Monday, February 22, 2016

ආදරේ කවියක් වෙමී....-01


"විහඟ..."
කාර්යයාලයට ඇතුල් වෙද්දීම ප්‍රධානියගෙන් ඇමතුමක්.
"ඇයි අයියේ....?"
"පොඩ්ඩක් මගේ කැබීන් එකට වරෙන් තව පැය භාගෙකින් විතර....පොඩි කතාවක් තියනවා...."
"එළ..."
එසේ කියමින්ම තම කැබීනය වෙත ගොස් අසුනට බරවූ තරුණයා දෙඅත් තම මුහුණ මත හොවමින් ගැඹුරු කල්පනාවකට සම වැදුනේය.ඔහුගේ දෙනෙත විඩාබරය.රතුවී ඇත මුහුනේ තිබූ ප්‍රබෝධය, නිරතුරුව දෙතොල සැරසූ සිනහව අතුරුදන් වී දින කිහිපයකි.කොහොමත් අකීකරු අක්බඹරු හිසකෙස් තවත් අවුල් වී ඇත.කෙටියෙන්ම පවසන්නේනම්,පැහැදිලිව පිටතට පෙනෙනා අපිලිවෙලක්, වේදනාවක් ඔහු වටකොට ගෙනය.තම මේස ලාච්චුව විවරකල ඔහු එතුලින් ගත් පැකට්ටුවෙන් සිගරට්ටුවක් දල්වා තම කාර්යයාල සහයක ඇමතීය.
"සර්...කතාකලාද මට...?"
"සුනිල්...මගේ බෝතලේට වතුර එකක් ගෙනෙන්කෝ....උඹට හැමදාම කියන්න ඕනෙනේ බං ඒක...අගන එන ගමන් හංසි මිස්ගෙන් අහගන වරෙන් මම දුන්න වැඩේ ඉවරද කියලා.....ආ...කොල්ලෝ...ඔය ජනෙල් ටිකත් ඇරගනම පලයන්...."
"හරි සර්..."
කවුළුවෙන් පෙනෙන පැහැදිලි නීල වර්ණ අහස්තලය දෙස බලාගන එම අවකාශයෙනුත් එපිටට තම සිතුවිළි මුදාහරිමින් තිබූ ඔහුගේ ; දකුනතේ සිරවුන දුම්වැටිය නොනවත්වාම අලු පැහැති දුම් වලලු පිටකරමින් තිබුනි.
"සර්...හංසි මිස් ඒ ෆයිල් එකත් අරගන තව ටිකකින් එන්නම් කිවුවා..." පුරවා ගෙනා වතුර බෝතලය මේසය මත තබමින් සහයකවරයා පැවසීය.තරුණයාගේ මුහුන තවත් අඳුරු විය.
"උඹත් වැඩක් දුන්නම නානවනේ රෙද්ද....දැන් ඔය මගුල මෙතන්ට ආවහම පැයකට යන්නේ නෑ...උඹ ඇවිත් මෙතන ඉඳගන හිටපන්.මම උඹේ වැඩටික කරන්නම්...."
නොරිස්සුම් සහගත ලෙස පැවසූ තරුණයා.
"බොනවද එකක්....?"යි පවසමින් සිගරට් පැකට්ටුව ඔහු දෙසට තල්ළු කලේය.
"මම ඔතන්ට ඇවිත් වාඩිවුනාට වැඩක් නෑ සර්....හංසි මිස් එන්නේ මාව බලන්න නෙමෙයිනේ.එහෙම වුනොත් මිස් තේ හදන කෑල්ලට ඇවිත් කියව කියව ඉඳියි ,සර්ට තේකක්වත් හදන්න දෙන්නේ නැතුව...."
"මම...තේ හදන කෑල්ලේ මොනවා කරන්නද...?"
"ඇයි සර් දැන් කිවුවේ සර් මගේ වැඩ කරන්නම්  කියලා....එහෙම උනොත් සර්ට ඉන්න වෙන්නේ තේ හදන කෑල්ලේ තමයි....."
"මම උඹට කිවුවයි කියලා හිතාගනින්....මේ...කොහොමද අද බොසාගේ මූඩ් එක....?මල පැනලා වගේද හිටියේ....?"
"එහෙමට අවුලක් නෑ සර්....සිංදුවකුත් කියාගන ඔෆිස් එකට ආවේ උදේ...."
එහෙනම් අවුලක් නෑ...ආ....මේකත් අරගන පලයන්...දැන් අර හෝන්තුව කොයි වෙලේ මෙතන්ට කඩාපාත් වෙයිද දන්නේ නෑ...."
"ඔවු ඔවු....ඒ වෙලාවට මම මෙතන හිටියොත් සර්ටම තමා පාඩුව...."'යි හිනහෙමින් පැවසූ සහයකවරයා තරුණයා දුන් දුම් වැටියත් ගෙන කැබීනයෙන් පිටත්විය.තම දකුණතේ සිරවී තිබූ දුම්වැටීයේ අවසන් උගුරෙන් ලය පුරවාගත් තරුණයා එයින්ම තවත් දුම්වැටියක් දල්වාගන මේසය මත වූ පරිඝණකය වෙත නෙත් යොමුකලේය.
"එක්ස්කියුස්මී...විහඟ අයියේ...වැඩක්ද?'යි අසමින් කැබීනය වෙතට පැමිනියේ අවුරුදු 24-25ක පමණ සුන්දර තරුණියකි.නවීන තාරුණ්‍ය කාන්තාවකගේ සුන්දරත්වය මේ‍යැ'යි හදුන්වන සියළුම අංගෝපාංගවලින් සමන්විත නාරී දේහයකින් සමන්විත වු  ඇය තරුණයා කිසිත් පැවසීමට පෙරම ඔහු ඉදිරියෙන් වූ  පුටුවක අසුන් ගත්තාය.
"දැනටනම් නෑ නංගී.ඒත් තව විනාඩි 10කින් විතර බොස්ව හම්බවෙන්න යන්න ඕනේ.ඇයි...මොකක් හරි ප්‍රශ්නයක්ද...?"
"ආපෝ මේකේ ඇතුලේ සිගරට් ගඳ....කොහොමද අප්පා හුස්මගන්නේ මේකේ ඇතුලේ...."නළල රැලි කරමින් සුරතේ ඇඟිලි ලෙළවමින් ඇය පවසන විට තරුණයාට මැවී පෙනුනේ බාර්බි කාර්ටූන් පටවල සිටින බෝනික්කන්වය.
"ඉතින් ඒකට හුස්ම නොගෙන හිටියනම් හරිනේ...."
"හම්....මම මේ දවස්වල හුස්ම නොගෙන ඉන්න ට්‍රයි කරනවා.පුරුදු උනහම මම කියන්නම්කෝ......"
"හරියන එකක් නෑ කවදාවත්."
"ඇයි....?"
"ඔයාට ඇත්තේ පෙනහළු එකයි.ඔය ඇඟේ හැටියට දෙකක් තියෙන්න ඉඩක් නෑ...."
"ආනේ....ඇත්තද....?කොහොමද දන්නේ නෑ දැනගත්තේ හරියටම....?"
"භාහිර අංග ලක්ෂනයෙන් තමයි ඉතින්......"
"භාහිරෙන් බලලා ගන්න තීරණ හැමතිස්සෙම හරියන්නේ නෑලු...."
"හා එහෙනම්....ඔෆිස් එකේ කවුරුත් නැති වෙලාවට මම බලන්නම්කෝ අභ්‍යන්තරව ඔයාගේ ඇඟේ අඟලක් ගානේ.ඊට පස්සේ මම කියන්නම් මගේ නිගමනය"
"කට ඇරියොත් කුණුහරුපයක්ම තමයි....මේ අර ෆයිල් ටික.ඔක්කොම කම්ප්ලීට්...බලලා මට දෙන්න ප්‍රින්ට් එකට යවන්න...." මවාගත් නොරිස්සුමකින් ඇය පැවසීය.
"මම සර්ව හම්බවෙලා ඇවිත් මේ ටික බලන්නම්.ඕක ඔහොම තියන්න හංසි..."
"විහඟ අයියේ....මුකුත් හිතන්න එපා....දෙයක් අහන්නම්....?"
"අවුලක් නෑ...අහන්න..."
"මොකද්ද හිතේ ප්‍රශ්ණේ....?"
"ඇයි එහෙම අහන්නේ....?"
"නෑ...ඔයාගේ මූණේ කිසි හිනාවක් නෑ මේ දවස්වල....හැම තිස්සෙම උඩ බලාගන ඉන්නේ....ඒකයි ඇහුවේ...."
"ලොකු දෙයක් නෑ හංසි...මේ පෞද්ගලික ප්‍රශ්ණයක්"
"මට කියන්න බැරිද....?"
"බෑ හංසී...මම පෞද්ගලිකත්වයට ගොඩක් ගරුකරනවා.ඒක එලිවෙන්නේ මාත් එක්ක ජීවිතේ බෙදාගන්න අයත් එක්ක විතරයි"
තරුණියගේ මුහුණ රතුවිය.දෙනෙත් කඳුලින් බරවිය.
"ඔයාට මං ගැන එහෙම හිතන්න බැරිද අයියේ....?"
"බෑ නංගී....මම හිතන්නේ නෑ ඒක කවදවත් සිද්දවෙයි කියලා....අනික කෙනෙක් තව කෙනෙක්ගේ හිතට ලංවෙන්නේ හිතලා නෙමෙයි.ඒක වෙන්න ඕනේ ඉබේමයි.මට ඔයාගැන එහෙම හිතෙන්නේ නැත්තන් මම මොනවා කරන්නද?අනික අපි මේක ගැන කලිනුත් කතාකරලා තියනවනේ දරුවෝ....."
"හරි...මට සමාවෙන්න....මම යනවා" කඳුලින් බරවුන නෙත් බිමට යොමමින් තරුණිය කැබීනයේ දොර දෙසට ගමන්කරන්නට විය.
"මේ මොනවද මේ පාර්සලේ....?"
"ඊයේ ගෙදර කිරිටොෆි හැදුවා...ඔය ඔයාගේ පංගුව...."
ආපසු නොබලමින් කැබීනයෙන් පිටවෙන ඇය පැවසීය.පාර්සලය දෙසත් පිටුපා යන ඇය දෙසත් මාරුවෙන් මාරුවට බලමින් උන් තරුණයා සිතින් තමන්ටම කුණුහරුපයක් කියාගනිමින්ම නැගීසිටියේ ප්‍රධානියා හමුවීමට යාම සඳහාය.

