Tuesday, February 3, 2015

පොත් සමගින් ගැටවර විය...




මින් පෙර ලියූ "පත්තර අතීතය" නැමති ලිපියේ කියූ පරිදී කටුස්සාට කුඩා කාලයේ සිට පුදුම කියවීමේ අමාරුවක් විය.අතට අහුවන අකුරු තියන ඕනෑම කුණුහරුපයක් කියවීම අද වෙන තෙක්ම සුවකිරීමට නොහැකි අසනීපයක් වී තිබේ.මේ අමාරුවට කටුස්සාගේ නිවැසියන්ගෙන් ලැබුනේද ඉමහත් සහයකි.එකල සිට මිලිදීගත් පොත් සියල්ල ලඟ තිබුනානම් විශාල ප්‍රමාණයකට හිමිකම්  කීමට හැකියාව තිබුනද කියවීමට පොත් රැගෙන යන්නන්ගේ හොඳකම නිසා කිසිදා එම ප්‍රමාණය 300 ඉක්මවන්නේ නැත.මතක විදිහට කටුස්සා පළමුවෙන්ම කියවූ පොත වන්නේ "පුන්චි වලස් පැටවු තුන්දෙනා" නම් වු පොතයි.ඒ කටුස්සා මොට්ටසෝරි යන අවදියේය.මේ ලිපිය අකුරු කරන්නේ කටුස්සා එම අවදියේ සිට සාමන්‍යපෙළ අවදිය තෙක් කියවූ පොත් පිළිබඳව මතක ඇති පමණට මතකය අවදි කිරීමටය.

කුඩා කල සිට කියවූ පොත් අතර අදද මුලින්ම මතක් වන්නේ "හත්පෙති මල" නම් පොතයි.එහි වූ වර්ණවත් චිත්‍ර අතරින් විශාල හිම වළසෙකු සිටිනා චිත්‍රය අදද කටුස්සාට මතකය.එම පොතත් සමග මිලදීගත් තවත් රුසියන් පොතක් විය.එහි නම කටුස්සාට මතක නැත.ඒත් එම කතන්දරයේ සුදු පැහැති ගෝනෙක් විය.දුනු ඊතල ගත් කෙනෙකුද විය."රාස්සිගේ කැවුම් මල්ල" නම් එකල කිය වූ ගුනසේන ආයතනයෙන් මුද්‍රණය කල පොතක් මෑතක්වන තෙක් කටුස්සා සතු විය.එය මතක තිබීමට ප්‍රධාන හේතුවනම් එය කටුස්සා කියවූ ප්‍රථම කුඩා අකුරින් ලියවුන පොත වීමත් පියවුරු එළියට පනින සේ ඇද තිබූ රාස්සිගේ චිත්‍රයත්ය."රස කතා" හා"ලස්සන වසිලිස්සා" යනු එකල කියවූ කිසිදා අමතක නොවන රුසියානු පොත් දෙකකි.එම පොත් දෙකට කෙතරම් ආදරය කරනවාද කියතොත් කටුස්සාගේ සොයුරියගේ 12 හැවරදි දියණියගේ මෙවර උපන්දිනයට කටුස්සා විසින් ලබාදුන් උපන්දින තෑග්ග වන්නේද අමාරුවෙන් සොයාගත් එම පොත් දෙකයි.අන්දරේ පිළිබඳ ලියවුන පොතක් මෙන්ම මහදැන මුත්තා පිළිබඳව ලියවුන පොතක් පිළිබඳවද කටුස්සාට ලාවට මතකයක් ඇත."හත්පණ"ද එකල ආශාවෙන් කියවූවේ හත්පණ ටෙලිය එම කාලයේ විකාශනය වූ නිසාය.

ඉලගරත්නයන් රචිත "හපනා" කටුස්සාව නව මානයකට තල්ලුකර දැමූ පොතකි.එම පොත කියවූ පසු ඉලගරත්නයන්ට වහවැටුන කටුස්සා "අඹ යහළුවෝ","ශිෂ්‍යත්වය","විලම්භීත","තිළක","තිළක හා තිළකා" යන පොත් 4 වසරේදී පමණ කියවා නිම කලේ ඔටුවෙක්ට ස්ප්‍රයිට් ලැබුනාසේය.මේ අතර වාරයේ වූ සුවිශේෂී සිදුවීමනම් කටුස්සා තමා කියවූ ප්‍රථම නවකතාව ලෙස ජයකොඩි සෙනවිරත්න ශූරීන්ගේ "රණ තිසරු" පොත කියවීමය.ඒ 3 වසරේදීය.කටුස්සාගේ සොයුරියගේ පොතක් වුන එය කියවද්දී කිසිම අමුතු හැඟීමක් ඇති නොවුනත් එහි කොල්ලා පොලිස් නිලධාරියකු වන කොටස ඉතා ආශාවෙන් කියවූවා තාමත් මතකය.5 වසර සින්හළ පෙළ පොත නිසා වහවැටී සොයා කියවූ පොතකි ,"වනගත ළමෝ".අචාර්‍ය දොන් පීටර් පියතුමන් විසින් රචිත එම පොත සමග එතුමන් ලියූ "හොල්මන් දූපත" ,"ඩින්කි"  යන පොත්ද සමගින් ඔහුගේම නම් අමතක තවත් පොත් දෙකක් කියවුවා මතකය.එකක්නම් ගමෙන් නගරයට විත් ගැටකැපීමට හුරුවන ළමයකුගේ කතාවකි.අනික 71 කැරල්ළට සම්බන්ධ වන ළමයකුගේ කතාවකි.එහි නම "විදුහළේ විත්ති" ලෙස යන්තම් මතක තිබුනත් හරි හැටි විශ්වාස නැත.

