Wednesday, March 30, 2016

ආදරණීය චූටි


ආදරණීය චූටි,

ඔක්කොමල්ලා සනීපෙන් ඇතැයි හිතනවා.මමත් වැඩිය කරදරයක් නැතුව රස්සාව කරගන යනවා.මේ සතියේ අම්මව ක්ලීනික් එකට එක්කගන ගියාද? දොස්තරලා බලල මොනවද කිවුවේ? අර ගියපාර දුන්න බෙහෙතෙන් හතිය අඩුවෙන්නේ නෑ කියලා කිවුවද? මේ පාර පඩි එවුවහම අම්මව හම්බන්තොට එක්කගන ගිහින් වීරසිංහ මහත්තයට පෙන්නන්න.රසිකට සල්ලිදුන්නහම ඒකා වැඩට යන ගමන් චැනල් කරන වැඩේ කරයි.ඔයා ඒ වෙනුවෙන් හම්බන්තොට යන්න ඕනේ නෑ තනියම.අර එවපු සල්ලිවලින් නෙස්ටමෝල්ට් එකකුයි, මාමයිට් එකකුයි ගත්තද.අම්මනම් ඕවා එපා කියයි.ඒ වුනාට බලෙන් හරි හදලා දෙන්න.එයාගේ ඇග දැන් හරි දුර්වලයි චූටි.ගියපාර ගමේ ආව වෙලාවේ දැක්කහම මට ඇඬෙන්නත් ආවා. තාත්තා නැතිවිච්ච දවසේ ඉදන් හේන්වල, කුඹුරුවල කරවෙලාම තමයි එයාට ඔය කරුම ලෙඩේ හැදුනේ. එහෙම කරල හරි එයා අපි තුන්දෙනාට කන්න දුන්නනේ දවසට වේලක් හරි.ඒ නිසා චූටියෝ අම්මව බලාගන්න හොදට.අපි එයාට කොච්චර සැලකුවත් තාත්තා නැතිවුන දවසේ ඉදලා එයා කරපුවැයි ණය ගෙවාගන්න බැරිවෙයි අපිට කවදාවත්ම.වැඩිය තනිපන්ගලමේ එහේ මෙහේ ඇවිදින්න දෙන්න එපා. මට හරි බයයි එයා වැටිලා එක්තැන් වෙයි කියලා.අම්මව බලාගනින් ඇහැක්වගේ නංගියේ.

මල්ලිගේ විස්තර කොහොමද? මේ පාර විභාගේ ලකුණු හොදයිද? මොනවා නැතිවුනත් ඒකගේ ඉගනීමට ඕනේ කරන අඩුපාඩු ටික අරගන දීපන්. නැත්තන් එක එක අඩුපාඩු දැනෙනකොට පොඩි එකාගේ ඉගනීමට තියන උනන්දුව අඩුවෙයි.ඒකා හොදට ඉගනගන්න එක අපේ හිතට කොච්චර සහනයක්ද. පොඩ්ඩට කියන්න මම මේ පාර එනකොට සපත්තු දෙකක් ගේන්නම් කියලා.ඌත් දැන් අවුරුදු දෙකකින් සපත්තු කුට්ටමක් ගත්තේ නෑනේ.ඔය දෙන්නගේ එළවළු කොටුවේ වැඩ එහෙම කොහොමද? පෑවිල්ල නිසා එච්චර සරුනම් නැතුව ඇති නේද? අනේ චූටියේ, ඔය වැඩේ අතැරලා දාන්න.අම්මගේ වැඩයි, ගෙදර වැඩයි එක්ක උඹ කොහොමද නංගියේ ඔය වැඩත් කරන්නේ.පොඩ්ඩටත් ඉස්කෝලේ පාඩම් වැඩක් බලාගන්න කියන්න.ඕවට නැහුනා කියලා ඇති වැඩක් තියනවද? දන්නකාලේ ඉදන් ගමේ ඉන්න හැමෝම කරන්නේ ගොවිතැන.ඒත් දියුණුවිච්ච එකෙක් ඉන්නවද. හැමදාම දියුණුවුනේ ගුනේරිස් මුදලාළි විතරයි ,ගමේ එවුන්ගේ රීරි මාංසේ උරාබීලා.දෙයියනේ කියලා උඹලා තුන්දෙනාට කන්න දෙන්න දැන් මට පුළුවන්.ඔය ගෙදරට ඕනේ කරන දෙයක් මිස ලොකුවට වගාකරන්න යන්න එපා චූටියේ.

මට රසික ලියුමක් එවලා තිබුනා උඹලැයි දෙන්නගේ සම්බන්දේ ගැන. උඹත් ගොන් හරකියෙක්නේ. ගියපාර ආපු වෙලාවේ ඕක මට කිවුවනම් මම ඒ පාර රසිකලගේ ගෙදරත් එක්ක ඔයගැන කතාකරනවනේ. කමක් නෑ.අපි මේ පාර ආවහම කතාකරගන තීන්දුවක් ගමු.රසිකයා හොද කොල්ලා. ගෙදර මිනිස්සුන්ගෙත් වැරද්දක් නෑනේ.මට කියලා එවලා තිබුනා මේ කන්නෙන් පස්සේ මහ ට්‍රැක්ටරයක් ගන්නවා කියලා.ඌ කොහොමත් උත්සහවන්තයා. උඹට වැරද්දක් වෙන එකක් නෑ. උඹත් හිමිච්චි වගේ ඉදගන ඒකව දැලේ දාගත්තා නේද?.

