Wednesday, April 5, 2017

ලේ නහර ඇට මිඳුලු විනිවිද රිදුම්දෙන හැඟුමක්ද ප්‍රේමය......💘




මේක ඉවරවෙන්න ඕනේ මේ විදිහටමද?

දන්නේ නෑ... ඒත් ඉවරවෙන්න ලියවිලා තිබුනේ මේ විදිහට වෙන්න ඇති

නෑ... මේ විදිහට නෙමෙයි.... එක්කෝ අපිට වැරදුනා, නැත්තම් අපි වරද්දගත්තා

ඇයි එහෙම කියන්නේ?

මම ආස නෑ මේක මෙහෙම ඉවරවෙනවට

හැම දෙයක්ම අපි කැමතිවිදිහට ඉවරකරන්න අපිට බෑනේ

මම දන්නවා ඒක. මේ කතාව පටන්ගනිද්දිම ඉවරවෙන්නේ මේ විදිහට කියලත් මම දැනගන හිටියා.ඒත් මේක තවටිකක් ලස්සනවෙන්න තිබුනා , මීට වඩා දුක අඩුවෙන විදිහට..

දුක අඩුවෙන විදිහට....? ජීවිතේ නතරවෙනවා කියලා දැන දැනම තවත් දුක අඩුවෙන විදිහක් හොයන්න ඔයාට පිස්සුද?

වෙලාවකට... අර ඔයා ඉස්සර කියනවා වගේ, හිටපුගමන් පිස්සු හැදෙනවා

ඔයා හැමදාම කලේ ඕකමයි. දැනුත් කරන්නේ ඒකමයි..... 

මොකද්ද?

හිනාවෙන එක.... ඔච්චර දුකක් හිත ඇතුලේ තියාගන ඔය විදිහට හිනාවෙන්නේ කොහොමද? ඒකත් බලෙන්.... ඒත් හොඳටම අඳුරන කෙනෙක්ට ඇරෙන්න ඒ හිනාවේ වෙනස හොයාගන්න බෑ කාටවත්... 

ඒ කියන්නේ ඔයා මාව හොඳටම දන්නවද?

ඇයි සැකයක් තියනවද ඒ ගැන?

නෑ... සතුටුයි

ඇයි ?

හොඳටම අඳුරන කෙනෙක්ගේ අතින් , අඳුරනවා කියලා කියන කෙනෙක්ගේ අතින් ජීවිතේ නතරවෙන එක කොච්චර දෙයක්ද, නොදන්න කෙනෙක්ගේ අතින් එහෙම වෙනවට වඩා

මට තියන ලොකුම දුකත් ඒකයි...

මොකද්ද?

මේ තරම් අපි අපිවම තේරුමරගන මේ විදිහට අයින්වෙන්න සිද්දවුන එකට

මේ සමුගැනීම ඇතුලේ තියෙන්නෙම අපි අපිවම තේරුම්ගැනීම නේද බට්ටෝ?

ඒ කොහොමද?

අයින්වෙන්න තීරණය කරලත් තවමත් මේ විදිහට කතාකරන්න පුලුවන්වෙලා තියෙන්නේ, මේ විදිහට යන්න දෙන්න පුලුවන්වෙලා තියෙන්නේ අපි අපිවම තේරුම්ගත්තු නිසා බට්ටෝ.මට ඔයාගෙන් ඉල්ලන්න කිසිම දෙයක් නෑ. ඔයාට මගෙන් ඉල්ලන්න කිසිම දෙයක් නෑ. ඒ අපි දෙන්නට ඕනේ හැම දෙයක්ම ඒ ආදරය ඇතුලේ තිබුන නිසා. ඉතින් ඒ ආදරය නැතිවුනාට පස්සේ අපි දෙන්නා ,අපේගැන දන්න නිසා නේද අදත් මෙහෙම කතාකරන්න පුළුවන්වෙලා තියෙන්නේ....

ඇයි අපිට මෙහෙමවුනේ....?

කේන්තිය, මගේ විතරමයි කියලා හිතන්න ගිය එක, ඕනෑවට වඩා ආදරය.... 

ඉතින් ඒ දේවල් වලට මෙච්චර බරපතල තීරනයක්?

