Wednesday, February 10, 2016

මිතුරු....




උඹ පිච්චිල අළු වෙනකොට
පිච්චෙන මගෙ ආත්මයට
දැනෙන සිසිල කොයිතරම්ද
දන්නවාද ඒ බව උඹ....


කටුස්සා....

ප:ලි:-
"වර්ණ" ලියන දිනේශ් මලයගේ "සිගරට් බිවුවට මේ ගැනත් දන්නවද?" පෝස්ට් එකට කමෙන්ට්කරපු බහුතරයක්; මේ අහිංසකයාට බැනවැදීමෙන්  හිතට ඇතිවූ ශෝකය නිසාම ලිවූවකි.

කමියා, විස්කෝතුයි ගොඩක්.

Monday, February 8, 2016

සිත සතුට ගෙනාවේ ඔබමය.....



රුක්අත්තන මල් ගොමුවේ පිපි මල් දෝතින් නෙළලා
සඳ එළියට පෙම්බඳිනා කඩුපුල්පෙති සුවඳ උලා
සේපාලිකා මල් ඇතිරුව නිල් තණ උඩ දිගාවෙලා
බිඳකට එළියට එනවද තරු ගනින්න තුරුල්වෙලා

වැවු දියමත පිපී සැලෙන දියබෙරලිය මල් කඩලා
කඩාහැලෙන නුඹෙ වරලස විසිතුරුකර පළන්දලා
ගෙලට වැටෙන මල් මත පිනි සිසිලස දෙතොලින් විඳලා
හත්දින්නත් තරු පොකුරට අතවනමුද හිනාවෙලා

මට මාවම අහිමිකෙරුව නිල් දෙනයන පිය වසලා
නුඹට නුඹව අහිමිකෙරුව රළු උරමත හිස තියලා
සියුමැලි මුදු ඇඟිලි තුඩින් නිමනොකරන රුව ඇඳලා
අපිටම අපි හොයාගන්න එනවද දැන් පමාවෙලා

වටකොට ගත අප සඟවන මීදුම් සළු මැදටවෙලා
කෝලබර දෙනෙත් දල්වන සුරංගනා නෙතු මතලා
හීගඬු නංවන ලයමත වත දුවද්දි උමතුවෙලා
අඩවන්වූ නෙතු නොකියන කවිය කියමු එකතුවෙලා

නිල්කඳු පිස හමන සුළඟ දැනෙන සීත පරද්දලා
උණුසුම්වන සිතුවිලි ගත උණුසුම මත මුහුකරලා
වැගිරෙන දා බිංදු අතර දිවි අම බිඳු රස තියලා
අපේමවුන අපේ ලොවක ඉම සොයමුද පියාඹලා


කටුස්සා....

Thursday, February 4, 2016

ආදරයද මේ......


නුඹට පෙම්බැඳි දුරාතීතේ
නැගුන හසරැල් මතක මැද්දෙම
දෙදෙන එක්වී ලියූ කවිපද
මතක අතරට සිහිනයෙන් හෝ
ආයේ නොමඒනම්
කවමදාවත් නොදුටු කඳුලැල්
පලා ඇහිබැම යහන මත්තට
වැටෙන්නෑ එහෙනම්

සතුට දුක උහුලපු පුළුලුතල
අතර මැදිවී හෙළු කඳුලැල්
පිසූ නුඹ රළු දෑත මත්තෙම
බලා නුඹදෙස නෙතු පියෙන්නට
වරම් හිමිවුනිනම්
අහස් මායිම දෙස බලාගන
තනිව හෙලනා කඳුළු සයුරත්
සිඳේවී එහෙනම්

ලොවට රහසින් හමුවනා හැම
දිනක හෙලනා සුසුම් සර මැද
දැවී අලුවී නොපෙනි යන්නට
කිසිඳු දිනයක නොතැවි ඉන්නට
පෙමට හැකිවුනිනම්
අපේ වන්නට බැරුව ලතවෙන
අපේ පෙම යලි කවමදාවත්
දකින්නෑ සරදම්

අහසෙ දිදුලන තාරකා සේ
දිලෙන නුඹ නෙතු කවුළු අතරින්
ඔහු නිදන මගෙ කුටිය ඇතුලට
පැමිණ මගෙ නෙතු දෙස බලාගන
බවුන් නොවඩයිනම්
මැරි මැරි ඉපදෙනා දිවියක
සිසිල විඳිනට අකීකරු සිත
යදින්නෑ පැතුමන්


කටුස්සා....

