Tuesday, January 26, 2016

හරක් මස්....


"අඩෝ...මොකද කරන්නේ..?වරෙන්කෝ ඉක්මනට.පරක්කු වෙනවා..."
"හිටපන් හු...තෝ...මම මේ ළඟ..."
...........
"උඹ අතේ කීයක් තියනවද...?"
"600 බං...."
"එතකොට 2600යි....බෝතල් දෙකට 2200යි...සෝඩා වලට 150යි...තව 50ක් දීපන් කවුරු හරි...එතකොට සිගරට් 10ක් ගන්න පුළුවන්...."
"අඩෝ...එතකොට බයිට්....?"
මොන හු...ද...?සල්ලි නෑ අද...බයිට් නැතුව බොමු..."
"බයිට් නැතුව බොන්න බෑ බං...."
"එහෙම බොන්න ඕනෙනම් උඹලෑ තාත්තගෙන් සල්ලි ඉල්ලන් වරෙන් රූෆ් ටොප් යන්න...."
"බැරිනම් නිකන් හිටපන්...බුලත් විටක් කකා බීපන්.එතකොට හරි...."
"කොහේ ඉදන්ද බොන්නේ....?"
"ඇල කණ්ඩියට යමු...මහතුන් මාමලගේ ගේ එහා පැත්තට.අවුලකුත් නෑනේ...."
...............
"මොකෝ අද කට්ටිය අඩු...?"
"ආ...මහතුන් මාමේ...අද වැඩටගියේ නැද්ද....?"
"නෑ බං...අද ඩැයිවර් මල්ලි නිවාඩු.ඉතින් මමත් හිටියා...මොකද අද කට්ටිය අඩු...?"
"හදිස්සියේ සෙට්වුනේ මාමේ....ඒකයි අපි 4දෙනා විතරක් අද...."
"මාමත් දාගන්න ශොට් එකක්...හැබැයි බයිට්නම් නෑ අද..."
"ඒ මොකෝ උඹලා අමුවෙන්ම..?"
"දන්නැද්ද ඉතින්....අද සල්ලි තිබ්බේ නෑ...ඒකයි...ආ වීදුරුව...මාමත් දාගන්න..."
"අද ගෙදර නිසා මමත් බෝතලයක් ගෙනත් ගගහ හිටියේ ගෙදර....උඹලෑ සද්දේ නිසා මම ටිකක් සෝදිසිකලේ...වරෙන් යන්න අපේ දිහා...එහෙ ඉදන් ගහමු...මාලා හදපු මස් වගයක් ඇති...උඹලා හරක් මස් කනවනේ....?"
"මමනම් කන්නේ නෑ...සම්පා...උඹ කනවද....?"
"බොනකොට ඕවා බලන්නේ නෑ බං...තියන ලබ්බක් කනවා...."
"වරෙල්ලා...වරෙල්ලා....උඹත් අද කාලා බලපන්කෝ කොහොමද කියලා....."
..................
"දිලා...මේ බලපන්කෝ.....කන්නේ නෑ කියපු එකා ඇතිලිය ඇතුලට බැහැගන කනහැටි...."
"සිරාවටම මේක රහයි බං....අපේ ගෙවල්වල ඉන්න මිනිස්සුන්ටත් පිස්සුනේ...මෙච්චර රස මසක් තියාගන කිලි කිලි කියලා කුකුළ් මස්ම ගේනවා...ඒවා කනවට වඩා හොඳයි පාන්පිටි ගිලින එක...."
"ඉතින් ඕක අපිට කියන්නේ...ගිහින් කියපන්කෝ උඹලෑ තාත්තටම....උඹලෑ තාත්තා අර හරක් නිදහස්කරන්න සල්ලි එකතුකරන කැටෙන්ම දෙයි උඹේ ඔළුවට.....
"හහ්...හහ්...උඹලා ඔය මම ගෙදර ඉන්න දවසට වරෙන් අපේ දිහා සෙට්වෙන්න....මම හදලා තියන්නම්....අපේ ගෙදරට ගේන්නේ හරකා තමයි.නිකන්නේ හම්බවෙන්නේ...."
"නිකන් හම්බවෙනවා කිවුවේ...."
"මම වැඩකරන්නේ මුස්ලිම් මුදළාලි කෙනෙක්
ගාවනේ.... ඒ මුදළාලි මස් ගන්නකොට අපිටත් අරගන දෙනවා....අදනම් පොඩ්ඩයි ඉවුවේ...මාලාටයි මටයි රෑට කන්න..."
"දැන් ඒ ටික අපිටදීලා මතුන් මාමලා කන්නේ.....?"
"උඹලා කාපන්කෝ....මාලාටයි මටයි සම්බෝලයක් කොටාගන්න බැරියැයි...."
++++++++++++++++++++++++++++++++++++++++++++++
"ඇත්තටම කවුද මහතුන් මාමේ ඔය වැඩේ කරන්න ඇත්තේ....?"
"කවුද බං දන්නේ....ඔය මොකෙක් හරි කුඩ්ඩෙක් වෙන්න ඇති.....නැත්තන් මේ ළිඳ ඇතුලේ තියන මෝටරේ උස්සන් යන්න තරම් අහේනියක් තියන එකෙක් මේ ලඟපාතක නෑ..."
"අපි හොයමු මහතුන් මාමේ...එහෙම නිකන් ඉන්න පුළුවන්ද මාමට මෙහෙම කලාට පස්සේ....
"එකෙන්ම....මාමා බය නැතුව ඉන්න....අපි ඔය මෝටරේ හොයාගන ඕක කරපුඑකාගේ හතර හන්දි කඩලතමයි පස්ස බලන්නේ....."
