ගේ ඉස්සරහා හරි කලබලයක්. පොඩි පොඩි කුරුල්ලන්, ලේනුන් එන කුරුලු ලෑල්ලට නීල කොබෙයියෙක් ඇවිත්. ඒකා හත් අවුරුද්දක් සාගින්දරේ හිටියා වගේ කුරුලු ලෑල්ලේ තිබ්බ පාන් ටික ගිලිනවා. පීඩිත පන්තියේ අනිත් එවුන් ඒකට දැඩි උද්ඝෝශනයක. බලවන්තයට උන්ගේ උද්ඝෝශනය ගානක්වත් ගියාද....? නෑ සහෝදරවරුනි... ඒකා පාන් ටික ඔක්කොම ගිලලා බිමට බැහැලා නන්නං ගහේ බිම වැටිලා තිබ්බ ගෙඩි වලටත් දෙතුන් පාරක් හොටෙන් ඇන්නා. රස හිතට අල්ලන්නේ නැතුව ඇති, ආපහු ඉගිල්ලිලා ගියා.
නන්නං හෝ නමිනං ලෙස ප්‍රාදේශීය වශයෙන් ව්‍යවහාරවෙන ගහේ කඳ පුරාම ගෙඩි පිරිලා. ගොඩක් ගෙඩි බිම වැටිලා. ගසේ මැද හරියේ තියන ගෙඩි පොඩියි.ඒත් පොළවට ආසන්න කඳේ මුල හරියේ ගෙඩි ලොකුයි. කෝටු කෑල්ලකින් මුල හරිය හෑරුවනම් අල්ලක් තරම්වෙන ගෙඩිත් හොයාගන්න පුලුවන්. ආ... ඒක හොයාගත්තේ චුට්ටක්කයි මමයි පොඩි කාලෙදි.චුට්ටක්කා.... චූටි මාමගේ දුව. අපේ නෑදෑ සනුහරේ ළමුන් අතරින් මගේ වයසට කිට්ටුමකෙනා. මටවඩා අවුරුද්දක් වැඩිමල්. අම්මගේ බාලම මල්ලිට සහ ලකීට දාව ඉපදුන ,අදටත් මගේ හොදම යෙහෙළිය. ලකී.... ලක්ශ්මි නමින් ඉපදුනාට චූටිමාමා කතාකලේ ලකී කියලා.ඒ ආභාශයෙන් පොඩිකාලේ ඉඳලම කකී,පකී.... ආදි නම්වලින් කතාකරලා තියනවා ඇරෙන්න කවදාවත්ම ඇයට අනිත් අය කියනවා වගේ ලකී නැන්දා කියලා කතාකරලා නෑ. අදටත් ඇය මට ලකී. 1987දී චූටිමාමා මැදපෙරදිග යනව, ලකීව සහ එයාගේ එකම දුවව අපේ නිවසේ නවත්තලා. එතකොට මට අවුරුදු තුනයි.චුට්ටක්කට හතරයි.තාත්තගේ අසනීපය, ඒ නිසාම එයාගේ ව්‍යාපාර කටයුතු බලාකියාගැනීමට අම්මට සිදුවීම වගේ දේවල්නිසා ඒ කාලේ අපේ ගෙදර තත්වය ටිකක් ව්‍යාකූලවෙන්න ඇති.ඒ පරිසරය ඇතුලේ මම වැඩිපුරම කාලය ගතකලේ චුට්ටක්කා සහ ලකී එක්ක. වත්තේ ලිඳට සමීපව තිබ්බේ නන්නං ගහ සහ ජම්බු ගසක්. චුට්ටක්කයි මමයි නන්නං කඩන්නේ අපිට නෙමෙයි. පාරෙන් එහාපැත්තේ සිල්ලරකඩයක් දාගන හිටියේ ලොකුමාමා.අම්මගේ අයියා. එයාගේ බිරිඳවුන ටෙක්ලා නැන්දා අසාමාන්‍යලෙස ඇඹුල් ආහාරවලට කැමති කෙනෙක්.