To Mr.President 01
To Mr.President 02
තාලය -"තුමුළ නමුනුකුල ගිරිහිස" ගීතය අනූවය .
බබා සේ හිටං ඉඳහිට සරම ගෙන කරට සද්දෙට
රැවටුවා තමයි
කිමද මේ තරම් ඒ ගැන අපිට ඇඬෙන කාරණා
මුහුණ රතුවෙලා හයියෙන් දැඩි තීරණ හිරකරගන
ඔහොම තටමනාකොට උඹ ලස්සනයි සිරා
හිජකුපාම නීලකාස කෙල හලනා විට පක්ශෙට
හැ(ඇ)ට දෙකට වඩා පක්ෂය ලොකුවුනිද සිරා
පරාද උන් ගෙන වටේට උදවුකල පවට කෙලවන
ගුණේ නොදන්නා ජනපති උඹ වෙයිද සිරා
කන්ද උඩරටින් දිදුලන තට්ට ගොබිල ඔලුගෙඩි ටික
උඹට පිහිටවෙයි කියලා හිතනවද සිරා
උඹට ඡන්දේ දුන් හේතුව අමතකව ගියොත් උඹහට
පිච්ච මල් සුවඳ වළ ලඟ ඉතිරිවෙද සිරා
කටුස්සා....
හිජකුපාම - හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී
ප.ලි-
"
හිජකුපමා නීලකාස"
වචනයේ අයිතිය රවී අයියා සතුය. කතෘ භාගය හමුවූ දිනක ගෙවන බලාපොරොත්තුවෙන් උපුටාගන්නා ලදී.
මතකයිද ඒ කාලේ....
වෙලාවක් කලාවක් කිසිවිටක නොම තිබුන
නුඹට රිසි හැමවෙලේ මන පුරා නුඹ රැඟුව
ඒ රැඟුම් දරණුබැරි සිතක් කවි පද බැන්ඳ
කියවමින් ඒ කවිත් ලිවුවේ කාටද ඇසුව
මතකයිද ඒ කාලේ....
මා වෙතට කිසිදිනක එන්නේම නෑ කියපු
යන්න හැදු විට පිටව පරලවී මට බැනපු
ජීවිතය වී මගේ දිවිය විසිතුරු කරපු
ගෙවෙන හැම තප්පරෙම මට තුරුලු වී හිටපු
මතකයිද ඊයේ ඔබ....
අසන්නට දෙයක් ඇත තරහවෙනු බෑ හොඳද
තරහාවුනොතින් ඔන්න මරනවා හපලා මම
ලියපු හැම අකුරකම පෙර දිනක මා සිටිය
දැන් කොහිද ඒ අකුරු ආදරය මදිවීද
දන්නවද....
හරිම බර ජීවිතය වරාමල සේ කෙරුව
නුඹම විය මල මගුලි මට මාව අහිමිකල
හිත විඳින ආදරය ලියනු බැරි අසරණව
අකුරු බැරි කවියා වෙමි නුඹ ලඟදි ගොලුව ගිය
තේරුම්ගන්නවද....
ජීවිතය තරමටම ආදරය දැනෙනවිට
විඳිනු මිස ආදරය කුමට පද පෙරළමිද
ඒ කාලේ මට පෙන්වූ ලොකු කමට දඬුවම් ය
ඉවසපන් තව ටිකක් ඔහොම වී මදි උඹට
කටුස්සා....