හිතවත් පාඨකය....මේ කතාව නිවැරදි අනුපිලිවෙලකට හෝ දැනටමත් දන්නා අවසානයකට හෝ ගලායන්නක් නොවන බව කාරුණිකව සිහිතබාගන්න.අතීතය,වර්තමානය හෝ අනාගතයේ කුමක් සිදුවූවත් මේ කතාව මේ විශ්වයේ කොතනක් හෝ සදහන් විය යුතුමය.ඒ මේ කතාවේ බොහෝ පාර්ශවයන්ගේ හිතසුව පිනිසමය.ඒ නිසා මෙය කීමේදී මේ කතාවේ එකඳු හෝ පරිච්ඡේදයක් මගහැරීමට මට අවශ්‍යනැත.මෙය ලියවෙනේ මේ කතාවේ චරිත අතුරින් වරදකරු, නිවැරදිකරු තීරණය කිරීමට නොව මාගේ හදවත නිදහස්කරගැනීමේ ශුද්ධවූ අයිතිය නිසාවෙන්ම බව නැවත පවසමි.මෙවන් කතාවක් සිතේ තබාගන ජීවත්වීම හෝ මියයාම හදවතට තවත් බරක් එක්කාසු කරගැනීමකි.සිතේ නිදහසින් මියයාමට කැමති නිසාම මෙම කතාව මෙහිදී අකුරු බවට හරවනු ලබමී.එහිදී මතුවන අතීත සෙවනැලි කතාවේ ගලායාමට බාදාවක් සේ හැඟුනද එම සෙවනැලි පහස මැදහත් සිතින් ඉවසා සිටිනමෙන් ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.


"ජීවිතේ කොතනද තියෙන්නේ....?" තරුණයාගේ පපුව මත හිස තබාසිටින තරුණිය විමසුවාය."
"ජීවිතේ අන් තැනක"
"අන් තැනක කිවුවේ....?"
"මෙන්න මෙතන...." හිස උස්සා තරුණියගේ හිස සිඹිමින් ඔහු පැවසීය.
"ඒක මිසක්....අන් තැනක කියලා කිවුවහම මම හිතුවේ වෙන කවුරුහරි කෙල්ලෙක් ලඟ කියලා...."
"එහෙම උනානම්....?"
"එහෙම උනොත් මම උඹව මරනවා...."
"කොහොමද....?උම්මා දීලද....?"
"නෑ....බෙල්ල මිරිකලා...."
"එහෙම කොහොමද කරන්නේ....?මගේ බෙල්ල මිරිකන්න එනකොට මම උඹව පෙරලගන බඩට බර්ර්ර්ර් ගානවා.එහෙම කරනකොට උඹට කිතිනේ.එතකොට උඹට මගේ බෙල්ල මිරිකන්න බෑ.මෙන්න මේ වගේ...."යි කියමින්ම තරුණියව සයනය මත පෙරලාගත් ඔහු ඇගේ නිරුවත් කුස මතට තම මුව ගෙනගියේය.රැවුල් කොටත් තම කුසට මුව තබා කරන බර්ර්ර්ර් ගෑමත් නිසා කිතිකවුන තරුණිය මහා හඬින්  කෑ ගසන්නට විය.
"ඒයි...මෝඩයෝ....මාව අතාරිනවා....අනේ...මට කිති.... බූරුවෝ...ආ...අනේ අයියේ....."
"තාමත් මගේ බෙල්ල මිරිකනවද....?"
"ඔවු...වෙන එකියෙක් ගාවට ගියොත් මිරිකන එක මිරිකනවාමයි...."
තරුණයාගේ මුව නැවත ඇයගේ කුස වෙතට නැඹුරුවිය.
"අනේ...ඒයි...කුචි...කුචි.....අනේ අයියේ....."
"තාමත් බෙල්ල මිරිකනවද මගේ....?"
"ඔවු...ඔයාට නින්ද ගිහින් ඉන්න වෙලාවට ලඟට ඇවිත් මිරිකනවා...."
"ඔයා ලඟට එනකොට මට ඇහැරෙනවා කොච්චර නින්ද ගිහින් හිටියත්...."තරුණියගේ නිරුවත් කුස මත තම හිස තබාගනම ඔහු පැවසීය.
"ඒ ඇයි....?"
"තොගේ ගඳට...."
"පල යන්න නරියා...මම ගඳයිනේ....මොකද මට තුරුල්වෙලා ඉන්නේ....?" මවාගත් ආදරණීය අමනාපයකින් තරුණයාගේ හිස පසෙකට තල්ළුකරමින්ම ඇය පැවසීය.කිසිවක් නොකියවූ ඔහු ඇගේ සිරුර දිගේම උඩටවිත් ඇයව කිටි කිටියේ තුරුළුකර ගත්තේය.
"ඔයත් එක්ක ඉන්නකොට කොයි වෙලාවේ හරි මගේ හුස්ම හිරවෙනවා...." කෙඳිරිලි හඬකින් ඇය පැවසීය.
"ඒ ඇයි...?" ග්‍රහනය තරමක් ලිහිල් කරමින් ඔහු විමසීය.
"ඇයි ඉතින් මේ මිනිහා ආදරේ පෙන්නන්නේ අමුතු විදිහකටනේ.පිඹුරෙක් වගේ වෙලාගන.කිසිම දෙයක් කටින් කියන්න බෑ.ආදරේ වැඩිවුනහම මාව මිරීකනවා....මම ඉතින් හිතාගන්න ඕනේ මූ මාව මිරිකන්නේ ආදරේ වැඩිවුන නිසා කියලා....." ඔහුගේ දෑස් මතට එබෙමින් ඇය පැවසීය.
"මට ආදරේද....?"
"ගොඩක්...."
"එහෙනම් මගේ ජීවිතේ තියෙන්නේ මෙන්න මෙතන...." තරුණියගේ නිරුවත් ළැමට අත තබමින් ඔහු පැවසීය.
"ඒක වෙන්න ඇති ආපු වෙලාවේ ඉඳන් එතන්ටම ඔලුව ඔබාගන ඉන්නේ...."
"හම්ම්...ආදරේ උරලා බොන්න...."
"යනවා යන්න වනචරයා....මහ අමුම අමු වලත්තයෙක් වෙලා..."
"කවුද දන්නේ නෑ මාව වලත්තයෙක් කලේ....?"
"කවුද....?අපිනම් දන්නේ නෑ ඕවා...කරපු කෙනාගෙන්ම අහගන්න එකයි ඇත්තේ..."
"මම අහගන්නම්කෝ දවසක...."
"කවද්ද....?"
"දැන්..." කියමින්ම තරුණයා ඇගේ පියවුරු අතර මුහුණ හොවාගත්තේය.
------------------------------------------------------

"විහඟ...වරෙන්.වාඩිවියන්..."
"ඇයි රුවන් අයියේ...හදිස්සියක්ද....?" පුටුවේ අසුන්ගන්නා ගමන් ඔහු විමසීය.
"ඇයි දැන් හදිස්සියකදී විතරද උඹව හම්බවෙන්න පුළුවන්....?"
"නෑ ඉතින් මේ උදේ පාන්දර කතාකරපු නිසා ඇහුවේ....මොකද්ද කේස් එක?"
"එහෙම මගුලක් නෙමෙයි බං...කොහේද ඊයේ රෑ හිටියේ....?"
"කොහෙවත් නෑ.ගෙදර...ඇයි?"
"සෙට් වෙන්න ආවේ නැත්තේ...?"
"මේ දවස්වල බොන්න කිසි කික් එකක් නෑ...ඒකයි"
"උඹ මේ දවස්වල අවුලකින්ද ඉන්නේ....?"
"එහෙම එකක් නෑ...ඇයි?"
"මේ දවස් වල උඹේ පෙනුම, හැසිරීම දැක්කහම මට එහෙම හිතුනා.ඒකයි ඇහුවේ..."
"එහෙමට ලොකු දේවල් නෑ රුවන් අයියේ..."
"එහෙම දෙයක් නැත්තන් කමක් නෑ.මම හිතනවා උඹට ආපහු අවුල් ගහන්න තරම් දෙයක් සිද්දවුනේ නෑ කියලා මේ ටික කාලෙදී....පහුගිය කාලෙදී උඹේ ජීවිතේට සිද්දවුන දේවල් හොඳටම ඇති..."
"ආපහු අවුලක් වුනොත් මම ඉතුරුවෙන එකක් නෑ.ශේප් එකේ යනවා ලොකු අයියේ ඉතින්.දන්නවනේ ඔයා; මමම හදාගත්තු ප්‍රශ්ණ මිසක් මට වෙන ප්‍රශ්ණ කවදාවත් තිබුනේ නැති විත්තිය...."
"දන්න හින්දා තමයි මම උඹ ගැන ඇලර්ට් එකේ ඉන්නේ.මේ දවස්වල උඹේ හැසිරීම මට පොඩ්ඩක්වත් අල්ලන්නේ නෑ.මට හිතෙනවා උඹ ආපහු ලොකු පිම්මක් පනින්න හදනවා කියලා...."
"දන්න බල්ටි 18ම ගහලා ම දැන් හති.ආපහු පනින්න තරම් පිම්මක් දැන් මට නෑ"
 "ජීවිතේ එක තැනක් වැරදුනහම මුළු ජීවිතේම කඩාග වැටෙන්නේ නෑ බං.දැන් ඔය පහුගිය දේවල් අතෑරපන්.ආපහු ජීවිතේ ගැන හිතන්න පටන් ගනින්.එක එක කාලෙට එක එක විදිහේ හුළං පාරවල් ජීවිතේට හමාගන එනවා.ඒවා ජීවිතේ ඇතුලින් යනකොට එක්කෝ හරි සනීපයක් දැනෙනවා.නැත්තම් මුළු ජීවිතේම කඩාගන වැටෙනවා.ඒ කඩාගන වැටුන තැන් ආපහු හදාගන ආපහු හුළංපාරක් එනකම් බලා ඉන්න එක තමයි ජීවිතේ කියන්නේ.මම උඹ, බං ,බොලං කියලා උඹට කතාකලට උඹ දන්නවා මට ළමයි හිටියනම් උන් උඹටත් වඩා ලොකුයි කියලා.ඒ නිසා උඹේ තාත්තා කියනවා කියලා හිතාගන මේවා අහගනින්.තව හුළං පාරකට ජීවිතේ අල්ලන්න උඹට දැන් කාලේ හරි මම හිතන විදිහටනම්.
"ඒ එන හුළඟ ඉස්සල්ලා ආපු එකට වඩා හපන්වුනොත් මම හාන්සියි.ඒ නිසා තව ටික කලයක් ඉමු.අනික ඉස්සල්ලා හුළඟින් කැඩුන තැන් ටිකක් තියනවා තාම මට හදාගන්න ඉතුරුවෙලා."
තරුණයා එසේ පවසත්ම මැදිවියේ හුන් ප්‍රධානියා ඔහු දෙස තියුණු බැල්මක් හෙලීය.
"උඹ දන් ඔය කතාකරන්නේ උඹේ ජීවිතේට සිද්දවුන දේවල් වලට වන්දිගැනීමක්, පළිගැනීමක් වගේ දෙයක් ගැනනම් ,මම කැමතියි උඹ ඒ අදහස හිතින් අයින්කර ගන්නවනම්.උඹ එහෙම කලොත් අනිත් මිනිස්සු පවු."
"ඒ ඇයි...?"
"මම උඹේ ගැන දන්න නිසා.උඹ එහෙම කලොත් ඒක අනිත් එවුන් කරනවා වගේ පිහියෙන් ඇනලා, වෙඩිතියලා ඉවරවෙන ජාතියේ එකක් නෙමෙයි කියලා මම දන්න නිසා"
"එහෙම දෙයක් නෑ රුවන් අයියේ...." ප්‍රධානියාගේ දෑස තම දෑස හා ගැටෙන්නට ඉඩක් නොතබමින් ඔහු පැවසීය.
"නැත්තන් කමක් නෑ...මේ...මම උඹට කතාකලේ වැඩක් බාරදෙන්න...."
"කාට හරි වෙඩි තියන්නද....ගෙඩියක් ගහන්නද....බැංකුවක් කඩන්නද....?"
"අනේ මේ....උඹයි මායි කඩන බැංකු....ඉඳා පත්තුකරගනින්....." එකක් දල්වා සිගරට් පැකට්ටුව තරුණයා දෙසට තල්ළුකරමින්, ප්‍රධානියා පුටුවේ හරිබරි ගැහුනේ දීර්ඝ කතාවකට අවශ්‍ය සුවපහසුව ලබාගැනීමටය.