අපේ නන්නං බිස්නස් එකේ අවසාන පාරිභෝගිකයා ටෙක්ලනැන්දා. නන්නං හාරන එකත් එහෙම ලේසි වැඩක් නෙමෙයි. ගහමුල සෑහෙන කඩි. ඒ කාලෙදි මම පොඩ්ඩ ඇත්තන් බෙරිකරගන්න එකෙක්. නන්නං හාරද්දි කඩියෙක් එහෙම කෑවොත් චුට්ටක්කා මාව ටිකකට අස්වස්සලා ගෙදට්ට හොරෙන් කුස්සිය ඇතුලෙන් රතුලූණු ගෙඩියක් උස්සගන එනවා. ඒක ගේද්දි මගේ ඉවසීම ඉවරවෙලා බෙරිහන් දෙන්න ඔන්න මෙන්න. චුට්ටක්කා ඉක්මනට මගේ ලඟට ඇවිත් කඩියා කාපු තැන ලූනු ගෙඩිය අතුල්ලනවා. වේදනාව සමනයවුනා හෝ නැතා, බෙහෙතක් ගෑවනේ කියන මානසිකත්වයෙන් සැනසෙන මම, ආපහු එයා එක්ක නන්නං හාරනවා. එහෙම හාරගත්තු නන්නං ගෙඩි සාක්කුවේ හරි චුට්ටක්කගේ ගවුම බොක්ක ගහලා හදාගන්න ඉඩකඩේ හරි දාගන අපි දුවන්නේ ලොකුමාමලගේ කඩේට. ඒ දවස්වල පාරේ වාහන අඩුනිසා මාවත් අතින් අල්ලගන පාර පනින්න චුට්ටක්කට අවසර තිබ්බා. ඒ නැතත් අපි පාර පයින්න ඉන්නවා කියලා දැක්කොත් ලොකුමාමා ඒ පැත්තෙන් පාර අයිනට ඇවිත් පාර දෙපැත්ත බලලා "ආ...දැන් පයින්න..." කියලා අණ දෙනවා.අපිට තියෙන්නේ ඒ අණට කීකරුවෙන්න විතරයි. ඒ ගිහින් නන්නං ගෙඩි ටික ලොකුමාමට විකුණනවා. විකුණනවා කිවුවට ඒ කීයකටද මන්දා.... අපි කොච්චර අඩුවෙන් හෝ වැඩියෙන් ගෙනිච්චත් අපේ ගාස්තුව බීමපැකට් හතරක්. මම හිතන්නේ ඒ කාලේ බීමපැකට් එකක් ශත50යි. ඒ අද ඔය රු.10ට තියන බීමපැකට් සයිස් ඒවමයි. අනික ඒ කාලේ අද වගේ නෙමෙයි. ළමයින්ට හිතුන හිතුන විදිහට ෆ්‍රිජ් එකේ දාලා තිබ්බ සීතල කෑමජාති කන්න බෑ. එහෙම වැඩිපුර කෑවමහම උන්ට හෙම්බිරිස්සාව, කැස්ස, උණ, ගලපටලේ වගේ මාරාන්තික ලෙඩ හැදෙනවා. නැත්තං එහෙම හැදෙයි කියලා අම්මලා බයවෙනවා. අම්මලගේ බයවීම කොච්චරද කියනවනම් ඒ නිසා එක්කෝ ළමයා ගුටිකනවා.නැත්තං බැණුම් අහනවා. ඒ නිසා අපි දෙන්නා කඩේ තියන හාල්,සීනි ගෝනි අතර ඇවිදිනගමන් පළවෙනි බීමපැකට් දෙක බොනවා. ඒ ඇවිදින අතරේ "ඔහේ ගියාට කමක් නෑ.... හාල් ජාති එහෙම කලවම්කරනවා නෙමෙයි....." කියලා ලොකුමාමා හීනි තර්ජන එහෙමත් දානවා.ඒ බීමපැකට් දෙක බීලා අනිත් බීමපැකට් දෙකත් අරගන අපි ආපහු ගෙදර එනවා. ගොඩක්වෙලාවට ලොකුමාමා අපිව පාර පන්නනවා.
