සාව කරන අවට පරිසරයෙත් ඇත්ත තත්වය ඕහොමයි. කලින් අවශය තාවය කියල අනික් උන් එලියට යවන්න වෙනවලු .
ReplyDeleteඕක එහෙමයි වෙන්නේ කියල මම අහල තිබුනේ නෑ මේක ලියනකම්ම.ඒත් මනෝශ්ගේ පෝස්ට් එක කියෙවුවට පස්සේ නිකමට කල්පනා කලා යකෝ,මුන් කොහොමද මේ වැඩේවත් නිදහසේ කරගන්නේ කියලා.අඩේ ඒ අතින් උඹලා අපි පිං කරලා නේද කම්මලේ.....
Deleteකසුට්ටා......................
ReplyDeleteමේ තමා මහපොළවේ යතාර්ථය.... අපි ඉතින් අහස අල්ලන්න හදනවා.... ලක්ෂ පනහේ මගුලුත් තියෙනවානේ දැන්....
වෙඩින් ගැන කතාකරන්න එපා කුරුට්ටෝ....සමහර ඒවට ගියහම හිනාවෙලා කතාබස් කරලා එනවා තමයි.ඒත් හිතේ තියෙන්නේ අපුලක්.අපි තමන්ගේ සතුටගැන,සමාජ තත්වය ගැන හිතන්න ඕනේ තමයි.ඒත් මේ රටේ කන්න අදින්න විදිහක් නැතුව ඉන්න මිනිස්සු ලක්ශගානක් ඉඳිද්දී මිලියන ගනන් වෙඩිමකට වියදම් කරන එක සාධාරනද කියලා හිතන්න ඕනේ තමන්මයි.
Deleteසුපිරිම සුපිරි කටුස්සො. උඹ කවි ලියන්නෙ අනිත් උන්ට අහුවෙන්නෙ නැති කෝණ වලින්. මම ඒකට හෙන කැමතියි.
ReplyDeleteජය වේවා!!!
ඔය දිරි ගැන්වීම් මට ගොඩ වටිනවා.ස්තූතියි උඹට.
Deleteනියමයි බං.. මොනවා කියන්නද හිතා ගන්න බෑ.. අන්තිමේ උඹ කවිය මෙහෙම තැනකින් නවත්තයි කියලා හිතුවේ නෑ..
ReplyDeleteජීවිතේ වැඩිම කාලයක් අරගන ලියපු කවිය.දවස් 6ක්.තිබුන වැඩත් එක්ක.කොහොම වුනත් නවත්තන්න ඕනේ තැනනම් කලින්ම හිතේ ඇඳිල තිබුනා.
Deleteඇඩෙනවා බං
ReplyDeleteඋඔගේ හැකියාව එල ද බ්‍රා
අති විශිෂ්ටයි මචං කියන්න වදන් නෑ මාව හෙල්ලිලා හිටියා
ඒ ජීවිතේට මම කැමතියි කිවුවහම උඹත් මා එක්ක ඒ මතේම හිටියා.ඒත් ඒ ජීවිත වලම මෙහෙම පැත්තකුත් තියනවා කියලා පස්සේ තමයි මටත් හිතුනේ.
Deleteඉස්සර මට ඔය ගොරහැඬි කටහඬින් කතා කරන 'හ'යන්න වෙනුවට 'අ'යන්න ශබ්ද කරන කිසිම අංගපුලාවකට නැති 'කොළඹ' උන් දකිනකොට මල පනිනවා. ඒත් දැන් ඒ ජීවිතත් එක්ක වැඩිපුර මුහු වෙන්න ලැබිලා උන්ගේ ඇතුල් පැත්ත මේ වගේ දකිනකොට දැනෙන්නේ ලොකු අනුකම්පාවක් කණගාටුවක්. මිනිස්සු ජීවත්වෙන පරිසරය ඒ මනුස්සයාගේ ජීවිතේ කොච්චර වෙනස් කරනවද? උඹේ නිර්මාණය මට හිතන්න දේවල් ගොඩක් ඉතුරු කරා.
ReplyDeleteගමේ උනත්,නගරේ උනත් දුක් විඳින මිනිස්සුන්ගේ කතන්දරේ එකමයි.ඒත් මේ මිනිස්සුන්ට මහ දරුණු විදිහට නිදහස කියන දේ,පෞද්ගලිකත්වය කියන දේ නැතිවෙලා අනුකම්පා හිතෙන විදිහට.
Deleteඋපරිමයි බං.. මෙන්න මිනිස්සු නොදකින පැති... කට්ටිය නිදාගන්නකල් ඉන්න, ළමයි ඉස්කෝලෙ යනකල් ඉන්න, සද්දෙ ඇහෙනවට සද්දෙට රේඩියෝ දාගන්න මිනිස්සු අතරෙ මේ මිනිස්සුන්ට විකල්ප ඉතුරු වෙලා නෑ. සමාජ ප්‍රශ්ණ. මිනිස්සුන්ගෙ මූලික අවශ්‍යතාවයක් කප්පාදු වෙන විදිය දැක්කම ජීවත් වෙන්නෙ මොකටද කියල හිතෙනවා එක අතකට බැලුවම...
ReplyDeleteඒ මිනිස්සුත් කොච්චර අකමැතිවුනත් ඔය ජීවිතේ ගෙවන්නම වෙනවා බංපණ ගැටගහගන්න.2005දි ඉස්කෝලේ යාළුවක් ගේ විකුනලා වෙනම පදිංචියට ගියා.ගත්ත අය ගේකඩලා තිබුනා අපි ඒ පැත්තේ ගිය දවසක.ඒ තිබුන ඉඩ ගැන ඇතිවෙච්ච පුදුමෙටම අපි ඒ ඉඩම මැන්නා.10*8 කෑල්ලකුයි 6*5 කෑල්ලකුයි විතරයි මුළු ගෙදරටම.ඒ පවුලේ 5 දෙනාම ඉදලා තිබුනේ ඒ වපසරිය ඇතුලේ.
Deleteකතා ගොඩක් එකට ලියලා තියෙන අපූරුව කටුසු පස්ටයි
ReplyDeleteතැන්කූ වේවා ඔමා....
Deleteකටුස්සෝ... ඔන්න ඕකත් මට කියාගන්න ඕනි උනා. ඒත් මට බැරිවෙච්ච දේ උඹ හරි අපූරුවට ගලපල.උපරිමයි මචං. උපරිමයි. හැමෝටම දැනෙන්න ලියල තියෙනවා. ඔන්න ඔය ජීවිතේ ගැන දැනෙන අපුල, කලකිරීම නිමක් නෑ බං. ඒ අහිංසක මිනිස්සු ගැන දැනෙන වේදනාව කියාගන්න බෑ.
ReplyDeleteතැන්කූ මචෝ...
උඹටත් තැන්කු ෆැන්ටසියෙන් මාව ඇදලා දාලා වෙනස් විදිහකට බලන්න යොමුකලාට.පෝස්ට් එකට වඩා උඹ දාපු කමෙන්ට් එකේ "පෞද්ගලිකත්වය"කියන වචනේ තමයි මේ පෝස්ට් එකට නිමිත්තවුනේ
Deleteලස්සනම ලස්සනයි කසුට්ටෝ......
ReplyDeleteසබරේ ඇනෝ