Sunday, August 23, 2015

පිහිට....



සූනියම් රජුනි වර වර ඔඩ්ඩි දේවතා මෙහෙවර
භද්‍රකාලී මහා ලක්ෂ්මි හනුමන්තා හනිකට වර
මේ නරයන් දුක් සනහා පඬුරු ගන්න දුවගන වර
මගෙ පවුලට සැප සම්පත දෝතින් අරගන වර වර

භද්‍රකාලී මෑණියනි මේ ගැත්තට පිහිටවන්න
යාබද නිවසේ ගෙහෙමියා සත් කඩකට පුපුරවන්න
ඇගෙ දියණිය මේ පාරත් උසස් පෙළින් බිම දමන්න
ඒ පිහිටෙන් මගෙ දෝණිට දෑවැද්දත් සරිකරන්න

සිද්ධ සූනියම් දෙවියනි අසුපිට නැග මෙහි වඩින්න
මේ බඩ තඩියට කෙළවන මුදලාලිව සුන්කරන්න
ඒ කඩේට යන එන අය මේ කඩේට හරවලන්න
ලැබෙන පඬුරුවල පිහිටෙන් මගේ පවුල ගොඩනගන්න

මේ සිරිලක සුරකින තෙද විශ්ණු දේවයනි වඩින්න
මේ ගැත්තගෙ ගරාජයට යන එන අය වැඩි කරන්න
වටේ පිටේ ඇති වාහන කඩා දමා හප්පවන්න
ඔබෙ පිහිටෙන් අපෙ පවුලට අළුත් ජීප් එකක් ගන්න

මහ බල ඇති කදිර දෙවිඳ නෙත් දොළසින් වදාරන්න
මේ ගැත්තා ගත්ත අළුත් වාහනයට සෙත් පතන්න
දුකක් අනතුරක් නොමකර තව වාහන ලබා දෙන්න
ඒ පිහිටින් මගෙ ගෑණිට පුංචි කාර් එකක් ගන්න

මහා ලක්ෂ්මි දේව මවුණි කරුණාබර නෙත් යොමන්න
ඒ ගෙදරට ගෙනෙන සල්ලි ඒ නිවසෙම රඳවගන්න
සතුට ධනය මුළු නිවසෙම හැමදාමත් තියාලන්න
ඒ පිහිටින් මගේ අළුත් ගෙදර වැඩත් පටන්ගන්න

සොහොන් කාලි යක්ෂනියනි හනිකට මෙහි වැඩමලන්න
මේ දියණිට විණකල ඒ ඇගෙ පෙම්වතා හඳුනගන්න
අත්හැර යා නොහැකි ලෙසින් ඇගෙ පස්සෙන් ඇවිද්දන්න
ලැබෙන පඬුරු උසාවියෙදි පළවෙනි ගෑණිට ගෙවන්න

නාග කුරුළු සුනඛ සොහොන් පිල්ලු වහා අවදිවන්න
මේ අම්මගෙ පුතු ඉදිරූ ලේලි සොයා වහා යන්න
බොටුව කඩා හිස පාගා ගලන ලෙයින් පාට වන්න
දෙන පඬුරුන් පොඩි දෝනිව උපාදියට රට යවන්න

සුමන සමන් දිව්‍ය රජුනි සුදු ඇත් පිට වැඩමවන්න
මේ ඇත්තිගෙ නෙත් වියලා ඇගේ දුකට සවන් දෙන්න
දරුවෙක් නොරැදෙනා ගැඹට ඔබේ කුළුණු නෙත් යොමන්න
දරුවෙක් නැති මද්දුමීව සිංගප්පූරුවෙ යවන්න

දේවාලය තුල හිඳිනා බුදු රදුනි සමාවෙන්න
මගේ මුහුණ දිහා බලල එපා තවත් හිනාවෙන්න
සිල්පද පහ නොරැක්කාට ඔබත් පියෙක් බව සිතන්න
මමද නැතොත් මට රැවටෙන උන්ද වැරදි කියාදෙන්න


කටුස්සා....

Wednesday, August 19, 2015

නොමියන....



මැවෙන සිතුවිළි දැනෙන හැඟුමන් එකින් එක ගෙන ඉවතලා
සුළඟේ පාවෙන වරාමල සේ මගේ ලෝකෙන් පාවෙලා
සිතට වදදෙන අපේ මතකය ලොවට රහසින් සඟවලා
උදයෙ සුපිපුන පින්න මල සේ ඉන්න ඔහු තුරුලටවෙලා

නමුනුකුල සිප හමන සුළඟට සිතින් පෙම්බැන්දත් එදා
රැඳෙනු නොහැකිව හමන සුළඟත් දුකින් කෑගැසුවා මෙදා
දුටුවේ හැම මං අප කතාවේ නමුනුකුල පමණක්නිසා
කිසිකෙනෙකු ලොව දොසක් නොකියත කන්ද තාමත් ගොළුනිසා

එක්ව දුටු හැම හීන පොකුරෙම පාට තැවරුවේ ඔබනිසා
තනිව දකිනා හීන යායම පුරන්විය නුඹ දුරනිසා
මලක්වුන නුඹ නටුව මත කටු සුවඳ අමතක කලනිසා
ගලන ලේ බිඳු සඟවගන මම සිනාසෙමි නුඹ නැතිනිසා

පෙර පුරුද්දට නුඹේ සිනහව මැවී පෙනුනත් නෙතුමතින්
නුඹේ අතැඟිලි ඇදෙන රිද්මය සොයනමුත් කෙහෙරැලිමතින්
මගේ මුවඟට දැනුන සුසුමේ මතක සෙවුවද උනුහුමින්
එනු එපා යලි බිඳින්නට නුඹ හදක් තවමත් නැතිබැවින්


කටුස්සා....

Wednesday, August 12, 2015

හිමි අහිමි - 01.



"බීප්...බීප්..."
මේ මොකාද මේ මහ රෑ මැසේජ් එවන එකා...?

අඩෝ...එක්සෑම් ලේසිද?මේපාර ගොඩද?


මේ කවුද මේ...?කාටහරි වැරදිලා වෙන්න ඇති.පොඩි එවුන් මගුල් නටනවා මේ මහ රෑ ඇහැරිලා ඉදගන.

