Wednesday, May 18, 2016

ගිම්හානය වෙනුවට මම වස්සානය වී එන්නද.......


දෙනෙත් අද්දර කඳුළු බිඳුවක 
මලානික සුව අයදිනා
සිතක වියපත් තරුණ සිතුවිලි 
තරු දෙනෙත් මත රැඳවෙනා
නිහඬ සීතල මත් බඹරතුඩු
මුදු කොපුල් මත ගැවසෙනා
අවදිකරනට සිහිනයෙන් මන
සුරඟනට අමතකවෙනා

පෙමට තහනම් නොමැති සිතකට
වසත්කල කවි පබඳෙනා
අයිතිවනු බැරි සොඳුරු ප්‍රේමය
සිත් තුරුල්ලේ වැලපෙනා
දමා යන්නට සිතෙන හැමවර
තවත් මා හට ලංවෙනා
අරුම සෙනෙහස ඔබගෙ මගෙ සිත
ගැඹුර අක්මුල් විහිදනා

කල්බැලූ සිත නිති රැඳෙන්නට
වරම් නැතිවූ ආදරෙන්
බලා ඔබදෙස පිරූ පෙරුමන්
සැඟෙවුවත් නොපෙනෙන ලෙසින්
හමුවනාවිට නුඹේ වත මත
නිති ඇඳෙන මුදු සිනහවෙන්
රවටගන්නේ කවුරු කාවද
අසරණව ගිය සිත් මතින්


කටුස්සා....

Sunday, May 15, 2016

යුක්තිය....


නොහැක කිසි කවර ලෙස
මියයන්නේ මගේ පුතු
රකින්නට සුරකින්න
මවුබිමේ ගෞරවය
තුවක්කුව ගෙන පෙරට
ලබාදුන් අණ පෙලට
සටන්වැද නොපැකිළිව
ඉදිරියට ගිය පුතුට
නොහැක විපතක් වෙන්න
කොතන කොයි කවරලෙස
අදහන්න පුළුවන්ද 
කිසිදිනක මවක හට
පිළිගන්න පුළුවන්ද
කිසිදිනක මේ පුවත

නොහැක සිපගන්න බිම
මා නොදැක ම'පුතුට
අහිමි නිදහස සොයා
ඉදිරූ අයිතිය පතා
අපේ බිම දිනවන්න
සතුරු බල වනසන්න
තුවක්කුව ගෙන අතට
යුධ වැදුන මගේ පුතුට
නොහැක මෙලෙසින් වෙන්න
සිරුරවත් නොදකින්න
අදහන්න පුළුවන්ද
කිසිදිනක මවක හට
පිළිගන්න පුළුවන්ද
කිසිදිනක මේ පුවත

යුද්ධයෙන් උණ්ඩයෙන්
නොමළ කිසිවෙකු සිටින
එකම නිවසක් බලා
උතුරේ සිට දකුණටත්
දකුණේ සිට උතුරටත්
දුවනවලු මවුවරුන්
තවම අබ මිට සොයා

වීසිකරදමා ඔය
ගඳගහන පල් පුවත
තනමු අපි පාලමක්
උතුරේ සිට දකුණටත්- දකුණේ සිට උතුරටත්
නොනැවතී සත් දිනක්
නැහැ...නැහෑ සත් මසක්
තබමු සැණකිලි රැසක්
එන්රිකේ සනී දුව
තවත් අය කොපමනද
ඕනෙනම් ගෙන්වමුකෝ
මැඩෝනා කෙලි පොඩ්ඩ
ඔය කඳුළු වියකේවි
තුටින් සිත් ඉතිරේවි
අපිට පුළුවන් යන්න 
පාලමෙන් යාපනෙට
නාගදීපෙත් ගිහින්
උළුඳු වඩයක් කන්න
මල එවුන් මැරිලනේ
අපි ගමුකෝ අපේ සොමිය


කටුස්සා....

Monday, May 9, 2016

ඇයි මට නුඹ අහිමී......


"අයියේ...."

"කියන්න......"

"ඇයි මාව මගාරින්නේ...?"'

"මම....? මම මොකටද ඔයාව මගාරින්නේ?"

"ඒකම තමයි මමත් අහන්නේ.....ළඟට එනකොට ඈත්වෙන්නේ ඇයි....?"

"මම මොකටද ඔයාගෙන් ඈත්වෙන්නේ....ඈත්වෙලා කතාකරන එකට කියන්නේ මගාරිනවා කියලද....? අනික ගෑවි ගෑවි කතාකරන්න මම ඔයාගේ මිනිහද?"

