Monday, March 16, 2015
හිමියනි.....
දණින් වැටී සුදු දෙපා ඉඹින්නට
මට හිමි නැති වාසනා පැයේ
හිමියනි නුඹගැන වීර පදක්කම්
ගෙල පළඳා කුමකටද අගේ
මේ දෙතොළැලි ඔය නළලේ තියලා
නුඹ උරයේ දඟ කරපු පැයේ
මේ සෙනෙහස අඩුවෙන් දැනුනාදෝ
මා තනිකර යුධ බිමට ගියේ
සුදු අප්පච්චී කෝ අපෙ අම්මේ
පොඩි දූ වද දෙනවානෙ ප්‍රියේ
තවත් බොරුකියා බෑ රවටන්නට
ඔයා එන්න උණුහුමට අපේ
යුගල ඇදක තනි යහන නිදන්නට
මා කල පවු කෙතරම්ද දැනේ
එහෙ මෙහෙ පෙරළී ඔබෙ රුව සෙවුවා
හිමි නැතිදා නිදිමරන රැයේ
ඔයා නොඑන්නට දූයි මායි කල
වරදද අපෙ ආදරය වුනේ
ඔය තුරුලට අපි දෙන්නා එන්නම්
සමාවෙන්න රත්තරන් මගේ
කටුස්සා....
Wednesday, March 11, 2015
නැවතත් නෑවිත් හිඳිනා......
ලස්සන වදන් අමුණා මුතු කවියකට
දවසක ඔබේ හිත් ඉල්ලා කළ පවට
පෑරී රිදී රැවටී අඬලා දුකට
ගිලිහුණු පැතුම් විසිරී වැටුනා බරට
එක හිත් පතා පොඩි වරදක් කෙරුවාට
තාමත් ලියමි කවි මල් නුඹගේ නමට
සිහිනෙන් ඇවිත් රහසින් නුඹ ඉම්බාට
දඬුවම් දෙනු එපා ඉහිළුම් නෑ සිතට
තනියට ඇවිත් මග පෙන්වාළු පිනට
මිය යන්නට හිතයි සතුටක් දී නුඹට
සසරේ ඇවිද මේ පාරමි පිරුවාට
කිසිදා නොයමි අහිතින් නුඹ ගැන දුරට
පැටලී දෑත් උඩමළුවේ පෝ දාට
සිඹ මගෙ කොපුල් හැන්ගී දඟ කෙරුවාට
තාමත් හිදිමි පුරහඳ එක්කල රෑට
ඔබ දුර එතැයි සිතමින් බල බල ගාට
තෙරපෙයි තවම සිතුවිළි හොරයින් පාට
ළමැදට තුරුල් වී ඉන්නද තනිවාට
වෙන්වී ඉන්න සමුදිය නොහැකිද අපිට
පුදුමයි හිතත් මේ මහ දුක දැරුවාට
කඳුළැලි හෙලන්නට අවසර නෑ නෙතට
අමතක කරමි ඕනේ නෑ හිතුවාට
දවසක ඇවිත් මගෙ පාළුව මැකුවාට
බුදුන් දකින පින අත්වෙනවා නුඹට
කටුස්සා....
Monday, March 9, 2015
ඔබ....
තෙත වැදී පුස්කාපූ නෙතු අගට නොකියාම
ඉරි තැලී වියළි ගිය දෙතොල පෑ සිනහ බිඳ
ඇළුම්කල මා සිතින් සුරකින්න හැමදාම
ලඟ ඉන්න දුර නොයා විඳ විඳම මා සුවඳ
මල් පිපී සිනාසුන නිමේශෙක හමුනොවුන
වියළිබිම මත ඇදුන සිසිල් දිය මගකි නුඹ
ලන්නොවී විඳගන්න සිතුවමුත් දෙනෙත් මග
අනේ පුදුමයි මටම දියට බට මා ගැනම
සන්සුන්ය දිවි පෙවෙත නොමැති කිසි දඟ තාල
රැවටුනෙමි පෙර එදා ඇගේ ලග නිසල සිත
දඟකාර නුඹේ හද පතුලෙ රැඳි මිනිස්කම
සුවඳ විදි මගෙ සිතින් කෙසේනම් හැරයම්ද
සුරකිම්ය නුබව මම මගේ මුළු දිවිය ලෙස
හැරදමමි මගේ සිත් රැදුන හැම සෙවනැලිම
දුක් නොදෙමි කිසි දිනක ඔය නෙතට කඳුළු එන
ඉපදුනෙමි නැවත මම නුඹලගදි සෙනෙහෙ විඳ
කටුස්සා....