                                     -මතු සම්බන්ධයි-


කටුස්සා....

Friday, February 19, 2016

පරිපූර්ණ.....

රන් පාට පෙණ බිංදු මුමුණමින් ගී ගයන
බීර වීදුරු දෙකක්....
පසුපසින් හිනහෙනා රතුවිච්ච වතින් යුතු
නොනැවතී තතු අහන නොනැවතී තතු කියන
බොහෝ කලකින් දුටුව මිත්‍රයන්
දෙදෙනෙක්....

මොකද උඹ තනිකඩව පාළුවෙන් මහ ගෙදර
තව නැද්ද අදහසක් කරගන්න පෙලවහක්....

නැහැනේ මට හමුවුනේ සිත ඇඳුන රුව තවම
වෙන ලඳක් කෙරෙහි නෑ දෙන්නෙ මම ආදරය....

පුදුමයෙන් මෙන් විවර දෙනෙත ඔහු දෙස යොමා
එළඹ ගත් සිහි ඇතිව නැවත ඔහු විමසුවා....

සොයන රුව පවසපන් දැනගන්න මටත් එය
දනිමිනම් එවන් රුව මට හැකිය පවසන්න....

හඬන දිය ඇල්ල සේ කඩාවැටෙනා වරල
අඩ සදත් පරදනා නෙත් පිනන ඇගෙ නලල
සත් වර්ණ දේදුන්න සේ පෙනෙන බැමි යුගල
දුටු ගමන් විකල් වන නීල උත්පල දෙනෙත
අල්ලන්න ලොභ සිතෙන මටසිළිටු කොපුල් තල
නා දලුත් විලි වදින රත් පැහැති දෙතොල් මන
දුටු ගමන් සිපගන්න සිතෙන උරහිස් යුගල
ඇල්ළුවොත් රිදෙයි'යැයි බය සිතෙන රණතිසර
ගෑවුනොත් කිති කැවෙන සුදුපාට ඉඟ නෙරිය
දෑතින්ම වැලඳ ගත නොහැකි ඇගෙ පුළුලුකුල
රඹ කදක් ලෙස පෙනෙන ලප නොමැති දඟ යුගල
පිරුණ .....................................

මොකද උඹ බයවෙලා වගේ නෙතු යොමන්නේ
දාඩියත් දාලා නොවැ වෙරි වැඩිද කියන්නේ....

අනේ නෑ දැන් මතක් තිබු මතත් බැස්සනේ
පවසාපු සියල්ලම ඇත්තදයි කියන්නේ....

අනේ ඔවු ඇයි මචං මොකක් හරි අවුලක්ද
අනිත්'වුන් වගෙ නෙමෙයි මගෙ නැනේ කිසි බොරුව....

තනිකඩව ඔය ගෙවන දිවිය ඔය විදිහටම
ගෙවාපන් කිසිම දින එපා මගුලක් කන්න
උඹ කියපු විස්තරය ඇත්තනම් ඒ ලෙසට
යකින්නක් පමනක්ය බඳින්නට හැකි නුඹට
ඔය විදිහෙ කෙල්ලොනම් තවම නැහැ මෙහි ඉපිද
බැඳගනින් රඹ ගහක් හදාගන හිලක් මැද......


කටුස්සා....

Wednesday, February 17, 2016

To You "GIMA...."


"ගුඩ් මොර්නින් මෝඩ පැටියා...."
"ගුඩ් මෝර්නින් ඌරු පැටියා....."

ගෙදර ඉන්න හැම දවසකම අපි දෙන්නෙගේ දවස පටන්ගන්නේ මේ විදිහට.උඹේ ආච්චිගෙනුයි සීයගෙනුයි අපි දෙන්නා හැමදාම බැනුම් අහනවා; සත්තුන්ගේ නම් කියාගන්නවාට.ඒත් දෙන්නම කවදාවත් ඒක නවත්තන්නෙත් නෑ.දෙන්නගෙන් එක්කෙනෙක් ඇහැරෙනකොට අනිකා තවමත් ඇහැරිලා නැත්තන් දොරට ගහලා හරි ඒකව ඇහැරවලා ඒ විදිහට සුභපතා නොගත්තොත් දෙන්නගෙම හිතට ඒක හරි නෑ.දන්නවද...මේ ජීවිතේ මට හම්බවුන ලොකුම තෑග්ග ,ලොකුම වස්තුව තමයි උඹ.

2001  ජුනි මාසයේ අග; මම උසස් පෙලට ඇතුලත්වුන අළුත උඹේ අම්මව, නැත්තන් මගේ එකම අක්කව රෝහලට ඇතුලත් කලේ උඹව ගෙදරට අරගන එන්න.ජූලි 1වෙනිදා රෑ උඹේ තාත්තා ගෙදරට කෝල් කරලා උඹව ඉපදිච්ච පනිවිඩය කියලා තිබ්බ.පහුවදා මාව ගෙදර තියලා උඹව බලන්න ඉස්පිරිතාලේ ගිය ආච්චියි සීයයි ගෙදරට ආවේ හරි සන්තෝශෙන්. උඹව බලන්න ගෙදර අනිත් මිනිස්සු නිතරම ඉපිරිතාලෙට යන නිසා ගෙදර නවත්තලා යන්නේ මාව.ගෙදරට වෙලා ඉඳලා පුරුද්දක් තිබුනේම නැති මම ඇඟිලි ගැන ගැන හිටියේ උඹ ගෙදර එනකම්.ඒ උඹව බලන්නනම් නෙමෙයි.මට ගෙදරින් පැනගන්න.ඒ නිසාමද මන්දා උඹේ උපත මට මහාලොකු දෙයක් වුනෙත් නෑ. උඹේ ආච්චිගේ පැත්තේ සහෝදර සහෝදරියන් එක්ක ලොකූ සමගියක් තිබුන අපේ පවුලේ; තුන්වෙනි පරම්පරාවේ පලවෙනියාවුනේ උඹ.ඒ නිසාම උඹට නමක් හොයන වැඩේටත් කට්ටියගේ තිබුනේ සෑහෙන උනන්දුවක්.උඹේ අනිත් නැන්දලා,මාමලා ඔක්කොම අපේ ගෙදරට එකතුවෙලා සෑහෙන්න දිග නම් ලිස්ට් එකක් හැදුවා.හැබැයි ඒ එකෙක්වත් මගෙන් උදවුවක් ගන්න නිකමටවත් හිතුවේ නෑ.එහෙම වුනේ ඒ හැමෝම උඹේ මාමා ගැන හොඳට දැනගන හිටපු නිසයි.ඒ වෙලාවේ මගේ ඔළුවට ආවේ "මාගන්ධී චිංචිමානවිකා " කියන නම විතරමයි.ඒක කියලා මම උඹේ අනිත් නැන්දලා මාමලගෙන් බැණුම් අහපු තරමක් උන්ගේ සීරියස් වැඩේ ජෝක් එකට ගත්තා කියලා.එහෙම කියලා මම කොහොමද මගේ අක්කගේ ළමයාට පිට කවුරුත් හදපු නම් තියන්නේ.උඹේ මාමා එදා රෑ කල්පනා කරලා කරලා යන්තන් එක නමක් හදාගත්තා.රෑ 1ට විතර උඹේ ආච්චිලගේ කාමරේට ගිහින් ආච්චිවත් ඇහැරවලා,

"අම්මේ....ඔය එක එක නම් නෙමෙයි...මම නමක් හැදුවා....ඒ නමම තියන්න ඕනේ..." කියලා කියද්දී නින්දෙන් ඇහැරුන උඹේ සීයා මගේ දිහා බලන් හිටියේ මාව කන්න වගේ. 
"උඹට පිස්සුද මේ මහ රෑ ඇහැරගන දඟලන්නේ....?මොකද්ද නම....?"
"ගිම්සරණී මනෝරමා"
"මොකද්ද ඒ නමේ තේරුම...?"
"ගිම්හානයේ සැරිසරන්නාවූ මනෝරම්‍ය ස්ත්‍රීය"
"මොකක්....?"
"මොකක් නෙමෙයි...ඕක දැම්මේ නැත්තන් ඔන්න මම ඔය පොඩි එකාව අල්ලන්නෙවත් නෑ...."