ක්‍රියා විරහිතවුන සිංදුව ආපහු දාගත්තු මම හෙඩ්පෝන් එක කනේ ගහගත්තා.

එදා දුරසිට දුටුව ඔබ නොව මෙදා ළඟසිට මා දකින්නේ

සදාකාලික නොවූ ලෝකයෙ සදා කෙලෙසද පෙම්කරන්නේ...

"බීප්..බීප්..."

ආපහු මේ මගුල...

මොකද ඩෝ සද්ද නැත්තේ? නිදිද?


මොන රෙද්දක්ද මේ?


ඔයාට වැරදිලා.මම ඔයාගේ යාළුවා නෙමෙයි.නම්බර් චෙක්කරලා බලන්න


සොරි.ඒත් මගේ ළඟ තියෙන්නේ මේ නම්බර් එක.මම උදේට හොයාගන්නම්.තෑන්ක්ස් 


"මහත්තයා....එදා ලොර්ඩ් 3ක් නෙමෙයි ගෙනල්ලා තියෙන්නේ.4ක් ගෙනල්ලා."

"ඒක තමයි මම කිවුවේ...මම බැළුවේ නැත්තන් අපරාදේ.මීට පස්සේ ඔක්කොම එක පාර ගන්නේ නැතුව එන එන ලෝර්ඩ් එකට ඒ සැරේම බිල අරගන යන්න.එතකොට පැටලෙන්නේ නෑනේ.කොහොමත් උඹලගේ මහත්තයට සල්ලි වැඩියිනේ.අපරාදේ මට නොකිය ඉන්න තිබුනේ"
"හි..හි..සල්ලි වැඩියි තමා.පුළුවන්නම් මහත්තයගෙන් 10,000ක් ඉල්ලගන ඩීසල් ගහගන එන්න කිවුවා..."
"ඔන්න ඉතින් කුණුහරප කියනවනේ.එක්කෝ කලින් කියල තියන්න ඕනේ.මේ උදේ පාන්දර මගේ යකා අවුස්සනවා.අතේ තියෙන්නෙත් 7000යි....ම්ම්...හරි..මේ 5000 අරගන්නවා දැනට.ඊළඟ එක එනකොට මම ඉතුරු එක දෙන්නම්.තොපේ මහ එකාට මෝල් කලන්තේ."
මේ කවුද..."හරි හරි...පියසේන යන්න.අර බිල අරගන යන්න අත්සන්කරලා"
"හෙලෝ...හෙලෝ...කවුද මේ....හෙලෝ...."
"හෙලෝ....."
"ඔවු කියන්න..මට ඇහෙනවා...."
"හෙලෝ...මම තමයි ඊයේ රෑ ඔයාට වැරදිලා මැසේජ් කරපු කෙනා..."
"ආ....ඔයාද මේ...යාළුවා පාඩම්කලාද කියලා අහනවා.ඔය නෝනා මහත්තයා මහ රෑ තිස්සේ ඇහැරගන මැසේජ් කරන්නේ ඔයාට පාඩම් කරන එක අගුණ නිසාද..?"
"අනේ නෑ...එයා මේ පාර A\L'ස් කරනවා.ඒකයි ඇහුවේ..."
"එයා A\L කරනවා.ඔයා මොනවද කරන්නේ...?"
"මම මේ පාර කරන්නේ නෑ."
"ඇයි...?"
"මම ගියපාර කලා.දැන් කැම්පස් පටන්ගන්නකන් ගෙදර.යාළුවා මේ පාරත් කරනවා.ඒකයි එයාට මැසේජ්කලේ..."
අප්පා..ඉඳල ඉඳලා කෙල්ලෙක් කතාකලා.ඒකත් දරුකමට හදාගන්න පුළුවන් සයිස් කෙල්ලෙක්.
"ඉතින් දැන් මොන යුනිවර්සිටිද යන්න ඉන්නේ...?"
"තාම දන්නේ නෑ අයියේ...ඒක තාම ආවේ නෑ"
"අයියේ...?මම අයියෙක් කියලා කොහොමද දන්නේ...?"
"දන්නේ නෑ...ඇයි අයියෙක් නෙමෙයිද? කට හඬින්නම් එහෙම පේන්නේ නෑ..."
මමත් පොඩී වුන් නලවන්න ගිහින් නානවාද කොහේද...කටට එන ඒවා කොහොමද කියන්නේ ඉතින් මේ පොඩි එකෙක්ට...
"අයියෙක්නම් තමයි.ඒත් ඔයාට වඩා ගොඩාක් ලොකු කෙනෙක්..."
"ගොඩාක් කිවුවේ....අලියෙක් විතර ලොකු කෙනෙක්ද...?"
"ගොඩාක් කිවුවේ මෝඩයෝ වයසින්.ඔයාට වඩා අවුරුදු 10ක් විතර වැඩිමල් අයියෙක් මම."
"ආනේ...අපේ ලොක්කයියගේ වයස...."
"ලොක්කයියා කියන්නේ....තවත් අයියලා ඉන්නවද...?"
"ඔවු...ලොක්කයි, පොඩ්ඩයි,මමයි...."
"දැන් කෝ ඒ අය...?"
"ලොක්කනම් බැඳලා වෙනම ඉන්නේ.පොඩ්ඩා පේරාදෙණිය කැම්පස් එකේ"
"එතකොට ගෙදර ඉන්නේ මේ ඇටිකිත්තා විතරද..."
"ඇටිකිත්තා....තලනවා කට මට ඇටිකිත්තා කිවුවොත්...."
"අතින්ද දන්නේ නෑ..."
"මොනවද...?"
"තලන්නේ...."
"නෑ...මෝල් ගහෙන්"
"හිටගනද...?"
"නෑ...ඉඳගන..ඇයි අවුල්ද..."
"අපෝ නෑ...කිසි අවුලක් නෑ...කෝ දැන් අම්මයි තාත්තයි...?"
"ඒ අය කුඹුරට ගිහින්."
