Sunday, February 14, 2016

ආදරයේදී මා ඔබහට පරදිමි.....


"ඔයා හෙට එනවද?"
"මේ විදිහට හම්බවෙන එකෙන් ප්‍රයෝජනයක් තියනවද?"
"දන්නේ නෑ.මට දැනගන්න වුවමනාවකුත් නෑ....කියන්න....හෙට එනවද?"
"ඔවු....පුරුදු තැන ,පුරුදු වෙලාවට මම වාහනේ තියාගන ඉන්නවා.ඔයා එන්න"

ෆෝන් එක මේසේ උඩට දාලා සිගරට් පැකට් එකෙන් සිගරට් එකක් පත්තුකරගත්ත මම පුටුවේ හොඳට හරිබරි ගැහුනේ අපේ කතාව විශ්ලේෂනය කරන්නනම් නෙමෙයි.ඒත් ඒ කතාවේ සිද්දවුන ගොඩක් රූපරාමු ආයෙමත් මගේ ඉස්සරහ මැවුනේ ;මේ කතාවේ සදාකාලික වැරදිකාරයා මමම වග ආපහු මටම පසක් කරමින්.

පාසල් අවදියේ ඉදන් තිබුන සෙල්ලක්කාර ජීවිතය උසස්පෙළින් පස්සේ උනත් වෙනස්වුනේනම් නෑ.ගහගැනිලි, මරාගැනිලි වගේම විනෝද චාරිකා, විනෝද හමු, මල ගෙවල්, බන ගෙවල් අඩුවක් වුනේ නෑ.ඒ ජීවිතේට අඩුවක් තිබුනානම් තිබුනේ කෙල්ලෙක්, පෙම්වතියක් නැතිවීම විතරයි.ඒ ඒකට උත්සහ නොකල නිසානම් නෙවෙයි.යාලුවෙන්න අහපු එක කෙල්ලෙක්වත් මට කැමති නොවුන නිසයි.ඒ විදිහට ජීවිතේ ගෙවෙනකොට තමයි අහම්බෙන් ඔයාව මුනගැහුනේ.ඒ පෙම්වතුන් විදිහටනම් නෙමෙයි.යාලුවෝ විදිහට.මට ජීවිතේගැන කිසිම බරක් පතලක් නොතිබුනත් ඔයා ඒ වෙනකොට ඔයාගේ ජීවිතේ ලස්සනට පාටකරන්න පටන් අරගන තිබුනා.මම ඔයාගේ සෙල්ලක්කාර ,දඩබ්බර, අවංක යාලුවා වුනා.පෙම්වතුන් යුගලක් වීමට සමාජය විසින් නොගැලපීමක් විදිහට පිළිගන්න  බාධකයක් අපි අතර තිබුනා.ඔයත් එක්ක කතාකරපු පළවෙනි දවසේ ඉඳන් මම ඒක දැනගන හිටියට ඔයා දැනන් හිටියේ නෑ ඒ ගැන.මෙහෙම කාලය ගෙවෙද්දී මට ඔයාව මගේ පෙම්වතිය කරගන්න ඕනේවුනා.කොච්චර සෙල්ලක්කාරයෙක් වුනත් ආදරය ගැන මගේ හිතේ තිබුනේ අමුතුම හැඟීමක්.ආදරය විවාහයෙන්ම කෙලවරවෙන්න ඕනේ කියන හැඟීම මේ කෝඩුකාර හිතේ පැලපදියම්වෙලා තිබුනා ,බරපතල විදිහට.වටේ පිටේ ඉන්න කවුරු මොනවා කිවුවත්; ඔයා මට, මම ඔයාට ආදරෙයිනම් අනිත් එවුන් මකබෑවිලා ගියාදෙන් කියලයි හිතන් හිටියේ.ඔයාට බොරුකරන්න මට කොහෙත්ම ඕනේ කමක් තිබුනේ නෑ.හැමදෙයක්ම ඔයාට කියලා ඔයා කැමතිනම් විතරක් ඔයත් එක්ක යාළුවෙන්නයි මට උවමනාවුනේ.හැබැයි ඒ හිතේ ඇතිවෙලා තිබුන හැඟීම ආදරයමද නැත්තන් යාලුවෝ හැමෝටම කෙල්ලෝ ඉන්නැද්දී මට විතරක් කෙල්ලෙක් නැතිවීම ගැන තිබුන හීනමානය නැතිකරගන කරපු දෙයක්ද කියලා මම තාම දන්නේ නෑ.මම කවදාවත් ඒ ගැන හිතුවෙත් නෑ; මම වැරදිකාරයාවෙයි කියන බයට.