Tuesday, February 2, 2016

උඹට හොඳක් වෙන්න එපා.... උඹට නින්ද යන්න එපා....


දත් තිස්දෙක හිමින්සැරේ නොතේරෙන්න ගැලෙවුවාට
හෙන ගහපන් උඹ යන එන හැමතැනදිම උඹෙ ඔළුවට
සැළුන් එකට ගිහින් උලන ක්‍රීම් ජාති විසවී තොට
කොස්ගෙඩි මෙන් ගෙඩි දාපන් උඹේ මූණේ හැමතැනකම

උඹට හොඳක්වෙන්න එපා..... උඹට නින්ද යන්න එපා.....
කිසි දවසක කිසි කොල්ලෙක් උබව පතන්නෙපා......

ඇස්කරකන් කොල්ලන්වෙත මෝල් බැල්ම දානකොටම
කෙල ගහපන් උඹේ මූණට හැම එකාම එක විදිහට
කෙල්ලන්ගෙන් දත් ගලවන කොල්ලෙකු ලඟ වී කෑල්ල
හම්බකරන හැම සතයම නැතිවී පලයන් නුඹහට

උඹට හොඳක්වෙන්න එපා..... උඹට නින්ද යන්න එපා.....
කිසි දවසක කිසි කොල්ලෙක් උබව පතන්නෙපා.....

උඹේ නමින් ගලපු කඳුළු මගේ ඇසින් කොට්ටෙ උඩට
සුනාමියක් වී ඇවිදින් ගහගන පලයන් නුඹ හෙට
මගෙ අත අල්ලන් ඇවිදපු පාරදිගේ වැතිරීහිඳ
අත දික්කරගන හිටපන් හිගාකන්න රුපියල දෙක

උඹට හොඳක්වෙන්න එපා..... උඹට නින්ද යන්න එපා.....
කිසි දවසක කිසි කොල්ලෙක් උබව පතන්නෙපා.....


මේක කියවලා "මුගේ අම්මට....."කියලා කියන්න කලින් යට ටිකත් කියවපියෝ.......




පහුගිය දවසක හදිස්සියේ මොණරාගල යන්නවුනා බස් එකේ.ඉස්සරහ සීට් එකට තදවුන දණහිසත් එක්ක එහෙට මෙහෙට ඇඹරි ඇඹරි පැය 7-8ක් තිස්සේ සැපට ගිය ගමනට කන්සැපක් දෙන්න ඩ්‍රයිවර් අයියයි කොන්දොස්තර අයියයි පොඩ්ඩක්වත් ලෝභවුනේ නෑ.ටෙක්නිකල් හන්දියට යන්නත් කලින්ම "ඔබට සතුටුයිද දැන්" කියලා පටන්ගත්තු කන්සැප ; හුළංදාවෙන් බහිනකොට සතුට වැඩිකමට දෝරේ ගිහින්.එහෙන් මෙහෙන් අසන්නට ප්‍රියකරන සිංදුවක් දෙකක් ඇහුන්නැත්තෙමත් නෑ.ඒත් ඒවත් "ඩිශුම් බිශුම්" සංගීතෙත් එක්ක.ඇහිච්ච සිංදුවලින් 99% ම හොටු පෙරාගන කබ කඩාගන බිජ්ජ හපාගන කියපු ලතෝනි.ගෙදරදිවත් ,වැඩකරන තැනදිවත් වැරදිලාවත් අහලනැති සිංදු ගොඩක් මේ ගමනට පිංසිද්දවෙන්න අහන්න ලැබුනා.ඒවා ලියන,කියන කොල්ලොනේ කොල්ලෝ.ගෑණු ළමයෙක්ට ඒවගේ කොල්ලෙක් කසාද බැඳගන්න බැරිනම් දරුකමට හරි හදාගන්න යුතුකමක් තියනවා."උඹ එනකම් මම ජීවිතකාලෙම තනියෙන් බලාගන ඉන්නවා" ,"එකෙක් එක්ක බැරිනම් 10ක් එක්ක හරි ගිහින් වරෙන්.එතකන් මම තනියෙන් ඉන්නවා" , "අනේ ඉක්මනට එන්නකෝ.මට හරි තනියි.සීතලයි ", "උඹ මට වැරදි කලාට මම රහසින්වත් උඹට වැරද්දක් කරන්නේ නෑ" , "ඔයා ආපහු එනකම් මම ස්වයංවින්දනේවත් කරන්නේ නෑ" වගේ ඒවා හිතන පතන කියන කොල්ලෙක්ව බැඳගන්න තියනවනම් කෙල්ලෙක්ගේ මොනතරම් පිණක්ද?.