"ඉතින් ඔයා මොකද ගෙදරටවෙලා කරන්නේ...යන්න එපැයි ඒ අයත් එක්ක..."
"ගිහින් කරන්න වැඩක් නෑ අයියෝ...තාම පැලනේ..."
"පඹයෙක් හදලද තියෙන්නේ කුඹුරේ...?"
"නෑ...ඇයි?"
"ඉතින් පඹයට ඉන්න පුළුවන්නේ..."
"ඔවු...ඔවු...මම මේ ලෑස්තිවුනේ හෙට ඉඳන් යන්න පඹයට"
"දැන් මෙච්චර කතා කරනවා.ඔය ගෑණු ළමයගේ නම මොකද්ද...?"
"ශාලිකා...ඔය පිරිමි ළමයගේ නම?"
"මුදිත....කොහේද නංගි ඉන්නේ ඕගොල්ලෝ...?"
"පදවිය....ඔයා...."
"දැන් ඉන්නේ අනුරාධපුර"
"ඇයි දැන් ඉන්නේ...?අනිත් වෙලාවට වෙන කොහේ හරිද ඉන්නේ...?"
"මෙහේ ඉන්නේ ජොබ් එකට.ගම මෙහේ නෙමෙයි.ඒකයි."
.............................................................
.............................................................
"ඔයත් ශෝක්"
"ඇයි...?"
"මාත් හෙන පාළුවෙන් හිටියේ අද.කතාවෙන් කතාව ගානක්වත් නැතුව ගියා..."
"ඇයි අද වයිෆ් කතාකලේ නැද්ද....?"
"නෑනේ...ඒකා අද අනිත් මිනිහා හම්බවෙන්න ගිහින්.."
"අනේ...කියනවකෝ..."
"වයිෆ් කෙනෙක් ඉන්න මම තාම මැරි කරලා නෑ"
"ශික්...අවුරුදු 29ත් පහුවෙන්න ආවා.තාම බැඳලා නැද්ද...?මෙලෝ රහක් නෑ.."
"ඇයි රහද බලන්න මාව කෑවද....?"
"කන්න ඕනේද ඕකට...බලනවකෝ අපේ ලොක්ක...ඒකට දැන් අවුරුදු 3ක් කෙල්ලෙකුත් ඉන්නවා."
මේකි මගේ රෙදි ගලවනවද මංදා...බේරගනින් මුඩ්ඩා උඹේ නම්බුව.... මොකද මේකිට කියන්නද නොබැඳ හිටියට මටත් ළමයි ඇති කියලා.
"ළමයි හම්බවෙන්න ඉතින් බඳින්නම ඕනේකමක් නෑනේ....කවුද දන්නේ ලොක්කට වඩා මට ළමයි ඉන්නවද කියලා...."
"ඔවු ඉතින් ....කියන්නත් බෑ තමයි.අපි කොහොමද දන්නේ...?"
"ඒකනේ...මේ මෝඩයෝ....පදවිය කොහේද ඔයගොල්ලෝ ඉන්නේ....?"
"පදවිය කිවුවට පදවියේ ඉඳන් කිලෝමීටර් 30ක් යන්න ඕනේ.ඒ හරියට කියන්නේ පරාක්‍රමපුර කියලා..."
"අම්මෝ...ඩොටේනේ....දවල්ටත් ටෝර්ච් ගහගන නේද යන්නේ...?"
"ඒ මොකටද...?"
"කැලේනේ.ඉර අවුව වැටෙන්නේ නෑනේ කැලේ නිසා.ඒකයි."
"අනේ යනවා යන්න...මෙහේ කැලේ නෑ."
"යනවා යන්න බොරු නොකියා."
"මම තියනවා හොඳද..."
"හරි හරි ඉතින්...විහිළුවක් කලේ.මමත් ලබන මාසේ විතර පදවියට එයි ගොඩක් වෙලාවට..."
"ඒ මොකටද..."
"මගේ යාළුවෙක් ඉන්නවා කැනඩාවේ.එයා පදවිය සෙන්ට්‍රල් එකේ ළමයි වගේකට බඩු වගයක් දෙන්න එනවා ලබන මාසේ.වකුගඩු ලෙඩේ නිසා තාත්තලා නැතිවුන ළමයි වගේකට.ඒ අයත් එක්ක ගොඩක් වෙලාවට මාත් එයි."
"මේ...ඒ එනකොට මටත් මොනවහරි අරගන එනවා හොඳේ... කනබොන දෙයක්.."
"හරි අරගන එන්නම්.පදවියට ඇවිත් අරගන යන්න වෙයි."
"මොකද්ද ලෝභයෝ...අනුරාධපුරේ ඉඳන් පදවියට ඇවිත් ඔය පොඩ්ඩ දුර එන්න බැරිද...?මහ ලෝභ කුණෙක්.කොටියම කන්න ඕනේ..."
"මට වෙන වැඩ නෑනේ මේ හපුටියන්ට කන්න බොන්න ගෙනත්දෙන්න කිලෝමීටර් 30ගානක් ඇවිත්..."
"හරි හරි...මට ඕනේ නෑ...මේ අයියේ..මම තියන්නද..?අම්මලා එන්න කලින් උයන්න ඕනේ..."
"හුටා...ඔයා උයන්නත් දන්නවද....?"
"මේ....මට හොඳට උයන්න පුළුවන් හරිද...එන්න එපා අපහස කරන්න..."
"හරි...හරි...එහෙමයි කියලා අපි පිලිගමුකෝ...හරි නංගෝ...ගිහින් එන්න..."
"බුදුසරණයි අයියේ...බායි.."
"පරිස්සමෙන් ඉන්න නංගී..බායි"