"
දිල්....මට ඔයාව හම්බවෙන්න ඕනේ...පොඩි ප්‍රශ්නයක් තියනවා කතාකරගන්න...."
"ෆෝන් එකෙන් කියන්න අමාරු දෙයක්ද...?"
"ඔවු...හම්බවෙලාම කතාකරන්න ඕනේ දෙයක්...."
"ඔයා ඔහොම කියද්දී කොහොමද නෑවිත් ඉන්නේ බන්ටි ....ප්‍රශ්නයක්නේ....මේ ඉරිදට?"
"මැඩම්....ඔයා දන්නවනේ, ඔයා වගේ බිසී මිනිහෙක් නෙමෙයිනේ මම.....ඔයා කියන ඕනේ දවසක මම රෙඩි..."
"ඒකම තමයි මටත් පුදුම....පොඩිකාලේ වැටිලා ඔළුව වැදිලා වගේ හැසිරෙන මේ පිස්සට ඔච්චරටම තියන ප්‍රශ්නේ මොකද්ද....?කෙල්ලෙක් ගැනද...?"
"හම්ම්...."
"මාරයිනේ...කවුද ඒ කෙල්ල....?"
"ඔයා..." මම එහෙම කිවුවේ නෑ.
"ඉරිදට එන්නකෝ...මම එදාට කියන්නම්.....හැබැයි මේ ප්‍රශ්නේ විසදගන්නනම් ඔයාගේ උදවු ඕනෙමයි...."
"මගේ තනි නොතනියට කොහේ යන්න කතාකලත් මුකුත් නොකියා එන ඔයාට උදවුනොකර බෑනේ ඉතින්...."
-------------------------------------------------------------

නුගේගොඩ හංදිය....වාහන පෝළිමයි.කහ ඉරිත් නෑ.ඔයාගේ අත අල්ලගන මම පාර පැන්නා.ඒකේ අමුත්තක් ඔයාට තිබුනේ නෑ.ඔයාගේ තනියට, ඔයාගේ පාළුකපන්න ගිය හැම සැරේකම පාර පනින්න වුනොත් මම ඔයාගේ අතින් අල්ලගන්නවා.ඒත් එදා ඔයාගේ අතින් අල්ලගනකොට මගේ හිත ගොඩක් නොසන්සුන්වුනා.


"
මොනවාහරි බොනවද? කනවද?"
"මොනවා හරි බිබී ප්‍රශ්නේ කතාකරමුකෝ.ඒ වෙනකොට බඩගිනි වෙයිනේ.එතකොට මොනවාහරි කකා ඒ ගැන කතාකරමු."
"මාත් මාර මනුසයෙක්ට තමයි ප්‍රශ්න විසදන්න කතාකලේ....ඒකගැන කතාකරලා ඉවරවෙනකොට මට මේකේ පිගන් හෝදන්න වෙයිද දන්නේ නෑ...ඉන්න....මම මොනවාහරි බොන්න අරගන එන්නම්...."
"ඒයි පිස්සෝ....ආ කාර්ඩ් එක...මේකෙන් පේ කරන්න..."
"එපා...අද ආවේ මගේ වැඩකට....අද වියදම් කරන්නේ මම...."

"
කියනවකෝ ඉතින්....අර එදාවගේ කොහේහරි යන කුණ්ඩවාලයක් පටලවගත්තද ආපහු.....?කවද්ද අනේ ඔයාගේ ඔය රණ්ඩු ඉවරවෙන්නේ....?"

බීම බටෙන් තොල්දෙක අහකටගත්තු ඔයා මගෙන් ඇහුවා.
මම ඔයාගේ අත අල්ලගත්තා.එතකොටනම් ඔයා ගැස්සුනා.

"
දිල්....මම ඔයාට ආදරෙයි.හැබැයි මට ඔයාගෙන් දැන්ම උත්තරයක් එපා.මට දේවල් දෙකක් කියන්න තියනවා.ඒ දේවල් ඔයාට කිවුවට පස්සේ ඔයාගේ උත්තරේ මට කියන්න".

එහෙම කියපු මම මේ වෙනකොටත් කමිස සාක්කුවේ දාගන හිටපු මගේ අයිඩෙන්ටිටි කාර්ඩ් එක මේසේ දිගේ ඔයාට තල්ලුකලා.

"
ඔය තමයි පළවෙනි එක....මම ඔයාටවඩා අවුරුදු 3ක් බාලයි....දෙවනි එක...මේක එච්චර වැදගත් නොවෙන්න පුළුවන්.ඒත් මේක ගැනත් හිතලා මට ඔයාගේ උත්තරේ දෙන්න.මොකද මට ඕනේ නෑ සම්බන්දයක් ඇතිකරගත්තට පස්සේ මගින් නවත්තන්න.මගේ කේන්දරේ අර අඟහරුද මොකාද හතේ ඉන්නේ.එහෙම අය බඳින්න ඕනේ එහෙම එකෙක්මලු.නැත්තන් අනිත් එකා මැරෙනවලු.ඕවා පිළිගන්න අය ඔයගොල්ලන්ගේ ගෙදර ඉන්නවනම් ඒ ගැනත් හිතලා ඔයාගේ උත්තරේ මට දෙන්න.අදම නැතිවුනත් කමක් නෑ.හිතන්න කල් ඕනෙනම් හිතලා බලලා මට කියන්න".

ඔයා ගල්වෙලා.මම තාමත් ඔයාගේ අත අල්ලගන.ඔයාගේ ඇස්වල කඳුළු.මට බය හිතුනා ඔයා බෑ කියයි කියලා.මම හිමිහිට ඔයාගේ අත බුරුල්කලා.මගේ අතින් ඔයාගේ අත මුදවගත්තු ඔයා මගේ අත අල්ලගන හයියෙන් මිරිකගත්තා.ඒ තමයි ඔය මට කැමත්ත දුන්න හැටි; එදා.