මට මේ පාර අවුරුද්දට ගෙදර ඉන්න බැරිවෙයි චූටි.අවුරුදු දවස්වල නිවාඩු කැන්සල් කරලා.අනිවාර්යයෙන්ම පෝස්ට් එකේ ඉන්න වෙනවා. මම OIC මහත්තයට කිවුවා අවුරුද්දට කලින් ගෙදර ගිහින් එන්නම් කියලා.ඒ වැඩේ හරියයි.එහෙමවුනොත් මම අවුරුද්දට කලින් ගෙදර ඇවිත් යන්න එන්නම්.ඒ එනකොට ගේන්න මොනවහරි තියනවනම් මට ලියල එවන්න පොඩ්ඩගෙනුත් අහලා.මම අරගන එන්නම්.උඹට පුලුවන්නම් කැවුම් ටිකක්, කොකිස් ටිකක් හදල තියපන් මට අරගන යන්න.අවුරුදු දවස්වලට කොළඹ මල පාළුයි චූටියෝ.බලු බල්ලෙක් නෑ.අඩුමගානේ තේකක්වත් බොන්න කඩයක් නෑ.ඩියුටි වැටිලා ඉන්නකොටනම් ඔෆිස් එකෙන් කන්න ගෙනත්දෙනවා.ඩියුටි නැති වෙලාවට කාමරේට ගිහින් මොනවාහරි හදාගන්නවා.මම ගියසතියේ භූමිතෙල් ලිපකුයි අනිත් අඩුම කුඩුම ටිකකුයි ගත්තා. හැබැයි  ඒ දවස්වලට මගේ බාහිර උපාධියේ පාඩම් වැඩ ටිකනම් කරදරයක් නැතුව කරගන යන්න පුළුවන්.ඔෆිසුත් වහලා නිසා පෝස්ට් එකට වෙලා නිකන් ඉන්න එකනේ තියෙන්නේ.

මේ මාසේ ඉඳලා මගේ පඩිය වැඩිවෙනවා රුපියල් 3000න්.ඒකත් ලොකු දෙයක්නේ.කොල්ලොනම් කියනවා උඹ ලොක්කගේ පක්කලිකම් කරන නිසා තමයි එහෙම පඩි වැඩිවුනේ කියලා.ඒ වුනාට මම ඒ කතා ගණන්ගන්නේ නෑ.ඔය ඔෆිස් එකට ගිය වෙලාවක ලොක්කගේ වාහනේ හෝදනවා වගේ වැඩ කරන්නේ හිතවත්කමටවත්, ගොට්ට අල්ලන්නවත් නෙමෙයි කියලා උන්ට තේරෙන්නේ නෑ.ලොක්කගේ වාහනේ හේදුවහම හම්බවෙන 150න් මට දවස ශේප් කරගන්න පුළුවන්කම තියෙද්දි මොන බම්බුවටද මම ඒක නොකර ඉන්නේ. සිකුරිටි වැඩේ කරන්න ආවනම් සිකුරිටි වැඩේ කරපන් කියලා මගේ මූණටම කියපු එවුනුත් ඉන්නවා. මූණටම නොකියා හින්ට් පාස් කරන එවුනුත් ඉන්නවා.මම ඒ එකෙක්වත් මායිම්නොකර මගේ වැඩේ කරගන යනවා චූටියෝ. උඹට මතක ඇතිනේ, ගමේදිත් අපිත් එක්ක මූනිච්චාවට හිනාවුනාට බඩගින්නට බත්කටක් දුන්නේ කීයෙන් කී දෙනාද?.ගමෙයි කොළඹයි කියලා වෙනසක් නෑ චූටියෝ.අපි හම්බකලොත් අපි කනවා.මම මේ හදන්නේ කොහොමහරි කට්ට කාගන උපාධිය කරගන්න.මේ රස්සාව නිසා නිදහසේ රෑට පාඩම් වැඩටික කරගන්න පුළුවන්.OIC මහත්තයත් මට ටිකක් උදවුකරනවා.ඒ නිසාම ගොඩක් දවස්වලට නයිට් ශිෆ්ටෙකම දාලා දෙනවා මට. ඒ නැතුව මීට වඩා පඩියක් ගන්න පුළුවන් අත්වැඩ දෙන්න ගියානම්.ඒත් දවසම මහන්සිවෙලා ඇවිත් කොහොමද පොතක පතක වැඩක් කරගන්නේ.අපි කොහොමහරි ගොඩයමු චූටියෝ. කාටවත් පේන්න නෙමෙයි.අපි ඔක්කොම ගොඩක් දුක්වින්ද නිසා.මහන්සිවෙලා පොඩ්ඩටත් උගන්නගන්න ඕනේ.උඹටයි පොඩ්ඩටයි හරිගියාට පස්සේ මට මොනවාඋනත් කමක් නෑ.දැනටත් මේ වැඩකරන තැන්වල ඉන්න මිස්ලා සර්ලා මූණට හිනාවුනාට නැතිතැන මට කතාකරන්නේ සික්කා කියලා කියන එක මම නොදන්නවා නෙමෙයි. ඒත් දැන් මට ඒවට දුකක් හිතෙන්නේ නෑ චූටියෝ.මම දැන් හිතාගන ඉන්නේ මොන දුකක් විඳලාහරි කමක් නෑ මම නැගිටිනවා කියන එක විතරයි.මම විතරක් නෙමෙයි.අපි ඔක්කොම.

මම නවතින්නම් චූටි.ඔක්කොමල්ලවම මතක්කලා කියන්න.අම්මව, පොඩ්ඩව බලාගනින්.උඹ තමයි දැන් ගෙදර ඉන්න දෙවනි අම්මා. උඹ නිසා තමයි මම හිතේ සැනසීමෙන් මෙහෙ වැඩටික කරගන්නේ.ගෙදර ඔක්කොටමත් උඹටත් රත්නත්තරේ පිහිටයි.

