Monday, April 6, 2015

ප්‍රතිඋපකාරය....




අප්පච්චිගෙ අසනීපෙට පොඩි මල්ලිගෙ ඉස්කෝලෙට
නිදිමරනා දෙනෙත පියෙන මගේ සැවුල් නවාතැනට
ගෙවා නිමාවෙන විට පඩිපත ඉතිරිවුනේ කොච්චරක්ද
ඒ හැම සතයම වැයකලේ උඹටයි මම ආදරේට

අම්ම නමට ලියුම් යවා ෆෝන් කාර්ඩ් දමා නුඹට
එළිවෙනකන් අකුරු කෙටුවේ උඹ මට වටිනා හින්දම
දමා සීට්ටුව ගෙලලන පවුම් භාගේ මාල හීන
වීසි කෙරුවෙ එලියට මම පළඳවන්න ඔටුනු නුඹට

නොකා බඩට ගත් කමිසය අරගන  නුඹහට දුන්නම
මුවමත ඇඳෙනා සිනහව වටිනව මට රටක් සේම
තිසරපටේ ගැසුව කට්ට ඇනුණත් ඉදහිට පිට මත
එයට වඩා රිදුනා මට එකම කමිසෙ අදිනා විට

ලබා උපාධිය නුඹ හෙට කැන්දන් යන හීනය උඩ
උකස් කෙරුවෙ මගේ උපාධිය මැශිමට කම්මල යට
තනිවුන විට නුඹත් සමග පුස් ගඳ පිරි කාමරේක
පළල්වුනේ මගේ දෙපා නුඹ මත බැඳි විශ්වාසෙට

රස්සාවට ගිය දිනයෙදි ඇඳුන සිනා සිහිවෙන කොට
අනේ උඹට හොදක් වියන් දෙවියෝ යැද්දා මගෙ සිත
මම කොටනා මැසේජ් වලට උඹේ උත්තර අඩුවෙන කොට
සනසගත්තේ මගෙ සිත මම ඔබ වැඩයැයි සිතා සැරට


දිනක නුඹම ගුණ වැයු රුව මදිවන විට නුඹේ ඇසට
මගේ සරල පුරුදු නුඹට අසංවරයි සිතුන විටක
මූණට ගසනා අයුරින් නුඹ මට එය පවසන විට
දන්නවාද වැටුන කඳුළු නෙත් බොඳවී මැශිම මතට

ලයින් ලීඩර් අනුලක්කගේ බැණුම සැරනිසා සවනට
අමරදේව මාස්ටර්ගෙ ගීත සැරයි මගෙ ඔළුවට
මොනවද මේ අහන සිංදු ඕවත් සිංදුද ඇහුවට
මගෙ හද කොඳුරන ගීතය ඇහුනෙ නැද්ද නුඹේ සවනට

අපි වෙන්වෙමු හරියන්නෑ අපේ ඇසුර මේ විදිහට
නොකිය කිවුවේ නුඹ මා හට මා මදි බව උඹේ තත්වෙට
මේ තත්වෙන් ඉදන් මෙමා ජීවිතයක් ගොඩනැගුමට
කරපු යුද්දේ අවසානයේ දිනුවේ කවුද කියන් මෙමට





කටුස්සා....

49 comments:

  1. සමාජයේ තවත් එක් පිරිසකගේ ජීවිත කතාවක්. හැම දෙනාම දන්න වැඩිය ගණන් නොගන්නා ප්‍රශ්නයක්. ලස්සනට දැනෙන්න කවි කරල තියෙනවා. පට්ට.

    ඔන්න අර මම කලින් දවසක කීව උඹේ සැඟවුණු හැකියාව මතුවීගෙන එනව :P. පේනවා නේද තමන් කාපු බූට් ගැන කවි ලියන් නැතුව හිටියම උඹගෙ මොලේ ඔක්කොම ටික වැඩ කරන ලස්සන :P.
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. හැම ජීවිතයකම මොකක් හරි කතාවක් තියනවා අපිට හිතන්න.ඒත් ඇත්තම කිවුවොත් ඒ හැම කතාවක්ම හිතන්න බෑ අපිට.අපි ඉන්න තරගෙත් එක්ක ඒක ප්‍රායෝගිකත් නෑ.නිදහසේ හිතන්න පුළුවන් වෙලාවට ,අර හැංගිල තිබුන මනුස්සකම එළියට පනින වෙලාවට ඕවගේ ඒවා ලියවෙනවා.