"
හොඳට හිතල බලලද තීරණය කලේ....?හොඳටම විශ්වාසද මේ දේවල් කවමදාවත් ප්‍රශ්ණයක් වෙන එකක් නෑ කියලා ඉස්සරහට....?"
"ඒ ගැන මුකුත් කියන්න එපා...."මගේ අත රිදෙන තරමට තදවුනා.
ඒ තමයි මම ඔයාට ආදරෙයි කියලා කියපු එකම දවස.ඒ වගේමයි ඔයා ඒ වචනේ කවමදාවත් මට කියලත් නෑ.ඒත් අපේ සම්බන්දය දිගටම ගලාගන ගියා.
-----------------------------------------------------------

මට මෙහෙම හිතෙන්නේ ඇයි?ඔයාගේ මොන අඩුපාඩුවක් නිසාද?භෞතික වශයෙන්නම් ඔයාගේ කිසිම අඩුපාඩුවක් නෑ.පිටපලාතකින් රස්සාවකට කොළඹ ආපු ඔයා ඒ වෙනකොට කොළඹින් ඔයාටම කියලා ගේකුත් හදාගන තමන්ටම කියලා වාහනේකුත් අරගන ;මිනිස්සු කියන විදිහට හොඳ සමාජ තත්වෙක හිටියා.ඔයත් එක්ක යාලුවෙනකොට ජීවිතේ පටන්ගන්න හිතලවත් තිබුනේ නැති මම ඔයා හින්දම අළුතින් ජීවිතේ පටන්ගත්තා.ඒත් ;ඒ දේ මගේ හිතට මදි පුංචි කමක් වුනාද? අම්මලා තාත්තලා නිසා මුදල් අඩුපාඩුවක් නොතිබුනත් ඉස්සර ඉදන්ම ආඩම්බරකාරයෙක්වුන මගේ හිතට ඒ දේවල් දරාගන්න බැරිවුනාද? නැත්තන් යාළුවෝ හැම එකෙක්ම තමන්ට වඩා වයසින් අඩු කෙල්ලෝ එක්ක යාලුවෙලා ඉන්නැද්දී ඔයාගේ වයස මට ලැජ්ජාවක් උනාද?කියලා මට හිතාගන්න බෑ.ඔයාට ආදරය කරන්න තීරණය කරපු දවසේ මගේ හිතේ තිබුන අදිශ්ඨානය කොහේ ගිහින්ද?මොන විදිහට තර්කකලත් කවදාවත් සාදාරනීකරණය කරන්න බැරි ඒ අධම තීරණය මම ගත්තා.

"
අපි මේ සම්බන්දේ නතර කරමු..."
"ඇයි...?"

ඔයාට දෙන්න උත්තරයක් මට තිබුනේ නෑ.මම සද්දනැතුව හිටියා.ඔයා කවදාවත් මගේ පස්සෙන් ඇවිත් ඒකට හේතු ඇහුවෙත් නෑ.කවදාවත් මට වදයක් වුනෙත් නෑ.අඩුම ගානේ "මට මෙහෙමකලේ ඇයි" කියලවත් මගෙන් ඇහුවේ නෑ.අවුරුදු එකහමාරක් විතර තිබුන සම්බන්ධය ඒ විදිහට කෙලවරවුනා.වැඩිකල් නොගිහින් මම තවත් ගෑණු ළමයෙක් එක්ක යාලුවුනා.මට වඩා අවුරුදු 4ක් බාල.ඒත් හිතේ තිබුන වරදකාරි හැඟීම එහෙම්මමයි.කාලයත් එක්ක ඒක වැඩිවුනා මිස අඩුවුනේ නෑ.
-------------------------------------------------------------

අවුරුදු 6ක් ගෙවුනා.මගේ ජීවිතේ සතුටින් ගෙවුනා.ඒත් අර වරදකාරී හැඟීම කවදාවත් අඩුවුනේ නෑ.ඔයාට මගේ අතින් සිද්දවුන දේ තවත් ගෑනු ළමයෙක්ට වෙයි කියන බයටම ඔයාගේ සැපදුක අහන්නවත් මම ඔයාට කතාකලේ නෑ.ඒ අවුරුදු 6 ඇතුලේ  එකම එක පාරක් මම ඔයාව බලන්න ආවා.ඒ ඔයා වැඩ ඇරිලා යන එන වෙලාවක ඔයාගේ බස් රූට් එකේ බෝම්බයක් පිපිරුන දවසේ.එදා මම ඔයාගේ ගෙවල් ගාවට ඇවිත් වාහනේ නවත්තගන ගොඩක්වෙලා බලාගන හිටියා.ගෙදර ගේට්ටුව වහන්න ආපු ඔයාව දැක්කහම හිත ගොඩක් නිවුනා.ඔයා ගේ ඇතුලට ගියාට පස්සේ මම ආපහු ගෙදර ආවා.ඉවසලා ඉවසලා බැරිම තැන මම ඔයාට කෝල් කලා.මුලදී ටිකක් නොසන්සුන් ගතියක් තිබුනත් ඒ කටහඬේ තරහවක් ගෑවිලාවත් තිබුනේ නෑ.ඒ නිසාම මට මගේ ගැනම ලැජ්ජාවක්, පිළිකුලක් ඇතිවුනා.ඒ විදිහට කතා කරලා ඔයා මට දෙන්න පුළුවන් උපරිම දඬුවම දුන්නා.ඊට පස්සේ මාසෙකට සැරයක් දෙකක් අපි කතාකලා.පෙම්වතුන් විදිහටවත් යාළුවෝ විදිහටවත් නෙමෙයි.හිතවතුන් විදිහට.විනාඩි කීපයකට.