මෙම කාලයේදීම වාගේ කටුස්සාව පිස්සු වැට්ටවු තවත් කතුවරයකු වූයේ දොස්තර R.L.ස්පිට්ල් මහතාය."සුදු ගෝණා" කටුස්සා කියවූ ඔහුගේ මුල්ම පොතය.ඉන්පසු කියවූ "සුදු වැද්දා" ,"ලක්බිමේ සත් වසක්","වීර දිවයින" ,වෙනි එතුමාගේ පොත් කටුස්සාගේ මණදොළ පිනවීමට කැපවුනි.එතුමාගේ දියනිය ගේ "තිත්ත කෝපි" නම් වු කෘතියද මේ හුස්මටම කියවූ තවත් පොතකි.මෙකල කියවූ තවත් පොතක් පිළිබඳව හොදින් මතකයක් හිත රැදුනද එහි නම මතකනැත.එහි කතාවනම් රත්නපුර ලෙල්ලුපිටියේ ඉපදුණු ළමයෙක් කරවල වාඩියකටපැහැරගන ගන යාම හා එහි ගෙවන ජීවිතය පිළිබඳව කතාවකි.මා නිවැරදිනම්  ලන්කාවේ  ප්‍රථම වර්ණ චිත්‍රපටය වන රන්මුතු දූවට පාදක වී ඇත්තේද එම පොතය.එහි නම "වාලම්පූරි" විය යුතුය.කතුවරයාගේ නම මතක නැත.

R.K.නාරායන් ශූරීන් ලියූ "මල්ගුඩි දවස" හා "ස්වාමි සහ යාළුවෝ" නම් පරිවර්ථන කෘතීන් කටුසු මතකයේ අමරණීය ලෙස තැන්පත්වී  ඇති තවත් පොත් දෙකකි.විශේශයෙන් "ස්වාමි සහ යාළුවෝ" ය.උපහාස රසයෙන් මෙන්ම ශෝක රසයෙන්ද අනූන වූ එම පොතට කටුස්සාගේ පොත් එකතුවේ තාමත් විශේෂ ස්ථානයක් හිමිව ඇත.කොපමණ අසා තිබුනත් පාසලේ 7 වසරට යන තුරුම කටුස්සා "මඩොල් දූව" කියවා තිබුනේ නැත.ඒ කුමණ හේතුවක් නිසාදයි අදද වටහාගත නොහැක.මාර්ටින් වික්‍රමසින්හයන් කිසිදා කටුස්සාගේ ෆේවරිට් ලිස්ට් එකේ සිටි කතුවරයක් නොවුනි.අද දක්වාම ඔහුගේ පොත් වලින් කියවා ඇත්තේ "මඩොල්දූව" සහ "ගම් පෙරළිය" පමණි.පහ වසර පන්තියේ සිටින විට කියවූ කතුවරයා අමතක තවත් පොත් ත්‍රිත්වයකි; "ගිම්හානයේ වික්‍රමයක්" "බස්තියන්ගේ සොහොණ" හා   "කම්මළේ දෝන්කාරය".කතුවරයාගේ නම අමතක වූවත් ඔහු නීතීඥවරයකු යැයිනම් මතකය.නාගරික පරිසරයට හුරු වී තිබූ කටුසු මණස ගමේ සුන්දරත්ව‍යෙන් පිරවූ  කිසිදා අමතක නොවන පොත 2ක් ඇත."බක් මහේ නිවාඩුව" ඉන් පළමුවෙන්නයි.කතුවර නම මතක නැති එය මාතර ප්‍රදේශයේ ගැමිපරිසරයක ජීවත්වන ළමුන් පිළිබඳ කතාවකි.එම පොතින් ඉගනගත් අළුත් වචනයක් වූවේ දිවුල් වලට එම ප්‍රදේශයේ භාවිතා කරණ "ජූල්"නැමති වචනයයි.මාලනී ගෝවින්න නැමති කතුවරිය විසින් රචිත "පේ අයියා" නැමති පොත ගැටවර කටුස්සාව ගැමිසුන්දරත්වයෙන් වශීකරවූ තවත් පොතකි.දෙවන ලෝක යුද සමය හා ආශ්‍රිත කාළ වකවානුවක ජීවත් වූ ගැමි පවුලක් ඇසුරු කරමින් ලියූ මෙහි අවසානයේ පේ අයියා මියයන මුත් එය සුන්දරත්වයෙන් අග තැන්පත් පොතක්ම විය.