      උඹ මගුලක් කියනවා.ඉස්සර පෑන අතට ගත්තහම ඔහේ ලියවෙනවා.කිසි මහන්සියක් නෑ.ඒත් දැන් හෙන ගේමක් දෙනවා වැඩේ පටන් ගන්න.පටන්ගත්තට පස්සෙනම් අවුලක් නෑ.

      Delete
  2. //නිදිමරනා දෙනෙත පියෙන මගේ සැවුල් නවාතැනට//

    පට්ට බං පට්ට

    එලිවැට රකින්ඩ බලහං

    තව ටිකක් මටසිලුටු කරන්ඩ බලහං ( මටත් බැ $ත්ත )

    ReplyDelete
    Replies
    1. මේ මාතෘකාව අරගත්තහම කියන්න දේවල් ගොඩයි.ඒවා කවියකට පැක් කරන්න හෙන ගෙමක් දෙන්න වෙනව බං.
      එළිසමය'ම රැකල ලියන්න බලන් ලියපු එකක් නෙමෙයි.මේ වගේ ටිකක් පිළිවෙලකට ලියවෙයි කියල හිතුවෙත් නෑ.ඒත් ඒක එහෙම ලියවුනා.ඔය මටසිළුටු වැඩේනම් මට බෑ බං.මම ඒක තේරුම් අරං ඉන්නේ.ඒ නිසා මම ඒක අතෑරලා ඉන්නේ.

      Delete
  3. නියමයි බං.. උඹ හරි ලස්සනට මේක අකුරු කරලා.. හිතට දැනුනා..

    ReplyDelete
    Replies
    1. මම හැමදාම කියනවා වගේ උඹලගේ හිතට දැනුනම් මම දිනුම්.

      Delete
  4. පට්ට ස්ටෝරියක් බන්.....
    ඒ වගේව සත්‍ය කතාවක්.....
    නියෙමට ලියලා තියෙනවා..

    ReplyDelete
    Replies
    1. මගේ පරණම විවේචකයා වගේම දිරිගන්වන්නා එහෙම කියනවනම් තව වෙන මොනවද?

      Delete
    2. අඩෝ කෝ අර කතාවේ ඉතුරු ටික....
      ඒක දානවා කිව්වට දැම්මේ නෑ....
      හොද හිතින් දාපන් ඒක...

      Delete
  5. බොහොම අපූරුයි කටුස්සෝ. මේ සමහර වචන කොහෙන් එනවද කියලා හිතෙනවා.
    යකෝ “ට“ යන්නට මෙච්චර හරියක් කලෑකියද :-)

    ReplyDelete
    Replies
    1. යහපාලණය යකෝ යහපාලණය....ඒක තියනකොට වචන එනවලු එක දිගට.
      "හු" යන්නට වඩා "ට"යන්නට යමක් කමක් කරගන්න පුළුවන් නේ...D

      Delete
  6. මේක මම වෙනුවෙන් උඔ ලියපු එකක්...දවසක බෝතලක් ගහලා කතා කරමු උඔට ලියන්න කතා දහසක් කියන්නම් මේ වගේ..
    එල ද බ්‍රා උඔගේ ලියවිල්ල..
    බ්‍රෑන්ඩ් එක ගල්

    ReplyDelete
    Replies
    1. මේක ලියන කොට මට මතක් වුනෙත් උඹවයි අටමවයි.ඒවුනාට හිතුවට වඩා උඹට මේක වැදිලා.ඒ උඹ මේ ක්ෂේස්ත්‍රයේ වැඩ කරන ඒ ක්ෂේස්ත්‍රයට ආදරය කරන ඒකේ වැඩකරන කෙල්ලන්ට කොල්ලන්ට ආදරය කරන නිසා වෙන්න ඇති.ඔය මනුස්සකම දිගටම තියා ගනින්.උඹට නැතිවුනත් පොඩි මෙන්ඩට හරි ඒ පිණ පලදේවී.

