Saturday, October 7, 2023

හෙමින් ඇවිද යමු මලින් සැරසි බිම ප්‍රේම ගායනා නිමා නොවේ...

 



නිමාකලයුතු නොවන අයුරින්

නිමාකල පෙම් කතාවක තතු

හොරෙන් ලිවුවා වලාවක් මත

දකින්නට නුඹ බලද්දී තරු


නුඹම පමනක් දැන සිටිය මට

නුඹම පමනක් අහිමිවුන තැන

තවම පිපෙනා මිනී මල් ගෙන

සැරසුවා හද දම්පාට පෙති රැගෙන


දිනකි නුඹ මා හමුවියම යුතු

තැනකි දහසක් කතා සිරවුන

එවනි දවසක වදන් ගොලුකර

බලාඉමු අප නෙතින් අපිවම


-කටුස්සා-

Tuesday, June 14, 2022

Enough is enough....

 


මම ඉස්සල්ලම ඉස්කෝලේ ගියේ බත්තරමුල්ල කොස්වත්ත M.D.H. ජයවර්ධන විද්‍යාලයට.අම්මත් එක්ක බස් එකේ ඇවිත් කොස්වත්ත හංදියෙන් බැහැලා කලපලුවාව පැත්තට තියන ලොකු කන්ද නැගගන කොස්වත්ත පොලීසියත් පහුකරගන පයින්ම තමයි ඉස්කෝලෙට ආවේ ගියේ.කලාතුරකින් තාත්තා එක්ක වාහනේ.ඉස්කෝලේ ඇරිලා අම්මා එක්ක ගෙදර එද්දි පණුවා නලියන්න ගන්නේ "මංගල" ෆිල්ම් හෝල් එක ගාවදි.ඒක එහා පැත්තේ තිබ්බේ පත්තර කඩයක්.පුංචි, හපනා, බිංදු, සිඟිති සිත්තර වගේ පත්තරවල ඉඳලා වයසින් වැඩෙද්දි විජය, මිහිර, වගේ පත්තර වෙනකන් ගත්තේ ඒ පත්තරකඩෙන්. ඒවට අම්මට මහාලොකුවට පෙරෙත්තකරන්න ඕනකමක් වුණෙත් නෑ. 


අම්මට වදදීලා කරදරකරලා , එක්කගන නොගියොත් කට කජුලෙල්ල කරගන හිටියාම එක්කගන යන්න තියන ඉඩකඩ වැඩියි කියලා මම දැනගන හිටිය කඩේ තිබ්බේ ඒ පත්තරකඩේට එහාපැත්තේ. ඒ කඩේ නම අද අමතකවුනත් ඒක ස්නැක් බාර් එකක්. අම්මට කරදරකරලා ඒ කඩේට යන්න ප්‍රධානම හේතුවවුනේ ඒ කඩේ තිබ්බ පලතුරු බීම.ඉස්සරහා එල්ලලා තියන මිදි, කෙසල් වගේ පලතුරු පහුකරගන කැශියර් එකත් පහුකරගන ගියාම ඉඳගන ඉන්න පුටු පහ හයක් ඒ කඩේ ඇතුලේ තිබ්බා.දිවුල්, පලතුරු, ෆලූඩා, දොඩම් වගේ බීම ජාති ගොඩක් ඒකේ තිබ්බත් මම හැමදාම ගත්තේ බීම එක උඩින් අයිස්ක්‍රීම් දාලා දෙන බීම ජාතියක්.ඒ බීම එකට වඩා අයිස්ක්‍රීම් එකට පෙරේත නිසා. "ඔය අයිස්ක්‍රීම් බීම එකත් එක්ක කලවම්කරගන බොන්න..." කියලා අම්මා කිවුවත්, එයාට පේන්න උඩ පාවෙන අයිස්ක්‍රීම් ටික බීම එකේ ඔබලා උඩට ආවහම ටික ටික කන එක තමයි ජොලිම වැඩේවුනේ.දවසක් දොඩම් බීම එකක් අරගන ඒකට අයිස්ක්‍රීම් නොදාපු නිසා ඉස්කෝලෙන් අස්වෙනකම්ම ඔතනින් ආපහු දොඩම් බීම බිවුවෙත් නෑ.


ඒ කඩේ තිබ්බ අනිත් අමතකනොවන දේවල් 2න් එකක්වුනේ කඩේ ඉස්සරහම තියලා තිබ්බ ජැක්පොට් මැශින් දෙක. ලංකාවෙන් ජැක්පොට් තහනම්කරනකම්ම ඒ මැශින් දෙක කඩේ ඉස්සරහා තිබ්බා.අනිත් අමතකනොවෙනම දේ තමයි කලවම් බිස්කට්.ඔය උත්සවකාලෙට ගෙවල්වලට ගෙනියන බිස්කට් ගිෆ්ට් පැකට් ඇරුනාම ඒ කාලේ කඩවල්වල දැන්වගේ 100g බිස්කට් පැකට් තිබ්බේ නෑ.කඩේ ලොකු බෝතල්වල එක එක ජාතියේ බිස්කට් වර්ග අනූව දාලා තියනවා. මට මතකවිදිහට අම්මා ගන්නේ බිස්කට් කිලෝ එකාමාරක්ද කොහේද.කොහොම ගත්තත් ඒ බිස්කට් ගොඩේ වැඩිපුරම තිබ්බේ මාරි බිස්කටුයි තව මොකද්ද පොඩි පැතලි බිස්කට් එකකුයි.ඊළඟට වේෆර්ස්.ඒ දවස්වල ආසමකරපු ලිට්ල් ලයන් සමනල කුකී එකයි චොකලට් බිස්කට් එකයි අනික්වට සාපේක්ශව ගොඩක් අඩුයි.බර අනූව දාද්දි එහෙම වුනාට අපි ඒ කාලේ හිතුවෙම කඩේ මනුස්සයා රස බිස්කට් අඩුවෙන් දාලා රස අඩු ඒවා වැඩියෙන් දානවා කියලමයි.ඔය අරගන යන බිස්කට් ගෙදර දාලා තිබ්බේ කොලපාට ප්ලාස්ටික් භාජනේක.අම්මා හදලා දෙන කිරි එකයි අර බාජනෙන් ගන්න බිස්කට් ටිකකුයි අරගන බිස්කට් පොඟවගන කන ගමන් ඒ කාලේ හවස 5ට පටන්ගන්න කාටූන් එකක් බලනවා කියන්නෙත් වෙනම රසක් තියන ජොලි වැඩක්. අපි වයසින් වැඩෙද්දි, වෙළඳපොළට 100g පැකට් එද්දි ඔය ලූස් බිස්කට් විකිනිල්ල ඉබේම අහෝසිවුනා. ඇත්තටම කිවුවොත් දැනට අවුරුදු 20-25 ඉඳන් කඩවල්වල ඔය ලූස් බිස්කට් විකිනිල්ල දැක්කෙම නෑ.