ඒ විදිහට පටන්ගත්තු අපේ සංවාදය එදා ඉදන් හැම දවසකම දිගටම පැවතුනා.ගොඩක් වෙලාවට මහ රෑ එළිවෙනකම් අපි කතාකලා.අයෝමිත් එක්ක තිබුන සම්බන්ධය නැතිවුනාට පස්සේ අවුරුදු එකහමාරක් විතර කිසිම කෙල්ලෙක්ට ලං නොවුන මට ඔයාගේ කටහඬ කාන්තාරෙට වහින වැස්සක්ම වුනා.ඒත් කවදාවත් ඔයාගැන වැරදි හැඟීමක් ඇතිවුනේම නෑ මට.මම එදා ඉඳන්ම ඔයා දිහා බැළුවේ පොඩි එකෙක් දිහා බලන විදිහට විතරමයි.ඊට එහා කිසිම දෙයක් මට හිතුනෙම නෑ.සමහරවිට ඊට එහා යන හැඟීමකට එන්නනොදී මමම දොර වහගන ඉන්න ඇති.ඒත් මට ඒක එහෙමට අමාරු දෙයක් වුනෙත් නෑ.කවදාවත් සංවර නොවුන මගේ වචන, හැසිරීම, හැඟීම් ඔයා ඉස්සරහා ගොඩක් සංවරවුනා.ඔයත් එක්ක කතා කරන කොට ඒ නැහැදිච්ච මුඩ්ඩව මතුවෙන එක නවත්තගන්න මම බොහොම අමාරුවෙන් ඉගනගත්තා.මටත් නොදැනීම මම අළුතින් අත්තටු හම්බුන කිරිල්ලියෙක්ට පාර පෙන්නන රේඩාර් එකක් බවට පත්වුනා.

"අයියේ...මම මේ අඟහරුවාදා අනුරාධපුරේ එනවා."
"තනියම....?"
"නෑ...තාත්තා එක්ක.යුනි යන්න මෙඩිකල් එක ගන්න.එදා ඇවිත් නැන්දලගේ ගෙදරට මාව දාලා තාත්තා යනවා.බදාදට මාමත් එක්ක ගිහින් මෙඩිකල් එක ගන්නවා"
"එනකොට එහෙනම් මට ලොකූ අඹ මල්ලක් ගේනවා හොඳේ...නැත්තන් දන්නවනේ...මැදවච්චියෙන් එහාට එන්න දෙන්නේ නෑ..."
ආආ...බලාගමු එහෙනම්...මම මේ කතාකලෙත් අඹ පෙරේතයට අඹ ගෙනත් දෙන්නද අහන්න...දැන්නම් ගෙනෙත් දෙන්නෙම නෑ."
"මාලුවා නහින්නෙත් කටනිසා කියලා කැස්බෑවා කිවුවළු...හරි හරි ඉතින්...අපි දෙන්නා යාළුයිනේ....ගෙනත් දෙනවා හොඳේ..."
"නෑ...නෑ...ගෙනත් දෙන්නෙම නෑ...මැදවච්චියට වෙලා රැකගන ඉන්නවා...."
"ඔවු ඉතින් ගෙනාවත් දෙන්නේ කොහොමද...?දෙන්න විදිහක් නැති නිසා දැන් බයිලා කියවනවා..."
"අඟහරුවාදා හවසට අපි උඩමලු යනවා.එනවද....?ආවොත් අඹ කන්න පුළුවන්..."
"අපි කිවුවේ...?"
"අපි කිවුවේ මායි ,නැන්දගේ පොඩි දුවයි, මල්ලියි..."
"ඉතින් මෝඩයෝ රෑවෙලා ලොකු අය කවුරුත් නැතුව එන්න දෙනවද...?"
"මේ..මෝඩයෝ...නැන්දලා ඉන්නේ උඩමලුව පොලිසිය පාරේ.අපි වෙනදත් එහෙම එනවා.පණ්ඩිතයා නොවී එනවද...?"
"හරි ඉතින්...අඹ දෙනවනම් එන්නම් ඕනේ තූත්තුකුඩියක....ඔයා ඇවිත් මට කතාකරන්න.මම එන්නම්."

"කෝ...කොහේද ඔයගොල්ලෝ ඉන්නේ...?"
"දෙවනි මල්කඩේ ගාව.ඔයා කොහේද ඉන්නේ...?"
අපි මීට ඉස්සර කවදාවත් හම්බවෙලා නෑ.ඔයා කොහොමද,මම කොහොමද කියලා දැනගන්න කිසිම උවමනාවක් තිබුනෙත් නෑ අපි දෙන්නටම.අඩුමගානේ ඔයා සුදුද,කළුද කියලා අහගනවත් නෑ දෙන්නම.ඒත් ඔයාව දැකපු පළවෙනි පාරම මගේ හිත ගැස්සුනේ නෑ කිවුවොත් ඒක පුදුමයක්.ඒත් ඒ එක්කම මගේ හිත අගුළු දාගන්න මට පුළුවන්වුනා ඉක්මනටම.