Friday, March 6, 2015
සැපත.....
සිනාසෙන නුඹෙ මුහුණ
හීනෙනුත් පෙනෙන කොට....
කොහොම පැකිළෙම්ද මම
නගින්නට දිවිමගේ
සැටරිමක මුදුනටම....
නුඹේ කතා දෙසවනේ
නිම්නාද නැගෙන සඳ....
යකඩ මිටි කුළු හඬට
කෙසේනම් වසන්නද
මගේ දෙසවන දිනක....
ඉවසම්ය හැම දුකම
විඳින දිවි තුරාවට....
දුකක් නොව සැපයක්ය
තුරුළුවන විට දැනෙන
දුවේ නුඹ සුවඳ ලග....
යා යුතුය බොහෝ දුර
කැටුව නුඹ අතනෑර....
එයටමයි වෙහෙසෙන්නේ
නැතුව හුරු සුවඳ ලඟ....
මා හෙලන සුසුම් අද
තනිව හිඳ යහන මත
නුහුරු හුරු නගරයක....
හඳුනගන දිනක හෙට
එපා දුක්වන්න නුඹ....
තාත්තා යන වදන
අරුත් වැටහෙයි එදින....
අවැසි නැත මට දිනක
දිනන්නට ලෝකයම....
දිනූ පසු නුබ ලොවම
වැළඳ මා සිඹ මුහුණ
පවසපන් "තාත්තේ"යි
කියා ඒ ඇතිය මට.......
කටුස්සා....
පසු සටහන-
සති දෙකකට වැඩි කාලයක් අන්තර්ජාලයෙන් ඈත්වෙලා වින්දේ නිදහසක්ද අපහසුවක්ද කියලා තාම හොයනවා.ඒත් ඒ කාලයේදී මම ආපහු ඇස් ඇරල බලන්න පුරුදුවුනා කියන එකනම් බොරුවක් නෙමෙයි.ඉස්සර වගේම නිදහසේ පොත් කියෙවුවා.රූපවාහිනිය නැරඹුවා.අවුරුදු දෙකක් තිස්සේ හිටියත් මේ පැත්තේ නොගිහින් හිටිය පලාත්වලට ගියා.වේලස්සන නිදා ගත්තා.පාඩුවේ ඇස් වහගන සින්දු ඇහුවා.ඒ අස්සේම තාත්තා කරපු දේ නොකලොත් නොට්ටිගේ පුතා කියල අහන්න වෙන නින්දාවෙනුත් ගැලවුනා.තාත්තා තරම් නොවුනත් ඒ ආසන්නයටම යන්න පුතාට පුළුවන් වුනා.අනාගතේ තරමක් නොපැහැදිලි වුනත් සුනිල් එදිරිසින්හයන්ගේ "සියල්ල ඉදිරී ගරා වැටුන දා" අහගන ඉස්සරට වඩා සැනසීමෙන් ඉන්නවා.හරි...ඒකතා ඉවරයි.