"ඉතින් මිනිහ වෙලා ගෑවි ගෑවි කතාකරනවකෝ....එදත් කිවුවේ තව ටිකක් වේලස්සන ඉපදුනානම් ගෑනි කරගන්නවා කියලා"

"ඉතින් වේලස්සන ඉපදුනේ නෑනේ....ඒ නිසා ගෑණි කරගන්නත් බෑ...."

"අපි උප්පැන්නේ වෙනස් කරලා හොරට හදමු....එතකොට හරිනේ...."

"මේ මෝඩයෝ....මගේ කට අවුස්සන්නේ නැතුව හිටපන්...උප්පැන්නේ දිනේ වෙනස්කලහම හරිද ඔක්කොම?"

"මටනම් ඕනේ නෑ...ඔයාගේ ප්‍රශ්නෙට විසදුමක් තියනවනේ එතකොට"

"ජීවිතේ කියන්නේ ඔච්චර සැහල්ලුවට ගන්න පුළුවන් දෙයක් කියලද හිතන් ඉන්නේ....ආ....."

"එච්චරද කොච්චරද කියලනම් දන්නේ නෑ...ඒත් ඔයා හිතන් ඉන්න තරම් ජීවිතේ බරත් නෑ කියලනම් දන්නවා....."

".................................................."

"මොනවද බලන් ඉන්නේ.....බනින්නනේ ගියේ....බනින්න ඉතින්......"

"මම ඔයාට බැනලා තියනවද මීට කලින් කවදහරි....?"

"බනිනවනම් හොඳයි මේ විදිහට සද්දනැතුව ඉඳලා මාව පුච්චනවට වඩා"'

"දැන දැනම ගිනි ගොඩකට පනින්න හදන්නේ ඇයි....? කොච්චර ලස්සන අනාගතයක් තියන ළමයෙක්ද ඔයා...ඇයි මේ විදිහට ජීවිතේ විනාශ කරගන්න හදන්නේ.....?"

"තමන්ගේ ජීවිතේටත් වඩා වටිනවා කියලා හිතාගන ඉන්න මිනිහා, මෙච්චර පස්සෙන් එද්දිත් තමන්ව මගාරිනවානම් ඒ ජීවිතේ ලස්සනක් කොහේද තියෙන්නේ...?"

"ජීවිතේ ලස්සන තියෙන්නේ තමන් කැමති මිනිහව අයිතිකරගන්න එකේ නෙමෙයි නංගෝ.....තමන් එක්ක ජීවිත කාලයම ආදරයෙන් ඉන්න පුළුවන් මිනිහව අයිතිකරගන්න එකෙයි...."

"ඇයි දැන් ඔයාට මාත් එක්ක ජීවිතකාලයම ඉන්න බැරි හේතුව මොකද්ද....? ඔයාට වෙන කොහේ හරි ගෑණු, ළමයි ඉන්නවද.....නැත්තන් වෙන කෙල්ලෙක් එක්ක යාලුවෙලා ඉන්නවද....?කියන්න මට....''

"ඒ එකක්වත් නෙමෙයි කියලා ඔයා හොඳටම දන්නවනේ.....මම කියන්න ඕනේ නෑනේ...."

"ඔයා අපේ පවුලේ හිතවතෙක් වුන එක, අපේ තාත්තට අයියේ කියලා කතාකරන එක, අපේ අම්මට අක්කේ කියලා කතාකරන එක මාව එලවන්න තරම් හේතුවක්ද....?"

"ඒවට වඩා ලොකු හේතු තියනවා කියලා ඔයා දන්නවනේ...."

"මේ ලෝකේ වයස පරතරය වැඩි ගෑණුයි මිනිස්සුයි කසාද බැඳලම නැද්ද.....කියන්න මට"

"බැඳලා ඇති.ඒත් එහෙම වුනා කියලා මාත් එහෙම කරන්න ඕනේද?.....අනික මලක්වගේ බලාගන්න තමන්ගේ එකම දුවව උදුරගන මම ඒ මිනිස්සුන්ගේ හිත රිද්දන්න ඕනේද?....ඒ මිනිස්සු මාව විශ්වාස කරලා ඔයාව මේ පංතියට එවන්නෙත්.එහෙම එකේ ඒ අයගේ විශ්වාසය කඩලා ඔයාව උදුරගන මම කොහොමද ඒ මිනිස්සුන්ගේ විශ්වාසය කඩන්නේ.....?"