"කෝ..කොහේද මල්ලි ගියේ...?"
"එයා අපිව මෙතන දාලා රස්තියාදුවේ ගියා.8 වෙනකොට මෙතන්ට එනවා කිවුවා.මේ...මේ බෑග් එක වාහනේට දාලා එන්නකෝ.මේක උස්සගන යන්න කරදරයිනේ...."
"මොනවද මේ...?"
"හා...හා...යනවා බබා නොවී...අඹ ගෙනාවේ නැත්තන් එන්න දෙන්නේ නෑ කිවුවා.දැන් බබා වෙන්න හදනවා..."
"මේ බෑග් දෙකේම අඹද...?"
"අනිකේ පැශන්...."
"ඔයා මාරයිනේ...දාන්න 5ක්..."
"මම දන්නවනේ පෙරේතයා ඔය ජාති දෙකට මැරෙයි කියලා.හැබැයි පැශන්නම් ඉදිලා ගොඩක්.රැළිත් වැටිලා ගොඩක් ගෙඩි..."
"කමක් නෑ.ඒවා තමයි රස....ආ මේක හෑන්ඩ් බෑග් එකට දාගන්න.මල්ලිටත් දෙන්න..."
"වෙලාවට දුන්නේ...මට මුකුත් ගෙනාවේ නැත්තන් මම මේ මළුදෙක විසිකරනවා කියලා හිතන් හිටියේ...."
"විසිකලොත් ඉතින් යන්න නෙමෙයි මෙතනින්...කෝ දෙන්න මම ඔය දෙක දාලා එන්නම්.වැරදිලාවත් විසිකලොත් එහෙම...."
"පෙරේතයා...."
........................
..........................
"මොන මල්ද ගන්නේ....?"
"සුදුමල් වට්ටියක් ගන්න...නංගිට නෙළුම් ඕනෙළු..."
"ආ...මල් ටික ගන්න.මම අනික්වා ගන්නම්...."
"ආනේ....සුදර්ශි.....අක්කේ...මගේ ඉස්කෝලේ යාළුවෝ ටිකක්....මම ඒ අයත් එක්ක යන්නද....?"
"එතකොට මම...?"
"ඔයාලව මම හොයා ගන්නම්.රුවන්වැලි සෑයට යන්නේ නෑනේ...?"
"නෑ නංගී...එහේ යන්න වෙලා නෑ.ඔයා යන්න.මම අක්කව බලාගන්නම්..."
මෙහෙමවත් කෙල්ලෙක් එක්ක පන්සල් යන්න හම්බුන චාන්ස් එක මිස් කරගන්නේ කොහොමද...?"
"යමු ඉතින්...එනවා...ඇයි බයද මම ඔයාව කයි කියලා...?"
"හහ්...ඒවා කොහේද මාත් එක්ක...ගහනවා උස්සලා පොළවේ මාව කන්න ආවොත්..."
"දොඩම් ඇට දෙකක් උස නෑ..මාව උස්සලා ගහන්න කල්පනාව....එනවා යන්න වීදුරු බට්ටා..."
"ඇගපත ලොකු උනාට හිතන් ඇති මහලොකු කෙරුමෙක් කියලා.කකුලෙන් උස්සලා ගහන්නේ ගෙම්බා පොලවේ ගැහුවා වගේ...උස මහත විශබීජේ...."
"කටට එන ඒවා කියන්න බෑ තෝ පොඩි එකා නිසා...වර යන්න...වටේ පිටේ මිනිස්සු හිතයි ඇත්තට රංඩුවෙනවා කියලා....."
"හි..හි..යමු.."

"අපරාදේ....නාමල්ට එන්න බැරිවුනේ...එයා හරි ආසයි වැවුමාලු කන්න...."
"කෑම ටිකනම් රසයි තමයි...මටත් දැන් ඉස්මුරුත්තාව වගේ..."
"ඔවු බං...මටත් එහෙමයි...ගොඩකාලෙකින් රසට කෑවා.ඒ මිනිස්සු මොනවා හිතනවද දන්නේ නෑ...."
"මොනවා හිතන්නද...හරි අහිංසක මිනිස්සු ටිකක් දිලා...."
"හම්ම්...හරි හොඳයි තමා ඔක්කොමල්ලම...කොහොමත් ගම්වල මිනිස්සු ගාව තාම මනුස්සකම ඉතුරුවෙලා තියනවා අපේ එවුන්ට වඩා....හරියට දුක්වුනා අඹ නැතුව උඹට දෙන්න..."
"කොහේද...අර මෝඩයා මාව කාලා. ගෙදරටත් කියලා මම අඹවලට පෙරේතයි කියලා....පොඩි එකත් නිදි.කමලත් නිදි.."
"හම්ම්...කමලටනම් බත් මතටම නින්ද ගිහින්ද කොහේද...මුඩ්ඩෝ...මේ.."
"අහපන් ඉතින්..."
"තාම පරණ මතක එක්කද ජීවත්වෙන්න හදන්නේ...?"
"පරණ මතකද දන්නේ නෑ...ඒත් තාම අළුත් කෙල්ලෙක් ගැන හිතන්න මගේ හිත ෆිට් මදි කියලා දැනෙනවා බං..."
"අයෝමිට වරදක් කියනවා නෙමෙයි.ඒත් ඒකට තව හිතන්න තිබුනා.කොහොමකලත් දැන් ඒවා ඉවරයි බං.දැන්වත් අළුත් ජීවිතයක් ගැන හිතපන්..."
"මට කෙල්ලෙක් හොයලදීපන්.එතකොට මම හිතන්නම්..."
"හැම තිස්සෙම වැරදි තීරණ අරගන ඒවා හරිගස්සන්න යන්න එපා.දැන්වත් හරි තීරණයක් ගනින්.උඹ ගැන කතාකරන කොට නාමල් හැමදාම බනිනවා උඹට අතට ආපු චාන්ස් එක මිස් කරගත්තා කියලා.දෙන්නම එකට වීසා ඇප්ලයි කරලා හම්බුනහම අයෝමි නිසා උඹ මෙහෙ නතරවුනා.ඒ පාර ගියානම් අද උඹට PR එකත් හම්බවෙලා..."
"ඒකා ඉතින් මාත් එක්ක කතාකරන හැම දාමත් බනිනවනේ...ඒවා දැන් වෙලා ඉවරනේ...හදිස්සියේ හරි මට රටදාලා යන්න උනොත් මාව ගනින් හොඳේ..."
"ඔච්චර සැහැල්ළුවෙන් ඉන්නේ කොහොමද බං උඹ ;හෙන දුකක් හිතේ තියාගන....?"
"කවුද කියන්නේ මම දුකින් කියලා....බයිලා..."
"මගෙන් කුණුහරප අහගන්නේ නැතුව හිටපන් බං...කෙල්ලෙක් නැතිවෙන්න කෙල්ලෙක් එක්ක යාළුවුන එකා අවුරුදු 2ක් තිස්සේ කෙල්ලෙක් එක්ක යාළු නොවෙන්නේ විඳවන නිසා නෙමෙයි....?"
"පිස්සුද බං...මම කෙල්ලෙක් නැතුව ඉන්නකොට දැනෙන සොමිය විඳිනවා...."
"අනේ මේ...මගේ කට අවුස්සන්නේ නැතුව හිටපන්...මේ...ශාලිකා ගැන මොකද හිතන්නේ...?"
"මේ...පිස්සු කෙලින්න එපා බං...ඒකි පොඩි කෙල්ලෙක්.තාම ජීවිතේ දකින්න පටන්ගත්තා විතරයි.මට ඒකි ගැන එහෙම දෙයක් හිතිලම නෑ."
"මම නාමල්ට ඊයේ රෑ කිවුවා දවල්ට කන්න උඹ දන්න කෙල්ලෙක්ගේ ගෙදරට යනවා කියලා.නාමල් කියනවා උගේ වැඩේම ගම්වල ඉන්න කෙල්ලන්ට අතින් වියදම් කරලා කොළඹ පෙන්නලා උන්ව කොළඹ කෙල්ලන්ටත් වඩා කොළඹ කරලා හූල්ල හූල්ල ඉන්න එකළු.මේකත් එහෙම එකක් වෙන්න ඇති කියල තමයි නාමල් කියන්නේ."
"හිටපන්කෝ අද කතාකලහම මම ඕකට කියල දෙන්න..."
"සිරාවට...උඹ ගැන කල්පනා කරනකොට ඒ කතාව වැරදිත් නෑ තමයි.ඒත් මුඩ්ඩෝ මේ කෙල්ල හරි වෙනස් බං..."
"මගුලක් කියවන්නේ නැතුව හිටපන් බං...අපි දෙන්නගේ වයස පරතරය අවුරුදු 10ක්. ඒකි පොඩි එකියෙක් තාම.ඕවා ඒකිට කියන්න ගිහින් මේ තියන සම්බන්දෙත් නැතිකරපන්කෝ පුළුවන්නම්..."
"උඹට තාම කෙල්ලෙක්ගේ ඇස් කියන දේවල් තේරුම්ගන්න බෑ නේද....?තේරුම් නොගන්නවා නෙවෙයි.උඹ තේරෙන්නේ නෑ වගේ ඉන්න හදනවා.උඹ උඹවම රවට්ටගන්නවා.නැත්තන් ඒ ගෙදරට ගියවෙලාවේ ඉදන් උඹ දිහා බල බල අකුණු ගහපු ඇස් අදුරගන්න බැරිතරමට උඹ මෝඩයෙක් නෙමෙයිනෙ...."
"..............................."
"ඇයි උඹ කතා නොකරන්නේ...?හිත රවට්ටගන්න හදන්නෙපා බං....ඒ කෙල්ල නොගැලපෙනවනම් නොගැලපෙන්නේ ටිකක් දුර වැඩිකම මිසක වෙන දෙයක් නිසා නෙමෙයිනේ.ඒ පවුල් පරිසරයත් කියන්න වැරද්දක් ඇත්තෙම නෑ.කෙල්ලගෙත් කියන්න වැරද්දක් නෑ.උඹ උඹටම සීමවල් දාගන තවම අතීතයේ ජීවත්වෙනවා...."
"කටවහගනින් බං...අපරාදේ අරූ එන්නේ නැතුව උඹව විතරක් තනියම එවුවේ මේ ගමන යන්න."
"නාමළුත් ආවනම් උඹේ කන්දෙක පුරවයි අද....දැන්වත් ගොඩක් සීරියස් ගන්නේ නැතුව සැහැල්ලුවෙන් හිතන්න පටන්ගනින්.අවුරුදු 10ක් කියන්නේ මහාලොකු පරතරයක් නෙමෙයි කසාදෙකට."
"හම්ම්....මට දැන් මගේ ජීවිතේ කිසිම දෙයක් බලෙන් කරගන්න ඕනේ නෑ.දෙයක් වෙන්න තියනවනම් වෙයි.බලමු.....වෙනදෙයක් වෙයි."