"උඹලා ඕවට ගෑවෙන්නේ නැතුව ඉදපල්ලා....උඹලා තාම පොඩි එවුන්.අනික දැන් මම අළුත් මෝටරයක් දාලත් ඉවරයි.මුදළාලිට කියපුගමන් මට එකක් ගන්න සල්ලි දුන්නා...."
"ඒ වුනාට ඔයාට එහෙම කරන්න දෙන්න පුළුවන්ද මේ ගමේ....ඔය එක කැ..ක්වත් අපිට ලොකු නෑ.....මාලා නැන්දටයි ඔයාටයි එහෙම වෙන්න දෙන්න පුළුවන්ද අපි ඉන්නකන්.....කෝ ඉතින් මාමා බිවුවේ නෑනේ.....දාගන්නකෝ...."
"හරි හරි...දාගමු...හිමින් බීපල්ලා....මගේ ගාවත් බෝතලයක් ඇති.කෝ මේ මස් ඉවරද....මාලෝ....මේ පිගානට මස් ටිකක් දාගන වරෙන්කෝ....."
"මේ ඇත්තමයි කියන්නේ...මාලා නැන්දගේ මස් හොද්දනම් පට්ට....දිවියලෝක රහයි...."
"සිරාවට....ගෙදරට ගේන්නෙත් නැති එකේ කටට රහට මස් කෑල්ලක් කන්න පුළුවන් මෙහෙදි විතරයි...."
"උඹලා ඕනේ වෙලාවක මෙහෙ වරෙල්ලා....මට පුළුවන් හැටියට මම උඹලට සංග්‍රහ කරන්නම්....මායි අර ගෑනියි විතරක් ඉන්න ගෙදරට උඹලා එන එකත් කොච්චර දෙයක්ද....ඒක නෙමෙයි....සම්පත්....උඹ කවද්ද රට යන්නේ....?"
"තාම හරියට දිනයක් නෑ මාමේ....තව මාසයක් විතර යයි කොහොමත්...."
"කමක් නෑ ...කමක් නෑ....උඹලටත් කියලා අනාගතයක් තියෙන්න ඕනේ.....දිනේ දැනගත්තහම කියපන්කෝ....යන්න ඉස්සල්ලා දාමු සුපිරි පාර්ටියක් මෙහේ...."
"අනිවා....මාලා නැන්දගේ මස් හොද්දත් එක්ක දාමු පාර්ටියක් දවසක්ම...උඹට ඔය රටවලදී  මේතරම් රස මස් කෑල්ලක් කන්න හම්බවෙන්නේ නෑ...."
+++++++++++++++++++++++++++++++++++++++++++++
"අඩෝ...උඹ ආවළු නේද...?මට උඹලෑ අක්කා කිවුවේ හංදියේදී....."
"ඔවු බං....ඊයේ රෑ ආවේ...දැනුයි ඇහැරුනේ...."
"මට කිවුවා....මම කතාකලේ අද මගේ උපන්දිනේ....වරෙන් හවස්වෙලා පොඩ්ඩක් සෙට්වෙන්න....."
"කොහාටද....?"
"රූෆ් ටොප් එකට වරෙන්.අරුන් දෙන්නා වැඩ ඇරිලා එනවා කිවුවා.උඹ 5ට විතර වරෙන්.චැටක් දාගන ඉමු.ගො කාලෙකින්නේ..."
.............................................
"වරෙන්...වරෙන්...වාඩිවියන්....උඹ සුදුවෙලා යකෝ...."
"ඉතින් කොහොමද උඹලෑ විස්තර...?කෝ අරුන් දෙන්නා....?"
"මග එනගමන්....ඉතින්....?"
"මම හිතුවේ උඹලා මහතුන් මාමලගේ ගෙදර සෙට්වෙයි කියලා..."
"ආපෝ....මතක්කරන්න එපා....උඹට ගෙදරින් කිවුවේ නැද්ද....?"
"ඇයි....මොකෝ සීන් එක....?"
"ඒ යකා මළා බං...."
"නෑ...මක්වෙලාද....?"
"ඒ යකා හෙන පවුකාරයෙක් බං....ඌ ලොරියක වැඩ කියලා කිවුවට කරලා තියෙන්නේ හොරෙන් හරක් පටවන එක.උඹ ගිහින් මාස 3ට විතර පස්සේ උන් හරක් පටවන් එන ලොරිය හෝමගමදී කෝච්චියේ හැප්පිලා.මූයි තව එකෙකුයි එතනමළු.ඩ්‍රයිවරයනම් බේරිලා තිබුනා...."
"මාර සීන් එකනේ...."
"ඔවු බං....මල ගෙදරටවත් සෙනග නෑ....කවුද බං යන්නේ ඔහොම පවුකාරයන්ගේ මළගෙවල්වලට රෙද්දක් ඇදගන....මමනම් දවල් වරුවේ ගිහින් ඔළුවදාලා ආවා.අරුන් දෙන්නනම් ඒ ගියෙත් නෑ.මිනිය උස්සන්නවත් සෙනග නැතුව අන්තිමට හර්ස් එකක ගෙනෙහින් තිබුනේ...."
"එතකොට මාලා නැන්දා.....?"
"ඉඩකඩම් ටික විකුණලා නෑදෑ ගේකට ගියා කියල තමයි ආරංචිය....හරියටම දන්නේ නෑ....."
"සර්....මොනවද ගේන්නේ....?"
"උඹ මොනවද බොන්නේ....?"
"ඕනේ එකක් බං...."
"vx එකක් ගේන්න දැනට.සෝඩා එකයි කොකාකෝලා එකයි,ගෝල්ඩ්ලිෆ් 12 පැකට් එකයි.බයිට් එකට මික්ස් චොප්සියක්.....4 දෙනෙක් ඉන්නවා...තව දෙන්නෙක් එයි මෙතන්ට....ආ මල්ලි...බීෆ් ඩෙවල් ලාර්ජ් එකකුත් ගේන්න....