      Delete
    2. අනිවා මචං සදු පොඩි මෙන්ඩා දෙන්නම මගේ රස්සාවට ගරැ කරනවා

      Delete
  7. සාරිකා විචාරනීApril 6, 2015 at 9:32 PM

    වින්දනය කළ රසය වචන බවට පෙරලන්න අපහසු වුනත් මමත් ගොඩක් රස වින්දා

    ReplyDelete
    Replies
    1. කවුරු හරි මේවා කියවලා රසවිඳින බව දැන ගන්න ලැබෙන එකත් සතුටක්.ඒත් ඒ රසය ඔබව විපිළිසර කලාටනම් සමාවෙන්න මට.

      Delete
  8. කියාගන්න දෙයක් හිර්හාගන්න බෑ මචෝ. සාමාන්‍යෙන් මේකෙ අනිත් පැත්තයි වෙන්නෙ බොහෝ විට. ඒත් අහිංසකියකගේ දෘෂ්ඨි කෝණයෙනුත් උඹ මේක හරි අගේට ගලපල. හැම කොටසක්ම එකකට එකක් නොදෙවෙනියි. මෙහෙම බෝස්ත් පෙම්වතියනුත් ඉන්නවා. එහෙම අයට මෙහෙම කරන පාහරයොත් ඉන්නවා.

    අතිවිශිෂ්ඨයි මචෝ.

    ReplyDelete
    Replies
    1. //තිසරපටේ ගැසුව කට්ට ඇනුණත් ඉදහිට පිට මත
      එයට වඩා රිදුනා මට එකම කමිසෙ අදිනා විට//

      //මොනවද මේ අහන සිංදු ඕවත් සිංදුද ඇහුවට
      මගෙ හද කොඳුරන ගීතය ඇහුනෙ නැද්ද නුඹේ සවනට//

      හදවත ගොඩක්ම සංවේදී වෙනව බං මෙතනදි.

      Delete
    2. ගල් කාලක් කටට හලනවා..

      Delete
    3. yes එකෙම්ම ඒ වචන පට්ට

      Delete
    4. මනෝශ්-මම මේකෙදි දැක්ක ගොඩක් සංවේදී චරිතයක් උඹ.මට ඊරිසියයි අනාගතේ උඹෙන් ඉගනගන්න පොඩි එවුන් ගැන.ඒ වගේම දුකයි මම ගැනම උඹල වගේ ගුරුවරු හම්බනොවුන එකට අපේ පාසල් කාලෙදි.
      ඔය කතාවේ වින්දිතයා ගෑණු උනත් පිරිමි උනත් හේතුව මොකක් උනත් ගැටළුව තියෙන්නේ මනුස්සකමේ.

      Delete
    5. මෙන්ඩා-මට මැවිල පේනවා යකෝ මූ කාලක් ගහල පිස්සු නටන හැටි.

      Delete
    6. ඔමා-ඒ වචන වගේම ඔය වචන ටිකත් පට්ට.

      Delete
    7. කවුද බන් වින්දිතයා ? අපේ සිංහයගෙ මල්ලි කෙනෙක්ද හි හි හි

      Delete
  9. කසුට්ටා අපි කිව්වා වගේ ම මාර වෙනසක් වෙලා... දැන් කවි නම් සුපිරියි....

    ReplyDelete
    Replies
    1. උඹලට අමතක වෙලානේ බොල මම කටුස්සෙක් බව.කටුස්සෝ කියන්නේ වෙනස්වෙන සතෙක් බං.
      දිරි ගැන්වීමට ස්තූතියි මචෝ...

      Delete
  10. හරිම අපූරුවට අකුරු කරලා තියෙනවා.. මේ වගේ චරිත අද සමාජයේ ඕන තරම් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. බොහොමත් ස්තූතියි තුශානි.මේ ලෝකේ පාට ගොඩක් තිබුනත් කලුපාට වැඩියි.

      Delete
  11. අද කාලේ සමහර කෙල්ලන්ගෙ ඇත්ත කතාව...