නන්නං ගහත් එක්ක පැටලිලා වැඩපොලේ වහලේ වහගන හිටිය පැශන් ෆෘට් වැල නන්නං ගහෙන් ඈත්කරන්නම බෑ.පැශන් ෆෘට් වැල කියද්දිම ඉස්සල්ලම මතක්වෙන්නේ මිථිල අයියව.අපේ පවුල්වල පොඩි එවුනුයි අහල පහල සෙට් එකෙයි ගැන්සියට ඉඳලා හිටලා නිවාඩු කාලවලදි කොට්ටාවේ කරුණා නැන්දලගේ ගෙදර සෙට් එකත් එකතුවෙනවා.නිල්මිණි අක්කා, විශාඛා අක්කා, සුජී අක්කා, මිථිල අයියා වගේ අය. ඒ හැමෝම අපේ ගැන්සියේ කට්ටියට වඩා වැඩිමල්.ඒත් අපේ අයියලා අක්කලා එක්ක ශේප් එකේ සෙල්ලම් කරනවා. ඔය අතරින් මිථිල අයියා තමයි පිරිමි ළමයින්ගෙන් වැඩිමල්ම. මමයි චුට්ටක්කයි තමා පොඩිම. පිල් බෙදෙද්දි, අර උච්චි උච්චි තෝල් දමද්දි, කට්ටිය වටවෙලා ගඟ ළඟ සිටිනා අසරණ මේරී... වගේ ඒවා කරද්දි අපි දෙන්නව ගණන් ගන්නේ බෝංචි කියලා.ඒ කියන්නේ මෙලෝ වැඩක් නෑ කියලා.ඒත් අපිව සෙල්ලමට නොගත්තොත් අපි අඬනනිසා අපිවත් සෙල්ලමට ගන්නවා. හැංගිමුත්තන් කරද්දි අපිව දැක්කත් දැක්කේ නෑ වගේ යද්දි, ටින් කඩද්දි දෙපැත්තෙම එවුන් එකතුවෙලා ඉස්සල්ලම අපිට නොරිදෙන්න බෝලෙන් ගහලා පැත්තකට කරද්දි අපේ හිතටත් මොනවදෝ තේරුණත් අපිත් එතන ලැගගනම ඉන්නවා.
මිථිල අයියා සහ ෆැශන් ෆෘට් වැල ඔලුවට එන්නේ හැංගිමුත්තන් කරද්දි එයා හැංගෙන්නෙම ඒ ෆැශන් ෆෘට් වැලේ හින්දා. අපි කාටවත් නගින්න බැරි නන්නං ගහට නැඟලා ෆැශන් ෆෘට් වැල අස්සේ හැංගෙන මිථිල අයියව කාටවත් හොයාගන්න බෑ. හැමදාම අන්තිමට හොයාගන්නේ මිථිල අයියව. හොයාගන්නවට වඩා ඔක්කොමල්ලව හොයාගත්තට පස්සේ ඇවිත් බාරවෙනවා කිවුවොත් හරි.ඒ ඇවිල්ලා "රජීව අරහෙන් එද්දි මම හිමීන් සැරේ බිත්තියට මුවාවෙලා බඩගාගන ගිහින් තාප්පෙට නැග්ගා..... චාමි ගහ මුලට ඇවිත් ගහේ මාව හොයද්දි මම හිටියේ බිම.