මේ කාලය ගැන කතාකිරීමේදී කටුස්සාට මෙන්ම එම පරම්පරාවේ පොත්වලට ආදරය කරන දහසක් දෙනාගේ මතකයෙන් ඈත් කරවිය නොහැකි මහාචරිතයකි ;K.G.කරුණාතිලක ශූරීන්.ඔහු ගැන කතාකිරීමට වෙනම ලිපියක් ලිවීමට තරම් කරුණු ඇතිමුත් "ටාර්සන්" පොත්මාලාව  තුලින් ඔහු කල වික්‍රමය හරහා පොත් කියවීමට පෙළඹුන දහසක් දෙනා අතර ඔහු සදාකල් ජීවත්වනු ඇත.ටාර්සන් පොත් මාලාවට අමතරව ඔහු විසින් පරිවර්තනය කල "විජයග්‍රාහී කෝනෑන්", "බැස්කර්විල් දඩ බල්ලා" ,"කොර්සිකාණු සහෝදරයෝ" "ඉවටි" ,"රොබින්සන් කෲසෝ" ,"මාස්ටර්මන් රෙඩි", "ඉටි බෝලය" ,"අභිරහස් විද්ධචිත්‍රය" වෙනි පොත් වලට වහ වැටුන අප පරපුරේ දහසක් දෙනාට විශ්වසාහිත්‍ය නැමති සයුරේ යාත්‍රා කිරීමට පහුර වූවේ කරුණාතිලක ශූරීන්ය.සාමාන්‍ය පෙළ අවදියෙන් පසු කියවූවත් එටුමන් විසින් පරිවර්තනය කල "මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා"කටුස්සාගේ ප්‍රියතම කෘතියකි.20වරකට වඩා එමපොත් 6 කටුස්සා විසින් කියවා ඇත.කරුණාතිලක ශූරීන් අප පරම්පරාවට හුරුකරවූ අනිකුත් ප්‍රධාන දෙයනම් භාග පරිවර්තකයන් සහ ශබ්ධකෝශ පරිවර්තකයන් අප ලොවින් එලවා දැමීමට හුරු කර වීමය.වර්තමානයේ පරිවර්තකයන් කොතෙක් සිටියත් අප පරම්පරාවේ බොහෝදෙනෙකුට  කියවීමට හැකි  පරිවර්තනයක් සොයාගැනීමට නොහැකි වී ඇත්තේ ඔහුගෙන් ලද අසන්ශික්ප්ත පරිවර්තන ආභාශය නිසාමය.(බුකියේ "පොත් කියවන අය"නම් වූ එකතුවේ පළවූ අදහස් කිහිපයකි මේ).

සිරිල් සීපෙරේරා ශූරීන් පරිවර්තනය කල "එමා බෝවාරි" සහ "ශේන්" ද එකල කියවූ තවත් මතකහිටින පොත් දෙකකි."ශේන්" කියවා ඇති වාරගනන ගනන් කල නොහැකි තරම්ය.චන්ද්‍ර අනගිරත්න නම් වූ විෂිශ්ඨයා විසින් රචිත "නරලොව හොල්මන්" නම් කෘති මාලාව මතක් වෙද්දීත් හිනායන එකල කියවූ තවත් හිත ගිය පොත් 4කි.ඔහු විසින් පරිවර්තනය කල "ටොම් සෝයර්" ,"හක්ල්බරීගේ හපන්කම්" ,"කෝච්චියේ ළමයි" ,"සොළමන් රජතුමාගේ දියමන්ති ආකරය", "උදාර අපේක්ශා" ,"සුදු ඇදගත් කාන්තාව" ,"රජ පැටියා සහ හිඟන පැටියා" ,"ෆ්‍රැන්කන්ස්ටයින්" ,"හයිඩි","ඩ්‍රැකියුලා" වෙනි පොත් එම කාලයේ කටුස්සාව පිස්සු වට්ටපු හැටි අදද හොදින් මතකය.