කටුස්සා.....

Sunday, January 24, 2016

To Mr.President.



පාලනය යස පාලකයා සුභ
සිතම්භරම් පට මාරුවෙයි අද
වසන නිරුවත අමුඩපොට යට
පුක සමග නැත දිය ලණුව වට

පක්ෂ රජකම වැළඳ ලොභ සිත
හිස පැළඳගත් කටු ඔටුණු මැද
ගලන රුධිරය තෙමන දෙතොලග
දියව වැගිරෙයි සුභ සිහින ගඟ

හොරුන් මෙහි නැත සිටියේද නැත
ඇල්ළුවොත් හෙට තුනෙන් දෙක නැත
හුජ්ජකරමින් දුවනු රිසිවෙන
පක්ශයක් ලඟ රටම බලුවිය

දුන්න ඡන්දය වටින්නේ නැත
පැරදුනත් එය රජ පිහිට ඇත
රටේ ජනයගෙ ඔළුව මතහිඳ
ගනියි පිල් දෙක ඔළු ගණන අද

හිඟන්නොත් ඇත උණු බතුත් ඇත
බෙදාගන්නට කොළපතක් නැත
පතෙත් පහරන අමන රැල මැද
කරන එකෙකුත් කරන්නෙත් නැත

කන්න දුන් අත හපන'වුන් මැද
මාරපන් යන කළුවන්ද ඇත
දිය යටින් යන ගින්න දැක දැක
ලොවන මීපැණි රස දැනේවිද

ලක්ෂ හැටදෙක එක්කෝ පක්ශය
මිසක නුඹහට විසඳුමක් නැත
රැවුල මුඩුකර බිවුවොතින් කැඳ
නැගිටගන්නට පිරෙයි නුඹෙ කුස

කටුස්සා....

Sunday, January 17, 2016

නොනිමි....