මේ ඔක්කොම අද මතක්වුනේ හදිස්සියේ අද ගිය සිල්ලර කඩේක පොඩි කාමරවලට වෙන්කරපු වීදුරු ශෝකෙස් එකක ආපහු බිස්කට් වර්ග 4ක් දාලා තියනවා දැක්කාම.ලෙමන් පෆ්, චොකල්ට්, මාරි සහ ඒ කාලේ කවමදාවත් ලූස් විකුණනවා නොදැක්ක ක්‍රීම් ක්‍රැකරුත් ඒ පෙට්ටියේ තිබ්බා.හැබැයි ඒ අර ඒ කාලේ අම්මව බලෙන් ඇදගන ගිහින් ආසාවෙන් ගන්න බිස්කට් එකක් විදිහටනම් නෙමෙයි.100g ක බිස්කට් පැකට් එකක් ගන්න තරම් වත්කමක් නැති, රටේ භාණ්ඩ මිලත් එක්ක බිස්කට් එකකට ඒ තරම් වියදම්කරන්න හැකියාවක් නැතී මිනිස්සුන්ගේ සුසුමට විසඳුමක් විදිහට තමයි ඒ බිස්කට් ඒ විදිහට විකුණන්නේ.


චොකලට් බිස්කට් 1 -රු.16යි.

මාරි බිස්කට් 1 - රු.5යි.

ක්‍රීම් ක්‍රැකර් බිස්කට් 1 - රු.10යි.

ලෙමන් පෆ් බිස්කට් 1- රු.15යි.


වෙනදා වැඩ ඇරිලා ගෙදර යන ගමන් රු.50ට චොකලට් බිස්කට් පැකට් එකක් අරගන ගෙදර ඉන්න ළමයට දුන්න තාත්තා කෙනෙක් අද රු.130කට ඒ බිස්කට් පැකට් එක ගන්නේ නෑ.එයා ඒ වැඩිවුන රු80 දාන්නෙත් ගෙදරට ගෙනියන හාල් කිලෝ එකට.සමහරවිට ඒ හාල් කිලෝ එක අස්සෙන් පොඩි එකාගේ මූන මැවිලා අසරණවෙන තාත්තා කෙනෙක්ට තියන එකම විසඳුමත් රු.50ක් දීලා අරගන යන චොකලට් බිස්කට් 3 වෙන්න ඇති.ඒක දකිද්දි මට මතක්වුනෙත් හවස තේ බොද්දි ක්‍රීම් කැකර් 2-3ක් කන මගේ අම්මගේ මූන. අම්මට හවසට තේ බොද්දි කන්න වෙනදට ගෙදර ගෙනියන ක්‍රීම් ක්‍රැකර් පැකට් එක වෙනුවට රු.50ක් දීලා ක්‍රීම්ක්‍රැකර් 5ක් අරගන යන මාව.


කා-ල-ක-ණ්-නි ඒස පවුලකුයි ඒ පවුල  එක්ක එකතුවෙලා තාමත් ඒ පවුලේ දෙපරැන්දේ දිවෙන් ලොවන සට්ටැඹි රැලක් නිසායි  අපි මේ තරම් විඳවන්න ඕනෙද? මේක කියවන ඔබටයි මටයි තාමත් බිස්කට් 3ක් අරගන යන්න තරම් අහේනියක් නැතුව ඇති.ඒත් හෙට ඒ දේ ඔබට, මට නොවෙයි කියලා තියන සහතිකේ මොකද්ද? ඒ වෙද්දි ඇතිවෙන අහේනිය බිස්කට් 3න් නවතියි කියලා හිතන්න තරම් මේ රටට තියන වැඩපිළිවෙළ මොකද්ද? එහෙම කිසිම දෙයක් නෑ නේද? එහෙනම් අපිට කරන්න ඉතුරුවෙලා තියෙන්නේ එකම එක දෙයක් විතරයි.අපි පොඩිකාලේ ආසාවෙන් රසවින්ඳ ඒ අතීතෙට අපිව අරගන යන ස ට පිං දෙන එක විතරයි.