ඔය අතරේ හිතුන දේ තමයි ඔයවගේ සත්ගුණවත් අනේ මට ඇරලම පලයන් කියලා අඬන කොල්ලෝ මැද්දේ තමන්ව රවට්ටලා දත ගලවලා ගියපු කෙල්ලට "තොට හෙන ගහපන්" කියලා ප්‍රාර්ථනා කරන එකම කොල්ලෙක්වත් නැද්ද කියන එක.අඩුමගානේ එහෙම එකෙක් හරි නැතිවෙන්න විදිහක්නෑනේ.මොකද ඔය ප්‍රභුද්ධයි කියන ඈයොත් දාලාගිය එකීට කිරි උතුරපන් කියලා සිංදු කියල තිබ්බට "අනේ උඹට කෙළවියන්" කියලා සිංදුවක් කියල තියන එකක්'යැයි. අන්න ඒ ඉන්න කොල්ලා හදිස්සියෙන් හරි සංගීතයක් බලන්න ගියොත් ඌ පවුනේ.උගේ චොයිස් එකට එක සිංදුවක්වත් නෑනේ ඒවගේ.ඒ නිසා ඒ කොල්ලා ගැන ඇතිවුන අනුකම්පාවට ඩිශුම් බිශුම් සංගීතෙට ගැලපෙන්න ලියපු අහිංසක උත්සාහයක් විතරයි මේක.මේක කියවන කාන්තා පාර්ශවේ මේක ගැන විස්සෝප වෙන්න දෙයක් නෑ.ඕකේ පද ටිකක් එහෙ මෙහෙ කරලා පිළිතුරු ගීයක් කියන්න බැරිකමකුත් නෑනේ ඉතින්..


කටුස්සා....

Tuesday, January 26, 2016

හරක් මස්....