    ස්තුතියි කටුස්සා අතීතය තප්පරෙන් අමතක කරල දාන සමහරක් පුද්ගලයන්ට හීනියට පාරක් රිදෙන්න ගැහුවට.

    ReplyDelete
    Replies
    1. ගල් බොතලයක් කමෙන්ටුව

      Delete
    2. අර කෙල්ලන්ගේ කියලා එකතුකරපු විශේෂනයටනම් කටුස්සාගේ විරෝධය.ඕක කාගේ අතින් සිද්දවුනත් ප්‍රථිඵලය එකමයි.
      මේ ලෝකේ සමහර අය අතීතය එක දවසින් අමතක කරලා දානවා.තව සමහරු ඒ අතීතය අමතක කරන්න බැරුව ජීවිත කාලෙම දුක් විඳිනවා.

      අඩෝ මෙන්ඩා උඹ මනෝශ්ට කරපු දේ මේකටත් කරන්නද හදන්නේ?අරූටනම් කාලයි.තනුවට බෝතලයක්ම?වැඩි නැද්ද බං?

      Delete
  12. එල කසුට්ටා , කවි ලියන්න උඹට කියල දෙන්න ඕන නෑ,
    කපුගේ ගේ සන්නාලියනේ , උරේෂාගේ මගේ පෙම්වතා , තුන්මන්සල ළඟ බලා සිටින්නම් ..වගේ ගීත හැම එකේම සංකලනයක් මේක ඇතුලේ දැක්කා . එල කිරි

    ReplyDelete
    Replies
    1. ඇයි බං "රෑ වැඩ මුරය" මිස් වෙලා ඔතෙන්ට..

      Delete
    2. ඒ සිංදුත් එක්ක බලන කොට මේවා කාර්ටූන් විතරයි මචෝ.

      Delete
  13. සංවේදී බං... //නිදිමරනා දෙනෙත පියෙන මගේ සැවුල් නවාතැනට// අටමා කිව්වා වගේ පට්ට.. එක නං සහතික ඇත්ත. අපේ නැන්ද කෙනෙක් ඉන්නවා බියගම. කුණු ලෝබි. ඔය වගේ කුකුල් කූඩු ටිකක් හදාගෙන කුලියට දෙනවා ගාමන්ට් යන ළමයින්ට. ඒවා අතුල දැක්කම සංසාරේ එපා වෙනවා. ඉටි රෙද්දක් ගහල නිදියන කොටස වෙන් කරලා. ඉන්නෙ උයන්නේ ඔක්කොම ඉතුරු කෑල්ලේ. භූමිතෙල් ලිප් වලින් උයන්නේ. කාමර දහයටම අපාය සිහිවෙන ටොයිලට් 2ක් තියනවා. වතුර ලිඳෙන්.මම දවසක් මූණටම කිව්වා "නැන්දේ මිනිස්සුන්ට ඉන්න තැන හරියට දීල සල්ලි ගන්න" කියල. ඔවුන් එන ආත්මෙ අපාගත වෙනවා. කදෙකුත් දාගෙන ඒ ළමයින්ට බඩු විනුනන්න. බඩු ගිනි ගණන්. පොල් බෑය විකුණනවා. බෝංචි කරල් පහ විකුණනවා.ඕව දැකල තියන නිසා මං නං ජීවිතේට "ගාමන්ට් කෑලි" කියල කියන්නෙ නෑ ඒ කෙල්ලන්ට.

    ReplyDelete
    Replies
    1. මගේ ආචාරය උඔට සඡ්ඡා...කවදාවත් වුන්ට කෑලි කියන්න එපා..බිබි ඉන්න වේලාවක මගේ යාලුවෙක් මගේ කෙල්ලන්ව අන්තිම තැනට දාලා කතා කරා ඉවසලා බැරිම තැන බෝතලේ කඩලා ගත්තා අනින්න..වුන් නැත්නම් අපේ ගෙවල්වල ලයිට් එකක්වත් පත්තු වෙන්නෙ නෑ කියලා මම සදුටත් කියලා තියෙන්නෙ.