දැනට සති 3ට විතර කලින් මේ බ්ලොග් ලෝකයෙන් මුනගැහුන මිත්‍රයෙක් සමග ප්‍රථම වතාවට දුරකතනයෙන් කතාකලා.ටිකක් වෙන්න අනුමත වෙලා හිටපු ඔහුත් සමග කතාකරන වෙලාවේ ගෙදර ආවහම සෙට් වෙන්නත් කතාකරගත්තා.එතනදී ඔහු පැවසුවේ "උඹ එනවනම් 4 වෙනිදට කලින් වරෙන්.4 මම ගෙදර යනවා.පොඩි එකීගේ උපන්දිනේ.ගිය පාරත් ආවේ නෑ කියලා හෙන කේස්.මේ පාරනම් යන්නම ඕනේ....."ඒ ගැන එච්චරයි.ඊට පස්සේ ව්‍යාපාර ගැන,අරක්කු ගැන වගේම රටේ නැති දේවල් ගැන තමා කතාකෙරුවේ.ඒ කතාවෙන් දවස් 3-4ට විතර පස්සේ දවසක රූපවාහිනියේ හිරු නාලිකාවේ "සඳ ගිරි මුදුණ" කියන සන්ගීත වැඩසටහන නැරඹුවා.සුනිල් එදිරිසින්හ ආරාධිතයා වුන මේ වැඩසටහන මෙහෙයවූවේ නදීක ගුරුගේ සහ රත්න ශ්‍රි විජේසින්හ ශූරීන්.එදිරිසින්හ මහතාගේ "චන්ද්‍ර මණ්ඩලේ සැතපුන" ගීතයට රත්නශ්‍රී ඉදිරිපත් කල හැදින්වීම අහනකොට මට මතක්වුනේ එදා කතාකරපු මගේ මිත්‍රයාව.වෙන වල්පල් ගැන කතාකලත් තම දියනිය පිළිබඳව ඔහුගේ හිතේ තියන ආදරේ ගැන අළුතින් හිතෙන්න පටන්ගත්තා.ඔහු තම දරු දෙදෙනාට ගොඩක් ආදරේ කරන පියෙක් බව මම දැනගන හිටියා.තමාගේ බ්ලොග් එකේ පින්තූරෙටත් ඔහු යොදාගත්තේ ඒ කෙළි පැටික්කිවයි.ඒ ඇතිවුන අදහස් තමයි ඒ වෙලාවෙම අකුරුවුනේ මේ විදිහට;ඒ වැඩසටහනේ ඉතිරිය බලන ගමන්ම.
දැන්නම් ඒ දුවගේ උපන්දිනේ පහුවෙලත් ඇති.ඒත් මේ කවි ටික ඇයට උපන්දින තෑග්ගක් වේවායි පතන අතරම මාගේ මිත්‍රයාටත් ඔහුවෙනිම දහසක් වූ පියවරුන්ටත් මේ වචන ටික උපහාරයක්ම වේවා'යි ප්‍රාර්ථනා කරනවා.
(එම බ්ලොග්ලියන්නගේ නම මෙතනින් සදහන් නොකලේ මේ කවි පලකරන්නේ ඔහුගේ අවසරයකින් තොරව නිසයි.දිනක මේ කවි ඔහු කියවූවහොත් එම නම හෙළිකිරීම හෝ නොකිරීම ඔහු තීරනය කරාවී ).
Monday, February 23, 2015
සිවුරෙන් වසාගත් මනුස්සකම නොහොත් පාත්තරයට දමාගත් ලැජ්ජාව.
මෙම ලිපිය 2015 පෙබරවාරි මස ලන්කාදීප පත්තරයේ කොළඹ ගන්ගාරාමාධිපති ගල්බොඩ ඥානිස්සර හිමියන් හා සම්බන්ධ "අපට හරිගිය/වැරදුණු තැන්" නමින් පළවූ ලිපිය කියවූ පසු ඇතිවූ හැඟීම් ප්‍රකාශයකි.එහි මාතෘකාව වූවේ "කැලේදී මරාදමන් අලි පන්සලට දීමේ වරද මොකක්ද?" යනුවෙනි.ඇත්තය.කැලේදී මරා දමනවානම් උන් කොහේ හෝ සැපෙන් සතුටින් වසනවානම් එය මෙලොව වසන කිසිඳු පුද්ගලයකුට ප්‍රශ්නයක් වීමට හේතුවක් නැත.නමුදු මෙම මතය සමාජගත කරන්නේනම් ගණිකාවකට තමාගේ වෘත්තිය සාධාරණය කිරීම සදහා "ස්වාමියා නොසලකන හෙයින් වෙන එවුන් එක්ක නිදිවැදීමේ වරද කුමක්ද?"යි ඇසුවහොත් එය ඉවසා වදාරීමටද මේ සමාජය සූදානම්විය යුතුය."කන්න නැතිනිසා හොරකම් කලා.ඒකේ වැරද්ද මොකද්ද?"