ලොකු අයියා.

ප.ලි -
අවුරුද්දට ඇදුම් අරන් එද්දී රසිකටත් කමිසයක් ගේන්නම්.ඒකගේ කමිස සයිස් එක අහලා එවපන් ලියුමක් එවනකොට.




කටුස්සා....



Wednesday, March 23, 2016

සියළු සත්වයෝ නිවන් දකිත්වා....



නාලක....එන්න සැතපෙන්න
සාටකේ පොරවගන
කොච්චරනම් සනීපද....සිවුරට වඩා
සාටකේ.....
තුරුල්වෙන්න තව ඩිංගක් කියන්න පොඩි රහසක්....
සෝහිත, ශානි, ෆොන්සෙකා, රණවිරුවෝ.....
ඔවු....ඔවු....ඒක තමයි
ප්‍රෙස් කොන්ෆරන්ස්....හෙට උදේ 11ට
නොවැරදීම ඇවිත් ඉන්න....මතකයිනේ ඔක්කොම ටික
ලියල එවන්නද පන්සලටම....
ඔවු....ඔවු....එපා නාලක සැක හිතන්න
කෙලෙහිගුණ....
මම තරම් දන්නවද මේ රටේ කවුරුවත්....

ධම්මේ....
නෑ....නෑ....මේ මම....පැටියගේ අම්මා නෙමෙයි
ඒකි මරලා කොයි කාලෙද.....
අතේ තවම ලේ නේද....
එන්න පිහදාන්න සාටකෙන්....නොපෙනෙන්න
බලන්න කොච්චර සනීපද සාටකේ....ගෑවෙනකොටත්
පැච්වර්ක් සිවුරටත් වඩා
කීයක් එකතුවුනාද මචෝ....දහයේ කාසි
එකක්වත් නෑ....!!!!
ඒ කියන්නේ උඹත් අනාතද....මම වගේම
හරියන්නෑ ඔහොම ඉඳලා....ප්ලෑනක්නම් තියනවා
ඕකනේ කියන්නේ....බබා වෙන්න හදනවනේ....
මල්වත්තටත් බෝම්බ ගහන්න හැදුවට
ඔයා තාම ලාමකයිනේ....
ඔවු....ඔවු....සෝභිත තමයි
අර අපි හප්පලා මරන්න හැදුවේ....
හරිනේ එහෙනම්....හෙට උදේ 11ට
වැඩ්ඩොතින් වැඩිල්ලක්
එක අලියට අලි දහයක්
දාලායනවා අසපුවේ
අම්මපා....

ඇල්ලේ....මම....මම....
මොකෝ මේ සද්ද නැත්තේ....
ප්‍රේමේ....ගාමිණී වගේ නෙමෙයි උන්ගේ පුත්තු මචං
බලන්නවත් ආවද ඔහේව....
පත්තරේකවත් දැක්කේ නෑ මූණ
හරියනවද ඔහොම ඉඳලා....
අමතක නෑ කරපු උදවු....එන්න....සාටකේ යටට
විඳගන්න....කුරහන් සුවඳ
මූන දාගන්න T.V. එකට
ඔවු....ඔවු....සෝභිත තමයි
ස්ක්‍රිප්ට් එක සීයේ හිඟන්නගේ....
ඇතුලේ මුකුත් තිබුනේ නෑළු....බොඩියේ
ඔවු....ඔවු....එහෙම තමයි මිනී එවන්නේ
රටකින් තවත් රටකට....
ඕවා දන්නවද මිනිස්සු....
යමු....යමු....හෙට 11ට 
ප්‍රෙස් කොන්ෆරන්ස්....
10 වෙනකොට වාහනේ එයි....පන්සලට


අපිට වැරදුනා බුදුහාමුදුරුවනේ....


කටුස්සා....

Monday, March 21, 2016

නුඹට හිතැති නුඹ හිත නැති .....



හිරු රැසින් පිපි රෝස කුසුමක් නෙලා පිණිදිය විසුරුවා
සිසි උවන රැඳි සිසිල දෝතින් සුමුදු පෙති මත රඳවලා
උදා ඉරබටු තාරුකාවේ කැල්ම රොන් වට තවරලා
ඔබ නිදන සයනයෙ තියන්නම් ඔබට රහසින් පැමිනිලා

ඈත හිමගිර සීත කඳුරක උනන පැන් දෝතට දරා
මිනිස් ඇසකින් නොකිලිටිව ගිය සුවඳ පරසතුවක තබා
තඹර රොන්මත සරන බඹරුන් තනන මධු බිඳකුත් දමා
දෙතොල් නා දළු මත තබන්නම් සසල නෙතු බිඳකට වසා

ගැඹුරු සමුදුර පතුල රැඳි මුතු කිමිද සුරැකිව ලයහොවා
නීල අහසේ වලාවක් මත එකින් එක මුතු අමුණලා
නුඹ නමින් නෙත ඉණුව කඳුලින් ධවල මුතුපොට සරසලා
සුමුදු ගෙලවට පළඳවන්නම් සිහිනයෙන් මම පැමිණිලා


කටුස්සා.....