"
තව මාස දෙකකින් මම බඳිනවා...."

දවසක් මට කතාකරපු ඔයා කිවුවා.මම මුකුත් කිවුවේ නෑ.අඩුමගානේ සුභ පැතුවෙවත් නෑ.ඒ වෙනකොට මටත් පෙම්වතියක් හිටියත් මට මහා පරාජිත හැඟීමක් දැනුනා.

"
මට වෙඩීන් ෆොටෝ එක එවන්න...හැබැයි තනියෙන් ඉන්න එකක්..."

මම කිවුවේ එච්චරයි.කිවුව විදිහට ඔයා ඒක මට එවලා තිබුනා.ඔයා එකේ ලස්සනට....හරිම ලස්සනට හිටියා.ඒක බලලා හිතාගන්න බැරි හැඟීමකින්; සමහරවිට ඊරිසියාවෙන්, පිරිච්ච හිතත් අරගන මම රූෆ් ටොප් එකට ගිහින් හොඳටම බිවුවා තනියම.ඔහොම කාලයක් ගතවුනා.මගේ ජීවිතේත් ගොඩක් වෙනස්කම් සිද්දවුනා. ජීවිතේමයි කියලා හිතන් හිටපු අය ජීවිතෙන් ඈත්වුනා.ආදරය දිහා ගොඩාක් උපේක්ෂාවෙන් බලන්න පුරුදුවුනා.අර දඩබ්බර ජීවිතය සිල් ගත්තා.ඒ අතර තුර පුරුදු විදිහට ඔයත් කතාකලා මාසෙකට 2-3න් පාරක්.

"
බන්ටි....දෙයක් කියන්න තියනවා....මම ප්‍රෙග්නට්...."

දවසක් ඔයා මට කිවුවා.ඔයා පිළිගත්තත් නොගත්තත් ඔයාගැන කවදාවත්ම ඇති නොවුන තරම් ආදරේකින් එදා මගේ හිත පිරිලගියා.

"
කන්ග්‍රැජ්‍යුලේෂන්  දිල්...."

ඒ වෙනකොට ඔයාට කියන්න මට ඉතුරුවෙලා තිබුනේ ඒ වචනේ විතරයි.

"
බන්ටි, මට පුතෙක් හම්බුනා.ලස්සන පුතෙක්.අපි දෙන්නටම කරදරයක් නෑ.මේ දවස්වල ගෙදර කට්ටිය පිරිලා.පුළුවන් උන ගමන් මම ඔයාට කතාකරන්නම්."

කාලෙකට පස්සේ ඔයාගෙන් ආපු කෙටි පණිවිඩය.මට කිසිම අයිතියක් නැති දෙයක් වෙනුවෙන් මගේම කියලා හිතාගන මම සතුටුවුනා.මේ විදිහට පුතාට මාස 8ක් විතර වුනා.දවසක් කතාකරද්දී ;

"
මට ඔයාව හම්බවෙන්න ඕනේ.3ට විතර එනවද අපේ ඔෆිස් එක ලඟට....?"
"ඇයි....හදිස්සියක්ද....?"
"ඉසරනම් ඔයාට ඔහොම කිවුවහම ඔය විදිහට ඇහුවේ නෑ.අඩුමගානේ යාළුවෙක් විදිහට හිටපු කාලෙවත්."
"ඉස්සර හිටපු මමවත් ඔයාවත් නෙමෙයිනේ දැන් ඉන්නේ....හරි...කමක් නෑ.අර පානදුර  - නුවර බස් නවත්තන තැන මම ඉන්නවා 3 වෙනකොට.ඔයා එතන්ට ඇවිත් වාහනේට නගින්න.නැත්තන් ඔයාගේ ඔෆිස් එකේ කවුරුහරි ඕක දැක්කොත් ඒක ඔයාටමයි හොඳ නැත්තේ...."

"
කොහාටද යන්නේ....?ඉස්සර වගේ මිනිස්සු ඉන්න තැන් වලට අපිට යන්න බෑනේ දැන්..."
"කොහෙවත් යන්න ඕනේ නෑ....මෙහෙම යන ගමන් කතාකරමු..."

කිසිම කතාබහක් ඇතිවුනේ නෑ ගොඩක් දුර යනකම්.අන්තිමේදී ඒ මූසලකම ඉවසගන්න බැරුවම මම වාහනේ අතුරු පාරක නැවත්තුවා.

"
දිල්....ඇයි මේ...?මොකක් හරි ප්‍රශ්නයක්ද...?"