"පිච්ච මල" නවකතා මාලාව හරහා හදුනාගත් ජයසේන ජයකොඩි ශූරීන්ද කටුසු මතකයේ නොමැකෙන සිත්තමකි.එම සිතුවමට කොතරම් අශාකලාදැයි කියතහොත් එතුමාගේ "රන් කුකුළෝ ඉගිලයති" හා "දෙබෑයෝ" නම් නවකතා හැරුන විට එකල පළවී තිබූ අනිකුත් සියළුම පොත් කටුස්සා විසින් මිලදීගන කියවන ලදීය.එම පොත් අතරිනුත් "පරසතුරෝ" සහ "රන්දහඩිය" නැමති නවකතා විශේශ විය.බුද්ධ චරිතය ඇසුරු කර ලියවුන විශිෂ්ඨතම කෘතිය ලෙස කටුස්සා අදද දකින්නේ එතුමා විසින් රචිත "අමාවැස්ස" නම්කෘතියයි.

 "දොඹගල නිධානය","කඩවර අඩවිය" ,"හනුමන්ගිර" ."උත්සහවන්තයෝ" ,"වීර්යවන්තයෝ" ,"අභය භූමිය" ,"පාළුදූපත" ,"ගුරු පඬුරු" ,"මිල්ටෙරිකාරයෝ", "මල්ලිගේ විත්ති" ,"රූකඩයා" , "ග්‍රීම් කතා 01-02" ,"නිධන් දූපත" ,"වනගත වීරයෝ" ,"පුන්චි කිරා" ,"අපායෙන් උපායක්" ,"මැටි කෝප්පය" ,"පුදුම දිවයින" ,"සහෝදරයෙක්" ,"සුදු හාමිනේ" ,"පුළතිසි වීරයෝ" ,"නිරානන්දය" වෙනි නම් එකල සිහි කරද්දී නිතැතින්ම සිහියට නැගෙන්නේය.මිනුත්  "සහෝදරයෙක් හා "සුදු හාමිනේ" යන නවකතා දෙස කටුස්සා අදත් බලන්නේ ටෙලි නාට්‍යක් දෙස බලනා ඇසකිනි.ඒවා එතරම්ම ටෙලියකට සුදුසු නවකතාවක් ලෙස කටුස්සා පෞද්ගලිකව සිතයි.එකල ගැටවර සිත මෝහනය කල තවත් කතුවරයකි,කුළසේන ෆොන්සේකා මහතා."රන්සිරිගේ සන්ග්‍රාමය","කල්ලන්දූවේ මුතු කොල්ලය" ,"සෝමපුරවීරයෝ","තුන් යහලු වික්‍රමය" හරහා යොවුන් සිත ආමන්ත්‍රණය කල එතුමාගේ "පාලමයට" සහ "විය සිදුර" ද එකළ කියවූ පොත් ලෙස සිතට නැගේ.

දැදිගම වී.රුද්‍රිගූ ශූරීන් විසින් රචිත "වානේ පන්නරය ලැබූ හැටි 01-02" යන පොත් කටුසු මතකයේ අමරණීය පොත් දෙකකි.පසු කාලීනව රුසියානු සාහිත්‍යට වහ වැටුණ කටුස්සාට එම මාවත එළි පෙහෙළි කලේ එම පොත් දෙකය."අපරාධය සහ දඩුවම "පොත් දෙක කටුස්සා මිලටගනු ලැබුවේ ටවුන් හෝල් වල පිහිටා ඇති ඔසුසළ ඉදිරිපිට වූ පදික වේදිකාවෙනි.ඒ 7 වසරෙදීය.එකල එය  කියවීමට සිත් නොදුන්නත් 11 වසරේදී කටුස්සා විසින් ඒවා කියවන ලදී.මතකය නිවැරදිනම් රාජ ශ්‍රි පීරිස් නම් මහතකු විසින් රචිත "දිරිය දරුවෝ" නම් පොත සදාකල් මතකයේ රැදෙනා පොතකි.අමුතුම කතා ආරක් ගත් මෙය නැවත මිලදී ගැනීම සදහා කටුස්සා විසින් ගත් සියළු ප්‍රයත්නයන් අද දක්වා ව්‍යර්ථ වී ඇත.යෞවනයන් උදෙසා නිර්මාණය කෙරෙන ටෙලිනාට්‍යක් උදෙසා කිසිවකු හෝ පිටපත් සොයන්නේනම් ,අන්න පොත්ය.