"ඒ මිනිස්සු එහෙම විරුද්ධ වෙන්නේ නෑ...ඒ අය ඔයාට හරි ආදරෙයි...."

"ඔවු...ඒ අය මට ආදරෙයි....ඒත් ඒ සහෝදරකමට, හිතවත්කමට තියන ආදරයක් මිස තමන්ගේ දුවව දෙන්න තියන ආදරයක් නෙමෙයි....ඒක තේරුම්ගන්න...."

"තමන් එච්චරටම දන්න තමන් එච්චරටම විශ්වාසකරන මිනිහෙක්ට තමන්ගේ දුවව දෙන්න පුළුවන්නම් ඒක ඒ අයගෙත් හිතට සැනසීමක්නේ ඉතින්....අනික ඔයා; අයියේ, අක්කේ කිවුවට ඒ අය ඔයාගේ තාත්තගේ යාළුවෝ මිස ඔයාගේ යාළුවෝ නෙමෙයිනේ...."

"මෝඩ පැටියෝ....මේ අහපන්....තමන් හොඳට අඳුරන එකෙක්ට දුවව දෙන්න ඒ අය කැමති ඇති....ඒත් ඒ තමන්ගේ දුවට වඩා අවුරුදු 14ක් වැඩිමල් මිනිහෙක්ට දෙන්න නෙමෙයි...."

"ඔයා මාව දන්නවනම් මම ඔයාව දන්නවනම් ඒ මැද්දට මොන මගුලකටද වයසක් අරගන එන්නේ.....?වයසින් තියන වැඩේ මොකද්ද....?ඔයා මාව කසාද බැන්ඳට පස්සේ යන යන තැන අපි දෙන්නගේ උප්පැන්නේ බෙල්ලේ එල්ලගන යන්න ඕනේ නෑනේ.....ඔයා මාව බැන්ඳා කියලා ඔයාට පොලීසි උසාවිගානේ රස්තියාදුවෙන්න ඕනේත් නෑනේ....ලෝකේ කොහේවත් වැරද්දක් විදිහට නොදකින දෙයක් ඇයි ඔයා වැරද්දක් විදිහට දකින්නේ....?"

දෙයියනේ...මේ පිස්සු බැල්ලිට මම කොහොමද තේරුම් කරන්නේ .....දැන් තව ටිකකින් වක්කරන්න පටන් ගනියි....හරි....හිතන කොටම පටන්ගත්තා.මුන්ගේ කඳුලු තමයි මේ ලෝකේ තියන ජරාම දේ.කරන්නේ නෑ කියලා හිතාගන ඉන්න හැම දෙයක්ම මුන්ගේ කඳුළු ඉස්සරහා කරන්න වෙනවනේ.නැගිටපන් ඉතින් බලාගන ඉන්නේ.ගිහින් නලවපන්....

"නංගෝ....හොඳ ළමයා වගේ අඬන්නේ නතුව ඉන්න...කෝ ඉතින්...කියන දේ අහන්නකෝ....ඔය මූණ උස්සන්න.ඔයා මට තුරුල්වෙලා මෙහෙම අඬනකොට ඔයාටමනේ පැටියෝ හොඳ නැත්තේ.කවුරුහරි දැක්කොත් ඔයාගැනනේ වැරදි විදිහට හිතන්නේ....." 

"හිතපුදෙන්...මට කමක් නෑ....."

"අනේ....කියන දේ අහන්නකෝ...දැන් ඊලඟ ලෙක්චර් එකත් පටන්ගන්න ළඟයි නේද? ඔහොම මූණ තියාගන කොහොමද එතන්ට යන්නේ.....?"

"මේ කාමරේට ඇවිත් මම කවද්ද හිනාවෙවී ක්ලාස් එකට ගියේ....? ආ...කියන්න මට...මම කවද්ද හිතේ සැනසීමෙන් මෙතනින් එළියට ගියේ......? කතාකරන්න.....කවුදවගේ බලාගන ඉන්න එපා....ඔයා හොඳටම දන්නවා මම මේ ක්ලාස් එකට එන්නේ ඔයා නිසා කියලා.ඒත් ඔයා කරන්නේ මාව මගාරින එක....ඔයා මගේ ක්ලාස් එකට ලෙක්චර් තියන දවස්වලට නිවාඩු දානවා.වෙන කවුරුහරි සර් කෙනෙක්ව ඒකට රීප්ලේස් කරනවා.ඔයා හිතන්නේ ඔයා එහෙම කරනකොට මගේ හිතේ තියන ආදරේ අඩුවෙයි කියලද? කතාකරන්න අයියේ....එච්චර අඩුතක්සේරුවක්ද තියෙන්නේ මගේ ආදරේ ගැන ....පිස්සියෙක් වගේ හැපීගන ඔයාට ආදරේකරන හින්දද ඔයා මට මෙහෙම සලකන්නේ...?කතකරන්න අයියේ.....''