-මතුසම්බන්ධයි-


කටුස්සා...

Sunday, August 9, 2015

වටිනාකම....



"පොඩ්ඩී...ඒයි පොඩ්ඩි...නැගිටිනවා...බලනවා වෙලාව කීයද කියලා.....අද ඉස්කෝලේ යන්නේ නැද්ද...?මහ රෑ වෙනකන් මොනවා කරනවාද මන්දා ටීවි එක ඉස්සරහටවෙලා...පාඩම් කරන්න කිවුවහම තමයි පොත අතට ගත්ත ගමන් නින්ද යන්නේ....නැගිටිනවා.ගිහින් ලෑස්තිවෙනවා ඉස්කෝලේ යන්න...."
හුටා....පරක්කුවෙලා නේන්නම්.යකෝ..දැන් කොහොමද ස්කූල් බස් එක අල්ලගන්නේ.කෝච්චියේ පිහිට තමයි අද.ඒත් කොහොමද තනියම යන්නේ...එපා වෙනවා අප්පා...මේ ටීවි වල ෆිල්ම් පෙන්නන එවුන්ව අල්ලලා ගස් බඳින්න ඕනේ.අපි වගේ ඉගනගන්න දරුවන්ව මුන් නොමග යවනවා ෆිල්ම් පෙන්නලා.
"තාම නිදිද...? මගේ යකා අවුස්සන්නේ නැතුව නැගිටිනවා.අවුරුදු දාහතකුත් වුනා.තාම අපි නැගිට්ටවන්න ඕනේ තොපිව.අපිට ටිකක් නින්ද ගියොත් එදාට ඉස්කෝලෙත් නෑ.තොපිට වියදම්කරන සල්ලි හොඳයි...."
"ස්ස්ස්...කෑගන්න එපා අප්පා.වටේ පිටේ අය හිතයි ඔයයි තාත්තයි රංඩුවෙනවා කියල.එහෙම හිතුවොත් ඔය දෙන්නටමනේ හොඳනැත්තේ.මිනිස්සු වැරදියට හිතයිනේ.......මොකද මොකද...හිනාව හිරකරගන ඉන්නේ...?ඔන්න අපිනම් දැක්කේ නෑළු හොරෙන් හිනාව තද කරගන්නවා..."
"මේ...වටේ පිටේ අය හිතන විදිහ ගැන අපි බලා ගන්නම්.ඒ ඔක්කොම දන්නවා මේ නැහැදිච්ච එකියෙක් හදාගන අපිට තියන වදේ.යනවා.ගිහින් ලෑස්තිවෙනවා..."
"මේ යනවා මැඩම්.මේ...කාලා යන්න වෙලාව නෑ.කෑම එක ඔතන්න.මම ගිහින් කන්නම්.ලොකූ....එකක් හොඳේ...උම්ම්ම්මා...."
"යනවා යන්න කුණුකෙළ නොගා මගේ මූණේ..."