ප.ලි -

කට්ටියගෙන්ම ලොකු උදවුවක් ඕනේ.පහුගිය දවසක පෝස්ට් 100ක් පබ්ලිශ්කරපු ප්‍රීතිය වෙනුවෙන් ලියපු "පොෂ් බල්ල්ලෙක්ද...වල් බල්ලෙක්ද" කියන ලිපිය මගේ අතින් මැකිලා.එම ලිපිය නැවත ස්ථාපනය කරගත හැකි මාර්ගයක් දන්නේනම් කමෙන්ට් මගින් හෝ පහත දක්වා ඇති මාගේ මේල්ලුවට හෝ දන්වා එවන ලෙස සියල්ලන්ගෙන්ම කාරුණිකව ඉල්ලාසිටිමි.

dimuthusomnas8@gmail.com

Saturday, March 19, 2016

"පොෂ් බල්ල්ලෙක්ද...වල් බල්ලෙක්ද"



ඔන්න එකමත් එක ගමක කොල්ලෙක් හිටියලු.ඒ කොල්ලට තමන්ගේ බඩවියත රැකගන්න කරන රස්සාව නිසා උපන්දා ඉදන් ජීවත්වුන ගමෙන් ඈත්වෙලා කිලෝ මීටර් 200 කටත් වඩා දුර බැහැර ප්‍රදේශයකට යන්න සිද්දවුනාලු.ඉතින් මේකා එහාට ගිහින් රස්සාවත් කරගන අනිත්වැඩත් කරගන පාඩුවේ ජීවත්වෙනවලු.ආ...අමතක වුනානේ.මූට කෙල්ලෙකුත් හිටියලු අවුරුදු 6ක් විතර තිස්සේ ඉදන්.දවල් වරුවේ රස්සාව කරලා ගෙදර ඇවිත් මහ රෑ 1-2 වෙනකන් මල් කඩන එක තමයිලු මේකගේ දිනචරියාව. ඔහොම ඉන්නකොට මේ ගෑනු දැරිවි මේ කොල්ලව දාලා යන්න ගියාලු.දැන් කොල්ලා හෙන දුකින් සංතෝශෙන් කාලේ ගතකරනවලු.දුක නැතිකරගන්න කියලා දවල් කාලයේදී යකාවගේ වැඩකරන කොල්ලට අවුලවුනේ රෑ වරුව ගතකරන එකලු.මහ රෑ තිස්සේ මල් කඩලා පුරුදුවුන මේකට ඒ පුරුද්දට නින්ද යන්නෙත් නැතිලු.මූ කරන්නේ සිගරට් එකක් කටේ තියාගන මනෝ ගහගන ඉන්න එකලු.ඒ ඉන්නගමන් මෙච්චර කාලෙකට පොතක කොලේක බලිකුරුටු විතරක් ඇඳපු මූ ;  අතට අහුවෙන කොලකෑලිවල, පොත් පිටුවල "කවි වගේ ඒවා" කුරුටුගාන්න පටන් ගත්තලු.හැබැයි ඌ අතින් කුරුටු ගෑවුනේ දාලාගිය කෙල්ලට ලියන අඳෝනාමලු.මූ කොච්චර නෑ කියලා කිවුවත් කෙල්ල ආපහු එයි කියන බලාපොරොත්තුවකුත් ඒ කාලේ මුගේ හිතේ තිබුනලු.

ඔහොම ඉන්න අතරමග "සිංහළ බ්ලොග් "කියල එකක් ගැන මූට මතක්වුනාලු.ගොඩ කාලෙක ඉදන් ඔය බ්ලොග් කියන ජාතිය එහෙන් මෙහෙන් කියෙවුවත් මූ වැඩිපුර ඒකට යොමුවුනේ නැත්තේ එච්චර කාලෙකට මල් කඩනවා ඇරෙන්න මූට ඒවා කියවන්න තරම් වෙලාවක් තිබුනේ නැති නිසාලු.දැන් ඉතින් මූට රෑ තිස්සේ මේවා කියවන්න කන පැලෙන්න වෙලාව ලැබුනවෙලේ මූ බ්ලොග් කියවලා සමහර බ්ලොගර්ස්'ලගේ පරණ ලිපිත් ඇද ඇද කියෙවුවලු.ඔන්න ඔහොම ඕවා කියවනකොට "මාතලන්" කියලා එකෙක් "කැම්පස් සිංඩිය " කියලා එකකට ලියපු "බොගක් දාන්නේ කෙසේද?" කියලා ලියල තිබුන ලිපිපෙල මූ දැක්කලු.දැන් මූටත් මේක බලාගන බ්ලොගක් හදාගන්න ඕනෙවුනාලු.ඉතින් මූත් ඔය මාතලන් කියන එකා ලියපුවා බලාගන බ්ලොග ඇටෙවුවලු.අනිත් ඒවා කොහොමවුනත් හදන බ්ලොගට නමක් දාන්න ගියහම මූට එපාවුනාලු.රටක භූත නම් මතක්කර කර ඉන්නකොට මූට මතක්වුනාලු මුගේ ෆෝන් කට්ටෙන් ගත්තු කටුස්සෙකුගේ රූපයක් මූ ලඟ තියනවා කියලා.දාලා ගිය එකීත් කටුස්සෙක්වගේ පාට වෙනස්කරන නිසා ඒ ඇත්තියි, ඒ ඇත්තිගේ මවු දෙමවුපියොයි ගැන හිතේ උපන් සෙනෙහස නිසාම මේ කොල්ලා මූ හදන බ්ලොගට "කටුසු හදවත" කියලා නමක් තිබ්බලු.

