Sunday, January 24, 2016

To Mr.President.



පාලනය යස පාලකයා සුභ
සිතම්භරම් පට මාරුවෙයි අද
වසන නිරුවත අමුඩපොට යට
පුක සමග නැත දිය ලණුව වට

පක්ෂ රජකම වැළඳ ලොභ සිත
හිස පැළඳගත් කටු ඔටුණු මැද
ගලන රුධිරය තෙමන දෙතොලග
දියව වැගිරෙයි සුභ සිහින ගඟ

හොරුන් මෙහි නැත සිටියේද නැත
ඇල්ළුවොත් හෙට තුනෙන් දෙක නැත
හුජ්ජකරමින් දුවනු රිසිවෙන
පක්ශයක් ලඟ රටම බලුවිය

දුන්න ඡන්දය වටින්නේ නැත
පැරදුනත් එය රජ පිහිට ඇත
රටේ ජනයගෙ ඔළුව මතහිඳ
ගනියි පිල් දෙක ඔළු ගණන අද

හිඟන්නොත් ඇත උණු බතුත් ඇත
බෙදාගන්නට කොළපතක් නැත
පතෙත් පහරන අමන රැල මැද
කරන එකෙකුත් කරන්නෙත් නැත

කන්න දුන් අත හපන'වුන් මැද
මාරපන් යන කළුවන්ද ඇත
දිය යටින් යන ගින්න දැක දැක
ලොවන මීපැණි රස දැනේවිද

ලක්ෂ හැටදෙක එක්කෝ පක්ශය
මිසක නුඹහට විසඳුමක් නැත
රැවුල මුඩුකර බිවුවොතින් කැඳ
නැගිටගන්නට පිරෙයි නුඹෙ කුස

කටුස්සා....

Sunday, January 17, 2016

නොනිමි....




නුඹ මගේ වී මා නුඹේ වී අපි අපේ වී සෙනෙහසින්
තවත් කොපමණ දුරක් යන්නද වාරුනැති ගත දැඩිකරන්
ලැබුණු සියුමැලි ලතෙත් සෙනෙහස දෑස්තුල තව තදකරන්
සිහින් දෑගිලි හොවා සිරසට දෙතොල් නළලත සිරකරන්


යොවුන් සිතුවිළි දඟකරනදා රුදුරු වනයක කෙළිදොලින්
නොමග නොයනට වෙලා හදවත සිසිල් තුරු සෙවනක් වෙමින්
විසල් දරඳඩු පිරිමි දිවියම මගේ දිවියට දියකරන්
කෙසේ අමතක කර දමමි නුඹ ගිලන්වූදා රත්තරං


නොමති හැඟුමන් අවට ලොවගැන අයාලේ ගිය හදවතක්
මටම පුදුමයි වසඟවුන හැටි දුටුව පසු නෑඹුල් මලක්
ගතට පමණක් පෙම් කෙරුව කල විඳපුනැති හිත බරකමක්
තවම දැනෙනව නුඹ ලඟදි මට කලාදෝ මම වැරැද්දක්


දුටුව පසු ලොබ සිතුන නුඹෙ රුව හදවතට කෙඳිරූ කවක්
සිහිනෙනුත් පද මිමිණුවා මම නුඹේ පපුවට හිස තියන්
අ'යනු ආ'යනු කියා දිවිමග අරුත් එකිනෙක පවසමින්
කලේ කොතනද වැරැද්දක් නුඹ කියනවද මට කොඳුරමින්


දුරක් යන්නට සිතා තුරුලට හොවා ගත්තද ආදරෙන්
යායුතුය හැරදමා මතකය තුරුණු නුඹ සිත
නිකරන්
කිරට හඬනා සමනළුන් හා නොහැකිනම් යන්නට දුරක්
හෙලනු දිවිබර අත්වැලක් මත නොමත මගෙ සිත තරහවක්


වනස්පති සෙවනක් වෙමින් මට ලබාදුන් සෙවනින් බිඳක්
ලබාදිය හැකි කෙනෙක් මිහි වෙද දනිමි එය මහ විහිළුවක්
නුඹේ රුහුරෙන් සුවඳවුන සමනළුන් හා යන්නට දුරක්
මගකියයි නුඹ දුන්න ආලය නෙත් පියෙනතුරු මහ මෙරක්


කටුස්සා....

ප:ලි:
නිමිත්ත ගැන හැඟීමක් ඇතිකරගන්න ඕනෙමනම් මෙතන්ට (මිතුරිය ) ගිහින් කමෙන්ටුත් එක්කම බලන්න.

Monday, January 11, 2016

සුදු සහ කලු....



චන්ද්‍රමඩල මුවාකරන්
ගත ඇඳි සළු නෙක උනමින්
ක්ෂීරපථය තනි අතකට 
ගත්ත රූබරී....
නිල් දෙනයන කැල්මදරන්
සිත ටිකකට නතරකරන්
සප්ත සාගරය කැළඹුව
රත්න මෝහිණී....

කල්බලා ලැබුන ඉඩකින්
ඉවතහෙලා ලොව පතිදම්
විශාකාව තුරුලට ගිය
දීඝ ගාමිණි....
කිරට හඬන තම බිළිඳුන්
නොලා මගට සිත මවුවත්
දරු දෙනෙතට සිත කැපකළ
කිසාගෝතමී....

කඩා තනය පොළවෙගසන්
සාප නොකර නුවර දනන්
දුක තම ලැම මතම හෙවූ
චන්ද කින්නරී....
දරුපෙම සිත තුල දරමින්
වැගිරෙන කිරි නතරකරන්
පියවුරු කෙළි බඩුවක් කල
සප්ත පත්තිනී....