හොඳ වැඩේ පොඩ්ඩි උඹටත්.රන්බීර්ව බලන්න ඇහැරලා හිටියා.දැන් පලයන්කෝ තනියම.අනික් එවුන් දැන් බස් එකේ ඇති.
කෝ මේ ටූත් පේස්ට් ටියුබ් එකේ ටූත් පේස්ටුත් නෑ.හම්මේ...හිස් බඩ ඉඳගන මේක මිරිකන්නේ කොහොමද...?ඔය ඇති..ඔය ඇති...මැද ගනින් දත් ටික ඉක්මනට.

දීපිකායි රන්බීරුයි ලවු කරනවා බලන් ඉඳලා මොනවද බොට හම්බුනේ.දැන් ඉතින් ලෑස්තිවෙලා දුවපන්කෝ පැයට හැතැම්ම හැටපහයි තුන්කාලට.

ඒවගේද අප්පා රන්බීර්ගේ සුදුපාට කුක්කු මූණ...හැ..ක්..තුක්...

ගොන් මෝඩි...ඒලෙවල් වලට තව මාස 3යි.තෝ උන් මගුල් නටනවා බලපන්.පොතක් අතින් අල්ලනවද ගෙදර ආවහම...

දීපිකාගේ හයිට් එකනම් මරු...මාත් තව අඟල් 3-4ක් උස ගියානම් හරි.එතකොට මාත් ඒ ගානට ඉඳී....ඇඇ......තුක්......

අදනම් හතාමාරට යන්න වෙන්නේ නෑ.ගලවපන්කෝ තුත්තිරි ඉතින්...හුටා...ගවුම දනිස්සට වඩා කොටද...?නෑ...නෑ...ශේප්...නැත්තන් එහෙම අර තඩි ගෑණී වාටියත් ලෙහයි.

මේ මොකද අප්පා කවුන්ටරේ සෙනග නැත්තේ....? 6.40 ගිහින්ද?...ඒක ගිහින්නම් උඹ මලා තමයි පොඩ්ඩි....කවුන්ටරේ අද අර සුදු අයියත් නෑ.නාකි අංකල් කෙනෙක්නේ ඉන්නේ...

"අංකල්...6.40 ගියාද?"
"දැන් 6.43යි නේ.ඒක යන්නේ 6.40ට..."
"අප්පට බොල මුගේ ගනන්...මූ හෙන ආතල් එකේද කොහේද ඉන්නේ කෝච්චිය වෙලාවට ආවට.සමහරවිට මේකගේ මුළු සර්විස් එකේදිම කෝච්චියක් වෙලාවට ආවම වෙන්න ඇති.ඒක තමයි මූ රජවුනා වගේ ඉන්නේ....නොදකින් නාකි පප්පා....
"ගම්පහට යන ඊළඟ එක කීයටද තියෙන්නේ...?"
"ආපහු තියෙන්නේ 7.05ට"
අදනම් තුත්තිරි නෙමෙයි.මැඩම්ගේ සුදු කෙසුත් ගලවන්න වෙයි මට.මටමමනේ වෙන්නේ...හොඳ වැඩේ පොඩ්ඩි උඹට.අයියෝ...රන්බීර්.
"ගම්පහට එකක් දෙන්න"
මොකාද මේ මගේ ඇග දිගේ නගින්නේ...?හැටි, කැස්වටුවෙක් වගේ....
"මටත් දෙමටගොඩ එකක්..."
ඇයි වදේ...මුනුත් කොල්ලොද...? මං වගේ හුරුබුහුටි කෙල්ලෙක් ඉන්නකොට ඔළුවට උඩින් අතදාලා ටිකට් ඉල්ලන්නේ....අම්මපා අපේ එකෙක්වත් නැතිවුන හැටි මෙතන...හිටියනම් කලිසම ගලවනවා ඔළුවෙන්.
"රුපියලක් තියනවද...?"
"නෑ අංකල්..."
"ඔය මහත්තයා ලඟ රුපියලක් තියනවද..?"
"නෑ.."
"මාරු නැතුව මම කොහොමද ඉතුරු දෙන්නේ....ආ...මෙතන රුපියල් 2ක් තියනවා.ඔය දෙන්නා පස්සේ බෙදාගන්න..."
බෙදා ගන්න කියන්නේ අංකල් හිතුවද දන්නේ නෑ මගේ ගාව අඬුවක් තියනවා කියලා මේක දෙකට කපන්න.අවුලක් නෑ.ටොපියක්වත් කන්න බැරියැයි.

මොන මල මගුලක්ද...මූ මගේ දිහා බලනවා බලනවා ඉවරයක් නෑනේ...හැටි පොලොස් කොට්ටෝරුවගේ...ඔහොම බලන්න එපා මෝඩියේ...ටිකක් ගණන් උස්සලා හිටපන්.උඹත් හරියට හැසිරෙන්නේ මීට කලින් උඹ දිහා කොල්ලෝ බලලා නෑ වගේනේ....

අන්න ආයි පාරක් බලනවා....එහෙමටම අවුලක් නෑ ඉතිං....පැත්තෙන්නම් ටිකක් අමීර් වගෙයි.ඒත් රැවුල තමයි අප්සට්.ඒක වැවුවනම් මූනේ තියන කැහැටු ගතිය පෙන්නේ නෑ.අන්න ආපහු බලනවා...අහක බලපන්.අහක බලපන්...

කන් දෙකනම් ගානට තියනවා.නහයත් අවුලක් නෑ.කොඩේ තමා අවුල.තව ටිකක් වවලා ස්ට්‍රේට් කලානම් ගති.මම හිතන්නේ තාම ට්‍රේනින් වෙන්න ඇති.ඒකනේ අත් කොටට ඇඳලා යන්නේ.ටයි දාන්නේ නැත්ද.....?එහෙනම් වැඩක් නෑ...පොඩි රස්සාවක්ද දන්නේ නෑ කරන්නේ...නෑ..නෑ..සමහර විට ටයි එක බෑග් එකේ වෙන්න ඇති.ඔෆිස් එක කිට්ටුකරලා දාගන්නවා ඇති.මොන පාට ටයි එකද්ද දන්නේ නෑ දාන්නේ....?ශර්ට් එකටනම් මැච් වෙන්නේ කහපාට එකක්.මටත් පිස්සු.මේකා මොන පාට ටයි දැම්මත් මට මොකද....