ඒකේ පැත්තකින් වැල්ලවත්ත මුහුදුවෙරළේදී ඡායාරූපයට නගපු ඒ ඇත්තිගේ සහ මේ කොල්ලාගේ අඩි සටහන් දෙකකුත් එල්ලුවලු.දැන් වැඩේ සෙට්වුන නිසා මූ පටන්ගත්තලු කියන්න මුගේ අඳෝනාව.පළවෙනි එකත් දැම්මලු.කට්ටිය නෑලු.කමෙන්ටුත් නැතිලු.දෙවනි එකත් දැම්මලු.ඒකටත් ඒ සෙතේමලු.හෙන අප්සට් එකේ ඉන්නකොට මූට මතක්වුනාලු මූ කියවපු බ්ලොග් කමෙන්ට්වල ඉන්න ෆිට් බුවෙක්ව "අටමා" කියලා.ඉතින් මේ විස්තරේ කියලා මූ දැම්මලු අටමට මේල් එකක්.ඔන්න ඉතින් දාන පරක්කුවෙන් මූත් එවුවලු මාගල වගේ මේල්ලුවක්.ඉතින් ඒකේ තිබුන අවවාද ,උපදෙස් ගුරුකරගන හිමින් හිමින් මූ, උගේ බ්ලොග් ලියන වැඩේ කරගන ගියාලු.2014 ඔක්තෝම්බර් මාසේ ඉඳන් ලියපු කොල්ලා 2016 මාර්තු 15 අලුත් පෝස්ට් එකක් ලියන්න පටන්ගන්න හදනකොට අමුතුම සීන්කෝන් එකක් දැක්කලු.ඌ පෝස්ට් 99ක් පබ්ලිශ්කරලලු.

ජීවිතේ අමාරුම කාලෙක පුරුදුවුන මේ පුරුද්දට නොදැනුවත්වම මම ඇබ්බැහිවෙලා.හුරුපුරුදු ප්‍රදේශයෙන් ඈත්වෙලා හුරුපුරුදු ජීවන රටාවෙන් ඈත්වෙලා ගතකරන ජීවිතයට මේ පුරුද්ද අස්වැසිල්ලක්ම වුනා.මුලදී මේක ලියන්න විරහවම හේතුවක් වුනත් පස්සේ පස්සේ විරහව අමතකකරලා පුරුදු ජීවන රටාවට ආපහු එන්නත් මේ පුරුද්ද ඉවහල්වුනා.හිතට හිතෙන දේවල් පිටකරන්න මාධ්‍යක් වෙනගමන්ම මේ බ්ලොග් ඇබ්බැහියෙන් විශාල දැණුමකුත් ලබාගත්තා.තාමත් කවියෙක්, ලියන්නෙක් කියලා මටම නොහිතෙන මගේ බලි කුරුටු කියවලා අදහස් දක්වන්නත් පිරිසක් ඇතිවුනා.එහෙම තත්වෙකදී මේ 100 වෙනි ලියවිල්ල ගැන මගේ හිතේ තියෙන්නේ සිහින් සතුටක්.

මම වගේම තව ගොඩක් නවක බ්ලොග්කාරයන්ට බ්ලොග්කරනය පිළිබඳව අත්පොත් තැබීමට මග විවරකල "මාතෙට", එදා උදවු ඉල්ලපුගමන් කවමදාවත් අදුරන්නේ නැති මට උදවුකරපු "අටමට" මගේ විශේෂ ස්තූතිය.උඹලා දෙන්නා එදා ඒ විදිහට මට උදවුනොකරන්න අද කටුස්සෙක් නෑ.උඹලා දෙන්නා මගේ බ්ලොග් ලෝකයේ ගුරුවරු වෙන්නේ අන්න ඒ නිසාමයි.මගේ පළවෙනි අදහස් දක්වන්නා විදිහට කමෙන්ට් කරමින් ,නව රැකියාවේ කාර්යබහුලත්වය නිසාම බ්ලොග් ලෝකයෙන් ඈත්වුනත්, ඒ වෙනකම්ම මගේ හැම පෝස්ට් එකකම මාත් එක්ක හිටපු "රූපේ" ," මගේ දෙවනි කමෙන්ටර් වුන "මයියා" (මහේශ් ), "මනෝශ්" උඹලා තුන්දෙනාට ගොඩක් ස්තූතියි කරපු  හැමදේකටම. බ්ලොග්කරනයේ මගේ පළමු යෙහෙලිය; "තනි තරුවා", උඹටත් ගොඩක් ස්තූතියි ඒ මිත්‍රත්වයට. "කවිකාර සිතිජඉමේ - තනුවෝ" ;උඹටත් එහෙම්මමයි.මේකෙදි හම්බවුන අනිත් විශේෂතම මිත්‍රයා; දයාබර "අරූ" අයියා.නවකයෙක්වුන මා හට ලබාදුන්න දිරිය තාමත් හදවතේ එහෙම්මමයි.ඒවගේම අවුරුද්දකට වතාවක් උපන්දින සුබපැතුම්පතකට කවියක් වගේ එකක් ලියපු මාව මේ විදිහට කුරුටුගාන්න පෙලඹෙවුව; ආදරණීය මතක වගේම අමිහිරිම මතකත් ජීවිතේට උරුමකෙරුව කාලෙකදී මගේම වෙලා හිටිය "ඔබටත්" ගොඩක් ස්තූතියි මේ හැම දේකටම.ටිකෙන් ටික මේකේ පැලපදියන් වෙද්දී අදහස් දක්වලා මේ වෙනකම්ම මාත් එක්ක හිටිය හැම දෙනාගෙම නම් ලියලා ස්තූති කරන එක බොළඳ වැඩක් නිසාම ඒ හැමෝටම පොදුවේ ස්තූති කරන්නම්.උඹලා හැමෝම කවදාවත් හිතින් අමතක වෙන්නෙනම් නෑ.

බ්ලොග්කරනයේදී වගේම පෞද්ගලික හමුවීම් වලදීත් මේ තුලින් හදුනාගත් මිනිස්සුන්ගෙන් මට ලැබුන,ලැබෙන මිත්‍රත්වය ,සහෝදරත්වය සමහර වෙලාවට අදහගන්නත් බැරිතරම්.ඒ හැම දේකටම නැවත නැවතත් උඹලට ස්තූතිකරන ගමන්ම හැමෝම ආදරය කරන සේකරගේ කවියකින් මේක නතරකරන්නම්.