යි කියා සොරෙක් ප්‍රශ්න කලහොත් ඔහු නිදහස් කිරීමට සමාජය සූදානමින් සිටිය යුතුය.අනික කැලයකදී මරාදමන්නේ අලි පමණක්නම් මේ ප්‍රශ්නය සාධාරන වේ.එහෙත් කැලයේදී මරා දමන වල් ඌරන් ඇතිකිරීමට කිසිදු පූජ්‍ය ස්ථානයක් බාරගන්නේ නැත.කැලයේදී හෝ වෙනත් ස්ථාන වලදී මරාදමන නිසා සර්පයන් ඇතිකිරීමට කිසිම කෙනෙකුන් සූදානම් වන්නේ නැත.කවුරු කෙසේ කිවුවත් කැලේ සතුන් විසිය යුත්තේ කැලයේ මිස මිනිස් වාසයක නොවේය.කැලයේදී උන්ව මරනවානම් විසදුම විය යුත්තේ එය එසේ සිදුවීමට බලපාන හේතු අවමකර උන්ගේ වනගත දිවිය සුරක්ශිත කිරීම මිස පන්සල්වලට ගාල්කිරීම'යැයි කිසිවකු සිතනවානම් ඔහු කෙතරම් සමාජයේ පිළිගත් පුද්ගලයකු වූවත් ඔහුගේ මානසිකතත්වය පිළිබඳව ඇතිවන්නේ දුකක් පමණී.
ලන්කාවේ වාසයකරන වන අලියකුට දිනකට කිලෝ 150ක් පමන ආහාර අවශ්‍ය වේ.මෙම අහාර ප්‍රමාණය ලබා ගැනීම උදෙසා ඔවුන් දිනකට කිලෝමීටර 30ක පමණ දුරක් ගමනේ යෙදෙයි.රන්චු වශයෙන් හැසිරෙන මෙම සතුන් වසරේ එක් එක් කාලසීමාවන්හීදී වනාන්තර හරහා සන්ක්‍රමණය වේ.දැනට ලන්කාවේ අලි-මිනිස් ගැටුමට ප්‍රධාන හේතුව වී ඇත්තේ වනාන්තර ප්‍රමාණය ශීඝ්‍රයෙන් අඩුවීම හා අලිමන්කඩවල් ජනාවාස වීම යන හේතූන්ය.වැඩිවන ජනගහනය හේතුකොටගන රටක පවතින වනාන්තර ප්‍රමානය අඩුවීම මෙරට පමනක් නොව ලෝකයේ බොහෝ රටවලට ඇතිවී ඇති දැවෙන ප්‍රශ්නයකි.එහෙත් එය එසේයැයි කියා වනාන්තර වල වෙසෙන සතුන් කොහාට හෝ ගාල්කිරීම අතිසාරයට අමුඩ ගැසීමකි.දීර්ගකාලයක් මුළුල්ලේ තිබූ අලින්ගේ සන්ක්‍රමන මාර්ග,අලි මන්ක්ඩවල් මිනිස් ක්‍රියාකාරකම් නිසා අවහිරවීම අලින් ගම්වැදීමට ප්‍රධාන හේතුව වී ඇත.අලින්ට වඩා මිනිස් ජීවිත වටිනාබව අවිවාධිතය.එහෙත් එසේයැයි කියා වන ජීවිත විනාශකිරීම කොතරම් සාධාරනදැයි විමසීම තමන්ගේ මානසික මට්ටම අනූව සිතිය යුක්තකි.අප කලයුත්තේ මෙතෙක්කල් කලාක් මෙන් මෙම ප්‍රශ්නෙට පැලස්තර විසඳුම් යෙදීම නොව මිනිසුන්ට මෙන්ම සතුන්ට සාධාරන වූ විසදුමක් කරා යාමය.අවම වශයෙන් දැනට අවහිර වී ඇති අලිමන්කඩවල් නැවත මෙම සතුන් උදෙසා විවෘත කිරීම මගින් මෙම ප්‍රශ්නයෙන් 50%ක් පමන විසදාගත හැක.තම ගොවිතැන් පාළු කිරීම නිසා මෙම සතුන් තම පරම සතුරන් ලෙස සලකා ක්‍රියාකරන අහින්සක ගම්වාසීන්ගේ ආකල්ප වෙනස්කර එම සතුන් හා සම්බන්ධ පාරිසරික සන්චාරක කර්මාන්ත ස්ථාපනය කිරීම වෙනි ක්‍රියාමාර්ග තුලින්ද මෙම ප්‍රශ්නයට සහන ලබාගත හැක.මෙම ප්‍රශ්නය විසදීම උදෙසා ගනුලබන ක්‍රියාමාර්ග උදෙසා තම හැකියාව පරිදී උදවුකිරීම මෙම රටේ සියළු පුරවැසියන්ගේද යුතුකමකි.ඒ එමගින් තම සහෝදර ජනතාවගේ ජීවිත මෙන්ම අනාගත පරපුරේ උරුමයක්වූ වනජීවිතද සුරකෙන බැවිනි.