සලිතකරගන්න යටිකය
හොවන දණ්ඩ දැඟලිලි මැද
දරු කුසගිනි නිසාම
පිළිගත්තු ද්‍රෞපදී....
අනුරාගයෙ ඉම සොයමින්
පිහිනන දන සිත නිවමින්
ආයෙත් එන්නැයි පවසන
සීතා දේවී....

කරපු පවු වසා කඩතිර
මුවා කරන සිල්වතුන්ට
හැමදාමත් පවින් පිරුන
පට්ටම වේසී....
පවක්යැ'යි ලොවම පවසන
අපායක දිවිය රඳවන
රහසින්වත් පවු නොකරන
බිම්බා දේවී....

දිවි දවනා ගින්න මැදින්
සිත නිවනා පෙම සොයමින්
නිල් අහසට දුක පවසන
කුණ්ඩලකේසී....
අම්මා යන අකුරු තුනට
මහමෙරක් වෙන්න දඟලන
ලෝ ධාතුව කම්පාකල 
බුද්ධ භාශීණී....


කටුස්සා....

ප:ලි:
විශේෂ ස්තූතිය- කමියට සහ ඇනෝපීලිසාට.

Wednesday, January 6, 2016

එනවාද හෙටත් නුඹ....




එනවාද හෙටත් නුඹ අද මෙන්ම
හිනහෙමින්....
බැසයන්න වෙර දරන හිරු රැසට පිටුපාලා
විවර නෙතු ලෝකයේ සිතින් අමතකකරලා
දිලිසෙනා සසල නෙතු අගින් වත සරසාලා
අපි දෙන්න විතරක්ම ඉන්න අපෙ ලෝකයට
එනවාද හෙටත් නුඹ....
හිනහෙමින් මගෙ ලඟට

මගේවුන පෙර දිනක නොතිබුනා කඩොළු මැද
වටා රැකවල් සදන සිත් නොමැති මුර අතර
නුඹට මට නොලැබිච්ච ආදරය දැකගන්න
ලෝකයට නොතේරෙන අපෙ හැඟුම් විඳගන්න
එනවාද හෙටත් නුඹ....
අපේ'යැයි කියන්නට කිසිදෙයක් නොමැති ලොව
අපේවුන සුසුම් මැද අපෙ පැතුම් කියවන්න
එනවාද හෙටත් නුඹ....
හිනහෙමින් මගෙ ලඟට

අහේතුක හේතුවට පැළන්දුව රන් මුදුව
මොනවා කිවුවත් අපිට ඇහෙන්නැති වෙලාවට
හිස තියන් පපුව මත කියන්නට මට නුඹට
රාගයේ සුළඟවත් නොතැවරුන අපෙ කවිය
එනවාද හෙටත් නුඹ....
නුඹේ ළය පිස හමන සුළඟ වත සිඹින කල
සිහිනයෙන් මෙන් දැනෙන සිත නිවන කිරි සුවඳ
දැමුව තහනම අතර අසරණව ගිය හිතට
සැනසුමක්වුන නුඹේ සිත නිවන වදනකට
ඉඩදෙන්න සවනතේ නිම්නාද නගන්නට
එනවාද හෙටත් නුඹ....
හිනහෙමින් මගෙ ලඟට

කෙළවරක් නොමදකින කිසිදිනක නොමතිබුන
සසරෙදිම නිම නොවන ආදරය අහුලන්න
ඇහැල මල් පියස යට අපේ ලොව සරසන්න
එනවාද හෙටත් නුඹ....
කිසිදිනක වෙර නොකර කිසි දිනක ගතු නොකිය
සිහිනයේ පමණක්ම අපේවුන අපි අතර
කඳුලකට සිනහපොද වෙන්න  හෙට අපි අපිට
අපෙ නොවුන ලෝකයක අපේවුන නිමේශෙක
රවටගන අපේ හිත හිනහෙන්න මට නුඹට
කල්පයක් තරමටම වටින හෝරාවකට
එනවාද හෙටත් නුඹ....
හිනහෙමින් මගෙ ලඟට



කටුස්සා....

Monday, January 4, 2016

තනි යහන....



සඳ එළිය පවා තරු දෙසට එබී තව පතයිනම් මුදු උණුසුමක්
මල් කිණිති පවා තුරු දෙසට නැමී තව සොයයිනම් හද සිසිලසක්
සමණලුන් පවා මහ රැයෙත් ඇවිත් රූ බලයිනම් පිපි කඩුපුලක්
මට ලඟට ඇවිත් සිපගන්න දෙතොල් ඔබෙ කවුද දැම්මේ තහනමක්

නෙත තෙමුන විටක ඔබ තුරුළුකරන් මගෙ දෙතොල තැබුවත් හිස මතින්
ඒ දෙතොල අරන් මුළු ලොවට හොරෙන් මම සොයන්නද සුදු කඳු මුදුන්
මුදු මෙලෙක මතින් සුව දැණුන සැනින් ගත කිළිපොලන සුව කෙඳිරියන්
මට ලැබෙන වරම් තව දුරද ඉතින් මම බලන් ඉන්නද දින ගැනන්

සුබ නිමිති මැදින් උණුසුමක් අරන් ගත පුබුදුවන පෙති නැති මලක්
මධු පැණින් තෙමා රස සොරා බොන්න මම සොයනවා සුවබර ඉඩක්
නිදි නොමැති ගතින් වත රටා සොයන මගෙ නොහොක්මුන දසැඟිලි විතක්
මිට මොලවගනිමි නිදි නොමැති රැයක තනි යහන අද මට කටු ගොඩක්


කටුස්සා....