නොගැයූ ගීතයක තණුවක් වී
නොහෙලූ කඳුලක සිහිලක් වී
නොපැතූ පැතුමක කළලක් වී
නොපෙනී ඔබ මා සමග සිටී
............දැන් මට තනි නැත



කටුස්සා....

Sunday, March 13, 2016

වෙන්වී යන්නට දවස පැමින ඇත.....


කඳුල රූරා ගලන කොපුලේ - සුමුදු මොලකැටි බව එදා
විඳපු දෙතොලග වියරු සිනහව- මැවෙන හැටි නොදනිමි මෙදා
සොයන සහනය දුන්න හදවත - ගලක් සේ නිසලව තබා
නිහඬ මුණිවත පුරන පෙම්වත - යනු මැනවි දුර කඳු බලා

කැඩුන අත්තටු රිදුම් දුන් කල - හොවා සුරැකිව සෙනෙහසින්
උණුසුමක් දුන් පිණට නුඹ පෙම - බැඳුණ පෙරදින හදවතින්
දරාගන්නට නොහැකි ලෙස දිවි - පිදුව මා හට කවි සිතින්
රැදෙවුවේ නුඹ කොයි ඉසව්වෙද - කියනවද යන්නට කලින්

සඳ එළිය ලඟ තරුව වුන නුඹ - දුන්න සිසිලස ලොභ සිතින්
විඳපු හදවත පැතුවේ ඇයි සඳ - වටහගන්නට බැහැ මටත්
අහිංසක ලෙස බලා සිටි නුඹ - දවාලන්නට බැරි දුකින්
වෙන්වුනත් මම රිදෙන මතකය- සනසගමි ඔබ සිසිලසින්

ලඟ සිටිනවිට හිතට නොදැනුන - හුරු පුරුදු ලෙංගතුකමින්
බලා මා දෙස සිනාසෙනු මැන - වෙන්වයන මොහොතට කලින්
සිතා බලනට ඉඩක් ලද විට - කඳුළු උනනා ඉසිඹුවෙන්
සිහිකරනු මැන කිමිද මා නෙත - කඳුළු වියලන සෙනෙහසින්


කටුස්සා....

Friday, March 11, 2016

සිසිල් සුව ගෙනෙන ඔබ.....



නිහඬය නිසලය හාත්පස පරිසරය
ශාන්තය පිවිතුරුය නිදිවැදුන හද මඩල
මලානික සඳ එළිය බිම්තඹරු පුබුදුකල
හැරයන්න අවසරයි රිදුන ජීවන ගඟුල

මනකල්ය විකල්ය රැවුදෙනා සුසුම්හඬ
සිත දඟය නොසන්සුන් හැඟුමක්ය සෑමතැන
දා බිංදු වැගිරෙනා ගතත් දැන් නිසසලය
රැහැයියොත් ගොළුවුනා විතරමයි මේ රැයට

සමුදෙන්න සමුගන්න කිසිවෙකුත් නොමැතිකල
සොහොන්කොත පාමුලේ මල්පොකුරු කොයිද තව
මතකබණ සියොතුන්ගේ දෙසවනට දුරයි මට
අමතකව ගිය පැතුම් කළඹවයි විසල් ලොව

නෙත්පුරා අයදින්න රුවක් මිහිපිට නොමැත
සිතපුරා ඇඳුන රුව නිසල විල සසලකල
ගැඹුරු හද නිදිවැදුන සීතලට තුරුළුකල
කෝපි මල් සිනා බිඳු වගුරවයි මිහිමඩල

පායනා හිරු නැවත නොපායන තරු අතර
සැරිසරන ආත්මය නිදහස්ය නිවහල්ය
කළුවරට බයවෙනා තනිවිච්ච තරු දෙනෙත
වියරු වි ගතු කියයි හදපෙලූ මදනලට



පේසාලේ සුසාන භූමිය.....වැඩිය බලන්න දෙයක් නැති පාලු මූසල බිම්කඩක්.කැඩිලා ගිය සොහොන් කොත් රාශියක් අතරමැද අළුතින් ඉදිවුන සොහොන්කොත් කීපයක් හැරුනකොට හින්දු චාරිත්‍රානුකූලව වලදැමූ මිනීවලවල් විසිරිච්ච බිම්කඩක්.මේ දවස්වල රාත්‍රිය ගතකරන ස්ථානයට නුදුරෙන් පිහිටලා තියෙන්නේ.අද උදේ රාජකාරියට යන්න එලියට බහිනකොට මිනිස්සු කලබලෙන් ඒ පැත්තට ඇදෙනවා.දෙමල අකුරක්වත් නොදන්න මම  මොනවා අහන්නද ඒ මිනිස්සුන්ගෙන්.මාත් එක්කම හිටිය මගේ හිතවත් ගැරේජ් එකේ ලොකු බාසුන්නැහේ තමයි විස්තරේ දනගත්තේ ඒ අයත් එක්ක කතාකරලා.

"කොල්ලෙක් මීනිපිට්ටනියේ වහබීලා මැරිලලු...."
"අපිත් යමු බලන්න......"
"මොනව බලන්නද මහත්තයෝ ඕකේ.....අනික මේ උදේ පාන්දර...."
"ඔන්න ඔහේ යමු පුබුදු අයියේ....මම කවදාවත් එම්බාම් කරපු මිනියක් ඇරෙන්න වෙන මල කදක් දැකලත් නෑ...."