නුඹ මගේ වී මා නුඹේ වී අපි අපේ වී සෙනෙහසින්
තවත් කොපමණ දුරක් යන්නද වාරුනැති ගත දැඩිකරන්
ලැබුණු සියුමැලි ලතෙත් සෙනෙහස දෑස්තුල තව තදකරන්
සිහින් දෑගිලි හොවා සිරසට දෙතොල් නළලත සිරකරන්


යොවුන් සිතුවිළි දඟකරනදා රුදුරු වනයක කෙළිදොලින්
නොමග නොයනට වෙලා හදවත සිසිල් තුරු සෙවනක් වෙමින්
විසල් දරඳඩු පිරිමි දිවියම මගේ දිවියට දියකරන්
කෙසේ අමතක කර දමමි නුඹ ගිලන්වූදා රත්තරං


නොමති හැඟුමන් අවට ලොවගැන අයාලේ ගිය හදවතක්
මටම පුදුමයි වසඟවුන හැටි දුටුව පසු නෑඹුල් මලක්
ගතට පමණක් පෙම් කෙරුව කල විඳපුනැති හිත බරකමක්
තවම දැනෙනව නුඹ ලඟදි මට කලාදෝ මම වැරැද්දක්


දුටුව පසු ලොබ සිතුන නුඹෙ රුව හදවතට කෙඳිරූ කවක්
සිහිනෙනුත් පද මිමිණුවා මම නුඹේ පපුවට හිස තියන්
අ'යනු ආ'යනු කියා දිවිමග අරුත් එකිනෙක පවසමින්
කලේ කොතනද වැරැද්දක් නුඹ කියනවද මට කොඳුරමින්


දුරක් යන්නට සිතා තුරුලට හොවා ගත්තද ආදරෙන්
යායුතුය හැරදමා මතකය තුරුණු නුඹ සිත
නිකරන්
කිරට හඬනා සමනළුන් හා නොහැකිනම් යන්නට දුරක්
හෙලනු දිවිබර අත්වැලක් මත නොමත මගෙ සිත තරහවක්


වනස්පති සෙවනක් වෙමින් මට ලබාදුන් සෙවනින් බිඳක්
ලබාදිය හැකි කෙනෙක් මිහි වෙද දනිමි එය මහ විහිළුවක්
නුඹේ රුහුරෙන් සුවඳවුන සමනළුන් හා යන්නට දුරක්
මගකියයි නුඹ දුන්න ආලය නෙත් පියෙනතුරු මහ මෙරක්


කටුස්සා....

ප:ලි:
නිමිත්ත ගැන හැඟීමක් ඇතිකරගන්න ඕනෙමනම් මෙතන්ට (මිතුරිය ) ගිහින් කමෙන්ටුත් එක්කම බලන්න.

Monday, January 11, 2016

සුදු සහ කලු....



චන්ද්‍රමඩල මුවාකරන්
ගත ඇඳි සළු නෙක උනමින්
ක්ෂීරපථය තනි අතකට 
ගත්ත රූබරී....
නිල් දෙනයන කැල්මදරන්
සිත ටිකකට නතරකරන්
සප්ත සාගරය කැළඹුව
රත්න මෝහිණී....

කල්බලා ලැබුන ඉඩකින්
ඉවතහෙලා ලොව පතිදම්
විශාකාව තුරුලට ගිය
දීඝ ගාමිණි....
කිරට හඬන තම බිළිඳුන්
නොලා මගට සිත මවුවත්
දරු දෙනෙතට සිත කැපකළ
කිසාගෝතමී....

කඩා තනය පොළවෙගසන්
සාප නොකර නුවර දනන්
දුක තම ලැම මතම හෙවූ
චන්ද කින්නරී....
දරුපෙම සිත තුල දරමින්
වැගිරෙන කිරි නතරකරන්
පියවුරු කෙළි බඩුවක් කල
සප්ත පත්තිනී....

සලිතකරගන්න යටිකය
හොවන දණ්ඩ දැඟලිලි මැද
දරු කුසගිනි නිසාම
පිළිගත්තු ද්‍රෞපදී....
අනුරාගයෙ ඉම සොයමින්
පිහිනන දන සිත නිවමින්
ආයෙත් එන්නැයි පවසන
සීතා දේවී....

කරපු පවු වසා කඩතිර
මුවා කරන සිල්වතුන්ට
හැමදාමත් පවින් පිරුන
පට්ටම වේසී....
පවක්යැ'යි ලොවම පවසන
අපායක දිවිය රඳවන
රහසින්වත් පවු නොකරන
බිම්බා දේවී....

දිවි දවනා ගින්න මැදින්
සිත නිවනා පෙම සොයමින්
නිල් අහසට දුක පවසන
කුණ්ඩලකේසී....
අම්මා යන අකුරු තුනට
මහමෙරක් වෙන්න දඟලන
ලෝ ධාතුව කම්පාකල 
බුද්ධ භාශීණී....