ඔයාගේ අත අල්ලගත්තු මම ඇහුවා.මුකුත්ම නොකියපු ඔයා මගේ උරහිසට හේත්තුවෙලා අඬන්න පටන්ගත්තා.ඔයාව තුරුල්කරගන ඔළුව අතගානවා ඇරෙන්න මට වෙන කරන්න දෙයක් තිබුනේ නෑ ඒ වෙලාවේ.

"
ඇති තරම් අඬලා ඉවරවෙලා මට කියන්න මොකද්ද ප්‍රශ්නේ කියලා....?"
"ඇයි බන්ටි මට මෙහෙමකලේ....?"

අවුරුදු ගානක් තිස්සේ කවදවත්ම ඔයා අහපුනැති ප්‍රශ්නේ එදා ඔයා මගේ ඉස්සරහ අතෑරියා.

"
ඔය ප්‍රශ්නෙට මම දැන් මොන උත්තරේ දුන්නත් මම දැන් පරකු වැඩියි දිල්...."
"ඔයා හිතන්න එපා බන්ටි මම මහා නරක ගෑනියෙක් කියලා....දරුවෙකුත් ඉන්න මම ඔයාගේ ඇඟේ එල්ලෙන්න හදනවා කියලත් හිතන්න එපා.ඔයාට නිකමටවත් එහෙම හිතෙනවනම් ආපහු කවදාවත් මට කතාකරන්නත් එපා.මාව හම්බවෙන්නත් එපා.ඒත් මමත් මනුස්සයෙක් බන්ටි.මටත් හිතක් තියනවා.මම මේ ලෝකේ පිරිමියෙක්ට කියලා ආදරේ කලේ ඔයාට විතරයි.ඒක එදත් එහෙමයි.අදත් එහෙමයි."
"එතකොට....."
"මේ කසාදේ සිද්දවුනේ ගෙදර බලපෑමට.අක්කා ගෙදර ඉඳිද්දී නංගිලව බන්දන්න බැරිකමට.එහෙම නැතුව ආදරේකට නෙමෙයි...."
"එච්චර ආදරේ කලානම් ඇයි දිල් ඒ දවස්වල මම යද්දි යන්තමින්වත් මාව නවත්තගන්න හැදුවේ නැත්තේ....?ඇයි....?"
"මම ඔයාට ආදරේ කලා....එහෙම නැතුව ඔයාගෙන් වාසි ගන්න ඔයාව ලගින් තියාගන්න හැදුවේ නෑ. ඔයාට යන්න ඕනේ කියද්දී බලෙන් ඔයාව තියාගන්න තරම් ආත්මාර්තයක් ඒ ආදරේ ඇතුලේ තිබුනේ නෑ කවමදාවත්."

ඔයා මාව පණපිටින් වැළළුවා.මගේ ජීවිතේ ඒ තරම් අසරණවිච්ච වෙලාවක් කවදාවත්ම තිබුනේ නැතුව ඇති.

"
මට සමාවෙන්න දිල්...."ජීවිතේ පළවෙනි වතාවට ආදරයක් වෙනුවෙන් මම කෙනෙක්ගෙන් සමාව ගත්තා.ඔයාගේ ආදරය ඉස්සරහ ඔයා මාව බල්ලෙක් කලා.

"
මම මොනවා කරන්නද කියලා මට තේරෙන්නේ නෑ දිල්....."
"ඔයා මොනවත් කරන්න ඕනේ නෑ.මේක අපි දෙන්නගෙම නොලැබීම.ඔයාට,ඔයාගේ ගෙදරට ළමයෙක් ඉන්න ගෑනියෙක් ගෙනියන්න බෑ කියලා මම දන්නවා.මටත් බෑ  මේ දේවල් නවත්තලා ඔයත් එක්ක එන්න කොහොමටවත්.....ඒත් මට එකම එක දෙයක් දෙන්න බන්ටි....."

මම මුකුත් නොකියම ඔයාගේ ඇස්දෙක දිහා බලාගන හිටියා.

