Friday, April 22, 2016

වල්පල් , අම්මා සහ බුදුන්......


සත් සියක් සක්වල නොමැති දේ
සත් කපක් සෙවුවද නොමැති දේ
සත් මුහුද පරදා නැගෙන දේ
සත් වෙසින් මා සමග ඇති දේ

හඳුන ගත්තෙමි....වටහ ගත්තෙමි....
හිතපුරා මා වැළඳ ගත්තෙමි....
නුඹේ සෙනෙහස තරම් මිහිමත
අරුමයක් නැත තවත් මා හට....

කටු කොහොල් පඳුරු මැද
වේදනා යාය මත
නොසෙල්වී දිළිසුනේ
ආදරයමයි....
නුඹගේ අම්මේ.....
සසර මතු පුරාවට
විඳගන්න ලඟ ඉන්න
පුරන පැතුමන් අතර
කිසිදිනක බුදුවන්න
නොහැකිබව නුඹට ලොව
අවැසිනැත කියන්නට 
යලි යලිත් මුළු ලොවට....

පෙරුම් පුරමින් වැදුව සිහිනය
රැඳවෙනා පුතු නීල දෙනයන
බලා නික්මී යන්න ගිහිදොර
හැකිවුනත් පිය රජුට පෙරදින
අම්මා කොහොමද එය කරන්නේ
ඒ නිසයි මා එක්ක සසරෙම....




කොච්චර උවමනාව තිබුනත් අම්මා ගැන, අම්මාගේ ආදරය ගැන කවමදාවත් කවියක් ලියන්න හිතුවෙවත් නැත්තේ ඒ ආදරයට අලගු තියන්න පුළුවන් මට්ටමක කවියෙක් නොවුන නිසාමයි.අනික, අම්මා ගැන මගේ හිතේ තියන හැඟීමට සමපාත වෙන්න ,ඒ හැඟීමට කිට්ටුවෙන් යන්න ; මේ ලෝකේ මට තියන විශිෂ්ඨතම කවිය රංබණ්ඩා සෙනවිරත්නයන් මට කලින් ලියලා තිබීම.ඒ කවිය තියනකම් මට අම්මා ගැන තව කිසිම කවියක් ඕනේ කලේ නෑ.

නුවර අහස කළු කරගන - නින්දා වැහි වැගිරුන දා
බිරිඳකගේ සෙනෙහේ ගියා - යෝද ඇලේ නැම්මේ
ඔබේ සෙනෙහස සුවඳ දිදී දැණුනා මට අම්මේ....

ඒත් අදහස වෙනස්කලේ අළුතින් බ්ලොග් කරණයට පිවිසුන අමුතුම විදිහට හිතන පට්ට ඩයල් එකක්."වල්පල්" කියන බ්ලොග් එක ලියන සංජය කියන හාදයා.තමන් හිතන විදිහ අමුවෙන්ම අතාරින, ඌ ලියපුවා කියවලා හිතන්න යමක් ඉතිරි කරන අමුතුම ටැලන්ට් එකක් තියන එකෙක්.උගේ තියන එකම වැරද්ද තමයි හයිස්පීඩ් ලියවිල්ල.ඌ ලියන ඒවා කියවලා කමෙන්ට් කරන්න තරම් වෙලාවක් ,විවේකයක් තියනවනම් තියෙන්නේ අර NGO සල්ලි වලට බ්ලොග් කියවන කමියා වගේ කීප දෙනෙක්ට විතරයි.ඒක ඌට කිවුවත් ඌ ඒ නරක පුරුද්ද අතැරගන්නෙත් නෑ.ඒ නිසාම උගේ ලිපි ගොඩක් මග ඇරෙනවා. "බුදුන් ගැහැණියක් නොවන්නේ ඇයි...?" කියන ලිපියත් දැනට දවස් 2ට කලින් ඌ ලියපු එකක්.ඒකෙන් පස්සේ ඌ තව ලිපි 2ක් පබ්ලිශ් කරලා.ඉතින් කොහොමැයි ඌට කමෙන්ට් කරන්නේ...?

මේ මාතෘකාව ගැන මෝඩ විදිහට යන වාද විවාද බුකියෙදිත් දැක්කා.ලෝකේ තියන ලොකුම ප්‍රශ්ණේ හොයාගත්තා වගේ හැසිරෙන මොංගල් සේනලා ටිකකුත් දැක්කා.ඒ වගේම ඔය ප්‍රශ්ණෙට දීලා තිබුන ලස්සන පිළිතුරකුත් දැක්කා.

"තාත්තා කෙනෙක් අළුත ඉපදුන පුතා දිහා බලලා ගිහි ගෙයින් නික්මුනාට අම්මා කෙනෙක්ට ඒ වැඩේ කවදාවත් කරන්න බෑ.ඒ නිසයි ගැහැනියක් කවදාවත්ම බුදු නොවන්නේ....."