කටුස්සා....

ප:ලි:
විශේෂ ස්තූතිය- කමියට සහ ඇනෝපීලිසාට.

Wednesday, January 6, 2016

එනවාද හෙටත් නුඹ....




එනවාද හෙටත් නුඹ අද මෙන්ම
හිනහෙමින්....
බැසයන්න වෙර දරන හිරු රැසට පිටුපාලා
විවර නෙතු ලෝකයේ සිතින් අමතකකරලා
දිලිසෙනා සසල නෙතු අගින් වත සරසාලා
අපි දෙන්න විතරක්ම ඉන්න අපෙ ලෝකයට
එනවාද හෙටත් නුඹ....
හිනහෙමින් මගෙ ලඟට

මගේවුන පෙර දිනක නොතිබුනා කඩොළු මැද
වටා රැකවල් සදන සිත් නොමැති මුර අතර
නුඹට මට නොලැබිච්ච ආදරය දැකගන්න
ලෝකයට නොතේරෙන අපෙ හැඟුම් විඳගන්න
එනවාද හෙටත් නුඹ....
අපේ'යැයි කියන්නට කිසිදෙයක් නොමැති ලොව
අපේවුන සුසුම් මැද අපෙ පැතුම් කියවන්න
එනවාද හෙටත් නුඹ....
හිනහෙමින් මගෙ ලඟට

අහේතුක හේතුවට පැළන්දුව රන් මුදුව
මොනවා කිවුවත් අපිට ඇහෙන්නැති වෙලාවට
හිස තියන් පපුව මත කියන්නට මට නුඹට
රාගයේ සුළඟවත් නොතැවරුන අපෙ කවිය
එනවාද හෙටත් නුඹ....
නුඹේ ළය පිස හමන සුළඟ වත සිඹින කල
සිහිනයෙන් මෙන් දැනෙන සිත නිවන කිරි සුවඳ
දැමුව තහනම අතර අසරණව ගිය හිතට
සැනසුමක්වුන නුඹේ සිත නිවන වදනකට
ඉඩදෙන්න සවනතේ නිම්නාද නගන්නට
එනවාද හෙටත් නුඹ....
හිනහෙමින් මගෙ ලඟට

කෙළවරක් නොමදකින කිසිදිනක නොමතිබුන
සසරෙදිම නිම නොවන ආදරය අහුලන්න
ඇහැල මල් පියස යට අපේ ලොව සරසන්න
එනවාද හෙටත් නුඹ....
කිසිදිනක වෙර නොකර කිසි දිනක ගතු නොකිය
සිහිනයේ පමණක්ම අපේවුන අපි අතර
කඳුලකට සිනහපොද වෙන්න  හෙට අපි අපිට
අපෙ නොවුන ලෝකයක අපේවුන නිමේශෙක
රවටගන අපේ හිත හිනහෙන්න මට නුඹට
කල්පයක් තරමටම වටින හෝරාවකට
එනවාද හෙටත් නුඹ....
හිනහෙමින් මගෙ ලඟට



කටුස්සා....

Monday, January 4, 2016

තනි යහන....



සඳ එළිය පවා තරු දෙසට එබී තව පතයිනම් මුදු උණුසුමක්
මල් කිණිති පවා තුරු දෙසට නැමී තව සොයයිනම් හද සිසිලසක්
සමණලුන් පවා මහ රැයෙත් ඇවිත් රූ බලයිනම් පිපි කඩුපුලක්
මට ලඟට ඇවිත් සිපගන්න දෙතොල් ඔබෙ කවුද දැම්මේ තහනමක්

නෙත තෙමුන විටක ඔබ තුරුළුකරන් මගෙ දෙතොල තැබුවත් හිස මතින්
ඒ දෙතොල අරන් මුළු ලොවට හොරෙන් මම සොයන්නද සුදු කඳු මුදුන්
මුදු මෙලෙක මතින් සුව දැණුන සැනින් ගත කිළිපොලන සුව කෙඳිරියන්
මට ලැබෙන වරම් තව දුරද ඉතින් මම බලන් ඉන්නද දින ගැනන්

සුබ නිමිති මැදින් උණුසුමක් අරන් ගත පුබුදුවන පෙති නැති මලක්
මධු පැණින් තෙමා රස සොරා බොන්න මම සොයනවා සුවබර ඉඩක්
නිදි නොමැති ගතින් වත රටා සොයන මගෙ නොහොක්මුන දසැඟිලි විතක්
මිට මොලවගනිමි නිදි නොමැති රැයක තනි යහන අද මට කටු ගොඩක්


කටුස්සා....