"
ඉඳලා හිටලවත් මාව මේ විදිහට බලල යන්න එන්න බන්ටි.....මම දන්නවා මේක හරිම අසාධාරන ඉල්ලීමක් කියලා....ඒත් මගේ පපුවටත් දරාගන්න පුළුවන් සීමාවක් තියනවා.මගේ හස්බන්ඩ් වෙනුවෙන්, මගේ දරුවා වෙනුවෙන් මම මගේ ජීවිතේ කැපකරනවා.ඒකගැන සැකයක් නෑ.ඒත් මටත් ආදරයක් ඕනේ.මමත් හුස්ම වැටෙන ගෑණියෙක්.මේක ඔයාටත් කරදරයක් වෙයි.ඔයාටත් හිතෙයි මේ මොන මල වදයක්ද...මේ ගෑනි නිසා මට කෙල්ලෙක් එක්ක යාළුවෙන්නත් බෑනේ කියලා.ඔයාට එහෙම කෙනෙක් හම්බුන දවසට ඔයා ඒක මට කියලා මගෙන් ඈත්වෙන්න.මම කවමදාවත් ඔයාව හිරකරන්නේ නෑ.ඒත් එහෙම කෙනෙක් හම්බවෙනකම් ඉඳලා හිටලවත් මේ විදිහට මාව හම්බවෙන්න එන්න."
"දිල්....මම රට ගියොත් එනවද මාත් එක්ක යන්න පුතාවත් අරන්....?"
"බෑ බන්ටි...ඒ දේ කවදාවත් වෙන්නේ නෑ....පුතාට අයිතියක් තියෙන්න ඕනේ එයාගේ තාත්තත් එක්ක ඉන්න....ඒ අයිතිය එයාගෙන් උදුරගන්න මට බෑ...අනික තවකෙනෙක්ගේ දරුවෙක්ට තාත්තා වෙලා ඔයාගේ ජීවිතේ නාස්තිකරගන්න දෙන්න මට බෑ....ඒ දේ කවදාවත් මගේ අතින් වෙන්නේ නෑ...."
"මේ කාගෙවත් දරුවෙක් නෙමෙයි දිල්.ඔයාගේ දරුවා....ප්ලීස්...හිතන්න මේ ගැන තව....ඒ පොඩි එකාට කවදාවත් මගේ අතින් වෙනස්කමක් වෙන්නේ නෑ...."
"පිස්සෝ....ඒක ගැන මගේ හිතේ සැකයක් නෑ...ඔයා කවුද කියලා මම දන්නවා.ඒ නිසයි අද මේ විදිහට ඔයාව හම්බවෙන්න ආවේ.ඔය අතින් වැරද්දක් වුනොත් මට ඔයාට සමාවදෙන්න පුළුවන්.ඒත් මගේ අතින් වැරද්දක් වුනොත් මටම සමාව දීගන්න මට බෑ.ඒක නිසා ඒ දේ වෙන්නේ නෑ කවදාවත්.....අපි යමු බන්ටි....ඔෆිස් ඇරෙන වෙලාවත් ලඟයිනේ.....තව දෙයක්....ඔය සීරියස් මූඩ් එක හොඳයි ඔයාට.ඒත් පුළුවන්නම් මාව හම්බවෙන්න එන දවසට අර ඉස්සර හිටපු පිස්සව අරගන එන්න...."
එහෙම කියපු ඔයා මගේ ඔළුව පහත්කරලා මගේ නළල ඉම්බා.

දැන් දවස් 5-6ක්ම මේ දේ සිද්දවුනත් ඒ දේ නවත්තගන්න අපිට ඕනේකමක් වෙලා නෑ.බලාගන ඉන්න අයට මේක වැරදි ඇති.අපි දෙන්නත් දන්නවා මේක වැරදියි කියලා.මොලේ කොච්චර කිවුවත් මේක නවත්තපන් කියලා අපි දෙන්නම නතුවෙන්නේ හදවත කියනදේට.මේ ආදරය ඇතුලේ කවමදවත් අපි සිල්පද බිඳගන නෑ.ඒත් අපිට මේක නවත්තන්නත් ඕනේ.නවත්තගන්නත් බෑ.ඔයාගේ ජීවිතේට මෙහෙම ඉරණමක් අත්කලේ මමයි කියන වරදකාරී හැඟීමෙන් මම පෙළෙනවා.මගේ ජීවිතේ නාස්තිකරනවා කියන වරදකාරී හැඟීමෙන් ඔයා විඳවනවා.දෙන්නට දෙන්නා කවමදාවත් අයිතිවෙන්නේ නෑ කියන හැඟීමෙන් දෙන්නම මැරි මැරි උපදිනවා.ඉස්සරහට වෙන දෙයක් වෙච්චදෙන් කියලා ජීවිතේ ගෙවනවා ඇරෙන්න කිසිම බලාපොරොත්තුවක් නැති ආදරයක් වෙනුවෙන් දෙන්නම මහමෙරක් තරමට පෙරුම්පුරනවා.


සඳ දිය දෙවුණ සේ සිනහව පිපුණාම
නුඹ කොයි තරම් සුවඳ ද මගෙ හිත ගාව
දෑ කුල සිරිත් සිටි සඳ මග අවුරාන
හමුවී වැළපෙමුද මෙලෙසින් හැමදාම

නෑඹුල් පැතුම අහසට නැග රහසේම
දිලිසෙන්නේද පුරපස වී සඳපාන
ඒ හඳ ඇයිද දියවත වී ගොළු රෑක
දියවී ගිහින් රැඳුනේ තරු ඇස ගාව

ළය මත පිපුණු උණුසුම් සුසුමක සුවඳ
සෝදා හළ හැකිද ගැරහුම් රළ ගාව
කඩයිම ළඟ ඉඳන්වත් නුඹ හැමදාම
මට අත වනාපන් නලියන නල සේම

ගායනය- අසංග ප්‍රියමන්ත / මාලනී බුලත්සිංහල.
ස්වර- සමන්ත පෙරේරා.
පද-නිලාර් එන්. කාසීම්.
ගී එකතුව- ඉරබටු තරුවේ.

                                               
-නිමි-



කටුස්සා....


Wednesday, February 10, 2016

මිතුරු....




උඹ පිච්චිල අළු වෙනකොට
පිච්චෙන මගෙ ආත්මයට
දැනෙන සිසිල කොයිතරම්ද
දන්නවාද ඒ බව උඹ....


කටුස්සා....