මම ඉස්සරවුනා.පුබුදු අයියත් මගේ පස්සෙන් ආවා ,හිතින් මට බැන බැන වෙන්න ඇති.සුසාන භූමියේ හරි මැද්දේ වගේ මිනිස්සු වටවෙලා බලාගන ඉන්නවා.කෙඬෑරිවුන අතපය එක්ක දමිල මවක් මොනවදෝ කිය කියා බෑගිරි දෙනවා....ඔහුගේ දෙනෙත් ඇරිලා.කලුපාට මූණ වේදනාවෙන් ඇඹරිලා.ඒ ඇස්දෙක කොහේදෝ නොදන්න අනන්තයක් දෙස බලාගන ඉන්නවා.පෙනුමේ හැටියට වැඩිමවුනොත් අවුරුදු 20ක් ඇති.සමහරවිට ඊටත් වඩා අඩු ඇති.මොකද මේ පැත්තේ මිනිස්සුන්ගේ ජීවන රටාවත් එක්ක බහුතරයකට උරුමවෙලා තිබුනේ වයසට වඩා වැඩි පෙනුමක්.

"යමු..."කාත් එක්කද කතාකරමින් හිටිය පුබුදු අයියට කියාගන මම එන්න ආවා.
"ලවු කේස් එකක්ලු....කෙල්ලව වෙන කාටද බන්ඳලා දීලලු...." පුබුදු අයියා තව මොනවදත් කියෙවුවා.ඒවා එච්චර ඔළුවට ගියේ නෑ, අන්තිමට කියපු වචනේ ඇරෙන්න.

"පිස්සෙක්....."



කටුස්සා....

Wednesday, March 9, 2016

රුවලක් අහිමි ඔරුවක් -කවියක් වගේ එකකින්.....


රාජකාරියටත් වඩා සිද්දවුන අකරතැබ්බයක් නිසා අනුරාධපුර - මන්නාරම (පේසාලේ ) අතර හක්මන්කරනවා ඇරෙන්න වෙන වැඩක් කරන්න වෙලාවක් නැතිමවෙලා.සමහර දවස්වල රැය ගෙවෙන්නෙත් තලෙයිමන්නාරමේ.එහෙම රැය ගෙවන්න හිතට අල්ලන තැනකුත් හම්බුනා වෙරළ කිට්ටුව.තනියෙන් මල්පැන් තොලගාන්න මනාපයක් නැති නිසාත් ,යටතේ වැඩකරන සේවකයන් හා මල්පැන් තොල නොගාන නිසාත් (ලොකුකම පෙන්වීමට නොව එසේ සිදුකර පසුව ඇතිවන ගැටළුවලට මුහුණදීමෙන් පාඩම් උගෙන ඇති නිසා ) එහෙම දවස්වල පාළුවෙන් රැය ගෙවෙනවා.දවසක් මහ රෑ මුහුදේ සද්දේ අහගන ඉන්නැද්දී මේ බ්ලොග් වලම ලඟදී කියවපු කතාවක් ආපහු හිතට දැනුනා.ආපහු ලැට්-ටොප් එක දිගඇරගන ඒ කතාව කියෙවුවා.ඒක ගොඩක් හිතට දැනුන කතාවක් මටනම්.ගිම්මිගේ කෝළමේ "රුවලක් අහිමි ඔරුව". ඉතින් ඒක කියවද්දී හිතිච්ච දේවල් මගේ හුරුවට කොලේකට අකුරුවුනා.ඒ අකුරු ඇගෙන් නොඅසා පලකරන්නට හිතා හිටියත් ,මූණුපොතෙන් මුනගැසුන ඇගෙන් ඒ සදහා අවසරත් ලැබුනා.ඔය පල්ලෙහා තියෙන්නේ ඒ අකුරු.ඒක කියවන්න කලින් මෙතන්ට ගිහින් ගෙම්බි ලියපු ඒ කතාව කියවලම එන්න.මෑත කාලීනව එකතුවුන බ්ලොග් අතරින් හිතගිය එක බ්ලොගක් තමයි ඇයගේ බ්ලොග් අඩවිය.සමහර කතා ලීවීමේදී හිතාගන්නවත් බැරි දක්ශකමක් ඒකා පෙන්නලා තියනවා.තාම ඒ පැත්තට ගියේනැති කවුරුහරි ඉන්නවානම් ඒ පැත්තට ඔළුවදාලා හොඳ,නරක කියලා දීලා ඇයට දිරියක් වෙන්න කියලා ඉල්ලා සිටිනගමන්ම ආපහු ඇවිත් මේකත් කියවලා මට බැනලා පලයල්ලා කියලත් ඉල්ලා සිටිනවා.


ඉරටු මතුවුන වහල අස්සෙන් තරු එකින් එක බලනවා
මගෙ සිරුර මත හති හලන හඬ රැහැයි හඬ මැද ඇහෙනවා
පුරුදු නුපුරුදු රළ නැගෙන හඬ දෙසවනේ රැවු නගනවා
නුඹ නොඑන්නට දොර වසන්නට පුතුගේ කුස ඉඩ නොදෙනවා

මටත් තිබුනා මට උරුමවුන ප්‍රේමයක් පපු කැනැත්තේ
උදුරගත්තේ සුළඟේ නුඹමය නිවූ සරතැස දුරුත්තේ
අහිමිවුන පසු රුවල ඔරුවට නැවතුනත් දිවි අනන්තේ
නවත්තන්නේ කෙලෙස පුතු දිවි සැනසුමක් නැති දිගන්තේ