මෙම ලිපියේ මුග්ධ ස්වරූපය පෙන්නුම් කෙරෙන තැනකි:
"වනාන්තරයේ සිටින අලි ඇතුන් යන්න එන්න තැන් නැතිව බොන්න වතුර නැතුව ගම්වැදී හේන් පාළුකර ගේ දොර කඩනවානම් ඊට විසදුම උන් එතනින් වෙන ගමකට පන්නා දැමීමහෝ වෙඩිතබා මරා දැමීම නොවේ.
ඒ සතුන්ට කන්න බොන්න දී කරුණාවෙන් ඇතිදැඩි කලහැකි තැනකට භාරදීමයි.එවිට ඒ සතුන්ටද ආරක්ශාව හිමි වේ.ඒ සතුන්ට ආධාරකොට ජාති ආගම් භේදයක් නැතිව කාටත් බලන්නට පෙරහැරක් කිරීමටද භාග්‍ය උදාවේ".
මෙම අදහස ගල්බොඩ තෙරණුවන්ගේද,නැතිනම් ලියුම්කරුගේද යන්න පැහැදිලි නොමැතිවූවත් එම තෙරණුවන්ගේ ඡායාරූප යොදාගන උන්වහන්සේගේ අදහස් ප්‍රකාශකිරීමක් ලෙස ඒත්තු යන පරිදී ලියා ඇතිනිසා ,අනාත අලි යොදා පෙරහැර පැවත්වීම මගින් තෙරණුවන් තමාගේ කීර්තිය හා මඩිය තරකරගැනීමේ උත්සහයක යෙදෙනවා'යි කියා කිසිවකුට නිගමනය කලහැක.මේ ලෙසම ක්‍රියාකල තවත් එක් ශාන්තුවරියෙකි,තෙරේසා මව්තුමිය.ඉන්දියාවේ සිදුවූ රසායනික අනතුරක් වූ බෝපාල් සිද්ධියේදී තෙරේසා මවුතුමිය ප්‍රමුඛ එතුමියගේ අනිකුත් සහෝදර කන්‍යා සොයුරියන් පිස්සුවෙන් මෙන් මව්පියන් අහිමි ළමුන් තමන් විසින් පාළනය කරනා අනාතනිවාස සදහා එකතුකරගත්තෝය.මෙම අනතුර පිළිබඳ විමසූ වාර්ථාකරුවකුට තෙරේසා මවුතුමිය පවසා තිබුනේ මෙම අනතුර දේව ආශිර්වාදයක් බවත් මෙනිසා දේවියන් කෙරේහි භක්තිවන්තවූ නව පිරිසක් බිහිකරගත හැකි බවත්ය.මෙම ලිපියේ සදහන් ඉහත කරුණ නිසා ගල්බොඩ තෙරණුවන් සිදුකරනු ලබන්නේද තෙරේසා මව්තුමිය මෙන්ම අනාතයන් විකුනමින් පෙරහැර මාර්කට් කිරීමක් බවට කිසිවකුට චෝදනා කලහැක.එලෙස චෝදනා ලැබුවහොත් එය එම තෙරණුවන්ට පෞද්ගලිකව එල්ලවන්නාක් නොව සමස්ථ බුදු දහමටම එල්ලවන්නාක් නිසා එයට නිසි පිළිතුරු සැපයීමද එම තෙරණුවන්ගේ යුතුකමකි.