"අඩෝ...මොකද කරන්නේ..?වරෙන්කෝ ඉක්මනට.පරක්කු වෙනවා..."
"හිටපන් හු...තෝ...මම මේ ළඟ..."
...........
"උඹ අතේ කීයක් තියනවද...?"
"600 බං...."
"එතකොට 2600යි....බෝතල් දෙකට 2200යි...සෝඩා වලට 150යි...තව 50ක් දීපන් කවුරු හරි...එතකොට සිගරට් 10ක් ගන්න පුළුවන්...."
"අඩෝ...එතකොට බයිට්....?"
මොන හු...ද...?සල්ලි නෑ අද...බයිට් නැතුව බොමු..."
"බයිට් නැතුව බොන්න බෑ බං...."
"එහෙම බොන්න ඕනෙනම් උඹලෑ තාත්තගෙන් සල්ලි ඉල්ලන් වරෙන් රූෆ් ටොප් යන්න...."
"බැරිනම් නිකන් හිටපන්...බුලත් විටක් කකා බීපන්.එතකොට හරි...."
"කොහේ ඉදන්ද බොන්නේ....?"
"ඇල කණ්ඩියට යමු...මහතුන් මාමලගේ ගේ එහා පැත්තට.අවුලකුත් නෑනේ...."
...............
"මොකෝ අද කට්ටිය අඩු...?"
"ආ...මහතුන් මාමේ...අද වැඩටගියේ නැද්ද....?"
"නෑ බං...අද ඩැයිවර් මල්ලි නිවාඩු.ඉතින් මමත් හිටියා...මොකද අද කට්ටිය අඩු...?"
"හදිස්සියේ සෙට්වුනේ මාමේ....ඒකයි අපි 4දෙනා විතරක් අද...."
"මාමත් දාගන්න ශොට් එකක්...හැබැයි බයිට්නම් නෑ අද..."
"ඒ මොකෝ උඹලා අමුවෙන්ම..?"
"දන්නැද්ද ඉතින්....අද සල්ලි තිබ්බේ නෑ...ඒකයි...ආ වීදුරුව...මාමත් දාගන්න..."
"අද ගෙදර නිසා මමත් බෝතලයක් ගෙනත් ගගහ හිටියේ ගෙදර....උඹලෑ සද්දේ නිසා මම ටිකක් සෝදිසිකලේ...වරෙන් යන්න අපේ දිහා...එහෙ ඉදන් ගහමු...මාලා හදපු මස් වගයක් ඇති...උඹලා හරක් මස් කනවනේ....?"
"මමනම් කන්නේ නෑ...සම්පා...උඹ කනවද....?"
"බොනකොට ඕවා බලන්නේ නෑ බං...තියන ලබ්බක් කනවා...."
"වරෙල්ලා...වරෙල්ලා....උඹත් අද කාලා බලපන්කෝ කොහොමද කියලා....."
..................
"දිලා...මේ බලපන්කෝ.....කන්නේ නෑ කියපු එකා ඇතිලිය ඇතුලට බැහැගන කනහැටි...."
"සිරාවටම මේක රහයි බං....අපේ ගෙවල්වල ඉන්න මිනිස්සුන්ටත් පිස්සුනේ...මෙච්චර රස මසක් තියාගන කිලි කිලි කියලා කුකුළ් මස්ම ගේනවා...ඒවා කනවට වඩා හොඳයි පාන්පිටි ගිලින එක...."
"ඉතින් ඕක අපිට කියන්නේ...ගිහින් කියපන්කෝ උඹලෑ තාත්තටම....උඹලෑ තාත්තා අර හරක් නිදහස්කරන්න සල්ලි එකතුකරන කැටෙන්ම දෙයි උඹේ ඔළුවට.....
"හහ්...හහ්...උඹලා ඔය මම ගෙදර ඉන්න දවසට වරෙන් අපේ දිහා සෙට්වෙන්න....මම හදලා තියන්නම්....අපේ ගෙදරට ගේන්නේ හරකා තමයි.නිකන්නේ හම්බවෙන්නේ...."
"නිකන් හම්බවෙනවා කිවුවේ...."
"මම වැඩකරන්නේ මුස්ලිම් මුදළාලි කෙනෙක්
ගාවනේ.... ඒ මුදළාලි මස් ගන්නකොට අපිටත් අරගන දෙනවා....අදනම් පොඩ්ඩයි ඉවුවේ...මාලාටයි මටයි රෑට කන්න..."
"දැන් ඒ ටික අපිටදීලා මතුන් මාමලා කන්නේ.....?"
"උඹලා කාපන්කෝ....මාලාටයි මටයි සම්බෝලයක් කොටාගන්න බැරියැයි...."
++++++++++++++++++++++++++++++++++++++++++++++
"ඇත්තටම කවුද මහතුන් මාමේ ඔය වැඩේ කරන්න ඇත්තේ....?"
"කවුද බං දන්නේ....ඔය මොකෙක් හරි කුඩ්ඩෙක් වෙන්න ඇති.....නැත්තන් මේ ළිඳ ඇතුලේ තියන මෝටරේ උස්සන් යන්න තරම් අහේනියක් තියන එකෙක් මේ ලඟපාතක නෑ..."
"අපි හොයමු මහතුන් මාමේ...එහෙම නිකන් ඉන්න පුළුවන්ද මාමට මෙහෙම කලාට පස්සේ....
"එකෙන්ම....මාමා බය නැතුව ඉන්න....අපි ඔය මෝටරේ හොයාගන ඕක කරපුඑකාගේ හතර හන්දි කඩලතමයි පස්ස බලන්නේ....."
"උඹලා ඕවට ගෑවෙන්නේ නැතුව ඉදපල්ලා....උඹලා තාම පොඩි එවුන්.අනික දැන් මම අළුත් මෝටරයක් දාලත් ඉවරයි.මුදළාලිට කියපුගමන් මට එකක් ගන්න සල්ලි දුන්නා...."