10 වසර අවසානයේදී කියවූ "යේසූස් නම් බුද්ධ ශ්‍රාවකයාණෝ" කටුස්සාව වෙනස්ම මානයකට ඇදදැමූ පොතකි.කොලට් සේනානායක සහ නාරද කරුණාතිලක යන කතුවරයන් විසින් රචිත එම පොත කියවා ඒ ඇසුරුන් මිළදීගත් ඔවුන්ගේ දෙවනි පොත වූ "අල්ලා හු අක්බර්" කටුසු මනස වෙනස් කළ ප්‍රධාන යතුර බවට පත් විය.එම පොතෙන් කිසිදා නොදැන සිටි ,අසා නොමැති නව දැණුමට වහ වැටුන කටුස්සාට ඒ හා සමාන සින්හළ පොතක් අද වන තෙක් සොයා ගැනීමට නොහැකි වී ඇත.කටුස්සාට අප්‍රිය වී තිබූ ඉන්ග්‍රිසී දැණුම උනන්දුවෙන් යුතුව ලබා ගැනීමට කටුස්සා පෙළබුනේද මේ හා සමාන වූ ඉන්ග්‍රීසි පොත් කියවීමට අවැසි වු නිසාය.පසුව උසස්පෙළ අවදියේ ගාමිණි හෝල් අවට පැරණි පොත් විකුණන කඩ පීරීමට හුරු කරවූවේද "අල්ලාහු අක්බර්" මය.සහෝදර පාසලක විවාද කණ්ඩායමකින් ත්‍යාගයක්ලෙස ලද "පූජිත ජීවිත 01-02" නැමති පොත්ද එකල කියවූ පොත් අතර නොමැකෙන සිහිවටන වේ.

මෙම ලිපියේ සද්හන්වන්නේ මේ පිළිබඳ සිත් යොමු කරද්දී එක්වරම සිතට නැගුන පොත් වල නම් පමණකි.නම අමතක පොත් සහ කතුවරුන් සිය ගනනකි.දෙමාපිය ගුරුවරුන්ට පසුව මා අදද හිස නමන එකම පුද්ගල ඛාණ්ඩය වන්නේද එම කතුවර පිරිස් පමණක්ම වේ.ඒ අද මා ගතකරන ජීවිතය ජීවත් කිරීම සදහා ඔවුන්ගෙන් මා අඩුම තරමෙන අබ ඇටක තරම් දෙයක් ලබාගන ඇති බැවිනි.


                                     

                                                     කටුස්සා.....
                        

29 comments:

  1. කසුට්ටා කියැවීම මිනිසා සම්පූර්ණ කරයි (කසුට්ටා සම්පූර්ණ කරයි කියලා නම් නැහැ) කියලා කතාවක් තියෙනවානේ..... අැත්තට ම කියැවීම නම් හොද අැති ... ඒත් කරුමෙට මට (තුෂාර) කවදාවත් පොතක් කියවලා ඉවර කරන්න හිතෙන්නෑනේ.. ඉතින් මගේ ජීවිතේට ම කියවලා තියෙන්නේ ඒකම ඒක ළමා නවකතාවක් විතරයි.. ඒකත් දැන් මතක නැහැ.... පාඩම් පොත් නම් අමාරුවෙන් හරි කියව ගන්නවා.. ඒත් නවකතා... අරහං............ ඒකනේ මං තාම සම්පූර්ණ නැත්තේ............ හැක්

    ReplyDelete
    Replies
    1. බොන කොටනම් බෝතලේ ඉවර කරනකම් නින්ද යන්නේ නෑ.උඹලට පොතක් කියව ගන්න තමයි බැරි.
      එක අතකට ඒකත් හොඳයි උඹත් මොනව හරි ලියන හින්දා.එතකොට ඒකෙන් එන්නේ උඹේ හිතින්ම එන ඒවා මිස හිතේ රැදිලා තියන ආභාශයන් නෙමෙයිනේ.

      Delete
  2. ඩබ්. ඒ. සිල්වාගෙ පොත් පෙළ මම ඉතා අශාවෙන් කියෙව්වා. අභව්‍ය බව වෙනම දෙයක්. ඇත්තටම නිර්මාණයක් යථාර්තය සමග අනිවාර්යෙන් බද්ධ වියයුතු නෑ. ඒ කලෙ ඒ වෙනස ඔහු කලා. ඔය ලැයිස්තුවේ සමහරක් කියවා තිබෙනවා. ජයවේවා!

    ReplyDelete
    Replies
    1. සිල්වා මහත්මයාගේ පොත් මම කියවලා නෑ මදාවියෝ.මට ඒ භාශාව දිරවන්නේ නෑ.මාර්ටින් වික්‍රමසින්හ මහත්මයාගේ පොත් වලට වෙන්නත් ඇත්තේ ඒකම තමා.හැබැයි එතුමාගේ ජීවිත කතාවනම් කියවල තියනව.ඒකනම් ඇත්තටම වික්‍රමාන්විතයක්.
      කොහොමකලත් නවකතාවක් යතාර්ථවාදී විය යුතුම නෑ.ඒක එහෙම වුනානම් අද ග්‍රාබියෙල් ගාර්සියා කෙනෙක් මේ ලෝකේ ඉන්න විදිහකුත් නෑනේ.ඒත් ලන්කාවේ ඒ වෙනසට එච්චර තැනක් නෑ වගේ.ලන්කාවෙ තැනක් තියෙන්නේ වට්ටෝරු කතා වලට විතරයි.ඒකනේ සමහරු එකමනවකතාව කොටස් 7-8 අරගන යන්නේ.