උපන්දා සිට පා ලකුණු රැඳි වැල්ල ගිණියම් වූ දිනේ
අත වැනුව සිය ගණන් ලිහිනියෝ පැලෙහි දොරකඩ සක්මනේ
තුරුළුකරගන පුතුව පපුවට ජීවිතෙයි නෙත වැගිරුනේ
ලය නොවෙයි කිරි එරුන ලැම හැම දෙනෙතටම රසඳුන වුනේ

බලන්නට කුස දැවෙන ගිනි දෙස සිතුවෙවත් නැති සිත් අරන්
කෙසේ සිතුවෙද මගේ සිරුරත දැවෙන බව උණුසුම පතන්
ගැහැනියක් නොව මවකි මම අද සිතන්නට බැරි කුහකයන්
ලඟට එන හැටි ලොවම දෙන්නට දකිනවද දෙව් මෑණියන්

හොවාගත්තද නුඹව සිරුරත හැඟීමක් නැති සිත වසන්
නොම මවනු මැන දෑස් මත්තේ දරණුබැරි සුභ සිහිනයන්
නගාගන්නට බැරිව ලතැවෙන දෙතොල මත්තේ සිනහවන්
මවාගන්නෙමි සිහිකරන් මම පසෙක නිදනා පුතු නමින්

කටුස්සා....

ප.ලි.-විශේෂ ස්තූතිය:

"පපුකැනත්ත" කියන වචනේ ගැන විචිකිච්චාවක් ඇතිවුන වෙලාවක උදවුකරපු "නිහඬ සිත්තරාවි"ටත්, ගෙම්බිටත්.....

Monday, March 7, 2016

අවාරයේ පිපි මල් කැකුළේ....



තටුකැඩී රිදුම්දෙන ගත පොළව මත හොවා
කඳුළු රැඳි නෙතු එක්ක ගුලිගැසී වැතිරිලා
ඉඳිද්දී මගෙ ලඟට හිමින් පා තිය තියා
සුරඟනක් මෙහි ඇවිත් සිනාමල් වපුරලා

තරු අතර සැඟවිච්ච සඳ එළිය අහුලලා
හද මඩල මුවාකල කලු වලා අතර'ලා
අමතකව ගිය සුවය දිවි මගට කැදවලා
සමනලිය මගෙ දිවිය නිම්නයක පාකලා

තුරුළුවී සෙනෙහසින් පපුව මත හිස තියා
විසල්වුන නෙතින් මගෙ නෙතු දෙසම බල බලා
ඉවරයක් නැති කතා කියනවිට මට මෙදා
කන්න හිතෙනව උඹව මිරිකගන හිතපුරා

ගොළුවිච්ච මුවින් මම හිඳිනවිට නෙතුඅයා
කතානොකලට බණින රතු ගැහුණ මුවපුරා
දෙතොල ගෙනියන්න මගෙ හිතන මට ඔරවලා
කොනිත්තන නුඹ සුරත මගෙ ලොවම සරසලා

සිනිඳු සුදු පෙම රැගෙන හෙටත් නුඹ එනතුරා
පුරන පෙරුමන් රැඳුන නොසන්සුන් හදවටා
වෙලී දෙවඟන විලස රඟන නුඹ මැවු රටා
මගෙ දිවිය රැඳුන ඉම තව තවත් දුරකලා


කටුස්සා....

Saturday, March 5, 2016

දෑස වසාගමි ඔබ නොපෙනෙන්නට.....




සයුර
නුඹ....අහසට පෙම්කරනා
වෙරළ
මම....සයුරට ලොබ බඳිනා
කඳුල
නුඹ....කොපුලෙහි නිති රැඳෙනා
තරුව
මම....කඳුලට නෙතු යොමනා
නුඹම 
නුඹ....කිසිදා හිමි නොවනා
මමම
මම....සැමදා සුව පතනා
අපිම
අපි....ගිනිකඳු මෙන් දැවෙනා


කටුස්සා....

Wednesday, March 2, 2016

එනු එපා මෙහි රැඳෙන්නට යලි පෙම සැකයි මගෙ හදවතේ.....




කතර උණුසුම දැනෙන්නේ නැති ගොරහැඬිව වියළුණු සිතක්
සමග දුරුමග යන්න ලතැවෙන සුමුදු මොලකැටි මල් මිටක්
සිනා කිංකිණි මුවග රඳවන කෝලබර බැල්මෙන් බිඳක්
මවනවා රූ දහක් නෙතුමත එදා මා දුටු සිහිනයක්

පෙරුම්පුරමින් කවි පෙලක් ලෙස නුඹ මවන සුභ සිහිනයේ
දන්නවද නුඹ ගලන කඳුලැලි දුරක් යනවිට නෙතු කොනේ
සිනා කඳුලැලි සමව උසුලන මහමෙරක් වන් දිවි පෙතේ
නුඹේ සිත සවි ගැන බියක් මගේ සිත පුරා විසිරී තිබේ

වින්ඳ පාඩම් ඉණූ හසරැල් රූ රටා ඇඳි හදවතේ
තැනක් සොයනවා සමනළියකට ලැගුම් සදනට හැම බවේ
ටිකක් රිදුනොත් තටු සිඳෙන බව දන්නමුත් දැකනැති නෙතේ
කඳුළු පිරුනොත් ඒ පවින් මට මිදෙණු හැකිවෙද කිසිකලේ

ආදරෙයි මම නුඹට කිසිදින නොකල මෙන් මගේ ජීවිතේ
දකිනු රිසිවෙමි සිනහවම නුඹේ සිතුවමක් වන් රන් වතේ
සුරඟනක් ලෙස ගෙවූ දිවිමග කොහොම මවනෙම් නුඹ ලොවේ
එනු එපා මෙහි රැඳෙන්නට යලි පෙම සැකයි මගෙ හදවතේ



කටුස්සා....