ඔය උත්තරේ ඔළුවේ කැරකෙන වෙලාවක තමයි වල්පල් වල මේ පෝස්ට් එක දැක්කේ.ඒ පෝස්ට් එකට කමෙන්ට් එක තමයි මේ විදිහට මගේ ඉට්ටැයිල් එකෙන් මෙතන දැම්මේ.වල්පල් අඩවියටත් ගිහින් ඌට දිරියක් වෙලා වරෙන්.ඊට පස්සේ මේක කියවපල්ලා ආපහු."වල්පල්" කියන්නේ මාතලංගේ, විභියලගේ අළුත් පරම්පරාව.ඌ ඒක ලස්සනට කරයි ඉස්සරහට.....


කටුස්සා....

21 comments:

  1. දැක්කා කියෙව්වා කමෙන්ටුවත් වෙලාවට දැම්මා......... ඒක ඔස්සේ තවත් දෙයක් ලියැවිලා තියෙනවා දැක්කා ම සතුටුයි...... මේක ඒ වෙනුවෙන් අපේ සටහන විදිහට තියාගනින් කසුට්ටෝ....... ජයවේවා..

    ReplyDelete
  2. වල්පල් ගැන කීවාට ස්තුතී...
    කටුස්සාගේ කවිය ඉතින් සුපුරුදු පරිදි
    සුපිරී ඈ...

    ReplyDelete
  3. මට මේක කියවන්න වෙලාවක් නෑ.. &*&^%$#@#$$%%^

    ReplyDelete
    Replies
    1. ඔව් , බුකියේ වැඩ තියෙනවා , අපි දැක්කා ..හැක

      Delete
    2. ඒක මරු ජොබ් එක බං.. මේ වගේ කම්මැලි නෑ.. :)

      Delete
  4. නියමයි
    තෝ මේකට තවම අෆ්ට්ර් ඇප්රුවල් දාලනම් මම ආයා මේ පැත්ත පළාතේ එන්නේ නැහැ

    ReplyDelete
  5. අම්මා බුදුවේවා කියලා පපුවේ පච්චයක් කොටලා හිටිය මිනිහෙක්ගෙන් මම ඇහුවා ඇයි ඕක කොටන්න හිතුනේ කියලා. හැමදාම උදේට කන්නාඩිය ඉස්සරහට ගියාම මේක පේනවා...ඒ දැක්ක ගමන් මුලු දවසම ජීවයෙන් පිරෙනවාලු. ඕක ඔහොම නෙමේ කිව්වේ එයාගේ බජාර් ටෝක් එකෙන්. ඉස්සර හාබර් එකේ ලේබර් කෙනෙක්.

    සංජයගේ ලිපිවලට මම කැමතියි.

    ReplyDelete
  6. වල්පල් මාත් කියෙව්වා....නියම බ්ලොග් එක.කවියත් කවදත් වගේ සුපිරි ඈ

    ReplyDelete

  7. //"තාත්තා කෙනෙක් අළුත ඉපදුන පුතා දිහා බලලා ගිහි ගෙයින් නික්මුනාට අම්මා කෙනෙක්ට ඒ වැඩේ කවදාවත් කරන්න බෑ.ඒ නිසයි ගැහැනියක් කවදාවත්ම බුදු නොවන්නේ....."

    එතකොට ඉපදිච්ච ගමන් ළමයි වැසිකිලි වලවල් වලට දාන, පාලමේ යන ගමන් ළමයා අල්ලලා ගඟට විසිකරන , තමන්ගේ හොර මනුස්සයා එක්ක එකතු වෙලා තමන්ගේම දරුවා මරවන, අම්මලාද බුදුවෙන්න ගිහිගෙය අතාරින්නෙ?

    සිදුහත් කුමාරයා ගිහිගෙය අතහැරියේ දාරක ස්නේහය නැතුව නෙවෙයි. වෙස්සන්තර කාලයේ දරුවන් දන් දුන්නේ දාරක ස්නේහය නැතුව දරුවන් කෙරෙහි තරහින් නෙවෙයි. කිසිම විදියකින් තරහක් නැතුව, ආදරේ උතුරා යද්දී තමයි දන් දුන්නේ. ඒක අපිට තේරුම් ගන්නවත් බැරි තරම් අපහසු දෙයක්. නමුත් තේරුම් ගන්න නොහැකි දෙයක් නෙවෙයි.

    ගැහැනුන්ට බුද්ධත්වය නොලැබීමත්, දරුවන් ලැබීමත් අතර සම්බන්ධයක් නැත. එහෙනම් ළමයින් නැති අයට පුළුවන්නේ බුදුවෙන්න? දරුවන්ට අකමැති ( උපද්දවාගන්න ) ගැහැනුන් මට මුණගැහිලා තියෙනවා. ඉතින් එයාලටත් පුළුවන්නේ එහෙනම් බුදුවෙන්න.