මෙන්න මූ ආයි බලනවා.අහක...අහක...මේ හෝන්තු කෝච්චියත් මොන මන්ගල්ලෙක ගිහින්ද මන්දා....
කලිසමනම් නීට් එකට මැදලා.සමහර විට තාම ඇඳුම් අයර්න් කරන්නේ අම්මා වෙන්න ඇති.ශුවර් අම්මා තමයි.ඒකනේ සපත්තු දෙක හරියට පොලිශ් කරලා නැත්තේ.ඒ කියන්නේ අම්මා කරන්නේ අයර්න් කරන එක විතරයි.මට හම්බුනානම් මම හදලා ගන්නවා මේකව.මාත් එක්ක හිටියනම් සතියක් යන්න කලින් මේකා මගේ ඇඳුනුත් හෝදයි.

අන්න කෝල් එකක්.කවුද දන්නේ නෑ...?කෙල්ලද මන්දා.... නෑ..නෑ...කෙල්ල නෙමෙයි.පැණි පාටක් නෑ මූණේ.ඔෆිස් එකෙන් වෙන්න ඇති.පෝන් එකනම් එළ.S4 එකක්.ඒත් කවුද දන්නේ කොරියන්ද කියලා.දැන් කොල්ලොයි බල්ලොයි හැම එකා ගාවම ඔය කොරියන් හුචක්කුනේ....

"දෙවනි වේදිකාවට දැන් පැමිනෙන දුම්රිය කොළඹ කොටුව දක්වා ධාවනය කෙරේ.එය නවත්වනු ලබන්නේ......."

අම්මෝ ඇති යන්තන් මේක එනවා....අප්පටසිරි.මෙන්න මේකා මගේ දිහා බලාගන මගේ ලඟටම එනවා.නොදකින්...කරුමෙට අපේ එකෙක්වත් නැතිවුනානේ අද....දැන් මොකද කරන්නේ....අනේ දෙවියනේ...චූ යයිද මන්දා...අඩෝ පොඩ්ඩි...බය නැතුව වගේ හිටපන්. 

"එක්ස්කියුස් මී මිස්..."
හුන්නැති විදිහට අහක බලාගන හිටපන් ගණන් උස්සලා තව පාරක් කතා කරනකම්.
"එක්ස්කියුස් මී නංගී..."
මලා...නංගිළු.
"ඇයි...?"
"නංගි...මට අර මගේ රුපියල ගන්න පුළුවන්ද....?ඔයාගාව මාරු නැත්තන් මෙන්න රුපියලක්.මට පස්සේ හම්බුනේ සාක්කුවේ තියලා.මේක අරගන මට අර රුපියල් දෙක දෙනවද.....?"
"..................................."

           -නිමි-

කටුස්සා....

Wednesday, August 5, 2015

තහනම්....



කල්පයක් තරමටම වටිනවා තප්පරෙත්
ඔබ දිහා බලාගන හීන අහුලන විටක
කොබෙයියොත් ගෙට වදින රතුපාට අහස යට 
ඉඩෝරෙට අහුවිච්ච සඳත් පණ යදින කල
කළුපාට ඇස් ඇතුලේ මගේ රුව සොයන විට
ගයන්නේ සරදමටද  රැහැයියොත් නිදි වැදුන

උකුල මත සුව යහනෙ දැනෙනවිට නුඹේ අත්ල
පිළිවෙලක් වෙයිද දැන් දඟවැටුන කෙහෙරැල්ල
හැරුන විට මගෙ මුවට තදවෙනා නුඹෙ නෙරිය
හපන්නද හිමින් දැන් ඇඹරෙන්න බෑ හොඳද
ඉනවටේ වෙළුන අත සොයනකොට මුදු මෙලෙක
දැඟළුවොත් බලාගමු මරනවා මම උඹව

වදනකඳු නොදොඩාම යොමනවිට නෙතට නෙත
ඔබෙ සුවඳ දැනෙනකොට කොහොම ඉවසම්ද මම
මේ ලෙසින් රහසේම ඉන්නෙමුද හැමදාම
මටද නුඹ නුඹට මා අයිති නැති ලෝකයක
වෙන්වෙනා හැමවිටම මම ගන්න නුඹේ හිත
මගේ ලඟ දෙනෙත මෙන් සදාකල් රැකෙනු ඇත
තවම නොහැකිද නුඹට බිඳින්නට බැඳි පවුර
පලක්වෙද ඔහුට නුඹේ හිත නොමැති හිස් සිරුර


කටුස්සා....

Sunday, August 2, 2015

විරාගී....

සිනා පිපෙන මල් අතරෙක ජීවිතයක සුවඳ සොයන
නුඹේ මුදු වදන් අභිමුව සිල් ගත්තා සේ නවතින
නෙලූ පලා බිම දා යලි දුවන මුවන් දිහා බලන
මේ සිත නවතනු හැකි වෙන හදක් ඇතිද මා කලඹන

රාග රතු වලා සිපගනු රිසියෙන් හැම බැමි බිඳලන
සුසුම්සර සිහින් කෙඳිරිය අතරින් දා බිඳු වැගිරෙන
වල්මත් සිත දිවයන හැම මං පෙතකම මැවී පෙනෙන
නුඹ නෙතු දකිනා සිත යලි නිවී සැලෙයි මග නොදන්න

දකිනු රිසින් පියයුරු තුඩු අසංවරව ලැමට එබෙන
නෙතු නුඹලඟ නැවතී කුමකට සොයයිද නුඹ දෙනයන
මත් බඹරිඳු විත් පුරවා හදමැද තැබු රාග බඳුන
හිස්වන්නේ ඇයි නුඹ ලඟ සිත වදදෙයි මා රවටන

උදෑසනම නුඹ දුටුවිට මල් පිපෙනා සිත් අහසම
නුඹත් එක්ක හිනහෙන හැටි දුටුවද නුඹ මල් ගොමුවම
සමුගත්තත් නොගන්න හිත නුඹත් එක්ක මුළු දවසම
නතරවෙලා නටන නැටුම කියනවාද කල් නොඇරම


කටුස්සා...