වාහනේ ෆුල් ටෑන්ක් කරගත්තාම, කොහොමහරි කරලා ගෑස් ටැංකියක් ගත්තාම අද හිතට ඇතිවෙන සහනය ; පෙට්‍රල් කොච්චර තිබ්බත් ගහන්න අතේ සල්ලි නැතිවෙද්දි, ගෑස් ටැංකියට වියදම්කරනවට වඩා පොඩි එකාගේ ටියුශන් ෆීස් ගෙවන එක වැදගත්වෙද්දි හිතට දැනෙන්නේ නෑ. ඒ ඔක්කොටම වඩා මේ ලෝකේ කිසිම දෙමවුපියෙක් තමන්ගේ ළමයගේ බඩගින්න ඉස්සරහා විනීතවෙයි කියලා බලාපොරොත්තුවෙන්නත් අපිට බෑ. සර්පයෙක් දශ්ටකරපු තමන්ගේ ළමයට ඕනකරන ඇන්ටි වෙනම් එක හොයාගන්න ෆාමසියක් ගානේ ඇවිදලා ඒ බෙහෙත නැතිනිසාම තමන්ගේම ලෙයින් ජාතකවුන දරුවගේ මිනියට කරගහන්න වුන තාත්තෙක්ගේ හිතින් ආපහු කවමදාවත් "සියලු සත්වයෝ නිදුක්වෙත්වා" කියන වචන තුන කියවෙයි කියලා හිතන්න අයිතියකුත් අපිට නෑ.


එහෙම තත්වයක් තියෙද්දි අපි මොකටද තවත් මේ ඉවසන්නේ.... ලතවෙන්නේ....??? අපි වෙනුවෙන් තවත් කවුරුහරි පාරට බහිනකම්ද.... අපි වෙනුවෙන් තව කවුරුහරි වෙඩි කනකන්ද....මේ එන්නේ මගේ, අපේ අන්තිම අවස්ථාව වෙන්න පුලුවන්.එදා සිද්ධාර්ථ කිවුවේ "මෙය මගේ අවසන් උපතයි. මෙයින් මතු උපතක් නැත"  කියලයි.ඒ වගේම තමයි, මේ එන්නේ ඔබට, මට ලැබෙන අන්තිම අවස්‍ථාව. අපි මේ අවස්ථාව අතෑරියොත්, ලිස්සලා යන්න ඉඩ ඇරියොත්, අසාර්ථකවුනොත්; බඩගින්නේ, ලෙඩවෙලා ගේ අස්සෙම මැරෙන අපේ මිනිය වළලන්නවත් මනුස්සයෙක් ඉදිරිපත්වෙන එකක් නෑ. ඉදිරිපත්වෙන්න තරම් මනුස්සයෙක් අපි අවට ඉතුරුවෙන එකකුත් නෑ.ඒ නිසා ලෑස්තිවෙලා ඉන්න මේ විසරගෙඩිය පුපුරවන්න.ඒක පිපුරුවට පස්සේ තුවාලයක් ඇතිවෙනවා.හැබැයි ඒ තුවාලෙට බෙහෙත්කරලා හොඳකරන්න පුලුවන්.ඒත් විසරගෙඩිය  තියෙද්දි කොච්චර බෙහෙත්කලත් ඇතිවෙන සහනයක් නෑ.ඒ නිසා ඉස්සල්ලම ඒ විසරගෙඩිය පුපුරවලා දාන්න ලෑස්තිවෙලා ඉන්න.තමන් වෙනුවෙන් ඒ දේ කරන්න පිට කවුරුවත් ඉදිරිපත්වෙන්නේ නෑ. අපි වෙනුවෙන් ඒ දේ කරන්න වෙන්නෙත් අපිටම තමයි.එදාටත් ගෙදරටවෙලා තමන්ගේ දරුපවුල එක්ක සිල් ගන්න එපා.එදාටවත් එලියට ඇවිත් "සුදුපාට ඇන්ඳාට තනි කකුලේ කොක් නයිදේ සිල් ගන්නේ නෑ" කියන දේ පෙන්නන්න, ඒ දේ පෙන්නන්න ඕන මිනිස්සුන්ට.

කටුස්සා....

Saturday, October 9, 2021

නන්නං

 


ගේ ඉස්සරහා හරි කලබලයක්. පොඩි පොඩි කුරුල්ලන්, ලේනුන් එන කුරුලු ලෑල්ලට නීල කොබෙයියෙක් ඇවිත්. ඒකා හත් අවුරුද්දක් සාගින්දරේ හිටියා වගේ කුරුලු ලෑල්ලේ තිබ්බ පාන් ටික ගිලිනවා. පීඩිත පන්තියේ අනිත් එවුන් ඒකට දැඩි උද්ඝෝශනයක. බලවන්තයට උන්ගේ උද්ඝෝශනය ගානක්වත් ගියාද....? නෑ සහෝදරවරුනි... ඒකා පාන් ටික ඔක්කොම ගිලලා බිමට බැහැලා නන්නං ගහේ බිම වැටිලා තිබ්බ ගෙඩි වලටත් දෙතුන් පාරක් හොටෙන් ඇන්නා. රස හිතට අල්ලන්නේ නැතුව ඇති, ආපහු ඉගිල්ලිලා ගියා.