පසුගිය කාලයේදී ගන්ගාරාමයේ කුඩා ඉඩකඩක බැඳසිටි අලිපැටවුකට ඇත්ගොවුවා විසින් පහර දෙනුලබන දර්ශන ඇතුලත් වීඩියෝවක් අන්තර්ජාලය හරහා හුවමාරු විය.ඒ පිළිබඳව දායකසභාවේ පිළිතුරවුවේ මේවා ප්‍රසිද්ධියේ නොව තමන්ට පෞද්ගලිකව දැන්වුවානම් මේ සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගනුලබන බවය.මොන අමන ප්‍රකාශයක්ද?.තමන් සතුව සිටිනා කුඩා අලිපැටවකුගේ ආරක්ශාව බලාගත නොහැකි තෙරණුවක් විසින් කැලේ අලි මරාදමන හෙයින් පන්සලට බාරදෙන ලෙස පැවසීමම විහිළුවක් නොවේද?කැලයේ සිටියදී නිදහසේ ඇවිදිමින් දිවි ගතකරනා සතකු අල්ලාගනවිත් මිනිසෙකුට පවා සිටිය නොහැකි තරමට අවුවට රත්වෙන ටකරන් මඩුවක බැඳදමා උගේ ජීවිතයේ වසර 60-70ක් ගතකිරීමට සැලස්වීම බුදුධහමේ නාමයෙන් සාධාරනය කරගැනීමට උත්සහ දැරීම මිනිස්කම අගයන සමාජයකට කෙතරම් ගැලපෙනවාද යන්න විමසා බැලීමට තරමටවත් තේරුම්ගත නොහැකිනම් හොඳම දේ නිශ්ෂබ්දව සිටිමය.ඒ මෙවනි ප්‍රකාශනිසා අභියෝගයට ලක්වන්නේ සමස්ථ බුදුදහමම නිසාය.අභියෝගයට ලක්වන්නේ "සියළු සත්වයෝ දඬුමට බිය වෙති"යි නම්වූ බුදු වදනම නිසාය.
එක් පසකින් දළදා මාළිගාවට අගෞරවවේ'යැයි කියා දස දහස්ගනන් මහජනයා පීඩාවට පත්කරමින් පාරවල් වසාගන කිසිඳු ආකාරයකින් පිළිගත නොහැකි හේතු පවසනා මහානායක හිමිවරුන්ය.අනික් පසින් අලි අල්ලා හීලෑකිරීම සාධාරණීකරණය කරනා රටම පිළිගත් තෙරණුවෝය.ඕනෑමකෙනෙකුන්ට තමන්ගේ පෞද්ගලිකමතය ඉදිරිපත්කිරීමට කිසිඳු බාධාවක් නැත.එහෙත් බෞද්ධ නායකයන් වශයෙන් පෙනීසිටිමින් කරනා මෙවනි ප්‍රකාශ නිසා හෑල්ලුවන්නේ,නින්දා විඳින්නේ රටේ සමස්ත බෞද්ධ ජනතාවමය."මේකද උඹලගේ මහාලොකු කරුණාව" යි කියා අන්‍යාගමිකයකු විමසුවිට බෞද්ධයකු වශයෙන් ඔහු ඉදිරියේ නිරුත්තර වීමට සිදුවේනම් එයටත් වඩා අවාසනාවක් බෞද්ධයකුට තවත් තිබේද?ගහට වැලට පවා ආදරය කිරීමට කියාදුන් මහා කාරුණිකයානන්ගේ අනුගාමිකයන් වශයෙන් ඔබවහන්සේලා මීටවඩා වගකීමෙන් ක්‍රියාකල යුතුබව තේරුන්ගත නොහැකි තරමට මානසික බෙලහීනතාවයට පත්වී ඇතැයි මම නොසිතමි.එහෙයින් සමස්ත බෞද්ධ සමාජයේම ගෞරවය උදෙසා මීට වඩා වගකීමෙන් අදහස් දක්වන ලෙස ඔබ වහන්සේලාගෙන් බැගෑපත්ව ඉල්ලාසිටිමි.
Subscribe to:
Posts (Atom)