"ඒ වුනාට ඔයාට එහෙම කරන්න දෙන්න පුළුවන්ද මේ ගමේ....ඔය එක කැ..ක්වත් අපිට ලොකු නෑ.....මාලා නැන්දටයි ඔයාටයි එහෙම වෙන්න දෙන්න පුළුවන්ද අපි ඉන්නකන්.....කෝ ඉතින් මාමා බිවුවේ නෑනේ.....දාගන්නකෝ...."
"හරි හරි...දාගමු...හිමින් බීපල්ලා....මගේ ගාවත් බෝතලයක් ඇති.කෝ මේ මස් ඉවරද....මාලෝ....මේ පිගානට මස් ටිකක් දාගන වරෙන්කෝ....."
"මේ ඇත්තමයි කියන්නේ...මාලා නැන්දගේ මස් හොද්දනම් පට්ට....දිවියලෝක රහයි...."
"සිරාවට....ගෙදරට ගේන්නෙත් නැති එකේ කටට රහට මස් කෑල්ලක් කන්න පුළුවන් මෙහෙදි විතරයි...."
"උඹලා ඕනේ වෙලාවක මෙහෙ වරෙල්ලා....මට පුළුවන් හැටියට මම උඹලට සංග්‍රහ කරන්නම්....මායි අර ගෑනියි විතරක් ඉන්න ගෙදරට උඹලා එන එකත් කොච්චර දෙයක්ද....ඒක නෙමෙයි....සම්පත්....උඹ කවද්ද රට යන්නේ....?"
"තාම හරියට දිනයක් නෑ මාමේ....තව මාසයක් විතර යයි කොහොමත්...."
"කමක් නෑ ...කමක් නෑ....උඹලටත් කියලා අනාගතයක් තියෙන්න ඕනේ.....දිනේ දැනගත්තහම කියපන්කෝ....යන්න ඉස්සල්ලා දාමු සුපිරි පාර්ටියක් මෙහේ...."
"අනිවා....මාලා නැන්දගේ මස් හොද්දත් එක්ක දාමු පාර්ටියක් දවසක්ම...උඹට ඔය රටවලදී  මේතරම් රස මස් කෑල්ලක් කන්න හම්බවෙන්නේ නෑ...."
+++++++++++++++++++++++++++++++++++++++++++++
"අඩෝ...උඹ ආවළු නේද...?මට උඹලෑ අක්කා කිවුවේ හංදියේදී....."
"ඔවු බං....ඊයේ රෑ ආවේ...දැනුයි ඇහැරුනේ...."
"මට කිවුවා....මම කතාකලේ අද මගේ උපන්දිනේ....වරෙන් හවස්වෙලා පොඩ්ඩක් සෙට්වෙන්න....."
"කොහාටද....?"
"රූෆ් ටොප් එකට වරෙන්.අරුන් දෙන්නා වැඩ ඇරිලා එනවා කිවුවා.උඹ 5ට විතර වරෙන්.චැටක් දාගන ඉමු.ගො කාලෙකින්නේ..."
.............................................
"වරෙන්...වරෙන්...වාඩිවියන්....උඹ සුදුවෙලා යකෝ...."
"ඉතින් කොහොමද උඹලෑ විස්තර...?කෝ අරුන් දෙන්නා....?"
"මග එනගමන්....ඉතින්....?"
"මම හිතුවේ උඹලා මහතුන් මාමලගේ ගෙදර සෙට්වෙයි කියලා..."
"ආපෝ....මතක්කරන්න එපා....උඹට ගෙදරින් කිවුවේ නැද්ද....?"
"ඇයි....මොකෝ සීන් එක....?"
"ඒ යකා මළා බං...."
"නෑ...මක්වෙලාද....?"
"ඒ යකා හෙන පවුකාරයෙක් බං....ඌ ලොරියක වැඩ කියලා කිවුවට කරලා තියෙන්නේ හොරෙන් හරක් පටවන එක.උඹ ගිහින් මාස 3ට විතර පස්සේ උන් හරක් පටවන් එන ලොරිය හෝමගමදී කෝච්චියේ හැප්පිලා.මූයි තව එකෙකුයි එතනමළු.ඩ්‍රයිවරයනම් බේරිලා තිබුනා...."
"මාර සීන් එකනේ...."
"ඔවු බං....මල ගෙදරටවත් සෙනග නෑ....කවුද බං යන්නේ ඔහොම පවුකාරයන්ගේ මළගෙවල්වලට රෙද්දක් ඇදගන....මමනම් දවල් වරුවේ ගිහින් ඔළුවදාලා ආවා.අරුන් දෙන්නනම් ඒ ගියෙත් නෑ.මිනිය උස්සන්නවත් සෙනග නැතුව අන්තිමට හර්ස් එකක ගෙනෙහින් තිබුනේ...."
"එතකොට මාලා නැන්දා.....?"
"ඉඩකඩම් ටික විකුණලා නෑදෑ ගේකට ගියා කියල තමයි ආරංචිය....හරියටම දන්නේ නෑ....."
"සර්....මොනවද ගේන්නේ....?"
"උඹ මොනවද බොන්නේ....?"
"ඕනේ එකක් බං...."
"vx එකක් ගේන්න දැනට.සෝඩා එකයි කොකාකෝලා එකයි,ගෝල්ඩ්ලිෆ් 12 පැකට් එකයි.බයිට් එකට මික්ස් චොප්සියක්.....4 දෙනෙක් ඉන්නවා...තව දෙන්නෙක් එයි මෙතන්ට....ආ මල්ලි...බීෆ් ඩෙවල් ලාර්ජ් එකකුත් ගේන්න....


කටුස්සා.....