අපි ජීවත්වෙන්නේ අපි දෙන්නා විතරක් ජීවත්වෙන ලෝකෙකනම් , ඇත්ත.... මේවා වෙන්වෙන්න හේතු නෙමෙයි. ඒත් තව ගොඩදෙනෙක් අපේ වටේ ඉන්නවා. අපි ඒ ඔක්කොමල්ලවම සතුටුකරන්න ගියහම මෙහෙම වෙනවා.....දැන් ඒක ගැන හිතන්න එපා. ඒක වෙලා ඉවරනේ. දැන් ඉස්සරහට සතුටින් ජීවත්වෙන්න. ගොඩක් කල්පනාකරලා බලලා තීරණ ගන්න. දෙපාරක් නෙමෙයි.තුන් හතර පාරක්ම හිතලා බලන්න, තීරණයක් ගන්න කලින්, ලඟ ඉඳලා කියලා දෙන්න මම නැතිනිසා.... පරිස්සමෙන් හැම දෙයක්ම කරන්න.
ඇයි දැන් අඬන්නේ.....

කෝ... මම අඬන්නේ නෑ. මම දන්නවා මේ ඉන්න මනුස්සයා මගේ කඳුලු බලන්න පොඩ්ඩක්වත් කැමති නෑ කියලා...

එහෙනම් හොඳ ළමයා වගේ ඔය ඇස්වල කඳුලු පිහගන්න..... 

ඉතින් මම හිතලා අඬනවද....කඳුලු එනවනේ....අහන්න... හිතම බරවෙලා ...හිතම නෙමෙයි... මට කියන්න තේරෙන්නේ නෑ... පපුව මැද්දෙන් ඇවිත් මුලු ඇඟ පුරාම පැතිරිලා . අනේ තේරුම්ගන්න... මට කියන්න තේරෙන්නේ නෑ

මට හිතාගන්න පුළුවන් බට්ටෝ.... මටත් එහෙම්මම වෙලා නිසා.මට කියන්න බෑ හිතන්න එපා කියලා. ඒත් මේ දේ වෙන්න දෙන්න.ඒකෙන් ඔයාට හොඳක් වෙයි. ඇත්තමයි.... විඳින්න තියන ජීවිතේ විඳවන්න ඕනේ නෑ. මම හිටිය ටික කාලෙට මම ඔයාට කියලා දුන්න ඒවා එක පාරටම අමතකකරන්න එපා.ඔලුවේ තියාගන වැඩ කරන්න. ඔක්කොටම වඩා සිහියෙන් වැඩකරන්න. කවමදාවත් ජීවිතේ වරද්දගන්න එපා . මම ඈතින් ඉඳගන බලාගන ඉන්නම්. ඉතින් මම එහෙම බලන වෙලාවට මට ආඩම්බර හිතෙන්න , සතුටු හිතෙන්න වැඩකරන්න. ඉඳලා හිටලා එක වැඩක් විතරක් කරනවද?

මොකද්ද?

ඔය එන යන වෙලාවක මාව දැක්කොත් නොදැක්කා වගේ නොයා ,මට හයියෙන් හූවක් තියනවද? හරියට නිකන් "මම හොඳින් ඉන්නවෝ..." කියන්න වගේ...

හා....

හොඳ ළමයා....



- නිමිත්ත -

මේ ගීතයේ මේ පද

කියාගන්නට බැරුව ලතවෙන
හැඟුම් මිහිදන් නොවේ කිසිදින......
ලේ නහර ඇට මිඳුලු විනිවිද
රිදුම්දෙන හැඟුමක්ද ප්‍රේමය.......
දුරට වී ඇසිපිය නොලා
බලා ඉන්නට අවසරයි
සංසාරයේ...පතා ආවෙත් එළෙසමයි......