      Delete
    2. ඩබ්.ඒ .සිල්වා ඉංග්‍රිසී පොත් සිංහලට අනුවාදනය කරපු එකෙන් මට නම් සිල්වා එපා වුනා.... අයේෂා ආපසු එයි කියන පොතට කේ.ජී.කරුණාකිලක ලිව්ව පෙරවදනේ ඒ ගැන මාරට කියලා තියෙනවා...

      Delete
  3. මේ ලිස්ට් එකෙන් ස්පිට්ල්ගෙ පොත් කිහිපය, ඔස්ත්‍රොව්ස්කිගෙ වානේ පන්නරය ලැබූ හැටි, අපරාධය සහ දඬුවම මෑතකදි ගොඩක්ම ආසාවෙන් කියවපු පොත් අතර තියෙනවා. මඩොල් දූවනං කී පාරක් කියවල තියනවද කියල හිතාගන්නවත් බෑ. මාර්ටින් වික්‍රමසිංහ ගෙ නවකතා කෙටිකතා ඔක්කොම වගේ කියවල තියේ.. මේ දවස්වල එතුමාගෙ ඇත්ත යුත්ත කියවනවා..
    හත්පෙති මල 5 වසර සිංහල පොතෙත් තිබ්බ මතකයි..

    ReplyDelete
    Replies
    1. මාර්ටින් වික්‍රමසින්හ භාශා භාවිතය මට අවුල්.එහෙම නෙමෙයිනම් ඒක තේරුම්ගන්න තරම් මගේ මොළේ වැඩිලා නෑ.අපේ කාලේ 5 වසර සින්හළ පොතේ හත්පෙති මල තිබුනේ නෑ.දැන් ඇති.මතක ගොඩගන්න ආවට ස්තූතියි මචෝ...

      Delete
  4. මේ ලිස්ට් එකේ පොත් ඔක්කොම වගේ එකක දෙකක් ඇර කියවල තිබෙනවා. මතක් කෙරුවට ස්තුතියි. කියවන එක තරම් ප්‍රීතියක් මට තවත් නම් නැහැ. මගේ දූලා දෙන්නත් එහෙමයි. බිරිඳත් එහෙමයි.

    ReplyDelete
    Replies
    1. තාක්ශනේ කොච්චර දියුණු උනත්,විනෝදාස්වාදය දෙන මාර්ග කොච්චර අළුත් උනත් පොතක් අරගන ඇඳේ දිගාවෙන තරම් ආශ්වාදයක් තවත් තියනවද?දුවල දෙන්නට ඔය පුරුද්ද පිහිටපු එකනම් වාසනාවක්.ඔහේ තත්වය කොහොමද කියලා දන්නේ නැති උනත් මෙහෙ ළමයින්ගේ කියවීමේ ඇබ්බැහියේ තත්වයනම් භයානකයි.ඒක නිසාමයි අක්කගේ පොඩි එකීට තෑගි විදිහට පුළුවන් තරම් පොත්ම දෙන්නේ.
      කොහොම උනත් ඔබටත් පවුලේ අයටත් සුභ පතනවා....ජය වේවා....

      Delete
    2. ස්තුතියි. //තක් අරගන ඇඳේ දිගාවෙන තරම් ආශ්වාදයක් තවත් තියනවද// හරියට හරි.

      Delete
  5. සාහිත්‍ය මාසෙට වැටෙන්න ඕන ලිපියක් .. පොඩි කාලේ කියපවපු පොත් ඔක්කොම කසුට්ටා කියපු පොත්මයි . හැබැයි පසු කාලීනව මම වානේ පන්නරය ලැබූ හැටි කියන පොතෙන් පටන් ගෙන රුසියන් පිස්සෙක් වුනා , තව ටික කාලයක් ගියානම් රුසියාවේ නවතින්න යනවා

    ReplyDelete
    Replies
    1. ඒ පොත් වල තිබුන සුන්දර රුසියාව ඇත්තටම තිබුනනම් ලෝකෙන් භාගයක් අද රුසියාවේ.ඒත් ස්ටාලින්ගේ දරුවනුත් බටහිර රටවල් වල දේශපාලන රැකවල් ඉල්ලගන ගියා.ඒසුන්දරත්වය තිබුනේ පොත්වල විතරමද මන්දා...

      Delete
  6. මගේ රුචිකත්වය ඕල්මොස්ට් සිමිලර් ටු උඹේ රුචිකත්වය මචන්. ඔය ලිස්ට් එකෙං සෑහෙන්න කොටසක් ඒ ඉන්ටරස්ට් එකෙන්ම කියවල තියෙනවා.. පේ අයියා මං ආසම කරපු පොතක්.. හැබැයි මට උඹට වගේ ඔහොම නම් මතක් කරන්න අමාරුයි..