"එක්ස්ක්‍යුස් මී...මට කාමරේට එන්න පුළුවන්ද.....?"

"වරෙන් වජිර.....අවුලක් නෑ....ඔයා ඉන්න.වජිර හිටියට කමක් නෑ....."

"කමක් නෑ....මම යන්නම්....."

"ඔහොම යන්න බෑනේ....ගිහින් අපේ වොශ් රූම් එකෙන් මූණ හෝදන් යන්න...එන්න...."

වජිර මේ කතන්දරේ මුල ඉඳලම දන්නනිසා අවුලක්නම් නෑ තමයි.ඒත් මේ දේවල් මේ විදිහට වෙනකොට මේ කෙල්ලටම නේද හොඳ නැත්තේ.ඇයි මේ මෝඩි මේවා තේරුම්ගන්නේ නැත්තේ.....ස්ටාෆ් රූම් එකේ තිබුන නිහඬකම නැතිකරගන එයා බාත් රූම් එකෙන් එළියට ආවා.

"මම යන්නම් අයියේ..."

"ක්ලාස් ඉවරවෙලා විනාඩි 10ක් ඉන්න.ඔයාගේ තාත්තා කතාකරලා මට කිවුවා ඔයාවත් එක්කගන එන්න කියලා.යාට අද එන්න වෙන්නේ නෑලු..."

"හා...මම යන්නම් වජිර සර්....."

"හොඳයි දරුවෝ...."

කාමරේ පුරා තිබුනේ ලැජ්ජ හිතෙන නිහඬකමක්.ඔවු...ඇත්තටම වජිරට මූණදෙන්න බැරිකමට ඇතිවුන නිහඬකමක්.ඌත් කිසිමදෙයක් නොදැක්කගානට පත්තරේ බලනවා.මූ මගේ ගැන මොනවා හිතනවද දන්නේ නෑ.

"ඇයි උඹ වදන්න ලංවුන කොටලුවා වගේ ඉන්නේ....ලැජ්ජයිද කතාකරන්න උඹට....?"

"මොන මගුලටද මම ලැජ්ජවෙන්නේ....?"

"ලැජ්ජවෙන්න නෙමෙයි, අඬන්නයි තියෙන්නේ තොට දැන්......මොන රෙද්දක්ද යකෝ මේ...අර කෙල්ල මෙතන්ට ආවොත් යන්නේ අඬාගන....උඹට හිතක් පපුවක් නැද්ද.....? මෙච්චර මිනිස්සුන්ට , මේ පන්තියේ ළමයින්ට උදවුකරන එකා අර කෙල්ලව මරාගන කන්න හදනවා...."

"උඹට තේරෙන්නේ නෑ බං....."

"ඔවු....උඹටනේ තේරෙන්නේ ඔක්කොම....ඒකනේ අර කෙල්ලව අවුස්සලා ඒ කෙල්ලව අතරමංකරන්න හදන්නේ...."

"මම එහෙම ඇවිස්සුවේ නෑ බං....අනික මම හිතුවේ නෑ ඒකා ඒ කියපු දේවල් සිරා ගනියි කියලා...."

"පලයන් යකෝ යන්න....උඹේ හිතේ පාළුව යන්න ඒකිත් එක්ක විකාර කියව කියව ඉඳලා මහ රෑ වෙනකම්, දැන් ඒකිගේ ෆීලින්ග් එක්ක සෙල්ලම්කරනවා....මෙතන වැරද්ද උඹේ....උඹ ඒක පිළිගන්නවද...?."

"ඔවු....ඒ ගැන හිතන්න දෙයක් නෑ.වැරද්දකලේ මම...ඒත් මම හිතුවේ නෑ මේක මේතරම් දුරයයි කියලා. ඇත්තම කිවුවොත් මාත් එක්ක කතාකරනකොට ඒකිගැන මගේ හිතෙත් ආදරයක් ඇතිනොවුනම නෙමෙයි.ඒත්  මට ඒ දේ පාලනයකරගන්න පුළුවන්වුනා. ඒත් එයාට බැරිවුනා..."