Tuesday, March 14, 2017

දෙවු මවුන් නුඹ තුරුළු කරගෙන​ පොවනවද දෙතනේ කිරී



වින්ඳ සිත සිත බැන්ද​ ආලය දෑස් අබියස ලේ වැකී රෙද්දේ ඇනි ඇනි තිබුන තුත්තිරි යකඩ අඬුවෙන් ගැලවුනී චන්ද්‍ර මාසෙට ගැලුව ලේ බිඳ නොදැක සිහිනෙන් බයවෙවී හංස ගීතය ගැයුව නුඹ අද කියනවද නැලවිලි කවී පාට සමනල් තටු අතර රැඳි සිහින කුමරුගේ මල් කෙමී රඳවගත් කුස විතරමද අද හිස්වුනේ පණ ගැහි ගැහී සහස් පැතුමන් අතර තනිවී නුඹ මැවුව සුබ සිතුවිලී පිරී ගැබ්බර වුන හිතින් නුඹ දකිනවද තව සැනකෙළී නේක මල් රැඳි නිම්නයක් මැද වැතිර ලය මත ගුලිගැසී යන්න නුඹ සිටි ගමන පුස්ගඳ පිරුන කාමරේ වැළළුනී මිනී මල් පිපි නුඹේ හදවත ගැයුව ඔරසන් පද පැලී ලේ නැතුව සුදුමැළිව ගිය වත සොයනවද තව හසරැළි කකුල් දෙක මැද ගලනවිට ලේ මුවින් නැගුනිද කෙඳිරිලී දරාගනු බැරි විටදි රිදවුම් සිහිවුනිද මවු කඳුළැලී ඈත්කරනා විටදි දඟ යුග පියවුනිද නෙතු විළිවැදී මියෙන බව දැනි මොහොතේ නුඹ ලඟ ඔහුත් සිටියද බයවෙවී ලන්ද වන පෙත පිපුණ මල් පෙති අසල​ දඟකළ​ සුරතලී පිපෙන්නට පෙර පුබුදුකළ​ පෙති අතර සැනසුන මාධවී තැලුන රොංකෙමි දරනු නොහැකිව කොට්ට තෙත්කළ​ නිලුපුලී වැඩුනු කුස බර බිමට හලනට ආත්මය මැරු ඉඳුසරී උල්කරන් කට කියනවිට රස කතා ඇස්ගෙඩි ලොකු වෙවී බලා සිටියේ කතා නොව නුඹ මුවේ ඇඳෙනා සෙවනැලී හොරු අරං ගිය කිරි සුවඳ දැනි එරුන කිරි වාවනු නොහී දෙවු මවුන් නුඹ තුරුළු කරගෙන​ පොවනවද දෙතනේ කිරී



අඩෝ.... අපි ගියා එළුවන්කුලමේ.... ඊයේ රෑ ආවේ අඩේ...උඹලා ගියාද? කට්ටියම ගියාද....? කොහේද මේ පාර හිටියේ? කළා ඔයේද ගඟේ වාඩියේද? ගඟේ වාඩියේ බං..... ට්‍රිප ජොලිද.... නැගලා ගියාද....මම නැති අඩුව උඹලට සෑහෙන්න දැනෙන්න ඇති නේද? ඔවු ඔවු....මහ රෑට වෙරි බහින්න උස්සගන එන්න එකෙක් නැතුව කට්ටිය සෑහෙන්න උඹ ගැන කියෙවුවා තමයි.... වාඩියේ සෙට් එක ඇහුවෙත් උඹ ගැන තමයි.ඒත් මේ පාර එච්චර ජොලි නෑ බං. ඇයි ඒ? උඹට මතකද සුද්දිව? කවුද... අර " කටර්" නේද? ගියපාර යනකොට අර ඉස්කෝලේ නිවාඩු කියලා ශාන්ති ඇන්ටිගේ පොත්වල වැඩට උදවුකලේ ඇවිත්.... ඔවු... ඒකා තමයි. ඒකි මැරිලා බං. අපි ගිය දවසට දවස් පහකට කලින්. .... ඒ මොනවා වෙලාද බං ඒ පොඩි එකීට..... ඇබෝශන් එකකදී.... මොකක්? යකෝ ඒකී ගියපාර යද්දිනේ ඕ'ලෙවල් කරලා තිබ්බේ..... ඒවා ඒ පැතිවල සාමාන්‍ය දේවල් බං.... අපිට මැජික් වුනාට. ඒ උනාට ඔක්කොමල්ලට හෙන අවුල්. දවස් තුනක් ඉන්න ගිහින් දවස් දෙකයි හිටියේ..... එන්න ආවා. "....................................." "....................................."


-කටුස්සා-

Wednesday, March 1, 2017

වෙලා මගේ හිත සිනාවකින් තව හිනාවියන් කලු... හිනාවියන්.