    මතක තියෙන පොත් හතරක් හා ඒ හා බැඳුණු සිදුවීම් ටිකක් කියන්නම්

    පළවෙනියෙන්ම කියවපු පොත කුමාරෝදය.. අකුරු කියවපු දවසේ ලැබිච්ච තෑග්ගක්.. මං කුමාරෝදය කියවලා තියෙන්නේ අකුරු ඉගෙන ගන්න කලින් මතකෙන්.. හරියට පිටුව ඉවර වෙනකොට අනිත් පිට පෙරළනවලු..

    87 අවුරුද්දේ ශිෂ්‍යත්වය ලියන්න ඉද්දි පැපොල් ගහකින් ලිස්සල කටු කම්භි ගොඩක් උඩට වැටිල යටි පතුල වණ උනා.. ඇඳ උඩ පුටුවක් තියල පුටුව උඩින් කකුල තියාගෙන මං කියෙව්වේ 'අම්මා' පොත.. පාඩම් කිරීමක් කරේම නෑ.

    ආර්.එල්.ස්පිට්ල් මාවත් අනාත කරා.. සුදු ගෝණා ගේ වචනයක් ගානේ අදටත් මට මතකයි.. පොතක් අල්ලන්නේ නැතුව 'සුදු..." කියවනකොට දවසක් අම්මා බැන්නේ 'ඔය සුදු වේසිගෙපුතාම කියවනව මිසක් තෝ පොතක් පතක් බලන්නේ නැද්ද විභාගෙ අත ලඟ තියාගෙන' කියල..

    උඹට ලියන්න මිස් උනාද කියවන්න මිස් උනාද දන්නේ නෑ.. පුළුවන්නම් හොයාගෙන කියවපං මහාචාර්‍ය මිණිවන් පී. තිලකරත්නගේ 'ගමක වත'.. පරණ සිංහල ගමක් ආරම්භයේ ඉඳන් පැවතගෙන යන විදිය හා නොයෙකුත් චාරිත්‍ර වාරිත්‍ර ගැන සුපිරි අවබෝධයක් ගන්න පුළුවන් විදියට රස භාශාවකින් ලියපු (මං හිතන්නේ) පර්යේශණාත්මක නවකතාවක්..

    කියවීම මිනිසා කටුස්සෙකු වුව කරයි.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. ඔය සිස්සත්ත කාලේ,6 වසරේදී විතර මමනම් දැකලා තියෙන්නේ ජම්බු ගහෙන් වැටෙන ගැණු ළමයින්ව.පැපොල් ගහෙන් වැටුන එකෙක්ව දැක්කමයි.(ඕවා ඔහොම කියල බැ බන්.ටිකක් පොශ් ගතියක් ඇඩ් කරගන්නත් එක්ක කියපන් වත්තේ තියන ඇපල් ගහෙන් වැටුනා කියලා ).
      "ගමක වත " මිස් වුන පොතක්.ඒ වගේ කොච්චර පොත් මග ඇරිලා ඇද්ද?දන්නවද ,මම පොත් වලට කොච්චර පෙරේත් උනාද කියනවනම් ඒ කලේ නුගේගොඩ තිබුන "විදර්ශන පොත් ගෙදර" ට (ඒ කාලේ මේ ආයතනය මට පෙනුනේ ඇලිස්ගේ විශ්මලන්තය වගේ ) මමලියුමකුත් ලිවුවා ස්ව්ච්ඡාවෙන් වැඩ කරන්න කැමතියි කියල.ඒත් ඒක තැපල් කරන්න උනේ නෑ.පොත් ගෙදර නුගේගොඩින් අයින් කලා.
      මේ ලිපිය ලියද්දී හිතන් හිටියත් මග ඇරුන දෙන්නෙක් ඉන්නවා.පියසේන කහඳගමගේ සහ මායා රන්ජන්.පියසේන මහත්මයාගේ පොත් කීපයක් කියවලා තිබුනාට මායා රන්ජන් මහතාගේ එක පොතයි කියවලා තියෙන්නේ.ඒකත් පිටු අඩුවෙන්.ඔහුගේ පොත් සාප්පු පීරල හෙවුවත් හම්බවුනේනම් නෑ.

      Delete
  7. හොද පොත් ඔත්තුවක්..මමත් මේ සමහර පොත් කියවලා තියනවා..පොඩි මෙන්ඩියාටත් දෙන්න ඔිනේ.

    ReplyDelete
    Replies
    1. තාත්තා කෙනක් විදිහට ළමයෙක්ට දෙන්න පුළුවන් හොඳම තෑග්ග.
      ජය වේවා.....

      Delete
  8. Books kill people and rebuild totally different humans.