ප:ලි:-
"වර්ණ" ලියන දිනේශ් මලයගේ "සිගරට් බිවුවට මේ ගැනත් දන්නවද?" පෝස්ට් එකට කමෙන්ට්කරපු බහුතරයක්; මේ අහිංසකයාට බැනවැදීමෙන්  හිතට ඇතිවූ ශෝකය නිසාම ලිවූවකි.

කමියා, විස්කෝතුයි ගොඩක්.

Monday, February 8, 2016

සිත සතුට ගෙනාවේ ඔබමය.....



රුක්අත්තන මල් ගොමුවේ පිපි මල් දෝතින් නෙළලා
සඳ එළියට පෙම්බඳිනා කඩුපුල්පෙති සුවඳ උලා
සේපාලිකා මල් ඇතිරුව නිල් තණ උඩ දිගාවෙලා
බිඳකට එළියට එනවද තරු ගනින්න තුරුල්වෙලා

වැවු දියමත පිපී සැලෙන දියබෙරලිය මල් කඩලා
කඩාහැලෙන නුඹෙ වරලස විසිතුරුකර පළන්දලා
ගෙලට වැටෙන මල් මත පිනි සිසිලස දෙතොලින් විඳලා
හත්දින්නත් තරු පොකුරට අතවනමුද හිනාවෙලා

මට මාවම අහිමිකෙරුව නිල් දෙනයන පිය වසලා
නුඹට නුඹව අහිමිකෙරුව රළු උරමත හිස තියලා
සියුමැලි මුදු ඇඟිලි තුඩින් නිමනොකරන රුව ඇඳලා
අපිටම අපි හොයාගන්න එනවද දැන් පමාවෙලා

වටකොට ගත අප සඟවන මීදුම් සළු මැදටවෙලා
කෝලබර දෙනෙත් දල්වන සුරංගනා නෙතු මතලා
හීගඬු නංවන ලයමත වත දුවද්දි උමතුවෙලා
අඩවන්වූ නෙතු නොකියන කවිය කියමු එකතුවෙලා

නිල්කඳු පිස හමන සුළඟ දැනෙන සීත පරද්දලා
උණුසුම්වන සිතුවිලි ගත උණුසුම මත මුහුකරලා
වැගිරෙන දා බිංදු අතර දිවි අම බිඳු රස තියලා
අපේමවුන අපේ ලොවක ඉම සොයමුද පියාඹලා


කටුස්සා....

Thursday, February 4, 2016

ආදරයද මේ......


නුඹට පෙම්බැඳි දුරාතීතේ
නැගුන හසරැල් මතක මැද්දෙම
දෙදෙන එක්වී ලියූ කවිපද
මතක අතරට සිහිනයෙන් හෝ
ආයේ නොමඒනම්
කවමදාවත් නොදුටු කඳුලැල්
පලා ඇහිබැම යහන මත්තට
වැටෙන්නෑ එහෙනම්

සතුට දුක උහුලපු පුළුලුතල
අතර මැදිවී හෙළු කඳුලැල්
පිසූ නුඹ රළු දෑත මත්තෙම
බලා නුඹදෙස නෙතු පියෙන්නට
වරම් හිමිවුනිනම්
අහස් මායිම දෙස බලාගන
තනිව හෙලනා කඳුළු සයුරත්
සිඳේවී එහෙනම්

ලොවට රහසින් හමුවනා හැම
දිනක හෙලනා සුසුම් සර මැද
දැවී අලුවී නොපෙනි යන්නට
කිසිඳු දිනයක නොතැවි ඉන්නට
පෙමට හැකිවුනිනම්
අපේ වන්නට බැරුව ලතවෙන
අපේ පෙම යලි කවමදාවත්
දකින්නෑ සරදම්

අහසෙ දිදුලන තාරකා සේ
දිලෙන නුඹ නෙතු කවුළු අතරින්
ඔහු නිදන මගෙ කුටිය ඇතුලට
පැමිණ මගෙ නෙතු දෙස බලාගන
බවුන් නොවඩයිනම්
මැරි මැරි ඉපදෙනා දිවියක
සිසිල විඳිනට අකීකරු සිත
යදින්නෑ පැතුමන්


කටුස්සා....

Tuesday, February 2, 2016

උඹට හොඳක් වෙන්න එපා.... උඹට නින්ද යන්න එපා....


දත් තිස්දෙක හිමින්සැරේ නොතේරෙන්න ගැලෙවුවාට
හෙන ගහපන් උඹ යන එන හැමතැනදිම උඹෙ ඔළුවට
සැළුන් එකට ගිහින් උලන ක්‍රීම් ජාති විසවී තොට
කොස්ගෙඩි මෙන් ගෙඩි දාපන් උඹේ මූණේ හැමතැනකම

උඹට හොඳක්වෙන්න එපා..... උඹට නින්ද යන්න එපා.....
කිසි දවසක කිසි කොල්ලෙක් උබව පතන්නෙපා......

ඇස්කරකන් කොල්ලන්වෙත මෝල් බැල්ම දානකොටම
කෙල ගහපන් උඹේ මූණට හැම එකාම එක විදිහට
කෙල්ලන්ගෙන් දත් ගලවන කොල්ලෙකු ලඟ වී කෑල්ල
හම්බකරන හැම සතයම නැතිවී පලයන් නුඹහට

උඹට හොඳක්වෙන්න එපා..... උඹට නින්ද යන්න එපා.....
කිසි දවසක කිසි කොල්ලෙක් උබව පතන්නෙපා.....