පස්සේ එයා යනවත් එක්කම හොරෙන් ගහට නැග්ගා...." වගේ රම්බෝ ස්ටෝරි කියද්දි බෝංචි කරල්ටික ඒවා අහගන හිටියේ කට ඇරගන.පැශන් ගහ එක්ක තියන පරනම මතකේ මැයි දිනයක්. අවුරුද්ද අමතකවුනාට මොන්ටිසෝරි ගිය කාලයක් නෙමෙයි කියලා හොදටම මතකයි. මේ කියන දවසෙදි තාත්තත් ජීවතුන් අතර හිටිය නිසා, ඒ බොහෝවිට 88 හෝ 87 අවුරුද්දේ මැයි දිනයක් වෙන්න ඇති. ප්‍රාදේශීය සභා පැමිනෙන්න කලින් කඩුවෙල ග්‍රාමෝද්‍ය බල මණ්ඩලේ කියලා හඳුන්නවපු එකක සභාපති තාත්තා නිසා ගෙදර දේශපාලන පසුබිමක් තිබ්බා ඒ කාලේ. තාත්තා මියගියාට පස්සේ ගම් උදාවට ,දේශපාලන රැස්වීම්වලට ගහපු බැනර්, ඒ කාලේ ඔය දේශපාලන උත්සව වලට ගෙනියපු ලොරි සරසන්න යොදාගත්තු එක එක ලට්ට ලොට්ට, ග්‍රාමෝද්‍ය බල මන්ඩලේ, කාන්තා මොකක්ද සංගමේක ලෙටර් හෙඩ් වගේ ඒවා එක්ක තමයි චුට්ටක්කයි මමයි පොඩිකාලේ සෙල්ලම්කලේ.ඒත් ඔය මැයි දිනය වෙද්දි තාත්තා ජීවතුන් අතර. ඒත් එක්තැන්වෙලා. මට හොඳට මතකයි නාවලා රතුපාට ජර්සියක්, සුදුපාට සරමක් අන්දවලා ගේට්ටුකණුව ළඟ තියපු පුටුවක තාත්තව වාඩිකරලා තියනවා පෙලපාලිය බලන්න.මම හිතන්නේ ඒ කොළඹ තිබ්බ ලොකු මැයිදින රැළියට යන අතුරුගිරියේ හෝ මාලබේ කට්ටිය. ඒ පෙලපාලියට අපේ ගේ ගාවදි පැශන් ෆෘට් බීම දුන්නා.ඒ බීම හැදුවේ ඔය කියන පැශන් ෆෘට් වැලේ ගෙඩිවලින්.ඒ අය ගිහින් පැයකින් විතර පස්සේ තවත් පෙලපාලියක් ආවා. ඒ අය, අපේ ගෙදරට පෙනෙන නොපෙනෙන මානයේ තිබ්බ අරංගල විදුලිබල මණ්ඩලේ ඉදිරිපිට නවත්තලා තිබ්බ මංඩලේට අයත් ලොරියක් පෙරලුවා. ඒ පෙරලලා ටිකක් සද්දෙට ආව ඒ පෙලපාලියටත් අපේ ගෙදර අය පැශන් ෆෘට් දුන්නා. අර ඉස්සල්ලා එකෙන් ඉතුරුවෙලා තිබුණ් ඒවා වෙන්න ඇති.ඔක්කොටම ඇතිවුනාද දන්නේ නෑ, ඒත් ඒ අයත් ඒවා බීලා තාත්තටත් කතාකරලා ඒ අයගේ ගමන ආපහු ගියා.පක්ශ වෙනස්වුනත් ගමේ මිනිස්සු. ඒ අද මට හිතෙන හැටි.