ඔන්න ඔය විදිහටයි උඹට නම වැටුනේ.මටත් ඉතින් හරි සතුටුයි.ඒ උඹට නමක් දැම්ම හින්දනම් නෙමෙයි.අනිත් එවුන්ව පරාද කරපු නිසා.

පහුවෙනිදත් මාව ගෙදර තියලා අනිත් අය ගියා උඹව බලන්න ඉස්පිරිතාලෙට.ගිය කට්ටිය ආපහු ගෙදර එන සද්දේ ඇහුනත් ටෙලිවිශනය දිහාම බලනවා ඇරෙන්න ඒ එන අය දිහා බලන්න උවමනාවක් තිබුනේ නෑ මට.උඹේ ආච්චි මගේ ඉස්සරහට ආවා.එයා සුරුට්ටුවක් වගේ උණ්ඩිකරපු මොකද්ද එකක් දෝතින්ම තුරුල්කරන්.එයා එක පාරටම ඒ උණ්ඩිකරපු සුරුට්ටුව මගේ අතට දුන්නා.හැක්...උඹේ මූණ විතරක් ඉතුරුවෙන්න අනිත් ඔක්කොම ඔතලා.අම්මේ උඹේ මූනේ කැත....අදටත් මට ඉපදිච්චගමන් පොඩි එවුන් කිසි ලස්සනක් නෑ.ඇස් දෙකත් පියාගන හීනෙන් වගේ තොල් දෙකින් මොනවද උර උරා....මෙලෝ රහක් නෑ....ඒ මදිවට බැරියෑ....උපන්තෙක්ට පොඩි එකෙක් වඩා නොගත්ත, හුරතල් නොකරපු මගේ ඔඩොක්කුවේ දැන් උඹ....උඹව අල්ලන්නත් බයයි, පොඩිවෙයි කියලා.මම පිනෝකියෝ වගේ හිටියා හෙල්ලෙන්නෙවත් නැතුව.උඹේ ආච්චි උඹව ඔතලා තිබුන ශීට් එක අයින් කලා.අන්න එතකොටනම් උඹේ මනුස්ස පෙනුම ආවා ටිකක්.නැපියකුත් ඇඳගන මිකී මවුස් වගේ උඹ හිටියා.

"ඉස්ස ඉස්සල්ලාම වෙන කෙනෙකුගේ කියලා අතට දුන්නේ ඔයාගේ අතට..."

උඹේ ආච්චි එහෙම කියද්දී උඹ  මට විරුද්දව අද වෙනකන් කරන පජාත වැඩ වල ආරම්භය සනිටුහන්කලා.උඹව වැටෙයි කියලා හෙල්ලෙන්නෙවත් නැතුව රොබෝ වගේ හිටපු මගේ ඔඩොක්කුවේම උඹ චූ කලා.මහා ලොකු ගොඩක් නෙමෙයි.පොඩ්ඩක්.ඒත් ඒ මදැයි මට.

"අනේ මේ ගන්න....මගේ ඇඟේ චූ කරලා...."කියලා අනිත් අය හිනා වෙවී බලා ඉද්දි උඹේ ආච්චිටම උඹව බාරදීලා මම දිවුවේ බාත් රූම් එකට, ඇඟ හෝදගන්න.

ඔහොම ටික කලයක් යද්දි උඹ දන ගාන්න, අල්ලගන ඇවිදින්න, එහෙන් මෙහෙන් වචන එක දෙකක් කියවන්න පටන් ගත්තා.අන්න එතකොටනම් උඹට ටිකක් ජොලි ගතියක් ආවා.ජංගි කොටේ ගහගන පස්ස කඩපු කඩියා වගේ ගේ පුරාම දනගාද්දී, මොට්ටු මොට්ටු කරද්දී, බඩට බර්ර්ර් ගානකොට හිනාවෙද්දී, මගේ පපුව උඩ නිදාගනිද්දී ටික ටික මගේ හිතේ උඹගැන තිබුන ආදරය වැඩිවෙන්න පටන්ගත්තා.උඹ බහතේරුවේ "අම්මා" කියන වචනේ උනාට උඹ පොඩිකාලේ වැඩියෙන්ම කියපු වචනේ "මාමා " කියල තමයි ගෙදර හැමෝම අදටත් කියන්නේ.අපි දෙන්නට නොතේරෙන්න අපි දෙන්නා ගොඩක් ලංවුනා.වැඩිය කතාබහ නොකරන මගේ ලඟදී ,සද්ද නොකර මට තුරුල්වෙලා ඉන්න උඹත් පුරුදුවුනා.උඹ පොඩිකාලේ ඉදන් ඇඬුවේ හරි අඩුවෙන්.සමහර දවස් වලට එහෙම අඬද්දී මම උඹව වඩාගන ගේ ඉස්සරහ තිබුන ඇඹරැල්ල ගහ ලඟට හරි ජැම්සන් ගහ ලඟට හරි එක්කගන ගිහින් ගහත් එක්ක කතාකර කර උඹව නලවනවා.වැඩිකල් නොයා වත්තේ තිබුන හැම ගහකටම උඹ කිවුවේ "ගහ මාමා" කියලයි.අදටත් වත්තේ තියන ගස් අතගගා තනියෙන් කතාකරන උඹ දිහා බලනකොට මට දැනෙන්නේ ලොකු සතුටක්.ඔහොම කාලය ගෙවෙද්දී උඹ මොට්ටසෝරි යන්න ,එතනින් ඉස්කෝලෙට යන්න එහෙම පටන්ගත්තා.දැඩි තරගය නිසාම උඹව රජයේ පාසලකට දාන්නනම් අපිට බැරිවුනා.උඹ හොඳට ඉගනගත්තා.ඒ නිසාම ඉස්කෝලේ ටිකක් ප්‍රසිද්ද චරිතයක් බවටත් පත්වුනා.ගුරුවරුත් උඹට ආදරේ කරන්න පටන්ගත්තා.උඹට ඕනේවුනේ උඹට වැඩියෙන් ආදරේ කරන ගුරුවරියන්ව මේ ගෙදරට එක්කන් ඇවිත් නතරකරගන්න.උඹේ මාමත් ඒකට හරි ආසාවෙන් හීටියත් උඹේ අවාසනාවකටද මගේ අවාසනාවකටද මන්දා වැඩේ හරිගියේ නෑ.උඹේ පංතියේ හිටපු "ඔටිසම්" රෝගයෙන් පෙලෙන උඹේ යාලු පිරිමි ළමයෙක් දවසක් පංතිය මැද්දෙම චූ කරලා.උඹේ අනිත් යාලුවන්ගේ අම්මලා ඒ ළමයාව පංතියෙන් අයින් කරවලන්න සෑහෙන උත්සහයක.ඔය සිද්දිය වෙන කාලයේ එක දවසක උඹ මගේ ලඟට වෙලා මට විස්තරය කියවනවා.

"අනේ පවු මාමේ ඒ ළමයා....මේ ඇන්ටිලටත් පිස්සූ....පොඩි ළමයෙක් පංතියේ චූ කලහම මොකද?ඔය පාරේ යනකොට ඕනේ තරම් මිනිස්සු හිටගන චූ කරන්නේ....ඒ ළමයව පංතියෙන් අයින් කලොත් මමනම් යන්නේ නෑ ආපහු ඔය ඉස්කෝලෙට....."

ඒ තමයි මට ඉස්සල්ලම උඹව දැනුන දවස.එතකොට උඹ 2 වසරේ.උඹ කිවුවත් වගේ ඒ ඇන්ටිලා දින්නා.වෙලාවට උඹේ අම්මා ඒ පවුකාර වැඩේට සම්බන්දවුනේ නෑ.එදා ඉඳන් උඹ ඉස්කෝලේ යන්න අදිමදි කලා.ඉගනීමට තිබුන උනන්දුව අඩුවුනා.වාර අවසාන විභාහග ලකුණු හොඳටම අඩුවුනා.උඹව ඒ පාසලෙන් ඉවත්කරලා වෙනත් පාසලකට දාන්න උඹගේ අම්මලට සිද්දවුනා.උඹේ ජීවිතේ උඹ කරපු පළවෙනි විප්ලවය උඹ දින්නා.මම ආසාවෙන් උඹදිහා බලාගන හිටියා.

උඹේ තාත්තා නිවාඩුවට ගෙදර ආවහම උඹෙයි මගෙයි හිතවත්කම නිසා ඒ මනුස්සයාට දුක හිතෙයි කියලා ,ඒ දවස් 2-3දී උඹෙන් ඈත්වෙලා ඉන්න මට සිද්දවුනා.දවසක් උඹ නිදාගන්න යද්දී උඹේ අම්මා;

"ඔයා වැඩියෙන් ආදරේ මාමටද?...තාත්තටද....?"
"එහෙම නෑ ඉතින්....මම දෙන්නටම ආදරෙයි...."
"හරි මෙහෙම හිතන්නකෝ....මාමයි තාත්තයි වතුරේ ගිලෙනවා.ඔයත් එතන ඉන්නවා.ඔයා පොඩියිනේ.ඉතින් එක පාරට බේරගන්න පුළුවන් එක්කෙනයි.ඉතින් ඔයා ඉස්සල්ලම බේරගන්නේ කාවද...?"
උත්තර දී ගන්න බැරුව උඹ මහා හයියෙන් අඬලා තිබ්බා.
"හරි හරි....උත්තර දෙන්න එපා.මට හිතාගත්තැකි...."
පහුවදා උඹේ අම්මා ඒ කතාව කියද්දී මගේ ඇසුත් රතුවුනා.