හුඟ කලකින් ආදරයක් ...කුළුණු බවක්... නොදැකපු හිත හරි යයියයි.... බැමිණිතියාසාය කාලේ රජරට මහා පොළොව වගේ.... නුඹ... කොච්චර වත්කෙරුවත් අද ආදරයේ නිල් දියවර; උරාගන්නවා පතුලට තෙත පැල්ලමකුත් නැතුවම..... තවමත් හයියයි මතුපිට පැලුන කැඩුන තැන් හැමතැන.... නුඹේ ආදරෙන් පෑදුන සිත උල්පත් මතුවුනාට ඉනුවේ නෑ දැනෙන්න එය දන්නවා මම එය හොඳටම.......... දුකක් දැනෙනවා ඇති නුඹටත්; ඒත්... පසුපස හැරිලා බැලුවිට නුඹ ඉන්නවා තවමත් ලඟ.... රළු වදනට සැඩ බැල්මට නොබැන්ඳාට වැට කඩයිම පැලෙන්න ආදරෙයිලු මම........ දන්නේ නැත්තේ පෙන්නන්නට මතක නැතිවෙලා නිසාම...... තව ඩිංගක් ඉවසනවද ? ආදරයෙන් සනසනවද ? පොරොන්දු හරි මිල හිතින්ම පොරොන්දු වෙන්නම් නුඹ හට.... දුකක් හිතෙන්නේ නැතිවෙයි බලන් හිටිය කාලය ගැන....... එතකම් නුඹ ලඟින් ඉන්න පෙම් උල්පත් පෑදෙන තුරු පොළව පලන් මතුවෙන තුරු සිත් බැමි තව තද කරගන.... නැතිනම් එය දරාගන්න බැරි උනොතින් නුඹේ සිතට තෙමෙන්න වෙයි අපි දෙන්නට නුඹ හද බැමි පුපුරාගන කඩා වැටෙන මගේ පෙමට.........

Monday, February 20, 2017

බැමි



ඇයි ඊයේ ආවේ නැත්තේ...?

වැඩක් තියනවද...?

කාටද...?

අපිට

මෙච්චර දවසක් තිබ්බෙම නැද්ද...?

කාටද...?

අපිට

තිබුනා

මොකද්ද?

සැනසීම

ඉතින් ඊයේ නාවේ ඒ සැනසීම වෙනකොහෙන් හරි හම්බුන නිසාද?

නෑ....

එහෙනම්?

විඳවන්න

මොනවද...?

ජීවිතය

ඇයි ජීවිතය විඳවන්නේ....?

නිදහසේ විඳින්න දෙන්නේ නැති නිසා... ඒ විඳිල්ල අවසානේ හැමදාම විඳවිල්ලක් ඉතුරුවෙන නිසා....

ඉතින් ඊයේ නාව එකෙන් සහනයක් ලැබුනද ඒ විඳවිල්ලට....?

නෑ... ලැබුනා කියලා හිත රවට්ටගත්තා විතරයි...ඒත් එක නින්දයි, ආපහු විඳවිල්ලමයි.....

දැන් මාව දාලා යන්න ඕනෙද...? ජීවිතය විඳගන්න...

එතන විඳීමක් නෑ කියලා ඔයා හොඳටම දන්නවනේ

ඔවු...ඒත් ඔයාට පසුතැවිලිවෙන දේවල් කරන්න උඩගෙඩි දෙන්නත් මට බෑ

මම පසුතැවිලි වෙන්නේ ඔයාව හම්බවෙන්න එන එකෙන්වත් අපි දෙන්නා අතර සිද්දවෙන දේවල් වලින්වත් නෙමෙයි.... දුර දිග නොබලා ගෙදර උවමනාවට කරගත්ත කසාදෙන්... මට කිසිම හැඟීමක් එන්නේනැති කෙනෙක් එක්කලා එකට නිදාගන්න වෙන එකෙන්

එහෙම කලේ ඇයි කියලා අහන්නේ නෑ... ඒත් ඔයා මේක දැනගන හිටියා ඉස්සර ඉඳලම

ඔවු... මම දැනගන හිටියා... ඒත් එකෙක්වත් මම කියන දේවල් අහන්න ලෑස්තිවෙලා හිටියේ නෑ.උන්ට අහස නිල් පාටට පේනකොට උන් හිතුවේ මටත් අහස පේන්න ඕනේ නිල් පාටටමයි කියලා.උන් නිකමටවත් ඇහුවේ නෑ උඹට අහස පේන්නේ රතුපාටට නේද කියලා.උන් පොඩ්ඩක්වත් ලෑස්තිවෙලා හිටියේ නෑ අහස නිල් පාටට දකින එකාට අහස නිල් පාටයි කියන්න වගේම අහස රතු පාටට දකින  එකාට අහස රතුපාටයි කියන්නත් අයිතියක් තියන වග පිලිගන්න

මේක මානසික ලෙඩක්ලූ

කවුද කියන්නේ?