"ඔවු...ඒ කෙල්ල උඹවගේ රටවටේ ඉන්න ගෑණුන්ගෙන් පාඩම් ඉගනගන නෑනේ.මේ අවුරුද්දේ A/L කරපු පොඩි එකියෙක්නේ .උඹට හිතන්න තිබුනේ කතාකරන්න කලින් ඒ ගැන. දැන් වැරද්ද පිළිඅරන් ඒ කෙල්ලට සාධාරනය ඉශ්ඨකරපන්.අනික උඹ කොච්චර උඹව රවට්ටගන්න හැදුවත් ඇත්ත කතාව වෙන්නේ උඹත් ඒ කෙල්ලට ආදරෙයි කියන එකනේ.....ඇයි...මොනවද උඹ බලන්නේ....මම කියන්නේ බොරුද...?හිත රවට්ටගන්න එපා බං..."

"ආදරේ හින්දා තමයි යකෝ මේ විදිහට කරන්නේ....ආදරේ වැඩි හින්දා....එහෙම නොවුනනම් මම මේකිව උස්සගන ගෙදර ගිහින් මෙලහකට. මේකා තමයි ඒ පවුලේ ඉන්න එකම ළමයා.ඒ දෙමවුපියෝ මලක්වගේ මේකව බලාගන්නේ.එහෙම එකේ මම මේකව කසාදබැඳලා මේකගේ ජීවිතේ විනාශකරන්න කියලද උඹ මට කියන්නේ? ඇයි උඹටවත් මේක තේරුම්ගන්න බැරි....?"

"ආදරේට කිසිම බලපෑමක් තියෙන්න ඕනේ නෑ කියලා උඹමයි කියන්නේ....මොන තත්වෙක මොන විදිහක ජීවත්වුන ගෑනියෙක්ව උනත් ආදරයක් ඇතිවුනොත් ඒකිගේ පහුගිය දේවල් උඹට අදාල නෑ කියලා උඹමයි කියන්නේ....එහෙම එකේ උඹම දාගත්ත බොරු සීමාවල් ටිකකට කොටුවෙලා උඹ විඳවනගමන් උඹ ඒ කෙල්ලගේ ජීවිතෙත් අපායක් කරනවා.ඒ කෙල්ල උඹව දාලායන්න ආපු ගමක් නෙමෙයි මේක.එහෙම දාලා යන්න ආවනම් උඹ ඒ කෙල්ලව එලවන විදිහට මෙලහකටත් ගිහින්. අනික; ඒ තමයි මෙච්චර කාලෙකට උඹව හොඳටම තේරුම්ගත්ත කෙල්ල. එහම එකේ මේ කෙල්ලව මගඇරගන ජීවිතකාලෙම පසුතැවෙන්න හදන්න එපා....."

"මගේ ජීවිතේට හොඳක් කරගන්න ඒ කෙල්ලගේ ජීවිතේ විනාශකරන එක හරි දෙයක්ද....?"

"ගොන් $කෝ....ඔයිට වඩා මිනිස්සු තමන්ට වඩා බාල කෙල්ලන්ව කසාද බැඳලා තියනවා. එහෙමවුනා කියලා ඒ ජීවිත විනාශවෙලා නෑ.අනික උඹට වෙන කොහේවත් ගෑණු ඇත්තෙත් නෑනේ....ජිවිතේ ඕනෑවට වඩා සීරියස් අරගන විහින් විඳවන්න එපා යකෝ....."

"හරි...මම මේ කෙල්ලව ගත්තා කියපන්කෝ....මම කොහොමද මේ කෙල්ලගේ දෙමවුපියන්ට මූණ දෙන්නේ? අපේ තාත්තට මූණ දෙන්නේ...?"

"ඇහුවොත් ලෝකේ පෙරලගන හරි ආදරේ කරන්න හදන්නේ....ඒත් ඒකෙදි එන ප්‍රශ්නවලට බයයි....ඔහොම වෙන්න එපා යකෝ...අර ඒ කාලේ වගේ හැම කෝච්චියකටම බෙල්ල තියපන්.හැම කෝච්චියක්ම බෙල්ල උඩින් යන්නේ නෑ.බ්‍රේක්ගහන ඒවත් තියනවා.ඕවා මුල්කාලේ ලොකු ප්‍රශ්ණ උනාට පහුවෙනකොට එච්චර සැලකියයුතු ප්‍රශ්ණ නෙමෙයි....අනික ගෙවල් දෙකෙන්ම උඹලව එලෙවුවත් මේ කෙල්ලව බලාගන කන්න බොන්න දෙන්න පුළුවන්කමක් උඹට තියනවනේ.....අනික කරුමෙට හරි ගෙවල් දෙකෙන්ම කැමතිවුනා....කාට කියන්නද ඒ අපරාදේ? ප්‍රශ්න වලට මූණදෙන්න බයවෙන්න එපා.අර ඉස්සර වගේ ඕනේ ප්‍රශ්නයක් එක්ක හැප්පියන්.....අපි කියනවටම නෙමෙයි.උඹටත් මොළයක් තියනවනේ ...කල්පනාකරලා තීරණයක් ගනින්..."

