සත් සියක් සක්වල නොමැති දේ
සත් කපක් සෙවුවද නොමැති දේ
සත් මුහුද පරදා නැගෙන දේ
සත් වෙසින් මා සමග ඇති දේ
හඳුන ගත්තෙමි....වටහ ගත්තෙමි....
හිතපුරා මා වැළඳ ගත්තෙමි....
නුඹේ සෙනෙහස තරම් මිහිමත
අරුමයක් නැත තවත් මා හට....
කටු කොහොල් පඳුරු මැද
වේදනා යාය මත
නොසෙල්වී දිළිසුනේ
ආදරයමයි....
නුඹගේ අම්මේ.....
සසර මතු පුරාවට
විඳගන්න ලඟ ඉන්න
පුරන පැතුමන් අතර
කිසිදිනක බුදුවන්න
නොහැකිබව නුඹට ලොව
අවැසිනැත කියන්නට
යලි යලිත් මුළු ලොවට....
පෙරුම් පුරමින් වැදුව සිහිනය
රැඳවෙනා පුතු නීල දෙනයන
බලා නික්මී යන්න ගිහිදොර
හැකිවුනත් පිය රජුට පෙරදින
අම්මා කොහොමද එය කරන්නේ
ඒ නිසයි මා එක්ක සසරෙම....
කොච්චර උවමනාව තිබුනත් අම්මා ගැන, අම්මාගේ ආදරය ගැන කවමදාවත් කවියක් ලියන්න හිතුවෙවත් නැත්තේ ඒ ආදරයට අලගු තියන්න පුළුවන් මට්ටමක කවියෙක් නොවුන නිසාමයි.අනික, අම්මා ගැන මගේ හිතේ තියන හැඟීමට සමපාත වෙන්න ,ඒ හැඟීමට කිට්ටුවෙන් යන්න ; මේ ලෝකේ මට තියන විශිෂ්ඨතම කවිය රංබණ්ඩා සෙනවිරත්නයන් මට කලින් ලියලා තිබීම.ඒ කවිය තියනකම් මට අම්මා ගැන තව කිසිම කවියක් ඕනේ කලේ නෑ.
නුවර අහස කළු කරගන - නින්දා වැහි වැගිරුන දා
බිරිඳකගේ සෙනෙහේ ගියා - යෝද ඇලේ නැම්මේ
ඔබේ සෙනෙහස සුවඳ දිදී දැණුනා මට අම්මේ....
ඒත් අදහස වෙනස්කලේ අළුතින් බ්ලොග් කරණයට පිවිසුන අමුතුම විදිහට හිතන පට්ට ඩයල් එකක්."වල්පල්" කියන බ්ලොග් එක ලියන සංජය කියන හාදයා.තමන් හිතන විදිහ අමුවෙන්ම අතාරින, ඌ ලියපුවා කියවලා හිතන්න යමක් ඉතිරි කරන අමුතුම ටැලන්ට් එකක් තියන එකෙක්.උගේ තියන එකම වැරද්ද තමයි හයිස්පීඩ් ලියවිල්ල.ඌ ලියන ඒවා කියවලා කමෙන්ට් කරන්න තරම් වෙලාවක් ,විවේකයක් තියනවනම් තියෙන්නේ අර NGO සල්ලි වලට බ්ලොග් කියවන කමියා වගේ කීප දෙනෙක්ට විතරයි.ඒක ඌට කිවුවත් ඌ ඒ නරක පුරුද්ද අතැරගන්නෙත් නෑ.ඒ නිසාම උගේ ලිපි ගොඩක් මග ඇරෙනවා. "බුදුන් ගැහැණියක් නොවන්නේ ඇයි...?" කියන ලිපියත් දැනට දවස් 2ට කලින් ඌ ලියපු එකක්.ඒකෙන් පස්සේ ඌ තව ලිපි 2ක් පබ්ලිශ් කරලා.ඉතින් කොහොමැයි ඌට කමෙන්ට් කරන්නේ...?
මේ මාතෘකාව ගැන මෝඩ විදිහට යන වාද විවාද බුකියෙදිත් දැක්කා.ලෝකේ තියන ලොකුම ප්‍රශ්ණේ හොයාගත්තා වගේ හැසිරෙන මොංගල් සේනලා ටිකකුත් දැක්කා.ඒ වගේම ඔය ප්‍රශ්ණෙට දීලා තිබුන ලස්සන පිළිතුරකුත් දැක්කා.
"තාත්තා කෙනෙක් අළුත ඉපදුන පුතා දිහා බලලා ගිහි ගෙයින් නික්මුනාට අම්මා කෙනෙක්ට ඒ වැඩේ කවදාවත් කරන්න බෑ.ඒ නිසයි ගැහැනියක් කවදාවත්ම බුදු නොවන්නේ....."
ඔය උත්තරේ ඔළුවේ කැරකෙන වෙලාවක තමයි වල්පල් වල මේ පෝස්ට් එක දැක්කේ.ඒ පෝස්ට් එකට කමෙන්ට් එක තමයි මේ විදිහට මගේ ඉට්ටැයිල් එකෙන් මෙතන දැම්මේ.වල්පල් අඩවියටත් ගිහින් ඌට දිරියක් වෙලා වරෙන්.ඊට පස්සේ මේක කියවපල්ලා ආපහු."වල්පල්" කියන්නේ මාතලංගේ, විභියලගේ අළුත් පරම්පරාව.ඌ ඒක ලස්සනට කරයි ඉස්සරහට.....
කටුස්සා....