දැනට මගේ ජීවිතේ හිටපු නිල පෙම්වතියෝ තුන්දෙනා එක්කම අපේ ගෙදර කෙනෙක් කියාලා ඉස්සල්ලම කතාකලේ උඹ.හැම තිස්සෙම මගේ අස්සෙම රිංගගන ඉන්නකොට උඹට හොරෙන් මල් කඩන්න මාමට බැරිවුනා.මම ෆෝන් එකෙන් මල් කඩද්දී වෙන වැඩක් කරනවා වගේ මගේ කාමරේ ඉඳන් ඒවා අහගන ඉන්න උඹට තිබ්බේ පුදුම දක්ශකමක්.ඒ අයත් එක්ක උඹත් කතාකලා.ඒ හැමෝටම උඹ කතාකලේ "ගෙම්බී" කියලා.ඒත් උඹ ඒ විස්තර කාටවත් කියන්න ගියේ නෑ.උඹ ඒවා ආච්චිට,උඹේ අම්මට කියන්න වුනේ මම ඒ අයට ඒ විස්තර කිවුවට පස්සේ.ඒ ඒ කාල වලදී මම ඒ තුන්දෙනාවම අපේ ගෙදරට එක්කන් ආවා.උඹ ඒ අයත් එක්ක කොච්චර කුළුපගව ආශ්‍රය කෙරුවත් වැරදිලාවත් මට ඒ අයගේ අතින්වත් අල්ලන්න දුන්නේ නෑ ගෙදරදී.මම අතින් අල්ලන කොට හිමින් සැරේ අපි දෙන්නා මැද්දට ඇවිත් දන්නේ නෑ වගේ මගේ අතින් අල්ලගන මගේ පෙම්වතියව අයින්කරන උඹව දැක්කහම අපිට හිනා ගියත් උඹටනම් ගානක් තිබුනේම නෑ.අපරාදේ කියන්න බෑ, ඒ එක ගෙම්බියෙක්වත් උඹත් එක්ක තරහාවුනෙත් නෑ.

මගේ හැම හොර වැඩක්ම ඉස්සල්ලම මාට්ටුවුනේ උඹට.ඉස්සල්ලම මගේ කාමරේ තියලා සිගරට් පැකට් එකක් අහුවුනෙත් උඹට.ඒත් උඹ කවදාවත් ඒවා ආච්චිට කියන්න ගියේ නෑ.මම නැතිවෙලාවලදී ගෙදර කවුරුහරි මට බැන්නොත් මම ආපුගමන් ඒවා මට කිවුවෙත් උඹයි.ඒ අයට විරුද්ධව කතාකරලා මාව බේරගන්නත් උඹ සෑහෙන්න මහන්සිවුනා.අන්තිමේදී ගෙදර අය මං ගැන උඹ ඉස්සරහා කතානොකරන තත්වයටම වැඩේ සිද්දවුනා.මාත් එක්ක ඉඳලමද මන්දා "ලයිෆ් ස්ටයිල්" එකේ මම ආසකරන ගොඩක් දේවල් වලට උඹත් ආසවුනා.උඹට මේ මලජරා කෑම පුරුදුකලා කියලා උඹේ අම්මා අදටත් මට බනින "මාරි බිස්කට් පුඩිම" තමයි ඒකෙන් ප්‍රධානම දේ.පුඩිමක් කිවුවට ඒක තමයි උඹෙයි මගෙයි උදෑසන ආහාරය උනේ.මාරි බිස්කට් පැකට් එකක් කඩලා පිගානට දාලා ඒක උඩින් කිරි වත්කරලා ටික වෙලාවක් වහලා තියලා හැන්දකින් කන්න මම පුරුදුවුනේ 7-8 වසරේ ඉදන්.ඒක දිහා බලාගන හිටපු උඹත් මාත් එක්ක ගේමට සෙට්වෙනකොට ළමයටත් ඌරු කෑම පුරුදුකරනවා කියලා මම බැනුම් අහපු තරමක්.චිත්‍රපටි, සංගීතය වගේ දේවල් වලදී පවා එක්කෝ උඹ මගේ තාලෙට හැදුනා.නැත්තන් මම උඹේ තාලෙට පුරුදුවුනා.මගේ පළවෙනි රැකියාව විදිහට හෝටල් ක්ශේස්ත්‍රය තොරා ගනිද්දී උඹ තමයි වැඩියෙන්ම සතුටුවුනේ.ගෙදර ඉන්න එකම දවසෙත් උඹට මොනවම හරි සුකුරුත්තන් කෑමක් හදලා දෙන්න මට සිද්දවුනා.

ඔහොම කාලය ගතවුනා.අපේ තෙවැනි පරම්පරාවේ පළවෙනියා විදිහට උඹ මල්වරවුනා.පවුලේ ඔක්කොමල්ලා සෑහෙන්න සතුටුවුනා.ඒ අතරින් උඹගැන දුක්වුන එකම එකා මම වෙන්න ඇති.කවදාවත් ලොකු ගෑණු ළමයෙක් විදිහට උඹගැන හිතන්න බැරිවුන මට ඒකෙන් පස්සේ උඹ මගෙන් ඈත්වෙයි කියලා තිබුනේ බයක්.මොන  පිස්සුද....මහාලොකු මුර දාලා නොතිබුනත් ඒ දවස්වල උඹවත් කාමරේකට දාලා තිබුනා.ඒත් ඉඩක් ලැබුන ගමන් උඹ මගේ ගාව.අම්මේ...ඒ දවස්වල අපි උඹේ ආච්චිලගෙන් බැනුම් අහපු තරමක්.අදටත් උඹ මගේ ගාවට වෙලා තුරුල්වෙලා ඉද්දී උඹේ ආච්චි "චූටි පුතා....ඔය ළමයා දැන් පොඩි එකෙක් නෙමෙයි.ඔයවගේ හැසිරෙන්න එපා" කියලා කිවුවත් කාටද ඕව මතක.....පුටු සැටියේ හරි බිම හරි දිගාවීගන තුරුල්වෙලා T.V.බලනකොට දැනෙන හැඟීම ඒ අය දන්නවද?

උඹ දන්නවද අද මම මේක ලියන්නේ ඇයි කියලා....?උඹ දැන් 8 වසරේ.8 වසර කියන්නේ උඹේ මාමනම් ඉස්කෝලේ හොඳට සෙල්ලම්කරලා, ගහගන,මරාගන මඩකරියා වගේ ගෙදර ආපු කාලයක්.ඒත් කෙල්ලෝ එහෙම නෑ.උන්ගේ හිතට යෞවනයේ චමත්කාරය දැනෙන්න පටන්ගන්න වයස.අපිත් එක්ක එක පංතිවල හිටපු සමහර කෙල්ලන්ට 8 වසරෙදි කොල්ලොත් හිටියා ඒ වෙනකොට.ඉස්සර මාත් එක්කම සෙල්ලම් කර කර කියව කියව හිටිය උඹත් දන් දැන් ටිකක් ඒවගෙන් ඈත්වෙලා මේක්-අප් කරන්න, කොන්ඩ මෝස්තර දාන්න, එක එක ඇඳුම් ඇදන් කණ්නාඩිය ඉස්සරහා කැරකෙන්න එහෙම පටන් අරන්.ඒවාට තහංචි දාලා උඹව හිරකරගන ඉන්න තරම් මෝඩයෝ කවුරුත් මේ ගෙදර නෑ.ඒත් ඒ දේවල් එහෙම වෙද්දී උඹ මගෙන් ඈත්වෙයි කියලා මගේ හිතට දැනෙන්නේ බයක්.කුරුළු පැටවු කූඩුවක හිරකරලා හදන්න බෑ කියලත් මම හොඳටම දන්නවා.ඒක එහෙම වුනත් උඹගැන හිතේ තියන ලෝභය ,තෘශ්නාව නිසාම හිත නොසන්සුන්වෙලා මේ දවස්වල.ඒ මොනවා උනත් මම උඹව කවමදාවත් හිර කරන්නේ නෑ.රාජකාරිය නිසාම ඉස්සරවගේ උඹේ ලගින්ම ඉන්න බැරිවුනත් මම පොරොන්දුවෙනවා මම උඹේ ජීවිතේට කවමදාවත් නරකක් වෙන්නනම් දෙන්නේ නෑ කියලා.ඒකෙන් කියන්නේ උඹව රත්තරන් කූඩුවක දාලා හදනවා කියන එකනම් නෙමෙයි.උඹට හම්බවෙලා තියන ලොකුම සම්පත තමයි උඹේ අම්මා.අද අම්මගේ උසටම ඉන්න උඹ එයත් එක්ක ඉන්නේ යාලුවෙක් වගෙයි.ඒ අම්මත් උඹගැන හොඳ ඇලර්ට් එකේ ඉන්නේ.ඒ එයාටත් ඉන්න එකම සම්පත උඹ හින්දා.උඹේ අම්මට විතරක් නෙමෙයි.ආච්චිට,සීයට ඉන්න ලොකුම සම්පතත් උඹ.උඹේ මාමාගේ ජීවිතෙත් උඹ.ඉතින් කොහොමද අපි උඹට නපුරක් වෙන්න දෙන්නේ...?ඉස්සර බාර්බි කාර්ටූන් බලපු එකා දැන් හින්දී, ඉංග්‍රීසි ලවුස්ටෝරි බලනකොට , වයලීනය අරගන ආදර ගීත වාදනය කරනකොට හිත නොසන්සුං වෙනවානම් තමයි.මම කවදාවත් අහලා නැති "සිද්ධාර්ත් මල්හෝත්‍රා" කෙනෙක් ගැන කියවනකොට බයකුත් හිතෙනවා.ඔක්කොටම වඩා එපාවෙන වැඩේ තමයි අර කිසිම පිරිමි කමක් නැති පොන්නයෝ වගේ ඉන්න කොරියන් නළුවන්ට පිස්සු වැටෙන එක.මේ ලඟදී ඒකෙක්ගේ මූණ පිටකවරෙකට දාපු පොතක් ගත්තා කියලා උඹේ අම්මගෙන් හොඳටම බැනුම් අහනවාත් මම අහගන.උඹේ අම්මා කියන විදිහට ෆේශල් කරන අයිබ්‍රෝ හදන "අයියලා" ටිකක් උඹේ ඉස්කෝලෙත් ඉන්නවළු.ඒක ඇහුවහමනම් මට සංසාරෙත් එක්ක එපාවුනා.උඹට පිරිමිකම ගැන ,ආදරේ ගැන පාඩම් කියල දෙන්න මට තාම බෑ; උඹ තාම මට පොඩි එකෙක් නිසා.ඉතින් මට කරන්න ඉතුරුවෙලා තියෙන්නේ උඹට මේ අහසේ පියාඹන්න දීලා උඹේ පරිස්සමට උඹත් එක්කම පියාඹන එක විතරයි.මේ අහසේ සුළි සුළං, කුණාටු, අකුණු හරියට.ඒවා උඹට පේන එකක් නෑ.වලාකුළු, තරු, හඳ , ඉර විතරක් උඹට පෙනේවි.කමක් නෑ.උඹ ඒවා දිහා බලාගන නිදහසේ ඉගිල්ලියන්.උඹේ මාමා අනිත් ඒවා බලාගන්නම් ;උඹට හීරිල්ලක්වත් වෙන්න නොදී.