ඔවු...ඒ කාලේ...ඕනේතරම් රළු තීරණ අරගත්තු ඒ කාලේ....ඒ විදිහට මේ කෙල්ලගේ ජීවිතෙත් එක්ක සෙල්ලම්කරන්න පුළුවන්ද දැන් මට....? එක්කෝ මම පරණ පුරුදු ජීවිතේට ආපහු එන්න ඕනේ.නැත්තම් මේ කෙල්ලව පේන්නේ නැතිවෙන්න ඒ ජීවිතෙන් ඈත්වෙන්න ඕනේ.....

"වැඩක් කරපන්....."

"මොකද්ද....?"

"උඹ නේද හිරුණිගේ ක්ලාස් එකේ ඊලඟ ලෙක්චර් එක කරන්නේ....? ලෙක්චර් එක පරන් ගන්න කලින් හිරුණිට කියපන් පොත් ටිකත් අරගන ෆැබ් එක ගාවට එන්න කියලා ලෙක්චර් එක කට් කරලා.ළමයි ඉන්නැද්දී මට කෙල්ලව එක්කගන යන්න බෑනේ.මම එතන ඉන්නවා කියපන්...."

"උඹ මහ අමනයෙක් යකෝ.....තමන්ගෙන් ඉගනගන්න පොඩි එකියෙක්ව අමාරුවේ දාලා මටත් කියනවා ඒ පවට සම්මාදන්වෙන්න කියලා..."

"අනේ මේ...#*තක් කියවන්නේ නැතුව ඒ වැඩේ කරපන්....."

"උඹ තීරණයක් ගත්තද?"

"ඔවු....අද හවසින් පස්සේ එක්කෝ ඒකා මගේවෙයි....නැත්තම් බෙල්ල මිරිකලාදාපු ඒකිගේ මිණිය හම්බවෙයි කොහේහරි පඳුරක් අස්සෙන්...."

"උඹත් හූනෝ කැරපොත්තෝ වගේ භායානක මිනිහෙක්නේ බලාගන ගියහම....."
********************************************************************

"නගින්න වාහනේට....."

"කොහේද යන්නේ.....?"

"ඇයි....?මාත් එක්ක ජීවිතකාලෙම ඉන්න ලෑස්තිවෙලා නේද ඉන්නේ....එහෙම එකේ මම කතාකලහම එන්න බැරිද.....?"

"ජීවිතකාලෙම ඉන්නේ වාහනේ ඇතුලේ නෙමෙයිනේ...."

"කටවහගන නගිනවා මෝඩයෝ...."

"ඇයි මේ තරහින් වගේ.....? ඔහොම ඉන්න එපා අයියේ...බය හිතෙනවනේ....."

"බයවෙන්න එපා...මරන්න නෙමෙයි එක්කන් යන්නේ...සද්ද නැතුව ඉන්නකෝ ටිකක්..."

වාහනේ නැවතුනේ මුහුදු වෙරළකවත් නිස්කලංක පරිසරයකවත් නෙමෙයි.ගිනි අවුවේ කැකෑරෙන නුගේගොඩ සුපර්මාර්කට් කාර් පාර්ක් එකේ.මේ කතාව ලියවෙන්න පටන්ගත්තේ ඇල් හෙවනක නෙමෙයි.ඒ නිසා මේ කතාව ඉවරවෙන්න හරි ඇදගන යන්න හරි ඕනෙත් මේ ගිනි අවුවෙම තමයි.

"මාත් එක්ක මුළු ජීවිතකාලෙම ඉන්න පුළුවන්ද...?"

"අයියේ...."

"කියන්න....මම ඔයාව මගේ ජීවිතේට බාරගන්නවා කියන්නේ සමහරවිට ලොකු ප්‍රශ්න ගොඩක පටන්ගැන්ම වෙන්න පුළුවන්.හිතාගන්නවත් බැරි ලොකු ප්‍රශ්නගොඩක්.මොන ප්‍රශ්නේ ආවත් මාත් එක්ක ඉන්නවද....?කියන්න මට"

"ප්‍රශ්න එනවා කියන එක නොදැන නෙමෙයි අයියේ මම ඔයාට කැමතිවුනේ.....ඒ හැම ප්‍රශ්නෙකටම ඔයත් එක්ක මූණ දෙන්න බලාගනයි මම ඔයාට කැමතිවුනේ....ඔවු...ලෝකේ පෙරළුනත් මම ඔයත් එක්ක ඉන්නවා..."

