උඹ දැකපු හීනවල
හැමදාම උඹ හිටියේ
තනියෙන්ම....
හුළඟ, තරු, හඳ
මුහුදු රළ හඬ
උන් නුඹේ තනි මැකුවා
නුඹ උන්ගේ තනි මැකුවා
නිහඬවම
මම දැකපු හීනවල
හිටියේම උඹ එක්ක
බලාගන....
තරු දිලෙන නුඹ දෙනෙත
සිසි සිනා පිරි උවන
මම උඹේ තනි මැකුවා
උඹ උන්ගේ තනි මැකුවා
නිහඬවම
හිතවතිය....
දෙවුර පටලන් සිනාසෙන්නට
සවන පුරවා අසා ඉන්නට
පෙරුම්පිරු හදවතක්...
දකුනු උරයට මදක් පසුපස
හුස්ම දැනෙනා නොදැනෙනා දුර
හැමදිනම තප්පරෙම
රැඳීහුන්වග නොදන්නා නුඹ
උඹ දකින හීනවල
තවම නුඹ ඉන්නේම
තනියෙන්ම....
මම දකින හීනවල
දැනුත් මම ඉන්නේම
උඹ එක්ක...
හිතුනොතින් දකින්නට
හීනයම මා එක්ක
ඉඩතියන් මගේ ලඟම
කටුස්සා....
නිම්නයක තනිවිච්ච සෙබලෙකුට මග කීව
දම්පාට ඇස් තියන නිල්පාට නපුරුච්චි
මායාව දැවටිච්ච උද්දච්ච හිනාගොඩ
අහුරුගෙන දෝතින්ම පිරිනැමුව යක්දෙස්සි
ගලන දිය පහර ලඟ පිපුන බෝවිටියා මල්
විලිවදින බැල්ම හිමි මනමාල ඇටිකිත්ති
ලංවෙන්න බැරිතරම් ලඟින් හිඳ හිත හදන
කිසිදිනක මගෙ නොවන පිච්චමල් දෙමලිච්චි
සුළඟක්ව හමායන හිතුනාම නතරවෙන
වෙනස්වෙන නොවෙනස්ම හිතක් ඇති අමනිච්චි
හිරුවගේ පෙන්නගන සඳු මෙන්ම සිසිලදෙන
හිටිගමන් හිරු මෙන්ම දුම් දාන මල මගුලි
තරු දහක් දිලි දිනක දම්පාට තරු දෙනෙත
හංගගන ලොකුකතා මට කියන කොල ගිරවි
හඬනවිට නිල් අහස නට නටා ඇවිදයන
වැහිබිංදු රස හොයන නිශ්ශබ්ද වල් ඊරි
මල්වරව විළිබරෙන් ඇඹරෙනා ආදරය
සංසුන්ව දෝතින්ම පිලිගත්තු සඳ කිඳුරි
සංසාර ගමන්මග පුරා මගෙ හිත හෙවුව
කඳුත් පරයා නැගුන ආදරේ හිමිකාරි
මට මාව අහිමිකර ජීවිතය සොරාගන
යශෝධාවත කියා මා නිවන මධු කොමලි
ආදරය විඳිනු වස් ආදරය නොමැති තැන
ආදරය පුරවලා ගුලිගැහෙන මගේ බට්ටි
කටුස්සා....
සුසුම්ලන්නට දුකක් ගන්නට
වරම් නැති දුක තබා නුඹ ලග
බලාසිටියෙමි බොඳවෙනා නෙතු
මුවාකරමින් නුඹේ සෙවනට
දිනක තුරුලුව පවසනාතෙක්
ආදරෙයි මම නුඹත් හිමිහිට
නුඹ නෙතඟ රැඳි කඳුලු බිඳුවත්
මහමෙරක් මෙන් රැඳුන පපුවක
යලිත් පැමිනෙනතුරු වසන්තය
බලාඉන්නට හැකිද ඇසු දින
සත්තමයි හිතවතිය හදවත
මද සිනා සැලුවා......
බලා නුඹ දෙස බවුන්වැඩු සිත
මද සිනා සැලුවා......
ඔය මුවඟ රැඳි එක සිනහවට
වරු ගණන් තරු ගැන්න නෙතකට
මුවග මදහස සදාකල්හිම
රඳන්නට හැකිවෙදැයි ඇසුවිට
සත්තමයි හිතවතිය හදවත
මද සිනා සැලුවා......
නුඹ සිනහා උල්පත් මැවූ සිත
මද සිනා සැලුවා......
කටුස්සා....
සඳක සෙවනැලි වසා පැතිරුන
සඳ මඩල යට ගතු කියපු තරු
ඉරට මතකද කියා ඇසුවිට
සමච්චලයෙන් සිනාසුන නෙතු
රිදුම්දුන් යටි පතුල් විනිවිද
ඇණුන සීතල රෝසමල් කටු
බලාසිටියේ ඇත්තමයි මම
මල් නෙමෙයි ලේ වැකුනු ලා දලු
සිනාසෙන්නට අමතකවගිය පුරන්කෙත වල් වැදුන නියරක
කුලුදුලේ පිපි පිදුරු හත්තක කුඩය මතුපිට මෘදුව හිමිහිට
සිනා කඳුලැල් එක මිටට ගෙන ආදරය හා සමව මුහුකර
පටුන පමනක් ලියා සැඟවුන කිවිඳියයි නුඹ කවිය ගොලුකල
අහස රත්පැහැ වෙන වෙලාවක
ලිහිණි තටු මත කවි ලියාගන
තඹරු මුකුලිත වෙද්දි එකපිට
සිහින කඩුපුල් සිත් මවාගන
නොයෙන්නෙමි'යැයි හිත රවටගත්
නියඟයෙන් සිත සා නිවාගන
දෙපා තියමින් ඇවිදයමු අපි
ඉරිතැලුන පෙම මුවාකරගන
කටුස්සා....
ආදරෙත් කැමති ඇති
මියදෙන්න....
තරු පිරුන අහස යට
වළාකුලු තොටිල්ලක
සුරඟනන් අඬනහැටි - සඳත් වත වසන හැටි
දකින්නට....
ලිහිනියොත් ගොලුකරන් - මල් පෙතිත් පරකරන්
නිදන්නට....
මැරිලා කම්මැලිවුනොත් - අඬන එක වැඩිවුනොත්
නැගිටලා එකවරම මම මලේ විහිලුවට
කියන්නට....
වැඩියෙන්ම අඬපු අය - වැඩියෙන්ම ආදරෙයි
සිතන්නට....
ඒ සැනින් ආලයට වරදීවි හැම දේම
පෙනෙන්නට නොහැඬුවට - සිහිවිකල් නොවුනාට
කුණාටුවේ බර රඳපු - සුසුම් රැල් පපු දරපු
හදවතක....
විසල් තෙත නොදැනෙන්න - ජීවිතය වරදින්න
ඒ ඇතිය ආදරේට....
තනිකමට හුරුවන්න
කටුස්සා....