ප:ලි:-
මම බ්ලොග් එකක් ලියනවා කියලා අපේ ගෙදරින් දන්නේ උඹ විතරයි.ඒකේ නම,යූසර් නේම්,පාස්වර්ඩ් පවා උඹ දන්නවා.මේක කියවලා තේරුම් ගන්න තරම් සිංහළ දැණුමක් උඹට තව නැති නිසා උඹ මේක කියවන්නේ නෑ.ඒත් උඹට දැණුම් තේරුම් ඇති කාලෙක කවදහරි මේක කියවනවා කියලා මම දන්නවා.එදාට මම ජීවතුන් අතර හිටියත් නැතිවුනත් උඹේ මාමා උඹට කොච්චර ආදරේ කලාද කියන දේ ගැන යන්තමින් හරි තේරුම් ගනින් මේක කියවලා.


කටුස්සා....

Sunday, February 14, 2016

ආදරයේදී මා ඔබහට පරදිමි.....


"ඔයා හෙට එනවද?"
"මේ විදිහට හම්බවෙන එකෙන් ප්‍රයෝජනයක් තියනවද?"
"දන්නේ නෑ.මට දැනගන්න වුවමනාවකුත් නෑ....කියන්න....හෙට එනවද?"
"ඔවු....පුරුදු තැන ,පුරුදු වෙලාවට මම වාහනේ තියාගන ඉන්නවා.ඔයා එන්න"

ෆෝන් එක මේසේ උඩට දාලා සිගරට් පැකට් එකෙන් සිගරට් එකක් පත්තුකරගත්ත මම පුටුවේ හොඳට හරිබරි ගැහුනේ අපේ කතාව විශ්ලේෂනය කරන්නනම් නෙමෙයි.ඒත් ඒ කතාවේ සිද්දවුන ගොඩක් රූපරාමු ආයෙමත් මගේ ඉස්සරහ මැවුනේ ;මේ කතාවේ සදාකාලික වැරදිකාරයා මමම වග ආපහු මටම පසක් කරමින්.

පාසල් අවදියේ ඉදන් තිබුන සෙල්ලක්කාර ජීවිතය උසස්පෙළින් පස්සේ උනත් වෙනස්වුනේනම් නෑ.ගහගැනිලි, මරාගැනිලි වගේම විනෝද චාරිකා, විනෝද හමු, මල ගෙවල්, බන ගෙවල් අඩුවක් වුනේ නෑ.ඒ ජීවිතේට අඩුවක් තිබුනානම් තිබුනේ කෙල්ලෙක්, පෙම්වතියක් නැතිවීම විතරයි.ඒ ඒකට උත්සහ නොකල නිසානම් නෙවෙයි.යාලුවෙන්න අහපු එක කෙල්ලෙක්වත් මට කැමති නොවුන නිසයි.ඒ විදිහට ජීවිතේ ගෙවෙනකොට තමයි අහම්බෙන් ඔයාව මුනගැහුනේ.ඒ පෙම්වතුන් විදිහටනම් නෙමෙයි.යාලුවෝ විදිහට.මට ජීවිතේගැන කිසිම බරක් පතලක් නොතිබුනත් ඔයා ඒ වෙනකොට ඔයාගේ ජීවිතේ ලස්සනට පාටකරන්න පටන් අරගන තිබුනා.මම ඔයාගේ සෙල්ලක්කාර ,දඩබ්බර, අවංක යාලුවා වුනා.පෙම්වතුන් යුගලක් වීමට සමාජය විසින් නොගැලපීමක් විදිහට පිළිගන්න  බාධකයක් අපි අතර තිබුනා.ඔයත් එක්ක කතාකරපු පළවෙනි දවසේ ඉඳන් මම ඒක දැනගන හිටියට ඔයා දැනන් හිටියේ නෑ ඒ ගැන.මෙහෙම කාලය ගෙවෙද්දී මට ඔයාව මගේ පෙම්වතිය කරගන්න ඕනේවුනා.කොච්චර සෙල්ලක්කාරයෙක් වුනත් ආදරය ගැන මගේ හිතේ තිබුනේ අමුතුම හැඟීමක්.ආදරය විවාහයෙන්ම කෙලවරවෙන්න ඕනේ කියන හැඟීම මේ කෝඩුකාර හිතේ පැලපදියම්වෙලා තිබුනා ,බරපතල විදිහට.වටේ පිටේ ඉන්න කවුරු මොනවා කිවුවත්; ඔයා මට, මම ඔයාට ආදරෙයිනම් අනිත් එවුන් මකබෑවිලා ගියාදෙන් කියලයි හිතන් හිටියේ.ඔයාට බොරුකරන්න මට කොහෙත්ම ඕනේ කමක් තිබුනේ නෑ.හැමදෙයක්ම ඔයාට කියලා ඔයා කැමතිනම් විතරක් ඔයත් එක්ක යාළුවෙන්නයි මට උවමනාවුනේ.හැබැයි ඒ හිතේ ඇතිවෙලා තිබුන හැඟීම ආදරයමද නැත්තන් යාලුවෝ හැමෝටම කෙල්ලෝ ඉන්නැද්දී මට විතරක් කෙල්ලෙක් නැතිවීම ගැන තිබුන හීනමානය නැතිකරගන කරපු දෙයක්ද කියලා මම තාම දන්නේ නෑ.මම කවදාවත් ඒ ගැන හිතුවෙත් නෑ; මම වැරදිකාරයාවෙයි කියන බයට.

"
දිල්....මට ඔයාව හම්බවෙන්න ඕනේ...පොඩි ප්‍රශ්නයක් තියනවා කතාකරගන්න...."
"ෆෝන් එකෙන් කියන්න අමාරු දෙයක්ද...?"
"ඔවු...හම්බවෙලාම කතාකරන්න ඕනේ දෙයක්...."
"ඔයා ඔහොම කියද්දී කොහොමද නෑවිත් ඉන්නේ බන්ටි ....ප්‍රශ්නයක්නේ....මේ ඉරිදට?"
"මැඩම්....ඔයා දන්නවනේ, ඔයා වගේ බිසී මිනිහෙක් නෙමෙයිනේ මම.....ඔයා කියන ඕනේ දවසක මම රෙඩි..."
"ඒකම තමයි මටත් පුදුම....පොඩිකාලේ වැටිලා ඔළුව වැදිලා වගේ හැසිරෙන මේ පිස්සට ඔච්චරටම තියන ප්‍රශ්නේ මොකද්ද....?කෙල්ලෙක් ගැනද...?"
"හම්ම්...."
"මාරයිනේ...කවුද ඒ කෙල්ල....?"
"ඔයා..." මම එහෙම කිවුවේ නෑ.
"ඉරිදට එන්නකෝ...මම එදාට කියන්නම්.....හැබැයි මේ ප්‍රශ්නේ විසදගන්නනම් ඔයාගේ උදවු ඕනෙමයි...."
"මගේ තනි නොතනියට කොහේ යන්න කතාකලත් මුකුත් නොකියා එන ඔයාට උදවුනොකර බෑනේ ඉතින්...."
-------------------------------------------------------------

නුගේගොඩ හංදිය....වාහන පෝළිමයි.කහ ඉරිත් නෑ.ඔයාගේ අත අල්ලගන මම පාර පැන්නා.ඒකේ අමුත්තක් ඔයාට තිබුනේ නෑ.ඔයාගේ තනියට, ඔයාගේ පාළුකපන්න ගිය හැම සැරේකම පාර පනින්න වුනොත් මම ඔයාගේ අතින් අල්ලගන්නවා.ඒත් එදා ඔයාගේ අතින් අල්ලගනකොට මගේ හිත ගොඩක් නොසන්සුන්වුනා.


"
මොනවාහරි බොනවද? කනවද?"
"මොනවා හරි බිබී ප්‍රශ්නේ කතාකරමුකෝ.ඒ වෙනකොට බඩගිනි වෙයිනේ.එතකොට මොනවාහරි කකා ඒ ගැන කතාකරමු."
"මාත් මාර මනුසයෙක්ට තමයි ප්‍රශ්න විසදන්න කතාකලේ....ඒකගැන කතාකරලා ඉවරවෙනකොට මට මේකේ පිගන් හෝදන්න වෙයිද දන්නේ නෑ...ඉන්න....මම මොනවාහරි බොන්න අරගන එන්නම්...."
"ඒයි පිස්සෝ....ආ කාර්ඩ් එක...මේකෙන් පේ කරන්න..."
"එපා...අද ආවේ මගේ වැඩකට....අද වියදම් කරන්නේ මම...."

"
කියනවකෝ ඉතින්....අර එදාවගේ කොහේහරි යන කුණ්ඩවාලයක් පටලවගත්තද ආපහු.....?කවද්ද අනේ ඔයාගේ ඔය රණ්ඩු ඉවරවෙන්නේ....?"

බීම බටෙන් තොල්දෙක අහකටගත්තු ඔයා මගෙන් ඇහුවා.
මම ඔයාගේ අත අල්ලගත්තා.එතකොටනම් ඔයා ගැස්සුනා.

"
දිල්....මම ඔයාට ආදරෙයි.හැබැයි මට ඔයාගෙන් දැන්ම උත්තරයක් එපා.මට දේවල් දෙකක් කියන්න තියනවා.ඒ දේවල් ඔයාට කිවුවට පස්සේ ඔයාගේ උත්තරේ මට කියන්න".

එහෙම කියපු මම මේ වෙනකොටත් කමිස සාක්කුවේ දාගන හිටපු මගේ අයිඩෙන්ටිටි කාර්ඩ් එක මේසේ දිගේ ඔයාට තල්ලුකලා.

"
ඔය තමයි පළවෙනි එක....මම ඔයාටවඩා අවුරුදු 3ක් බාලයි....දෙවනි එක...මේක එච්චර වැදගත් නොවෙන්න පුළුවන්.ඒත් මේක ගැනත් හිතලා මට ඔයාගේ උත්තරේ දෙන්න.මොකද මට ඕනේ නෑ සම්බන්දයක් ඇතිකරගත්තට පස්සේ මගින් නවත්තන්න.මගේ කේන්දරේ අර අඟහරුද මොකාද හතේ ඉන්නේ.එහෙම අය බඳින්න ඕනේ එහෙම එකෙක්මලු.නැත්තන් අනිත් එකා මැරෙනවලු.ඕවා පිළිගන්න අය ඔයගොල්ලන්ගේ ගෙදර ඉන්නවනම් ඒ ගැනත් හිතලා ඔයාගේ උත්තරේ මට දෙන්න.අදම නැතිවුනත් කමක් නෑ.හිතන්න කල් ඕනෙනම් හිතලා බලලා මට කියන්න".