      Delete
    2. ඒ "කෑලි" වල අගය හොඳට දන්න එකෙක් විදියට උඹලගේ වචන වලට සජ්ජො, මෙන්ඩො, මෙන්න මගේ සැලියුට් එක. සජ්ජට මගේ මෙන්න මේ පෝස්ට් එක කියවන්න ලැබිල නැතුව ඇති. ඉඩ ලැබුනු වෙලාවක කියවහං.

      http://masandumal.blogspot.com/2014/08/blog-post_15.html?m=1

      Delete
    3. ක‍ටුනායක ඇඳුම් මහන අපේ නංගිට
      හිනාවෙන්න එපා ඔහොම සමච්චලේට
      කුමාරියක් නොවුණ නිසා රාජ මැදුරක
      බමරුනි වින කරන්නෙපා ගමේ සුවඳට

      අපේ ගමේ නැති බැරිකම් නිසා කොළඹට
      ගතේ දිරිය කාසිවලට අලෙවි කෙරුවට
      සිදාදියේ සමනළයිනි යනෙන මගතොට
      හාද වෙන්න හදන්නෙපා කෑලි කිය කිය

      සීතල කාමර නොපැතු ලෑලි මැදුරක
      බෝඩින් වී කලාපයේ නිදිවැරුවාට
      ඉර හඳ තරු සහතික වී අපේ ගෙපැලට
      දීග යන්න සුබ දවසක් ඒවි නංගිට

      -මංජුලා දිල්රුක්ශි

      Delete
    4. සජ්ජා
      මේ කවියයි මීට පෙර ලියපු අනිකයි දෙකම ලිවුවේ කෙටිකතා දෙකක් ලියන්න ගිහින්.කම්මැලිකම නිසාම ඒවා ප්ලොට් දෙකක් විතරක් වුනත් ඒ කියන්න හදපු දේ කවියෙන් කියන්න හදපු උත්සහයක් විතරයි මේ.මගේ ශක්ති ප්‍රමාණය අනූව මට මීට වඩා ඔය බෝඩිම්ගැන කතාකරන්න බෑ මේ කවිය ඇතුලේ.ඒ කතා කරපු දේ ඇතුලින් මම කතාකරන්න හදපු දේ දැක්ක එකට උඹට ගොඩක් ස්තූතියි.කම්මල ඇතුලේ තත්වය පැත්තකට දැම්මත් ඔය බෝඩිම් ඇතුලේ තත්වය දිහා බැළුවහම මේ කෙල්ලෝ කොල්ලෝ විඳින ජීවිතය තේරුම්ගන්න අමාරු නෑ.අපේ ගෙවල් පැත්තෙත් ඔය ඇඟළුම්කම්හල් තියන නිසා ඔයගැන මම හොඳට දන්නවා.ඔය බෝඩිම්වල ඇන්ටිලම තමයි කෙල්ලන්ට සල්ලි පොළියට දෙන්නෙත්.ඒ සල්ලි දෙන්න පරක්කු වුනොත් ෆැක්ටරිය ලඟ රැකලා ඉඳලා කනේ තියන කරාබු දෙකත් ගලවන්යන කාළකන්ණි ටිකක් උන්.

      Delete
    5. මෙන්ඩා
      ඔය කෙල්ලන්ට ඔය විදිහට කතාකරන්නේ පොන්නයෝ.ඒ ගැන සැකයක් නෑ.කලාපේ සංගීතයක් තිබුනට පස්සේ පහුවදා උදේ එතනට ගිහින් වැටිල තියන ජංගි ගනින්න බල්ලෝ දාස් ගනන් හිටියට,උන් විඳවන ජීවිතේට හයියක් වෙන්න හිතන එවුන් හරි අඩුයි බං.
      මනෝශ්-
      "ගාර්මන්ට් කෑලි" කියල ඔය කෙල්ලන්ට අපහස කරන පොන්නයෝ දන්නේ නෑ මේ රටේ ආර්ථිකය මේ තත්වෙන් හරි තියෙන්නේ ඔය කියන "කෑලි" අතේ කියලා.