නන්නං හෝ නමිනං ලෙස ප්‍රාදේශීය වශයෙන් ව්‍යවහාරවෙන ගහේ කඳ පුරාම ගෙඩි පිරිලා. ගොඩක් ගෙඩි බිම වැටිලා. ගසේ මැද හරියේ තියන ගෙඩි පොඩියි.ඒත් පොළවට ආසන්න කඳේ මුල හරියේ ගෙඩි ලොකුයි. කෝටු කෑල්ලකින් මුල හරිය හෑරුවනම් අල්ලක් තරම්වෙන ගෙඩිත් හොයාගන්න පුලුවන්. ආ... ඒක හොයාගත්තේ චුට්ටක්කයි මමයි පොඩි කාලෙදි.චුට්ටක්කා.... චූටි මාමගේ දුව. අපේ නෑදෑ සනුහරේ ළමුන් අතරින් මගේ වයසට කිට්ටුමකෙනා. මටවඩා අවුරුද්දක් වැඩිමල්. අම්මගේ බාලම මල්ලිට සහ ලකීට දාව ඉපදුන ,අදටත් මගේ හොදම යෙහෙළිය. ලකී.... ලක්ශ්මි නමින් ඉපදුනාට චූටිමාමා කතාකලේ ලකී කියලා.ඒ ආභාශයෙන් පොඩිකාලේ ඉඳලම කකී,පකී.... ආදි නම්වලින් කතාකරලා තියනවා ඇරෙන්න කවදාවත්ම ඇයට අනිත් අය කියනවා වගේ ලකී නැන්දා කියලා කතාකරලා නෑ. අදටත් ඇය මට ලකී. 1987දී චූටිමාමා මැදපෙරදිග යනව, ලකීව සහ එයාගේ එකම දුවව අපේ නිවසේ නවත්තලා. එතකොට මට අවුරුදු තුනයි.චුට්ටක්කට හතරයි.තාත්තගේ අසනීපය, ඒ නිසාම එයාගේ ව්‍යාපාර කටයුතු බලාකියාගැනීමට අම්මට සිදුවීම වගේ දේවල්නිසා ඒ කාලේ අපේ ගෙදර තත්වය ටිකක් ව්‍යාකූලවෙන්න ඇති.ඒ පරිසරය ඇතුලේ මම වැඩිපුරම කාලය ගතකලේ චුට්ටක්කා සහ ලකී එක්ක. වත්තේ ලිඳට සමීපව තිබ්බේ නන්නං ගහ සහ ජම්බු ගසක්. චුට්ටක්කයි මමයි නන්නං කඩන්නේ අපිට නෙමෙයි. පාරෙන් එහාපැත්තේ සිල්ලරකඩයක් දාගන හිටියේ ලොකුමාමා.අම්මගේ අයියා. එයාගේ බිරිඳවුන ටෙක්ලා නැන්දා අසාමාන්‍යලෙස ඇඹුල් ආහාරවලට කැමති කෙනෙක්.අපේ නන්නං බිස්නස් එකේ අවසාන පාරිභෝගිකයා ටෙක්ලනැන්දා. නන්නං හාරන එකත් එහෙම ලේසි වැඩක් නෙමෙයි. ගහමුල සෑහෙන කඩි. ඒ කාලෙදි මම පොඩ්ඩ ඇත්තන් බෙරිකරගන්න එකෙක්. නන්නං හාරද්දි කඩියෙක් එහෙම කෑවොත් චුට්ටක්කා මාව ටිකකට අස්වස්සලා ගෙදට්ට හොරෙන් කුස්සිය ඇතුලෙන් රතුලූණු ගෙඩියක් උස්සගන එනවා. ඒක ගේද්දි මගේ ඉවසීම ඉවරවෙලා බෙරිහන් දෙන්න ඔන්න මෙන්න. චුට්ටක්කා ඉක්මනට මගේ ලඟට ඇවිත් කඩියා කාපු තැන ලූනු ගෙඩිය අතුල්ලනවා. වේදනාව සමනයවුනා හෝ නැතා, බෙහෙතක් ගෑවනේ කියන මානසිකත්වයෙන් සැනසෙන මම, ආපහු එයා එක්ක නන්නං හාරනවා. එහෙම හාරගත්තු නන්නං ගෙඩි සාක්කුවේ හරි චුට්ටක්කගේ ගවුම බොක්ක ගහලා හදාගන්න ඉඩකඩේ හරි දාගන අපි දුවන්නේ ලොකුමාමලගේ කඩේට. ඒ දවස්වල පාරේ වාහන අඩුනිසා මාවත් අතින් අල්ලගන පාර පනින්න චුට්ටක්කට අවසර තිබ්බා. ඒ නැතත් අපි පාර පයින්න ඉන්නවා කියලා දැක්කොත් ලොකුමාමා ඒ පැත්තෙන් පාර අයිනට ඇවිත් පාර දෙපැත්ත බලලා "ආ...දැන් පයින්න..." කියලා අණ දෙනවා.අපිට තියෙන්නේ ඒ අණට කීකරුවෙන්න විතරයි. ඒ ගිහින් නන්නං ගෙඩි ටික ලොකුමාමට විකුණනවා. විකුණනවා කිවුවට ඒ කීයකටද මන්දා.... අපි කොච්චර අඩුවෙන් හෝ වැඩියෙන් ගෙනිච්චත් අපේ ගාස්තුව බීමපැකට් හතරක්. මම හිතන්නේ ඒ කාලේ බීමපැකට් එකක් ශත50යි. ඒ අද ඔය රු.10ට තියන බීමපැකට් සයිස් ඒවමයි. අනික ඒ කාලේ අද වගේ නෙමෙයි. ළමයින්ට හිතුන හිතුන විදිහට ෆ්‍රිජ් එකේ දාලා තිබ්බ සීතල කෑමජාති කන්න බෑ. එහෙම වැඩිපුර කෑවමහම උන්ට හෙම්බිරිස්සාව, කැස්ස, උණ, ගලපටලේ වගේ මාරාන්තික ලෙඩ හැදෙනවා. නැත්තං එහෙම හැදෙයි කියලා අම්මලා බයවෙනවා. අම්මලගේ බයවීම කොච්චරද කියනවනම් ඒ නිසා එක්කෝ ළමයා ගුටිකනවා.නැත්තං බැණුම් අහනවා. ඒ නිසා අපි දෙන්නා කඩේ තියන හාල්,සීනි ගෝනි අතර ඇවිදිනගමන් පළවෙනි බීමපැකට් දෙක බොනවා. ඒ ඇවිදින අතරේ "ඔහේ ගියාට කමක් නෑ.... හාල් ජාති එහෙම කලවම්කරනවා නෙමෙයි....." කියලා ලොකුමාමා හීනි තර්ජන එහෙමත් දානවා.ඒ බීමපැකට් දෙක බීලා අනිත් බීමපැකට් දෙකත් අරගන අපි ආපහු ගෙදර එනවා. ගොඩක්වෙලාවට ලොකුමාමා අපිව පාර පන්නනවා.