"හිතන දේවල් ඒ විදිහටම නොවෙන්න පුළුවන්.මට ඔයාව මගෙ ලඟට ගන්න කලින් සමහරවිට ඔයා මේ ජීවිතකාලෙටම අඬපු නැති තරමට ඔයාට අඬන්න වෙයි...ගුටිකන්න වෙයි....බැනුම් අහන්න වෙයි....හැම දේකටම ඔයා ලෑස්තිද?"

"මම ඔයාට වඩා ගොඩක් පොඩියි තමයි.ඒත් සීනිබොල කෙල්ලෙක් නෙමෙයි.ඔයා මත්තෙම මැරෙනවා කියලා ඔයාගේ හිත සනසන්න මට ඕනේ නෑ.ඒත් අයියේ ඔයා තමයි මගේ පළවෙනි වගේම අන්තිම ආදරේ වෙන්න ඕනේ.ඒක ඒ විදිහට කරගන්න ඕනේම කැපකිරීමක් මම කරනවා.ඒ ඔයා හින්දා නෙමෙයි.මම හින්දා.මොකද මට ඔයා නැතුව ජීවත්වෙන්න අමාරුනිසා....."

"මේක ගොඩක් අසාධාරන ඉල්ලීමක් වෙන්න පුළුවන්.ඔයාගේ ගෙදර අමතක කරලා ඔයාට එන්න කියන්න මට බෑ.ඒත් එක ඉල්ලීමක් කරන්නම්.මම මේ පොරොන්දු ගොඩක් විශ්වාස කරනවා. සමහරවිට මම කරන්නේ වැරද්දක් වෙන්න පුළුවන්.ඒත් මම ඔයාව ගොඩක් විශ්වාසකරනවා. එහෙම කරන මාව අතරමංකරන්න එපා.මම මේ තීරණය ගන්නෙත් මගේ ජීවිතේ හැම දෙයක්ම අතාරින්න බලාගන.ඒ විශ්වාසය මට ඔයාගෙනුත් ඕනේ.අපි අපේ ගෙවල් කැමතිකරගන්න බලමු.ඒත් ඒක කරගන්න බැරිම දෙයක් වගේනම්..... තීරණය ඔයාගේ අතේ...."

ඔවු..පුරුදු විදිහට හැමදාම වෙනවා වගේ විලිලැජ්ජා නැතුව මේකා බෙරිවෙන්න පටන්ගත්තා.සුපුරුදු විදිහට මමත් මොකාද වගේ ඒකව තුරුල්කරගත්තා.වාහනවල හිටපු එවුන් එහෙන් මෙහෙන් එබිලා බලනවා දැක්කත් කිසිගානක් තිබ්බේ නෑ මටත්.මට ඕනේවුනේ මට අයිති මල මගේම කරගන්න විතරයි.

"මම ඔයත් එක්ක හැමදාම ඉන්නවා අයියේ....හැම දෙයක්ම අත් අරින්න මම ලෑස්තියි....." 

ඉකිබිඳින කටහඬ වෙවුල වෙවුලා කිවුවා.ජීවිතේ පළවෙනි පාරට මට අයිතිවෙන්න තියන ඒ පුංචි මලේ නලල උඩින් මම මගේ තොල්පෙති තිබ්බා.ජිවිතෙත් හරි පුදුමයි....මීට පැයගානකට කලින් පන්නලා දාන්න හදපු මේ මෝඩිව මම දැන් තුරුල්කරගන ඉන්නවා.ආපහු කිසිම ප්‍රශ්නයක් ජීවිතේට ලංකරගන්න නොහිතපු මම මේ බැල්ලි පැටියා නිසා ඉල්ලන් මාමයිට් ගාගන්න හදනවා.

"කෝ ඔළුව උස්සන්න....දැන් ඇති මේ කඳුළු....මම ඔයාට පොරොන්දුවෙනවා ආපහු මේ ඇස්වල කඳුළු නොදකින්න මට කරන්න පුළුවන් උපරිමය මම කරනවා කියන එක.ඒ වගේම ඔයත් මට පොරොන්දුවෙන්න ඕනේ මේ විදිහට හැම තිස්සෙම වක්කරගන්නේ නැතුව හිත හයියකරගන්නවා කියලා....මේ කඳුළු මට වදයක්.මම කැමති නෑ ඒකට.තේරුනාද මෝඩයට......?"