ඒ පෙලපාලිය මතක්වෙද්දි සිහියට එන අනිත් මූණු දෙක, නන්දා අක්කා සහ සිරිල් අයියා..... නන්දා අක්කා අපේ තාත්තගේ පාර්ශවේ නෑදෑයෙක්වෙන දියණියක්. ඇයගේ මව, පියා ඇය කුඩාකලම මියයනවා. පස්සේ අපේ අම්මගෙයි තාත්තගෙයි කසාදෙන් පස්සේ ඇය හැදීවැඩෙන්නේ ඒ දෙන්නා ගාව. සිරිල් අයියා අපේ ගේ හදන්න ආව බාස්ලගෙන් කෙනෙක්. ඒ දෙන්නා යාලුවුනාට පස්සේ ඒ කටයුතු හොයලා බලලා ඒ දෙන්නගේ විවාහයට මැදිහත්වෙලා තියෙන්නේ තාත්තා. දෙණියාය ප්‍රදේශයේ පදිංචිකාරයෙක් වුන සිරිල් අයියගේ ගෙදර තිබ්බ මගුල්ගෙදරට මුලු ගමම ගිහින් තිබ්බා බස් දෙකක් අරගන. ඒ ගමනේ රස මුසු කතා අම්මව බලන්න ඉඳ හිට එන හිතවතුන් තාමත් විඩෙන් විඩේ මතක්කරනවා මගේ කනටත් වැටෙනවා. එදා පෙලපාලිය බලන්න මම ආවේ නන්දක්කලගේ ගෙදර ඉඳලා. නන්දක්කලගේ ගේ කිවුවට ඒක ඩොට්ලින් නැන්දලගේ ගෙදර කැල්ලක්. නන්දක්කලා ඒකේ කුලියට හිටියේ. අපේ ගේ ඉස්සරහා පාරේ ඒ ගේ තිබ්බේ. ඒ වෙද්දි නන්දක්කලට බබාලා හිටියේ නෑ. සමහර දවස්වලට ඒ අය මාව එක්කගන යනවා ඒගොල්ලන්ගේ ගෙදර. ඒ ගෙනිහින් නාවලා, කවලා, නිදිකරවලා එහෙම ඇහැරුනාම මාව ආපහු එක්කගන එනවා. කොහොමත් ඒ කාලේ මම වැඩිපුරම හැදුනේ අපේ නැන්දලා හෝ නන්දක්කා වගේ හිතවතුන්ගේ අතේ. ගෙදර එකතැන්වුන ලෙඩෙක්ව බලාගන්න ගමන් ව්‍යාපාර කටයුතුත් හොයලා බලන්න සිද්දවුන අම්මට ඒක ලොකු අස්වැසිල්ලක් වෙන්න ඇති. පොඩිකාලේ වැඩිය දඟනැති නිශ්ෂබ්ධ විලියම් කෙනෙක්වුන මගෙන් ඒ අයටත් ලොකු වදයක් වෙන්නේ නැතුව ඇති.සිරිල් අයියට තිබ්බේ පුශ් බයිසිකලයක්. ඔය බයිසිකලේ මැද්දේ කොට්ටයක් තියලා ඒක උඩ මාව ඉන්ඳවනවා.නන්දා අක්කා පිටිපස්සේ ලගේජ් එකේ.එහෙම තමා මගේ ප්‍රවාහන කටයුතු සිද්ධවුනේ.මට හොඳට මතකයි එදා සිරිල් අයියා බයිසිකලේ මැද බාර් එකට ඒ කාලේ බයිසිකල්වලට හයිකරපු එක එක මෝස්තර තිබ්බ ඉටි කවරයක් හයිකරලා.ඒකේ යටින් ලස්සනට නූල් එල්ලෙනවා.එදා දවල්ට කවලා මාව නිදිකෙරෙවුවේ නෑ. පෙලපාලිය බලන්න එන්න ඕන නිසා.ඒත් ඒ ඉටිකවරේ උඩින් කොට්ටේ තියන්න බෑ මාව ඉන්ඳවන්න.කොට්ටේ ලිස්සනවා කවරේ නිසා. අන්තිමට එදාම හයිකරපු කවරේ සිරිල් අයියා ගලවනවා.ඒ ගලවලා කොට්ටේ උඩින් මාව ඉන්ඳවලා නන්දක්කවත් එක්කරගන අපේ ගෙදර එනවා පෙලපාලිය බලන්න. එ මිනිස්සු බයිසිකලේට වඩා මට ආදරේකලා. ඊට අවුරුදු පහ හයකට පස්සේ, මම ඉස්කෝලේ තුන වසරෙදි සිරිල් අයියට වරායේ රැකියාවක් ලැබෙනවා. ඒ වෙද්දි එයා පුතෙක් සහ දුවෙක්ගේ තාත්තා කෙනෙක්. වැඩට යන පළවෙනි දවසෙම තලාහේන අටේකණුවෙදි බස් එක පෙරලිලා පාපුවරුවේ ගිය සිරිල් අයියා සහ තවත් කෙනෙක් මියයනවා, ඒ බස් එකටම යටවෙලා.