නන්නං ගහත් එක්ක පැටලිලා වැඩපොලේ වහලේ වහගන හිටිය පැශන් ෆෘට් වැල නන්නං ගහෙන් ඈත්කරන්නම බෑ.පැශන් ෆෘට් වැල කියද්දිම ඉස්සල්ලම මතක්වෙන්නේ මිථිල අයියව.අපේ පවුල්වල පොඩි එවුනුයි අහල පහල සෙට් එකෙයි ගැන්සියට ඉඳලා හිටලා නිවාඩු කාලවලදි කොට්ටාවේ කරුණා නැන්දලගේ ගෙදර සෙට් එකත් එකතුවෙනවා.නිල්මිණි අක්කා, විශාඛා අක්කා, සුජී අක්කා, මිථිල අයියා වගේ අය. ඒ හැමෝම අපේ ගැන්සියේ කට්ටියට වඩා වැඩිමල්.ඒත් අපේ අයියලා අක්කලා එක්ක ශේප් එකේ සෙල්ලම් කරනවා. ඔය අතරින් මිථිල අයියා තමයි පිරිමි ළමයින්ගෙන් වැඩිමල්ම. මමයි චුට්ටක්කයි තමා පොඩිම. පිල් බෙදෙද්දි, අර උච්චි උච්චි තෝල් දමද්දි, කට්ටිය වටවෙලා ගඟ ළඟ සිටිනා අසරණ මේරී... වගේ ඒවා කරද්දි අපි දෙන්නව ගණන් ගන්නේ බෝංචි කියලා.ඒ කියන්නේ මෙලෝ වැඩක් නෑ කියලා.ඒත් අපිව සෙල්ලමට නොගත්තොත් අපි අඬනනිසා අපිවත් සෙල්ලමට ගන්නවා. හැංගිමුත්තන් කරද්දි අපිව දැක්කත් දැක්කේ නෑ වගේ යද්දි, ටින් කඩද්දි දෙපැත්තෙම එවුන් එකතුවෙලා ඉස්සල්ලම අපිට නොරිදෙන්න බෝලෙන් ගහලා පැත්තකට කරද්දි අපේ හිතටත් මොනවදෝ තේරුණත් අපිත් එතන ලැගගනම ඉන්නවා.


මිථිල අයියා සහ ෆැශන් ෆෘට් වැල ඔලුවට එන්නේ හැංගිමුත්තන් කරද්දි එයා හැංගෙන්නෙම ඒ ෆැශන් ෆෘට් වැලේ හින්දා. අපි කාටවත් නගින්න බැරි නන්නං ගහට නැඟලා ෆැශන් ෆෘට් වැල අස්සේ හැංගෙන මිථිල අයියව කාටවත් හොයාගන්න බෑ. හැමදාම අන්තිමට හොයාගන්නේ මිථිල අයියව. හොයාගන්නවට වඩා ඔක්කොමල්ලව හොයාගත්තට පස්සේ ඇවිත් බාරවෙනවා කිවුවොත් හරි.ඒ ඇවිල්ලා "රජීව අරහෙන් එද්දි මම හිමීන් සැරේ බිත්තියට මුවාවෙලා  බඩගාගන ගිහින් තාප්පෙට නැග්ගා..... චාමි ගහ මුලට ඇවිත් ගහේ මාව හොයද්දි මම හිටියේ බිම.පස්සේ එයා යනවත් එක්කම හොරෙන් ගහට නැග්ගා...." වගේ රම්බෝ ස්ටෝරි කියද්දි බෝංචි කරල්ටික ඒවා අහගන හිටියේ කට ඇරගන.පැශන් ගහ එක්ක තියන පරනම මතකේ මැයි දිනයක්. අවුරුද්ද අමතකවුනාට මොන්ටිසෝරි ගිය කාලයක් නෙමෙයි කියලා හොදටම මතකයි. මේ කියන දවසෙදි තාත්තත් ජීවතුන් අතර හිටිය නිසා, ඒ බොහෝවිට 88 හෝ 87 අවුරුද්දේ මැයි දිනයක් වෙන්න ඇති. ප්‍රාදේශීය සභා පැමිනෙන්න කලින් කඩුවෙල ග්‍රාමෝද්‍ය බල මණ්ඩලේ කියලා හඳුන්නවපු එකක සභාපති තාත්තා නිසා ගෙදර දේශපාලන පසුබිමක් තිබ්බා ඒ කාලේ. තාත්තා මියගියාට පස්සේ ගම් උදාවට ,දේශපාලන රැස්වීම්වලට ගහපු බැනර්, ඒ කාලේ ඔය දේශපාලන උත්සව වලට ගෙනියපු ලොරි සරසන්න යොදාගත්තු එක එක ලට්ට ලොට්ට, ග්‍රාමෝද්‍ය බල මන්ඩලේ, කාන්තා මොකක්ද සංගමේක ලෙටර් හෙඩ් වගේ ඒවා එක්ක තමයි චුට්ටක්කයි මමයි පොඩිකාලේ සෙල්ලම්කලේ.ඒත් ඔය මැයි දිනය වෙද්දි තාත්තා ජීවතුන් අතර. ඒත් එක්තැන්වෙලා. මට හොඳට මතකයි නාවලා රතුපාට ජර්සියක්, සුදුපාට සරමක් අන්දවලා ගේට්ටුකණුව ළඟ තියපු පුටුවක තාත්තව වාඩිකරලා තියනවා පෙලපාලිය බලන්න.මම හිතන්නේ ඒ කොළඹ තිබ්බ ලොකු මැයිදින රැළියට යන අතුරුගිරියේ හෝ මාලබේ කට්ටිය. ඒ පෙලපාලියට අපේ ගේ ගාවදි පැශන් ෆෘට් බීම දුන්නා.ඒ බීම හැදුවේ ඔය කියන පැශන් ෆෘට් වැලේ ගෙඩිවලින්.ඒ අය ගිහින් පැයකින් විතර පස්සේ තවත් පෙලපාලියක් ආවා. ඒ අය, අපේ ගෙදරට පෙනෙන නොපෙනෙන මානයේ තිබ්බ අරංගල විදුලිබල මණ්ඩලේ ඉදිරිපිට නවත්තලා තිබ්බ මංඩලේට අයත් ලොරියක් පෙරලුවා. ඒ පෙරලලා ටිකක් සද්දෙට ආව ඒ පෙලපාලියටත් අපේ ගෙදර අය පැශන් ෆෘට් දුන්නා. අර ඉස්සල්ලා එකෙන් ඉතුරුවෙලා තිබුණ් ඒවා වෙන්න ඇති.ඔක්කොටම ඇතිවුනාද දන්නේ නෑ, ඒත් ඒ අයත් ඒවා බීලා තාත්තටත් කතාකරලා ඒ අයගේ ගමන ආපහු ගියා.පක්ශ වෙනස්වුනත් ගමේ මිනිස්සු. ඒ අද මට හිතෙන හැටි.