ඔයා ගල්වෙලා.මම තාමත් ඔයාගේ අත අල්ලගන.ඔයාගේ ඇස්වල කඳුළු.මට බය හිතුනා ඔයා බෑ කියයි කියලා.මම හිමිහිට ඔයාගේ අත බුරුල්කලා.මගේ අතින් ඔයාගේ අත මුදවගත්තු ඔයා මගේ අත අල්ලගන හයියෙන් මිරිකගත්තා.ඒ තමයි ඔය මට කැමත්ත දුන්න හැටි; එදා.

"
හොඳට හිතල බලලද තීරණය කලේ....?හොඳටම විශ්වාසද මේ දේවල් කවමදාවත් ප්‍රශ්ණයක් වෙන එකක් නෑ කියලා ඉස්සරහට....?"
"ඒ ගැන මුකුත් කියන්න එපා...."මගේ අත රිදෙන තරමට තදවුනා.
ඒ තමයි මම ඔයාට ආදරෙයි කියලා කියපු එකම දවස.ඒ වගේමයි ඔයා ඒ වචනේ කවමදාවත් මට කියලත් නෑ.ඒත් අපේ සම්බන්දය දිගටම ගලාගන ගියා.
-----------------------------------------------------------

මට මෙහෙම හිතෙන්නේ ඇයි?ඔයාගේ මොන අඩුපාඩුවක් නිසාද?භෞතික වශයෙන්නම් ඔයාගේ කිසිම අඩුපාඩුවක් නෑ.පිටපලාතකින් රස්සාවකට කොළඹ ආපු ඔයා ඒ වෙනකොට කොළඹින් ඔයාටම කියලා ගේකුත් හදාගන තමන්ටම කියලා වාහනේකුත් අරගන ;මිනිස්සු කියන විදිහට හොඳ සමාජ තත්වෙක හිටියා.ඔයත් එක්ක යාලුවෙනකොට ජීවිතේ පටන්ගන්න හිතලවත් තිබුනේ නැති මම ඔයා හින්දම අළුතින් ජීවිතේ පටන්ගත්තා.ඒත් ;ඒ දේ මගේ හිතට මදි පුංචි කමක් වුනාද? අම්මලා තාත්තලා නිසා මුදල් අඩුපාඩුවක් නොතිබුනත් ඉස්සර ඉදන්ම ආඩම්බරකාරයෙක්වුන මගේ හිතට ඒ දේවල් දරාගන්න බැරිවුනාද? නැත්තන් යාළුවෝ හැම එකෙක්ම තමන්ට වඩා වයසින් අඩු කෙල්ලෝ එක්ක යාලුවෙලා ඉන්නැද්දී ඔයාගේ වයස මට ලැජ්ජාවක් උනාද?කියලා මට හිතාගන්න බෑ.ඔයාට ආදරය කරන්න තීරණය කරපු දවසේ මගේ හිතේ තිබුන අදිශ්ඨානය කොහේ ගිහින්ද?මොන විදිහට තර්කකලත් කවදාවත් සාදාරනීකරණය කරන්න බැරි ඒ අධම තීරණය මම ගත්තා.

"
අපි මේ සම්බන්දේ නතර කරමු..."
"ඇයි...?"

ඔයාට දෙන්න උත්තරයක් මට තිබුනේ නෑ.මම සද්දනැතුව හිටියා.ඔයා කවදාවත් මගේ පස්සෙන් ඇවිත් ඒකට හේතු ඇහුවෙත් නෑ.කවදාවත් මට වදයක් වුනෙත් නෑ.අඩුම ගානේ "මට මෙහෙමකලේ ඇයි" කියලවත් මගෙන් ඇහුවේ නෑ.අවුරුදු එකහමාරක් විතර තිබුන සම්බන්ධය ඒ විදිහට කෙලවරවුනා.වැඩිකල් නොගිහින් මම තවත් ගෑණු ළමයෙක් එක්ක යාලුවුනා.මට වඩා අවුරුදු 4ක් බාල.ඒත් හිතේ තිබුන වරදකාරි හැඟීම එහෙම්මමයි.කාලයත් එක්ක ඒක වැඩිවුනා මිස අඩුවුනේ නෑ.
-------------------------------------------------------------

අවුරුදු 6ක් ගෙවුනා.මගේ ජීවිතේ සතුටින් ගෙවුනා.ඒත් අර වරදකාරී හැඟීම කවදාවත් අඩුවුනේ නෑ.ඔයාට මගේ අතින් සිද්දවුන දේ තවත් ගෑනු ළමයෙක්ට වෙයි කියන බයටම ඔයාගේ සැපදුක අහන්නවත් මම ඔයාට කතාකලේ නෑ.ඒ අවුරුදු 6 ඇතුලේ  එකම එක පාරක් මම ඔයාව බලන්න ආවා.ඒ ඔයා වැඩ ඇරිලා යන එන වෙලාවක ඔයාගේ බස් රූට් එකේ බෝම්බයක් පිපිරුන දවසේ.එදා මම ඔයාගේ ගෙවල් ගාවට ඇවිත් වාහනේ නවත්තගන ගොඩක්වෙලා බලාගන හිටියා.ගෙදර ගේට්ටුව වහන්න ආපු ඔයාව දැක්කහම හිත ගොඩක් නිවුනා.ඔයා ගේ ඇතුලට ගියාට පස්සේ මම ආපහු ගෙදර ආවා.ඉවසලා ඉවසලා බැරිම තැන මම ඔයාට කෝල් කලා.මුලදී ටිකක් නොසන්සුන් ගතියක් තිබුනත් ඒ කටහඬේ තරහවක් ගෑවිලාවත් තිබුනේ නෑ.ඒ නිසාම මට මගේ ගැනම ලැජ්ජාවක්, පිළිකුලක් ඇතිවුනා.ඒ විදිහට කතා කරලා ඔයා මට දෙන්න පුළුවන් උපරිම දඬුවම දුන්නා.ඊට පස්සේ මාසෙකට සැරයක් දෙකක් අපි කතාකලා.පෙම්වතුන් විදිහටවත් යාළුවෝ විදිහටවත් නෙමෙයි.හිතවතුන් විදිහට.විනාඩි කීපයකට.

"
තව මාස දෙකකින් මම බඳිනවා...."

දවසක් මට කතාකරපු ඔයා කිවුවා.මම මුකුත් කිවුවේ නෑ.අඩුමගානේ සුභ පැතුවෙවත් නෑ.ඒ වෙනකොට මටත් පෙම්වතියක් හිටියත් මට මහා පරාජිත හැඟීමක් දැනුනා.

"
මට වෙඩීන් ෆොටෝ එක එවන්න...හැබැයි තනියෙන් ඉන්න එකක්..."

මම කිවුවේ එච්චරයි.කිවුව විදිහට ඔයා ඒක මට එවලා තිබුනා.ඔයා එකේ ලස්සනට....හරිම ලස්සනට හිටියා.ඒක බලලා හිතාගන්න බැරි හැඟීමකින්; සමහරවිට ඊරිසියාවෙන්, පිරිච්ච හිතත් අරගන මම රූෆ් ටොප් එකට ගිහින් හොඳටම බිවුවා තනියම.ඔහොම කාලයක් ගතවුනා.මගේ ජීවිතේත් ගොඩක් වෙනස්කම් සිද්දවුනා. ජීවිතේමයි කියලා හිතන් හිටපු අය ජීවිතෙන් ඈත්වුනා.ආදරය දිහා ගොඩාක් උපේක්ෂාවෙන් බලන්න පුරුදුවුනා.අර දඩබ්බර ජීවිතය සිල් ගත්තා.ඒ අතර තුර පුරුදු විදිහට ඔයත් කතාකලා මාසෙකට 2-3න් පාරක්.

"
බන්ටි....දෙයක් කියන්න තියනවා....මම ප්‍රෙග්නට්...."

දවසක් ඔයා මට කිවුවා.ඔයා පිළිගත්තත් නොගත්තත් ඔයාගැන කවදාවත්ම ඇති නොවුන තරම් ආදරේකින් එදා මගේ හිත පිරිලගියා.

"
කන්ග්‍රැජ්‍යුලේෂන්  දිල්...."

ඒ වෙනකොට ඔයාට කියන්න මට ඉතුරුවෙලා තිබුනේ ඒ වචනේ විතරයි.

"
බන්ටි, මට පුතෙක් හම්බුනා.ලස්සන පුතෙක්.අපි දෙන්නටම කරදරයක් නෑ.මේ දවස්වල ගෙදර කට්ටිය පිරිලා.පුළුවන් උන ගමන් මම ඔයාට කතාකරන්නම්."

කාලෙකට පස්සේ ඔයාගෙන් ආපු කෙටි පණිවිඩය.මට කිසිම අයිතියක් නැති දෙයක් වෙනුවෙන් මගේම කියලා හිතාගන මම සතුටුවුනා.මේ විදිහට පුතාට මාස 8ක් විතර වුනා.දවසක් කතාකරද්දී ;

"
මට ඔයාව හම්බවෙන්න ඕනේ.3ට විතර එනවද අපේ ඔෆිස් එක ලඟට....?"
"ඇයි....හදිස්සියක්ද....?"
"ඉසරනම් ඔයාට ඔහොම කිවුවහම ඔය විදිහට ඇහුවේ නෑ.අඩුමගානේ යාළුවෙක් විදිහට හිටපු කාලෙවත්."
"ඉස්සර හිටපු මමවත් ඔයාවත් නෙමෙයිනේ දැන් ඉන්නේ....හරි...කමක් නෑ.අර පානදුර  - නුවර බස් නවත්තන තැන මම ඉන්නවා 3 වෙනකොට.ඔයා එතන්ට ඇවිත් වාහනේට නගින්න.නැත්තන් ඔයාගේ ඔෆිස් එකේ කවුරුහරි ඕක දැක්කොත් ඒක ඔයාටමයි හොඳ නැත්තේ...."

"
කොහාටද යන්නේ....?ඉස්සර වගේ මිනිස්සු ඉන්න තැන් වලට අපිට යන්න බෑනේ දැන්..."
"කොහෙවත් යන්න ඕනේ නෑ....මෙහෙම යන ගමන් කතාකරමු..."