මචං පාදඩේ ඉතින් කොහොමද
සනීපද දැන් ආයිමත්
නැටුව රුසියන් කෑලි බලලම
ආතල්ද උඹටත් ගොඩක්
දවස් තුනකම ගාස්තුව නැති
සියිය පරවුන හිත්ගොඩක්
සනසවපු හැටි උඹත් මාරයි
දෙවනි වෙන්නෑ රජාටත්
අසූගානක් තුවාලලු නේ
පවුනේද බං පොඩි එවුන්
බලන්නටවත් බැරිවෙන්න ඇති
අස්සේ සමුලුවේ වැඩ ගොඩක්
එකෙක් දෙන්නෙක් මැරෙන්නෙම නෑ
මේක මහා හෙන කරුමයක්
ඔහොම කම්මැලි වෙලානම් බෑ
නැද්ද හංගපු ගල්කටස්
ඊයේ උන දේ අද මතක නැති
රටක ඉපදුණු තව එකෙක්
විතරමයි බං මොකක් වෙනවද
මතක නැති කොට ප්‍රථිපලත්
නෑම කිවුවට බලන්නැති බං
උඹත් රහසෙම හඳහනත්
අනේ චූටියා.... කියාපන්කෝ
තිබුනාද රජ යෝගයක්
විමල්ගේ පොත කියෙවුවද බං
හොයාගත්තද වෙලාවක්
වකුගඩුයි චැනලිනුයි අස්සේ
උඹ කරන වැඩ පුදුමයක්
හුස්මගන්නත් වෙලාවක් නැති
අපිට උඹනම් හෙන පොරක්
උඹට මෙන් ගුරුවරු හිටියනම්
අපිත් ලියනවා පොත් ගොඩක්
මචං පාදඩේ යලි කවදටදෝ
අවුස්සන්නේ පොඩි එවුන්
දෙසීයක්වත් නොපැලුනොත් ඔලු
ගැම්ම එන්නෑ රජාටත්
ඕනේ නෑ උඹ යන්න උන් ටික
බලන්නට කඳුලැල් දරන්
උන්ගේ අම්මලා පහේ බස්සෙකේ
ඒවි බත්ගෙඩි තදකරන්
කටුස්සා....
ප.ලි.-
විශේෂ ස්තූතිය.
පින්තූරේ හොයලා දුන්න වේසකයටයි , කමියටයි.
සුවඳ මල්පෙති සුවඳ නොදැණුන පවට හිමිකම් කිවු සිතින්
නෙලාගන්නට නොහැකි මල ලඟ දෙදණ නැමුවා බැති සිතින්
ලඟ තියන් ලඟ බවක් නොදුටුව දෙනෙත සැලිලා සීතලෙන්
වැටුන කඳුලක් දිලුනි පෙති මත සුවඳ බැලු ඒ අවසරෙන්
සියත් සියවර සෙවුව ආලය විලිවැදුන ආඩම්බරෙන්
දොස්කියූ සඳ තව බලන්නෑ තරු කැකුළු දෙස ආදරෙන්
හිත රිදුන තැන් බොහොමයක් ඇති කීවා නාහන වලාවෙන්
සෙවණ සෙවුවා පොලව හිනහී ඉරිතැලුන තැන් සඟවමින්
නියඟලා මල් පාට ගිනිදළු ඇවිලෙනා පැතුමන් පුරන්
සුරඟනන් පේ වුනා යන්නට වන්දනාවක මල් අරන්
ගිනිතියා ගස් නොලද අලු කෙස් පුච්චලා දෝතට දරන්
පාලු සොහොනක තනි මකන්නට දෙවියෝ වැඩියලු දුරඉඳන්
කටුස්සා..
මහම මහා ඊරි උඹ දිව ඇවිත් කනට කර
ගොං කතාවක් කියා හිනහෙනා
ගෙම්බි උඹ ලබ්බි උඹ වැරද්දක්වුන සැනින්
පුම්බ පුම්බා මටම ගොරවනා
මෝහිනිත් උඹ යස්සනිත් උඹ පාලුවක් දැනුන විට
මගේ නින්දෙනුත් මා ඇහැරනා
ගල්ම ගල් ඉබ්බි උඹ හිටිගමන් තරහාවී
හොරෙන් බල බලා මටම ඔරවනා
සෙවන උඹ සුළඟ උඹ දාහයෙන් පෙඟුන හිත
සිසිල් සුව ආලයෙන් සනසනා
අරුත උඹ විරිත උඹ තාලයක් නැති දිවිය
නිවැරදිම තාලයට රඟවනා
අහස උඹ සයුර උඹ ඉමක් නැති ප්‍රේමයම
බලන බැල්මක පවා අවුලනා
දිවිය උඹ හුස්ම උඹ හැරී බැලුවිට නැවත
පා ලකුණු පසුපසින් රඳවනා
සිත නිවන සුවඳ උඹ යොදුන් දුර වුව දැනෙන
සිහිනෙනුත් මගේ ලඟ දැවටෙනා
යෙහෙලි උඹ සොයුරි උඹ කිසිම අඩුවක් නැතුව
මවුවත්ම සෙනේහය පුදදෙනා
ලෙංගතුම දුවත් උඹ ලඟටවිත් තුරුලු වී
ආදරය මහා ගොඩක් ඉල්ලනා
මමත් උඹ උඹත් උඹ එකම රිද්මය ඇතුලේ
වෙනස් හදවත් දෙකක් ගලපනා
-කටුස්සා-