ඒ පෙලපාලිය මතක්වෙද්දි සිහියට එන අනිත් මූණු දෙක, නන්දා අක්කා සහ සිරිල් අයියා..... නන්දා අක්කා අපේ තාත්තගේ පාර්ශවේ නෑදෑයෙක්වෙන  දියණියක්. ඇයගේ මව, පියා ඇය කුඩාකලම මියයනවා. පස්සේ අපේ අම්මගෙයි තාත්තගෙයි කසාදෙන් පස්සේ ඇය හැදීවැඩෙන්නේ ඒ දෙන්නා ගාව. සිරිල් අයියා අපේ ගේ හදන්න ආව බාස්ලගෙන් කෙනෙක්. ඒ දෙන්නා යාලුවුනාට පස්සේ ඒ කටයුතු හොයලා බලලා ඒ දෙන්නගේ විවාහයට මැදිහත්වෙලා තියෙන්නේ තාත්තා. දෙණියාය ප්‍රදේශයේ පදිංචිකාරයෙක් වුන සිරිල් අයියගේ ගෙදර තිබ්බ මගුල්ගෙදරට මුලු ගමම ගිහින් තිබ්බා බස් දෙකක් අරගන. ඒ ගමනේ රස මුසු කතා අම්මව බලන්න ඉඳ හිට එන හිතවතුන් තාමත් විඩෙන් විඩේ මතක්කරනවා මගේ කනටත් වැටෙනවා. එදා පෙලපාලිය බලන්න මම ආවේ නන්දක්කලගේ ගෙදර ඉඳලා. නන්දක්කලගේ ගේ කිවුවට ඒක ඩොට්ලින් නැන්දලගේ ගෙදර කැල්ලක්. නන්දක්කලා ඒකේ කුලියට හිටියේ. අපේ ගේ ඉස්සරහා පාරේ ඒ ගේ තිබ්බේ. ඒ වෙද්දි නන්දක්කලට බබාලා හිටියේ නෑ. සමහර දවස්වලට ඒ අය මාව එක්කගන යනවා ඒගොල්ලන්ගේ ගෙදර. ඒ ගෙනිහින් නාවලා, කවලා, නිදිකරවලා එහෙම ඇහැරුනාම මාව ආපහු එක්කගන එනවා. කොහොමත් ඒ කාලේ මම වැඩිපුරම හැදුනේ අපේ නැන්දලා හෝ නන්දක්කා වගේ හිතවතුන්ගේ අතේ. ගෙදර එකතැන්වුන ලෙඩෙක්ව බලාගන්න ගමන් ව්‍යාපාර කටයුතුත් හොයලා බලන්න සිද්දවුන අම්මට ඒක ලොකු අස්වැසිල්ලක් වෙන්න ඇති. පොඩිකාලේ වැඩිය දඟනැති නිශ්ෂබ්ධ විලියම් කෙනෙක්වුන මගෙන් ඒ අයටත් ලොකු වදයක් වෙන්නේ නැතුව ඇති.සිරිල් අයියට තිබ්බේ පුශ් බයිසිකලයක්. ඔය බයිසිකලේ මැද්දේ කොට්ටයක් තියලා ඒක උඩ මාව ඉන්ඳවනවා.නන්දා අක්කා පිටිපස්සේ ලගේජ් එකේ.එහෙම තමා මගේ ප්‍රවාහන කටයුතු සිද්ධවුනේ.මට හොඳට මතකයි එදා සිරිල් අයියා බයිසිකලේ මැද බාර් එකට ඒ කාලේ බයිසිකල්වලට හයිකරපු එක එක මෝස්තර තිබ්බ ඉටි කවරයක් හයිකරලා.ඒකේ යටින් ලස්සනට නූල් එල්ලෙනවා.එදා දවල්ට කවලා මාව නිදිකෙරෙවුවේ නෑ. පෙලපාලිය බලන්න එන්න ඕන නිසා.ඒත් ඒ ඉටිකවරේ උඩින් කොට්ටේ තියන්න බෑ මාව ඉන්ඳවන්න.කොට්ටේ ලිස්සනවා කවරේ නිසා. අන්තිමට එදාම හයිකරපු කවරේ සිරිල් අයියා ගලවනවා.ඒ ගලවලා කොට්ටේ උඩින් මාව ඉන්ඳවලා නන්දක්කවත් එක්කරගන අපේ ගෙදර එනවා පෙලපාලිය බලන්න. එ මිනිස්සු බයිසිකලේට වඩා මට ආදරේකලා. ඊට අවුරුදු පහ හයකට පස්සේ, මම ඉස්කෝලේ තුන වසරෙදි සිරිල් අයියට වරායේ රැකියාවක් ලැබෙනවා. ඒ වෙද්දි එයා පුතෙක් සහ දුවෙක්ගේ තාත්තා කෙනෙක්. වැඩට යන පළවෙනි දවසෙම තලාහේන අටේකණුවෙදි බස් එක පෙරලිලා පාපුවරුවේ ගිය සිරිල් අයියා සහ තවත් කෙනෙක් මියයනවා, ඒ බස් එකටම යටවෙලා.