"ඒක වෙන්න ඇති පහුගිය ටිකේම මාව ඇඬෙවුවේ....බූරුවා...."

"යකෝ...මිනිහෙක් එක්ක යාළුවුන දවසෙම මිනිහට කතාකරන්නේ බුරුවා කියලද....?අයියෝ මගේ අනාගතය....."

"බුරුවෙක් නෙමෙයි තෝ...මී හරකෙක්.මාස ගානක් තිස්සේ ඉඳලම මාව ඇඬෙවුවා.....හරියට මේ ලෝකේ ඉන්න එපාම කරපු කෙල්ල එයා පස්සෙන් ආවා වගෙයි....."

"ඔවු....මේ ලෝකේ ඉන්න එපාම කරපු කෙල්ල නේන්නම් මේ ඉන්නේ....අහිංසක මට ඉන්න දෙන්නේ නැතුව අඬලා අඬලා මාව අයිතිකරගත්තා.... කපටි අම්මන්ඩි..."

"යනවා යන්න....කවුද දන්නේ නෑ කපටි.හිතේ තියාගන බොරුවට ගණන් උස්සලා මාව පස්සෙන් ගෙන්නගන එයාගේ අගය වැඩිකරගන දැන් මට කපටියලු....."

"වැඩේමයි මේ දොඩම් ඇටදෙකක් උස නැති ඇඹිටිල්ලියෙක්ව පස්සෙන් ගෙන්න ගන්න.....මට වෙන වැඩ නෑනේ.....අහන්නකෝ...යමුද දැන් ගෙදර?"

"අනේ....තව ටිකක් ඉමුකෝ....ඔයත් එක්කනේ යන්නේ.පරක්කු උනාට ගෙදරින් මුකුත් කියන්නේ නෑ...."

"හම්ම්....අම්මලා නරියටනේ කුකුල්ලු බාරදුන්නේ...ඒ වුනාට කමක් නෑ. යමු.පුදන කොටම කාපි යකා වෙන්න ඕනේ නෑනේ.අනික මම එනකම් මාමණ්ඩි බලාගන ඉන්නවනේ....."

"හම්ම්....යමු එහෙනම්.හැබැයි හැමදාම මෙහෙම ඉක්මනට යන්න ඔට්ටු නෑ හොඳේ...."

"අහන්න....මම මේ අත අල්ල ගත්තේ ආපහු අතාරින්න නෙමෙයි.ඒ නිසා පොඩ්ඩක් ඉවසන්න.ඉස්සල්ලම පාර එළිකරගන ඉමු.ඊට පස්සේ උඹත් එක්ක ඕනේ මගුලක් නටන්න මම එන්නම්...."

"අන්න ඒකනේ මම මේ වගේ මිනිහෙක් හොයාගත්තේ.ඒකට හැම දෙයක්ම තේරෙනවනේ.එයා හරි ලොකුයිනේ...."

"ඇත්තද...ඒත් ලොකු එකාට මේ ඇඹිටිලගේ මායම් තේරුනේ නෑනේ...."

"ඒකට තව ගොඩක් ලොකු වෙන්න වෙයි.....යමු අයියේ..."

ආපහු ඒ නලල උඩ මගේ තොල්.....

"යමු..."

                                     ?????????


කටුස්සා....

Friday, May 6, 2016

කෝ කොහේදෝ මා සොයන්නී.... ආදරේ දුන්නී.......


නික්ම යන මොහොතට කලින්
මට කියනවද ලංවී හොරෙන්
අපි අපේ වී උන්නු කාලය
බොඳකෙරුව හැටි මතකයෙන්

නෙතු තෙමන කඳුළැලි මතින්
හිත තදකරන් ලත් ඉසිඹුවෙන්
බලා මා දෙස සිනාසෙනවද
ඉරිතැළුණ සිහිනය මැදින්

තුරුළුවී පෙර හුරු ලෙසින්
නුඹ මගේ පපුවට හිස තියන්
තවත් මොහොතක් රැඳෙනවද ලඟ
සෙනෙහසේ නටඹුන් මතින්

මගේවුනු කල දුන් පෙමින්
නෙක පාට තැවරුව හදවතින්
තබා මතකය නික්ම යනු අද
කිසිදිනක  නොදකින ලෙසින්


කටුස්සා....