උඹේ නමින් ගලපු කඳුළු මගේ ඇසින් කොට්ටෙ උඩට
සුනාමියක් වී ඇවිදින් ගහගන පලයන් නුඹ හෙට
මගෙ අත අල්ලන් ඇවිදපු පාරදිගේ වැතිරීහිඳ
අත දික්කරගන හිටපන් හිගාකන්න රුපියල දෙක

උඹට හොඳක්වෙන්න එපා..... උඹට නින්ද යන්න එපා.....
කිසි දවසක කිසි කොල්ලෙක් උබව පතන්නෙපා.....


මේක කියවලා "මුගේ අම්මට....."කියලා කියන්න කලින් යට ටිකත් කියවපියෝ.......




පහුගිය දවසක හදිස්සියේ මොණරාගල යන්නවුනා බස් එකේ.ඉස්සරහ සීට් එකට තදවුන දණහිසත් එක්ක එහෙට මෙහෙට ඇඹරි ඇඹරි පැය 7-8ක් තිස්සේ සැපට ගිය ගමනට කන්සැපක් දෙන්න ඩ්‍රයිවර් අයියයි කොන්දොස්තර අයියයි පොඩ්ඩක්වත් ලෝභවුනේ නෑ.ටෙක්නිකල් හන්දියට යන්නත් කලින්ම "ඔබට සතුටුයිද දැන්" කියලා පටන්ගත්තු කන්සැප ; හුළංදාවෙන් බහිනකොට සතුට වැඩිකමට දෝරේ ගිහින්.එහෙන් මෙහෙන් අසන්නට ප්‍රියකරන සිංදුවක් දෙකක් ඇහුන්නැත්තෙමත් නෑ.ඒත් ඒවත් "ඩිශුම් බිශුම්" සංගීතෙත් එක්ක.ඇහිච්ච සිංදුවලින් 99% ම හොටු පෙරාගන කබ කඩාගන බිජ්ජ හපාගන කියපු ලතෝනි.ගෙදරදිවත් ,වැඩකරන තැනදිවත් වැරදිලාවත් අහලනැති සිංදු ගොඩක් මේ ගමනට පිංසිද්දවෙන්න අහන්න ලැබුනා.ඒවා ලියන,කියන කොල්ලොනේ කොල්ලෝ.ගෑණු ළමයෙක්ට ඒවගේ කොල්ලෙක් කසාද බැඳගන්න බැරිනම් දරුකමට හරි හදාගන්න යුතුකමක් තියනවා."උඹ එනකම් මම ජීවිතකාලෙම තනියෙන් බලාගන ඉන්නවා" ,"එකෙක් එක්ක බැරිනම් 10ක් එක්ක හරි ගිහින් වරෙන්.එතකන් මම තනියෙන් ඉන්නවා" , "අනේ ඉක්මනට එන්නකෝ.මට හරි තනියි.සීතලයි ", "උඹ මට වැරදි කලාට මම රහසින්වත් උඹට වැරද්දක් කරන්නේ නෑ" , "ඔයා ආපහු එනකම් මම ස්වයංවින්දනේවත් කරන්නේ නෑ" වගේ ඒවා හිතන පතන කියන කොල්ලෙක්ව බැඳගන්න තියනවනම් කෙල්ලෙක්ගේ මොනතරම් පිණක්ද?.

ඔය අතරේ හිතුන දේ තමයි ඔයවගේ සත්ගුණවත් අනේ මට ඇරලම පලයන් කියලා අඬන කොල්ලෝ මැද්දේ තමන්ව රවට්ටලා දත ගලවලා ගියපු කෙල්ලට "තොට හෙන ගහපන්" කියලා ප්‍රාර්ථනා කරන එකම කොල්ලෙක්වත් නැද්ද කියන එක.අඩුමගානේ එහෙම එකෙක් හරි නැතිවෙන්න විදිහක්නෑනේ.මොකද ඔය ප්‍රභුද්ධයි කියන ඈයොත් දාලාගිය එකීට කිරි උතුරපන් කියලා සිංදු කියල තිබ්බට "අනේ උඹට කෙළවියන්" කියලා සිංදුවක් කියල තියන එකක්'යැයි. අන්න ඒ ඉන්න කොල්ලා හදිස්සියෙන් හරි සංගීතයක් බලන්න ගියොත් ඌ පවුනේ.උගේ චොයිස් එකට එක සිංදුවක්වත් නෑනේ ඒවගේ.ඒ නිසා ඒ කොල්ලා ගැන ඇතිවුන අනුකම්පාවට ඩිශුම් බිශුම් සංගීතෙට ගැලපෙන්න ලියපු අහිංසක උත්සාහයක් විතරයි මේක.මේක කියවන කාන්තා පාර්ශවේ මේක ගැන විස්සෝප වෙන්න දෙයක් නෑ.ඕකේ පද ටිකක් එහෙ මෙහෙ කරලා පිළිතුරු ගීයක් කියන්න බැරිකමකුත් නෑනේ ඉතින්..


කටුස්සා....