    ReplyDelete
  9. කටුස්සා කියවපු පොත් වලින් වැඩි හරියක්ම මාත් කියවලා තියෙනවා.. කියවන්න කියවන්න අපේ ලියන දේවල් උනත් තව කොච්චර දුරකට සාර්ථක වෙනවද..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත වර්ණ,නිකමට හිතල බලන්න ඔය පොත් වලින් අපි කොච්චර නම් අළුත් වචන ඉගනගන තියනවද?ඒ හේතුවම මදෑ පොත් කියවන්න හේතුවක් හොයාගන්න

      Delete
  10. මට මගේ පුංචි කාලේ ආයෙත් මතක් උනා... මමත් ඔතන කියල තියන ගොඩක් පොත් කියවල තියනවා. ස්තුතියි කටුස්සෝ...

    ReplyDelete
    Replies
    1. කොච්චර කරදඬු ඉස්සුනත් මතක්කරගන්න තියෙන්නේ ඔය කාලේ විතරයි බන්.තාමත් සෙට්වෙනකොට හරි කට්ටිය හම්බුනහම කියවන්නෙත් ඔච්චරයිනේ

      Delete
  11. නියමයි....80%ක් විතර මම කියවපුවා....
    මගේ රුසියන් ප්‍රමාණේ නම් ඔයිට වඩා වැඩියි....
    කියවපන් ශෝලහොව්ගේ පොත්.....ඒවා සුපිරි...
    ආයේ කිවපන් ජීවතුන් අතර(Alive)...ඒකට නම් ශොක් වෙනවා...

    ReplyDelete
    Replies
    1. O/L කාලේ රුසියන් පොත් එච්චර කියෙවුවේ නෑ.ඉස්කෝලේ කාලේ අපි හෙන ජාතිකවාදී උග්‍ර සින්හළයෝ...D..පස්සේ තමා රුසියන් පොත් කියවන්න ඇබ්බැහිවුනේ."ජීවතුන් අතර"නම් කියවලානෑ.

      Delete
  12. බොරු කියන්නෙ මොකටද මම නම් පොත් කියවල නෑ වැඩිය. ඒවගේ ප්‍රතිපල දැන් මොකක් හරි ලියන්න ගියාම විඳිනව. සමහර වචන වල හරි තේරුමක් දන්නෙ නැහැ. හොඳ හරවත් වචන මතක් වෙන්නෙ නෑ. එක නිසා කිසි දෙයක් ලස්සනට ලියා ගන්න බෑ. ඉතිං හෙන අප්සට්. ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. පොත් කියවන්න වයසක් නෑ බන්.පටන් ගනින් දැන්.වැඩත් එක්ක වෙලාව හොයාගන්න අමාරු වෙයි.ඒත් ඕකට වහ වැටුනහම කොහෙන් හරි වෙලාව හම්බෙනවා.මටත් දැන් තියන ලොකුම අවුල තමා වෙලාව.පොතක් අහුවුනොත් බ්ලොග් නෑ.දෙකටම තියෙන්නේ එකම වෙලාව තමා.

      Delete
  13. මම පොඩිකාලෙ කියවපු කැමතිම පොතක් තියෙනවා හැබැයි ඒකෙ නම දන්නෙ නෑ
    මොකද පොතේ පිට කවරය සහ මුල සහ අග පිටු ගැලවිලා නිසා.
    කතාව පේරාදෙනිය විශ්ව විද්‍යාලයට ගොස් ඉන්පසු කොළඹ තම තරුණ අවිවාහක නැන්දා සමඟ ඉන්න වසන්ති කියා තරුණියක් සහ තුෂාර කියන අසල් වැසි තරුණයෙක් අතර කතාවක් වැඩේ කියන්නේ කතාවේ හොඳම රොමැන්ටික් හරිය නෑ.
    මම හිතන්නේ 80 ගනන් වල නවකථාවක් දන්න කෙනෙක් ඉන්නවනම් මේ ගැන මොනවහරි ලියන්න.

    ReplyDelete
  14. ජයකොඩි සෙනවිරත්න ශූරීන්ගේ "රණ තිසරු" කතාව මුලින්ම පළවුණේ ශ්‍රී සඟරාවේ මහදිග කතාව හැටියට මාස 3 ක කොටස් තුනක් විදියට.

    ReplyDelete
  15. අහම්බයෙන් ඔබේ බ්ලොගයට මා වැටුනා. විස්තර කියෙව්වා. දිරිය දරුවෝ නම් සුමිහිරි නවකතාව මට ලැබුනේ මට මතක හැටියට 8 වසර පාසල් වාර විභාගයේ දෙවෙනි ස්ථානය ලැබීම නිසා ත්‍යාග ප්‍රදාන උත්සවයකදීය. අදටත් ඒ පොත මගේ ළඟ මගේ පොත් රාක්කයේ ඇතැයි සිතමි. තිබුණොත් එය මම ඔබට එය දෙමි. මගේ බ්ලොගයටත් පිවිසීමට ආරාධනා
    ayoma-jayasinghe.blogspot.com

    ReplyDelete