සිරිල් අයියා හිටිය ගෙදර අයිති ඩොට්ලින් නැන්දා..... අපේ තාත්තගේ හිටපු පෙම්වතියක්.අම්මට කලින් හිටියකෙනා. කොටින්ම කිවුවොත් තාත්තගේ අවසාන පෙම්වතිය.අපේ තාත්තා අම්මව විවාහකරගත්තු නිසා ඇය අපේ අම්මා සමග අමනාපයෙන් හිටියේ. මා දැණුවත්ව අම්මා ඇය සමග අමනාපයක් නොතිබුණත් ඇය දිගින් දිගටම අම්මව මගාරිනවා. අප නිවස ඉදිරිපිට වූ බස් නැවතුම්පොළ ඇයට ආසන්නම එක වුනත්  මම කිසිදවසක ඇයව එම නැවතුම්පොලේදි දැකලා නෑ. ඇය පාවිච්චිකලේ ඇයට තරමක් දුරවූ වෙනත් නැවතුමක්.ඒත් ඇයගේ දරුවන් වූ අර්ජුන අයියත් අනුරාධා අක්කත් අපිත් සමග බොහොමත් කුලුපගව හැසිරුණා. ඇයගේ සැමියා වූ රංජිත් මාමා පවා. ඇය අම්මාත් සමග අමනාපවූවත්, පාර තොටකදි මා මුනගැසුනවිට ඇය නොකලේ මාව ලෙවකන එක විතරයි. මගේ හිස.මුහුණ අතගගා, මාව තුරුලුකරගන ,සිපගන අනේ.... ආරියදාස වගේමයි.... කියද්දි කුඩාකල මහත් ලැජ්ජාශීලි ළමයෙක්වුන මා දැඩි අපහසුතායට ලක්වූවත්, නිවිහැනහිල්ලේ අද ඒ පිළිබඳව සිතද්දි මම ඇයගෙන් දකින්නේ ජීවිතයට හමුවූ ලෙංගතුම ප්‍රේමයේ පහස හැමදාම සිතින් විඳගත් සුන්දර ගැහැණියක්ම විතරයි. මම පාසලේ එකොලහ වසරදී පමන අර්ජුන අයියා හදිස්සි අනතුරකින් ජීවිතයෙන් සමුගත්තා. ඒ පිලිබඳ වූ දුරකථන ඇමතුම ශ්‍රවණය කල ඇය කෑගසාගන පටාචාරවක මෙන් දුවගන ආවේ අපේ නිවසට. "අනේ රත්නායක..... මගේ පුතා...." යැයි දිව අවුත් අම්මාව වැළඳගන අඬන්න පටන්ගත්තා. තාත්තාව විවාහකරගත්තාට පසු ඇය මාගේ මවත් සමග කතාකල පළවෙනි දවස එයවුනා. 


මෙවර ලංකාවට පැමිනිපසු ඩොට්ලින් නැන්දාව සහ අනුරාධා අක්කව ආපහු මුණගැසුණේ අනුරාධා අක්කාගේ විවාහ ඇරයුම පිලිගන්වන්න නිවසට පැමිනි අවස්ථාවෙදි. වයසට ගොස් දුර්වලවී සිටි ඇය මාව ලඟට ගෙන පෙරසේම මගේ මූන අතගා සිපගත්තේ ආරියදාස වගේමයි.... යන සුපුරුදු වාක්‍යද සමගින්. අනුරාධා අක්කාගේ විවාහයෙන් මාස කීපයකට පසුව ඇය මියගිය ආරංචිය ලැබුනත්, කොරෝනා තත්වය නිසා ඇයගේ මරනගෙදරට සහභාගිවීමට ඉඩක් ලැබුනේ නෑ.  "දැන් ඩොට්ලින් නැන්දයි අපේ තාත්තයි එහාට වෙලා ජොලියේ ඇති.ඔයා එහෙම ඉක්මනට එහේ ගිහිල්ලා ඒ දෙන්නගේ ආතල් කඩන්න එහෙම එපා" යැයි අම්මාට කිවුවේ විහිලුවට වුනත් , ඒක එහෙම වෙනවානම් , ප්‍රේමයක් පපුවේ රඳවාගන ජීවිතකාලයක් සුරැකි ඒ සුන්දර ගැහැනියට උරුමවිය යුතුම දේ උරමවූ බවට සිතා අම්මාත් සතුටුවෙන බව මම ඉඳුරාම දන්නවා.


"අයියේ.... ඔයා එද්දි මට නමිනං ගොඩක් ගේන්න හොඳේ.... මම ඒවට පට්ට ආසයි...."


"ඔවු... මට වෙන වැඩ නෑනේ උඹට නන්නං අඳිනවා ඇරෙන්න...."