කිසිම කතාබහක් ඇතිවුනේ නෑ ගොඩක් දුර යනකම්.අන්තිමේදී ඒ මූසලකම ඉවසගන්න බැරුවම මම වාහනේ අතුරු පාරක නැවත්තුවා.

"
දිල්....ඇයි මේ...?මොකක් හරි ප්‍රශ්නයක්ද...?"

ඔයාගේ අත අල්ලගත්තු මම ඇහුවා.මුකුත්ම නොකියපු ඔයා මගේ උරහිසට හේත්තුවෙලා අඬන්න පටන්ගත්තා.ඔයාව තුරුල්කරගන ඔළුව අතගානවා ඇරෙන්න මට වෙන කරන්න දෙයක් තිබුනේ නෑ ඒ වෙලාවේ.

"
ඇති තරම් අඬලා ඉවරවෙලා මට කියන්න මොකද්ද ප්‍රශ්නේ කියලා....?"
"ඇයි බන්ටි මට මෙහෙමකලේ....?"

අවුරුදු ගානක් තිස්සේ කවදවත්ම ඔයා අහපුනැති ප්‍රශ්නේ එදා ඔයා මගේ ඉස්සරහ අතෑරියා.

"
ඔය ප්‍රශ්නෙට මම දැන් මොන උත්තරේ දුන්නත් මම දැන් පරකු වැඩියි දිල්...."
"ඔයා හිතන්න එපා බන්ටි මම මහා නරක ගෑනියෙක් කියලා....දරුවෙකුත් ඉන්න මම ඔයාගේ ඇඟේ එල්ලෙන්න හදනවා කියලත් හිතන්න එපා.ඔයාට නිකමටවත් එහෙම හිතෙනවනම් ආපහු කවදාවත් මට කතාකරන්නත් එපා.මාව හම්බවෙන්නත් එපා.ඒත් මමත් මනුස්සයෙක් බන්ටි.මටත් හිතක් තියනවා.මම මේ ලෝකේ පිරිමියෙක්ට කියලා ආදරේ කලේ ඔයාට විතරයි.ඒක එදත් එහෙමයි.අදත් එහෙමයි."
"එතකොට....."
"මේ කසාදේ සිද්දවුනේ ගෙදර බලපෑමට.අක්කා ගෙදර ඉඳිද්දී නංගිලව බන්දන්න බැරිකමට.එහෙම නැතුව ආදරේකට නෙමෙයි...."
"එච්චර ආදරේ කලානම් ඇයි දිල් ඒ දවස්වල මම යද්දි යන්තමින්වත් මාව නවත්තගන්න හැදුවේ නැත්තේ....?ඇයි....?"
"මම ඔයාට ආදරේ කලා....එහෙම නැතුව ඔයාගෙන් වාසි ගන්න ඔයාව ලගින් තියාගන්න හැදුවේ නෑ. ඔයාට යන්න ඕනේ කියද්දී බලෙන් ඔයාව තියාගන්න තරම් ආත්මාර්තයක් ඒ ආදරේ ඇතුලේ තිබුනේ නෑ කවමදාවත්."

ඔයා මාව පණපිටින් වැළළුවා.මගේ ජීවිතේ ඒ තරම් අසරණවිච්ච වෙලාවක් කවදාවත්ම තිබුනේ නැතුව ඇති.

"
මට සමාවෙන්න දිල්...."ජීවිතේ පළවෙනි වතාවට ආදරයක් වෙනුවෙන් මම කෙනෙක්ගෙන් සමාව ගත්තා.ඔයාගේ ආදරය ඉස්සරහ ඔයා මාව බල්ලෙක් කලා.

"
මම මොනවා කරන්නද කියලා මට තේරෙන්නේ නෑ දිල්....."
"ඔයා මොනවත් කරන්න ඕනේ නෑ.මේක අපි දෙන්නගෙම නොලැබීම.ඔයාට,ඔයාගේ ගෙදරට ළමයෙක් ඉන්න ගෑනියෙක් ගෙනියන්න බෑ කියලා මම දන්නවා.මටත් බෑ  මේ දේවල් නවත්තලා ඔයත් එක්ක එන්න කොහොමටවත්.....ඒත් මට එකම එක දෙයක් දෙන්න බන්ටි....."

මම මුකුත් නොකියම ඔයාගේ ඇස්දෙක දිහා බලාගන හිටියා.

"
ඉඳලා හිටලවත් මාව මේ විදිහට බලල යන්න එන්න බන්ටි.....මම දන්නවා මේක හරිම අසාධාරන ඉල්ලීමක් කියලා....ඒත් මගේ පපුවටත් දරාගන්න පුළුවන් සීමාවක් තියනවා.මගේ හස්බන්ඩ් වෙනුවෙන්, මගේ දරුවා වෙනුවෙන් මම මගේ ජීවිතේ කැපකරනවා.ඒකගැන සැකයක් නෑ.ඒත් මටත් ආදරයක් ඕනේ.මමත් හුස්ම වැටෙන ගෑණියෙක්.මේක ඔයාටත් කරදරයක් වෙයි.ඔයාටත් හිතෙයි මේ මොන මල වදයක්ද...මේ ගෑනි නිසා මට කෙල්ලෙක් එක්ක යාළුවෙන්නත් බෑනේ කියලා.ඔයාට එහෙම කෙනෙක් හම්බුන දවසට ඔයා ඒක මට කියලා මගෙන් ඈත්වෙන්න.මම කවමදාවත් ඔයාව හිරකරන්නේ නෑ.ඒත් එහෙම කෙනෙක් හම්බවෙනකම් ඉඳලා හිටලවත් මේ විදිහට මාව හම්බවෙන්න එන්න."
"දිල්....මම රට ගියොත් එනවද මාත් එක්ක යන්න පුතාවත් අරන්....?"
"බෑ බන්ටි...ඒ දේ කවදාවත් වෙන්නේ නෑ....පුතාට අයිතියක් තියෙන්න ඕනේ එයාගේ තාත්තත් එක්ක ඉන්න....ඒ අයිතිය එයාගෙන් උදුරගන්න මට බෑ...අනික තවකෙනෙක්ගේ දරුවෙක්ට තාත්තා වෙලා ඔයාගේ ජීවිතේ නාස්තිකරගන්න දෙන්න මට බෑ....ඒ දේ කවදාවත් මගේ අතින් වෙන්නේ නෑ...."
"මේ කාගෙවත් දරුවෙක් නෙමෙයි දිල්.ඔයාගේ දරුවා....ප්ලීස්...හිතන්න මේ ගැන තව....ඒ පොඩි එකාට කවදාවත් මගේ අතින් වෙනස්කමක් වෙන්නේ නෑ...."
"පිස්සෝ....ඒක ගැන මගේ හිතේ සැකයක් නෑ...ඔයා කවුද කියලා මම දන්නවා.ඒ නිසයි අද මේ විදිහට ඔයාව හම්බවෙන්න ආවේ.ඔය අතින් වැරද්දක් වුනොත් මට ඔයාට සමාවදෙන්න පුළුවන්.ඒත් මගේ අතින් වැරද්දක් වුනොත් මටම සමාව දීගන්න මට බෑ.ඒක නිසා ඒ දේ වෙන්නේ නෑ කවදාවත්.....අපි යමු බන්ටි....ඔෆිස් ඇරෙන වෙලාවත් ලඟයිනේ.....තව දෙයක්....ඔය සීරියස් මූඩ් එක හොඳයි ඔයාට.ඒත් පුළුවන්නම් මාව හම්බවෙන්න එන දවසට අර ඉස්සර හිටපු පිස්සව අරගන එන්න...."
එහෙම කියපු ඔයා මගේ ඔළුව පහත්කරලා මගේ නළල ඉම්බා.

දැන් දවස් 5-6ක්ම මේ දේ සිද්දවුනත් ඒ දේ නවත්තගන්න අපිට ඕනේකමක් වෙලා නෑ.බලාගන ඉන්න අයට මේක වැරදි ඇති.අපි දෙන්නත් දන්නවා මේක වැරදියි කියලා.මොලේ කොච්චර කිවුවත් මේක නවත්තපන් කියලා අපි දෙන්නම නතුවෙන්නේ හදවත කියනදේට.මේ ආදරය ඇතුලේ කවමදවත් අපි සිල්පද බිඳගන නෑ.ඒත් අපිට මේක නවත්තන්නත් ඕනේ.නවත්තගන්නත් බෑ.ඔයාගේ ජීවිතේට මෙහෙම ඉරණමක් අත්කලේ මමයි කියන වරදකාරී හැඟීමෙන් මම පෙළෙනවා.මගේ ජීවිතේ නාස්තිකරනවා කියන වරදකාරී හැඟීමෙන් ඔයා විඳවනවා.දෙන්නට දෙන්නා කවමදාවත් අයිතිවෙන්නේ නෑ කියන හැඟීමෙන් දෙන්නම මැරි මැරි උපදිනවා.ඉස්සරහට වෙන දෙයක් වෙච්චදෙන් කියලා ජීවිතේ ගෙවනවා ඇරෙන්න කිසිම බලාපොරොත්තුවක් නැති ආදරයක් වෙනුවෙන් දෙන්නම මහමෙරක් තරමට පෙරුම්පුරනවා.


සඳ දිය දෙවුණ සේ සිනහව පිපුණාම
නුඹ කොයි තරම් සුවඳ ද මගෙ හිත ගාව
දෑ කුල සිරිත් සිටි සඳ මග අවුරාන
හමුවී වැළපෙමුද මෙලෙසින් හැමදාම

නෑඹුල් පැතුම අහසට නැග රහසේම
දිලිසෙන්නේද පුරපස වී සඳපාන
ඒ හඳ ඇයිද දියවත වී ගොළු රෑක
දියවී ගිහින් රැඳුනේ තරු ඇස ගාව

ළය මත පිපුණු උණුසුම් සුසුමක සුවඳ
සෝදා හළ හැකිද ගැරහුම් රළ ගාව
කඩයිම ළඟ ඉඳන්වත් නුඹ හැමදාම
මට අත වනාන් නලියන නල සේම

ගායනය- අසංග ප්‍රියමන්ත / මාලනී බුලත්සිංහල.
ස්වර- සමන්ත පෙරේරා.
පද-නිලාර් එන්. කාසීම්.
ගී එකතුව- ඉරබටු තරුවේ.

                                               
-නිමි-



කටුස්සා....