    බාල තර්ක.

    මම වල්පල් කියවන්න අරන් දැන් ටික දවසක්. විවාදාත්මක දේවල් ලියනවා. නමුත් නොදන්නා දේවල් ගැන නොදැනම තර්ක කිරීම මට පෙනෙන්නේ පොඩි අවුලක් වගේ.

    ReplyDelete
    Replies
    1. මම කියන්න ආපු දේ මේ මෝඩි කියලනේ , ආයේ මොකටද මම ක්මනෙට් කරන්නේ ,
      වැටක් ගහලා මාරු වෙමි
      ++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. Ohoma kiwwama moda bauddayek wenawane. Posh wenna nam Sinhalayata & bauddayata banina ewata like karanna

      Delete
    3. ඉවාන්:
      මොකද්ද අනේ ඒ zipper එකක් වගේ එකක් තියෙන්නේ? අනේ මෙහ්... මම කිව්වාය කියල හිතාගන්න

      ඇනෝ :
      මෝඩ සහ බෞද්ධ එකට නොයයි. 'මෝඩ බුද්ධාගම් කාරයෝ' තමයි නියම වචනේ. මෙතැන කොතැනවත් බුද්ධ ධර්මයට බැනලා තියනවා කියලා මම කියන්නේ නැහැ. මම කියන්නේ කාරණා නොදැන කතාකරනවා වගේ වැඩක්. ඉස්සර කොහොමත් බෞද්ධ මිනිසුන් සිටියේ නැහැ. බහුතර බමුණන් අතරින් තමයි බෞද්ධ මිනිසුන් බිහිවුනේ.

      සිංහලයින්ද කියන්න නම් මම දන්නේ නැහැ. අමනුස්සකම තියෙන ඕනේ මිනිහෙකුට මගේ විවේචනය එකයි.
      'දෙමළා උනත් උගතෙකු නම් පුටුව දෙනු' කියන එක මම විස්වාස කරනවා.

      Delete
  8. දෙන සහයෝගයට බොක්කෙන්ම ස්තූතියි කටුස්සෝ :)

    ReplyDelete
  9. වල් පල් කියන්නේ අපිට වඩා ගොඩාක් ඉස්සරහින් ඉන්න එකෙක්.... උගේ ළිපි වගේම උඹේ මේ කවියත් මල් මසුරන්... අපිට ප්‍රේම කරන්න පුළුවන් ඕන වෙලාවක... ඒත් ඊට වඩා යුතුකමක් අපිට රට වෙනුවෙන් කරන්න තියෙනවා බං...

    ReplyDelete
  10. උඹ ටිකක් ආවේගෙන් වගේ. කවියනම් උපරිමයි.. වල්පල් දුන්නට ස්තූතියි.ඉදින් කියවල එන්නම්.

    ReplyDelete
  11. දැනෙන කවියක්. ඇත්තෙන්ම මව් ගුන කියා නිම කරන්න බැරිය.

    ReplyDelete
  12. මම වැඩියෙන්ම යන එක බොග එක වෙන්ඩ ඕනෙ...මොකද ඩෑල් එක හැමදාම පොස්ට් දානවනෙ...

    වෙනදා මෙන් ම සොදුරුයි මචෝ පද වැල්

    ReplyDelete
  13. ඒකත් කියෙව්ව, මේකත් කියෙව්ව. මං කලිං දවසකත් වල්පල් ගියා. ඒකත් මට මාතලන්ගෙ බ්ලොග් එක වගේ.., ඔක්කොම ලිපි කියවනව, කොමෙන්ටු දාන්නෑ. මට තව ටිකක් නාකි වෙලා, පරිණත වෙලා එන්ට වෙනව ඒකට. හික් හික්....

    ReplyDelete
  14. අම්මා ගැන කරපු නිර්මාණය අගෙයි...මොන තරම් නිර්මාණ කරණයේ යෙදුනත් අම්මා තාත්තා ගැන නිර්මාණයක් කරන්න තමන්ගේ වචන පොහොසත් නැහැ කියන දේ ඉබේම හිතට එන හැඟීමක් ...මොකද අම්මා තාත්තා කියන්නේ අපේ ජිවිත වල ඉන්න උපමා උපමේය සහ එළිවැටකට කොටු කරන්න බැරි දෙන්නෙක්...

    ඔබේ පොස්ට් ඒකත් වල්පල්ගේ පොස්ට් යන දෙකම කියෙව්වා...බුද්ධ දේශනාව කියන්නේ "ඒහි පස්සිකෝ", එව බලව යන පදනම යටතේ දේශනා කල ඇති ධර්මයක්...එහි තියෙන්නේ නුවනින් විමසා බැලිය යුතු කරුණු මිසක පිළිපැදිය යුතු නීති රීති හෝ අනුගමනය කල යුතු අන්ධ විශ්වාස නොවේ...