මම අහගන ට්V ප්‍රෝග්‍රෑම් එකක කියනවා

එතකොට මෙච්චරකල් ඔයා මට ආදරේ කලේ ඔයා පිස්සෙක් නිසාද... මට ඔයාගේ ආදරේ දැනුනේ මම පිස්සෙක් නිසාද...?

මම  දන්නෑ...මම දැන්නෑ.... ඇයි ඔහොම කතා කියන්නේ... ඒ ආදරේ දැනුනේ ඔයාට විතරක් නෙමෙයි. මටත් ඒ විදිහටම දැනෙනවා.ඒත් අපි දෙන්නට කවමදාවත් එකතුවෙන්න බැරිමනම් අපි මොකද කරන්නේ ? අඩුමගානේ ආදරේ නිදහසේ විඳිගන්නවත් බැරිමනම් මොකද කරන්නේ

ඉතින් දැන් ඔයානේ කිවුවේ මේක පිස්සුවක් කියලා....

මොලේ රසායනික සංයුතිය වෙනස්වෙලාලු අපිට එහෙම හිතෙන්නේ

ඉතින් ඔය කියන රසායනික සංයුතියේ වෙනස්වීම නිසාම ඇතිවෙන එක ආදරයක් පිළිගන්න මිනිස්සු ඇයි ඒ නිසාම ඇතිවෙන මේ ආදරේ පිළිකුල්කරන්නේ...?

ඒක අපේ ආගමට, සංස්කෘතියට හොඳ නෑලූ.

ඒ කියන්නේ දෙන්නෙක්ගේ ආදරේට තහංචි දාන ගොබ්බ සංස්කෘතිය රැකගන්න අපි විඳවන්න ඕනෙද?

දන්නේ නෑ

එතකොට ඔය කියන මිනිස්සු ජීවිතකාලෙටම එකෙක් එක්ක විතරක් නිදාගත්තු එවුන්ද? කවදාවත් අල්ලපු ගෙදර වැට පැනපු නැති එවුන්ද? කිසිම ස්ත්‍රී දූශනයක් නොවෙන රටක ඉපදුන එවුන්ද?...  ලබ්බේ සංස්කෘතිය. අයියයි , නංගියි එකට හැමිනිලා පරම්පරාව හදාගත්තු එවුන්, තියන කුඩූකේඩු කමට ඉංදියාවෙන් එවුන්ව ගෙන්නගන රජකමට පත්කරගත්තු එවුන්, දෙයියෝ දුන්න ළමයි තරු පායාගන ඉපදුනා කියලා පිළිගන්න එවුන්, අනිත් එවුන්ට පලයල්ලා කියලා සංස්කෘතියට පාරවල් කපනවා. දවස පුරාම බීගන ඉන්න බේබද්දෝ ඒවට හුරේ දානවා. ආදරේ කරන්න ඕනේ ගෑණු පිරිමි විතරද? ගෑණියෙක්ට ගෑණියෙක්, පිරිමියෙක්ට පිරිමියෙක්  ආදරේ කරන්නම බැරිද?

බෑ...අනිත් උන්ට පිලිගන්න ලැජ්ජ නිසා එහෙම කරන්න බෑ. භෞතිකවාදය ඔලුව උඩ තියන් ඉඳලා ක්වන්ටොම් වාදයට නමස්කාර කරන, ක්‍රිශ්නමූර්තිගේ ඉඳලා ඕශෝට වෙනකම් කියවන උන් ලැජ්ජයි, මේ සරල මිනිස් අවශ්‍යතාවයන් තේරුම් ගන්න

ඇත්තටම මේක සරලද?