සිරිල් අයියා හිටිය ගෙදර අයිති ඩොට්ලින් නැන්දා..... අපේ තාත්තගේ හිටපු පෙම්වතියක්.අම්මට කලින් හිටියකෙනා. කොටින්ම කිවුවොත් තාත්තගේ අවසාන පෙම්වතිය.අපේ තාත්තා අම්මව විවාහකරගත්තු නිසා ඇය අපේ අම්මා සමග අමනාපයෙන් හිටියේ. මා දැණුවත්ව අම්මා ඇය සමග අමනාපයක් නොතිබුණත් ඇය දිගින් දිගටම අම්මව මගාරිනවා. අප නිවස ඉදිරිපිට වූ බස් නැවතුම්පොළ ඇයට ආසන්නම එක වුනත් මම කිසිදවසක ඇයව එම නැවතුම්පොලේදි දැකලා නෑ. ඇය පාවිච්චිකලේ ඇයට තරමක් දුරවූ වෙනත් නැවතුමක්.ඒත් ඇයගේ දරුවන් වූ අර්ජුන අයියත් අනුරාධා අක්කත් අපිත් සමග බොහොමත් කුලුපගව හැසිරුණා. ඇයගේ සැමියා වූ රංජිත් මාමා පවා. ඇය අම්මාත් සමග අමනාපවූවත්, පාර තොටකදි මා මුනගැසුනවිට ඇය නොකලේ මාව ලෙවකන එක විතරයි. මගේ හිස.මුහුණ අතගගා, මාව තුරුලුකරගන ,සිපගන අනේ.... ආරියදාස වගේමයි.... කියද්දි කුඩාකල මහත් ලැජ්ජාශීලි ළමයෙක්වුන මා දැඩි අපහසුතායට ලක්වූවත්, නිවිහැනහිල්ලේ අද ඒ පිළිබඳව සිතද්දි මම ඇයගෙන් දකින්නේ ජීවිතයට හමුවූ ලෙංගතුම ප්‍රේමයේ පහස හැමදාම සිතින් විඳගත් සුන්දර ගැහැණියක්ම විතරයි. මම පාසලේ එකොලහ වසරදී පමන අර්ජුන අයියා හදිස්සි අනතුරකින් ජීවිතයෙන් සමුගත්තා. ඒ පිලිබඳ වූ දුරකථන ඇමතුම ශ්‍රවණය කල ඇය කෑගසාගන පටාචාරවක මෙන් දුවගන ආවේ අපේ නිවසට. "අනේ රත්නායක..... මගේ පුතා...." යැයි දිව අවුත් අම්මාව වැළඳගන අඬන්න පටන්ගත්තා. තාත්තාව විවාහකරගත්තාට පසු ඇය මාගේ මවත් සමග කතාකල පළවෙනි දවස එයවුනා.
