රැයක් එළිවන තරුත් සැඟවෙන ලොවම සැතපෙන මැදියමේ
නිදිවැදුන මුදු වසන්තය ඉකිගසා වැලපෙන කම්මලේ
අගක් නොදකින සිතත් කළඹන නැගෙන රළු හඬ යන්තරේ
නුඹේ හදවත ගයන ගීතය සොරාගත්තද මල්ලියේ
පාන් කාලයි කෙසල් ගෙඩියයි දනියි නම් කුසගිනි නුඹේ
වතුර හොද්දයි නාඩු හාලයි ගනියි වෙන වෙස් දහවලේ
කඳුළු හෙලනට තහනම්ව ඇති පිරිමි හදවත දහවලේ
හෙලන කඳුළුද බිංදු දා ලෙස සිමෙන්තිය මත දිලිසුනේ
අට පැයක වැඩ මුරය ගැන කිසි දින අසා නැති වැඩබිමේ
දවස් ගානට වැටෙන පඩි පත නුඹේ ගත වෙත සවිය දේ
ගම් පියසෙ හීනෙනුත් හිනහෙන පෙම්වතිය ගැන නිනවුවේ
තට්ටු ඇඳ මිස නුඹේ පෙම් ලොව දුටුවෙ කවුරුද මල්ලියේ
වැඩ ඇඳුමටම භුක්තිවුන කය නොදුටු රසතැන් දහවලේ
ලාභ මල් පැණි අතර සරමින් සොයන නුඹ ගන කළුවරේ
සිහිවෙනා විට උරයෙ රැඳි බර නොදකිනා සිහිනය රැයේ
කවද කොතනද දකින්නේ නුඹ නෙතු පියා සුව සහනයේ
නුඹත් සමගින් අකුරු කලවුන් සරද්දී පර්මිට් ලොවේ
නුඹේ දහඩිය පවුල් බර මත කාසියට අඩු ලංසුවේ
දහස් ගණනක සුසුම් කැටිවුන උන් පැදන්යන රියසකේ
අතර සිරවී කැරකුනේ දිවියමයි නුඹලගෙ පැල්පතේ
කපටි ඇඳුමින් වසා නිරුවත හිනහුනේ උන් පෙරදිනේ
රජ කරන්නයි උඹව හෙට දින උඹට හිමිනැති උඹෙ රටේ
ලබාදුන් යස ඉසුරු උඩ උඹ තැනුව මාලිග මන්දිරේ
නැකත එනතුරු ගෙට වදින්නට නොහැක නුඹලට කිසිදිනේ
කෝල සිනහව ලාභ කිංකිණි අතර සැගවෙන සෙයිලමේ
අයාලේ යන සිතුම් කැටිකර තොග මිලට විකුණන වෙලේ
අසංවර සිත අතර පියඹන සමණළුන් පෑ මදහසේ
අරුත් සොයනට නිබද ලතැවුන නුඹෙ සිතයි මෙහි පොඩිවුනේ
ටච් පෑඩ් මත දුවන දසැඟිලි උදය දහවල මහරැයේ
නොවිදිනා මුදු මෙලෙක හදවත හදුනයිද දහඩිය රසේ
තුනම සීයට විකුණනා රතු ඇපල් මළු ඇති මාවතේ
වාරු ඇතිවෙද දනින් නොවැටී ඇවිද යන්නට දිවිමගේ
කටුස්සා....