ඇයි නැත්තේ...කාගෙන්වත් දැනෙන්නේ නැති ආදරයක්, තෘප්තියක් මට ඔයාගෙන් දැනෙනවානම්, ලැබෙනවානම් ; වටේ පිටේ ඉන්න එවුන්ව සනසන්න මම මට කිසිම හැඟීමක් දැනීමක් දැනෙන්නේ නැති මනුස්සයෙක්ට ආදරේ කරන්න ඕනෙද... ඒ මනුස්සයා එක්ක නිදාගන්න ඕනෙද....

ඔයා පණ්ඩිත වෙලා

නෑ...මාව පණ්ඩිත කරලා...මුන්ගේ තුත්තිරි ඇලුන රෙද්ද පල්ලෙන් බේරෙන සුචිරිතවාදය මාව පණ්ඩිතයෙක් කරලා... මට දුකයි... කෑ ගහලා අඬන්න තරම් දුකයි.  කේන්තියි ,මුන්ව මරාගන මැරෙන්න තරම් කේන්තියි. ඒ වගේම අසරණයි... ඔයාව ජීවිතේට ඕනේ කියලා හිතෙන තරමට අසරණයි.

අපිට මේකට විසඳුමක් ලැබෙයිද?

දන්නේ නෑ.... මට දැනගන්න ඕනෙත් නෑ. හිතට දැනෙන ආදරේකට හේතු හොය හොයා යන්න තරම් නරුමවෙන්න මට බෑ.

දැන් ඔය නැගිට්ටේ යන්නද? අද ඉන්නේ නැද්ද?

බෑ... අද ඉන්න බෑ. මම හෙට එන්නම්

දැන් කොහේද යන්නේ?

නිදහස් දවසට දාන්න සිංහ කොඩියක් අරගන එන්න කිවුවා ගෙදරින්. ඒකත් අරගන ගෙදර යනවා....

Monday, February 13, 2017

මම නුඹේ... නුඹ මගේ... අපි අපේ විතරනම්



මටත් ඉන්නවා පිස්සු හපුටියෙක්...

ඉවරයක් නැති කතා දෙතොල ලෙලවා කියන
නොතිබ්බොත් හූමිටිය බුරාගන මට බනින
හම්ම්... කියනා විටක කතා නොකලට බනින
මගේ කට අරින විට ගිනි අරන් මට රවන

ලංවෙලා හුරතලෙන් පපුතුරේ සුව සොයන
උණුහුමට ගුලිවෙලා කිසිත් නොකියා ඉන්න
මගේ අතැඟිලි හිසේ නොගැටුනොත් මා හපන
හිස සිඹින විට පෙමින් දෙනෙත් හිමිහිට වැසෙන

දුක හිතෙන වාරවල් හිතේ ගුලි කරගන්න
ලේසියෙන් කඳුලු බිඳු කිසි කෙනෙකු නොම දකින
කතා කරනා විටක සියල්ලම පිටදාන
වාන් ගැළුවා වගේ ඇස් දෙකෙන් වත්කරන

අන් එවුන් කියන හැම රසකතා රස විඳින
කිවුවොතින් මම එකක් ටියුබ් ලයිට් සේ ගැහෙන
හැඟුම්බර කතා මැද ගොං කතාවක් කියන
මගේ කටින් ගොං කතා පිටවුනොත් කොනිත්තන

එපා කිවු හැම දේම ඔළුව සොලවා අසන
දතකාලා කොහොමහරි දෙක තුනක්වත් කරන
අනාගත් පසුව එය දිව ඇවිත් මට කියන
මගේ බැණුමට බයේ දුක හිතෙන ලෙස ඉන්න

ජීවිතේ බර දරන් පොළව මත්තේ දුවන
මගේ ලඟදී කෙලවරක් නැති හීන රූ අඳින
ඒ හීන අහන මගේ මුවේ පුදුමය දකින
මේවා මේ කියන්නේ නිකමටැයි යලි කියන

ඕන හතිලවුවක් බය නැතුව මම කියන
දුක හිතෙන හැමවෙලේ ලඟ ඉදන් හිත හදන
මන්ද්‍රි දේවිය තරම් මා හටම කැප නොවන
මට අවැසි මම පතන ආදරය ලබාදෙන

මටත් ඉන්නවා පිස්සු බැල්ලියෙක්....
මමත් ආදරේ කරන...

-කටුස්සා-