      Delete
    6. මගේ කෙල්ලෝ දැන් ඉස්සරට වැඩිය හොදයි සමහර ළමයි ඉන්නවා ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරන ඒත් හැගිම් වලදි වුනුත් කෙල්ලෝනේ බං.
      උඔ දන්නවද බොලෝග් වලදිම මුන ගැහුන නංගි කෙනෙකුට අසනිපයකට ඉන්දියා යන්න ලක්ෂකයට ආසන්න මුදලක් එකතුකරලා දුන්නාෙ මගේ කෙල්ලෝ ඒ මම වෙනුවෙන් මගේ වචනෙට.

      Delete
  14. නියමයි කටුස්සෝ.වචන ටිකයි. කියවෙන කතාව සමාජේ අපි අතර නිතර දකින්න ලැබෙනවා ඒත් ඒ කිවූ විදියටම සන්නාලිය හැමදාමත් කඳුළු සලනවා අපේ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් නොවෙන නිසාම,

    මං කවි ලියන්න දන්න එකෙක් නෙමේ,ඒත් අර්ථ රසය වගේම කවි රසය ගැනත් තව හිතුවනම් එල ට එයි.. අර අටමා කිවුවා වගේ

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්....එක කාලෙක වැඩසටහනක් ආවා ඔය සන්නාලියන්ගේ ජීවන තත්වය උසස් කරන්න කියලා.වික්ටර්,දීපිකා වෙනි අය ඒ ගැන ගීතත් ගැයුවා ඒ වැඩසටහන තුලින්.ඒත් ඒක එතනින්ම ඉවරවුනා.මිනිස්සුන්ගේ ආකල්ප වෙනස්කරන්න හරිම අමාරුයි බං මේ රටේ.මේක ඇතුලේ ඉන්න එවුන් හරි මමත්වයකින් ජීවත්වෙන ජාතියක්.තමන් විතරක් හරියි කියල හිතන මුන්ව වෙනස් කරන්න හදනවට වඩා අර උඹ කිවුවා වගේ කපුටන්ට ෆයිබර් වලින් කූඩු හදන හැටි කියල දෙන එක ලේසියි.
      කවි රසය ගැන කියන්නනම් තියෙන්නේ කවි ලියන්න දන්නේ නැති මම කොහෙන් කවි රස හොයන්නද කියල තමයි.

      Delete
  15. සමහර වෙලාවට හිතට එන දේවල් කියන්න අපි ලඟ තියෙන වචන මදි වෙන්න ඇති. නියමයි කියලා විතරක් කියන්නම්........

    ReplyDelete
    Replies
    1. ඒ වචන ටික ඇතුලේ ලොකු කතාවක් තියනවා.

      Delete
  16. හන්තානට පායන හඳ ලස්සනයිද බලන්න..
    මා නොදකින ඒ හීනය ඔබට හැකිය දකින්න..

    මා ගැන මතකය ගුලිකර මහවැලියට දමන්න..

    හැබැයි මේ කතා නායිකාවට එච්චරම පරිත්‍යාගශීලි වෙන්න හිතක් නෑ.. අසාධාරන විදියට ගැහැණු කමත් උදුරගත්ත නපුංසකයෙක් ලඟ කුවේණි වගේ හෙණ ඉල්ලන්නේ නැතුව මෙහෙම හරි ඉවසන එක ලොකු දෙයක්.. තව ටිකක් මහන්සිවෙයං *ත්තෝ මෙච්චර ලස්සන ප්ලොට් එකක් තියෙනකොට. බොරු කියන්නේ මොකටද කවි ටික ගැනනම් සෑහීමකට පත් වෙන්න බෑ.. තෝ මහ කම්මැලියෙක් ඒ අතින්.

    ReplyDelete
  17. මාරම අදහසක්! හැබැයි ඉතින් තව කැටයම් දාලා ලියන්න තිබුනා අපරාදෙ.

    ReplyDelete
  18. සම්මානයකට සලකන්න සුදුසු කවි පෙළක් මටනම්. මගේ චන්දය වැටෙනු ඇත. එලිසමයේ ප්‍රශ්නය තැන තැන්වල තිබෙනවා තමා.

    ReplyDelete
  19. පින්තුරේ ඉන්න ගනු ළමයාගෙන් අවුලක් නැහැ නේද දැම්මට?
    http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/16696-2015-04-23-22-18-53

    ReplyDelete