    බුද්ධ දේශනාව අනුව සියලුම සත්වයෝ නිර්මාණය වෙලා තියෙන්නේ සතර මහා ධාතු වලින්...ඒවාට ස්ත්‍රී පුරුෂ භාවයක් නැහැ...සිතේ තියන අල්ලා ගැනීමේ පරිමාව අනුව තමයි අපේ ස්ත්‍රී පුරුෂ භාවය හෝ අප උපදින ආත්ම භාවය තීරණය වෙන්නේ...

    බුද්ධත්වය සඳහා පාරමිතා පුරන්න නියත විවරණ ලබන්න පුරුෂ ආත්මයක් ලැබිය යුතුයි...ගෞතම බෝධි සත්වයන් වහන්සේ ස්ත්‍රී ආත්මයක ඉපදී ඉන්න අවදියේදී පසේ බුදු වරයෙක් අනු දැන වදාළ පරිදි බුද්ධත්වය සඳහා නියත විවරණ ලබා ගැනීමට නම් පුරුෂ ආත්මයක් ලැබිය යුතු බව අවබෝධ කරගන්නවා..ඒ අනුව ස්ත්‍රියක් විදියට මහලු බමුනෙකුගේ තරුණ බිරිඳක් විදියට ඔහුට උපස්ථාන කරල ඔහුගෙන් ප්‍රාර්ථනාවක් ලබා ගන්නවා, ඔබ ඊළඟ ආත්මය පුරුෂ ආත්මයක් විය යුතු බවට..එතැනින් තමයි ගෞතම බුදුන් වහන්සේගේ බුද්ධත්වය කරා යන සංසාර ගමන ඇරඹෙන්නේ...

    බුද්ධත්වය යනු සව් කෙලෙසුන් නැසීම..අනුක්‍රමනයෙන් කෙලෙස් නැති කරගන්න බලපාන්නේ ගැහැනියෙක්ද පිරිමියෙක්ද කියන දේ නෙවේ, තමන්ට කොයි තරම් දුරකට අත් හැරීම පුරුදු කරන්න පුලුවන්ද කියන කාරණාව...හිතේ ඇලීම් අඩු කරනකොට කෙළෙස් අඩු වෙනවා..ස්ත්‍රියක් කියන්නේ ස්වභාවයෙන්ම කෙළෙස් වඩවන සත්වයෙක්..ඇය නිර්මාණය වෙලා තියෙන්නේ ප්‍රේමය, දයාව, රාගය, සියලුම කෙලෙසුන් වඩවන විදියට...නමුත් කුසල් රැස් කිරීමෙන් කෙළෙස් අඩු කරගෙන පිරිමි ආත්මයක් ලබල ඕනෙම ගැහැනියකට බුද්ධත්වයට පත් වෙන්න පුළුවන් සියලුම් පාරමිතා සම්පුර්ණ කරගෙන...

    සියල්ලටම මුලික වෙන්නේ සිත...ස්ත්‍රී පුරුෂ භාවය යනු තම තමන්ගේ කෙළෙස් ප්‍රමාණය අනුව පංචස්කන්ධය අල්ලා ගෙන සිටින ස්වරුපයක් පමණයි...එයයි බුද්ධ දර්ශනය...

    ReplyDelete
  15. //සත් සියක් සක්වල නොමැති දේ
    සත් කපක් සෙවුවද නොමැති දේ
    සත් මුහුද පරදා නැගෙන දේ
    සත් වෙසින් මා සමග ඇති දේ

    හඳුන ගත්තෙමි....වටහ ගත්තෙමි....
    හිතපුරා මා වැළඳ ගත්තෙමි....
    නුඹේ සෙනෙහස තරම් මිහිමත
    අරුමයක් නැත තවත් මා හට....//

    සුපිරි නිර්මාණයක් කටුස් ! ඒත් කටුසුගෙ අම්මා වෙනුවෙන් නම් මේ නිර්මාණයත් හොඳ මදි කියලයි හිතෙන්නෙ . ඒත් මේ වගේ නිර්මාණයක් කරන්න පෙළඹවූ වල්පල් සොයා යාම අනිවාර්යයෙන් කලයුත්තක් නිසා මේං මං ගියා ....

    ReplyDelete
  16. එහෙට ගිහින් එන්නම් එහෙනම් :)
    අම්ම ගැන වගේම තාත්ත ගැනත් හිතට දැනෙන සිංදු ගොඩයි. 'දෙවෙනි බුදුන් ලෙස ' ,'අම්මාවරුනේ' , 'කඳුළු හලා නෑඹිලියට' මේ වගේ සිංදු ගොඩකට මම ආසයි

    ReplyDelete