මේ දෙබස අවුරුදු ගාණකට කලින් ඇසුනක්ද, මෑතකාලීනව ඇසුවක්ද යන්න නිනවුවක් නෑ. ඒත් ආදරය සහ ගැහැනිය යන මාතෘකාවේදි ඉගනගත් වැදගත්ම පාඩම නැවත නැවත සිහිගන්වන ඒ දෙබස, කාමරයේ සිට ජනේලයෙන් නන්නං ගස දෙස බලාගන සිටි මා කාමරෙයෙන් පිටතට ගෙන නන්නං ගස පාමුලට කැඳවීමටනම් සමත්වුනා.  "ඔබ ගැහැනියකට ආදරය කරනවානම් ඇයව රැජිනක් කිරීමට උත්සාහ නොකරන්න. ඇයට ඒ මොහොතේදි අවශ්‍ය නන්නං ගෙඩියක්නම්, දිවි පරදුවට තබා හෝ හාදුවක් සමගින් එය ඇයට ලබාදෙන්න. දිනකදී ඇයට පොරොන්දු වූ සත්මහල් ප්‍රාසාධය ඇයට ලබාදිය නොහැකිවූවත්, ඔබ අද දිනයේ ලබාදුන් නන්නං ගෙඩිය සිහිකර ඇය ඔබව වැලඳගන්නවා ඇත..... එච්චරම කෙළියක් නොවුනත් කර්පට්වෙන්න බී නිවසට පැමිනීමේදි බිරිඳව ශේප්කරගැනීමට ඒ නන්නං ගෙඩිය උපකාරීවනු ඇත". 


මොලේ ඇතුලේ කැරකෙන මෙවැනි විකාර රූපි අදහස් හා මදසිනාවක් සහිතව නන්නං ගෙඩියක් කඩාගත්තා විතරයි, ගෙතුළ සිට මා අමතන ගිමාගේ හඬය.


මාමේ... බීම බොනවද....?

මොන බීමද....?

පැශන් ෆෘට්.....


ආදරය,  ගැහැනිය,  අනාගතය හෝ වෙන මොනයම් හෝ මල ඉලවුවකට වඩා පැශන් ෆෘට් කෙරෙහි වූ පෙරේතකම අතිමහත්‍. කඩාගත් නන්නං ගෙඩියත් දකුනතේ රුවාගන මා ආපසු හැරුණේ ගේ ඇතුලට යාමටයි.


කටුස්සා....


Monday, August 2, 2021

සදාකාලික ප්‍රේමයක්නම් කවද හරි අත් හැරෙනවා....

 


යන්න දෙන්නට පුලුවනැ'යි මම කවමදාවත් හිතුවෙවත් නැති
යන්න දුන්නත් යාවියැ'යි යයි හිත් අගිස්සක තිබුනෙවත් නැති
යන්න දුන් පසු හෙලන හුස්මත් මේ තරම් බර වෙතැ'යි සිතු'නැති
නුඹව නැතිකරගන්න බැරි තැන නුඹට යන්නට දුන්නා වෙන්නැති

හිතක ගැඹුරට මුල් ඇදී ගිය ආලයක්නම් නුඹම පමනකි
මට වඩා මගේ සිත කියවගත් නුඹට පදරුත් යලි අවැසි නැති

යනෙන මගතොට නුඹව නොපතමි වචන තවමත් ගොලු නිසා
මාව නොදකින මම දකින රූ සොයමි හිත ඇවිලෙන නිසා
අහම්බයකට ඉඩක් හිමි නැති දිවිය තවමත් බර නිසා
මුවඟ සිනහව ඇඳෙන මතකය වැළඳගමි එය නුඹෙ නිසා

තවම පාළුව දරනු බැරිතැන තනිව පොළවේ හිඳගමී
දකුණු උරයට දැනෙන නුඹෙ හිස මුදුව හිමිහිට සිපගමී

ප්‍රේමයට විතරක්ම ඉඩතිබුන රිදිල්ලක හීරිච්ච ලේ බිංදු පිසදමා
තරු පිරුණ අහසකට පමණක්ම උරුමවුන සැනසිල්ල බිංදුවක් තොල තබා
පමා වී පිපි පවට අහිමිවුන අයිතියක ඔප්පුවට කණ අත්සන ගසා
ඇවිදයමු දෙපැත්තට අපි තාම අපේ බව දන්න හිත් අපි ලඟම ඇති නිසා

අහස් තරු මත නුඹ සොයන්නෙමි කිළිටි මගෙ දිවි එහි හොවන්නෙමි
නුඹත් තරු මත සැනසෙනා දින මාව දකිතැ'යි බලාඉන්නෙමි


කටුස්සා... 

Saturday, February 13, 2021

ප්‍රියේ නුඹම උපනුපන් ජාති හමුවේවා....

 










ඳට හිමි නැති සඳේ සිසිලස විඳින කඩුපුල් මලක පෙති ගෙන

රැඳුන තුති පද එකින් එක ගෙන මාල අමුණා පෑව රංගන

මල නොදන්නා සඳුත්  නො'ඇසූ මන්ද්‍ර සප්තක තාල තුණුවිල

සරසවා සනහලා පුදදුන් නිබ්බුතා පද මිටයි නුඹ මට


දුරයි නුඹ මට දුරත් නෑ නුඹ හෙලන හුස්මත් ලයේ රැඳුනා

නෙතු වසා සිටි හැම නිමේශෙම අමන සිනහව නෙතේ ඇඳුනා

කිසිම දවසක මට නොපෙන්වූ කඳුලු බර උර පාත්කෙරුනා

මලක මල්පෙති නොවේ ඇට මස් ලේ නහර දෙවුදුවක් මැවුනා


හිස තබාගමි නුඹ උකුල මත දෙතොල් බණ්ඩියේ සිරකරන්

ඉනවටේ අත මවන හීගඬු අතර පිපි තරු රූ මවන්

මුවග වෙවුලන දෙතොල් ගොලුකර ලයේ රිද්මය සමකරන්

දල්වගනු මැන නුඹේ නෙත් නුඹ නෙතින් මට මම පෙනෙනකන්


කටුස්සා....