මෙවර ලංකාවට පැමිනිපසු ඩොට්ලින් නැන්දාව සහ අනුරාධා අක්කව ආපහු මුණගැසුණේ අනුරාධා අක්කාගේ විවාහ ඇරයුම පිලිගන්වන්න නිවසට පැමිනි අවස්ථාවෙදි. වයසට ගොස් දුර්වලවී සිටි ඇය මාව ලඟට ගෙන පෙරසේම මගේ මූන අතගා සිපගත්තේ ආරියදාස වගේමයි.... යන සුපුරුදු වාක්‍යද සමගින්. අනුරාධා අක්කාගේ විවාහයෙන් මාස කීපයකට පසුව ඇය මියගිය ආරංචිය ලැබුනත්, කොරෝනා තත්වය නිසා ඇයගේ මරනගෙදරට සහභාගිවීමට ඉඩක් ලැබුනේ නෑ. "දැන් ඩොට්ලින් නැන්දයි අපේ තාත්තයි එහාට වෙලා ජොලියේ ඇති.ඔයා එහෙම ඉක්මනට එහේ ගිහිල්ලා ඒ දෙන්නගේ ආතල් කඩන්න එහෙම එපා" යැයි අම්මාට කිවුවේ විහිලුවට වුනත් , ඒක එහෙම වෙනවානම් , ප්‍රේමයක් පපුවේ රඳවාගන ජීවිතකාලයක් සුරැකි ඒ සුන්දර ගැහැනියට උරුමවිය යුතුම දේ උරමවූ බවට සිතා අම්මාත් සතුටුවෙන බව මම ඉඳුරාම දන්නවා.
"අයියේ.... ඔයා එද්දි මට නමිනං ගොඩක් ගේන්න හොඳේ.... මම ඒවට පට්ට ආසයි...."
"ඔවු... මට වෙන වැඩ නෑනේ උඹට නන්නං අඳිනවා ඇරෙන්න...."
මේ දෙබස අවුරුදු ගාණකට කලින් ඇසුනක්ද, මෑතකාලීනව ඇසුවක්ද යන්න නිනවුවක් නෑ. ඒත් ආදරය සහ ගැහැනිය යන මාතෘකාවේදි ඉගනගත් වැදගත්ම පාඩම නැවත නැවත සිහිගන්වන ඒ දෙබස, කාමරයේ සිට ජනේලයෙන් නන්නං ගස දෙස බලාගන සිටි මා කාමරෙයෙන් පිටතට ගෙන නන්නං ගස පාමුලට කැඳවීමටනම් සමත්වුනා. "ඔබ ගැහැනියකට ආදරය කරනවානම් ඇයව රැජිනක් කිරීමට උත්සාහ නොකරන්න. ඇයට ඒ මොහොතේදි අවශ්‍ය නන්නං ගෙඩියක්නම්, දිවි පරදුවට තබා හෝ හාදුවක් සමගින් එය ඇයට ලබාදෙන්න. දිනකදී ඇයට පොරොන්දු වූ සත්මහල් ප්‍රාසාධය ඇයට ලබාදිය නොහැකිවූවත්, ඔබ අද දිනයේ ලබාදුන් නන්නං ගෙඩිය සිහිකර ඇය ඔබව වැලඳගන්නවා ඇත..... එච්චරම කෙළියක් නොවුනත් කර්පට්වෙන්න බී නිවසට පැමිනීමේදි බිරිඳව ශේප්කරගැනීමට ඒ නන්නං ගෙඩිය උපකාරීවනු ඇත".
මොලේ ඇතුලේ කැරකෙන මෙවැනි විකාර රූපි අදහස් හා මදසිනාවක් සහිතව නන්නං ගෙඩියක් කඩාගත්තා විතරයි, ගෙතුළ සිට මා අමතන ගිමාගේ හඬය.
මාමේ... බීම බොනවද....?
මොන බීමද....?
පැශන් ෆෘට්.....
ආදරය, ගැහැනිය, අනාගතය හෝ වෙන මොනයම් හෝ මල ඉලවුවකට වඩා පැශන් ෆෘට් කෙරෙහි වූ පෙරේතකම අතිමහත්. කඩාගත් නන්නං ගෙඩියත් දකුනතේ රුවාගන මා ආපසු හැරුණේ ගේ ඇතුලට යාමටයි.
කටුස්සා....